Showing posts with label get-traffic. Show all posts
Showing posts with label get-traffic. Show all posts

Wednesday, September 2, 2015

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 2

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1 ලිපිය ලිව්වෙ ගොඩක් කාලෙකට ඉස්සර. ඒකෙ ඉතිරි ටික ලියල තිබ්බත් පෝස්ට් කරන්න අමතක වෙලා තිබ්බෙ.
මම තවත් පොත් පිංචක් ලියල ඒකට දානව කියල කිව්වත්, ඒකත් ලියවුනේ නැති නිසා පෝස්ට් එකක් විදිහටම දාන්න හිතුවෙ.



තත්වයෙන් උසස් අන්තර්ගතයක් නිර්මාණය කරන ආකාරය

ඉහත මම කිව්ව වගේ, අන්තර්ගතය උසස් වීමම ඉහළ Search Engine Ranking එකක් එන්න හේතුවක්. හොඳ අන්තර්ගතයක් සහිත ලිපියක් නැති නම් ඔබගේ අඩවියට කිසිදු කෙනෙක් පැමිණෙන එකක් නෑ, ඔබට විශ්වාසවන්තී පිරිසක් එකතු වෙන එකක් නෑ, හොඳ search engine ranking එකක් ලැබෙන එකකුත් නෑ.
ඉතින්, ඔබ වටා පිරිසක් එක් කරගනිමින්, සමාජ ජාල වල බෙදා හදා ගැනීම් එක්ක සබැඳි රැසක් එකතු කරගන්න පුළුවන් වටිනා, ප්‍රයෝජනවත් අන්තර්ගතයක් නිර්මාණය කරන්න සරළ උපදෙස් ටිකක් මෙන්න.

  • සිත්ගනාසුළු දේවල් ලියන්න උත්සාහ කරන්න. මොකද කවුරුත් කැමති නෑනෙ කම්මැලි හිතෙන දේවල් කියවමින් කාලය අපතේ හරින්න.
  • ප්‍රයෝජනවත් දේවල් ලබා දෙන්න. මිනිසුන්ට උදව් කරන්න, ඔවුන්ට ඔවුන්ගේ ගැටළු විසඳා ගත හැකි දේවල් ලබා දෙන්න.
  • ඔබම සමීක්ෂන කරල හොයල බලල අලුත්ම දෙයක් වාර්තා කරන්න. වෙන අයත් දාල තියෙන දේවල් එහෙම්මම දාන්න යන්න එපා. අලුත් දෙයක්, වටිනා දෙයක් නිර්මාණය කරන්න.
  • අධ්‍යාපන වටිනාකමක් සහිත වැදගත් තොරතුරු, පාඩම්, උපදේශන ලිපි ඔබගේ ශ්‍රාවකයින්ට ලබා දෙන්න. යමක් නිවැරදිව සිදුකරනා ආකාරය ඔවුන්ට කියල දෙන්න.
  • විවිධාකාරයේ ලැයිස්තු හදන්න, ගොඩක් අය ඒවගෙ දේවලට බොහොම කැමතියි.
  • වීඩියෝපට පළ කරන්න. වීඩියෝපට කියන්නෙ හරිම පහසුවෙන් බෙදාහදාගැනෙන, සබැඳි විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් දෙයක්. හුඟක් අය කැමතියි විඩියෝපට නරඹන්න. ඒව හරිම පහසුවෙන් ඉක්මනින් ශෙයා කෙරෙන දේවල්.
  • නිර්මාණාත්මක විෂය පරාසයක් තෝරාගන්න. උදාහරණයක් විදිහට ඔබ Photo Editing වගේ දේ වලට දක්ෂයෙක් නම් ඔබට පුළුවන් යම් යම් දේවල් ගැන රූපාකාරයෙන් කියල දෙන්න.
  • විවාදාත්මක කරුණු ගෙනහැරපාන්න. විවාදාත්මක ලිපි ලියන්න. එවිට එයට එකඟ වන අයත් එකඟ නොවන අයත් එකතුවී අදහස් දක්වමින්, හොඳ සංවාදයක් සිදු කරාවි.

Wordpress කොහොමද Optimize කරගන්නෙ.

මේ කොටස නම් අදාල වෙන්නෙ ඔබ විසින්ම හොස්ට් කරන ලද වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක් මත ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය පවත්වාගෙන යනවා නම් තමයි.
ඉස්සෙල්ල කිව්ව වගේ වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කිරීම තමයි ප්‍රධානතම දේ. නමුත් වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන්නන්ට තව වැදගත් දේවල් ටිකක් කරන්න තිබෙනව. මේ වගේම දේවල් තිබෙනව බ්ලොගර් භාවිතා කරන්නන්ටත්.
  • මුලින්ම බ්ලොග් එක හදනකොට වර්ඩ්ප්‍රෙස් තුළින් අපි අපගේ අඩවියේ වෙබ් ලිපිනය කෙසේද කියන එක හදන්න ඕනෙ. http://www.myblog.com ලෙස හෝ http://myblog.com ලෙස. මේ දෙකෙන් එකක් ඔබ මුලින්ම තෝරාගන්න ඕනෙ. ඒක ආපහු වෙනස් කරන්න එපා කවදාවත්. ඒ ඩොමේන් නාමයම තමයි ඔබ Google Webmaster Tools වලට ලබා දිය යුත්තේ.
  • ඊලභට කරන්න ඕනෙ custom permalinks දාගන්න එක. සාමාන්‍යයෙන් වර්ඩ්ප්‍රෙස් වල තිබෙන permalinks structure එක වෙනස් කරන්න ලිපියේ නම, පිටුවේ නම් ලින්ක් එක තුළට එන ආකාරයට. Settings > Permalinks වලට ගිහිල්ල “Post Name” හෝ “Custom Structure” දීල ඒකට : /%category%/%postname%/ ආකාරය දෙන්න. මේක ඉහළ Search Engine Ranking එකක් ලබා ගන්න අතිශයින්ම වැදගත් දෙයක්.
  • ඔබ ලිපි වෙන් කිරීමට Categories භාවිත කරන්නේ නම්, අනිවාර්යයෙන්ම ගැළපෙන keywords සහිත Allias සහිත categories භාවිතා කරන්න.
  • ලිපියේ නම සහ ලිපියේ ලින්ක් එක එකිනෙකට වෙනස් අකාරයට සකසන්න. ඒකෙන් ඔබට පුළුවන් ඔබට යොදාගන්න බැරිඋනු keywords තව ටිකක් ලිපියට ඇතුළු කරගන්න. ලිපියේ ලින්ක් එක පෙන්වන තැන තිබෙන Edit බොත්තම ක්ලික් කරල url එක වෙනස් කරන්න. හැබැයි අදාල වෙන ආකාරයේ ලින්ක් එකක් යොදන්න.
  • Related Posts plugin එකක් භාවිතා කරල කියවමින් පවතින පිලියට ගැළපෙන වෙනත් ලිපිත් කියවන්නාට පෙනෙන්නට සළස්වන්න. ඒ හරහා ඔබට පුළුවන් ඔබගේ අඩවියේ කෙනෙක් ගත කරන කාලය වැඩි කරන්න, ඔවුන් කියවන ලිපි ප්‍රමාණය වැඩි කරන්න.  ඒත් එක්කම ඔබගේ අඩවියේ Bounce Rate එකත් අඩු වෙනවා. ‍YARRP කියන්නෙ ඒකට හොද ප්ලගිනයක්.
  • පිරිසිදු Code හා CSS සහිත සරළ නමුත් හොඳ තීම් එකක් හොයාගෙන භාවිතා කරන්න. Premium Theme එකක් වඩාත් හොඳයි. ඒකට නම් යම් මුදලක් වියදම් කරන්න වෙයි. ඒත් එක්කම, නොමිලේ ලබාදෙන හොඳ තීම් උනත් තියෙනව.
  • සැමවිටම ඔබගේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය, නවතම සංස්කරණයට උසස් කරන්න. පැරණි සංස්කරණ හැක් කරන්න පහසුයි අලුත් එකකට වඩා. ඒත් එක්කම Secure Wordpress වැනි ආකර්ෂණ ප්ලගිනයකුත් ස්ථාපනය කරගන්න.
  • Google Site Map වැනි Site map ප්ලගිනයක් ස්ථාපනය කර ඒ site map එකේ ලින්ක් එක Google Web Master Tools වලට ලබා දෙන්න. ඒතකොට ඔබගේ අඩවියේ පිටු ගූගල් මගින් වඩා කාර්යක්ෂම ලෙස crawl කරනවා.

තවත් දේවල් ඔබගේ හිතෙත් ඇති, ඔබත් දන්නවා ඇති. ඉතින් ඒව ක්‍රියාත්මක කරන්න. ගූගල් කියන්නෙ අන්තර්ජාලය තුල තිබෙන විශාලතම සෙවුම් යන්ත්‍රය. ඉතින් ඒ හරහා තමයි ඔබගේ අඩවියට වැඩිපුරම ට්‍රැෆික් එන්නෙ.


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, December 21, 2013

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1

බ්ලොග් ලියන්නන් ගූගල් ගැන දැන සිටිය යුතු දේවල්
google
ගූගල් එකෙන් යම් අඩවියක් ලිස්ට් කරනකොට ඔවුන් දේවල් දෙකක් ගැන සළකනවා.
  • අදාලත්වය
  • ප්‍රසිද්ධිය
ඔබගේ අඩවිය, ඔබගේ මාතෘකාවට අදාල හොඳ අන්තර්ගතයක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවියක් / බ්ලොග් අඩවියක් කරගන්නනෙ ඔබට අවශ්‍ය වෙන්නෙ, නේද?
ප්‍රසිද්ධිය කියන එක පිටතින් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නෙ වෙනත් අය ඔබගේ ලිපි, ඔබගේ අඩවිය ගැන කතා කරනවිට. ඔබගේ අඩවියට සබැඳි යොදන විට, Social Media වල ශෙයා කරන විටයි.
අදාලත්වය කියන එක ඇතුළත තියෙන දෙයක්. ඒක කරන්න ඕනෙ ඔබයි. ඔබගේ බ්ලොග් අඩවියේ අදාලත්වයක් සහිත ලිපි ලියන්න ඕනෙ. ඔබ කරන්න අවශ්‍ය වෙන්නෙ මෙන්න මේකයි.

