Friday, December 17, 2010

වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කෙසේද ලිපි මාලාව පොතක් වශයෙන්

 ඔන්න එහෙනම් මගෙන් තෑග්ගක් මේ නත්තල්/නව අවුරුදු සමයට.
ඔයාලට මතක ඇතිනෙ මගෙ "ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද?" ලිපි මාලාව?
ඉතින් ඒ ලිපි මාලාවෙ අවසාන ලිපියත් ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සෙ මම හිතුව ඒ ලිපි මාලාව පොතක් වශයෙන් පළ කරන්න.
මේ තමයි මගෙ බ්ලොග් අඩවියෙන් මගේ පාඨකයින්ට ලබා දෙන පළමු තෑග්ග.

හැබැයි පොඩි කොන්දේසියක් උඩ.
මගෙ බ්ලොග් අඩවියේ RSS Feed එකත් එක්ක (FeedBurner Feed) සම්බන්ධ වෙලා එය ක්‍රියාත්මක කරගන්න අයට තමයි මම මේ පොත ලබා දෙන්නෙ.

ඉතින් ඔබට කරන්න තිබෙන්නෙ, පහත තිබෙන text box එකට ඔබගේ මේල් ලිපිනය එකතු කරල මගෙ බ්ලොග් එකේ rss feed එකත් එක්ක එකතු වෙන එකයි.



අදාල දිනට feed එක එක්ක එකතු වී, එය ක්‍රියාත්මක කරගත්ත අයගෙ ලිපිනයන්ට, මම දිනක් ඇතුළත පොත බාගත හැකි සබැඳිය ලබා දෙනවා.
වැඩේට එකඟයිනෙ?
තව දෙයක්. මෙම පොත ඔබට ඕනේම කෙනෙක් එක්ක බෙදාහදාගන්න පුළුවන්. නමුත් කරුණාකරල මගෙ අයිතිය සුරකින්න.


මේ ගැන ඔබගේ අදහස් දක්වල යන්නත් අමතක කරන්න එපා.


UPDATE: 
කොන්දේසි රහිතයි. මෙතනින් ගිහිල්ල බාගන්න. 

Wednesday, December 8, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 7

පළමු ලිපියට මෙතනින් යන්න.
දෙවන ලිපියට මෙතනින් යන්න.
තෙවන ලිපියට මෙතනින් යන්න.
සිව්වන ලිපියට මෙතනින් යන්න.
පස්වන ලිපියට මෙතනින් යන්න,
සවන ලිපියට මෙතනින් යන්න.
අපි අන්තිමට අවසන් කළේ, අංක 80න්. (සාම්ප්‍රදායික ක්‍රම වල)
ඉතින් ඒකෙ තව දෙකක් තිබෙනවා.

81. Press Release එකක් බෙදා හරින්න. ඔබ, ඔබ ලියන විෂය පථය තුළ අලුත් දෙයක් කරනවා නම් ඒ ගැන කියල press release එකක් බෙදාහරින එක හරහාත් ඔබට පොඩි ට්‍රැෆික් එකක් ගෙන්නගන්න පුළුවන්. PRWeb වගේ අඩවියකට ඒ වැඩ ටික භාර දෙන්නත් පුළුවන්. නැතිනම් ඔබම අතින්ම ඒක වෙබ් අඩවිවලට එකතු කරන්න පුළුවන්. (මෙන්න එහෙම එකතු කරන්න පුළුවන් අඩවි ලැයිස්තුවක්.)

82. ඔබගේ වෙබ් අඩවියේ ලිපිනය ඔබගේ ඊ මේල් අත්සනට එකතු කරගන්න. මේකත් ඉතින් හුඟක් අය කරන එකක්නෙ. තමුන්ගෙ අඩවියට ලින්ක් එකක් ඔයාලගෙ e mail signature එකට එක් කලාම ඔබ මේල් එකක් යවනකොට ඒ ලින්ක් එකත් ඒ හැමෝටම යනවනෙ.

මුදල් ගෙවා කළ හැකි දේවල්
මේ කතා කරපුව සියල්ලම වගේ නොමිලේ කළ හැකි දේවල්නෙ. ඒත් තවත් ක්‍රම තිබෙනවා යම් මුදලක් වියදම් කරල කරගත හැකි.

83. Google Adwords භාවිතා කරන්න. Google AdWords කියන්නෙ දැනට තිබෙන විශාලම advertising network එක. ඒකෙන් කරන්නෙ Pay per Click advertising. ඔබට නොමිලේම ඇඩ් සැකසිය හැකියි, නමුත් ඒ ඇඩ් එක මත සිදු කරන ක්ලික් එකකට ගෙවිය යුතුයි. සමහර keywords සඳහා ඉහළ මුදලකුත් සමහර keywords සඳහා ඉතාම කුඩා මුදලකුත් ගෙවීමට සිදුවිය හැකියි. 

84. FaceBook Ads භාවිතා කරන්න.  Facebook Ads කියන්නෙ  දැනට තිබෙන ඉතාම ප්‍රභල දැන්වීම් මාධ්‍යයක්, adwords අරුනම. මොකද මුහුණුපොත තමයි, දැනට තිබෙන විශාලම සමාජ ජාල වෙබ් අඩවිය. මෙහිදී ඔබට පුළුවන් ක්ලික් වලට හෝ 1000 impressions වලට ගෙවන්න. තවත්, ඔබගේ දැන්වීම් පෙන්විය යුතු ප්‍රදේශ/රටවල් සැකසීමත් කළ හැකියි.

85. StumbleUpon Ads භාවිතා කරන්න. ඔබගේ වෙබ් අඩවිය social media වල හොඳින් ක්‍රියායත්මක නම් StumbleUpon ads හොඳ විසඳුමක් වේවි. එක impression එකට ඩොලර් 0.05ක් පමණ ගෙවන්න නම් සිදු වෙනවා. හැබැයි, ඔබගේ අන්තර්ගතයට StumbleUpon Usersල ධනාත්මක ප්‍රතිචාර දැක්වුවොත් ඔබට යම් free traffic ප්‍රමාණයකුත් ලැබෙනවා.

86. Reddit Sponsored links භාවිතා කරන්න. Reddit කියන්නෙත් තවත් Social Bookmarking Site එකක්. ඔබට එහි දැන්වීම් මිලට ගත හැකියි, ඒකෙ usersලට පුළුවන් ප්‍රතිචාර ලබා දෙමින් එය ඉහළ පහළ යවන්න. ඔබේ sponsored link එක Reddit වෙබ් අඩවියේ මුල් පිටුවේ පෙන්වනු ලබනවා.

87. වෙබ් අඩවි වලින් Banner Ads කෙලින්ම මිලට ගන්න. මේක අපේ බ්ලොග් කරුවන් නොමිලේම කරන දෙයක් වෙලා දැන් නම්. ඕනෑම අඩවි හිමියෙක් කැමතියි තමුන්ගෙ අඩවියේ වෙනත් අයෙක්ගෙ දැන්වීමක් පළ කරල කීයක් හරි හොයාගන්න. හැබැයි මේක කරනකොට තමුන්ගේ අඩවියේ අන්තර්ගතයට සමාන අන්තර්ගතයක් තිබෙන අඩවියක තමයි දැන්වීම් පළ කල යුත්තේ. මේ ක්‍රමයේදී, වියදමට සාපේක්ෂව ඔබට ලැබෙන ප්‍රතිලාභය ඉහළයි. ඇයි, ඇඩ් එක දාපු අඩවියට එන අය ඔබගේ අඩවියේ ඇති අන්තරගතයටත් කැමති අයනෙ. ඉතින් අනිවාර්යයෙන්ම ඇඩ් එක හරහා ඔබගේ අඩවියට ඔවුන් එන්න ඉඩ තිබෙනවා.
ඔබ කළ යුත්තේ කෙලින්ම එම අඩවියේ හිමිකරුවා සම්බන්ධ කරගැනීමයි. 

88. Banner ads, Networks හරහා මිලට ගන්න. කෙලින්ම වෙබ් අඩවි හිමිකරුවා හරහා නැතුව අතරමැදියෙක් හරහා ඔබට පුළුවන් දැන්වීම් මිලට ගන්න. BuySellAds.com කියන්නෙ එහෙම network එකක්. මාසිකව යම් ගෙවීමක් කරල ඔබට පුළුවන් වෙබ් අඩවි වල දැන්වීම් මිලට ගන්න.

89. Sponsored Reviews මිලට ගන්න. සමහර අවස්ථා වල. මේ ක්‍රමය ඉතාම සාර්ථකයි, මොකද මෙහිදී ඔබගේ අඩවිය වෙනත් අඩවියක ඇති ලිපියක පෙන්නුම් කරනවා. වෙනත් කෙනෙක් ඔබගේ අඩවිය ගැන ඔහුගේ අඩවියේ ලියනවා. ඒ අඩවියේ පාඨකයින් එතකොට ඒක කියවල ඔබගේ අඩවියට එනවා. SponsoredReviews.com වගේ අඩවියක් හරහා හෝ කෙලින්ම අඩවි හිමිකරුවා සමඟ සම්බන්ධ වී මේ වැඩේ ඔබට කරගන්න පුළුවන්. මිතුරෙක්ගේ අඩවියක් නම් ඉතින් නොමිලේ උනත් වැඩේ කරගන්න පුළුවන්නෙ. 

