Thursday, August 23, 2012

හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ දිනයක්

දිනය පසුගිය 19 වන ඉරිදා. උදේ පාන්දරින් නොකා නොබී (ඔය කිව්වට කිරි එකක් බිව්ව) ගෙදරින් පිටත් උනේ කවදාවත් ලබල නැති අලුත්ම අත්දැකීමක් විඳගන්න. ගෙදර ඉඳල පැය 2ක දුරක් (බස් 4ක්) ගෙවාගෙන ගමනාන්තයට ලඟා උනා. 

ගමනාන්තය : හොරගොල්ල ජාතික වනෝද්‍යානය

මේක තියෙන්නෙ මෙන්න මෙතන. (ක්ලික් කරල බැලුව නම් ලොකුවට පෙන්නාවි.)

වචනයෙනුත් කිව්වොත් මේ තැන තියෙන්නෙ හොරගොල්ලෙ. හොරගොල්ල වලව්ව එහෙම අහල ඇතිනෙ?ඒකත් මේ ලඟ තමා. නිට්ටඹුවේ ඉඳල වේයන්ගොඩ පැත්තට කිලෝමීටරයයි. 

මේ තැන ගැන කෙටි විස්තරයක් කිව්වොත්, මේ තමයි ලංකාවේ තිබෙන කුඩාම ජාතික වනෝද්‍යානය. වර්ගප්‍රමාණය අක්කර 33යි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබෙන්නෙ. නමුත් හොඳ ජෛව විවිධත්වයක් තිබෙන කුඩා වන ගැබක්. නමටම අනුව, මේක හොර ශාකයන් පිරුනු පහත රට තෙත් වනාන්තරයක්.


සංඛ්‍යා වලින් කිව්වොත් ක්ෂීරපායී වර්ග 10ක්, පක්ෂි විශේෂ 64ක්, මත්ස්‍ය විශේෂ 7ක් හා සමණල් විශේෂ 28ක් මේ කුඩා වනාන්තරය තුළ වෙසෙනවා.
ඇතුළ් වෙනකොටම දැකගන්න පුළුවන් විශාල පුවරුව තමයි මේ ඉහළ ඡායාරූපයේ තිබෙන්නේ. වනයේ සිතියමක් හා මම මේ කියපු විස්තර ටික එහි තිබෙනවා. 
වනය තුළ ඉහළ සිතියමේ පරිදි සැම අත විහිදුනු, ගල් ඇතිරූ කුඩා අඩි පාරවල් තිබෙනවා. ඒ ඒ මංසන්ධි වලින් අංක කර තිබෙන දිශා වලට යනවා නම් මුළු වනය පුරාම කරදරයක් නැතිව යන්න පුළුවන්. ඔහේ වට පිට බල බල පමණක් ඔය අඩි පාරවල් දිගේ ඇවිදගෙන යනව නම් පැයකින් ඔබට පුළුවන් මුළු වනය පුරාම යන්න.


නමුත් අපේ කාර්යය උනේ ඒක නෙමෙයි, අපි එතනට ගියේ ඒකට නෙමෙයි. අපි මේ වනය තුළ පැය 8ක පමණ කාලයක් ගත කළා.

අපගේ අරමුණ : මේ වනය තුළ වෙසෙන සතුන් ඡායාරූපයට හසු කර ගැනීම.

ඉතින් ඔන්න ඔය අරමුණ පෙරදැදි කරගෙන තමා, මුහුණු පොත තුළ තුළ සංවිධානය කළ Event එකක් හරහා එකතු උනු 12 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායම කටයුතු කළේ. (කණගාටුවට කරුණක් උනේ මේ අවස්ථාව සංවිධානය කරන්න ප්‍රධානව සම්බන්ධ වෙලා හිටිය පුබුදු ඉන්දික සහෝදරයාට හදිසි කරදරයක් නිසා මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වීමයි. ඔහුගේ සීයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.)