වටිනාකමක් ඇති අන්තර්ගතයන් නිර්මාණය කරන්න.

value
හොඳ ප්‍රසිද්ධියක් ලබාගන්න නම් ඔබගේ ලිපි වල අන්තර්ගතය හොඳ වෙන්න ඕනෙ. එතකොටයි වෙනත් අය ඔබගේ ලිපි ගැන කතා කරන්නෙ. ශෙයා කරන්නෙ.

අලුත් දේවල් නිතර පෝස්ට් කරන්න.

වැඩිපුර ලිපි ලිවීම මගින් ඔබ සෙවුම් යන්ත්‍ර වලටත් වැඩිපුර දේවල් ලබා දෙනව ඔවුන්ට ලිස්ට් කරගන්න. ඉතින් එතකොට ඔබගේ බ්ලොග් අඩවියට ලැබෙන ලින්ක් ගණන් වැඩ්වන නිසා තවත් පිරිස ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනවා. වැඩිපුර කියන්නෙ වැල්වටාරම ඕනෙවට එපාවට ලියන එක නෙමෙයි හරිද.

ස්වභාවික වන්න.

ඔබගේ ලිපි කියවන්න පිරිසක් එන්න නම් ඔවුන් ඔබ ලියන මාතෘකාව සම්බන්ධයෙන් සෙවුම් යන්ත්‍ර වල සෙවුම් කරන්න වෙනව. එතකොට ඔවුන් ටයිප් කරන්නෙ මොන වගේ දේවල්ද කියල හිතල බලන්න. ඒ අනුව ලියන්න, ඒ අනුව keywords ලබා දෙන්න.

Keywords සම්බන්ධයෙන් සමීක්ෂණ කරන්න.

Google keyword Tool එක භාවිතා කරල විවිධ keywords වලට තිබෙන ඉල්ලුම ගැන හොයල බලන්න. ඉතින් එතකොට ඔබට පුළුවන් ඊට අදාල ලිපියක් ලියනවිට ඒ keywords යොදල ලියන්න සහ ඒ keywords යොදාගන්න පුළුවන් ලිපි ලියන්න.

Analytics වලින් ලැබෙන තොරතුරු භාවිතයට ගන්න.

මම දන්නව, ඔයාල හැමෝම විවිධාකාරයේ Analytics, Visitor Counters භාවිතා කරනව. ඒවයේ විස්තර බලනව. නමුත් ඒකෙන් ඔයාල ප්‍රයෝජනයක් ගන්නවද? බොහොමයක් දෙනාට තියෙන උත්තරය “නෑ” කියන එක තමයි. ඉතින් ඒ තොරතුරු භාවිතා කරන්න, මොන වචන සෙවුම් කරල ආපු අයද ඉන්නෙ, මොන රටවල් වලින්ද, ඔය වගේ වටිනා තොරතුරු රැසක් එතනින් එකතු කරගන්න පුළුවන්.

ඔබගේ පරණ ලිපි යළි බලන්න.

ඔබගේ බ්ලොග් අඩවියේ Analytics බැලුවොත් ඔබට පෙනේවි, ඔබ කාලෙකට ඉස්සර ලියපු ලිපි තිබෙනව, තවමත් බොහොමයක් පිරිසක් කියවන්න එන. ඉතින් ඒ ලිපි බලල ඒව අලුත් කරන්න, ඒවට තවත් දේවල් එකතු කරල ඒ ලිපි දියුණු කරන්න. හැම වෙලේම ඒ වගේ ලිපි up to date තියාගන්න.

වටින්නෙ ගණන නෙමෙයි තත්වයයි.

quality-assurance

සමහරු හිතනව ලිපි මහ ගොඩක් ලියන එක තමයි සෙනඟ ගෙන්නගන්න තිබෙන හොඳම ක්‍රමය කියල. නමුත් ඒක නෙමෙයි ඇත්ත. එතරම් වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති ලිපි 100ක් ලියල ගෙන්නගන්න පුළුවන් සෙනඟ ප්‍රමාණය වටිනා, ප්‍රයෝජනවත් ලිපි 1-2කින් උනත් ගෙන්නගන්න පුළුවන්. ඉතින් ලිපි මහ ගොඩක් ලියන එක ගැන හිතන්න එපා, ලියන එක ලිපිය උනත් හරියට ලියන්න. නමුත් ඇත්ත, ලිපි ලියන්න ඕනෙ. වටිනා ලිපි ටිකක් වටිනව වැඩක් නැති ලිපි ගොඩකට වඩා.

නොමිලේ සබැඳි ලබාගන්න.

බ්ලොග් එක අනිවාර්යයෙන්ම Google Web Master Tools වලට එකතු කරගන්න. ඒකෙ Crawl Errors වලින් හොයාගන්න පුළුවන් ඔබගේ බ්ලොග් එකේ dead links, invalid links තිබෙනවද කියල. ඒව බලල අනිවාර්යයෙන්ම හදන්න, ක්‍රියාකරන ලින්ක් හරහා ඔබගේ Search Engine Ranking එක ඉහළ යනව පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන එන අයට විශ්වාසයකුත් ඇති වෙනව.

කෙටි ක්‍රම, රැව්වටිලි වලින් වළකින්න.

සෙවුම් යන්ත්‍ර වල ඉහළටම යන්න කෙටි ක්‍රම, පහසු ක්‍රම නෑ. එහෙම ඒව ගැන කියන අයව විශ්වාස කරන්න එපා. වැඩේ හරියට කරල විතරයි මේක දිනන්න පුළුවන්.

ඊලඟ කොටස් වලින් කොහොමද වටිනා, වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කරගන්නෙ, Blogger, Wordpress අඩවියක් හරියට Optimize කරන්නෙ, කියල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.


2 කොටසට යන්න >>


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Friday, December 6, 2013

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" දෙවන සංස්කරණය සකසමින්....

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියල මම පොඩි පොත් පිංචක් ලියල ඔයාලට දුන්න මතක ඇතිනෙ?
දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලල පොත භාගත කරගන්නකො. ඒකෙ පළමු සංස්කරණය මේ වෙනකොට භාගතකිරීම් 850ක් පමණ සිදුකරගෙන තිබෙනවා. මේ ලිපියත් තමයි මගෙ බ්ලොග් එකේ ලිපි වලින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. 
මේකෙ තව දියුණු කිරීම් ටිකක් සහ තව විස්තර ටිකක් එකතු කරල වඩා විස්තරාත්මක තොරතුරු එකතු කරල දෙවන සංස්කරණයක් සිදු කරන්න මම මේ දවස් වල සැලසුම් කරමින් ඉන්නෙ. ඒක අරඹන්න හුඟක් හිතන් හිටියට වඩා කාලයක් ගිය එකට නම් ටිකක් කණගාටුයි. 

හිතනවා ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියල. 

එහෙනම් නවතින්නම්. 

පළමු සංස්කරණයේ පිට කවරය


Tuesday, December 25, 2012

2013 ඔබගේ හොඳම වසර කරගන්න


මේක ඇවිල්ල වැදි බණක්. ඒ උනාට මටයි ඔයාලටයි ඔක්කොටම වටිනව.

2013 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය දියුණු කරගන්න ඕනෙද? 2012 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය ගැන පැහැදීමක් නැද්ද? ඉතින් 2013 අවුරුද්ද හොඳ එකක් කරගන්න උපදෙස් ටිකක් මෙන්න. (අන්න ඒ ටික තමා වැදි බණ)

විවෘත මනසකින් යුක්තව වැඩ කරන්න.
එකම දේ නැවත නැවත කරමින්, නමුත් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. අයින්ස්ටයිනුත් මෙහෙම කියල තියෙනවලු. මේක ඉතින් බ්ලොග් ලියන එකටත් පොදුයි. බ්ලොගිං වලින් දියුණු වෙන්න, ඒකට තියෙන කැමැත්ත වැඩි කරගන්න ඕනෙ. (මේ දවස් වල නැත්තෙ ඒකනෙ) ඉතින් ඔයාලගෙ මනස විවෘත කරල අලුත් විදිහට හිතන්න, අලුත් දේ ලියන්න පටන් ගන්න.

හොඳ මානසික ස්ථාවරත්වයක් ඇති කරගන්න.
ඔයාගෙ බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් ඔයාට ලොකු ඉලක්ක තියෙනව නම් ඔයා බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් බරපතලව හිතන්න ඕනෙ. ෆ්‍රී ඩොමේන් එකක් වෙනුවට ඩොමේන් එකක් සල්ලි දීල අරගන්න. ලස්සන, ඇසට ප්‍රිය මනාප තීම් එකක් දාගන්න බ්ලොග් එකට. දිගු කාලීනව, ඔයාගෙ බ්ලොග් එකට කාලය හා ශ්‍රමය වැය කරන්න. (අන්න ඒක තමයි මමත් කරන්නෙ නැත්තෙ. :( )

ඔයා සාමාන්‍ය ලියන දේවල ලියන්න.
බ්ලොග් එකට ලිපියක් ලියන එක කාලසටහනකට කරන්න. උදා: සතියකට ලිපි දෙකක්. අලුතින් ලිපි එකතු වෙන එක තමයි බ්ලොග් එකක driving force එක වෙන්නෙ. ඉතින් ඒක හරහා ඔයාගෙ බ්ලොග් එකට එන සෙනඟත් වැඩි වේවි. ඔයත් එක්ක සාමාන්‍යයෙන් ඉන්න රසිකයන් ටික හැමදාම ඔයත් එක්ක තියාගන්නත් ඒක හේතු වේවි.

