Showing posts with label 3D Stereograms. Show all posts
Showing posts with label 3D Stereograms. Show all posts

Wednesday, April 27, 2016

3D Stereograms බලමුද

මේකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් කියන්නෙ 
3D Stereograms කියල. මේ පහල තියෙන රූපෙ දැක්කම මොකද්ද හිතෙන්නෙ? මොකුත් නෑ?
ඔයාලට මතකද, අර චූටි චූටි බුද්ධ රූප ගොඩක් තියෙන රූපෙ. ඔව්, ඔය පහළ තියෙන එක තමා.
එක දිහා බලා හිටියම ලොකු බුද්ධ රූපයක් මැවිල පේන? අන්න ඒ වගේ රූප තමා මේ. සමහරු නම් කියන්නෙ ඒක පේන්න පින තියෙන්න ඕනෙ කියල. (මෙම රූපය සොයා දුන් සන්ධ්‍යා මිතුරියට මගේ ස්තුතිය).



මේ ලිපිය කියවල ඉවර කළාට පස්සෙ ඒ පිනට ඔයාලටත් උරුමකම් කියන්න පුළුවන් වෙයි.

තෙරෙන්නෙ නැද්ද බලන්න? සමහරුන්ට මේක බලන්න හරි ලේසි, සමහරුන්ට උත්සාහ කලාම බලන්න පුලුවන්, හැබයි ටික දෙනෙක් ඉන්නව මේව බලන්න කොහොමවත්ම බැරි, ඒ අයට තමුන්ගෙ ඇස් වල නාභි දුර තමන්ට ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරන්න බෑ.
පොඩි උදව්වක් දෙන්නම්. මෙන්න මේ සටහනේ විදිහට බලන්න උත්සාහ කරන්න. ඇස් දෙක අනන්තයට නාභිගත කරල රූපෙ දිහා බලන්න ඕනෙ. මමත් පුරුදු උනෙ ඔහොම තමා, ටිකක් අමාරු වෙයි සමහරුන්ට. උත්සාහ කරන්නකො.


වැඩේ හරි නේද? ඒ විදිහට මේ පහල තියෙන එක බලන්න. ඒක බලන්න හරි ලේසි රූපයක්. මේකෙ ලස්සන සමනයෙක් හැංගිලා ඉන්නව. දැක්කද?



මේක බලන්නකො. මේ රූපෙ ඇතුළෙ බුදු පිළිමයක් හැංගිලා තියෙනව.


මෙවන් රූප ගොඩක් හොයාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ සෙව්වොත්.
මමත් ට්‍රයි කරල තමා ඕක බලන්න පුරුදු උනේ. දැන් නම් තත්පරයකින් දෙකකින් පුළුවන්.
මේ තියෙන්නෙ තවත් එවන් ඒවා.





Friday, October 15, 2010

3D Stereograms (ත්‍රිමාණ සැඟවුනු රූප)

ඔබ දැකල ඇති පොඩි පොඩි බුද්ධ රූප පිරිච්චි ලොකු රූපයක සැඟවුණු බුද්ධ රූපයක් සහිත රූපය. ඔබ ඒකෙ සැඟවිලා තියෙන රූපය දැකලත් ඇති, සමහරු ගොඩාක් උත්සාහ කරල දකින්න ඇති, තවත් සමහරුන්ට තාම ඒක දැකගන්න බැරි වෙලා ඇති. වයසක ආච්චිල සීයල නම් කියන්නෙ ඒක දකින්න පිං කරල තියෙන්න ඕනෙ කියල. නමුත් මම කියන්නෙ, ඒක දකින්න ඒක දිහා බලන්න ඕනෙ ක්‍රමයක් තිබෙනව, විද්‍යානුකූලව ඒ ආකාරයට බැලුවොත් ඒක දකින්න පුළුවන් කියලයි. 
ඉතින් ඔබ උත්සාහ කළේ කොහොමද? ඒක දිහා ඇස් රිදෙනකම්ම බලා හිටියද? ඇස් දෙක වපර කරල බැලුවද? නැත්තම් බොඳ කරල බැලුවද? 
ඔන්න එහෙනම් මම කියන්නම් ඒක බලන්න ඕනෙ හරිම හරි ක්‍රමය. මගෙ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ මීට වසරකට පමණ ඉස්සෙල්ල මම ඒක ගැන ලිව්ව, තවමත් ඒ ලිපිය කට්ටිය බලනව. මෙන්න මෙතනින් ඒක බලන්න. 