අන්තර්ජාලයෙන් පිටතදී භාවිතා කළ හැකි ක්‍රම

90. ඔබගේ මිතුරන්ට හා නෑදෑයින්ට ඔබගේ අඩවිය ගැන කියන්න. අනිවාර්යයෙන්ම ඔවුන් එනවා ඔබගේ අඩවිය බලන්න. කට්ටියට ආස හිතෙන දෙයක් තිබ්බොත්, ඔබ අඩවිය කලින් කල යාවත්කාලීන කරනවා නම්, ඔවුන් යලි යලි ඔබගේ වෙබ් අඩවියට පැමිණේවි.

91. ඔබගේ රාජකාරි ස්ථානයේ අයට ඔබගේ අඩවිය ගැන කියන්න. ඔවුනුත් එක්වරක් හරි ඔබගේ අඩවියට ඒවි. ඔබගේ ක්‍රියාකාරකම් (රැකියාවට අදාල දේවල් වගේ) දානවනම් සමහරෙක් යළිත් ඔබගේ අඩවියට එන්න ඉඩ තිබෙනවා.

92. ඔබගේ Business Card එකේ ඔබගේ අඩවියේ ලින්ක් එක දාන්න. ඔබ business cards බහුලව භාවිතා කරන්නෙක් නම් ඔබගේ වෙබ් අඩවියෙ ලිපිනයත් ඒකට දාන්න. ඒ ගැන කැමැත්තක් ඇති වුනු සමහරෙක් ඔබගේ අඩවියට එන්න ඉඩ තිබෙනවා.

93. ඇඳුමක ඔබගේ වෙබ් අඩවි ලිපිනය පෙන්වන්න. T-shirt එකක් Cap එකක් ඔබට ඕනෙ විදිහට මේ කාලෙ හදාගන්න පුළුවන්නෙ. ඉතින් එහෙම එකක් හරහා කැමැත්තක් ඇති නැති හැමෝටම ඔබගේ අඩවිය ගැන කියන්න පුළුවන්.

94. වෙබ් අඩවිය ගැන කියවෙන ස්ටිකරයක් සකසා බෙදාහරින්න. ඉතාම වේගවත් ක්‍රමයක් තමයි මේක නම්. වාහන වල, ගෙයින් ගෙට, පරිගණක වල අලවන්න, බෙදාහරින්න, ඔබගේ නම අඩවියේ ලිපිනය ඇතුළු කරන්න.

95. පුවත් පතක දැන්වීමක් පළ කරන්න. මේකත් හොඳ ක්‍රමයක්, පොඩි මුදලක් ගෙවල පුවත්පතක පොඩි දැන්වීමක් පළ කරන්න ඔබට පුළුවන්. උදාහරණයක් විදිහට, දේශීය පුවත් පිළිබඳව නම් ඔබගේ වෙබ් අඩවිය, පුවත්පතක දැන්වීමකින් හොඳ පාඨක පිරිසක් එකතු කරගන්න පුළුවන් වෙයි. ඔබ පරිගණක සම්බන්ධ දෙයක් සම්බන්ධව නම් ඔබගේ අඩවිය කරන්නෙ, තාක්ෂණික ලිපි සහිත සඟරාවක දැන්වීමක් පළ කරන්න ඔබට පුළුවන්.

Out of the Box ක්‍රම
Out of the Box thinking කියන්නෙ අනිත් අය නොහිතන විදිහට වඩාත් නිර්මාණාත්මකව හිතන එකනෙ. ඒකෙන් මාරම දේවල් කරන්න පුළුවන්. ඔබ තව අලුත් දේවල් හිතන්න. ඒ වගේ සිතිවිලි කිහිපයක් මම කියන්නම්.

96. මෝඩයාගේ දවස වෙනුවෙන් නියම බොරුවක් කරන්න. අප්‍රේල් පළවෙනිදා කියන්නෙ අන්තර්ජාලය තුළ ඉතාම ක්‍රියාකාරී දවසක්. ඉතින් හොඳ විහිළුවක් කරන්න පුළුවන් නම්, වෙනත් අයත් ඔයාගෙ විහිළුවට ඔවුන්ගේ අඩවි, මුහුණු පොත, ට්විටර් හරහා වගේ ලින්ක් කරයි. ඒකෙන් හොඳ ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න පුළුවන්.

97. ඔබ භාවිතා කරන මොනයම්ම හෝ පරිගණකයක Home page එකට ඔබගේ වෙබ් අඩවිය යොදන්න. ටික කාලයක් මේක කරන්න පුළුවන් නම් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි. උදාහරණෙකට, ඔබට පුළුවන් ඔබගේ පරිගණක විද්‍යාගාරයේ සියළුම පරිගණක වල වෙබ් බ්‍රවුසරයේ home page එක ලෙස ඔබගේ අඩවිය එක් කරන්න.

98. වෙනත් තැනක/වෙළඳ ආයතනයක පරිගණක හරහා ඔබගේ වෙබ් අඩවියට ගිහිල්ල ඒක පේන්න තියන්න. කොහේ හරි තැනක (උදා: පරිගණක තිබෙන shop එකක්) තිබෙන පරිගණකයක අන්තර්ජාල පහසුකම් තිබෙනවා නම් එයින් ඔබගේ වෙබ් අඩවියට ගිහිල්ල ඒක එහෙමම තියන්න. එතකොට යන එන අය ඒක දකිනවානෙ.

99. ඔබගේ වෙබ් අඩවිය විකුණන්න දමන්න. ඔබට ඔබගේ වෙබ් අඩවිය විකුණන්න කිසිම ඕනෑකමක් නොතිබෙන්න පුළුවන්. නමුත් ඔබට පුළුවන් Flippa.com වැනි අඩවියක ඔබගේ වෙබ් අඩවිය විකිණීමට දාන්න. කැමැත්තක් ඇති කෙනෙක් ඔබගේ අඩවියට එන්න ඉඩ තිබෙනවා.

100. බොරු හැකර් ප්‍රහාරයක් දියත් කරන්න. මෙන්න නියමම ක්‍රමයක්. බොරුවට ඔබගේ වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයකට ලක් වෙලා කියල පෙන්නන්න. මොකක් හරි පිස්සු text එකක් අඩවියේ දාන්න. දන්නවනෙ ඒ වගේ සිද්දියකදි මාරම ට්‍රැෆික් එකක් එනව කියල.හැබැයි ඉතින් ඒක බොරුවක් කියල දැන ගත්තොත් නම් ටිකක් සවුත්තුව තමා. 

ඔන්න ඉතින් මෙතනින්,  "ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද?" කියන ලිපි පෙළ අවසන් වෙනවා. මම පසුව, මෙම ලිපි පෙළ PDF එකක් ආකාරයෙන් ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා.
කරුණාකරලා ඔබගේ අදහස් උදහස් ලියල යන්න අමතක කරන්නෙපා.

Sunday, December 5, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගොම දෝත



ටිකක් කල් ගියා ඊලඟ කතාව දාන්න. සමාව අවසර. අද කතාව නම් ටිකක් කෙටියි. කමක් නෑ නෙ?

රාහුල පොඩි හාමුදුරුවො තොටගමුවේ පංසලේ ඉන්න කාලෙ, මේ පංසලේ අතවැසි කම් කරපු මෝඩ පහේ තරුණයෙක් හිටිය, නම "සුර දෝතා". මිනිහ අතට අහු වෙන ඕනෙම දෙයක් කන්න නම් රුසිය. හැබැයි කිරි, මී කිරි වගේ ගව කිරි වලින් හදපු කෑම නම් පැත්ත පළාතටවත් ගන්නෙ නෑ. කොච්චර අප්පිරිය කළාද කිව්වොත්, කිරි ගවයෙක් දිහාවත් ඇහැක් ඇරල බලන්නෙ නෑ.
ඉතින් දවසක් රාහුල හාමුදුරුවො, මිදුල අමදිනකොට දැක්ක අයාලේ යන ගවයෙක් දාල ගිහිල්ල තිබ්බ ගොම බෙට්ටක්. මළුවෙ තියෙන ගොම බෙට්ට ඉවත් කරල දාන්න හාමුදුරුවන්ට පුළුවන් උනත් උන්නාන්සෙ එහෙම නොකර සුරදෝතා ගවයින්ට අකමැති බව දන්නා නිසා සුරදෝතා ලවා මේක ඉවත් කරවන්න හිතුවා.
උන්නාන්සෙ ඉතින් සුරදෝතාට කතා කළා.
සුර දෝ තා
වර මෑ තා
ගොම දෝ තා
දම ඈ තා
රාහුල පොඩි හාමුදුරුවො කවියෙන්ම තමා ඒක කළේ. දන්නවනෙ ඉතින්, උන්නාන්සෙ පොඩි කාලෙ ඉඳලම කවියට දක්සයි කියල.
මේක ඇහිල ඉතින් මේ තරුණයා හාමුදුරුවො ලඟට ආව. ගවයන් පවා අප්පිරිය ඔහු, මේ ගොම බෙට්ටට කොහොම ලං වෙන්නද කියල බිම හාර හාරා කල්පනා කළා.
ඒත් ඉතින් හාමුදුරුවො කිව්ව දේ නොකර ඉඳල හතර අපායෙ වැටෙන්නද, බෑ නෙ.
මොනව කරන්නද, ඉතින් සුර දෝතා අප්පිරියාවෙන්ම ගොම ගොඩ අතට අරගෙන ඉවත් කළා.අනේ එදා ඉඳල දවස් තුනක් යනකම්ම මේ මනුස්සය අත් දෙකෙන් අල්ලල කෑමක් නම් ගත්තෙ නෑ.
හතරවෙනි දවසෙ මොකද උනේ!!!!!
පැදුරටත් නොකියා මිනිහ පංසලෙන් මාරු වෙලා ගිහිල්ල.