ඔබගේ ලිපි අන්තර්ගතය ඉලක්කගත කරන්න.
ඔබගේ බ්ලොග් අඩවිය වටා එකතු වන කණ්ඩායම සළකා, ඔවුන්ට ගැළපෙන ආකාරයට, ඔවුන්ට ලිපි ලියන්න. ඒ හරහා ඒ කණ්ඩායම ඔබ වටා සැමවිටම තබා ගැනීමට ඔබට හැකිවනු ඇති අතර ඒ හරහාම තවත් එවැනිම කියවන්නන් ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකි වනු ඇත.

මුල් පිටුව තුළ ඇති අන්තර්ගතය හා අඩවිය තුළ සැරිසැරීමට හැකි ආකාර ගැන සැළකිළිමත් වෙන්න.
ඔබගේ බ්ලොග් අඩවියට මුලින්ම පැමිණෙන්නන්ට ඔබගේ අඩවියේ තිබෙන අන්තර්ගතයට ඉතා පහසුවෙන් ලංවීමට හා අඩවිය තුළ ඇති ලිපි පහසුවෙන් සොයා ගැනීමට හැකි විය යුතුයි. අනෙකුත් ලිපි වලට සබැඳියන්, landing pages, මෙනුවන්, ඉතා පිළිවෙළට සකසන්න. මේ හරහා ඔබගේ අඩවියට මුල්ම අවස්ථාවේ එන්නන්, සැමදා එන්නන්, RSS හරහා එකතු වන්නන් බවට ඔබට ඉතා පහසුවෙන් හරවා ගත හැකි වනු ඇත.

ඔබද, බ්ලොග් අඩවිය තුළ සිටින්න.
බ්ලොග් අඩවියේ පැත්තකින්, ඔබගේ ඡායාරුවක් යොදන්න. ඔබ ගැන අඩවිය තුළ විස්තර කියන්න. ඔබ ඔබගේ බ්ලොග් කියවන්නන්ට කතා කරන විඩියෝ දර්ශන එකතු කරන්න. ඔබගේ පුද්ගලත්වය බ්ලොග් අඩවිය තුළ ප්‍රදර්ශනය කරන්න.

ඔබගේ දර්ශනය/විවේචන ඉදිරිපත් කරන්න.
හුඟක් බ්ලොග් ලියන්නන් කරන දෙයක් තමයි තියෙන දෙයක්ම ආපහු ආපහු කියන එක. "සමහරු නම් දන්නව ඇති, ඒත් මේ නොදන්න අයට" කියල ලියනකොට, ඔයාගෙ බ්ලොග් එකට හැමදා එන කෙනෙක්ට එපා වෙන්න ඉඩ තියෙනව. එකම දේ හැමතැනම එකම විදිහට දකින්න කවුරුවත් කැමති නෑ. එහෙම තියෙන දෙයක් ගැන කිව්වත් ඔබගේ හැඟීම්, ඔබගේ විවේචන, දර්ශනය සහිතව ඒ විස්තර කියන්න. වෙන අය වගේ තියෙන දේම කියන්න යන්නෙ නැතිව ඒ දේ ගැඹුරට යන්න, සවිස්තරාත්මකව විමසල විස්තර කරන්න. ඒ හරහා ඔබට ඔබගේ කියවන්නන්ට ලං වෙන්න ඔවුන්ට අලුත් දෙයක් දෙන්න ඔබට හැකි වේවි.

පෙළඹෙන්න.
ඔබ කැමති  විෂයන් ගැන කතා කරන බ්ලොග්, වෙබ් අඩවි නිරික්සන්න, කියවන්න. ඒ අඩවි වල තිබෙන අලුත් දේ ඉගෙනගන්න. ඔවුන් කරන, ඔබව පොළඹවන ක්‍රියාකාරකම් ඔබගේ බ්ලොග් අඩවියට සම්බන්ධ කර ගත හැකි ආකාර ගැන සිතන්න.

ප්‍රසිද්ධ කරන්න.
මොනව උනත් නිකම්ම ඉඳල හරියන්නෙ නෑ. ඔබ ඔබගේ බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කළ යුතුයි. විවිධ ආකාරයෙන් ඔබගේ බ්ලොග් අඩවිය මිනිසුන් වෙත ගෙන යන්න උත්සාහ කරන්න. ඔබ බ්ලොග් අඩවිය සමඟ ගත කරන කාලයෙන් 50%ක් ලිපි ලියමිනුත්, 50%ක් ඒ ලිපි මිනිසුන් වෙත ගෙන යමිනුත් සිටිය යුතුයි.

සංඛ්‍යාංක විශ්ළේෂණය කරන්න
ඔබගේ බ්ලොග් අඩවියට එන අය එන්නෙ කොහොමද, මොන පාරවල් වලින්ද කියල හොයල බලන්න (Blogger Stats, Google Analytics වගේ දේවල් මේකට භාවිතා කරන්න පුළුවන්.) ඉතින් ඒ එන මාර්ග තවත් විවෘත කරගන්නත්, එන්නෙ නැති මාර්ග හදා ගන්නත් මේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 

ව්‍යාපාරික මනසක් ඇති කරගන්න.
මේක නම් අපේ බ්ලොග් කරුවන්ට එතරම්ම ප්‍රයෝජනවත් වෙන එකක් නෑ. නමුත්, බ්ලොග් එක කරගෙන යන අතරෙ ඔයාලගෙ බ්ලොග් එකට එන අය හරහා ආදායමක් ලබා ගත හැකි ක්‍රමයක් සිතන්න. Affiliate Links, ඔයාලගෙම භාණ්ඩ, වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය වගේ දේවල උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. එහෙම කිව්වම affiliate links වලින් හා දැන්වීම් වලින් බ්ලොග් එක පුරවන්න එපා. එහෙම කළොත් නම් ඉන්න ටිකත් ඔයාව දාල යාවි.

කිසිදාක අතාරින්න එපා.
ආසාවෙන් බ්ලොග් එකක් පටන් ගත්තට කීයෙන් කී දෙනාද ඒක දිගටම කරගෙන යන්නෙ???
ඉතින් කවදාවත් අතාරින්න එපා. ටික ටික කරල හෙමීට ඉදිරියට යන්න.

ඔබට සුභ පැතුම්!!!

ඒත් එක්කම,
සුභ නත්තලකටත් මගෙන් ආසිරි!!!


මේ සම්බන්ධ මෙන්න මේ ලිපි හරහාත් ඔයාලට දැනුමක් ගන්න පුළුවන් වෙයි.


මගෙ බ්ලොග් ලිපි ඔබ ලඟටම ගෙන්වාගන්න. ඔබගේ ඊ මේල් ලිපිනය ලබාදෙන්න.


Delivered by FeedBurner

Saturday, August 4, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 4 කොටස (අවසාන කොටස)

මින් පෙර ලිපි තුනක් හරහා අපි සාකච්ඡා කළා වෙබ් අඩවි සාදනකොට බහුතරයක් දෙනා කරන පොඩි පොඩි වැරදි සම්බන්ධයෙන්. ඉතින් මේ ඒ ලිපි පෙළෙහි අවසාන ලිපිය. මුල් ලිපි 3 කියෙව්වෙ නැති අය පහත සබැඳියන්ගෙන් යන්න.
පළමු ලිපිය | දෙවන ලිපිය | තෙවන ලිපිය

ඔන්න අද කොටස.



31. සබැඳියන් පෙන්වන්න.
අඩවියට පැමිණෙන්නාට හැකියාව තිබෙන්න ඕනෙ, ක්ලික් කළ හැකි සබැඳියන් මොනවාද සබැඳියන් නොවන්නේ මොනවාද යන්න තේරුම් ගන්න. සාමාන්‍යයෙන් නම් සබැඳියක් යටින් ඉරකින් හා තද නිල් පැහැයෙන් තමයි දැක්වෙන්නෙ. ඔබගේ අඩවියේ වර්න තේමාවට අදාල ආකාරයට, ගැළපෙන වර්ණ යොදාගන්න.

32. සාමාන්‍ය වැකි වල වර්ණ වෙනස් කරන්නට හා යටින් ඉරි අඳින්නට එපා.
අත්‍යවශ්‍යම අවස්ථාවක හැරුනුවිට සාමාන්‍ය වාක්‍ය කොටස් වල අකුරු වර්ණය වෙනස් කරන්නටවත් යටින් ඉරි අඳින්නටවත් එපා. එමගින් කියවන්නා නොමඟ යා හැකියි. සබැඳියන් මොනවාද යන්න පැහැදිලිව පෙනෙන ආකාරයට වර්ණ හා ඉරි යොදාගන්න.

33. ක්ලික් කරන ලද සබැඳියන් වල වර්ණය වෙනස් කරන්න.
වෙබ් අඩවියක් භාවිතයේදී මේක ඉතා වැදගත්. කියවන්නාට හැකියාව තිබිය යුතුයි, තමුන් බලපු පිටු මොනවාද නොබලපු පිටු මොනවාද යන්න පැහැදිලිව බලාගන්නට. බලපු පිටු වලට යළි යළිත් නොගිහින් සිටීමට හා අඩවිය භාවිතයට මින් ලොකු සහයක් කරනවා.

34. Animated Gif යොදාගන්නට එපා.
දැන්වීම් සඳහා banners යොදාගැනීමට අවශ්‍ය අවස්ථාවක හැරුණුකොට වෙනත් ස්ථාන වල මේවා භාවිතා කරන්නට එපා. එමගින් එම අඩවියට unprofessional ගතියක් එකතු කරනවා සහ භාවිතා කරන්නාගේ අවධානය වෙනතකට යොමු කරනවා.

35. රූප සඳහා “ALT” හා “TITLE” attributes අනිවාර්යයෙන්ම යොදන්න.
එමගින් ඔබගේ අඩවියේ SEO වලට විශාල සහයක් ලබාදෙනවා පමණක් නොව, රූප රහිතව අන්තර්ජාලයේ සැරිසරන්නන්ට, අන්ධ පුද්ගලයින්ට, ඉහළ සහයක් ලබා දෙනවා.