මේ පහළ තිබෙන රූප සටහනෙන් ඔබට පුළුවන් වේවි ඒක බලන ආකාරය වටහා ගන්න. (මේ කියල දෙන්නෙ මේක බලන්න තේරෙන්නෙම නැති අයටයි.)
  • මුලින්ම ඇස් දෙක විවේකී තත්වයට පත් කරගන්න.
  • ඊට පස්සෙ හුඟක් ඈත වස්තුවක් දෙස බලන්න, හුඟක් ඈත කිව්වට අඩි 10ක් වගේ ඈත උනාම ඇති. (මෙතනදි අවශ්‍ය වන්නේ ඇස් දෙකෙහි බැල්ම සමාන්තර කර ගැනීම (parallel sight)
  • ඊට පස්සෙ බලන්න ඕනෙ රූපය ඔබගේ ඇස් ඉදිරියට පැත්තක ඉඳල අරගෙන එන්න. මතක තියාගන්න, ඇස් දෙක නාභි ගත වෙලා තියෙන්නෙ ඕනෙ තවමත් අර ඈත තියෙන වස්තුවටයි. 
  • රූපය නාභි ගත වන තුරු ඉන්න. හැබැයි මේ කියන්නෙ ඔබ රූපය දිහා බලන්න කියන එක නෙමෙයි. 
  • සාර්ථකව සැඟවුනු රූපය පෙනෙන තෙක් මෙය යළි යළිත් කරන්න. 


මෙතනදි වෙන්නෙ මොකද්ද කියල මෙන්න මේ රූපයෙන් ඔයාලට තේරේවි. නිකම් බැලුවොත් ඔබට පෙනෙයි, මෙම රූප වල එකිනෙක මත අතිපිහිත වෙමින් ගිය එකම ආකාරයේ රූප සමූහයක්. අන්න ඒ රූප, අපේ ඇස් දෙකෙන් වෙන වෙනම බලල එක් තැනකදි ඒ රූප දෙකක් එකට සම්බන්ධ කරල මොළය හඳුනා ගැනීමක් තමා මෙහිදී වෙන්නෙ. සමහර ඒවායේ නම් එහෙම පැහැදිලිවම අපිට ත්‍රිමාණව පේන රූපය නිකම් බැලුවම නෑ, නමුත් ඒක සැඟවිලා තිබෙනවා. (මේ ත්‍රිමාණ රූප සකසන ආකාර දෙකක්. පහත පළමු හා දෙවන රූප මේ දෙවනුව කිව්ව ආකාරයටත්, තෙවන හා සිව්වන රූප මේ පලමුව කිව්ව ආකාරයටත් තමා සකසල තියෙන්නෙ.)


හරි එහෙනම් දැන් තියරිය දන්නවනෙ, අපි කෙලින්ම ප්‍රැක්ටිකල් එකට යමු. මෙන්න තියෙනව ඉතාම පහසු රූපයක්. උත්සාහ කරන්න බලන්න කියල දුන්නු විදිහට. ලොකු කරල බලන්න රූපය උඩ ක්ලික් කරන්න.


ඔබ සාර්ථක වුනොත් ඔබට පුළුවන් වේවි, ලස්සන හදවතක රූපයක් දකින්න.
හරිද දැක්කද? එහෙනම් මෙන්න ඊලඟ එක, මේක නම් චුට්ටක් අමාරු වෙයි, නමුත් හරියට ක්‍රමය දන්න කෙනාට බැරි වෙන්නෙ නෑ, බලන්න මොකද්ද තියෙන්නෙ කියල.


කණු 4ක් උඩ තියෙන යමක් වගේ දෙයක් පේනවද?
මෙන්න තව එකක්. මේකෙ ඉන්නෙ කවුද බලන්නකො.


ගණ දෙවි රූපයක් දකින්න පුළුවන්ද? මේ පහළ එක බලන්නකො, ඒකත් ලේසි එකක්. 


මේක ටිකක් වෙනස්. බලන්නෙ නම් අනිත්ව බලපු ආකාරයටම තමා, නමුත් බලන්න මේකෙ තියෙන වෙනස. මේ රූපය සම්පූර්ණයෙන්ම ත්‍රිමාණව දකින්න පුළුවන්, මේ නිකම්ම බැලුවම පේන රූපයමයි ත්‍රිමාණව පේන්නෙත්, සැඟවුනු රූපයක් නෑ.


මේක ඇවිල්ල අර කිව්ව ත්‍රිමාන රූප වලට වඩා වෙනස් ආකාරයක ත්‍රිමාණ රූපයක්. මේකෙත් සැඟවුනු රූපයක් නෑ, නමුත් මේකෙ එකම විදිහෙ එකිනෙකට චුට්ටක් වෙනස් රූප දෙකක් තිබෙනවා. මේක බලන්නෙ වෙනත් ආකාරයකට. ඒකට කියන්නෙ Crossed Eye කියල. 


ඒ කියන්නෙ මේක බලන්න නම් ඔබ ඇස නාභි ගත කල යුත්තේ ඈතට නෙවෙයි, ලඟට. මේකෙදි කරන්න ඕනෙ ඉස්සෙල්ල කරපු එක පොඩි වෙනසක් එක්ක. ඈතට ඇහැ නාභි ගත කරනවා වෙනුවට හුඟක් ලඟ වස්තුවකට නාභි ගත කරන්න. ඇස් දෙකට ලඟින් ඇඟිල්ලක් තියෙල ඒකට නාභි ගත කරගෙන රූපය ඇඟිල්ලට එපිටින් තියල බලන්න. එතකොට ඔබට මේ රූප දෙක, තුනක් වෙලා පෙනේවි,අන්න ඒ මැදින් පේන තෙවන රූපය පැහැදිලි කරගන්න උත්සාහ කරන්න, අන්න ඒ රූපය ඔයාලට ත්‍රිමාණව පෙනේවි. ඒ කියන්නෙ මේ පේන්න තියෙන රූපය ත්‍රිමාණව පේනව කියන එකයි.
මේකෙදි වෙන්නෙත් අර ඉහළින් පැහැදිලි කරල කිව්ව දේට ටිකක් සමාන දෙයක්. ඒ කියන්නෙ, මේ තියෙන්නෙ අපේ ඇස් දෙකට වෙන වෙනම බැලුවොත් පෙනෙන අවස්ථා දෙකක්. ඒ දෙක එකක් කරල මොළයට හඳුන්වල දෙන එක තමා අපි crossed eye ආකාරයෙන් බලල කරන්නෙ.
එහෙනම් සුභ පතනවා.
අන්තර්ජාලයේ සෙවීමක් කළොත් 3D Stereograms කියල, මේ දෙආකාරයේම රූප ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්.

දුක හිතෙන දෙයක් තමා, මේවා බලන ආකාරය දැනගත්තට පස්සෙ, මම අරමුලින්ම කිව්ව බුද්ධ රූපයක් මට හමු උනේම නෑ බලන්න, කවුරු හරි ලඟ ඒ රූපය තිබෙනවා නම් මෙම ලිපියට අදහසක් සමඟ ඒක බෙදාහදා ගන්න කියල ආරාධනා කරනවා.

මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න: