Sunday, August 14, 2011

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය - Part 2

අන්තිමට කතාව ඉවර උනේ කොහෙන්ද?...... ආ උපාසකයො රාහුල හාමුදුරුවන්ගෙන් මෙහෙම ඇහුව.
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?"  කියල.
කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහිල්ල කියවන්න.

රාහුල හාමුදුරුවො කියපි. 
"උඹල කෑ ගහන්නෙ නැතිව ඉදපියව්. පොල් කඩන දවසට උදලු ටිකකුයි පස් ඉවත් කරන්න කූඩ ටිකකුයි අරන් වරෙල්ල" කියල.
මොකද්ද අප්පේ ඒ කතාව??? පොල් කඩන්න මොකටෙයි උදලු??? පස් කූඩ?????
උපාසකයින්ට මාර ප්‍රශ්නෙ මොකද්ද මේ කතාව කියල. ඒත් ඉතින් සද්ද නැතිව උන්න.

ඔන්න දවස උදා උනා...
අහල පහළ ගම් වල විතරක් නෙමෙයි, ඈත ගම්මාන වල පවා කට්ටිය ඇවිල්ල සිද්ධිය බලන්න. මොකද වෙන්නෙ බලන්න. ඇයි අප්පේ රාහුල හාමුදුරුවො මොකද කරන්නෙ කියන්නෙ කියල බලන්න එපැයි. 

ගුරු හාමුදුරුවො උජාරුවෙන් ඉන්නව තමුන්ගෙ ගහේ ඵලදාව බල බල. රාහුල හාමුදුරුවොත් ගානක්වත් නැතිව ඉන්නව. හරි නම් මේ වෙලාවට පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් වෙන්න ඕනෙනෙ. ඇයි අනේ කඩන්නෙ අර පුවක් ගෙඩි සයිස් කළටි ගෙඩි ටිකද????

ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා ගුරු හාමුදුරුවන්ගෙ ගහේ පොල් ටික කැඩුව, මොන ටිකද, පොල් ගෙඩි 200ක් විතර!!!. කඩල ඒ ටික ගොඩ ගහල ගුරු හාමුදුරුවො ඔලොක්කුවට වගේ රාහුල හාමුදුරුවො දිහා බැලුව.
රාහුල හාමුදුරුවො හිනා වෙලා මොකද දන්නවද කිව්වෙ?
"උපාසක, ගනිල්ල ඔය උදලු ටික, හාරපල්ල පොල් ගහ වටේටම."
පුදුමයෙන් හාමුදුරුවො දිහා බලපු උපාසක ගොල්ලො උදලු කූඩ අරගෙන පොල් ගහ වටේ හාරන්න පටන් ගත්ත.
මෙන්න පුදුමයක්, පොල් ගහේ මුල පලාගෙන පොලු හැදිල, එකක් දෙකක් නෙමෙයි මහ විසාල ප්‍රමාණයක්, වළු ගාණක්. ගම්මුන්ට විතරක් නෙමෙයි මෛත්‍රී හාමුදුරුවන්ටත් අදහා ගන්න බෑ. ඇයි දෙය්යනේ පොල් මුලෙන් ගෙවි හැදෙනවද!!!! 
ඔක්කොම කැඩුව. කැඩුව කිව්වට ගහට නැගල නෙමෙයි, ගහටත් වඩා පහළට බැහැල. 
ඔක්කොම පොල් ගෙඩි 300කටත් වැඩී. ගුරු හාමුදුරුවො එතනිනුත් පරාදයි ගෝළයට.
මොකද වෙලා තිබ්බෙ?රාහුල හාමුදුරුවො දැනන් හිටිය හරියටම නැකතට වෙලාවට හිටෙව්වොත් පොල් මුලෙන් උනත් ගෙඩි හැදෙනව කියල. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය ඉහළට ඔසවන් ඉඳල වලට දානකොට නැකතෙන් ක්ෂණයක් පහු උනා. නමුත් රාහුල හාමුදුරුවො කළේ පොල් පැළය කකුලෙන් රඳවන් ඉඳල ගානට වෙලාවට වලට අත හැරපු එකනෙ. 
ඔන්න ඔහොමයි කතාව. එදත් කොහොම හරි ගුරා පැරදුනා ගෝළයට. අනේ එහෙමයි කියල මේ ගුරු හාමුදුරුවො කවදාවත් ගෝළයට වල කපල නම් නෑ. හැම වෙලේම ගෝළයගෙ දියුණුව පැතුව, දියුණුවට අත දුන්න....



Tuesday, August 9, 2011

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය


මගෙ බ්ලොග් අඩවියෙ මම ලිව්වනෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තිබෙන ජනප්‍රවාද කිහිපයක්. ඒව කියවල නැති අය කියවල බලන්නකො මෙන්න මෙතනින් ගිහිල්ල.

සිනිඳු සේළයවක දෙකගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 12)
ජම්මෙද? පුරුද්දද?
සෘද්ධි තෛලය (කොටස් 12)
තොටගමුව නොව අපගමුව
තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි
පුන් සඳයි දසවකයි
ගොම දෝත 



අද කතාව "නැකැත් කෙළිය"
එක දවසක් තොටගමු විහාරයට ආව උපාසක මහත්මයෙක්. මොකටද? පොල් පැළ හිටවන්න නැකතක් හදව ගන්න. ගුරු හාමුදුරුවො ඔහුට කිව්ව පස්සෙ දවසෙ එන්න හදල තියන්නම් කියල.
ඉතින් ඔන්න ගුරු හාමුදුරුවො පොඩි නමට ඒ කියන්නෙ රාහුල හාමුදුරුවන්ට කතා කරල කතාව කියල, උන්නාන්සෙට කීව නැකතක් හදල දෙන්න කියල. ඉතින් රාහුල හාමුදුරුවොත් පොත් ගුලට වෙලා වෙහෙස මහන්සි වෙලා නැකතක් හදල දුන්නලු ගුරු හාමුදුරුවන්ට. 
ගුරු හාමුදුරුවො නිකං උන්නෙ නෑ, උන්නාන්සෙත් හැදුව නැකතක්, තමුන්ගෙ ගෝලයගෙ හැකියාව පරික්ෂා කරන්න. ඉතින් රාහුල හාමුදුරුවො හදපු එකත් එක්ක ගුරු හාමුදුරුවො හදපු එක සංසන්දනය කළාම දෙකම හරියටම හරි. ගුරු හාමුදුරුවන්ට හරිම සතුටුයි. උන්නාන්සෙට තේරුනා රාහුල හාමුදුරුවන්ට තව ඉතින් උගන්වන්න දෙයක් නොමැති බව.
ඉතින් ගුරු හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ට මෙහෙම කිව්ව.
"රාහුල, නුඹගේ නැකතට අනුව අපිත් පැළ සිටුවා නුඹගේ ශාස්ත්‍රය සළකා බලමු" කියල.
රාහුල හාමුදුරුවොත් එකඟ උනා.
උන්නාන්සෙගෙ නැකතට අනුව මෙන්න මේ දවසෙ මෙන්න මේ වෙලාවට මෙන්න මේ පැත්ත බලාගෙන පැළ සිටුවිය යුතුයි, මෙන්න මේ කාලය වෙනකොට අස්වැන්න නෙළාගන්න පුළුවන් කියල, කියවිලා තිබුනා.
ඉතින් අර නැකැත් පත රැගෙන යන්න ආපු උපාසක මහත්තයට කියල පොල් පැළ දෙකකුත් ගෙන්නාගෙන උන්නාන්සෙල දෙන්නත් ලෑස්ති උනා පොල් පැළ සිටුවන්න.

ඔන්න නැකත් දවසත් ආව. 
උදෙන්ම අවදි වෙලා මුන්නාන්සෙල දෙන්න පැළ සිටුවන්න සූදානම් උනා. වලවල් දෙකකුත් හාරල, නැකැත් වෙලාව එනකම් බලා උන්න.  ඉතින් නැකැත් වෙලාව ලං වෙනකොට, දුවන තරඟෙකට සූදානම් වෙලා ඉන්න ක්‍රීඩකයො දෙන්නෙක් වෙඩි හඬ ඇසෙනකම් බලා ඉන්නව වගේ දැන් ලෑස්ති වෙලා ඉන්නෙ දෙන්න.
ඔන්න නැකැත් වෙලාව ආව. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය අතින් අරගෙන උස්සල වලට දාල පස් දාල වැහුව. රාහුල හාමුදුරුවො පොල් පැළය කකුලෙ මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතර රඳවාගෙන ඉඳල හරියටම වෙලාවට වලට අත හැරල, පස් දමල වැසුව. එතනින් ඉතින් පොල් පැළ සිටුවීමේ කාර්යය ඉවර උනා.

නැකතට පොල් වගා කරල ඔන්න වසර කිහිපයක් ගත උනා. ගුරු හාමුදුරුවන්ගෙ පොල් පැළේ හොඳට වැඩෙනව. ඒ උනාට අනේ රාහුල හාමුදුරුවන්ගෙ පොල් පැළේ??? කණාටු වෙලා. 
ඔන්න තව ටික කාලයක් යනකොට පොල් ගස් වල මල් පීදෙන්න පටන් ගත්ත. මල් පීදෙනවත් එක්කම ඔන්න ආපහු "නැකැත් කෙළිය" කියන ගුරු ගෝල සටන ඇරඹෙනවා...

දවසෙන් දවස ගෙවිල යද්දි ගුරු හිමියන්ගෙ පොල් ගසේ මල් පීදිල ගෙඩි හැදෙන්න පටන් ගන්නව. අනේ ඒත් ගෝල හාමුදුරුවන්ගෙ පොල් ගහ වැට ඉන්නක් වගේ එහෙමමයි. ටික කාලෙකින් මේ කතාව ගම් රට පුරාම ආරංචි වෙලා... හැමෝම දැන් මේක ගැන තමයි කතාව.
ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ දැන් හොඳට පීදිලා හොඳට ගෙඩි හැදිල. ගහට දරාගන්න බැරි තරම් වලු බර වෙලා. රාහුල හාමුදුරුවන්ගෙ ගහේ ඔන්න යන්තම් මලක් ඇවිල්ල තියෙනව. පංසලට එන කට්ටිය ඔක්කොම මේක ගැනමයි කතාව. හැමෝම රාහුල හාමුදුරුවන්ගෙන් අහනව මොකද මේ වෙලා තියෙන්නෙ කියල. ම්හ්. රාහුල හාමුදුරුවො සද්දයක් නෑ. 
ඔන්න ඉතින් ටික ටික ඵලදාව නෙලන කාලයත් ලං වෙනව. ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ නම් වලු බර වෙලා, ගෙඩි පිරිල, රන්වන් පාටින් බබලනව. ඒත් රාහුල හාමුදුරුවන්ගෙ කේඬෑරි පොල් ගහේ යන්තම් එකම එක පොල් වල්ලක් විතරයි තියෙන්නෙ. ඒකත් පොල් කීවට චුට්ටිම චුට්ටි ගෙඩි.
ඉතින් ඔන්න රාහුල හාමුදුරුවොයි ලොකු හාමුදුරුවොයි කතා වෙලා පොල් කඩන්න දවසක් තීරණය කරගෙන ඒ පණිවිඩය හැමතැනම ප්‍රචාරය කෙරෙව්ව. රාහුල හාමුදුරුවොත් එදාටම පොල් කඩනවය කියලත් කියල යැව්ව. අනේ මන්ද මොනව කඩන්නද කියල. මොකද උන්නන්සෙගෙ පොල් ගහේ තිබ්බෙ මේ පුවක් ගෙඩි විතර තරමෙ කළටි පොල් වල්ලක්නෙ. 
පංසලට එන උපාසකයො විහිළුවෙන් අහනව,
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?" කියල.

හාමුදුරුවො මොකද දන්නවද කිව්වෙ?
ඒක ලිපියේ ඉතුරු කොටසෙන්.....

ඒක කියවන්න මෙතනින් යන්න...


Saturday, August 6, 2011

"මට wish කරන්න තිබ්බ මම ඒත් වෙලාව එනකම් හිටියෙ"

අපේ ඔෆිස් එකේ ඉන්නව කොළඹ විශ්ව විද්‍යාලයේ එකෙක්. ඌ ඉතින් මාරම රස කතා තොගයක් කියනව. ඉතින් මට හිතුන ඒවායින් එකක් දෙකක් දාන්න, මොකද මට ලියන්න එහෙම රස කතා මතක් වෙන්නෙ නෑනෙව හරියකට.

ඔන්න ඉතින් දවසක් මේකගෙ යාළුවෙක්ගෙ කෙල්ලගෙ උපන්දිනේ හෙටලු. ඉතින් රෑ ඌ කෙල්ලත් එක්ක කතා කර කර ඉන්නවලු. විෂ් කරන එක ගැන සද්දයක්වත් නෑ, මූට ඕනෙ හරියටම 12ට විෂ් කරන්න. ඔන්න ඉතින් කතාව ඉවර කරල ෆෝන් එක තියල. මූ දැන් 11.58ට එලාම් එකකුත් තියල ෆෝන් එකත් ලඟින් තියාගෙන බලන් ඉන්නව ගානට වෙලාව එනකම්.
අනේ ඒ උනාට මූට නින්ද ගිහිල්ල වෙලාවට ඉස්සෙල්ල. එලාම් එකටත් ඇහැරිලා නෑ. පට්ටම සිද්දිය. මූට ඔන්න එක පාරටම ඇහැරිලා බලනකොට වෙලාව පාන්දර 5යි. ඔලුව ගිනි අරං ෆෝන් එක අරගෙන බලද්දි missed calls 20ක්, sms 10ක්.
දැන් ඉතින් අරූ ඉවරයි තමා.
ඉතින් මූ එවෙලෙම කෝල් එකක් ගත්තලු. ආයි හිතන්න දෙයක් නෑ කෙල්ල ඉවරයක් නැතිව බැණගෙන බැණගෙන යනව. මූටත් ඉතින් කියන්න හේතුවකුත් නෑනෙ. අහගෙන ඉන්නව.
ඔන්න ඔය අතරෙ මුගෙ ස්ථානෝචිත ප්‍රඥාවද කොහෙද එක වැඩ කරනව.
මූ එක පාරටම කීවලු, "මට 12ට කිසිම අවුලක් නැතිව විෂ් කරන්න තිබ්බ, ඒත් ඔයා ඉපදුනේ පාන්දර 5යි ගානකටනෙ, ඉතින් මම ගානට වෙලාව එනකම් හිටියෙ." කියල.
ඉතින් දීපල්ලකො උත්තර. :)

Tuesday, August 2, 2011

එදා විහිළු හා අද විහිළු

මෙහෙම දෙයක් ගැන හිතුනෙ ගිය ඉරිදා දිවයිනේ තිබ්බ ලිපියක් දැකල. විකට නළු බර්ටි ගුණතිලක සමඟ තිබ්බ සාකච්ඡාවක්. කියවල බලන්නකො.




සමහරු නම් මේ කවුද කියල දන්නෙ නැතිව ඇති. අමතක වෙලා ඉන්න අයට, නම හරියට නොදන්න අයට කියන්නම්කො මතක් වෙන්න දෙයක්. මතකද "ඌ මට ගැහුව, මට ඌ ගැහුව" කතාව? අන්න ඒක මම බැලුවෙ ජාතික රූපවාහිනියෙ "විනෝද සමය" කියන රූපවාහිනී වැඩසටහන හරහා. (මට තේරෙන වයසෙ, ඊට ඉස්සෙල්ල ඒක වෙනස් විදිහට ගිහිල්ල තියෙන්නෙ ස්වාධීන රූපවාහිනියෙ.)



ඒක කළේ, බර්ටි ගුණතිලක, සැමුවෙල් රොද්‍රිගූ හා ඇනස්ලි ඩයස් කියන තුන්දෙනා තමා. ගැමුණු විජේසූරිය, මර්සි එදිරිසිංහත් සමහර කතා වල හිටිය.

ඉතින් මේවායෙ තියෙන විහිළු එක්ක බැලුවම අද තියෙන විහිළු මොනවද කියල හිතෙනව. ඒ විහිළු වල කිසිම කුණුහරුපයක් නෑ, දෙපිට කැපෙන වචන, කතා නෑ. පිරිසිදුම විදිහට විහිළු. සාමාන්‍ය ජීවිතේ කතා වලින් හදපු විහිළු. ඒවට ඇත්තටම හිනා යනව. දැන් ඉන්න විකට නළුවො කියාගන්නා කට්ටියගෙ විහිළු වලට කිති කවාගෙන හිනා වෙන්න ඕනෙ. එයාල කියන දේවල් වලට බලෙන් හිනා වෙන්න ඕනෙ. නැත්තම් හිනස්සන්න හදන්නෙ අඟර දඟර දාල කට ඇද කරල, එයාලම පෙරලි පෙරලි හිනා වෙලා. අනිත් ක්‍රමේ තමා අනිත් මිනිස්සුන්ව අපහාසයට / උපහාසයට පත් කරල.  විකට නළුවො විදිහට රඟපෑම් කරන ප්‍රවීණ නළුවන්ගෙ තත්වය නම් ටිකක් වෙනස්. නමුත් ඔවුන්ටත් කතාවක පිටපත එක්ක යන්න වෙලා තිබෙන නිසා සමහරක් වෙලාවට ඔවුන්ටත් අර කිව්ව විදිහෙ වැදගැමකට නැති විහිළුත් කරන්න වෙලා. 

ඇත්තටම ඇයි එහෙම වෙලා තියෙන්නෙ? මොකද්ද ඒකට හේතුව? දැන් එහෙම නිර්මාණ හැකියාවක් තිබෙන අය නැද්ද? නැත්නම් අසන්නන් / බලන්නන්ගේ රසවින්දනය මොට වෙලාද?


අර දිවයින ලිපියේ අවසානයේ බර්ටි ගුණතිලක මහතා පැවසූ දෙයක් උපුටා දක්වන්න කැමතියි. 
"අපි එදා කළ විකට වැඩ සටහන් අසන්නන්ට, තවමත් මතකයි. අපේ නිර්මාණ තුළ රසික රසිකාවියන්ට නැවත, නැවතත් මතක්‌ කරමින් සිනාවීමට යමක්‌ තිබුණා. අද තියෙන්නේ වැඩසටහන අහලා එවේලේම කිති කවාගෙන සිනාසෙන්නයි. උපහාසයෙන් හාස්‍ය රසය අත්විඳීම ජනතාවට අහිමි වෙලා. පඳුරක්‌ ගානේ විකට නළුවන් ඉන්නවා. සූරයන් තොරන්න තරග පැවැත්වුණත්, රසිකයන්ට අවශ්‍ය දේ දීමේ ශක්‌තියක්‌ තිබෙන අය නැහැ. පනුවෙක්‌ වගේ දඟලලා කෑගහලා, දඟලලා දෙබස්‌ කීම විකට චරිත නිරූපනයක්‌ නොවෙයි. නිර්මාණ ශක්‌තියක්‌ තමන් තුළ තිබෙන්නට ඕනෑ."
ඔන්න ඕක තමා ඉතින් සිද්ධිය. :(


ලිපිය නම් හුඟක්ම පුංචියි. මේ ටිකත් එක්ක ඉවර කරන්නම්.
මෙන්න මේ ලින්ක් වලින් ගියොත් ඔයාලට "විනෝද සමය" වැඩසටහන් කිහිපයක් බලන්නට පුළුවන් වෙවි.


http://www.sltune.com/browse-vinodha-samaya-videos-1-date.html

http://www.srilankajokes.com/srilankan_comedy.html

Monday, July 25, 2011

Guide To CSE තුළ ඇසූ ප්‍රශ්න හා දුන්නු පිළිතුරු දැන් හැමෝටම බලන්න පුළුවන්

ටික කාලයක් ට්‍රයි කළා මේකට විසඳුමක් හොයන්න. එක ක්‍රමයක් ලැබුනත් ඒකෙ එක එක ප්‍රශ්න තිබ්බ. ඉතින් අන්තිමට මේ වැඩේටත් බ්ලොග් එකකම පිහිට ගත්ත.


Guide To CSE වල ගොඩාක් අය එක එක විදිහෙ ප්‍රශ්න අහල තිබෙනව. බොහොමයක් ප්‍රශ්න එකම වගේ. එකම උත්තරේ යවන්න වෙන ඒව. ඉතින් එහෙම එකම ප්‍රශ්නෙ ගොඩ දෙනෙක් අහනකොට හැම වෙලේම උත්තර දෙන්න යන එකක් කරදරයක් වගේම කාලය අපතේ යැවීමක්.


ඉතින් දැන් ඔබට පුළුවන් බලන්න, ඔබ ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ල අනිත් අයටත් ඒ ප්‍රශ්නෙම ඇවිල්ල තිබෙනවද කියල. එතකොට ඔබට පුළුවන් ඉක්මනින්ම පිළිතුරක් සොයාගන්න.



ඊට අමතරව අනිත් අයට ඇවිල්ල තිබෙන ප්‍රශ්න දිහා බලල ඔබට තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම මෙහෙම ගැටළු මටත් එන්න ඉඩ තිබෙනව, එතකොට උත්තර මේවයි කියලත් හඳුනා ගන්න පුළුවන්නෙ.


ඉතින් මීට පස්සෙ ඔබට ප්‍රශ්නයක් ආවම, ලිපි වල ඒ ප්‍රශ්නෙට උත්තරය තිබෙනවද කියල විතරක් නෙමෙයි, අපේ මේ Q and A අඩවියේ ඔබගේ ගැටළුවට පිළිතුරක් තිබෙනවාද කියලත් පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න. තමුන්ගෙ ලේසියට කියල මොකුත්ම බලන්නෙ නැතිව ප්‍රශ්නය යොමු කරන්න එපා. පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න. මොකද ඒක මටත් ලේසී, සහ හැමෝටම හොඳයි.


මේ වෙනකොට මේ අඩවිය තුළ විශාල ගැටළු ප්‍රමාණයක් අසනු ලැබ හා පිළිතුරු ලබා දී තිබෙනවා. මම ඒවා එකින් එක අරගෙන දැන් Q and A අඩවියට දානවා. ඉතින් අද අසන ඒව අඩවියේ පෙනෙන්න නම් ටික කාලයක් යාවි. නමුත් අසන ප්‍රශ්න වලට පිළිතුරු හැකි ඉක්මනින් ඊමේල් මාර්ගයෙන් ප්‍රශ්නය ඇසූ පුද්ගලයාට යවනවා.


ප්‍රශ්න යොමු කිරීමේදී ඔබගේ නම, ඊමේල් ගිණුම, දුරකතන අංකය ඔබ ලබාදෙනවා. නමුත් ඒ කිසිවක් මෙම අඩවිය තුළ ප්‍රකාශයට පත් වන්නේ නෑ. ඔබගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම සුරැකෙනවා. (වැඩි විස්තර සඳහා Q and A අඩවියේ Privacy Policy එක කියවන්න.)


ප්‍රශ්නෝත්තර අඩවියේ ලිපි ඊමේල් මාර්ගයෙන් ලබාගන්න ඔබගේ ඊමේල් ලිපිනය පහතින් එකතු කරන්න. අඩවියේ RSS Feed එක සමඟ එකතු වන්න.


Delivered by FeedBurner