36. ඇසට අපහසු වර්ණ යොදාගන්න එපා.
ඔබගේ වෙබ් අඩවියට ඇවිල්ල විනාඩි 10කින් ඒ පුද්ගලයාට හිසේ කැක්කුමක් ඇහේ අමාරුවක් හැදෙනව නම් ඔබ ආපහු හිතල බලන්න වෙනව ඔබගේ අඩවියේ වර්ණ සංකලනය සම්බන්ධයෙන්. අඩවියේ අරමුණට කියවන්නාව නාභිගත කරන ආකාරයේ හා ඇසට පහසු ආකාරයේ වර්ණ සංයෝජනයක් සිදු කරන්න.

37. Popups භාවිතයෙන් වළකින්න.
මේ කියන්නෙ සියළුම ආකාරයේ popups ගැන. පොප් අප් එකක් කියන්නෙ අඩවියට පැමිණෙන්නාව තරහ ගස්වන ආකාරයේ දෙයක්. මේක කොතරම් කරදරයක්ද කියල හිතාගන්න පුලුවන්නෙ දැනට තිබෙන Popup Blockers මෘදුකාංග ගණන දිහා බැලුවම.

38. Javascript සහිත සබැඳියන් යෙදීමෙන් වළකින්න.
මේවා මගින් සබැඳියන් සමඟ කුඩා javascript කේතයන් දුවවනවා. මේව භාවිතා කරන්න එපා. මොකද හුඟක් වෙලාවට මේවා, භාවිතා කරන්නාට ප්‍රශ්න ඇති කරනවනවා.

39. අඩවියේ Footerහි, අත්‍යවශ්‍ය දේ සඳහා සබැඳියන් යොදන්න.
හුඟක් අය, තමුන්ට අවශ්‍ය දේ සොයාගන්න අපහසු උනාම අඩවියේ ෆුටරය බලන්න පෙළඹෙනවා. ඉතින් අඩවි පරිශීලකයාට අත්‍යවශ්‍යම වෙයි කියල හිතෙන දේ වලට සබැඳියන් ෆුටරයේ යොදන්න. උදා: Contact Us

40. ඉතා දිගු පිටු සකසන්න එපා.
අඩවි පරිශීලකයාට සිද්ධ උනොත් පිටුවේ ඇති දේවල් කියවන්න, ඉවරයක් නැතිව පහලට ස්ක්‍රෝල් කරන්න, අනිවාර්යයෙන්ම ඔහු ඒ අඩවිය අත ඇරල යනව. ඉතින් කළ යුත්තේ කෙටි පිටු සකසමින්, පිටු අතර ගමන් කිරීමේ ක්‍රම පහසු හා වේගවත් කිරීමයි.

41. හරස් අතට ස්ක්‍රෝල් කරන්න පිටු සකසන්න එපා.
දිගු අතට ස්ක්‍රෝල් කිරීම අත්‍යවශ්‍ය වුවත් හරස් අතට ස්ක්‍රෝල් කරන්න නම් කවුරුවත් කැමති නෑ. ඉතින් දැනට බහුලව භාවිතා වන 1024 x 768 pixels resolution එකටවත් ගැළපෙන ආකාරයට අඩවිය සකසන්න.

42. අක්ෂර වින්‍යාස හා භාෂා වින්‍යාස වැරදි තබන්න එපා.
මේක ඇත්තෙන්ම web design වැරැද්දක් නෙමෙයි. නමුත්, වෙබ අඩවියක සමස්ථ තත්වය සඳහා බරපතලවම බලපාන දෙයක්. වෙබ් අඩවිය තුළ තිබෙන වචන හා වගන්ති වල වැරදි නැති බවට සහතික කරන්න.

43. CAPTCHA භාවිතා කරනවා නම් ඒවායේ අකුරු කියවිය හැකි මට්ටමට සකසන්න.
ස්පෑම් කරදර වලින් මිදීමට, බොහොමයක්ම දෙනා තම අඩවි සඳහා captcha භාවිතා කරනවා. නමුත් මේ සමහරක් ඒවා කියවන්න මුළු පවුලම ඇවිල්ල බැලුවත් හරියන්නෙ නැති වෙනවා. මමත් පෞද්ගලිකව සමහරක් අවස්ථා වල අපහසුතාවයට පත් වෙලා තිබෙනවා මේ captcha කියවගන්න අමාරු වෙලා.

ඔන්න ඉතින් ඒ ලිපි පෙළත් අදින් අවසානයි. මින් ඔබ යමක් ඉගෙනගන්නට ඇතැයි සිතනවා.
කොච්චර කිව්වත් මමත් මේ වැරදි කරනවා/කර තිබෙනවා. නමුත් අඩු කරගන්න/වළක්වාගන්න උත්සාහ කරනවා.
ඔබට ජය.





Sunday, June 3, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 3 කොටස

මතක ඇතිනෙ, පසුගිය ලිපි දෙකකින් මම කතා කළා වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් 20ක් ගැන. 
ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ. 

21. Text Navigation භාවිතා කරන්න. 
වෙබ් පිටු හරහා යාමට තිබෙන හොඳම සහ වේගවත්ම ක්‍රමය තමයි මේක. සමහරක් වෙබ් අඩවි පරිශීලකයින් රූප disable කරලයි අන්තර්ජාලය තුළ සැරිසරන්නේ. 

22. ඔබ යම් PDF ගොනුවකට සබැඳියක් යොදනවා නම් ඒක කියන්න. 
ඔබටත් අත්දැකීම් ඇති, ඔබ සබැඳියක් මත ක්ලික් කළාම ඔබට අවශ්‍ය නැති PDF ගොනුවක් ඕපන් කරන්න Adobe Reader එක ඕපන් වෙනකම් ඔබගේ බ්‍රවුසර් එක හිර වෙලා තියෙනව. මේක හරිම නරකයි. ඔබ ලින්ක් කරන්නෙ PDF ගොනුවකට නම් ඒක ඉස්සෙල්ල කියල තියන්න. එතකොට එම ලින්ක් එක ක්ලික් කරන පුද්ගලයාට පුළුවන් ඒක තමුන්ට ඕනෙ විදිහට හසුරවාගන්න. 

23. වෙබ් අඩවියේ versions ගොඩක් දීල අඩවියට එන පුද්ගලයාව අන්දමන්ද කරන්න එපා.
මම හිතන්නෙ දැන් නම් මේක එතාම් අවශ්‍ය නෑ, මොකද හැමෝම දැන් වේගවත් අන්තර්ජාල සබඳතා වලට හිමිකම් කියනව. ඉතින් ඔබට අවශ්‍ය කුමන bandwidth එකක්ද? 56Kbps? 128Kbps? Flash? HTML? වෙබ් අඩවියට එන මනුස්සය කියන්නෙ, මොකක් හරි කමක් නෑ මට අවශ්‍ය තොරතුරු ටික දෙන්න කියලයි. 

24. තොරතුරු අතරතුර දැන්වීම් පළ කරන්න එපා. 
ඔබගේ ලිපි අතරමැද දැන්වීම් පළ කරන එක ඔබගේ දැන්වීම් වලට ලැබෙන ක්ලික් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරනවා තමයි. නමුත් ඒක කෙටි කාලීනයි. දිගුකාලීනව බැලුවොත් ඒක ඔබගේ කියවන්නන් ගණන අඩු කරනවා. තරහ ගිය පරිශීලකයෙක් කියන්නෙ ඉදිරියටත් ඔබගේ පරිශීලකයෙක් නෙමෙයි. 

25. සරළ Navigation Structure එකක් හදන්න.
සමහරක් වෙලාවට සරල බව තමයි හොඳම වෙන්නෙ. මේක හුඟක් මිනිස්සුන්ටත් තේරීම් කරද්දිත් වලංගුයි. ඔබගේ වෙබ් අඩවියට සරළ හා පිළිවෙලට ඇති Navigation Structure එකක් හදන්න. ඔබගේ අඩවිය තුළ සැරිසරන්නාට සංකීර්ණ දේවල් දීල එයාව අවුල් කරන්න ඕනෙ නෑනෙ. 

26. හැඳින්වීම් දාන්න එපා. 
මේ කියන්නෙ වෙබ් අඩවියට ඇතුළු වෙනකොට මුලින්ම එන්න දාන Intros ගැනයි. හුඟක් අය කැමතියි, තමුන්ගෙ වෙඑබ් අඩවියට කවුරුහරි එනකොට, මේ අඩවිය මොන වගේ එකක්ද කියල ලස්සන ෆ්ලෑෂ් ඇනිමේෂන් එකක් එහෙම දාල, කියන්න. අඩවියට පිවිස්සෙන්නාට අනවශ්‍ය දේවල් ඕනෙ නෑ, එයාට ඕනෙ කරන තොරතුරු ටිකයි එයාට ඕනෙ. 

27. Front Page භාවිතා කරන්න එපා. 
මේක සියළුම බාල ගණයේ HTML Editors වලට අදාල වෙනවා. එයාල පෙන්නනව එබ් ඩිසයින් ගොඩක් පහසු කරනව කියල, නමුත් අවසාන ප්‍රථිඵලය වෙන්නෙ ඉතාම නරක විදිහට හැදුනු කෝඩ්ස් ටිකක්. සමහර බ්‍රවුසර් සපෝට් කරන්නෙ නෑ, වැරදිත් තිබෙනව. 

28. ඔබගේ අඩවිය හැම බ්‍රවුසරයකම හරි හැටි ක්‍රියාත්මක වන ලෙස සකසන්න.
හැම බ්‍රවුසරයක්ම හදල තියෙන්නෙ සමානවෙ නෙමෙයිනෙ. ඒ ඒ එව සමානව නෙමෙයි CSS හෝ වෙනත් භාෂා පරිවර්තනය කරගන්නෙ. ඔබ කැමති උනත් අකමැති උනත් ඉතින් ඔබට සිද්ධ වෙනවා, ඔබගේ අඩවිය විවිධ වෙබ් බ්‍රවුසර වල හරි හැටි ක්‍රියාත්මක වෙනවද කියල පරික්ෂා කරල බලල අවුල් තිබෙනව නම් සකසන්න. නැත්තම් වෙන්නෙ ඔබගේ අඩවියට මිනිස්සු එන එක අඩු වෙන එකයි. 