ඡායාරූපය: ප්‍රමිත දිල්රුක්

ඉතින් මේ කණ්ඩායම එකතු වෙලා මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ සහයත් ඇතුව හාපුරා කියල කැලේට ඇතුළු උනා. (එතුමා එනකම් අනිත් අයට ඉතින් චුට්ට වෙලාවක් බලා ඉන්නත් සිද්ද උනා. ඕව මොනවද ඉතින්. දඩ කැමරා බඩු ටිකකුත් උස්සන් ආවෙ පවුල් පිටින්. :) ) 
ඉතින් දවල්ට කන බොන ඒව එහෙමත් සැලසුම් කරල, අපි කැලේ ඇතුළට ඇතුළු උනා. (ටිකටුත් ගන්න ඕනෙ හරිය. ලොක්කෙක්ට රු.40යි, පොඩ්ඩෙක්ට රු.20යි. + 12% වැට් බද්ද)

හ්ම්ම් දැන් නිදිමතයි හොඳටම. තව අඩු වැඩිය එක්ක ඊලඟ ලිපියෙන් හමුවෙන්නම්.

Saturday, August 4, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 4 කොටස (අවසාන කොටස)

මින් පෙර ලිපි තුනක් හරහා අපි සාකච්ඡා කළා වෙබ් අඩවි සාදනකොට බහුතරයක් දෙනා කරන පොඩි පොඩි වැරදි සම්බන්ධයෙන්. ඉතින් මේ ඒ ලිපි පෙළෙහි අවසාන ලිපිය. මුල් ලිපි 3 කියෙව්වෙ නැති අය පහත සබැඳියන්ගෙන් යන්න.
පළමු ලිපිය | දෙවන ලිපිය | තෙවන ලිපිය

ඔන්න අද කොටස.



31. සබැඳියන් පෙන්වන්න.
අඩවියට පැමිණෙන්නාට හැකියාව තිබෙන්න ඕනෙ, ක්ලික් කළ හැකි සබැඳියන් මොනවාද සබැඳියන් නොවන්නේ මොනවාද යන්න තේරුම් ගන්න. සාමාන්‍යයෙන් නම් සබැඳියක් යටින් ඉරකින් හා තද නිල් පැහැයෙන් තමයි දැක්වෙන්නෙ. ඔබගේ අඩවියේ වර්න තේමාවට අදාල ආකාරයට, ගැළපෙන වර්ණ යොදාගන්න.

32. සාමාන්‍ය වැකි වල වර්ණ වෙනස් කරන්නට හා යටින් ඉරි අඳින්නට එපා.
අත්‍යවශ්‍යම අවස්ථාවක හැරුනුවිට සාමාන්‍ය වාක්‍ය කොටස් වල අකුරු වර්ණය වෙනස් කරන්නටවත් යටින් ඉරි අඳින්නටවත් එපා. එමගින් කියවන්නා නොමඟ යා හැකියි. සබැඳියන් මොනවාද යන්න පැහැදිලිව පෙනෙන ආකාරයට වර්ණ හා ඉරි යොදාගන්න.

33. ක්ලික් කරන ලද සබැඳියන් වල වර්ණය වෙනස් කරන්න.
වෙබ් අඩවියක් භාවිතයේදී මේක ඉතා වැදගත්. කියවන්නාට හැකියාව තිබිය යුතුයි, තමුන් බලපු පිටු මොනවාද නොබලපු පිටු මොනවාද යන්න පැහැදිලිව බලාගන්නට. බලපු පිටු වලට යළි යළිත් නොගිහින් සිටීමට හා අඩවිය භාවිතයට මින් ලොකු සහයක් කරනවා.

34. Animated Gif යොදාගන්නට එපා.
දැන්වීම් සඳහා banners යොදාගැනීමට අවශ්‍ය අවස්ථාවක හැරුණුකොට වෙනත් ස්ථාන වල මේවා භාවිතා කරන්නට එපා. එමගින් එම අඩවියට unprofessional ගතියක් එකතු කරනවා සහ භාවිතා කරන්නාගේ අවධානය වෙනතකට යොමු කරනවා.

35. රූප සඳහා “ALT” හා “TITLE” attributes අනිවාර්යයෙන්ම යොදන්න.
එමගින් ඔබගේ අඩවියේ SEO වලට විශාල සහයක් ලබාදෙනවා පමණක් නොව, රූප රහිතව අන්තර්ජාලයේ සැරිසරන්නන්ට, අන්ධ පුද්ගලයින්ට, ඉහළ සහයක් ලබා දෙනවා.

36. ඇසට අපහසු වර්ණ යොදාගන්න එපා.
ඔබගේ වෙබ් අඩවියට ඇවිල්ල විනාඩි 10කින් ඒ පුද්ගලයාට හිසේ කැක්කුමක් ඇහේ අමාරුවක් හැදෙනව නම් ඔබ ආපහු හිතල බලන්න වෙනව ඔබගේ අඩවියේ වර්ණ සංකලනය සම්බන්ධයෙන්. අඩවියේ අරමුණට කියවන්නාව නාභිගත කරන ආකාරයේ හා ඇසට පහසු ආකාරයේ වර්ණ සංයෝජනයක් සිදු කරන්න.

37. Popups භාවිතයෙන් වළකින්න.
මේ කියන්නෙ සියළුම ආකාරයේ popups ගැන. පොප් අප් එකක් කියන්නෙ අඩවියට පැමිණෙන්නාව තරහ ගස්වන ආකාරයේ දෙයක්. මේක කොතරම් කරදරයක්ද කියල හිතාගන්න පුලුවන්නෙ දැනට තිබෙන Popup Blockers මෘදුකාංග ගණන දිහා බැලුවම.

38. Javascript සහිත සබැඳියන් යෙදීමෙන් වළකින්න.
මේවා මගින් සබැඳියන් සමඟ කුඩා javascript කේතයන් දුවවනවා. මේව භාවිතා කරන්න එපා. මොකද හුඟක් වෙලාවට මේවා, භාවිතා කරන්නාට ප්‍රශ්න ඇති කරනවනවා.

39. අඩවියේ Footerහි, අත්‍යවශ්‍ය දේ සඳහා සබැඳියන් යොදන්න.
හුඟක් අය, තමුන්ට අවශ්‍ය දේ සොයාගන්න අපහසු උනාම අඩවියේ ෆුටරය බලන්න පෙළඹෙනවා. ඉතින් අඩවි පරිශීලකයාට අත්‍යවශ්‍යම වෙයි කියල හිතෙන දේ වලට සබැඳියන් ෆුටරයේ යොදන්න. උදා: Contact Us

40. ඉතා දිගු පිටු සකසන්න එපා.
අඩවි පරිශීලකයාට සිද්ධ උනොත් පිටුවේ ඇති දේවල් කියවන්න, ඉවරයක් නැතිව පහලට ස්ක්‍රෝල් කරන්න, අනිවාර්යයෙන්ම ඔහු ඒ අඩවිය අත ඇරල යනව. ඉතින් කළ යුත්තේ කෙටි පිටු සකසමින්, පිටු අතර ගමන් කිරීමේ ක්‍රම පහසු හා වේගවත් කිරීමයි.

41. හරස් අතට ස්ක්‍රෝල් කරන්න පිටු සකසන්න එපා.
දිගු අතට ස්ක්‍රෝල් කිරීම අත්‍යවශ්‍ය වුවත් හරස් අතට ස්ක්‍රෝල් කරන්න නම් කවුරුවත් කැමති නෑ. ඉතින් දැනට බහුලව භාවිතා වන 1024 x 768 pixels resolution එකටවත් ගැළපෙන ආකාරයට අඩවිය සකසන්න.

42. අක්ෂර වින්‍යාස හා භාෂා වින්‍යාස වැරදි තබන්න එපා.
මේක ඇත්තෙන්ම web design වැරැද්දක් නෙමෙයි. නමුත්, වෙබ අඩවියක සමස්ථ තත්වය සඳහා බරපතලවම බලපාන දෙයක්. වෙබ් අඩවිය තුළ තිබෙන වචන හා වගන්ති වල වැරදි නැති බවට සහතික කරන්න.

43. CAPTCHA භාවිතා කරනවා නම් ඒවායේ අකුරු කියවිය හැකි මට්ටමට සකසන්න.
ස්පෑම් කරදර වලින් මිදීමට, බොහොමයක්ම දෙනා තම අඩවි සඳහා captcha භාවිතා කරනවා. නමුත් මේ සමහරක් ඒවා කියවන්න මුළු පවුලම ඇවිල්ල බැලුවත් හරියන්නෙ නැති වෙනවා. මමත් පෞද්ගලිකව සමහරක් අවස්ථා වල අපහසුතාවයට පත් වෙලා තිබෙනවා මේ captcha කියවගන්න අමාරු වෙලා.

ඔන්න ඉතින් ඒ ලිපි පෙළත් අදින් අවසානයි. මින් ඔබ යමක් ඉගෙනගන්නට ඇතැයි සිතනවා.
කොච්චර කිව්වත් මමත් මේ වැරදි කරනවා/කර තිබෙනවා. නමුත් අඩු කරගන්න/වළක්වාගන්න උත්සාහ කරනවා.
ඔබට ජය.