Tuesday, November 16, 2010

උදව්වක් හා ඔබගේ අදහස් අවශ්‍යයි

මට වෙබ් ඉඩක් ගන්න ඕනෙ කරල තිබෙනවා. ඉතින් මම දන්නව අපේ සහෝදර බ්ලොග් කරුවන් බොහෝ දෙනෙක් තමුන්ගේම වෙබ් ඉඩකඩ වල තමුන්ගේ පෞද්ගලික අඩවි හා බ්ලොග් අඩවි පවත්වාගෙන යනවා කියල.
ඉතින් මට ඔයාලගෙ උපදෙස් ඕනෙ. 

ඔයාල පාවිච්චි කරන වෙබ් ඉඩකඩ ලබා ගත් වෙබ් අඩවි මොනවාද?
ඔවුන්ගේ සේවාව කෙසේද?
Server Up-time, reliability, speed කොහොමද?
ඒවායේ මිල ගණං කොහොමද?

මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දීල අදහසක් දාල යන්න පුළුවන් නම් ඉතාම ස්තුතිවන්ත වෙනවා. 

Sunday, November 14, 2010

200වන ලිපිය හා තවත් දේ

මුලින්ම, මේ ලිපිය මෙහෙම ලියන්න හිතුවෙ, මේ මගේ සිංහල බ්ලොග් අඩවියේ 200 වන ලිපිය වීමයි.
ඉතින් අපේ කට්ටිය එක්ක මමත් වසරකට වැඩි කාලයක් මේ සිංහල බ්ලොග් අවකාශයේ හිටියා නෙව. (ඉංග්‍රීසි බ්ලොග් ඉතිහාසය නම් ඊට වඩා ගොඩාක් වැඩියි. )
මම එනකොට මට මතක හැටියට සිංහල බ්ලොග් සිංඩිකේටරයේ තිබ්බෙ බ්ලොග් 300කට අඩු ප්‍රමාණයක්, දැන්........................... දහසකටත් වඩා වැඩියි.


ලංකාවෙ සිංහල ලියන්නන්ගේ ප්‍රමාණය ඉතාම ඉහළ ගිහිල්ල. කියවන්නන් ගානත් හිතාගන්න පුළුවන්නෙ සිංඩිකේටරයට හිට්ස් මිලියනයකටත් වඩා ඇවිල්ල කියල කිව්වම.
ඉතින් ඒ ලියන්නන් ප්‍රමාණය මේ වෙනකොට ලිපි ලක්ෂයක්වත් ලියල ඇති. මමත් මේ බ්ලොග් අඩවියෙන් ඒ ලිපි කන්දරාවට පොඩි හරි දායකත්වයක් දීල තියෙනවනෙ.


"අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය ඉහළ නැංවීම" කියන, සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ අරමුණට මමත් යම් තරමකින් දායක වෙලා තිබෙනවා කියන සතුට මටත් තිබෙනවා. මගෙ අනිත් බ්ලොග් අඩවි දෙකත් අමතක කරන්න බෑ. ( "Photography සිංහලෙන්" හා "Guide To CSE" ) Photography අඩවියේ වැඩ නම් මේ දවස් වල ටිකක් නැවතිලා තිබෙන්නේ, නමුත් කොටස් වෙළඳපළ ගැන අඩවියනම් ක්‍රියාත්මකයි.
ඉතින් මේ ආපු ගමනේ තවත් බ්ලොග් කරුවන් හඳුනා ගත්තා. ඉතා වටිනා දැනුම් සම්භාරයක් එකතු කරගත්තා....


ඉල්ලා සිටිනවා අනෙකුත් සහෝදර බ්ලොග් කරුවන්ගෙන්, අදත් අනාගතයටත් හැමෝටම ප්‍රයෝජනවත් වෙන ලිපි ලියමින් අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය ඉහළ නැංවීමේ ක්‍රියාවලියට ධනාත්මකව දායක වන ලෙස. අන්තර්ජාලය තුළ සිංහලය නඟා සිටුවීමට එකතු වන ලෙස.

Wednesday, November 10, 2010

[තොටගමුවේ හිමිගේ කතා] පුන් සඳයි දසවකයි

ඔන්න ඉතින් තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතාවක් එක්ක මම ආව.  (මුලින් ලියපු කතා වල ලිස්ට් එකක් මෙන්න මෙතන තියෙනවා.)

ඔය කාලෙ රජව හිටපු හයවන පැරකුම් රජ්ජුරුවො එක්ක පොඩි නෝක්කාඩුවක් ගිහිල්ල, රාහුල හාමුදුරුවො, තොටගමුවේ විහාරය අත ඇරල ඇල්පිටිය ඉඳුරුව ගල් ලෙනෙහි කාලයක් වාසය කළා. (ඉඳුරුව ගල් ලෙන ගැන මීට ඉස්සෙල්ල ලිපියකත් කිව්ව මතක ඇතිනෙ?) ඉතින් මේ කාලෙ, රාහුල හාමුදුරුවන්ට තමුන්ගේ ගුරු හිමියන්, ඒ කියන්නෙ විදාගම හාමුදුරුවන්ව දැකගන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඒත් දුර හිටියත් තමුන්ගේ ගුරු හිමියන්ට සළකන්න රාහුල හාමුදුරුවො භක්තිවන්ත උනා.
විදාගම හාමුදුරුවො මීකිරි හා කෙසෙල් ගෙඩි වළඳන්න හරිම කැමතියි. ඉතින් රාහුල හාමුදුරුවන්ට ලැබෙන මීකිරි හා කෙසෙල් තමුන්ගේ අතවැසියෙකු අතේ විදාගම හාමුදුරුවන්ට යවන්න රාහුල හාමුදුරුවො පසුබට උනේ නෑ.
ඒක නෙමෙයිනෙ සිද්දිය, මේ අත වැසියත් මේ දෙකට හරිම කැදරයි. ඒක හින්ද විදාගම හාමුදුරුවන්ට යවන මේ කෑම වලින් උන්වහන්සේට ලැබුනෙ බාගයයි. ඒවායින් අඩකට මේ ඇබිත්තය වග කියනව මගදි. මේ සිද්දිය විදාගම හාමුදුරුවො දන්නෙත් නෑ.
ඉතින් දවසක්, රාහුල හාමුදුරුවො උන්නාන්සෙට ලැබුණු කිරි හට්ටියකුයි කෙසෙල් ගෙඩි දහයකුයි, තමුන්ගේ අතවැසියා අතේ ගුරු හාමුදුරුවන්ට යැව්ව, හැබැයි එදා රාහුල හාමුදුරුවො, මෙන්න මෙහෙම පොඩි පණිවිඩයකුත් යැව්ව.
"පුන් සඳ හා දසවක පිළිගනු මැනවි" කියල.
ඉතින් මේ ඇබිත්ත කොලුවත් වෙනද වගේම මගදි කිරි හට්ටියෙන් බාගෙකුත් ගිල දමල කෙසෙල් ගෙඩි 2කුත් කාල, ඉතිරිය විදාගම හාමුදුරුවන්ට ගිනිහිල්ල දුන්න පණිවිඩයත් එක්ක. පණිවිඩය කියවපු විදාගම හාමුදුරුවො, කිරි හට්ටියයි කෙසෙල් ගෙඩි 8යි දැකල, වෙලා තියෙන අලකලංචිය තේරුම් ගත්ත.
ඉතින් උන්නන්සෙ මොකද කළේ, "අඩ සඳයි අටවකයි භාර ගතිමි" කියල ඇබිත්ත කොලුව අතේම ලියමනක් රාහුල හාමුදුරුවන්ට යැව්ව.