29. සබැඳියන් තුළ Anchor Texts යොදාගන්න
පිටුවක් ඇතුළෙ ලින්ක් දානකොට ඒ ලින්ක් එකෙන් යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවෙන වචනයක දෙකක විස්තරය තමා මේ ඇන්කර් ටෙක්ස්ට් කියන්නෙ. තමුන් මේ ලින්ක් එක ක්ලික් කළාම යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවන්නා දැන සිටීම ඔහුට ලොකු පහසුවක් වෙනව, මොකද, නිකම්ම Click Here කියල දාන එක එතරම්ම සාර්ථක නෑ. ඒත් එක්කම ඒක SEO වලටත් ගොඩක් හොඳයි. 

30. සබැඳියන් සඟවන්නට එපා
Anchor Text යොදනවාට අමතරව කියවන්නාට හැකියාව තිබිය යුතුයි මේ ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසුව තමන් යන්නෙ කොහෙටද කියල Browser එකේ Status bar එකේ පේන්න. ඒ කිව්වෙ ලින්ක් එකේ URL එක ඔබ නොසැඟවිය යුතුයි. ඒ සබැඳියන් Affiliate Link නිසා හෝ වෙනත් හේතුවක් නිසා හැංගුවොත්, කියවන්නාට ඔබ ගැන තිබෙන විශ්වාසය පලුදු වෙන්න ඒල හේතු වේවි/

තවත් දේවල් ටිකක් එක්ක ඊලඟ ලිපියෙන් හමු වෙමු.

Saturday, April 28, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 2 කොටස

මතක ඇතිනෙ ගිය සතියෙ ලිපියෙන් කතා කළා මේ සම්බන්ධ දේවල් 10ක් ගැන. කියෙව්වෙ නැති අය මෙතනින් ගිහිල්ල කියවන්න. ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ.


11. ඔබට ශබ්ද ගොනුවක් වාදනය අත්‍යවශ්‍ය නම් එය වාදනය ඇරඹීම භාවිත කරන්නාට කරන්නට දෙන්න.

සමහරක් අවස්ථා වලදි ඔබට යම් දබ්ද පටයක් වාදනය කරවීම අත්‍යවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා. කවුරුන්හෝ පවත්වන කතාවක්, ගීතයක්, වගේ දෙයක්. ඒකට කමක් නෑ, නමුත් අනිවාර්යයෙන්ම ඒක වාදනය කරවීමේ අයිතිය වෙබ් අඩවියට පැමිණෙන්නාට ලබා දෙන්න. ඔහුටම Play බොත්තම ඔබන්නට ඉඩ දෙන්න. 

12. වෙබ් අඩවිය විවිධ Badges වලින් පුරවන්න එපා. 
මේ බැජ් කියල කිව්වෙ විවිධ Networks, Communities වල Logos වැනි දේවල්. මේව තමයි යම් වෙබ් අඩවියක් unprofessional කියල පෙන්වන ප්‍රධානම දේවල් වලින් ටිකක් වෙන්නෙ. ඒ වගේ දේවල් පොඩියට අයිනකින් පමණක් දාන්න. ඒව විතරක්ම නෙමෙයි, ඔබ ලැබූ Awards වගේ දේවල් සම්බන්ධ බැජ් උනත් එච්චරයි, ඒ වගේ දේවල් නම් About Us වැනි පිටුවේ පමණක් යොදන්න. 

13. වෙබ් අඩවියට යන්නට පෙර තවත් නිවෙස් පිටුවක් භාවිත කරන්න එපා. 
සමහර වෙබ් අඩවි වල ඔබ දැකල ඇති අඩවියට ගියාම පොඩි විස්තරයක් නැත්තම් ලොකු රූපයක්/ රූප කිහිපයක් ඇති පිටුවක් ලැබෙනව, ඒකෙ තියෙන ලින්ක් එකක්/බොත්තමක් ක්ලික් කළාම තමයි හරි අඩවියට යන්නෙ. හුඟක් අය හිතනව එහෙම කළාම වෙබ් අඩවියට ලස්සනක් එකතු වෙනවා කියල. වෙන්න පුළුවන්, නමුත් ඒ එක්කම ඔබ අඩවියට එන්නාගේ තරහ අවුස්සනව. ඔබගේ අඩවියේ අන්තර්ගතයට යන්න තිබෙන පියවර ගණන අඩු වෙන්න අඩු වෙන්න තමයි ඔබගේ අඩවියට මිනිස්සු කැමති වෙන්නෙ. 

14. ඔබ සමඟ සම්බන්ධ විය හැකි මාර්ග දක්වන්න අමතක කරන්න එපා.

වෙබ් අඩවියේ තිබෙන දේ සම්බන්ධව කවුරුන්හෝ සමඟ සම්බන්ධ වෙලා විස්තර දැන ගැනීමට නොහැකි වෙබ් අඩවියක් තරම් නරක වෙබ් අඩවියක් නම් නෑ. ඒක අඩවියට එන අයට විතරක් නෙමෙයි, ඔබටත් ගොඩක් පාඩුයි. ඔබට වාසියක් සැළසෙන දෙයක් ඔබට වැදගත් වන තොරතුරක්, දැනගැනීමට තිබෙන අවස්ථාවක් ඔබ නැති කරගන්නවා පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන අනිත් අයට තිබෙන විශ්වාසයත් අඩු වන්නට මෙය හේතුවක් වනවා.

15. Back බොත්තමේ ක්‍රියාකාරිත්වය වළක්වන්න එපා. 

මේක භාවිතයේ පහසුව පෙන්වන සරළම දෙයක්. කුමන හේතුවක් නිසාවත් බැක් බොත්තම ඔබන්නට තිබෙන අවස්ථාව අහුරන්නට එපා. නව වින්ඩෝවක් විවෘත කිරීම මගින් මෙය සිදු වෙනවා. සහ ජාවාස්ක්‍රිප්ට් මගිනුත් මෙය සිදු කළ හැකියි.

16. Blinking Texts භාවිතා කරන්න එපා. 
නිවෙන පත්තුවෙන දේවල් වල කාලෙ ඉවරයි. ඔබ ඉන්නෙ 1996 නෙමෙයි. ඉතින් දැන් මේ ආකාරයේ දේවල් භාවිතා කරන්න එපා.

17. සංකීරණ URL Structures භාවිතා කරන්න එපා.
සරළ, keywords මූලික කරගත් URL structure එකක් භාවිතා කරන්න. මෙමගින් ඔබගේ අඩවියේ Search Engine Ranking එක වැඩි වෙනවා පමණක් නොවෙයි, අඩවියට පැමිණෙන්නාට ඒ ඒ පිටු වලට යන්නට පෙර ඒවායේ තිබෙන්නේ මොනවාද යන්න ගැන වටහා ගන්න ඉඩක් ලැබෙනවා. 

18. HTML වෙනුවට CSS භාවිතා කරන්න. 

ඉස්සට HTML භාවිතා කරල කරපු හුඟක් දේවල් දැන් ඊට වඩා පහසු හා දියුණු ලෙස CSS භාවිත කරල කිරීමේ හැකියාව තිබෙනව. HTML එක්ක CSS එකතු කරගෙන ඔබගේ වෙබ් අඩවිය වඩා වේගවත් හා ශක්තිමත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. සහ CSS මගින් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයකුත් ලබා දෙනවා.

19. ඔබගේ අඩවියට පැමිණෙන්නන්ට අඩවිය තුළ සෙවුමක් කරන්න හැකි විය යුතුයි. 

මේ නිසා තමයි සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලය තුළ විප්ලවයක් ඇති කළේ. ඔබගේ අඩවිය තොරතුරු වලින් පිරී තිබෙන්නක් නම් අනිවාර්යයෙන් මෙය අත්‍යවශ්‍යයි. වෙබ් අඩවි පරිශීලකයාට පහසුවෙන්ම ඔහුට අවශ්‍ය දේ සොයා ගත හැකි විය යුතුයි.

20. Drop Down Menus අවම කරන්න. 

සමහරක් වෙලාවට නම් මෙය අවශ්‍ය වෙනවා. නමුත් සමහරක් වෙලාවට නම් මෙය නරකයි. මොකද කිව්වොත් පරිශීලකයාට කෙලින්ම පහසුවෙන්ම වෙබ් අඩවියේ ඇති දේ දැක ගත හැකිවිය යුතුයි, වෙබ් අඩවිය තුළ පහසුවෙන් එහා මෙහා යා හැකි විය යුතුයි. Drop Down මෙනු වල කොටසක් සැඟවී තිබෙන නිසා සමහරක් අවස්ථා වල වෙබ් අඩවිය තුළ සැරිසරන්නා අන්දමන්ද විය හැකියි.

එහෙනම් මේ ලිපිය මෙතනින් අදටත් මතු සම්බන්ධයි... 
ඔබගේ අදහස් දක්වන්න.

Sunday, April 22, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්

වෙබ් අඩවි හදනකොට හුඟක් අය කරන විවිධාකාරයේ අත්වැරදීම් තිබෙනව. ඉතින් අපි කතා කරමු. මොනාකාරයේ වැරදිද අපි කරන්නෙ කියල. ඇත්තෙන්ම කිව්වොත් අපි බලමු හරි විදිහට කරන්නෙ කොහොමද කියල. මේ බොහොමයක් දේවල්, බොහොමයක් අඩවි වලට අදාලයි. සමහරක් ඒව නම් සාමාන්‍ය දැනීම, සමහරක් නම් එක පාර හිතෙන්නෙ නැති ඒව. අපි කතා කරන්නෙ වෙළඳ අඩවි, බ්ලොග් හැම එකක් ගැනමයි.



1. අඩවියට පැමිණෙන්නා අඩවිය කුමක් පිළිබඳවද යන්න ක්ෂණිකව දැන ගත යුතුයි.

අවධානය කියන්නෙ අන්තර්ජාලය තුළ තිබෙන වටිනාම වස්තුවක්. අඩවියට එන පුද්ගලයාට බැරි නම් ඒ අඩවිය තියෙන්නෙ මොකක් ගැනද කියල තේරෙන්නෙ නැති නම් ඒ ආපු පුද්ගලයා කෙලින්ම ආපහු හැරිල යනව. ඔබගේ වෙබ් අඩවිය තිබෙන්නෙ මොකක් සම්බන්ධයෙන්ද කියල එන පුද්ගලයාට ක්ෂණිකව පණිවිඩය දෙන්න ඔබගේ වෙබ් අඩවියට හැකි විය යුතුයි.

2. අන්තර්ගතය උඩින් යන්නට හැකි විය යුතුයි.
තේරෙන්න කිව්වොත් skim කරන්න පුලුවන් වෙන්න ඕනෙ. මේ පොතක් නෙමෙයිනෙ, අන්තර්ජාලය තුළ තිබෙන එක් වෙබ් අඩවියක්. ඉතින් ලොකු ලොකු පරිච්ඡේද අමතක කරන්න. මමත්, හුඟක් අයත් ලොකු ලොකු ඡේද තිබෙන වෙබ් අඩවි වලට අකමැතියි. උඩින් කියවන් ගිහිල්ල මොනවද තියෙන්නෙ කියල තේරුම් ගන්න පුලුවන් නම් කවුරුත් කැමතියි. කියවන්නාට, තමුන් කියවන දේ පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් ආකාර වලින් තොරතුරු ලබා දෙන්න. උදා: bulleted list, numbered lists, headers, sub headers.

3. කියවන්න අමාරු අමුතු අමුතු ෆොන්ට්ස් දාන්නෙපා.
මේකත් හුඟක් අය කරන වැඩක්. ලස්සන කරන්න කියල එක එක විදිහෙ fancy fonts භාවිත කරනව. ඇත්ත. සමහර ෆොන්ට් මගින් ඔබගේ අඩවියට ලස්සනක්, ගාම්භීර පෙනුමක් ලබාදෙන්න ඉඩ තිබෙනව. නමුත් ඒක කියවන්න අපහසු නම්??? ඔබගේ ප්‍රධාන අරමුණ යම් තොරතුරක්, පණිවුඩයක් ලබාදීම නේද? ඉතින් ඔබ කියන දේ එන කෙනාට කියවන්න අමාරු නම් වැඩක් තිබෙනවාද? එන අය කියවන්න කැමති, ඒ දේ කියවන්න පහසු ලෙස තිබෙනවා නම් පමණයි.

4. ඉතා කුඩා අකුරු ප්‍රමාණ භාවිතා කරන්න එපා.
අංක 3 සම්බන්ධයෙන් කිව්ව දේවල් ටිකම මෙතනටත් අදාල වෙනවා. කියවන්නාට පහසු ලෙස අපි අපේ අඩවියේ අන්තර්ගතය ලබා දිය යුතු වෙනවා. දැන් අප භාවිතා කරන වෙබ් බ්‍රවුසර් වල සූzම් පහසුකම් තිබෙනවා, නමුත් කියවන්නාට එය භාවිතා කරන්නට සිතු උනොත්, බොහෝවිට ඒ එම පුද්ගලයා ඔබගේ අඩවියට එන අවසන් අවස්ථාව වීමට ඉඩ තිබෙනවා.

5. නව බ්‍රවුසර් පැනල (windows) විවෘත කරන්න එපා.
මේකත් ගොඩක් අය කරනවා. අඩවියෙන් පිටත සබැඳියක් විවෘත කරන විට නව වින්ඩෝවක් විවෘතව ඒක තුළ එම සබැඳිය විවෘත වෙන්නට සකසනවා. ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? ඔබගේ අඩවියට පැමිණි පුද්ගලයා පිටට යන්නට නොදී නවත්වා ගැනීම. මේක හරිම නරක වැඩක්. මමත් මේක ඉස්සර කළා, නමුත් දැන් නෑ. ඔහුට ඉඩ දෙන්න මොකද්ද කරන්න ඕනෙ කියල. ඔබගේ අඩවිය ඔහුට/ඇයට අවශ්‍ය නම් එයාම ඒ සබැඳිය වෙනත් වින්ඩෝවක/ටැබ් එකක ඇර ගනීවි. අනික, නැත්තම් මොකටද බ්‍රවුසර් එකක ලොකු Back බොත්තමක් තිබෙන්නෙ?

6. බ්‍රවුසර් වින්ඩෝව Resize කරන්න එපා. 
ඔබගේ අඩවියට එන පුද්ගලයාට ඕනෙ විදිහට වැඩ කරගන්න ඉඩ දෙන්න. ඔබ බ්‍රවුසර් වින්ඩෝවේ ප්‍රමාණය වෙනස් කළොත් ඒක වෙබ අඩවියට එන පුද්ගලයාට අපහසුතාවයක් වෙන්නට පුලුවන්. ඉතින් ඒක වෙන්න දෙන්න එපා. ඔබට පෙනි පෙනිම ඔබගේ අඩවියට එන කෙනෙක් නැති වේවි.

7. අඩවියේ ලියාපදිංචි වෙන්න බල කරන්න එපා.
කෙනෙක් අන්තර්ජාලය තුළ සැරිසරන්නෙ යමක් හොයාගන්න. ඉතින් අත්‍යවශ්‍යම නම් පමනක් හැර වෙබ් අඩවියන එන පුද්ගලයාගේ ඉමේල් ලිපිනය හා වෙනත් තොරතුරු ඉල්ලල කරදර කරන්න එපා. එහෙම කරන්න තරම් ඔබේ අඩවියේ තිබෙන තොරතුරු වටින්නෙ නැතිනම් ඔහු කවදවත් ආපහු එන එකක් නෑ. නමුත් තොරතුරු ටික වටිනව නම් ඔබේ අඩවියේ ලියාපදිව්චි වෙන්න කෙනෙක් පසුබට වෙන එකක් නෑ.

8. අඩවිය තුළ ලියාපදිංචි වන්නාගේ අවසරයක් රහිතව, ඔහුව කිසිම දේකට Subscribe කරවාගන්න එපා.
මේකත් අපේ හුඟක් අය කරනව මම අත්දැකල තිබෙනව. එහෙම කරල නම් කවදාවත් ඔබට යාළුවො හදාගන්න නම් බැරි වේවි. මොකද ඔවුන්ට ඒක කරදරයක්, හිසරදයක් වෙන නිසා. ඔවුන්ට ඕනෙ නම් පමණක් subscribe වෙන්න ඉඩ දෙන්න.

9. අනවශ්‍ය ලෙස ෆ්ලෑෂ් ඇනිමේෂන් භාවිතා කරන්න එපා.
ඔබගේ වෙබ් අඩවිය ලෝඩ් වෙන්නට ගත වන කාලය ඉතා විශාල වශයෙන් වැඩි කිරීමට අමතරව, එමගින් සමහරක් පැමිණෙන්නන් තරහ ගස්වන්නට එමගින් ඉඩ තිබෙනවා. සාමාන්‍ය HTML, PHP, JScript, DHTML, වැනි දේවල් ව්අලින් දෙන්නට බැරිම දේවල් පමණක් ෆ්ලෑෂ් මගින් දෙන්න. නමුත් දැන් නම් ෆ්ලෑෂ් කියන එක ටික ටික භාවිතයෙන් ඉවත්වේගෙන යනවා. දැන් JQuery වැනි දේවල් වලින් ඉතා පහසුවෙන් පෙරදී ෆ්ලෑෂ් භාවිත කර කරනු ලැබූ දේවල් කළ හැකියි.

10. සංගීත වාදනයන් යොදන්න එපා.
ඉස්සර හැම කෙනෙක්ම වගේ තමන්ගෙ වෙබ් අඩවියේ පසුබිම් සංගීතයන් වාදනය වෙන්නට සැළැස්වුවා. නමුත් ඔවුන්ට වැරදිලා. දැන් නම් කිසිදු සාර්ථක වෙබ් අඩවි නිර්මාණකරුවෙක් එහෙම කරන්නෙ නෑ. එමගිනුත් 90%ක්ම වෙබ් අඩවියට පැමිණෙන්නන් තරහ ගස්වනවා. ඔවුන් යළි එම අඩවියට පැමිණීම නවත්වනවා.

එහෙනම් තවත් "වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්" ටිකක් එක්ක ඊළඟ ලිපියෙන් හමුවෙමු...

Saturday, February 4, 2012

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" පළමු සංස්කරණය නිකුත් කෙරේ

කට්ටියට මතක ඇති මම පොඩි පොත් පිංචක් හදල ඔයගොල්ලන්ට දුන්න "ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියන නමින්. ඒක ඔයාලට ලබාදුන්නේ, මගෙ බ්ලොග් එකේ 2010 අන්තිම ටිකේ ලියපු ලිපි ටිකක තිබුණු අන්තර්ගතය භාවිතා කරලයි. මේ වෙනකොට ඒක 441 වතාවක් කට්ටිය භාගත කරගෙන තිබෙනවා.
ඉතින් ඒකට අදහස් දුන්න කියවපු සමහරක් දෙනා. පොඩි පොඩි අවුල් ටිකකුත් තිබුන කිව්ව. ඉතින් මම මේ දවස් ටිකේ ඒකෙ ඒ තිබ්බ අවුල් ටිකක් හදල අලුත් සංස්කරණයක් ලෙස ඒ පොතම දැන් ඔබ වෙත ලබා දෙනවා. 

ලොකු වෙනස්කම් වෙලා නෑ. වෙනත් වෙබ් අඩවි වලට දීල තිබුණු සබැඳි සමහරක් වැඩ කරන්නෙ නෑ කියල තිබුණු නිසා හැම සබැඳියක්ම සමඟ ඒ වෙබ් පිටුවේ ලිපිනය වෙනමම දැම්ම. පොඩි පොඩි වැරදි ටිකක් හා formatting දෝෂ ටිකක් හැදුව. ඉතින් මුල් එක භාගත කරගත්තු අයට ඒකෙ වැඩ කළේ නැති සබැඳි බලාගන්න ඕනෙ නම් මේකත් භාගත කරගන්න. 
මේක කියෙව්වෙම නැති අයට ආරාධනා කරනවා කියවල බලන්න. මම හිතනව, ඔබට පුළුවන් වේවි යම් යම් ප්‍රයෝජනවත් දේවල් ටිකක් එකතු කරගන්න. 
මේ පොත පිටු 26කින් සමන්විතයි. සරළ සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.

මේක තියෙන්නෙ PDF ගොනුවක් විදිහට. ඒක RAR Archive එකක් විදිහට මුරපදයක් යොදල ZIP Archive එකක් ඇතුළෙ දාල තියෙන්නෙ. ඒක ඇතුළෙ තියෙන Read Me එකේ මේ ලිපියට සබැඳියක් තිබෙනවා. ගොනුවේ ප්‍රමාණය වෙන්නෙ 1.21MB පමණයි. 

මෙන්න බාගන්න ලින්ක් එක. 
http://www.mediafire.com/?gn0jzfdb8e1tecr

මුරපදය වෙන්නෙ "madhawaweblog.blogspot". (Double Quotes නැතිව.)

 ඉතින් අලුතින්ම මේක කියවන අය, කියවල බලල අදහස් කියන්නකෝ.

මේ වගේම තවත් දේවල් ගැන විස්තර ඇතුළත් තවත් පොත් පිංචක් ඔබ වෙත ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. (තාම ලියන්න පටන් ගත්තෙවත් නෑ හොඳේ.)

Tuesday, December 27, 2011

ඔබගේ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න වසර අවසානය යොදාගන්නේ කොහොමද?


මේ වසර අවසාන නිවාඩුවෙ, ඔබ මොන ආකාරයේ බ්ලොග් ලියන්නෙක් වෙන්නද හිතන් ඉන්නෙ?
තමන්ගෙ බ්ලොග් එක තව ටිකක් වැඩි දියුණු කරගන්න හිතාගෙන ඉන්නවද, නැත්තම් බඩ පැලෙන්න කනවද? :D

Monday, November 28, 2011

හිත ඇදිල යන මාතෘකාවක් ලිපියට දාන්නෙ කොහොමද

අපේ බ්ලොග් කියවන්නො හුඟක් අය කාර්යබහුලයි ගොඩක්. බ්ලොග් එකක් දෙකක් කියවන්න එන්න වෙලව හොයාගන්නෙත් සමහරු අමාරුවෙන්.
ඉතින් ඔබටත් ඒ අයගේ අවධානය ගන්න තරඟ කරන්න වෙලා.
එහෙම නිකම්ම කරන්න බෑනෙ. ඉතින් ඔබට සිද්ධ වෙනව කියවන්නන්ගේ අවධානය දිනාගන්න වැඩ කරන්න. ඒක කරන්න මුලින්ම ඔයා කරන්න ඕනෙ හිත ඇදිල යන, ඇහැ ඇදිල යන මාතෘකාවක් ඔයාගෙ ලිපියට යොදන එකයි.
මාතෘකාව තියුණු විය යුතුයි. කියවන්නාට කුතුහලයක් සමඟ ලිපිය මොකද්ද කියල බලන්න හිතෙන එකක් විය යුතුයි.

ඉතින් කොහොමද එහෙම ඒව ලියන්නෙ?

මගෙ බ්ලොග් එකේ පහුගිය කාලෙ ලිව්ව ලිපි වලින් ජනප්‍රියම උනු, වැඩිම පිරිසක් බලපු ලිපි කිහිපයක් ගන්නම්.


ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද? (සිතිවිලි පවුරේ මම ලිව් ලිපියක්)

බ්ලොග් අවකාශයේ ඉතාම ජනප්‍රිය උනු බ්ලොග් වල ඉතාම ජනප්‍රිය උනු ලිපි වල මීට වඩා ගොඩක් ප්‍රභල මාතෘකා තිබෙනවා. මම ඉතින් ගත්තෙ මගෙ චුට්ටි බ්ලොග් එකේ ලිපි ටිකක් තමා උදාහරණෙට. :)

"උදව්වක්", ප්‍රශ්නයක් තිබෙන මාතෘකාවක්, "කොහොමද?", "භාගත කරගන්න" වගේ දේවල් මේ මාතෘකා වල තිබෙනවා පේනවද? 
මේ වගේ මාතෘකා වලින් යම් දෙයක් කියවන්නාට දෙන්නට උත්සහ කරනව කියල ඔබට තේරෙනව ඇති. තවත් උදාහරණ මාතෘකා කිව්වොත්, "ඔබගේ ජංගම දුරකථනය සොරුන්ගෙන් රැකගන්නේ කොහොමද", "පසුගිය වසරේ ජනප්‍රියම වෙබ් අඩවි 10" වගේ ඒව ගත්තැකි.

ලිපියේ මාතෘකාව කෙලින්ම පැවසිය යුතුයි මොනවද මේ ලිපියෙ තිබෙන්නෙ කියල. එතකොට කියවන්නන්ට තීරණයක් ගන්න පුළුවන්, මේ තියෙන දේ අපිට වැදගත්ද, අපි මේක කියවිය යුතුද කියල. 

ලිපිය කියවන්නන්ට අදාලද කියල හිතල බලන්න. සමාජයේ පවතින ප්‍රශ්නයක්, ගැටළුවක් අරගන්න. ඒකට උත්තර හොයන්න, ලිපියක් ලියන්න. ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්, පහසුවෙන් කරන්න පුළුවන්, "මේක කරන්නෙ කොහොමද" ආකාරයේ ලිපියක් ලියන්න. 
උදා: "සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ කෙසේද. පියවරෙන් පියවර සරළව", "ඔබේ බ්ලොග් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද"

ඔබ කිව්ව දේ ලබා දෙන්න

මම දැකල තිබෙනව සමහරු මෙන්න මේක කරන්නෙ නෑ. පෝස්ට් එකේ මාතෘකාව තියෙන්නෙ එකක්. ඇතුළෙ තියෙන්නෙ වෙන එකක්. ඒකෙන් වෙන්නෙ කියවන්නාගේ විශ්වාසය පලුදු වෙන එක. එන අයට තේරෙන්නෙ එකකොට, "මෙයා මේ බොරුවට ලස්සනට මාතෘකාවක් දාල අපිව බොරුවට අද්දගන්නව" කියලයි. ඒක කරන්නෙපා කවදාවත්.
ඔබ දෙයක් කිව්ව නම් ඒක උපරිමයෙන් දෙන්න, උඩින් දුවල නෙමෙයි, පිළිවෙළට ප්‍රමාණාත්මකව, උපරිමයෙන්.
---------------------------------------------------------------------

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

Thursday, October 27, 2011

බ්ලොග් එකට එන අයව ඇදල බැඳල තියාගන්නෙ කොහොමද?

මතකයිනෙ මම දුන්න ඔයාලට ඔයාලගෙ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න උපදෙස් 100ක් තියෙන පොතක්. (ගත්තු නැති අය මෙතනින් ගන්න. සරළ සිංහලෙන් තියෙන්නෙ.) ඉතින් මේවත් ඒ වගේම දේවල් තමයි. 
මිනිස්සු හරිම අකමැතියි, එයාලට ඕනෙ විස්තර, ගොඩක් හොය හොයා ඉන්න එයාල අකමැතියි.  ගූගල් එකේ සෙවුකම් කළාම, ඉතාම ලේසියෙන් ඕනෙ විස්තර තිබෙන අඩවි ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියවෙන්නෙ, පුද්ගලයෙක් එක් වෙබ් අඩවියක ගත කරන කාලය ඉතාම අඩුයි කියන එක නේද? ඉතින් මේක වළක්වාගෙන තමුන්ට එන visitorsල තමුන්ගෙ අඩවියට ඇදල බැඳල තියාගන්න, එන අය අඩවිය තුළ ගතකරන කාලය වැඩි කරගන්න ඔබ ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය ඉතා හොඳින් සකසා ගත යුතුයි. 

මම දැන් කියන්න යන්නෙ, ඒ දේ කරගන්න, සරළ නමුත් ඉතාම බලවත් පියවර කිහිපයක්. ඒ හරහා ඔබගේ අඩවියට එන කියවන්නන්ගේ බ්ලොග් එක ගැන තිබෙන අදහස හොඳ එකක් කරල, ඔබ තොරතුරු ලබාදෙන ආකාරය වඩාත් ඵලදායී කරල, ඒ හරහා ඔබගේ visitorsල ඔබගේ අඩවියට ඇදල තියාගන්නට ඔබට හැකි වේවි.

මුල්ම තත්පර 10 තමයි වැදගත්ම

ඔයාගෙ අඩවියට එන කෙනෙක් සමහරක් විට වැඩක් නැති අඩවි හම්බෙලා ඒව බලල එපා වෙලා එන කෙනෙක් වෙන්න පුළුවන්. මෙච්චර වෙලා හරියකට හදල නැති, තියෙන අන්තර්ගතය හරියට නැති අඩවි වලට ගිහිල්ල ඔහුට/ඇයට දැන් එපා වෙලා ඉන්නෙ. ඉතින් ඔබේ අඩවියත් එහෙම උනොත්, එයාල ආපු ක්ෂණයෙන් ආපහු යාවි. හුඟක්ම අය මුල් තත්පර 10-20 ඇතුළත ඔබේ අඩවියෙන් පිට වෙලා යාවි. 
නැතිනම් මුලින්ම ආවෙ ඔයාගෙ අඩවියට වෙන්නත් පුළුවන්. එහෙම උනත් අර වගේ අවුල් නම් අනිවා එන අය හැරිල යාවි. 
අන්න ඒකයි කියන්නෙ මුල්ම තත්පර 10 තමා වැදගත්ම කියල. ඉතින් ඒ කාලය පන්නගන්න පුළුවන් උනොත් ඔබට වාසනාව තිබෙනවා ඔහුව/ඇයව තවත් වෙලා රඳවා ගන්න.

විශ්වාසවන්තභාවය ඉතාම වැදගත්

කියවන්නා අඩවිය කෙරෙහි දක්වන විශ්වාසවන්තභාවය ඉතාම වැදගත් වෙනවා ඔවුන්ව අඩවිය හා තබාගන්නට. කියවන්නන්ට අවිශ්වාස බවක් ගොඩනැඟුනොත් ඔවුන් කවදාවත් ආපහු එන එකක් නෑ. බ්ලොග් අඩවිය පසුපස ඉන්නෙ කවුද, ලිපිය පසුපස ඉන්නෙ කවුද කියල ඔවුන්ට පෙන්වීම වැදගත්. 
බ්ලොග් එකේ පෙනුමෙන් මුලින්ම විශ්වාසවන්ත බව දිනාගන්න. හුඟක් බ්ලොග් වල පෙනුම ඉතාම ප්‍රාථමිකයි. බ්ලොග් එකට Professional look and feel එකක් දෙන්න. හොඳ තීම් එකක් දාගන්න. (හොඳ කීවෙ වෛවරණ එකක් නෙමෙයි, Professional පෙනුමක් තියෙන සරළ එකක්.) ඒව මේව ඇඩ් පිරිච්ච, scripts ගොඩක් තියෙන අඩවි වලට ගොඩක් අය කැමති නෑ. 
Professional Header Image එකක් යොදාගන්න අඩවියට. ඔබම හදාගත්තු, අඩවියේ අන්තර්ගතයට ගැළපෙන එකක් වෙන එක තමා ඉතාම හොඳ. ලිපි ඇතුළත තිබෙන රූප පැහැදිලි හොඳ quality එකේ ඒව වෙන්න ඕනෙ. පැහැදිලි බව ඉතාම වැදගත්. පහසුවෙන් අඩවිය පුරා යන්නට (navigation) පැහැදිලි පිරිසිදු ක්‍රමයක් තිබෙන්නට ඕනෙ, අදාල සැබැඳි හරිහැටි යොදන්න. 
ඒත් එක්කම ඉතාම වැදගත් දෙයක් තමයි, හරියට ලියන්න. හොඳ භාෂා විලාසයක් තිබීම ඉතාම වැදගත්. මේ කියන්නෙ ලිඛිත භාෂාවෙන් ලියන්න කියල නෙමෙයි, නමුත් පිරිසිදු, පැහැදිලි, තේරුම් ගැනීමට පහසු විදිහට ලියන්න කියන එක.

සරළ බව තමයි රහස

90%කටම වඩා අය ලිපියක් සම්පූර්ණයෙන් කියවන්නේ නෑ. තැනින් තැන කියවගෙන යමින් ඕනෙ කරන වචන, වාක්‍ය හොයාගන්නව. බොහොමයක් දෙනා පහළට scroll කරගෙන යන්න පවා කැමති නෑ. ලිපිය හුඟක් දිගයි වගේ පෙනුනොත් කියවීම සම්පූර්ණයෙන්ම නවත්වන අයත් ඉන්නව. හුඟක් අය ලිපියෙ අන්තිමට යන්නෙ නැති තරම්. (ඔයාල තාම මාත් එක්ක ඉන්නවද??? :) )
සමීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් වෙබ් අඩවියක් තුළ ගතකරන්නෙ එන අයගෙන් 20% පමණයි කියල හා, Page Break එකෙන් පහළට ගිහිල්ල මොනව හරි ක්ලික් කරන්නෙ තියෙන්නෙ 20%ක් දෙනා පමණයි. ඉතින් ඔබේ ලිපිය දිග වැඩි වෙන්න වැඩි වෙන්න, එන කෙනා ගතකරන කාලය අඩු වෙනවා. 
ඉතින් මොකද්ද මේ කියන්නෙ? මේ කියන්නෙ ඔබගේ ලිපිය පුළුවන් තරම් කෙටියෙන් ලියන්න කියන එක තමා. 
ඒක කරන්නෙ කොහොමද?? 
හරියටම ඕනෙ දේ ගැන කියන්න. වැල්වටාරම් කියන්න යන්නෙපා. අදාල දේ පමණක් ලියන්න. ලිපියේ තිබෙන අන්තර්ගතය, සරළ, සෘජු හා ඉලක්කගත විය යුතුයි. 
ලියන්න, වෙනස් කරන්න, අනවශ්‍ය කොටස් ඉවත් කරන්න, සරළ වෙන්න.

කියවන්න පහසු විදිහට ලිපිය සකසා ගන්න

අඩවියට එන අය තව වැඩි කාලයක් අඩවිය තුළ රඳවාගන්නට, ඔබ ලිපිය පැහැදිලි, කියවීමට පහසු, කියවීමට ආස හිතෙන විදිහට සකසා ගත යුතුයි.
  • අභ්‍යන්තර සබැඳි: ලිපියක් තුළ තිබෙන සබැඳි මත ක්ලික් කිරීමට ඕනෑම කියවන්නෙක් පෙළඹෙනවා. ඉතින් අඩවියේ වෙනත් ලිපි වලටම ලිපිය තුළ සැබැඳි යෙදීම හරහා ඔබට පුළුවන් එන අයව තවත් වෙලා අඩවිය තුළ රඳවා ගන්නට.
  • ඡේද: හරි හැටි ඡේද වෙන් කරල ලියන්න. දිග ඡේද කියවන්නට හුඟක් අය අකමැතියි. එහෙමයි කියල වාක්‍යයෙන් වාක්‍යයෙට ඡේද කඩන්නෙපා. ඒක අරකට වඩා එපා කරපු වැඩක්.
  • එක ඡේදෙකට එක අදහසක්: එක ඡේදෙකට එක අදහස ගානෙ දාන්න. මොකද මුල ටික බලනකොට කියවන්නාට ඕනෙ නැති දෙයක් නම් ඉතිරි ටික කියවන්නෙ නැතිව එයා යන්න යනවා. ඔබ පස්සෙ ලිව්ව දේ වඩා වැදගත් උනත් ඒක අපතේ යනවා.
  • අනු මාතෘකා: ඡේද කඩනකොට හොඳ අනු මාතෘකා දාල ලිපිය වෙන් කරගන්න.
  • බහුමාධ්‍ය භාවිතය: රූප, විඩියෝ ලිපිය තුළ භාවිතා කරන්න. ඒ හරහා කියවන්නන්ව ඇදල තියාගන්න පුළුවන්.
  • ඉස්මතු කිරීම් (Highlight): ඉතාම වැදගත් කොටස් highlight කරල පෙන්නන්න. Bold, Underline, Highlight, font color මේ සඳහා යොදාගන්නට පුළුවන්. ඒ හරහා ලිපියට ලස්සනක් එකතු කරන්නත් ඔබට පුළුවන්. 
  • ලැයිස්තු: ලිපියේ සමහරක් කොටස් ලැයිස්තු විදිහට දාන්න., ඒක කියවන්නාට ඉතාම පහසුවෙක් වෙනවා තේරුම් ගන්න. 
  • වැදගත් වෙනත් දේ: ලිපියට අදාල වෙන වැදගත් දේවල්/ලිපි තිබෙනවා නම් ඒවට අදාල සබැඳි ලිපිය අවසානයේ දාන්න. ඒ හරහා එහ්ටකොට ඔවුන්ට පුළුවන් තවත් වැඩිදුර විස්තර ලබාගන්න. Wordpress වලට තිබෙන Related Posts ප්ලගිනය, එහෙම මේකට කියාපු විසඳුමක්. 
ඉතින් මෙන්න මේ දේවල් ගැන හිතල පොඩ්ඩක් ඔයාලගෙ වෙබ් අඩවිය/බ්ලොග් අඩවිය හදාගන්න පුළුවන් නම් ඔබගේ අඩවියට එන අයව ඔබේ අඩවියත් එක්ක හැමදාම තියාගන්න ඔබට පුළුවන් වෙනවා. 
තවත් මේ වගේ දේවල් ඉස්සරහට බලපොරොත්තු වෙන්න. 

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

Monday, August 15, 2011

මතකද මම දුන්නු E Book එක?

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" කියල E Book එකක මම ඔබට දුන්න මතකද? මම අද නිකමට ගිහිල්ල බැලුව MediaFire පැත්තෙ. පොත කී දෙනෙක් භාගත කරගෙනද කියල බැලුව. 162දෙනෙක් පොත භාගත කරගෙන. සතුටක්, එතරම් ප්‍රමාණයකට පොත කියවන්න හිතුනු එක හා ප්‍රයෝජනවත් උනු එක ගැන.
ඒක ගැන දන්නෙ නැති අය ඉන්නව නම්, මෙන්න මේ සබැඳිය හරහා ගිහිල්ල විස්තර බලල පොත භාගත කරගන්න.






අදහසකුත් දක්වල යන්නකො. 

Sunday, January 30, 2011

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත භාගත කරගන්න

මම ලිව්ව "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" පොත ලබා ගන්න ඇති මගේ පාඨකයින් සමහරෙක්. මගේ ෆීඩ් එකත් එක්ක එකතු වෙලත් ලින්ක් එක ලැබුනෙ දැතිනම් සමාවන්න, දන්නවනෙ මගෙ බ්ලොග් එකේ අවුල් ටිකක් තිබ්බ කියල ඒ කාලෙ.
මෙන්න හැමෝටම අවස්ථාව තියෙනව දැන් ඒ පොත ලබාගන්න, කිසිදු කොන්දේසියක් රහිතව. පොත නොමිලේම ඔබට ලබාගන්න පුළුවන්. 
කරන්න තියෙන්නෙ මෙන්න පහත සබැඳිය තුළින් ගොස් අදාල ගොනුව භාගත කරගැනීමයි.



සබැඳිය: http://bit.ly/inctrfcMH

මුරපදය ලෙස පහත මුරපදය භාවිතා කරන්න.
මුරපදය: madhawasinblog


ගොනුව පිළිබඳ විස්තර

ගොනුවේ වර්ගය: WinRAR Achieve (පොත PDF ගොනුවක් ලෙස පවතී.)
ප්‍රමාණය: 1.95 MB


ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා පොත ලබාගෙන, කියවා, ඔබගේ අදහස් උදහස්ද මට ලබා දෙන ලෙස. මට එතකොට පුළුවන් පොතේ වැඩි දියුණු කිරීම් කරන්න එහෙම.



මගේ ෆීඩ් එකට එකතු වෙන්න මෙතනින් පුළුවන්.