Saturday, December 21, 2013

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1

බ්ලොග් ලියන්නන් ගූගල් ගැන දැන සිටිය යුතු දේවල්
google
ගූගල් එකෙන් යම් අඩවියක් ලිස්ට් කරනකොට ඔවුන් දේවල් දෙකක් ගැන සළකනවා.
  • අදාලත්වය
  • ප්‍රසිද්ධිය
ඔබගේ අඩවිය, ඔබගේ මාතෘකාවට අදාල හොඳ අන්තර්ගතයක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවියක් / බ්ලොග් අඩවියක් කරගන්නනෙ ඔබට අවශ්‍ය වෙන්නෙ, නේද?
ප්‍රසිද්ධිය කියන එක පිටතින් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නෙ වෙනත් අය ඔබගේ ලිපි, ඔබගේ අඩවිය ගැන කතා කරනවිට. ඔබගේ අඩවියට සබැඳි යොදන විට, Social Media වල ශෙයා කරන විටයි.
අදාලත්වය කියන එක ඇතුළත තියෙන දෙයක්. ඒක කරන්න ඕනෙ ඔබයි. ඔබගේ බ්ලොග් අඩවියේ අදාලත්වයක් සහිත ලිපි ලියන්න ඕනෙ. ඔබ කරන්න අවශ්‍ය වෙන්නෙ මෙන්න මේකයි.

වටිනාකමක් ඇති අන්තර්ගතයන් නිර්මාණය කරන්න.

value
හොඳ ප්‍රසිද්ධියක් ලබාගන්න නම් ඔබගේ ලිපි වල අන්තර්ගතය හොඳ වෙන්න ඕනෙ. එතකොටයි වෙනත් අය ඔබගේ ලිපි ගැන කතා කරන්නෙ. ශෙයා කරන්නෙ.

අලුත් දේවල් නිතර පෝස්ට් කරන්න.

වැඩිපුර ලිපි ලිවීම මගින් ඔබ සෙවුම් යන්ත්‍ර වලටත් වැඩිපුර දේවල් ලබා දෙනව ඔවුන්ට ලිස්ට් කරගන්න. ඉතින් එතකොට ඔබගේ බ්ලොග් අඩවියට ලැබෙන ලින්ක් ගණන් වැඩ්වන නිසා තවත් පිරිස ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනවා. වැඩිපුර කියන්නෙ වැල්වටාරම ඕනෙවට එපාවට ලියන එක නෙමෙයි හරිද.

ස්වභාවික වන්න.

ඔබගේ ලිපි කියවන්න පිරිසක් එන්න නම් ඔවුන් ඔබ ලියන මාතෘකාව සම්බන්ධයෙන් සෙවුම් යන්ත්‍ර වල සෙවුම් කරන්න වෙනව. එතකොට ඔවුන් ටයිප් කරන්නෙ මොන වගේ දේවල්ද කියල හිතල බලන්න. ඒ අනුව ලියන්න, ඒ අනුව keywords ලබා දෙන්න.

Keywords සම්බන්ධයෙන් සමීක්ෂණ කරන්න.

Google keyword Tool එක භාවිතා කරල විවිධ keywords වලට තිබෙන ඉල්ලුම ගැන හොයල බලන්න. ඉතින් එතකොට ඔබට පුළුවන් ඊට අදාල ලිපියක් ලියනවිට ඒ keywords යොදල ලියන්න සහ ඒ keywords යොදාගන්න පුළුවන් ලිපි ලියන්න.

Analytics වලින් ලැබෙන තොරතුරු භාවිතයට ගන්න.

මම දන්නව, ඔයාල හැමෝම විවිධාකාරයේ Analytics, Visitor Counters භාවිතා කරනව. ඒවයේ විස්තර බලනව. නමුත් ඒකෙන් ඔයාල ප්‍රයෝජනයක් ගන්නවද? බොහොමයක් දෙනාට තියෙන උත්තරය “නෑ” කියන එක තමයි. ඉතින් ඒ තොරතුරු භාවිතා කරන්න, මොන වචන සෙවුම් කරල ආපු අයද ඉන්නෙ, මොන රටවල් වලින්ද, ඔය වගේ වටිනා තොරතුරු රැසක් එතනින් එකතු කරගන්න පුළුවන්.

ඔබගේ පරණ ලිපි යළි බලන්න.

ඔබගේ බ්ලොග් අඩවියේ Analytics බැලුවොත් ඔබට පෙනේවි, ඔබ කාලෙකට ඉස්සර ලියපු ලිපි තිබෙනව, තවමත් බොහොමයක් පිරිසක් කියවන්න එන. ඉතින් ඒ ලිපි බලල ඒව අලුත් කරන්න, ඒවට තවත් දේවල් එකතු කරල ඒ ලිපි දියුණු කරන්න. හැම වෙලේම ඒ වගේ ලිපි up to date තියාගන්න.

වටින්නෙ ගණන නෙමෙයි තත්වයයි.

quality-assurance

සමහරු හිතනව ලිපි මහ ගොඩක් ලියන එක තමයි සෙනඟ ගෙන්නගන්න තිබෙන හොඳම ක්‍රමය කියල. නමුත් ඒක නෙමෙයි ඇත්ත. එතරම් වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති ලිපි 100ක් ලියල ගෙන්නගන්න පුළුවන් සෙනඟ ප්‍රමාණය වටිනා, ප්‍රයෝජනවත් ලිපි 1-2කින් උනත් ගෙන්නගන්න පුළුවන්. ඉතින් ලිපි මහ ගොඩක් ලියන එක ගැන හිතන්න එපා, ලියන එක ලිපිය උනත් හරියට ලියන්න. නමුත් ඇත්ත, ලිපි ලියන්න ඕනෙ. වටිනා ලිපි ටිකක් වටිනව වැඩක් නැති ලිපි ගොඩකට වඩා.

නොමිලේ සබැඳි ලබාගන්න.

බ්ලොග් එක අනිවාර්යයෙන්ම Google Web Master Tools වලට එකතු කරගන්න. ඒකෙ Crawl Errors වලින් හොයාගන්න පුළුවන් ඔබගේ බ්ලොග් එකේ dead links, invalid links තිබෙනවද කියල. ඒව බලල අනිවාර්යයෙන්ම හදන්න, ක්‍රියාකරන ලින්ක් හරහා ඔබගේ Search Engine Ranking එක ඉහළ යනව පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන එන අයට විශ්වාසයකුත් ඇති වෙනව.

කෙටි ක්‍රම, රැව්වටිලි වලින් වළකින්න.

සෙවුම් යන්ත්‍ර වල ඉහළටම යන්න කෙටි ක්‍රම, පහසු ක්‍රම නෑ. එහෙම ඒව ගැන කියන අයව විශ්වාස කරන්න එපා. වැඩේ හරියට කරල විතරයි මේක දිනන්න පුළුවන්.

ඊලඟ කොටස් වලින් කොහොමද වටිනා, වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කරගන්නෙ, Blogger, Wordpress අඩවියක් හරියට Optimize කරන්නෙ, කියල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.


2 කොටසට යන්න >>


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Friday, December 6, 2013

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" දෙවන සංස්කරණය සකසමින්....

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියල මම පොඩි පොත් පිංචක් ලියල ඔයාලට දුන්න මතක ඇතිනෙ?
දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලල පොත භාගත කරගන්නකො. ඒකෙ පළමු සංස්කරණය මේ වෙනකොට භාගතකිරීම් 850ක් පමණ සිදුකරගෙන තිබෙනවා. මේ ලිපියත් තමයි මගෙ බ්ලොග් එකේ ලිපි වලින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. 
මේකෙ තව දියුණු කිරීම් ටිකක් සහ තව විස්තර ටිකක් එකතු කරල වඩා විස්තරාත්මක තොරතුරු එකතු කරල දෙවන සංස්කරණයක් සිදු කරන්න මම මේ දවස් වල සැලසුම් කරමින් ඉන්නෙ. ඒක අරඹන්න හුඟක් හිතන් හිටියට වඩා කාලයක් ගිය එකට නම් ටිකක් කණගාටුයි. 

හිතනවා ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියල. 

එහෙනම් නවතින්නම්. 

පළමු සංස්කරණයේ පිට කවරය


Wednesday, November 20, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 4 - අනාගතය

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 3 - වර්තමාන තත්වය

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ ඔබ වර්තමානයේ ඉන්නා තත්වය අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාගෙ අනාගතය ගැන හිතල වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

1. ඔබට පහසුවෙන්ම ලඟා විය හැකි රැකියා අවස්ථා සළකා බලන්න.
මුලින්ම බලන්න ඕනෙ ඔයාලට පහසුවෙන්ම ඇතුළු වෙන්න පුළුවන් රැකියා අවස්ථා තිබෙනවාද කියල. මේ කියන්නෙ ඕනෙ කරන සුදුසුකම් හා යම් සම්බන්ධයක් තිබෙන රැකියා අවස්ථා.
උදා: ඔබගේ දෙමාපියන්ගේ, නෑදෑයෙකුගේ, මිතුරෙකුගේ ව්‍යාපාරයක් සඳහා සේවය කිරීම, යම් සබඳකමක් මත ලබා ගන්න පුළුවන් රැකියාවක් වගේ දේවල්. 
ඔයාට ඇතුළු වෙන්න පුළුවන් තැන් සීමාසහිත වගේ නම් පහසුවෙන්ම ඉක්මනින්ම ඇතුළු වෙන්න පුළුවන් එකක් තමයි හොඳම විකල්පය.

2. ඔබගේ අනාගත මූල්‍යමය ආරක්ෂාව සළකා බලන්න.
රැකියාවක් සොයනකොට මේක අනිවාර්යයෙන්ම සළකා බලන්න අවශ්‍ය දෙයක්. අපි රැකියාවක් සොයන ප්‍රධානම අවශ්‍යතාවය මුදල්නෙ. ඉතින් අනාගතයේදී අපේ හා අපගේ පවුලේ අවශ්‍යතා සපුරන්න හැකිවන තරම් මුදලක් අපේ අතට එන ආකාරයේ රැකියාවක් අපි සොයාගන්න ඕනෙ.  
මේකෙන් අදහස් වෙන්නෙ නෑ මහ ගොඩක් මුදල් තිබෙන්න ඕනෙ කියල හෝ වෙනත් කෙනෙක්ට අවශ්‍ය තරමක් මුදල් තිබෙන්න ඕනෙ කියල. මේ කියන්නෙ ඔබගේ හා ඔබගේ පවුලේ අවශ්‍යතා සපුරාගන්න මුදල් තිබිය යුතුයි කියන එකයි.