මේ මොකුත් නොදන්න ඇබිත්ත කොලුව, පණිවිඩය රාහුල හාමුදුරුවන්ට ගිහිල්ල බාර දුන්න. ඒක කියවපු රාහුල හාමුදුරුවන්ට, වෙලා තියෙන සිද්ධිය තේරුම් ගන්න අමාරුවක් උනේ නෑ.
ඉතින් හාමුදුරුවො, ඇබිත්තයගෙන් මේ ගැන ඇහුව. මොන, මිනිහ දිවුරල කියන්නව නෑමයි කියල. ලොකු හාමුදුරුවො බොරුවක් නොකියන වගත් රාහුල හාමුදුරුවො දන්නව.
ඉතින් මොකද කරන්නෙ, ඇත්ත එලි කරගන්නත් ඕනෙනෙ. ඉතින් රාහුල හාමුදුරුවො මොකද කළේ දන්නවද?
ඇබිත්තයටම කියල පොඩි බෙහෙත් පැළෑටියක් ගෙන්නගෙන, පොඩි බෙහෙතක් හදල මිනිහට බොන්න දුන්න.
මොකද උනේ...................
ටිකකින් ඇබිත්තයට කලන්තෙ වගේ. ඔලුවෙ අත ගහගෙන වමනෙ කරන්න ගත්ත. අනේ ඔක්කොම බොරු මාට්ටු, කාපු කිරියි කෙසෙලුයි ඔක්කොම මෙන්න එලියෙ.
හොඳටම ලැජ්ජාවට පත් උනු අතවැසියා, හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලුව. හාමුදුරුවො තවත් බෙහෙතක් පොවල ඇබිත්තයව සනීප කරල වංචා නොකරන්න අවවාද කළා.
ඊට පස්සෙ මේ අතවැසියා ඉතාම සිල්වත් උපාසකයෙක් උනා.

Tuesday, November 9, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] යළි ආවා, යළි ආවා - තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද



ඔන්න ඉතින් කට්ටිය කියපු නිසා, ඔන්න, තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතා කිහිපයක් තව ලියන්න හිතුවා.
ඉතින් මේ වෙනකොට මම තොටගමුවේ හාමුදුරුවන්ගේ කතා 7ක් කියලා තිබෙනවා.
වක දෙක හා විදාගම හිමි
සිනිඳු සේළය
ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 1, 2)
ජම්මෙද? පුරුද්දද?
සෘද්ධි තෛලය (කොටස් 1, 2)
තොටගමුව නොව අපගමුව
තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි

ඔන්න මම මේ වෙනකොට ලියල තියෙන කතා ටික. කියවපු නැති අය කියවල බලන්නකෝ.

ඉතින් අද මේ යළි ආරම්භක ලිපිය විදිහට, තොටගමුවේ හාමුදුරුවො ගැන පොඩ්ඩක් ලියන්න හිතුව, කතා ඊළඟ ලිපියේ සිට.

තොටගමුවේ රාහුල හාමුදුරුවො, සිංහල සාහිත්‍ය වංශයට වගේම ලංකාවේ බුද්ධ ශාසනයට පායපු තාරකාවක් වගේ යතිවරයානන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ සාහිත්‍ය විතරක් නෙමෙයි, නක්ෂත්‍ර, ගුප්ත විද්‍යා ශාස්ත්‍ර වලත් කෙල පැමිණියෙක්.
දෙමටානේ කුමාරයා, (තොටගමුවේ හාමුදුරුවො පොඩිකාලෙ) ඉපදුනේ, 1408දී දෙමටාන ගමේදි කීරවැල්ලේ කුමරියට හා වික්‍රමබාහු කුමාරයාට දාව. පසුකාලීනව, දෙමටානේ කුමාරයා සයවන පරාක්‍රමබාහු රජතුමාගේ පුත් තනතුරේ හැදී වැඩුනා. 1425දී විදාගම මෛත්‍රී හිමියන් අතින් මහණ බවට එලඹියා. ("වක දෙක" කතාව කියෙව්වොත් මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.)
තොටගමුවේ හාමුදුරුවන්, කිසිදා නොමැකෙන මතකයකුත්, ඉතා ඉහළ භාෂා ඥාණයකිනුත්, කවීත්වයකුත් තිබුනු හිමි නමක්. භාෂා 6ක් කතා කිරීමේ හැකියාව උන්වහන්සේට තිබුනා. සැළලිහිණි සංදේශය, පරෙවි සංදේශය, කාව්‍යශේකරය,  පංචසිකා ප්‍රදීපය, උන්වහන්සේ ලියපු කෘති කිහිපයක්.
1491දී උන්වහන්සේ වසර 83ක් ආයු වළඳා, ඉඳුරුගිරිලෙන ඉදිකළ සයනයක් මත වැතිර, තමන් වහන්සේ අපවත් වීමෙන් පසු, සිරුර දින දස ලක්ෂයක් පුරාවට නරක් නොවී පවතින්නට, "සිද්ධාලෝක රසය" නම් ඖෂධය වළඳා අපවත් උනා.
ශ්‍රී රාහුල හිමියන්ගේ සිරුර තවමත් නරක් නොවී ඉඳුරුගිරිලෙනෙහි පවතින බව ජනප්‍රවාදයේ කියැවෙනවා. උන්වහන්සේට රක්ෂා කළ යක්ෂයින් උන්වහන්සේගේ සිරුර ආරක්ෂා කරන බව පැවසෙනවා.

එහෙනම් අපි පස්සෙ රාහුල හාමුදුරුවන්ගේ කතාවකින් හමුවෙමුකෝ.

Monday, November 8, 2010

විශ්වාසය ගැන පොඩි කතාවක් [Repost]

පොඩි ගෑණු ළමයෙකුයි, පිරිමි ළමයෙකුයි සෙල්ලම් කර කර හිටිය. ගෑණු ළමය ලඟ ලොසින්ජර ටිකක් තිබ්බ, පිරිමි ළමය ලඟ ලස්සන වීදුරු බෝල ටිකක් තිබ්බ. පිරිමි ළමය කිව්ව, එයා ලඟ තියෙන ඔක්කොම වීදුරු බෝල ටික, ලොසින්ජර වලට හුවමාරු කරමු කියල. ගෑණු ළමය කැමති උනා.
පිරිමි ළමය තමුන් ලඟ තිබ්බ ලස්සනම වීදුරු බෝලෙ තියාගෙන ඉතුරු ටික ගෑණු ළමයට දුන්න. ගෑණු ළමය පොරොන්දුවෙ හැටියට ඔක්කොම ලොසින්ජර ටික දුන්න.
එදා රෑ, ගෑණු ළමය හොඳට නිදාගත්ත, ඒත් පිරිමි ළමයට නින්ද ගියෙ නෑ. එයා කල්පනා කලේ තමුන් කලා වගෙ ගෑණු ලමයත් ලොසින්ජර හැංගුවද කියල.

ගත යුතු දේ:
යම් සම්බන්ධයකදි 100% ක් විශ්වාසය දුන්නෙ නැත්තම් ඔබ හැම වෙලේම ඉන්නෙ සැකයෙන්, අනිත් පුද්ගලයා එයාගෙ 100% ඔබට දීලද කියල. මේක ආදරය, සේව්‍ය-සේවක, වගේ හැම සබඳතාවයකටම හරියනව. ඔබ හැම වෙලේම ඔබේ 100% දුන්නොත් තමයි ඔබට නිවී සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්

Sunday, November 7, 2010

මට එපා වෙලා

බ්ලොග් ලියන්න ගියාමත් වෙලාවකට එපා වෙනව. ඇයි අප්ප, අපි ලියනව, කියවන කට්ටිය නිකං පොඩි හරි කොමෙන්ට් එකක් දාල යන්නෙ නෑ නෙ. කොහොමත් ඉතින් බ්ලොග් 1000ක් කියන්නෙ ලේසි ගාණක් නෙමෙයිනෙ නේද!!! ඔක්කොම කියව්න්නයි, කොමෙන්ට් කර්න්නයි ගියාම ඉතින් කෙල වෙලා තියෙයි. :)
ඒත් ඉතින් ඔය බ්ලොග් 1000න් කීයක් හරියකට වැඩ කරනවද කවුද දන්නෙ. ම්ට නම් හිතෙන්නෙ ඔය තියෙන ඔක්කොම බ්ලොග් වලින් අඩුම ගාණේ මාසෙකට එක පෝස්ට් එකක් හරි ලියන බ්ලොග් ඇත්තෙ 500කටත් අඩුවෙන් වෙන්න ඇති. කියන්න බෑ ඉතින්. සමහරවිට අපේ කාලිංග සහෝදරය නම් හරියටම දන්නව ඇති.

මම හිතුවෙ මේ වෙබ් සයිට් වල ට්‍රැෆික් වැඩිකරගන්න කියල දෙන ලිපි මාලාව ජනප්‍රිය වෙයි කියල. කොහෙද එහෙමත් නෑ වගේ. පළවෙනිම ලිපිය ඇරුනම් අනිත්ව නිකං පාළු අම්බලම් වගේ. :(
මොනා කරන්නද, කට්ටියට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුවට වැඩක් නැද්ද මන්ද. වෙන මාතෘකාවක් හොයාගන්න ඕනෙ ලියන්න. කස්ටියට අදහස් තියේ නම් කියන්න, පුළුවන් දෙයක් නම් ලියන්න බැරියයි.

අනිත් එක, මමම හදපු ටෙම්ප්ලේට් දාගෙන ඉඳල දැන් ඇති වෙලා වගේ. ඉතින් වෙන ටෙම්ප්ලේට් එකක් හොයාගෙන දාගන්න හිතුව. හොඳ එකක් හොයාගන්න ඕනෙ.

Saturday, November 6, 2010

"Madhawaගේ සිංහල Blogs" අඩවියටත් මුහුණු පොතේ රසික පිටුවක්

හැමෝම හදන එකේ මටත් හිතුන මේ මගෙ බ්ලොග් එකට මුහුණු පොතේ රසික පිටුවක්, නැත්තම් Fan Page එකක් හදන්න. (මගෙ අනිත් බ්ලොග් දෙක; "රූසර" හා "Guide To CSE" වලට නම් රසික පිටු තියෙනවා, මේකට නැති උනාට. )
ඉතින් ඒකටම කියල Logo එකකුත් හදල (ඔය උඩින්මතියෙන්නෙ ඒක තමයි), හැදුව ඔන්න Fan Page එකක්.
ආරාධනා කරනවා ඔබ හැමටම, මගේ රසික පිටුවේ රසිකයෙක් වෙන්න කියල.
ඔබගේ මිතුරන්ටද ආරාධනා කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

මෙන්න තියෙනවා ලින්ක් එක.

Friday, November 5, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 6



පළමු ලිපියට මෙතනින් යන්න.
දෙවන ලිපියට මෙතනින් යන්න.
තෙවන ලිපියට මෙතනින් යන්න.
සිව්වන ලිපියට මෙතනින් යන්න.
පස්වන ලිපියට මෙතනින් යන්න. 


Mobile




65. ඔබගේ වෙබ් අඩවියේ Mobile Version එකක් හදන්න. මේ කාලෙ හුඟක් අය තමුන්ගෙ මොබයිල් ෆෝන් එකෙන් නෙට් යන හින්ද මේකත් වැදගත් දෙයක්. ඔයාගෙ වෙබ් අඩවිය මොබයිල් ෆෝන් බ්‍රවුසරයෙනුත් හොඳින් කියවන්න පුළුවන් විදිහට එකක් හදන්න. ඔබ භාවිතා කරන්නෙ wordpress නම් wptouch හරහා ස්වයංක්‍රීයවම ඔබගේ අඩවියේ මොබයිල් අඩවියක් සකසා ගන්න පුළුවන්. 



66. ඔබගේ අඩවියට iPhone App එකක් හදන්න. ලංකාවෙ නම් එතරම්ම iPhones ජනප්‍රිය නෑ. නමුත් ලෝකයේ භාවිතා වන smart phones වලින් iPhone ඉතාම ඉදිරියෙන් සිටිනවා. iPhone Usersල හුඟක් කැමතියි Apps හරහා තමුන්ට අවශ්‍ය දේවල් ලබා ගන්න. ඉතින් ඔබගේ වෙබ් අඩවියට iPhone App එකක් හදාගන්න පුළුවන් නම් ඒක හරහාත් ඔබට අළුත් කියවන්නන් පිරිසක් එකතු කරගන්න පුළුවන් වගේම, ඉන්න අයගෙන් iPhone Usersල ඔබගේ App එක හරහා එකතු කරගන්න පුළුවන්. ඒකට ගැළපෙන Open source project එකක් තියෙනවා.


67. ඔබගේ වෙබ් අඩවියට Android App එකක් හදන්න. මේකත් ලංකාවට එතරම්ම අවශ්‍ය නෑ, නමුත් ඔබගේ අඩවිය ලොව පුරාම ජනප්‍රිය, වැදගත් එකක් නම් මේකත් ඉහත කිව්ව එකත් වැදගත්. Android phones වෙළඳපළ ඉතාම වේගයෙන් ආක්‍රමණය කරනවා, ඉතින් එම භාවිතා කරන්නන්ටත් ඔබ App එකක් හැදුවොත් තව කට්ටිය ගොඩක් එකතු කරගන්න පුළුවන් ඔබගේ අඩවිය වටා.


Online Forums
68. Online Forums වල සම්බන්ධ වෙලා, ඔබගේ අත්සනට ඔබගේ අඩවියේ ලින්ක් එකක් දාන්න. ඔබගේ විෂය පරාසය කුමක් උනත් ඔබට ගැළපෙන ෆෝරම්ස් අන්තර්ජාලය තුළ ඕනෑ තරම් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම ඒවට සම්බන්ධ වෙන්න. ඔවුන් බොහෝවිට, ඔබගේ අත්සනට (Signature) වෙබ් ලින්ක් 1ක් හෝ කිහිපයක් දාන්න ඉඩ කඩ දෙනවා. ඉතින් ඔබගේ අඩවියට ලින්ක් එකක් අත්සනට එක්කරන්න. ඒ හරහා ඔබට හොඳ ට්‍රැෆික් එකක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ෆෝරම් එකේ පෝස්ට් කරන්න ඕනෙ කියල කියන්න ඕනෙ නෑ නෙ. 
එහෙම ෆෝරම් හොයාගන්න අමාරු නම් මෙන්න මේ අඩවියට ගිහිල්ල බලන්න, ඒකෙ, ලෝකෙ තියෙන ෆෝරම්ස් ශහස් ගණනක් මාතෘකා වශයෙන් වෙන් කරලදක්වල තියෙනවා. 

69. ෆෝරම් එකේ ලිපි ලියන විට ඔබගේ වෙබ් අඩවියේ පිටු/ලිපි වලට ලින්ක් දාන්න. ඔබ ෆෝරම් එකේ පෝස්ට් එකක් දානකොට ඔබට පුළුවන් අත්සනට අමතරව, ඔබගේ වෙබ් අඩවියේ ඇති ලිපි වලට ලින්ක් දාන්න. උදාහරණයක් වශයෙන්,  ඔබ අතිත් ෆෝරම් සාමාජිකයින්ට ප්‍රයෝජනවත් වෙයි කියලහිතන ලිපියක් ඔබගේ අඩවියේ ලිව්වොත් ඔබට පුළුවන්, ෆෝරම් එකේ ඒක ගැන කියල අදහස විමසල thread එකක් දාන්න. හැබැයි වැදගත් හා අදාල ඒව දාන්න, නැත්තම් ඔබට spammer කෙනෙක් විදිහට සළකාවි. 


70. Craigslist අඩවියේ ෆෝරම් වල ලියන්න. Craigslist කියන්නෙ ලෝකෙ තියෙන ජනප්‍රියම ලුහුඬු දැන්වීම් අඩවියක්. ඔබ පොඩ්ඩක් අඩවියේ සැරිසැරුවොත් ඔබට දකින්න ලැබේවි, පොඩි පොඩි discussion forums තිබෙනවා. ඒවායෙ ඔබගේ ලිපි වලට අදාල ලින්ක්ස් යොදමිල් ලිපි ලියන්න. හැබැයි අදාල තැන ලියන්න වග බලාගන්න.

71. ඔබගේ අඩවියටත් ෆෝරම් එකක් එකතු කරන්න. ඔබගේ අඩවියට 4000-5000ක් පමණ දෛනික කියවන්නන් ප්‍රමාණයක් එනවා නම් ඔබගේ අඩවියටත් ෆෝරම් එකක් එකතු කිරීම ගැන ඔබට හිතල බලන්න පුළුවන්. එතකොට, ඔබගේ අඩවියට පැමිණෙන්නන්ට, ඔවුන්ගේ ප්‍රශ්න අහන්න තැනක් තිබෙනවා.  ඒක, ඔබගේ අඩවියට තව තවත් ට්‍රැෆික් වැඩි වෙන ක්‍රමයක් හා, ඔබගේ අඩවියේ අන්තර්ගතයත් ඉතාම වේගයෙන් ඉහළ යනවා. phpBB කියන්නෙ ඉතාම සරළ නමුත් හොඳ, නොමිලේම ලබා ගත හැකි forum - web application එකක්. ඒක ස්ථාපනයත් පහසුයි. 

Content Hubs

72. Squidoo වල lenses හදන්න. මේක ඔබගේ ලිපියක කෙටි සටහනක් සහිතව හදන්න පුළුවන් වෙබ් පිටුවක් කියල හිතන්නකො. ඒකෙ, ඔබගේ වෙබ් අඩවියට, ලිපිවලට ලින්ක් දාන්න ඔබට පුළුවන්. ඒ හරහා ට්‍රැෆික් එක වගේම පේජ් රෑන්ක් එකක් ඉහළ දාගන්න පුළුවන්.

73. HubPages වල Hubs හදන්න. Squidoo වගේම එකක් තමා HubPages කියන්නෙත්. ඔබට පුළුවන් එම අඩවියේ ලිපි ලියන්න, ඔබගේ අඩවියේ ලින්ක් දාල ලිපි ලියන්න. ඒවා මෙම අඩවියේ publish උනාම ඒ හරහා ඔබට ට්‍රැෆික් එකක් ගෙන්නගන්න පුළුවන්. හැබැයි ලියන්න ඉස්සෙල්ල එයාලගෙ නීති රීති කියවල බලන්න, ඔයාල ඒව කඩ කරල නම් ඔයාලගෙ ලිපිය ප්‍රකාශයට පත්වෙන එකක් නෑ. 

74. Yahoo Answers වල ප්‍රශ්න වලට උත්තර දෙන්න. Yahoo Answers වල ටිකක් සැරිසරල ඔයා ලියල තිබෙන ලිපි වල තිබෙන අන්තර්ගතයට සම්බන්ධ වන් ප්‍රශ්න තිබෙනවාද කියල හොයල බලල ඒවට උත්තර ලියන්න. ඒ උත්තර වල ඔබගේ ලිපිවලට ලින්ක් දාන්න.

75. LinkedIn Answers වල තිබෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේකත් Yahoo Answers වලට ටිකක් සමානයි, නමුත් ප්‍රශ්න විසිරිලා යන්නෙ career හා business මට්ටමෙන්, ඒ නිසා වගකීමෙන් උත්තර දෙන්න ඕනෙ. ඒවායෙත් ඔබගේ වෙබ් අඩවියට ලින්ක් දාන්න. 

සම්ප්‍රදායික ක්‍රම

76. ඔබගේ අඩවිය Web Directories වලට submit කරන්න. මේ හරහා ඔබට ලැබෙන ට්‍රැෆික් ප්‍රමාණයට එම directory එකේ තත්වය බලපානවා. ඔබ අඩුම ගාණෙ 100කට ඔබගේ අඩවිය එකතු කළොත් ඔබට හොඳ ට්‍රැෆික් එකක් එන්න ඉඩ තිබෙනවා. එහෙම හොඳ web directories ලිස්ට් එකක් Google page Rank අනුව වර්ග කරල මෙන්න මෙතන තිබෙනවා.

77. ඔබගේ බ්ලොග් අඩවිය Blog Directories වලට submit කරන්න. ඔබට බ්ලොග් අඩවියක් තිබෙනවා නම් ඒක blog directories වලට එකතු කරන්න. Blog Directories කියන්නෙ බ්ලොග් අඩවි විතරක් තිබෙන web directories වලට. මෙන්න මෙතන හොඳ blog directories list එකක් තියෙනවා. 

78. ඔබගේ ලිපි Article Directories වලට එකතු කරන්න. ඔබගේ ලිපි ප්‍රසිද්ධ කිරීම, ඔබගේ අඩවිය ප්‍රසිද්ධ කරගන්න පුළුවන් ඉතාම හොඳ ක්‍රමයක්. ඔබට කරන්න තිබෙන්නෙ එහෙම අඩවි වලට ඔබගේ ලිපියක කොටසක් හා එම සම්පූර්ණ ලිපියට ලින්ක් එකක් ඒකෙම එකතු කරල ප්‍රකාශයට පත් කරන එක විතරයි. දැනට තියෙන ජනප්‍රියම article directories ලිස්ට් එකක් මෙන්න මෙතන තියෙනවා. 

79. සබැඳි හුවමාරු කරගන්න. මේක ඇවිල්ල අන්තර්ජාලය තරම්ම පරණ ක්‍රමයක්. Link Exchanging කියන්නෙ නම් අපේ බ්ලොග් ලියන්නන් අතර ඉතාම ජනප්‍රිය දෙයක් වෙලානෙ දැන්. මේක කරන්න ඕනෙ ගූගල් තරහ කරගන්නෙ නැතුවයි, ඒ කියන්නෙ ඔබ ලින්ක් හුවමාරුකරගත යුත්තේ ඔබට අදාල ආකාරයේම අන්තර්ගතයක් තිබෙන අඩවි එක්කයි. නැත්තම් ගූගල් එම අඩවි crawl කරද්දි ඔයාගෙ ලින්ක් එකට ප්‍රශ්න දානව, ඇයි වෙන අන්තර්ගතයක් තියෙන අඩවියක්නෙ, ඒකෙන් ඔයාගෙ ranking වලට අවාසියි.

80. වෙළඳ දැන්වීම් හුවමාරු කරගන්න.  මේකත් link exchanging වලට ටිකක් සමානයි, අපේ බ්ලොග් කරුවන් බහුලව කරන දෙයක්. ඔබගේ භාවිතා නොකරන ලද වෙළඳ දැන්වීම් ඉඩක් ඔබගේ මිතුරෙක්ගේ අඩවියකට දැන්වීමක් දාගන්න දෙන්න. ඔහුටත් එහෙමම ඔබ වෙනුවෙන් කරන්න කියන්න. මේක, අඩවිය තුළ banner ad එකක් හරි Newsletter එක තුළ ඉඩක් වෙන්නත් පුළුවන්.


මතු සම්බන්ධයි.

මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.


මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න:  

Monday, November 1, 2010

"Guide to CSE" වෙබ් අඩවිය සම්බන්ධ සමීක්ෂණයක්

"Guide To CSE"වෙබ් අඩවියේ වැඩි දියුණුකිරීම් කිහිපයක් සඳහා, සහ කියවන්නන්ට ඉහළ සේවාවක් ලබා දෙනු වස් අඩවිය පිළිබඳව අදහස් විමසමින් කුඩා සමීක්ෂණයක් පවත්වන්න තීරණය කළා.
ඔබ සැමට ආරාධනා කරනවා, මීට සහභාගි වන ලෙස හා, මිතුරන්ටත් මේ ගැන පවසමින් වැඩි තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කිරීමට සහය වන ලෙස.
ස්තුතියි.



Friday, October 22, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 5

පළමු ලිපියට මෙතනින් යන්න.
දෙවන ලිපියට මෙතනින් යන්න.
තෙවන ලිපියට මෙතනින් යන්න.




සිව්වන ලිපියට මෙතනින් යන්න.

වෙබ් අඩවිය optimize කරගන්න

51. ඔබගේ 404 error පිටු නිවැරශිව සකසා ගන්න. මිනිස්සු කොහොම ඔයාගෙ වෙබ් අඩවියට ආවත් එයාලට සමහර වෙලාවට 404 error එකැන්න ඉඩ තිබෙනව. ඔවුන් ඔබගේ වෙබ් අඩවියේ ලින්ක් එක වැරදියට ටයිප් කරල වෙන්න පුළුවන්, නැතිනම් ඔබට ලින්ක් එකක් දාපු කවුරු හෝ ලින්ක් එක වැරදියට දාල වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා කෙනෙක් ඔයාගෙ අඩවියට ආවොත්, එතන කිසිම දෙයක් නැතිනම් ඔවුන් කෙලින්ම වෙන අඩවියකට යනව. ඉතින් ඒක නිසා ඔබගේ අඩවියේ 404 error page එක නිවැරදිව සකසා ගන්න ඕනෙ. ඒකෙ ප්‍රයෝජනවත් වෙනත් ලින්ක් ටිකකුත් දාල තියන්න, ඒ හරහා ඔබට පුළුවන්, ඒ පැමිණෙන්නන්වත් ඔබගේ අඩවියේ යම් පැත්තකට හරවල යවන්න.



52. වෙබ් පිටු අතල සබැඳියන් යොදන්න. ඔබගේ වෙබ් පිටු එකිනෙක ලින්ක් කරන එක වෙබ් අඩවියට එන අයට ඔබගේ අඩවිය බලන්න පහසුවක් වෙනවාඅ වගේම, එක් වරකට බැලෙන ලිපි ප්‍රමාණයත් වැඩි කරනවා. ඊටත් වඩා වැදගත් දෙයක් තමා ඒ හරහා ඔබගේ වෙබ් අඩවියේ Google Page Rank එක ඉහළ නංවා ගත හැකි වීම.


53. ජනප්‍රියම කොටස් විශේෂ කරල පෙන්නන්න. මිනිස්සු කැමතියි වඩාත්ම ජනප්‍රිය දේවල් මොනවද කියල දැනගන්න. ඒක පෙන්නල ඔයාලට පුළුවන් එනාය බලන ලිපි ගණන ඉහළ නංවාගන්න. ඔබගේ අඩවියේ ජනප්‍රියම ලිපි මොනවද කියල පෙන්නල දීල එන අයව ධෛර්යමත් කරන්න ඒව කියවන්න. ඒක කරනන් තියෙන පහසුම ක්‍රමය තමා, "Popular Posts" Widget එකක් side bar එකට දැමීම.


54. ඔබගේ වෙබ් අඩවිය විවිධ internet browsers මගින් පරික්ෂා කරල බලන්න. ඔබගේ වෙබ් අඩවිය කියවන්නාගේ වෙබ් බ්‍රවුසරයේ හරි හැටි පේන්නෙ නැතිනම් ඔහු/ඇය වෙනත් වෙබ් අඩවියක් කරා යාවි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ අඩවිය බහුලව භාවිතා වන සියළු වෙබ් බ්‍රවුසර වල නිවැරදිව පෙන්වනවාද කියල පරික්ෂා කරල බලන්න ඕනෙ. ඒ සඳහා ඔබට browsershots.org කියන නොමිලේ ලබා දෙන සේවාවෙන් පරික්ෂා කරල බලන්න පුලුවන්. 