3. ඔබගේ අනාගත රැකියා ස්ථාවරත්වය ගැන සිතන්න.
ඔබ රැකියාවක් තෝරාගන්නකොට ඔබ හිතල බලන්න ඕනෙ මේ රැකියාව හැමදාම පවතින එකක්ද කියල. ඒ කියන්නෙ, සමහර රැකියා තිබෙනව, කාලෙකට ලොකු ඉල්ලුමක් තිබෙන, කාලෙකට ඉල්ලුම ගොඩක් අඩුයි. ඉතින් ස්ථාවර රැකියාවක් කියන්නෙ හැමදාම පවත්වාගෙන යා හැකි ඉල්ලුමක් තිබෙන රැකියාවකට.
උදාහරණයකට ඔබ කතුවරයෙක් වෙනව කියල හිතමු. (Freelance Creative Writer) කාලෙකට ඔයාට ඉහටත් උඩින් වැඩ ලැබෙන්න පුළුවන්, නමුත් කාලෙකට වැඩ නැත්තටම නැති වෙන්න පුළුවන්. තවත් උදාහරණයක් ගුරුවරයෙක් සළකමු. ගුරුවරයා කියන රැකියාවට සැමදාම ඉල්ලුමක් තිබෙනවා. 

4. හොයල බලන්න.
ඔබගේ හැකියාවන හා සුදුසුකම් අනුව ඔබට යන්න පුළුවන් රැකියාවන් ගැන හිතාගන්නට ඔබට අපහසු නම්, ඔබට පුළුවන් හොයල බලන්න. අන්තර්ජාලයේ නම් හොයාගන්න පුළුවන් ඒ ඒ සුදුසුකම් අනුව ගැළපෙන රැකියාවල් වල ලැයිස්තු.


තවත් ඉඟි

  • ඔබ දැනට කරන රැකියාවට අකමැති නම් එය මාරු කරන්න. සමහරක් විට ඒ හරහා ඔබට වැඩ වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබට උත්සාහ කරන්න පුළුවන්.
  • කාටවත්ම එක පාරම තමන්ට ගැළපෙන වෘත්තිය තෝරා ගන්න බෑ. ඒකට ටික කාලයක් යන්න පුළුවන්. ඔබටත් එහෙම වෙලා ඇති අනිවාර්යයෙන්ම, නමුත් ඒ ගැන දුක් වෙන්න එපා. ඔබට විතරක් උනු දෙයක් නෙමෙයි ඒක. ඉතින් ඒ ගැන හිතන්න එපා.
  • ඔබ කරන්න ගත්තු රැකියාව ඔබ කුඩා කාලයේ ඉඳලා ආසාවෙන් හිටිය එක නොවුනට, හීන දැක්ක එක නොවුනට කණගාටු වෙන්න එපා. ඔබට ඒ රැකියාව සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම්, ඔබගේ අවශ්‍යතා ඒ හරහා සපුරාගන්න පුළුවන් නම්, ඔබගේ හා පවුලේ අනාගතය ආරක්ෂිත නම් ඔබට ඇත්තෙන්ම හිතෙයි ඔබගේ රැකියාවෙන් ඔබ කෙතරම් සතුටු වෙනවාද කියල. 

පොඩි අනතුරු ඇඟවීම් ටිකක්


  • පහසුවෙන් ලොකු මුදලක් ලබාගන්න පුළුවන් කියන රැකියා වලින් පරිස්සම් වෙන්න, මොකද එහෙම ඒව නෑ.
  • පිරමිඩ ක්‍රම වගේ දේවල් වලට එහෙම අහුවෙන්න එපා. අන්තිමට හිරේ යන්න උනත් සිද්ද වෙන්න ඉඩ තිබෙනවා.
  • පිටරට රැකියා වලට යන්න බලනවා නම් ඔබ සොයාගන්නා රැකියාව, අදාල ආයතනය, අනෙකුත් පසුබිම් විස්තර සියල්ලම සොයල බලන්න. හරියට හොයල බලන්නෙ නැතුව ගිහිල්ල ඔබ ලොකු අමාරුවක වැටෙන්න උනත් ඉඩ තිබෙනවා. සමහරවිට මරණය පවා. 

එහෙනම් මේ කොටස් 5කින් යුක්ත ලිපිය මෙතනින් අවසානයි, තවත් මේ සම්බන්ධ ලිපි මාලාවකින් මුණගැහෙමු.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Sunday, November 10, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 3 - වර්තමාන තත්වය

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ හැකියාවන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාගෙ වර්තමාන තත්වය/ස්වභාවය අනුව වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

මේක සමහර වෙලාවට ටිකක් අපහසු වැඩක්. ඔයාට ඔයාගෙ ජීවිතෙන් මොනවද ඕනෙ, ඔයාට ඕනෙ කරන්නෙ මොනවද, වගේ දේවල් ගැන හිතල ඔයා ගැනම ඔයාට තේරුම් ගන්න අවශ්‍ය වෙනව. ඒකට සමහරවිට ටිකක් පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරන්න උනත් වෙන්න පුළුවන්. 

1. ඔබ වැඩිපුරම සතුටු වන දේ සළකන්න. 
ඔයාට ඕනෙ ඔයාගෙ හිත සතුටු වෙන රැකියාවක් නම් ඔයා හිතල බලන්න ඕනෙ ඔයා සතුටු වෙන්නෙ මොන වගේ දේවල් කරලද කියල. 
"කොයි වගේ වැඩ වලින්ද, කොයි වගේ දේවල් කිරීමෙන්ද මගෙ හිත සතුටු වෙන්නෙ? මට සතුටින් කරන්න පුළුවන් වැඩ මොනවද?"
මෙන්න මේ ප්‍රශ්න වලට සාර්ථකව උත්තර දුන්නොත් ඔයාට පුළුවන් ඔයාගෙ වෘත්තිය කරගන්න ඕනෙ මොකද්ද කියල තේරුම් ගන්න.

ඔබ වැඩිපුරම සතුටු වන්නේ මිනිස්සුන්ට උදව් කිරීමෙන් නම්, වෛද්‍යවරයෙක්, හෙදියක්, උපදේශකයෙක් වගෙ රැකියාවන් ඔබට ගැළපෙන්න ඉඩ තිබෙනවා. ඔබ වැඩිපුරම කැමති අනිත් අයට උගන්වන්න නම් ඔබට හරියන්නෙ බොහෝ විට ගුරුවෘත්තිය. 

2. ඔබගේ මූල්‍යමය තත්වය ගැන සළකන්න. 
මේ කියන්නෙ ඔයාට සල්ලි හොයන්න ඕනෙද කියන එක නෙමෙයි.
සමහර වෘත්තියන් සඳහා විශේෂ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරන්න ඕනෙ වෙනව. උදාහරණයකට, වෛද්‍යවරයෙක් වෙන්නෙ ඔබ වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ල ඉගෙනගන්න වෙනව. ඒ වගේ සමහර වෘත්තීන් සඳහා වන වෘත්තීය නිපුණත්වය ලැබිය යුතු වෙනව. ඉතින් ඒ දේවල් සමහරකට මුදල් වියදම් වෙනව. 


මෙහෙම කිව්වම හිතන්නෙපා ඒ වගෙ රැකියා වලට යන්න සල්ලි ඕනෙ කියල. ලංකාවෙ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයක්නෙ, ඉතින් ඒ හුඟක් ඒවට ලොකු මුදලක් වියදම් නොකර, අවශ්‍ය අධ්‍යාපන අවශ්‍යතා සපුරන්න ලංකාවෙ හැකියාව තිබෙනවා. එහෙම නොවෙන ඒවට මුදල් වියදම් කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැනත් සිතිය යුතු වෙනවා.

3. දැනට ඔබට ඇති අධ්‍යාපන මට්ටම සළකන්න.
ඔයා වෘත්තියක් අරඹන්න හදනකොට ඔයාට කොහොම අධ්‍යාපන මට්ටමක්ද තිබෙන්නෙ කියල බලන්න. ඔයාට යන්න ඕනෙ තැනට යන්න තරම් ඔබට තිබෙන අධ්‍යාපන මට්ටම සමහරවිට මදි වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් තවත් අධ්‍යාපනය හරහා ඉදිරියට යන්න මූල්‍යමය ප්‍රශ්න එහෙම තිබෙනවා නම් ඒවාට විසඳුම් හොයාගෙන ඉදිරියට තවත් ඉගෙනගන්නවද නැත්තම් දැනට තිබෙන් අධ්‍යාපන මට්ටමට සරිලනම රැකියාවක් හොයාගන්නවද කියන එක ඔබ තීරණය කරන්න ඕනෙ. 
ඔයාට හරියට ඒක තීරණය කරන්න අමාරු නම් වෘත්තීය උපදේශකයෙකු මුණගැහිල සාකච්ඡා කරල උපදෙස් ලබාගන්න ඔයාට පුළුවන්.

4. යළි ඉගෙනගන්නවද කියල හිතන්න.
උඩ කිව්ව එකට අදාලව තව ඉගෙනගන්න ඕනෙ කියල පේනව නම් ඊට හැකියාව (මුදල්, කාලය, වෙනත් දේ) තිබෙනවා නම් මේ ගැන හිතල බලන්න කියලයි මම කියන්නෙ. මොකද අපි ඉගෙනගන්න දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න අපිට යන්න පුළුවන් නව මාර්ග විවෘත වෙනවා. 
සාම්ප්‍රදායික ඉගෙනීම් (විවිධ අධ්‍යාපනික පාඨමාලා) හරියන්නෙ නෑ වගේ හිතෙනව නම් technical collage වගේ ආයතන හරහා සෘජු වෘත්තීය පාඨමාලා හදාරන්න පුළුවන්.

5. තවත් හොයල බලන්න.
හ්ම්ම්. තවමත් හිතාගන්න බැරිද? ඉතින් තව හොයල බලන්න. විවිධ ස්ථාන වලින් උපදෙස් ලබාගන්න. උපදේශකවරු, පාසල් ගුරුවරු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වැනි අයගෙන් උපදෙස් ගන්න. 

අන්තර්ජාලය කියන එක දැන් හැමෝම භාවිත කරන එකක්නෙ, ඒකෙ ඕනෙ තරම් තොරතුරු උපදෙස් හොයාගන්න පුළුවන්.


ඊලඟ ලිපියෙන් අපි කතා කරමු "අනාගතය" ගැන හිතල වෘත්තිය තෝරා ගන්නා හැටි. 

"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, November 4, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ කැමැත්තන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාලගෙ හැකියාවන් අනුව වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

1. ඔයා පාසලේදි වැඩිපුරම දක්ෂතා දැක්වූ විෂයන්, වෙනත් දේ මොනවාද?
පාසලේදී ඕනේම කෙනෙක් හැම විෂයකට නොවුනත්, සමහරක් විෂයන්ට වැඩිපුර දක්ෂයි. ඔබ එහෙම වැඩිපුරම දක්ෂතා පෙන්වූ විෂය / විෂයන් මොනවාද? ඒ හරහා ඔබගේ වෘත්තියක් තෝරා ගන්න පුළුවන් වෙයි.

උදා: ඔබ භූගෝල විද්‍යාව විෂයයට කැමතිද? එහෙම නම් භූ ගර්භ විද්‍යාඥයෙක්, භූ විද්‍යා සම්බන්ධ විශේෂඥයෙක් වෙන්න කැමැත්තක් ඇති නේද? ඔබ ගණිතය විෂයට කැමතිද? එහෙනම් ගණිතඥයෙක්, ගණකාධිවරයෙක් වෙන්න ඔයාට පුළුවන්.

2. ඔබ කුමනාකාරයේ හැකියාවන් වලින්ද විශිෂ්ඨත්වය දක්වන්නේ?
කැම කෙනෙක්ටම විවිධ දක්ෂතා තිබෙනව. සමහරු අඳින්න දක්ෂයි, සමහරු ගී ගයන්න දක්ෂයි, සමහරු විවිධ නිර්මාණ කරන්න දක්ෂයි, සමහරු උපකරණ අලුත්වැඩියා කරන්න දක්ෂයි. ඉතින් ඔයා දක්ෂ මොනවටද?
ඔයා ගී ගයන්න දක්ෂ නම් ඇයි ගායකයෙක් / ගායිකාවක් වෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?
ඔය ඉවුම් පිහුම් වලට දක්ෂ නම් කෝකියෙක් වෙන්න ආස නැද්ද?

3. ඔබගේ අන්තර් පුද්ගල සම්බන්ධතා සළකා බලන්න.
සමහරු, මිනිස්සු එක්ක කතා බහ කරන්න, අදහස් හුවමාරු කරගන්න, දක්ෂයි. මෙ කියන්නෙ නිකම්ම ඔහේ කියවන එක නෙමෙයි, අනිත් අයට සවන්දෙන්න, එයාලගෙ ගැටළු වලට උත්තර දෙන්න, අනිත් අයට උදව් කරන්න,  වගේ දේවල්.

ඉතින් ඔයා මේ දේට දක්ෂ නම් ඒ හරහා ඔබගේ වෘත්තිය තෝරා ගන්නත් පුළුවන්. 
අනිත් අයට උදව් කරන්න කැමති නම් හෙදියක් වෙන්න ඔබට පුළුවන්. හොඳ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් කුමක් හෝ ආයතනයක මානව සම්පත් කළමණාකාර තනතුරක්, පාලක තනතුරක් ලබා ගන්න පුළුවන්.

4. ඔබගේ හැකියාවන් ඔබටම හඳුනා ගන්න අමාරුද?

එහෙනම් අහන්න. සමහර වෙලාවට අපිටම හිතාගන්න බෑ අපි මොනවටද දක්ෂ කියල. ඉතින් මොකද කරන්නෙ??? අහන්න. ඔබගේ පවුලේ අයගෙන්, නෑදෑයින්ගෙන්, මිතුරන්ගෙන්, ගුරුවරයාගෙන් අහන්න. ඔවුන් ඔබගේ හැකියාවන් හඳුනාගෙන සිටිනවා වෙන්න පුළුවන්. 


එහෙනම් ඊළඟ කොටසෙන් බලමු, ඔබ දැන් සිටින තත්වය අනුව කොහොමද ඔබගේ වෘත්තිය තෝරා ගන්නෙ කියල. 


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, November 2, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

හරි. අපි අද ලිපියෙන් හඳුනාගැනීම ගැන තව දුරටත් කතා කරමු.

හඳුනාගැනීම කරන ආකාර 4ක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.
2. ඔබගේ හැකියාවන් ගැන සළකන්න.
3. ඔබගේ වර්තමාන තත්වය ගැන සළකන්න.
4. ඔබගේ අනාගතය ගැන සළකන්න.

ඉතින් අංක එකෙන් පටන් ගනිමු. 

1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.

1. ඔබ සිහින දකින අනාගතය
පරණ කියමනක් තියෙනව දන්නව ඇති ඔයාල. "ඔයාට රු.මිලියනයක් හම්බුනොත් මොකද කරන්නෙ?" මේකට දෙන උත්තරෙන් ඔයාට ඕනෙ රස්සාව මොකද්ද කියල නම් කියන්න බෑ. නමුත් ඔයාගෙ හිත ඇතුළ ගැන අදහසක් ගන්න පුළුවන්. ටිකක් හිතල බලන්න.
  • ඔයාට ඕනෙ නම් සංගීත ලෝකයේ ඉහළින් වැජඹෙන්න, සංගීතය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න, නැතිනම් ඒ සම්බන්ධ දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ හරහා අර සිහිනය ජයගන්න ආරම්භය ගන්න පුළුවන්.
  • ඔයාට ඕනෙ නම් ප්‍රසිද්ධ නළුවෙක් නැතිනම් නිවේදකයෙක් වෙන්න, සන්නිවේදනය / නාට්‍යකරණය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න පටන්ගන්න, නැතිනම් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවයකට බැඳිල එතනින් පටන් අරගෙන ඉස්සරහට යන්න.
  • ඔයාගෙ ආසාව ලෝකෙ වටේ යන්න නම්, පයිලට් කෙනෙක් නැතිනම් ගුවන් සේවකයෙක්/සේවිකාවක් වෙන්න පුළුවන්. එතකොට රැකියාවකුත් එක්කම ඔබගේ සිහිනය සැබෑ කරගන්නත් ඔබට පුළුවන්. 
2. ඔබගේ විනෝදාංශ

ඔයාගෙ විනෝදාංශය ඔයාගෙ රැකියාව කරගන්න කිසිම අපහසුවක් නෑ. හුඟක් විනෝදාංශ සාමාන්‍යයෙන් ලෝකයෙ තියෙන රැකියාවකට සමාන කරන්න පුළුවන්. ඉතින් ඔයාගෙ විනෝදාංශයම කරගෙන යන්න පුළුවන් රැකියාවක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.
  • ඔයා කැමතිද ගොඩක් පරිගණක ක්‍රීඩා කරන්න. ඉතින් එහෙනම් පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන Programmer කෙනෙක්, නැතිනම් පරිගණක් ක්‍රීඩා පරික්ෂා කරන QA Analyst කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.
  • ඔයා වනජීවී ඡායාරූපකරණයට කැමතිද? ඉතින් ඔයාට පුළුවන්නෙ වනජීවී ඡායාරූපශිල්පියෙක් වෙලා ඡායාරූප අරගෙන විකුණන්න. 
  • ඔයා කැමති චිත්‍ර අඳින්නද? එහෙනම් ඇයි ග්‍රැෆික් නිර්මාණකරණයට යොමු වෙන්නෙ නැත්තෙ? 
  • ඔබ කැමති ක්‍රීඩා වලටද? ඉතින් ඔබ කැමති ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහිල්ල ඒ ක්‍රීඩාවල අදාල පුහුණුකරුවෙක් වෙන්න උත්සාහ කරන්න.
3. පාසලේදී කැමතිම දේවල්
පාසලේදී කැමති විෂයන් හරහා ඔයාලගෙ අනාගත රැකියාව හිතන්න පුළුවන්. නමුත් මේ හරහා එන රැකියා වලට මුල් ඒවාට වඩා අධාපනික දැනුම කාලය වියදම් වෙනව. ඒ නිසා මෙවට ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
  • ඔයා උසස්පෙළට විද්‍යා විෂයන් කරනව නම් රසායන විද්‍යාවට නම් වැඩිපුරම කැමති, රසායන විද්‍යාඥයෙක්, Lab Technician කෙනෙක්, Pharmacist වගේ රැකියාවකට යොමුවෙන්න පුළුවන්.
  • ඔබ ඉංග්‍රීසි භාෂාවට නම් වැඩිපුරම ඉංග්‍රීසි ගුරුවරයෙක්, පුවත්පත් කතුවරයෙක්, Copywriter කෙනෙක් වෙන්න පුළුවන්නෙ.
  • ගණිතයට, ගිණුම්කරණයට ගොඩක් කැමති නම්, ගණකාධිවරයෙක්, වගේ රැකියාවක් ගැන මොකද හිතන්නෙ?
ඔබගේ හැකියාවන් ගැන සළකල අනාගත වෘත්තිය තෝරාගන්න හැටි ඊලඟ ලිපියෙන් බලමු.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, October 26, 2013

නොසළකා හැරිය යුතු, බ්ලොග් ලිවීම සම්බන්ධ උපදෙස්

අන්තර්ජාලය දැන් බ්ලොග්කරුවන්ගෙන් පිරිල තියෙනව. සිංහල බ්ලොග් ලියන්නොත් දහස් ගණනක් දැන් ඉන්නවනෙ. ඔයාලත් බ්ලොග් ලියනවනෙ නේද? 
සමහර බ්ලොග් වලින් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නව. විවිධ දේවල් ඉගෙනගන්නව, අපේ වැඩ කරගන්න පහසු ක්‍රම හොයාගන්නව, සමහර බ්ලොග් වලින් විවිධාකාරයේ උපදෙස් ලබා දෙනව. උදාහරණයක් විදිහට බ්ලොග් ලිවීම සඳහා. මම මේ කියන්නෙත් ඒ වගේ එකක්නෙ. 
ඉතින් සමහර උපදෙස් වැදගත්, නමුත් සමහර උපදෙස් තිබෙනවා නොසළකා හරින්න ඕනෙ, ඒ කියන්නෙ ඒ උපදෙස් නම් හොඳ ඒව නෙමෙයි. 
එහෙම නරක උපදෙස් ටිකක් ගැන මම කියන්නම්.


බ්ලොග් එකක් පටන් අරගන්න. ලේසියෙන්ම ගෙදර ඉඳන් සල්ලි හොයන්න පුළුවන්. 
සමහරු කියනව, බ්ලොග් එකක් පටන් අරගෙන ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියල. මේක වැඩිපුරම කියන්නෙ, එයාල ගාව තියෙනවයි කියන "රහස් වට්ටෝරුවක්" ගැන කියලයි. ඒක විකුණගන්න. සමහරු ඒක සල්ලි වලට අරගෙන අන්තිමට අසාර්ථක වෙනව. බ්ලොග් වලින් සල්ලි හොයන්න බෑ කියල මම කියන්නෙ නෑ, නමුත් ඔය කියන තරම් නම් ලේසි නෑ.

දවසකට මිනිත්තු 5ක් බ්ලොග් ලියන්න ගත කළා නම් ඇති.
මේ කියන තරම් බ්ලොග් ලියන එක ලේසි නම් කොච්චර හොඳද. නමුත් සාර්ථක බ්ලොග් ලියන්නෙක් වෙන්න ඕනෙ නම් ඒක මේ තරම් සරළව පොඩි කාලයක් ගත කරල නම් කරන්න බෑ.

බ්ලොග් කරුවෙන් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් ලේසි විශේෂ ක්‍රම තියෙනව.
මෙහෙම ක්‍රම තියෙනව නම් කොච්චර ලේසිද නේද? ඒත් දුක කියන්නෙ එහෙම විශේෂ ක්‍රම, අර කිව්ව වගේ රහස් වට්ටෝරු නම් නෑ සාර්ථක බ්ලොග් ලියන්නෙක් වෙන්න. ඔබ හොඳට ලියන්නම ඕනෙ.

ඔබ දන්න මොනව හරි දෙයක් ලියන්න.
මේක හුඟක් අය පටලවගන්න දෙයක්. මේ කියන්නෙ ඔයාගෙ ජීවිතේ වෙච්ච හැමදෙයක්ම නෙමෙයි, ජීවිත අත්දැකීම් වලින් උනත් ගොඩක් දේවල් අනිත් අයට දෙන්න පුළුවන්, නමුත් හැම දෙයකින්ම නෙමෙයි. බ්ලොග් කියවන අයගෙ අවශ්‍යතාත් හඳුනා ගන්න වෙනව.

ලියන තරම වැඩි වෙන තරමට තමයි හොඳ.
නෑ. ඇත්තෙන්ම නෑ. කොච්චර ලිව්වත් වැඩක් නෑ, ඒ ලියන දේවල් වලින් අනිත් අයට ප්‍රයෝජනයක් නැතිනම්. ඉතින් වැදගත් වෙන්නෙ ලියන ප්‍රමාණය නෙමෙයි, ලියන ඒවයෙ තත්වය නැතිනම් වටිනාකම. අපි ලියන දේවල් වල වටිනාකමක් නැති නම් අනිත් අය බලන්නෙ නෑ නේද?

පිටතින් කතුවරයින් අරගෙන එයාලට ලියන්න දීල විවේක ගන්න.
ඔබේම බ්ලොග් එකක ඔබේම අනන්‍යතාවයක් ගොඩනඟාගන්න ඔබ හිතනව නම් උත්සාහ කරනව නම් පිටතින් කතුවරුන් අරගෙන ලිපි ලියල දාල නම් වැඩක් වෙන්නෙ නෑ. ඔයාලම ලියන්න ඕනෙ. 

බ්ලොග් ලියනකොට ඔබගේ අනන්‍යතාවය සඟවන්න.
සමහරු බ්ලොග් ලියන්නෙ වෙනත් නම් වලින්, නැති නම් මවාගත් චරිතයක් තුළින්. ඒකෙ නරකක් කියන්න බෑ. එහෙම වෙනත් නම් වලින් හුඟක් සාර්ථක බ්ලොග් ලියන අය අපි අතර කොච්චර ඉන්නවද. නමුත් තමුන්ගෙම අනන්‍යතාවයක් ගොඩනඟාගෙන බ්ලොග් ලියනකොට ඒ හරහා වඩාත් විශ්වාසවන්තී කියවන්නන් පිරිසක් ඔයාලගෙ වටේ එකතු කරගන්න පුළුවන්.

සෘණාත්මක කමෙන්ට් ඉවත් කරන්න.
මේකත් කරන්න නරකම වැඩක්. සෘණාත්මක අදහස් කියන්නෙ ඔයාගෙ දුර්වලතා මඟහරවා ගන්න මාර්ගයක්. ඒව ඉවත් කරන එක නෙමෙයි කළ යුත්තේ ඒවාට පිළිතුරු සැපයීම, නිවැරදි මාර්ගයට පැමිණීම. 

අදහස් වලට පිළිතුරු දෙන්න එපා.
මේක නම් අපේ සිංහල බ්ලොග් කරුවන් අතරේ වෙනව අඩුයි මම හිතන්නෙ. කොච්චර ලිව්වත්, ඒව ප්‍රසිද්ධ කර කර හිටියත්, කොච්චර කාර්යබහුල උනත්, ඔයාගෙ බ්ලොග් එකට ඇවිල්ල ලිපියක් කියවල අදහසක් දක්වල යන කෙනෙක්ට පිළිතුරක් දෙන්න කොයි වෙලේවත් මැලි වෙන්න එපා. එතනිනුත් ඔයාගෙ වටේ ඉන්න කියවන්නන් අතර විශ්වාසයක් ගොඩ නැඟෙනව. 

ලිපි ලිවීම ගැන පමණක් හිතන්න, කියවන්නන් ඉබේම ඒවි.
මේක නම් තනිකරම බොරුවක්. සුපිරිම ලිපි 100ක් ලිව්වත් වැඩක් නෑ, අනිත් අයට ඒක ගැන කිව්වෙ නැති නම්. ඉතින් ලිපියක් ලිව්වම ඒක ගැන අනිත අයටට් කියන එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.

සෙවුම් යන්ත්‍ර ඉලක්ක කරගෙන ලියන්න.
මේකත් තේරුමක් නැති වැඩක්. වැඩිපුරම සෙවුම් කරන දේවල් ගැන ලිව්වත් ලියන්න ඕනෙ අලුත්ම දෙයක්. තියෙන දෙයක්ම ආපහු ලියන එක එතරම්ම තේරුමක් නෑ. මොකද දැන් සෙවුම් යන්ත්‍රත් ගොඩක් සංකීර්ණ ක්‍රම අනුගමනය කරනව unique content හොයන්න. ඉතින් කළ යුත්තේ අලුත්ම දෙයක් ලියන එක. ඒක පිළිබඳ කියන එක. සෙවුම් යන්ත්‍ර ඔයාට ට්‍රැෆික් එවයි ටික ටික.

ලෝකෙටම පෙන්නන්න ඉස්සෙල්ල කිසිම වැරැද්දක් නැති බව තහවුරු කරගන්න.
මෙහෙම කරන්න ගියොත් කවදාවත් වැඩක් කරන්න වෙන්නෙ නෑ. අපි කරන ලියන දෙයක් 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. (නමුත් වැරදි බොරු ලියන්න කියල නෙමෙයි මේ කියන්නෙ) මුළින්ම කරන්න ඕනෙ අපි ලියන දේ ලෝකයාට දෙන එක. ඊට පස්සෙ පුළුව්න් ඒක දියුණු කරන්න. 

මීට අමතරව තව දේවල් ඇති. මේ මට හම්බුනු දේවල් ටිකක්. ඔයාලගෙ අදහස් වලටත් විවෘතයි.

Thursday, October 17, 2013

ඇයි අපි බ්ලොග් ලියන්නෙ??? නවත්තන්න හිතෙනවද?

හ්ම්ම්. ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ ආව. පස්සෙ ඉතින් කොහොම හරි ලියන්න පටන් ගත්තනෙ. අවුරුදු 4ක් බ්ලොග් ලිව්වනෙ. දැන් ලියවෙන්නෙම නෑ. :(
ඇයි ඇත්තටම??? වෙලාව මඳ කමකුත් නෙමෙයි, ඇත්තටම කම්මැලිකමටද මන්ද. උවමනාවක් නැතිවද මන්ද.
නවත්තන්නත් හිතෙනව, ඒත් නවත්තන්න හිතෙන්නෙත් නෑ.

ඇයි අපි බ්ලොග් ලියන්නෙ? 
ආපහු අවුරුදු 4කට ඉස්සෙල්ල මගෙ හිතට ආපු ප්‍රශ්නෙම මම අද ආපහු උත්තරයක් හිතනව.
මෙන්න උත්තර.


1. අපි අලුත්ම දෙයක් තමයි දෙන්න හදන්නෙ.
අපි අපිට වැඩක් තිබෙන නැතිනම් අනිත් අයට වැඩක් තිබෙන, අපිට වැඩක් නැති, නැතිනම් වෙනත් අයටත් වැඩක් නැති දේවල් දවසක් ඇතුළත කොච්චර කරනවද? 
පරිගණකය ඉස්සරහට වෙලා ඉඳගෙන අපේම වචනයෙන් අපි බ්ලොග් ලිපියක් ලියනකොට මොකද වෙන්නෙ? අපි අපේම අලුත්ම දෙයක් ලෝකෙට දෙනව. සමහර විට ඒකෙ කියවන්න කෙනෙක් නැති වෙයි, සමහරවිට අදහස් එකක්වත් එන එකක් නෑ. නමුත්, අපි අලූත්ම දෙයක් ලෝකෙට දීල නේද? (කොපි කරන්නන්ට වලංගු නොවේ.)

2. ලියන එකෙන් අපි සතුටක් ලබනවා
බ්ලොග් ලියන එකෙත් එක්තරා සතුටක් තියෙනව. අපේ බ්ලොග් ලිපිය බලන්න ගොඩක් අය ඉන්නෙ නැති වෙන්න පුලුවන්, කමෙන්ට් එන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් අපේම වචන වලින් අපේ හිතේ තියෙන අදහස් එකතු කරල ලිපියක් ලියනකොට ඒ ලිපිය පබ්ලිශ් කළාම ඇත්තටම හිතට සතුටක් දැනෙනව නේද?
සමහරු නම් සිය ගාණක් කට්ටියතමන් වටේ එකතු කරගෙන ලිපි ලියනව, එයාලගෙ ලිපි කියනවන්න කමෙන්ට් කරන්න සිය ගණන් කට්ටිය ඉන්නව. හැමෝටම එහෙම නෙමෙයි. 
නමුත් ලිපි ලිවීමෙන් සතුටක් දැනෙනව නේද?

3. අපි අලුත් දේවල් ඉගෙන ගන්නව
අපි බ්ලොග් එකක් පටන් අරගෙන ඒක දියුණු කරගන්න, ඒකට එක එක දේවල් එකතු කරගන්න තවත් විවිධාකාරයෙන් බ්ලොග් එක දියුණු කරන ආකාර ඉගෙන ගන්නව. බ්ලොග් එකට එන අයත් එක්ක කතා කරනකොට (කමෙන්ට් වලින්) අපි අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟන්න ඉගෙන ගන්නව. 
ඉගෙන ගන්නව කියන එක නවතින දෙයක් නෙමෙයිනෙ නේද?

4. අපි අලුත් මිතුරන් ඇති කරගන්නව
බ්ලොග් කියන්නෙත් එක්තරා සමාජ ජාලයක්. අපි බ්ලොග් කියවනව, අපේ බ්ලොග් වෙනත් අය කියවනව. ඉතින් එක ආකාරයේ කැමැත්තන් තියෙන අය එකට එකතු වෙනව. අපේ ලිපි කියවන්න ඇවිල්ල අපේ මිතුරන් වෙන අය කොච්චර ඉන්නවද. මගෙ PhotographyLK බ්ලොග් එක හරහා මම මිතුරන් සිය ගාණක් ඇතිකරගෙන තිබෙනව. Guide To CSE බ්ලොග් එකෙනුත් එහෙමයි. ඇයි මේ බ්ලොග් එකෙන්. කැම්පස් එකේදි සමහරු මාව දැක්කම මට ඒ දවස් වල කතා කළේ මගෙ නම කියල නෙමෙයි, මගෙ බ්ලොග් එකක නමක් කියල. :D 
ඇයි බ්ලොග් ලියන අපේ ලඟ පාතම හිටි අයත් හම්බෙනවනෙ. පිට රටවල් වල අයත්. කොහොම හරි, බ්ලොග් හරහා අපිට පුලුවන් ගමේ ඉන්න බ්ලොග් ලියන කෙනත්, ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් ලියන්නන් එක්කත් මිතුරු වෙන්න. 

5. අපි මිනිස්සුන්ට උදව් කරනවා
අපේ බ්ලොග් එකට එන්නෙ 10දෙනා වෙන්න පුළුවන්, 1000දෙනෙක් වෙන්නත් පුළුවන්. ගණන කීය උනත්, ඒ ලිපිය කියවන අය යම්ම හෝ ප්‍රයෝජනයක් ගන්නව නම් අපි කාටහරි එක්කෙනෙක්ට හරි යම් උදව්වක් නේද කරල තියෙන්නෙ?
අපි අධ්‍යාපනික දෙයක්, මොකක් හරි කරන හැටි ලිව්වොත්, ඒක ඉගෙනගන්න අයට කොච්චර පහසුවක්ද. අපි විහිළුවක් ලිව්වොත් කාගෙ හරි හිතේ සතුටක් ඇති කරන්න අපිට පුළුවන් නේද? අපි ලියන දෙයක් කියවල කෙනෙක් හිතන විදිහ වෙනස් කරගත්තු අයත් ඇති නේද?
අපි වෙනසක් කරන්න උත්සාහ කරනව නම් ඒ උත්සාහය කොතරම් පොඩිද ලොකුද කියල හිතන්න අපි අවශ්‍ය නෑ. වෙනසක් කරනව නම් එපමණයි අවශ්‍ය වන්නේ.

6. අපි මුදල් ඉපයීමක් කරන්න ආසන්නව ඉන්නෙ.
සමහරවිට දැනටමත් සමහරු බ්ලොග් එක හරහා මුදල් උපයනව. සමහරු කිසිම වාසියක් නැතිව වෙහෙසෙනව. (මමත් ඒ ජාතියෙනෙ). 
නමුත් ඇත්තටම ඉතින් මොකද. සමහරු බ්ලොග් හදන්නෙ මුදල් උපයන්න, සමහරු සතුටක් ලබාගන්න, මේ උඩ කිව්ව මොකක් හරි හේතුවක් නිසා.
රුපියලක් උපයන්න පුළුවන් උනත් ඒකත් වැදගත් නේද? ටිකක් මහන්සි උනොත් ඊට වඩා දෙයක් උනත් කරගන්න බැරි වෙන්නෙ නෑ. ටිකක් නිර්මාණාත්මකව හිතන්නයි ඕනෙ. රැකියාවක් කරන්නෙ නැද්ද? එහෙනම් ඇයි උත්සාහ කරන්නෙ නැත්තෙ? ඔබේම මුදලක් උපයන්න?

7. අපි හරිම ලස්සන ගමනක් යන ගමන් ඉන්නෙ.
බ්ලොග් ලිවීම කියන්නෙ ඇත්තටම හරිම ලස්සන දෙයක්. අර කිව්ව වගේ අලුත් යාලුවො, අලුත් දේවල් අපිට හම්බ වෙනව, ඉගෙන ගන්නව, උගන්නනව. මේ හරහා අපි කොයි පැත්තකට යාවිද අපිටම කියන්න බෑ. අපි තෝරාගන්නා යම් ඉලක්කයකට උනත් යන්න උනත් අපිට පුළුවන්, නැතිනම් වටපිට බල බල හෙමීට හිත හැරුනු අතේ යන්නත් පුළුවන්, සමහර විට එහෙම ගිහිල්ල ගොඩක් ලස්සන තැනක නවතින්නත් ඉඩ තියෙනව. 
ඉතින් හරිම ඉලක්කයක් නැතිනම් හිතන්න එපා, හිතේ හැටියට යන්න, ලස්සන තැනක ඔබ නවතීවි.

බැරි වෙලාවත් අපි බ්ලොග් ලියන එක නැවැත්තුවොත්????
අපි දන්නෙ නෑ අර ලස්සන තැන කොයි වගේ වෙයිද කියල.

ඉතින්.....
මම නම් බ්ලොග් ලියන එක නවත්තන්නෙ නෑ. 

Tuesday, September 17, 2013

මේ පාරත් Book Fair ගියාලු

මේ පාර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා නම් තමයි, නමුත් ගිය පාර වගේ ලිපි ලියන්න බැරි උනානෙ.
ගිය පාර නම් යන්න ඉස්සෙල්ලත් එකක් ලියල, ගිහිල්ල ඇවිල්ලත් එකක් ලිව්ව. මේ පාර ගිහිල්ල ඇවිල්ල තමයි ලියන්නෙ. 
මේ ලිපි වලින් හොඳ පොත් ලිස්ට් එකක් හදාගන්න උනත් පුලුවන් වෙයි මේ පාර යන අයට.

මේ තියෙන්නෙ මම සහ අපේ නංග ගත්තු පොත් සෙට් එක. අම්මත් ගියානෙ. 


1-10 මම ගත්තුව, 11,12 අම්ම ගත්තුව, 13-19 නංගි ගත්තුව. 

1. පන්සිය පණස් ජාතක පොත
2. තෙවන ඇස - ලොබ්සාන් රම්පා
3. ජීවිතේ අභියෝග වලට සතුටින් මුහුණ දෙන හැටි - අජාන් බ්‍රහ්මවංසෝ
3. සිත් තැවුල් ඇති කරගන්න එපා, බලාපොරොත්තු සහගත වන්න. - අජාන් බ්‍රහ්මවංසෝ
4. විමුක්ති රසය - අචාන් චා
5. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 3
6. සප්ත අපරිහාණී ධර්ම
7. ඈ සහ ඇලන් - රයිඩර් හැගාඩ්
8. අස්වැන්න - ජයසේන ජයකොඩි
9. මිහිකතේ ගීතය - ආතර් සී. ක්ලාක්
10. චන්ද්‍ර ගවේෂකයෝ - ආතර් සී. ක්ලාක්
11. පාරමිතා ප්‍රකරණය - රේණුකානේ චන්දවිමල
12. පුණ්යෝපදේශය - රේණුකානේ චන්දවිමල
13. දිණමිණ සූප ශාස්ත්‍රය 
14. ලන්තෑරුම් දහසේ නිවස - වික්ටෝරියා හෝල්ට්
15. බඹර තුඩේ අභිරහස
16. A bend in the road - Nicholas Sparks
17. Why didn't they asked Evans? - Agatha Christi
18. Diamond in the rough - Diana Palmer
19. Death in the clouds - Agatha Christi

අනාගත සැළසුම් සඳහා මුදල් ඉතුරු කරගන්නත්, ගිය අවුරුද්දෙ ගෙනාපු පොත් ඔක්කොම තවමත් කියවල ඉවර නැති නිසත්, මේ පාර ගත්තෙ පොත් පොඩ්ඩයි. 

මේ පාර කට්ටිය හරියකට සෙට් වෙන්න බැරි උනා. නමුත් ටික ටික හරි මුණ ගැහුන. මමයි මගෙ කෙලි පොඩ්ඩයි ගියා. නිසුපා සහ බට්ටි කෙල්ල පරක්කු වෙලා ආවා, නෙරන්ජි, සිහින, චින්තක පස්සෙ සෙට් උනා, අයිස් සහ ඩී.ජේ ආව කිව්වට මට හම්බුනේ නෑ. අපේ දිමුතු ආවට මිනිහ ආපු ගමන්ම වගේ වාෂ්ප වෙලා තිබුනා. දුක්බර ලෙස උදිතට එන්න බැරි උනා මොකෝ ඌ දේස දීපංකරේ ගොහිල්ල නිසා.

කට්ටිය හරියකට සෙට් උනා නම් පොඩ්ඩං පාටියක් දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මමයි මගෙ කෙල්ලයි ඉක්මනට ගියානෙ. (මම නම් ආපහු ආව). 
සිව්මාන ක්‍රියේෂන්ස් අනුග්‍රහයෙන්, මම මගෙ කෙලි පොඩ්ඩට ඇනිවසරි කාඩ් එකක් දුන්න. වැඩේ කියන්නෙ ඔක්කොම එදා එකම පාටට ගැළපුනානෙ. :)



Sunday, July 7, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 2

හඳුනාගැනීම - 1 ලිපිය කියෙව්වද?


දැන් ජොබ් කරන අය, ඒ ලිපියේ තිබ්බ වගේ තමුන්ගෙ හිත ගිය ආකාරයේ ජොබ් එකක්ද කරන්නෙ? එහෙනම් ඔයාල එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනව. ඔයා ඒක දැන් කරන්නෙ කැමැත්තෙන් කරගෙන යනවද?
නැත්තම් ඔයා කරන්නෙ ඔයා කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නෙමෙයිද? ඔයා ඒ ජොබ් එක කරන්නෙ අකමැත්තෙන්ද?

කැමති ආකාරයේ ජොබ් එකක් හම්බුනත් ඒක කරන්නෙ සතුටින් නෙමෙයි නම් ඔබ පරාදයි. සතුටින් කරනව නම් ඔබ දිනුම්. නමුත් ඔබ ඒ ජොබ් එකට දක්ෂයෙක්ද?
කැමැත්තෙන් හිටි ආකාරයේ ජොබ් එකක් හම්බුනේ නැතත් දැන් කරන ජොබ් එක ඔබ සතුටින් කරනවද? එහෙනම් ඔබත් යම් ආකාරයකින් දිනුම්. ඔබ ඒ කරන ජොබ් එකට දක්ෂද?

කැමති ජොබ් එකක් හම්බ වෙලා, ඒක සාර්ථකව කරගෙන යනව නම් ඔබ හැම අතින්ම සාර්ථකයි. කැමති ජොබ් එක හම්බවෙලත් ඔබට ඒ ජොබ් එක හරියට කරගන්න බැරි නම් ඔබ පරාදයි.
කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නොලැබුනත්, හම්බුනු ජොබ් එක ඔබ සාර්ථකව දක්ෂ ලෙස කරනව නම් ඔබත් සාර්ථකයි.

එහෙනම්????? කවුද සාර්ථක? කවුද අසාර්ථක? කොහොමද අසාර්ථක උනේ???

ඔබ ආසාවෙන් හිටියෙ විධායක ශ්‍රේණියේ රැකියාවක්. පිරිසක් පාලනය කරන්න තිබෙන රැකියාවක්. ඔබේ ආසාව ඔබ කොහොම හරි ඉෂ්ඨ කරගත්ත. නමුත් ඔබේ යටත් පිරිස ඔබ කියන දේ අහන්නෙ නෑ, ඔබට හරි හැටි පිරිස් පාලනය තේරෙන්නෙ නෑ. ඉතින් ඔබ අසාර්ථකයි.
ඔබ ගොඩාක් ආසාවෙන් හිටියෙ පයිලට් කෙනෙක් වෙන්නෙ. නමුත් ඔබගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් නිසා ඔබට පයිලට් කෙනෙක් වෙන්න බැරි වෙනව. නමුත් ඔබගේ කථික හැකියාව ඉහළයි. ඔබ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක් වෙනව. ඔබට ප්‍රේක්ෂකයින් හරිම කැමතියි. ඔබ හුඟක් ජනප්‍රිය වෙනව. ඉතින් ඔබ ආස කරන රැකියාව නොලැබුනත් ඔබ කරන රැකියාවෙත් ඉතාමත් සාර්ථක වෙලා.

එතකොට අසාර්ථක උනු අයට කොතනද වැරදුනේ??? 
කැමැත්තක් නොතිබුනු ජොබ් එකක් කරන්න ගිය කෙනා සාර්ථක උනේ කොහොමද???
........................
..................
............
හිතන්න ටිකක්......

ඔන්න දැන් අපි හරි පාරට එනව.
කැමැත්ත, ආසාව විතරක් නෙමෙයි වැදගත් වෙන්නෙ.
මොනවද එහෙනම් වැදගත්???
"ඔබගේ හැකියාවන්"

එහෙනම් අන්න එතනින් පටන් ගනිමු.
ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න.

දැන් ආපහු මම පාසල් යන නංගිල මල්ලිල ගාවට එනව.
එතකොට ඔයාල යන්න ඕනෙ මොන පාරෙද? 
ඔයාල තාම පාර හදාගෙන එන අය. ඔයාල තමුන්ගෙ ආසාවට විතරක් නෙමෙයි පවතින හැකියාවට මුල් තැන දීල, තමුන්ගේ මාර්ගය තීරණය කරන්න වෙනව. ඔබට පුළුවන් ඔබගේ මාර්ගය තීරණය කරන්න. දෙමව්පියන්, නෑදෑයින් පෙන්වන මාර්ගය විතරක් නෙමෙයි, ඔයාලට පේන මාර්ගය ගැනත් හිතන්න.
හැබැයි සාර්ථක මාර්ගයක් ගැන. සාර්ථක අනාගතයක් ගොඩනැඟිය හැකි මාර්ගයක් පිළිබඳව.
"මම රටේ නම ගිය චණ්ඩියෙක් වෙනව" කියල උනත් කෙනෙක්ට හිතන්න පුළුවන්. නමුත් ඒත් එක්කම හිතල බලන්න ඒක සාර්ථක අනාගතයක් වේවිද කියල. පොලීසියෙන් හැංගෙන්නයි, හිර ගෙවල් වල ඉන්නයි වෙන අනාගතයක් සාර්ථක එකක් වෙන්නේ නෑනෙ නේද?
චිත්‍ර අඳින්න ඉහළ හැකියාවක් තිබෙන, ගණිතයට දුර්වල කෙනෙක්, තමුන්ගෙ ගණිතමය හැකියාවන් දියුණු කරගත හැකිය කියන ස්ථිර අධිෂ්ඨානයක් නැතිනම් ගණිත/විද්‍යා විෂයන් කරන්න නොසිතිය යුතුයි. මම කියන්නෙ නෑ එයාට ගණිතය කරන්නෙපා කියල. නමුත් සාර්ථක වෙන්න අධිෂ්ඨානය තියාගෙන මහන්සි වෙලා වැඩ කරන ගණිත හැකියාවන් දියුණු කරගන්නව කියල හිතාගෙන වැඩ පටන් ගන්නව නම් එයාටත් බැරි නෑ. හැබැයි එයාගෙ අවසන් අරමුණ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන එක නම්, ඒ මාර්ගයේ ගිහිල්ල ඒ ඉලක්කයට යන්න ටිකක් අපහසු වෙනව කියලත් හිතන්න වෙනව.

ඉතින් ඔයාල, ඔයාලගෙ අනාගත අරමුණට සාර්ථකව පහසුවෙන් ලඟා විය හැකි මාර්ගය තමයි තෝරාගත යුත්තේ.

"ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න" කියන වාක්‍යයත් එක්ක දැනට මම නවතිනව. ඊලඟ ලිපියෙන් කතා කරමු හැකියාවන් හඳුනාගෙන ඊලඟ පියවරට යන්නෙ කොහොමද කියල.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, July 1, 2013

උපන්දිනේ

පහුගිය අවුරුද්දටම වැදගත් ලිපි දෙක තුනකට වඩා ලියන්න බැරි උනු නිසා මම සද්ද නැතිව හිටියෙ. නමුත් ඊයෙ පෙරේද ඉඳල ආපහු වැදගත් දෙයක් ලියන්න පටන් ගත්තු නිසා මේක කියන්න හිතුන.

ගිය 28 වෙනිදට, ඒ කියන්නෙ 2013 ජුනි 28 වෙනිදට මගෙ මේ සිංහල බ්ලොග් එකට අවුරුදු 4ක් සපිරුනා.


ඉතින් එහෙනම්, යළිත් ප්‍රයෝජනවත් ලිපි පෙළක් එක්ක හමුවෙමු.

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

මුල් ලිපියට හිතපු තරම් නම් අදහස් ලැබුනෙ නෑ. මේ ලිපි එක්ක ඔයාලගෙ අදහස් මග ඕනෙ කරනව, ඒවත් එක්ක ඒවට අනුකූලව තමයි මම ඉදිරි ලිපි ලියන්න අදහස් ගන්නෙ. 
කමක් නෑ. දැනට අපි කතාව ආරම්භ කරමුකො එහෙනම්. 



යමෙක්, යම් මාර්ගයක යන්න තෝරාගන්න එක් හේතුවක් හෝ හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. බහුල හේතු ගත්තොත්,
  • එම විෂය පරාසයට දක්වන කැමැත්ත
  • කුඩා කාලයේදී ඇතිවුණු යම් තදබල කැමැත්තක්
  • දෙමාපියන්ගේ / නෑදෑයින්ගේ බලපෑම්
  • විවිධ අය හමුවීමත් සමඟ ඇතිවන කැමැත්තක්
  • රූපවාහිනී වැනි මාධ්‍ය හරහා දකින දේ සමඟ එන අදහස්

මේ වගේ විවිධාකාරයේ හේතු තිබෙන්න පුළුවන්. සමහරවිට ගිය ආත්ම වලින් එන සිතුවිලි නිසා පවා.

ඉතින් ඔබ යම් මාර්ගයක් තෝරාගන්න හේතුව කුමක්ද?
ඔබට යම් දෙයක් තමුන්ගේ අනාගත වෘත්තිය කරගන්න තරම් ඒ දේට කැමැත්තක් ඇතිවෙන්න හේතුව කුමක්ද?
මුලින්ම අන්න ඒ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්න වෙනව.

සාමාන්‍යයෙන් Career Guidance වලදි අහන පළමු ප්‍රශ්නය මේක නෙමෙයි. ඔවුන් කියන්නෙ මුලින්ම තමුන්ගේ හැකියාවන් / කැමති දේ හඳුනා ගන්න කියල. නමුත් මගේ ප්‍රවේශය ඊට ටිකක් වෙනස්. වෙන පාරකින් අර පාරට එන්නයි මම හදන්නෙ.
ඉතින්? 
මුලින්ම අර ප්‍රශ්නෙට උත්තරයක් හිතන්න. 
හැබැයි හිතන්න ඕනෙ ඔබ සාමාන්‍ය පෙළ කරන්න ඉස්සෙල්ල කාලෙ හිතුව / හිතන විදිහට.

බලමු හිතල......
"මම පොඩි කාලෙ මට උගන්නපු ටීචර් හරිම හොඳයි, ඉතින් මටත් ඕනෙ උනේ ඒ කාලෙ ඒ වගේ ළමයි ගොඩක් ආදරේ කරන ලස්සනට උගන්නන ටීචර් කෙනෙක් වෙන්න" කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒක කුඩා කාලයේදී ඇසුරු කරන කෙනෙක් නිසා හටගත්තු ආසාවක්.

"මම ආසයි එක එක දේවල් හදන්න, නව නිර්මාණ කරන්න. ඒක නිසා මට විද්‍යාඥයෙක් නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ" කියල තව කෙනෙක් හිතයි. ඒක තමුන්ගේ යම් හැකියාවක් හඳුනා ගත්තු කෙනෙක් හිතන විදිහ.

"මම ආසයි අහසින් යන්න, රට රට වල යන්න. ඉතින් මට පයිලට් කෙනෙක් වෙන්න ඕනෙ". ඒ තව කෙනෙක්ගෙ ආසාවක් නිසා ඇති උනු ඉලක්කයක්.

"මට පුළුවන් අනිත අයට හොඳට දේවල් කියල දෙන්න, උගන්නන්න. ඉතින් මට ඒක නිසා ගුරුවරයෙක් වෙලා අනිත් අයට දේවල් කියල දෙන්න ඕනෙ" ඒ තමුන්ගෙ ඉගැන්වීමේ හැකියාව ගැන තේරුම් ගත්තු කෙනෙක් හිතන විදිහ.

ඉතින් ඔයාල කොහොමද හිතුවෙ / හිතන්නෙ?



"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, June 29, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

"ආරම්භය" 

 "පුතා ලොකු උනාම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?" නැත්තම්, "දුව ලොකු උනාම කවුරු වෙන්නද කැමති?" කියල පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් ඔහු / ඇය දෙන පිළිතුර කුමක්ද? 
"මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ", 
"මම ඩොක්ටර් කෙනෙක් වෙනව", 
"මම ටීචර් කෙනෙක් වෙන්නයි කැමති", 
"මම පයිලට් කෙනෙක් වෙනව" 
කියල තමයි අපිට බහුලව ඇහෙන්නෙ. 
ඒක ඒ දරුවන්ගෙ හීනය. 

නමුත් ඇත්තටම ඒක ඒ දරුවගෙ හීනයමද? 
දන්නෙ අහල තියෙන්නෙ ඒ රැකියාවන් ගැන විතරක් නිසාද? 

ඔයාල පොඩි කාලෙ එහෙම ඇහුවොත් මොකද්ද දුන්න උත්තරය? 

මම කිව්වෙ, "මම ඩොක්ටර් කෙනෙක් වෙනවා" කියල. ඇත්තම කිව්වොත් මම ඒක ගැන ලොකුවට හිතල නෙමෙයි ඒ කාලෙ කිව්වෙ. 

ඔයාල? 

ඔයාල සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලෙ කවුරුහරි ඇහුවනම් ඔය ප්‍රශ්නෙ, අර පොඩි කාලෙ දුන්නු උත්තරේමද ඔයාල දුන්නෙ? පොඩ්ඩක් මතක් කරල බලන්නකො. 
උසස් පෙළ කරන්න යනකොට විෂය තෝරගන්නකොට ඒ විෂයයන් තෝරාගත්තෙ ඇයි? 
ආසාවටද? ගෙදර අය කිව්ව නිසාද? අනිත් අයත් කරන නිසාද? නැත්තම් ඔයාගෙ අනාගතය ඔයාට ඕනෙ විදිහට හැඩගස්ව ගන්න ඕනෙ නිසාද? 

මම පොඩි කාලෙ වෛද්‍යවරයෙක් වෙන්නෙ ඕනෙ කිව්වට මම සාමාන්‍යපෙළ කරන කාලෙ ඒක ඉංජිනේරුවෙකුට වෙනස් උනා. ඉතින් මම ඒක වෙනුවෙන් උසස්පෙළට ගණිතය තෝරාගත්තා.

ඔයාල ඒලෙවල් කරනකොට / කරන්න ලෑස්ති වෙනව නම් ඇයි ඔයාල ගණිතය තෝරාගත්තෙ? විද්‍යාව තෝරාගත්තෙ? වාණිජ තෝරාගත්තෙ? නැතිනම් කළාව තෝරාගත්තෙ? නැත්තම් ඒලෙවල් නොකර කෙලින්ම වෙනත් මාර්ගයක යන්න තීරණය කළේ?

දෙන්න බලන්න උත්තරයක්.

මේ වේදිකා නාට්‍ය ගීතය මතකද?
"විභාගෙ විභාගේ 
එහෙ බැලුවත් විභාගේ........
...............
..... ඉතින් පුතේ නම්බුවක්ගෙ ෆේල් උනත් විද්දියාව විසයෙන් විභාගෙ කොරල...." 
ඔයාලටත් එහෙම වෙයිද / උනාද?

මෙතනින් ආරම්භය ගනිමු මේ ලිපියේ මාතෘකාවට ප්‍රවේශයක් වශයෙන්. 
ඉතින් ඔබගේ පිළිතුරු ලබා දෙන්න ඉහත ප්‍රශ්නයට.

මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, June 17, 2013

ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5

හුඟ කාලෙකින් ආවෙ බ්ලොග් එක ලියන්න. ලියන්න තියෙන කම්මැලි කමටත් වඩා ලියන්න හරි හමන් මාතෘකාවක් හිතට ආවෙ නෑ. ටිකක් හිත හිත ඉන්නකොට, තාක්ෂණය පැත්ත ටිකක් පැත්තකින් තියල වෙනස් දේවල් ටිකක් ගැන ලියන්න හිතුන. මේ ඒකෙ ආරම්භය. මේ වගේ තවත් ලිපි ටිකක් ඉදිරියේදී ලියවෙයි. මගේ පුද්ගලික අත්දැකීම් සහ, පොත පතින්, වෙබ් අඩවි වලින් කියවා ලබා ගත් දැනුමත් එකතු කරල මේ වගේ කාටත් ප්‍රයෝජනවත් වෙන මාතෘකා ටිකක් ඔස්සේ යන්න හිතුව. මේ ඒවායින් පළමුවැන්න.

ඉතින් පටන් ගමු. 

ඉතින් කියන්න බලන්න, රැකියාවක් කරන වයසෙ ඉන්න කෙනෙක්නම් ඔබ, එකම එක ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ල තියෙනවනෙ නේද? සාර්ථකව මුහුණ දුන්නද? රැකියාවට තෝරා ගත්තද? එහෙනම් සුභ පැතුම්. ඔබ යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනව.
මම නම් මුලින්ම ගිය ඉන්ටර්විව් එක ඉහළින්ම ෆේල්. ගන්නම දෙයක් නැති උනා. එහෙනම් දෙවනි එක? ඒකත් එච්චරම තමා. :(
හ්ම්ම්. මට උනු දේ ඔයාල ගොඩක් අයටත් වෙලා ඇති. 
එහෙනම් මේ සාමාන්‍ය දෙයින් ආරම්භ කරමු. 

මොනවද ශ්‍රී ලාංකික වන අපි සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙනකොට හා / හෝ ගියාම කරන ප්‍රධානතම වැරදි? අපි එහෙම වැරදි 5ක් සාකච්ඡා කරමු.

1. සම්මුඛ පරීක්ෂණයට පියා / මව සමඟ පැමිණීම

දෙය්යනේ, මේක නම් කවම කවදාවත් කරන්නෙපා. ඔබට කියන්න කිසිම නිදහසට කරුණක් නෑ මේ සඳහා.

ඔබ සම්මුඛ පරීෂණයකට යන්නෙ මොකටද?
 ඒ අදාල සමාගමට පෙන්නන්න ඔබට වැඩක් කරන්න පුලුවන් කියල. ඔබේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ. සමාගමක් කියන්නෙ වැඩිහිටියන් එකතු වෙලා වගකීම් බෙදාගෙන වැඩ කරල සමාගම ලාභ ඉපයීම සඳහා රැගෙන යන කණ්ඩායමක් ඉන්න තැනක්.
ඉතින් එතනට ඔබ අම්ම/ තාත්ත එක්ක එන එකෙන් මොනවද කියවෙන්නෙ??? ඔබ ප්‍රසිද්ධි‍යේ හැමෝටම කියාපානව, වැඩිහිටියෙක් ලෙස ඔබ කළ යුතු මූලිකම දේවත් ඔබට කරන්න බෑ කියල. තනියම වැඩක් කරගන්න බෑ කියන එක. ඒක ඔබගේ සේවාදායකයා දැක්කම මොකද වෙන්නෙ? "මෙහෙම තනියම තැනකට එන්න බැරි කෙනෙක්ට මම ජොබ් එකක් දුන්නොත් මෙයා කොහොම මේක කරයිද???!!!" කියන හැඟීම තමයි. ඉතින් එතනින්ම ඔබ කැපිලම යනව. (කියන්න සතුටුයි මගෙ අතින් නම් මේ වැරැද්ද උනේ නෑ.)
හැබැයි ලංකාවෙ දෙමව්පියන් හුඟක් තමුන්ගෙ දුවල ගැන සැළකිළිමත් වෙන නිසා පරිස්සමට එනව. ඒක නරකයි කියන්න බෑ, එපා කියන්නත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? ගෑණු ළමයි අම්ම / තාත්ත එක්ක ආවට කමක් නෑ. නමුත් එයාලට ඔබ ඉන්ටර්විව් එකට යන ආයතනය තුළට එන්න එපා කියන්න. පුළුවන් තරම් නොපෙනෙන්න ඉන්න කියන්න. 

2. සූදානමකිත් තොර වීම.

මේක ඇවිල්ල, ලංකාවෙ තිබෙන බහුලම දේ. ඒත් එක්කම නොකළම යුතු දේ. මේ කියන්නෙ, අමතර CV පිටපතක් රැගෙන නොඒම, හරියට ඇඳගෙන නොඒම වගේ දේවල් නෙමෙයි. ලංකාවෙදි ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නෙ වෙන්නෙ, ලංකාවෙ ජොබ් ඉන්ටර්විව් එකකට යන අයගෙන 90%ම තමුන් මේ ඉන්ටර්විව් එක යන සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නැති එක. සමාගමට වෙබ් සයිට් එකක් තියෙනව නම් ඒකට ගිහිල්ල නෑ, මොනවද ඒ සමාගමේ කරන්නෙ කියල හරියට දන්නෙ නෑ, ඇප්ලයි කරල ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල දන්නෙ නෑ....... ඒත් කියනව තමුන්ට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියල. :D
මේකෙන් ඔබගේ සේවාදායකයා එක දෙයයි තේරුම් ගන්නෙ. ඔබ සිතන්නේ ඔබ ගැන විතරයි කියල.
ඔබ ඉන්ටර්විව් එකට එන්නෙ මේ කිසිවක් නොදැන නම් ඒ කියන්නෙ ඔබ මෙන්න මෙහෙම දෙයක් අඟවනවා කියන එක. 
"මම මෙතනට ආවෙ ජොබ් එකක් ගන්න. මම ඒක ගැන මොකුත් හොයන්න ඕනෙ නෑ. මට ඕනෙ කොම්පැනියක ඕනෙ ජොබ් එකක් කළෑකි." වගේ දෙයක්. 

"රැකියාව"ක් කියන්නෙ මොකද්ද ඇත්තටම???
ආයතනයක් තිබෙන්නෙ කාටවත් රැකියා දෙන්න නෙමෙයි. ඔවුන් සිටින්නේ යම් සේවාවක්, නැතිනම් යම් නිෂ්පාදනයක් හරහා යම් අවශ්‍යතාවයක් පිරිමසන්න, නැතිනම් පවතින ගැටළුවකට පිළිතුරක් දෙන්න.
ඉතින් ඔබ යන්නෙ ඒ කාර්යයට සහය වෙන්න.
ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ඔබ ඔවුන්ට පෙන්නන්න ඕනෙ, "ඔයාල කරන්නෙ මොනවද කියල මම හොඳින් දන්නව, ඒකට සහය වන්න මට පුළුවන්" කියන දේ. සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙ ඔබට නෙමෙයි, ඔබට කළ හැකි දේ වෙනුවෙනුයි. 

3. පළමු සම්මුඛ පරීක්ෂණයේදීම වැටුප ගැන විමසීම

ඇත්ත. අපි රැකියාවකට යන්නෙ මුදල් හොයන්නනෙ. ඒත් මොකද හදිස්සිය? අලුතින්ම ජොබ් එකකට යන්න හොයන අය මේක නොදැන සිටින්න පුළුවන්, නමුත් ඉන්ටර්විව් එකකට දෙකකට ගිය අය දන්නව, අහන්න පුළුවන් නරකම ප්‍රශ්නය තමා පඩි කොහොමද කියන එක කියල. සාමාන්‍ය ක්‍රමය නම් දෙවන හෝ තෙවන (ඔබව අවසන් කිහිපදෙනා අතරට තෝරාගන්නා පරීක්ෂණය) සම්මුඛ පරීක්ෂණයේදී තමයි වැටුප් ගැන ඇසිය යුත්තේ. 
මුල් පරීක්ෂණ වලදී ඔබගේ මූලිකම ඉලක්කය වෙන්න ඕනෙ ඔබගේ හැකියාවන් පෙන්වීම හරහා ඔබව මාකට් කරන එක. 
හ්ම්ම්. ඔබ අනිවාර්යයෙන්ම එතකොට මෙහෙම හිතයි. "මෙයාල දෙන්නෙ අඩු පඩියක් නම්??? මම මගෙ කාලය අපතේ හරිනව නේද" කියල. ඔව්, එතන පොඩි අනතුරුදායක තත්වයක් තිබෙනව. අමුත් ඒක ගත යුතු රිස්ක් එකක්. ඔබ ඒ කාලය අපතේ හරිනවා නම් අදාල ආයතනය කොතරම් කාලයක් අපතේ යවනවද වැඩක් නැති අයදුම්කරුවන් පරික්ෂා කර කර???
ඉතින් ඔයා වැටුප් ගැන අහන්න අහන්න, එයාලට ඔයාව එපා වෙනව. 
මොකද ජොබ් එකක් කරන්න එන්නෙ සල්ලි හොයන්න උනත් කවුරුවත් කැමති නෑ සල්ලි පස්සෙම දුවන මනුස්සයෙක්ව ජොබ් එකකට ගන්න. 

4. එකම CV එක හැම අයදුම් කිරීමකටම භාවිතා කිරීම.

හොඳ CV එකක් හදන එකත් එක්තරා හැකියාවක්. මීට පෙර අත්දැකීමක් නැතිනම් ඒක තවත් අමාරුයි. සමහරු එකම ජොබ් එකට ඇප්ලිකේශන් කිහිපයක් එවනව. බොහොමයක් දෙනා එකම CV එක ගමරාලගෙ වංගෙඩිය වගේ හැම එකටම යවනව. මේකට කියන්නෙ "Shot Gun Approach" කියල. Shot Gun එක ඕනෙ එකෙක්ට වෙඩි තියන්න පාවිච්චි කළෑකිනෙ, තිබ්බම පළාතක් ඉවරයි. ඒ කියන්නෙ. එක CV එකක් හදාගන්නව, ඒක හතර වටේටම යවනව. ඒක හරියන වැඩක් නම් නෙමෙයි, ඒක හුඟක් අයට අල්ල ගත්තැකි. ඒකෙන් කියවෙන්නෙ, ඔබ අයදුම් කරන ජොබ් එක ගැන ඔබට උවමනාවක් නෑ කියන එකයි. ආපහු අංක 2ට යන්නකො. මේකත් යන්නෙ එතනටම තමයි. 
හැම ජොබ් එකකට ගැළපෙන දේවල් තියෙනව. ඉතින් ඒවට ගැළපෙන ආකාරයට හැම වෙලේම අලුත් ජොබ් එකකට අලුතින් CV එකක් හදන්න. 

ඉතින් මොකද්ද කරන්න ඕනෙ? 
Sniper කෙනෙක් වගේ වෙන්න ඕනෙ, හොඳට බලන් ඉඳල, හොඳට සූදානම් වෙලා හරියටම ඉලක්කයටම තියන්න ඕනෙ. 
අදාල ආයතනය ගැන, ඔවුන්ගේ විෂය පරාසය ගැන, ඔවුන් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් මුලින්ම ගන්න ඕනෙ. පුළුවන් නම් ඉස්සෙල්ල දවසක ආයතනයට කෝල් එකක් දීල විස්තර ටිකක් හොයාගන්න. ජොබ් එක ගැන නෙමෙයි, ආයතනය කරන දේවල් ගැන. :)
උදා: ඔබ යන්නෙ IT Firm එකක Programmer ජොබ් එකකට නම්, ටිකක් හොයල බලන්න මොනවද ඔවුන් භාවිතා කරන මෘදුකාංග, Programming languages, මොන වගේ මෘදුකාංගද හදන්නෙ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔවුන් භාවිතා කරන්නෙ ජාවා කියමු. ඔබට එතකොට පුළුවන් ඔබගේ CV එකේ ඔබට ජාවා ක්‍රමලේඛ දැනුම තියෙනව කියල විශේෂයෙන් දාන්න. 
ඒව දන්නව කියල ඊට පස්සෙ ඔබ පෙන්නුවම සම්මුඛ පරීක්ෂණයේදි, ආයතනය ඔබ ගැන ඉහළින්ම පැහැදෙනව. හැම එකක්ම ඔබට කියල දෙන්න ඕනෙ නෑ, ගොඩක් කල් පුහුණු කරන්න ඕනෙ නෑ, ඉතින් ඒක ආයතනයට පහසුවක් වගේම මුදල් ඉතිරියක්. 
ඉතින් මොකද වෙන්නෙ? ඔබව ඔවුන් තෝරා ගන්නව.

5. වෙලාවට නොපැමිණීම හා එන්නට නොහැකි නම් නොපැවසීම. 

කතාවක් තියෙනවනෙ, "ඔබ මිනිත්තු 10ක් ඉක්මනින් ආවෙ නැතිනම් ඔබ මිනිත්තු 5ක් ප්‍රමාදයි" කියල.
අයදුම්කරුවන්ගෙන් 30%ක්වත් මේ පරීක්ෂණය නම් අසමත් වෙනවාලු. 
ලංකාවෙ මිනිස්සු නම් වෙලාවට වැඩ කරන්නෙම නෑනෙ කවදාවත්. නමුත් සම්මුඛ පරීක්ෂණයකට යන දවසෙවත් වෙලාවට එතනට යන්න. 
අනිත් එක, අදාල වෙන් කරගත් දිනයට වෙලාවට එන්න බැරි වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒක අදාල ආයතනයට දන්වන්න, වෙනත් වෙලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන් වේවි. අපේ අය ඉතින් බයට කතා කරන්නෙ නෑනෙ. :( හේතු දක්වන්න ඕනෙ නෑ. ඒ දව්සට වෙලාවට එන්න වෙන්නෙ නෑ, වෙනත් වෙලාවක් ලබාදෙන්න කියන්න.  
ලංකාවෙ බොහොමයක් රැකියා අයදුම්කරුවන් වෙලාවට අදාල ස්ථානයට ගිහිල්ල ඉන්නෙ නෑ. උදේ 10ට එන්න කිව්වොත් එන්නෙ 10.15 නැත්තම් 10.30ට. ඒකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ. 9.45ටවත් යන්න. ගිහිල්ල පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලෑස්ති වෙලා ඉන්න. 

එහෙනම් මම මේ ලිපිය මෙතනින් නවත්වනවා. තවත් මේ ආකාරයේ ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු. මේකට එන ප්‍රතිචාර කොහොමද කියල. 

මෙම ලිපිය http://www.theceylonian.com වෙබ් අඩවියේ ලිපියකින් උපුටා ගන්නා ලද කරුණු වලින් සමන්විතය.


මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.

වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.