55. ඔබගේ අඩවිය වේගවත් කරගන්න.  සිංහල බ්ලොග් අවකාශයේ සමහර බ්ලොග් අඩවි නම් මේ අවස්ථාවේදී ඉතාම දුර්වලයි. වෙබ් අඩවියේ වේගය කියන්නෙ අඩවියට පැමිණෙන්නන් ඉතාම තදින් බලන දෙයක්. බගේ අඩවිය ලෝඩ් වෙන්න වෙලා යනවා නම් හුඟක් පැමිණෙන්නන් වෙනත් අඩවියටකට යනව, ඔබගේ පිටුව වහල දාල. සමීක්ෂණ වලට අනුව එහෙම ලෝඩ් වෙනකම් බලා ඉන්න වෙලාව තත්පර කිහිපයක්. (ලංකාවෙ නම් ඉතින් නෙට් ස්පීඩ් එකක් එක්ක බැලුවම නම් ලාංකිකයින්ට ඒ අතින් වැඩි ඉවසීමක් නම් තිබෙනව.). තව දෙයක්, search engine වලින් රෑන්ක් කරද්දිත් ඔබගේ අඩවිය ලෝඩ් වෙන වෙලාව තදින්ම බලනව. ඒ කියන්නෙ, ඔබේ වෙබ් අඩවිය ඉක්මනින් ලෝඩ් වෙනවා නම් ඔබගේ අඩවිය සෙවුම් යන්ත්‍ර වලත් ඉහළින් ඉන්නවා. ඉතින් මේක කරන්නෙ කොහොමද? ඔබගේ වෙබ් පිටු වල තිබෙන අනවශ්‍ය කෝඩ්ස් ඉවත් කරන්න, ඉතාම පිරිසිදු කෝඩ් එකක් තියා ගන්න. රූප කුඩා කරන්න. Firefox සඳහා එන FireBug addon එකෙන් ඔයාලගෙ අඩවිය පරික්ෂා කරගන්න පුළුවන්. 


56. වෙබ් පිටු වල cache පිටු ලබා දෙන්න. මේක ඔබගේ වෙබ් අඩවියේ වේගය වැදි කරගන්න පුළුවන් ඉතාම හොද ක්‍රමයක්. වෙබ් අඩවියේ වේගය ඉහළ යනවා විතරක් නෙමෙයි, ඔබගේ වෙබ් සර්වරයේ ලෝඩ් එකත් මේකෙන් හුඟක් අඩු වෙනවා. (වෙනත් වචන වලින් කිවොත් traffic ඉතුරු වෙනවා.) wordpress භාවිත කරන්නන්ට නම් මේක කරගන්න ඉතාම හොඳ plugin එකක් තිබෙනවා, ඒ තමයි, WP Super Cache.


57. හොඳ වෙබ් අවකාශයක් මිලදී ගන්න. මෙතනදිත් සමහරු වරද්ද ගන්නව, අඩු ගාණට කියල hosting plans මිලට ගන්නව. නමුත් ඔවුන්ගෙ uptime එක අඩුයි, speed එක අඩුයි, ඔය වගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් ඔබ කොතරම් ඔබගේ අඩවිය optimize කළත් වැඩක් නෑ, හොස්ටිං එක සවුත්තු නම්. 


Search Engine Optimization


58. අළුත්ම දේ ලියන්න. අළුත් කියල කිව්වෙ මුල්ම ප්‍රකාශකයා ඔබ වෙනව කියන එක නෙමෙයි, වෙනත් අයගෙන් කොපි කරන්නෙපා කියන එකයි. තමුන්ම ලිපියක් ලියන්න. ඒකට තමා ගූගල් සහ වෙනත් එවනි සමාගම් කැමති. ඒත් එක්කම, ඔබගේ අඩවිය නිතරම අලූත් කරන්න.(නව ලිපි ඇතුළු කරන්න)


59. Back links හදන්න. ඔබගේ වෙබ් අඩවියට පිරිස ගෙන්වා ගන්න හා search engine ranking වැඩි කරගන්න තියෙන දෙවන හොදම  ක්‍රමය තමයි, back links කියන්නෙ. back links කියලකියන්නෙ වෙනත් අඩවි වලින් ඔබගේ අඩවියට තිබෙන ලින්ක් ප්‍රමාණය. මෙම ලින්ක් වල අදාල බව හා තත්වය ඉහළ නම් ඒක ඔබට ඉතාම වැදගත් වේවි. හොඳම ක්‍රමයක් තමා ඔබගේ බ්ලොග් අඩවිය පවතින විෂය පරාසය තුළ තිබෙන, page rank එක ඉහළ බ්ලොග් අඩවි වල comment කරන එක. උදා: ඔබට තිබෙනව නම් tech blog එකක්, techcrunch වගේ එකක comment එකක් මගින් ඔබට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.


60. keyword Research එකක් කරල බලන්න. සෙවුම් යන්ත්‍ර ඇඩ කරන්නෙ keywords එක්කනෙ, ඉතින් ඒක ඉතාම වැදගත් දෙයක්. මිනිස්සු වෙවුම් යන්ත්‍ර වල වැඩිපුරම සොයා බලන්නෙ මොනවද, මොන විදිහටද කියල හොයල බලන්න. Google Adwords keywords tool එක (ඒ ඒ keywords වලට අදල තොරතුරු පෙන්වනවා.), Google Trends (ඒ ඒ අවස්ථා වල වැඩිපුරම සොයා ඇති keywords මොනවාද කියා පෙන්වනවා.), ඒ පිළිබඳව තොරතුරු හොයා ගන්න පුළුවන් ආකාර 2ක්. ඉතින් ඒ සොයනා ආකාරයට keywords දාන්න පුහුණු වන්න.


61. Title Tag එක optimize කරගන්න. Titile tag එක කියන්නෙ ඔබගේ වෙබ් අඩවියේ නම පෙන්වන ටැග් එක. ඒක < Title >< / title > කියන ටැග් දෙක මැදයි තිබෙන්නෙ, ඔබගේ වෙබ් පිටුවේ HEAD tag එක ඇතුළෙ. ඒකෙන් තමා ඔබගේ වෙබ් පිටුවට නමක් දෙන්නෙ, මේක ඉතාම හොඳින් යොදන්න ඕනෙ. එක් එක් පිටුවට එකිනෙකින් වෙනස් titles දාන්න. ඔබගේ keywords මේ title එක ඇතුළෙත් යොදන්න. wordpress සඳහා තිබෙන All in One- SEO Pack දාගැනීමෙන් මේක ස්වයංක්‍රීයවම කරගන්න පුළුවන්. 


62. HTML Site map එකක් හදාගන්න.
සයිට් මැප් එකක් කියන්නෙ, ඔබගේ වෙබ් අඩවියේ සෑම පිටුවකටමත්, ඒ සෑම පිටුවකිනුත් සම්බන්ධ වෙන වෙබ් පිටුවක්. මේක ඉතා වැදගත්. මෙහෙමපිටුවක් තිබෙනකොට, සෙවුම් යන්ත්‍ර ඔබගේ අඩවිය crawl කරනකොට ඔවුනටත් ඔබගේ අඩවිය පරික්ෂා කරන්න පහසුයි. ඒත් එක්කම මේ හරහා ඔබගේ search engine ranking එකත් ඉහළ යනවා.


63. රූප යොද ගන්න. හුඟක් අයට අමතක වෙන දෙයක් තමයි, ගූගල් වල image search කියලත් එකක් තිබෙනවා කියල. මේකත් සාමාන්‍යයෙන් ජනප්‍රියයි. ඉතින් ඔබගේ වෙබ් අඩවිය තුළ රූප යෙදීම හරහාත් ඔබට හොඳ ට්‍රැෆික් එකක් ගෙන්නගන්න පුළුවන්. රූපයක් දානකොට ඒ රූපයේ නම අදාල keywords එක්ක දාන්න. ඒත් එක්කම TITLE හා ALT කියන attributes දෙක අනිවාර්යයෙන්ම දාන්න මතක තබා ගන්න. sxc.hu හරහා ඔබට පුළුවන් නොමිලේ භාවිතා කළ හැකි රූප ඕනෑ තරම් සොයාගන්න.


64. ඔබගේ අඩවියේ අන්තර්ගතය වෙනත් භාෂාවකටත් පරිවර්තනය කරන්න. ඔබගේ අඩවියේ අන්තර්ගතයට අනුව, ඔබගේ අඩවියේ අන්තර්ගතය වෙනත් භාෂා වලට පරිවර්තනය කිරීම, ඔබගේ අඩවියට ලැබෙන search engine traffic එක කිහිප ගුණයකින්ම වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක්. Wordpress සඳහා මේ ක්‍රියාවලියට ගැළපෙන ඉතාම හොඳ ප්ලගිනයක් තිබෙනවා, Global Translator කියල. (සිංහල අඩවි වලට නම් මේකෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ.)







මතු සම්බන්ධයි.

මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න:  

Friday, October 15, 2010

3D Stereograms (ත්‍රිමාණ සැඟවුනු රූප)

ඔබ දැකල ඇති පොඩි පොඩි බුද්ධ රූප පිරිච්චි ලොකු රූපයක සැඟවුණු බුද්ධ රූපයක් සහිත රූපය. ඔබ ඒකෙ සැඟවිලා තියෙන රූපය දැකලත් ඇති, සමහරු ගොඩාක් උත්සාහ කරල දකින්න ඇති, තවත් සමහරුන්ට තාම ඒක දැකගන්න බැරි වෙලා ඇති. වයසක ආච්චිල සීයල නම් කියන්නෙ ඒක දකින්න පිං කරල තියෙන්න ඕනෙ කියල. නමුත් මම කියන්නෙ, ඒක දකින්න ඒක දිහා බලන්න ඕනෙ ක්‍රමයක් තිබෙනව, විද්‍යානුකූලව ඒ ආකාරයට බැලුවොත් ඒක දකින්න පුළුවන් කියලයි. 
ඉතින් ඔබ උත්සාහ කළේ කොහොමද? ඒක දිහා ඇස් රිදෙනකම්ම බලා හිටියද? ඇස් දෙක වපර කරල බැලුවද? නැත්තම් බොඳ කරල බැලුවද? 
ඔන්න එහෙනම් මම කියන්නම් ඒක බලන්න ඕනෙ හරිම හරි ක්‍රමය. මගෙ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ මීට වසරකට පමණ ඉස්සෙල්ල මම ඒක ගැන ලිව්ව, තවමත් ඒ ලිපිය කට්ටිය බලනව. මෙන්න මෙතනින් ඒක බලන්න. 

මේ පහළ තිබෙන රූප සටහනෙන් ඔබට පුළුවන් වේවි ඒක බලන ආකාරය වටහා ගන්න. (මේ කියල දෙන්නෙ මේක බලන්න තේරෙන්නෙම නැති අයටයි.)
  • මුලින්ම ඇස් දෙක විවේකී තත්වයට පත් කරගන්න.
  • ඊට පස්සෙ හුඟක් ඈත වස්තුවක් දෙස බලන්න, හුඟක් ඈත කිව්වට අඩි 10ක් වගේ ඈත උනාම ඇති. (මෙතනදි අවශ්‍ය වන්නේ ඇස් දෙකෙහි බැල්ම සමාන්තර කර ගැනීම (parallel sight)
  • ඊට පස්සෙ බලන්න ඕනෙ රූපය ඔබගේ ඇස් ඉදිරියට පැත්තක ඉඳල අරගෙන එන්න. මතක තියාගන්න, ඇස් දෙක නාභි ගත වෙලා තියෙන්නෙ ඕනෙ තවමත් අර ඈත තියෙන වස්තුවටයි. 
  • රූපය නාභි ගත වන තුරු ඉන්න. හැබැයි මේ කියන්නෙ ඔබ රූපය දිහා බලන්න කියන එක නෙමෙයි. 
  • සාර්ථකව සැඟවුනු රූපය පෙනෙන තෙක් මෙය යළි යළිත් කරන්න. 


මෙතනදි වෙන්නෙ මොකද්ද කියල මෙන්න මේ රූපයෙන් ඔයාලට තේරේවි. නිකම් බැලුවොත් ඔබට පෙනෙයි, මෙම රූප වල එකිනෙක මත අතිපිහිත වෙමින් ගිය එකම ආකාරයේ රූප සමූහයක්. අන්න ඒ රූප, අපේ ඇස් දෙකෙන් වෙන වෙනම බලල එක් තැනකදි ඒ රූප දෙකක් එකට සම්බන්ධ කරල මොළය හඳුනා ගැනීමක් තමා මෙහිදී වෙන්නෙ. සමහර ඒවායේ නම් එහෙම පැහැදිලිවම අපිට ත්‍රිමාණව පේන රූපය නිකම් බැලුවම නෑ, නමුත් ඒක සැඟවිලා තිබෙනවා. (මේ ත්‍රිමාණ රූප සකසන ආකාර දෙකක්. පහත පළමු හා දෙවන රූප මේ දෙවනුව කිව්ව ආකාරයටත්, තෙවන හා සිව්වන රූප මේ පලමුව කිව්ව ආකාරයටත් තමා සකසල තියෙන්නෙ.)


හරි එහෙනම් දැන් තියරිය දන්නවනෙ, අපි කෙලින්ම ප්‍රැක්ටිකල් එකට යමු. මෙන්න තියෙනව ඉතාම පහසු රූපයක්. උත්සාහ කරන්න බලන්න කියල දුන්නු විදිහට. ලොකු කරල බලන්න රූපය උඩ ක්ලික් කරන්න.


ඔබ සාර්ථක වුනොත් ඔබට පුළුවන් වේවි, ලස්සන හදවතක රූපයක් දකින්න.
හරිද දැක්කද? එහෙනම් මෙන්න ඊලඟ එක, මේක නම් චුට්ටක් අමාරු වෙයි, නමුත් හරියට ක්‍රමය දන්න කෙනාට බැරි වෙන්නෙ නෑ, බලන්න මොකද්ද තියෙන්නෙ කියල.


කණු 4ක් උඩ තියෙන යමක් වගේ දෙයක් පේනවද?
මෙන්න තව එකක්. මේකෙ ඉන්නෙ කවුද බලන්නකො.


ගණ දෙවි රූපයක් දකින්න පුළුවන්ද? මේ පහළ එක බලන්නකො, ඒකත් ලේසි එකක්. 


මේක ටිකක් වෙනස්. බලන්නෙ නම් අනිත්ව බලපු ආකාරයටම තමා, නමුත් බලන්න මේකෙ තියෙන වෙනස. මේ රූපය සම්පූර්ණයෙන්ම ත්‍රිමාණව දකින්න පුළුවන්, මේ නිකම්ම බැලුවම පේන රූපයමයි ත්‍රිමාණව පේන්නෙත්, සැඟවුනු රූපයක් නෑ.


මේක ඇවිල්ල අර කිව්ව ත්‍රිමාන රූප වලට වඩා වෙනස් ආකාරයක ත්‍රිමාණ රූපයක්. මේකෙත් සැඟවුනු රූපයක් නෑ, නමුත් මේකෙ එකම විදිහෙ එකිනෙකට චුට්ටක් වෙනස් රූප දෙකක් තිබෙනවා. මේක බලන්නෙ වෙනත් ආකාරයකට. ඒකට කියන්නෙ Crossed Eye කියල. 


ඒ කියන්නෙ මේක බලන්න නම් ඔබ ඇස නාභි ගත කල යුත්තේ ඈතට නෙවෙයි, ලඟට. මේකෙදි කරන්න ඕනෙ ඉස්සෙල්ල කරපු එක පොඩි වෙනසක් එක්ක. ඈතට ඇහැ නාභි ගත කරනවා වෙනුවට හුඟක් ලඟ වස්තුවකට නාභි ගත කරන්න. ඇස් දෙකට ලඟින් ඇඟිල්ලක් තියෙල ඒකට නාභි ගත කරගෙන රූපය ඇඟිල්ලට එපිටින් තියල බලන්න. එතකොට ඔබට මේ රූප දෙක, තුනක් වෙලා පෙනේවි,අන්න ඒ මැදින් පේන තෙවන රූපය පැහැදිලි කරගන්න උත්සාහ කරන්න, අන්න ඒ රූපය ඔයාලට ත්‍රිමාණව පෙනේවි. ඒ කියන්නෙ මේ පේන්න තියෙන රූපය ත්‍රිමාණව පේනව කියන එකයි.
මේකෙදි වෙන්නෙත් අර ඉහළින් පැහැදිලි කරල කිව්ව දේට ටිකක් සමාන දෙයක්. ඒ කියන්නෙ, මේ තියෙන්නෙ අපේ ඇස් දෙකට වෙන වෙනම බැලුවොත් පෙනෙන අවස්ථා දෙකක්. ඒ දෙක එකක් කරල මොළයට හඳුන්වල දෙන එක තමා අපි crossed eye ආකාරයෙන් බලල කරන්නෙ.
එහෙනම් සුභ පතනවා.
අන්තර්ජාලයේ සෙවීමක් කළොත් 3D Stereograms කියල, මේ දෙආකාරයේම රූප ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්.

දුක හිතෙන දෙයක් තමා, මේවා බලන ආකාරය දැනගත්තට පස්සෙ, මම අරමුලින්ම කිව්ව බුද්ධ රූපයක් මට හමු උනේම නෑ බලන්න, කවුරු හරි ලඟ ඒ රූපය තිබෙනවා නම් මෙම ලිපියට අදහසක් සමඟ ඒක බෙදාහදා ගන්න කියල ආරාධනා කරනවා.

මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න: