Tuesday, December 27, 2011

ඔබගේ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න වසර අවසානය යොදාගන්නේ කොහොමද?


මේ වසර අවසාන නිවාඩුවෙ, ඔබ මොන ආකාරයේ බ්ලොග් ලියන්නෙක් වෙන්නද හිතන් ඉන්නෙ?
තමන්ගෙ බ්ලොග් එක තව ටිකක් වැඩි දියුණු කරගන්න හිතාගෙන ඉන්නවද, නැත්තම් බඩ පැලෙන්න කනවද? :D

Saturday, December 17, 2011

Image Today අතුරු කතා සහ අවාසනාවට ඇත්ත කතාව

දැන් නම් කට්ටියට අමතකද දන්නෙත් නෑ, මෙහෙම එකකට අපි ගියා කියල. (තව බ්ලොග් ලියන පිස්සො ටිකකුත් සෙට් උනා කියල මම කිව්වෙ.)
අවාසනාවට ඇත්ත කතාවක් කිව්වට මේක සතුටුදායක විදිහට අවසන් නම් උනා. මැද ටික විතරයි අවාසනාවන්ත. :D
මම ඉස්සෙල්ල කිව්වනෙ Image Today Exhibition එකට ගිය එක ගැන. ඒක කියෙව්ව නේද? නැත්තම් දැන්මම කියවල එන්න.

එක තැනකදි දැක්ක, අපි ෆොටෝ එකක් දුන්නොත් එයාල කැලැන්ඩර් එකක් ප්‍රින්ට් කරල දෙනව කියල. නොදොවකින්. මුලින් දන්නව නම් හොඳ ෆොටෝ ටිකක් පෙන් එකටවත් දාගෙන එනවනෙ. :( මම පෙන් එකත් සාක්කුවෙ දාගෙන ඒත් වැඩක් වෙන එකක් නෑ කියල ආපහු තියල ආවනෙ. සන්ජය කියනව අපි දෙන්න එකට ඉඳල එකක් අරගෙන ප්‍රින්ට් කරල කෙල්ලන්ට දෙමු කියල. :D :D එහෙම කොරල අල කන්ඩද. මම කීව ඒක හරියන්නෙ නෑ කියල. මම ශොප් එකේ එකාටත් කීවෙ කෙල්ලත් එක්ක ආව නම් දෙන්නගෙ ෆොටෝ එකක් දාගන්න තිබ්බනෙ කියල. :( 
ඊට පස්සෙ ඉතින් බැලුව ෆෝන් එකේ තියෙන ෆොටෝ වලින් මොකුත් කරගන්න බැරි වෙයිද කියල. මගෙ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ වලින් එකක් තෝරගත්ත. අරූගෙ ෆෝන් එකෙත් තිබ්බ ෆොටෝ එකක් තෝරගත්ත. ඉතින් ඒකත් මගෙ ෆෝන් එකටම දාගෙන ගියා අතනට ආපහු. අනේ මූ කියපි microsd card බෑ කියල. කොරහන්කො, ඉතින් මොකෝ කරන්නෙ. ඉතින් මගෙ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික අරූගෙ කැමරාවෙ කාඩ් එකට ගන්න ක්‍රමයක් හොය හොය මුලු ප්‍රදර්ශනේ වටේම ඇවිද්ද. ලැප්ටොප් තියෙන හැමතැනින්ම ඇහුව. (කැමරාවෙ කාඩ් එක SD එකක්නෙ, ඒක අතන රිඩර් එකෙන් රිඩ් කළෑකිනෙ.)

ඕව හොයන් යන අස්සෙ, Model shoot දෙකටම අරූ සෙට් උනා. (ඉස්සෙල්ල පෝස්ට් එකේ මොඩ්ල්ස්ලගෙ ෆොටෝ ටිකක් මම දැම්ම. ඒ මගෙ මිත්‍රයගෙ වැඩ තමයි. දැක්කෙ නැත්තම් ගිහිල්ල බලන්නකො.)
මිලින්ද වීරසේකර අය්යවත් සෙට් වෙලා එයත් එක්කත් කතා කර කර හිටිය ටිකක්. ඒ අස්සෙ මම ලැප් එකක් ගන්නට තියෙන ඕනෙකම ගැනත් එයාට කීව. (එයා වැඩ කරන්නෙ HP, Apple Official Dealer වන DMS එකේ.) බජට් එක පොඩී නම් Unity එකෙන් ගන්නය කියල. Laptop.lk එකත් හොඳයි කිව්ව එකම කෙනා. එහෙම අරගෙන DMS එකේ Care Pack එක දාගන්නය කීව (අවුරුදු 3නේ වොරන්ටියට රු.15,000යි).
තවත් ඉතාම වැදගත් දෙයකුත් කිව්ව. Unity එකේ තියෙන ගොඩක් ලැප් Asian Region එකට හදපුව නෙමෙයිලු. ඉතින් මෙහෙ ඒවට spare parts නෑලු හරියට. අනිත් එක Climate වෙනස නිසා හුඟක් ලැප් අවුල් යනවලු. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඇයි මේ කට්ටිය HP ලැප් හොඳ නෑ කියල කියන්නෙ කියල. ඉතින් ගන්නකොට ටිකක් පරිස්සමින් ගන්න කීව. Middle East Region එකට හදන ලැප් ගොඩක් තියෙනවලු Unity එකේ. අන්න ඒවයින් බොහොමයක් මොඩල් වලට spares මෙහෙට එවන්නෙම නෑලු. ඉතින් එහෙම එකක් සෙට් වෙලා ඒකට කෙල උනොත්, කෙලාම තමා. :(

හරි හරි, ආපහු කතාවට. ඉතින් මම කීවනෙ අපි හැමතැනම ගියා කියල ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික SD card එකට ගන්න ක්‍රමයක් හොය හොය. හම්බුනේම නෑ, හවස 4.30 විතර වෙනකොට දෙන්නට හොඳටම හෙම්බත්. වැඩේ අතාරින්නත් හිතුන. අපේ දිනේශ් සහෝගෙත් ලැප මැරිල, චාජරෙත් නෑ. ඌ කීව බොරැල්ලට ගිහිල්ල කරගෙන වරෙන්කො කියල. අලුත් බලාපොරොත්තුවක්. අපි ඉතින් එලියට ආව. පස්සෙ කල්පනා කරල වැඩි ෂුවර් එකටත් එක්ක බම්බලපිටියට ගියා. ගිහිල්ල communications දෙක තුනකින් ඇහුව, ම්හ්. :( ඊට පස්සෙ මොකෝ කළේ, අපිට කරගන්නම ඕනෙනෙ. MC එකේ කඩේකට ගිහිල්ල MicroSD Card Reader එකක් සල්ලි වලටම ගත්ත රු.150ක් දීල.
ඉතින් ඕකත් අරගෙන උඩ පැන පැන ආපහු BMICH ඇවිල්ල මගෙ ෆෝන් එකේ කාඩ් එක අරකට ගහල අර ස්ටෝල් එකේ එකාට දුන්න.
හරිම සතුටුයි කියන්න, මගෙ කාඩ් එකේ මොකාක් හරි අවුලක්, මැෂින් එකෙන් ගන්නෙ නෑ. ඉතින් මොකෝ කරන්නෙ. ඔන්න මේ යකා කාඩ් එක රීඩර් එකෙන් ගලවල උගෙ කාඩ් රීඩර් එකට ගැහුවනෙ. 
අපි දෙන්නට නේද, පස්ට හැපී, කාඩ් එක රීඩ් කරගන්න පුළුවන් නිසා නෙමෙයි, දෙන්නට දෙපැත්තෙ ඉඳන් අරූගෙ කණ් දෙක රත් කරන්න හිතුන නිසා. ඇයි දෙය්යනේ, මූ ඉස්සෙල්ල MicroSD රීඩ් කරන්න බෑ කීව නිසානෙ අපි පැය ගාණක් කකුල් කඩෙත්තුව හැදෙනකම් එහෙට මෙහෙට ඇවිද්දෙ. :(
ඊට පස්සෙ හරි ගියෙ නැති තැන තවත් එකක් මතක් උනා, දුක කියන්නෙ ඕක ඉස්සෙල්ල මතක් උනේ නෑනෙ. සන්ජයගෙ ෆෝන් එකේ තිබ්බෙ MiniSD එකක්. ඒකට ආපහු ෆයිල් ටික දැම්ම, ඒක රීඩර් එකට දාල ෆොටෝ ටික මැෂිමට ගත්ත. 
ආපහු ශෝක්. උන්ගෙ කැලැන්ඩර් එකේ PSD එක නෑ. ඉතින් පුළුවන් Portrait විදිහට විතරයි, අපි දෙන්න දුන්න ෆොටෝ දෙක landscape. ඉතින් මොකෝ කොරන්නෙ, තව ෆොටෝ දෙකක් අමාරුවෙන් හොයල දාල දුන්න. යන්තම් ඔන්න එකා කැලැන්ඩර් දෙක ගාණෙ ප්‍රින්ට් කරගත්ත. (එකකට 150/=යි. )
ඉතින් ඔහොම මහන්සි වෙලා ලැබුනු ප්‍රථිපලේ තමා මෙන්න මේ පහල තියෙන්නෙ.

සයිස් එක අඟල් 13*19යි.

ඒ වෙනකොට වෙලාව හවස 5.30ත් වෙලා. ඊට පස්සෙ කෙලින්ම ගෙදර එන්න පිටත් උනා. 
මම ගෙදර එනකොට රෑ 7.30 විතර උනා. එවෙලෙම ලියන්න හිතුනත්, මහන්සි නිසා බෑ කියල හිතුව. 

ඔන්න ඔහොමයි උනේ. ඔන්න ඔහොමයි අච්චර දුක් විඳල අන්තිමට කතාවට ලස්සන අවසානයක් දුන්නෙ. :)

Saturday, December 10, 2011

Photo-Talk Photography Workshop එකට සහභාගි වෙන්නෙ නැද්ද?

[රූසර බ්ලොග් අඩවියෙහි පබ්ලිශ් කළ ලිපියේ පිටපතකි.]

මතකයිනෙ ඉස්සෙල්ල ලිපියෙන් ආරංචියක් දුන්න ඔය මාතෘකාවෙ තියෙනව වගේ එකක් ගැන? 
ඉතින් මේක ඇත්තටම සහභගි වෙන්නෙ නැති අයටයි.
මම පොඩි වැඩක් කළා, දැනට සාර්ථකයි, හෙටත් සාර්ථක වේවා කියල පතනවා.
ලයිව් ස්ට්‍රීමිං එකක්. එක එක වෙලාවට මම මගෙ ෆෝන් එකෙන් වැඩසටහනේ තැන් ලයිව් ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නව. 
මේ තියෙන්නෙ මගෙ ලයිව් ස්ට්‍රීම් එක ඔයාලට බලාගන්න පුළුවන් ලින්ක් එක. 

ෆෝන් එකෙ පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක මීට ඉස්සෙල්ල නම් ඔහොම ඕනිම වෙලාවට පිස්සු කෙලල තියෙනව, වාසනාවන්ත විදිහට එහෙම නැති උනොත් ඔයාලට මෙතන බලාගන්න පුළුවන් වෙයි මම ස්ට්‍රීම් කරන විඩියෝ. එකක් ඉවර උනු ගමන් ඒක මගෙ මුහුණුපොත බිත්තියටත්, යූටියුබයටත් පබ්ලිශ් කරනවා. 
ඉතින් එන අයව දකින්න ආසාවෙන් සිටිනාතර එන්නෙ නැති අයට මේක යම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනව. (මම කිව්ව අවාසනාවන්ත දේ උනේ නැත්තම්. ;) )

Sunday, December 4, 2011

ඔබ කුමක් හෝ උගත යුතුයි

මම පොඩි දෙයක් ගැන පහුගිය ටිකේ හිතුව. ඡායාරූපකරණය ගැන හා Photoshop වැනි මෘදුකාංග හරහා Graphic Design ඉගෙන ගත යුතුයි කියල. (චුට්ටක් දන්නව, නමුත් දන්න තරම හොඳටම මදි.)

ඇයි?

මොකද, මේ දේවල් ගැන තිබෙන ඉල්ලුම ඉතා වැඩියි. ඉතින් තමුන් වැඩි දෙයක් දැනගෙන ඉන්නව නම් තමුන්ට තිබෙන හැකියාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. තමුන්ට තරඟයක් දෙන්න ඉන්නකට්ටියත් අඩු වෙනවා.
ඉතින් ඒකයි මම මේ දේවල් ගැන ඉගෙනගන්න පටන් ගත්තෙ. මම අන්තර්ජාලය තුළින් ගොඩක් පොත් හා විඩියෝ tutorials එකතුකරගත්ත. පසුගිය කාලයේ තිබුනු ඡායාරූපකරණය ගැන තිබුණු ප්‍රදර්ශන වලට ගිහිල්ලත් යම් යම් දැනුමක් එකතු කරගත්ත. ඉතින් දැන් මේව ටික ටික මම බලනව.

ඒක ඉතා සාර්ථකයි, නමුත් තව ගොඩක් දේවල් තිබෙනව බලන්න. ඉතින් මේ හරහා රැකියා අවස්ථාවකුත් කරගන්න පුළුවන් නේද කියල මට හිතුන. 

ඉතින් මේ දේවල් එක්ක මම එක් නිගමනයකට ආව, යමෙක්ට සාර්ථකත්වයට යන්න ඕනෙ නම් ඔහුට/ඇයට, යම් විෂයක් සම්බන්ධයෙන් ඉගෙනගත යුතුයි කියන එක. ඒ කියන්නෙ ඔබ මොකක් හරි ප්‍රයෝජනවත් දෙයක් උගත යුතුයි. අන් අය අගය කරන හා අන් අයටත් ප්‍රයෝජනයක් ගත හැකි දෙයක්.


උදාහරණ ගමු.
නිකම්ම වෙබ් අඩවියක් හදන්න, බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පුළුවන් උනාට හරියන්නෙ නෑ. ඒ ගැන හොඳින් හදාරා ඒ විෂය සම්බන්ධයෙන් හොඳ න්‍යායාත්මක වගේම ප්‍රායෝගික දෙනුමක් එකතු කරගත යුතුයි. එහෙම කරනකම් ඒ දැනුම මූල්‍යමය වටිනාකමක් එක් කරන එකක් වෙන්නෙ නෑ.
වෙබ් ඩිසයින් ගැන ගත්තොත්, HTML, CSS ඉගෙන ගැනීම නෙමෙයි වෙබ් ඩිසයින් කියන්නෙ. typography, design patterns, color combinations, JavaScript සම තවත් ගොඩක් දේවල් ඉගෙන ගැනීමයි. ඒව හැම එකක්ම හොඳින් ඉගෙන ගත්තම ඔන්න ඔබේ අතේ තියෙනව මූල්‍ය වටිනාකමක් තිබෙන දැනුමක්. 

අපි ගමු අපේ බ්ලොග් ලියන්නන්, බ්ලොග් ලියන්නන් බොහොමයකට ලිවීමේ හැකියාව මොනවට පිහිටල තිබෙනව. තාක්ෂණික දෙයක්ද, කතන්දරයක්ද, ඉතාම සිත් ඇදගන්නා විදිහට ලියන්න පුළුවන් අය ගොඩාක් ඉන්නව. 
ඉතින් ඔබ ලියන්න කැමති නම්, ඒකෙන් කියවෙන්නෙ නෑ අරම සිත් ඇදගන්නා බ්ලොග් ලිපියක් ලිවීමම ප්‍රමාණවත් කියල. මුලින්ම ඔබ තීරණය කළ යුතුයි ඔබ ලියන්නෙ මොනව ගැනද කියල. (උදා: විහිළු කතා, බ්ලොග් ලිවීම ගැන, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන. 2D/3D Modeling ගැන ) ඊට පස්සෙ ඔබ කළ යුත්තේ ඒ දේ ගැන හොඳ දැනුමක් එකතු කරගන්න එක, හොඳින් ඒක ඉගෙනගන්න එක. පොත් පත් කියවල, වෙබ් අඩවි පීරල, tutorials බලල, යම් පාඨමාලාවක් හදාරල, ඒ දැනුම එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම ඒක ඉතා හොඳින් පුහුණු වීමත් වැදගත්. 

ඉතින් අවසානව කියන්නෙ,ඔබට යමක් අවශ්‍ය නම් ඒකට යන්න උත්සාහ කළ යුතුයි. ඔබට ආඩම්බර විය හැකි, දැකිය දැනිය හැකි, අන් අයගේ ප්‍රශංසාවට භාජනය විය හැකි, අන් අයටත් ප්‍රයෝජනවත් වන දෙයක් ඔබට ලබා ගන්න පුළුවන් නම් ඔබ දිනුම්. අන්න ඒකයි සාර්ථකත්වයට මඟ.

ඉතින් ඔබ තාමත් පටන් ගත්තෙ නැත්තම්, ඇයි තවත් බලා ඉන්නෙ???


Thursday, December 1, 2011

හොඳම බ්ලොගර් ටෙම්ප්ලේට් ලැයිස්තුවක් - with JQuery and Slideshow

මම ඉස්සෙල්ල ලිපියක කීවනෙ බ්ලොග් එකේ තීම් එක ලස්සනට තියෙනකොට බ්ලොග් එකට එන පිරිස වැඩි වෙනවා කියල.
ඒකට හේතුව මොකද්ද?
ලස්සනට පිළිවෙළට තියෙන බ්ලොග් එකකට එන්න කට්ටිය කැමතියි. එක එක මඟුල් එල්ලල තියෙන, වෛවරණ, ඇහැට අමාරු බ්ලොග් වලට එන්න මිනිස්සු කැමති නෑ. ඉතින් සරළ ලස්සන පිළිවෙලකට තියෙන තීම් එකක් බ්ලොග් එකට දාගන්න පුළුවන් නම් ඔබට ඒක හරහාත් හොඳ විශ්වාසවන්ත කියවන්නන් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. එන අය කියාවි, "අනේ ඒ බ්ලොග් එක නම් දකින්න ආසයි, ලස්සනට පිළිවෙලට තියෙනව" කියල. කාටද ආඩම්බර?  :)

මේ මුලින්ම දෙන්න හදන ටෙම්ප්ප්ලේට් නම් ටිකක් බර ඒව. ඒ කිව්වෙ ලස්සන JQueries සහ Slideshow තිබෙන ඒව ටිකක්. මේවායින් ලස්සන බ්ලොග් එකක් හදාගන්න ඔයාලට පුළුවන්. ඊලඟට දෙන්නම්කො සරළ ටිකක්. 


Namisan - Stunning Slider Blogger Template


මේක අලුත්ම jQuery Featured Slideshow එකක් තිබෙන ලස්සන transition effects තිබෙන ටෙම්ප්ලේට් එකක්. මේකෙම ගැජට් ගොඩකුත් තිබෙනවා. Right Side Bar එකක් තිබෙන කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක් තමයි මේක.


Namisan - Stunning Slider Blogger Template


Ocenolis Magazine - Advanced Blogger Template



වර්ණවත් ටෙම්ප්ලේට් එකක් වෙන මේක, දකුණු පස side bars දෙකක් තiිබෙන කොලම් තුනක ටෙම්ප්ලේට් එකක්. ක්ලික් කරනකොට රොටේට් වෙන Featured slider එකකුත් තිබෙනවා.


Ocenolis Magazine - Advanced Blogger Template


Nyke - Magazine Blogger Template


දකුණු පස සයිඩ් බාර් එකක් තිබෙන මේ මැගසින් ටෙම්ප්ලේට් එකේ ආවේණික slideshow එකක් තිබෙනවා. 


Nyke - Advanced Magazine Blogger Template

Floor - jQuery Rich Blogger Template

මේකත් නියමම ටෙම්ප්ලේට් එකක්. අඳුරු වර්ණයක් සහිත මේ ටෙම්ප්ලේට් එකේ ලස්සන මෙනු එකක් එහෙම තිබෙනවා. 


Floor - jQuery Rich Blogger Template


Game Madness - Assassins Creed Blogger Template


මේක ඇවිල්ල ගේම් වලටම හදපු තීම් එකක්. උඩ තිබෙන featured slider එක මුළු වෙබ් පිටුවේ හරස් ඉඩ පුරවාගෙන තිබෙනවා. ලස්සන transition effect එකකුත් තිබෙනවා. ඇයි, තව එක එක ගැජට් ගොඩකුත් තියෙනව.


Game Madness - Assassins Creed Blogger Template


MoonLight - Clean Magazine Blogger Template


මේක ඇවිල්ල ටිකක් සරල තීම් එකක්. ඒත් ලස්සනට පිළිවෙළට තියෙන තීම් එකක් කියල කියන්න පුළුවන්. කොලම් දෙකක් හා දකුණුපස සයිඩ් බාර් එකක් තිබෙන තීම් එකක්. 


MoonLight - Clean Magazine Blogger Template


Simplex Buzz - Full Background Slideshow


මේක නම් අමුතුම ටෙම්ප්ලේට් එකක්. මේකෙ තිබෙන විශේෂෙ තමා, බ්ලොග් එකේ මුළු පසුබිමම slideshow එකක්. ඒත් එක්කම මේකෙ,  තව අමතර featured posts section එකකුත් කොලම් දෙකක ඩිසයින් එකකුත් තිබෙන්නෙ.


Simplex Buzz - Full Background Slideshow

Oracle - Advanced Magazine Blogger Template


මේකත් මැගසින් ටෙම්ප්ලේට් එකක්. වම් පස තමයි සයිඩ් බාර් එක තිබෙන්නෙ. Slideshow එකේ ෆේඩ් වෙලා යන effect එකක් තමයි තිබෙන්නෙ. 


Oracle - Advanced Magazine Blogger Template

Extreme - Portfolio Magazine Blogger Template


මේක ඇවිල්ල Portfolio Template එකක්. නමුත් බ්ලොග් එකකට හොඳයි. Featured Postsඳාතර scroll කරගෙන බලාගෙන යන්න පුළුවන්. වෙනමම categories section එකකුත් තිබෙනවා. කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක් මේක.


Extreme - Portfolio Magazine Blogger Template

Superb - Advanced Blogger Template


මේකෙ ලස්සන අමුතුම නියම Featured Slider එකක් තියෙන්නෙ. Slides එක උඩ එක තියල හරහට එහා මෙහා කරන්න පුළුවන් වෙන්න වගේ. තව එක එක වැඩ කෑලි තියෙන මේ ටෙම්ප්ලේට් එක කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක්.


Superb - AdVanced Blogger Template

Modern Photography - Abstract Style Template


Photography Portfolio එකක් කරන්න හොඳ මේ ටෙම්ප්ලේට් එකෙත් ලස්සන ලොකු featured slideshow එකක් තිබෙනවා. Slider එක ඉබේම හා මවුසය මගින් වෙනස් කරන්න පුළුවන්. මේකත් කොලම් දෙකක් හා දකුණුපස side bar එකක් තිබෙන ටෙම්ප්ලේට් එකක්.


Modern Photography - Abstract Style Template

Calenotis - Photographers Magazine Blogger Template


තවත් මැගසින් තීම් එකක්. full width Featured Slider Slideshow එක ත්‍රිමාණ ගතියක් තියෙන එකක්. විවිධ transitions වලට slider එක ඉබේම scroll වෙනවා. මේක Professional Magazine design එකක් තිබෙන කොලම් දෙකක ටෙම්ප්ලේට් එකක්.


Calenotis - Photographers Magazine Blogger Template


Magulesco -Featured Magazine Blogger Template


මේකත් සරළ නමුත් professional තීම් එකක්. මේකෙ slider එකත් ලස්සනයි. කොලම් දෙකක මැගසින් තීම් එකක් තමයි මේක.


Magulesco -Featured Magazine Blogger Template


Dimenzion - 3D Style Blogger Template


classic featured slider එකක් තියෙන මේ ටෙම්ප්ලේට් එකේ featured posts ලැයිස්තුව තිබෙන්නෙ දකුණු පසින්. කැපී පෙනෙන වර්ණ තිබෙන මේ ටෙම්ප්ලේට් එක කොලම් දෙකක එකක්.


Dimenzion - 3D Style Blogger Template


Glow - Free Premium Blogger Template


මේකෙ slider එකේ පැත්තෙන් slider එකේ තියෙන ඒව thumbnails වගේ පෙන්නනව. ලස්සන, කොලම් දෙකක මැගසින් ස්ටයිල් එකක් තියෙන මේ ටෙම්ප්ලේට් එකේ side bar එක තිබෙන්නෙ දකුණු පසින්.


Glow - Free Premium Blogger Template


Mahasoli Tribune - Magazine Blogger Template


තවත් ලස්සන මැගසින් තීම් එකක්. මේකෙත් slider එක, එක මත එක තියල තියෙනව වගේ පේන්නෙ. රූපයත් එක්ක විස්තරයකුත් තිබෙනව. ක්ලික් කළ ගමන් ඒක ඕපන් වෙනව. දකුණුපසින් side bar එක තිබෙන මේ තීම් එක කොලම් දෙකක එකක්.


Mahasoli Tribune - Magazine Blogger Template


ඔයාලට හිතට අල්ලන හොඳ ටෙම්ප්ලේට් ටිකක් මෙතන තියේවි අනිවාර්යයෙන්ම. තවත් ලස්සන ටෙම්ප්ලේට් ටිකක් එක්ක ඉදිරියේදී හමුවෙමු.


"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

Monday, November 28, 2011

හිත ඇදිල යන මාතෘකාවක් ලිපියට දාන්නෙ කොහොමද

අපේ බ්ලොග් කියවන්නො හුඟක් අය කාර්යබහුලයි ගොඩක්. බ්ලොග් එකක් දෙකක් කියවන්න එන්න වෙලව හොයාගන්නෙත් සමහරු අමාරුවෙන්.
ඉතින් ඔබටත් ඒ අයගේ අවධානය ගන්න තරඟ කරන්න වෙලා.
එහෙම නිකම්ම කරන්න බෑනෙ. ඉතින් ඔබට සිද්ධ වෙනව කියවන්නන්ගේ අවධානය දිනාගන්න වැඩ කරන්න. ඒක කරන්න මුලින්ම ඔයා කරන්න ඕනෙ හිත ඇදිල යන, ඇහැ ඇදිල යන මාතෘකාවක් ඔයාගෙ ලිපියට යොදන එකයි.
මාතෘකාව තියුණු විය යුතුයි. කියවන්නාට කුතුහලයක් සමඟ ලිපිය මොකද්ද කියල බලන්න හිතෙන එකක් විය යුතුයි.

ඉතින් කොහොමද එහෙම ඒව ලියන්නෙ?

මගෙ බ්ලොග් එකේ පහුගිය කාලෙ ලිව්ව ලිපි වලින් ජනප්‍රියම උනු, වැඩිම පිරිසක් බලපු ලිපි කිහිපයක් ගන්නම්.


ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද? (සිතිවිලි පවුරේ මම ලිව් ලිපියක්)

බ්ලොග් අවකාශයේ ඉතාම ජනප්‍රිය උනු බ්ලොග් වල ඉතාම ජනප්‍රිය උනු ලිපි වල මීට වඩා ගොඩක් ප්‍රභල මාතෘකා තිබෙනවා. මම ඉතින් ගත්තෙ මගෙ චුට්ටි බ්ලොග් එකේ ලිපි ටිකක් තමා උදාහරණෙට. :)

"උදව්වක්", ප්‍රශ්නයක් තිබෙන මාතෘකාවක්, "කොහොමද?", "භාගත කරගන්න" වගේ දේවල් මේ මාතෘකා වල තිබෙනවා පේනවද? 
මේ වගේ මාතෘකා වලින් යම් දෙයක් කියවන්නාට දෙන්නට උත්සහ කරනව කියල ඔබට තේරෙනව ඇති. තවත් උදාහරණ මාතෘකා කිව්වොත්, "ඔබගේ ජංගම දුරකථනය සොරුන්ගෙන් රැකගන්නේ කොහොමද", "පසුගිය වසරේ ජනප්‍රියම වෙබ් අඩවි 10" වගේ ඒව ගත්තැකි.

ලිපියේ මාතෘකාව කෙලින්ම පැවසිය යුතුයි මොනවද මේ ලිපියෙ තිබෙන්නෙ කියල. එතකොට කියවන්නන්ට තීරණයක් ගන්න පුළුවන්, මේ තියෙන දේ අපිට වැදගත්ද, අපි මේක කියවිය යුතුද කියල. 

ලිපිය කියවන්නන්ට අදාලද කියල හිතල බලන්න. සමාජයේ පවතින ප්‍රශ්නයක්, ගැටළුවක් අරගන්න. ඒකට උත්තර හොයන්න, ලිපියක් ලියන්න. ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්, පහසුවෙන් කරන්න පුළුවන්, "මේක කරන්නෙ කොහොමද" ආකාරයේ ලිපියක් ලියන්න. 
උදා: "සාර්ථක බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නේ කෙසේද. පියවරෙන් පියවර සරළව", "ඔබේ බ්ලොග් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද"

ඔබ කිව්ව දේ ලබා දෙන්න

මම දැකල තිබෙනව සමහරු මෙන්න මේක කරන්නෙ නෑ. පෝස්ට් එකේ මාතෘකාව තියෙන්නෙ එකක්. ඇතුළෙ තියෙන්නෙ වෙන එකක්. ඒකෙන් වෙන්නෙ කියවන්නාගේ විශ්වාසය පලුදු වෙන එක. එන අයට තේරෙන්නෙ එකකොට, "මෙයා මේ බොරුවට ලස්සනට මාතෘකාවක් දාල අපිව බොරුවට අද්දගන්නව" කියලයි. ඒක කරන්නෙපා කවදාවත්.
ඔබ දෙයක් කිව්ව නම් ඒක උපරිමයෙන් දෙන්න, උඩින් දුවල නෙමෙයි, පිළිවෙළට ප්‍රමාණාත්මකව, උපරිමයෙන්.
---------------------------------------------------------------------

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

Tuesday, November 8, 2011

"Image Today" බලන්නට ගියෙමි සහ තවත් කතා

ලිපිය ලියන්න පරක්කු උනේ ඒව මේව ටිකක් සපයගන්න පරක්කු උන නිසයි. (තවත් දේවල් ටිකක් ලැබුනෙ නැති නිසා අද ලිපිය දානව කියල හිතුව.)
"මි" කිව්වට "මු" වෙන්න ඕනෙ හරි නම්. මොකද මම තනියම ඇතුළට ගියාට ඇතුලෙදි තව සෙට් එකක් සෙට් උනා නෙව.
හරි. "Image Today" කියල කියන්නෙ, පසුගිය සති අන්තයේ, BMICH එකේ පැවති ඡායාරූපකරණය සම්බන්ධ ප්‍රදර්ශනයක්. ඒකෙ තිබුනෙ ඡායාරූපකරණයට සම්බන්ධ වෙන ගොඩක් දේවල්. කඩ තමා වැඩිපුරම තිබුනෙ.
හරි කියන්නම්කො විස්තර.
මේකෙ තිබුන, කැමරා හා උපකරණ විකිණීමට, ඕඩර් කිරීමට. Fuji, Canon, Nikon, Olympus, Kodak, Benq වගේ ප්‍රසිද්ධ කැමරා මාදිලි.
ඡායාරූප මුද්‍රණය සම්බන්ධ මුද්‍රණ යන්ත්‍ර හා වෙනත් මුද්‍රණ යන්ත්‍ර, තීන්ත, කඩදාසි වගේ හැම දෙයක්ම මිලට ගන්න, බලන්න, ඕඩර් කරන්න පුළුවන්කම තිබුන.
මංගල උත්සව සම්බන්ධ දේවල්. ඇල්බම් හදන කට්ටිය, ඇල්බම් හදන උපකරණ, විඩියෝ හදන කට්ටිය, වීඩියෝ හදන්න පුළුවන් මෘදුකාංග, සඟරා...
ඡායාරූපකරණය සම්බන්ධ පොත්, සඟරා. (මේ පොත් නම් ඔක්කොම ඉංග්‍රීසි, පට්ට ගණං, සඟරා නම් තිබ්බ)
Lighting Equipment. Flashers, Reflectors, Diffusers, වගේ දේවල්.
ඡායාරූපකරණය සම්බන්ධ පොඩි වැඩමුළුත් තිබුන වෙලාවෙන් වෙලාවට. (අතුල රණරාජා මහතාගේ, ශාක්‍යා ස්ටුඩියෝ එක අයිති නිවේදකයාගේ (මට එයාගෙ නම මතක නෑනෙ. :( ) ) ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයාගෙත් එකක් තිබිල තියෙනව, අපි දැක්කෙ නෑනෙ. :( 
ඔක්කොටම වඩා, වැඩිපුරම කට්ටිය සෙට් උනේ Model Shoot එකට. Model Shoots දෙකක් තිබුන. එකක් තෙවෙනි ඇසේ කට්ටිය සංවිධානය කරල තිබුනු එකක්. අනිත් එක Heyleys ආයතනයේ FujiFilm stall එකේ තිබ්බ එකක්.




මෙම ඡායාරූප, සන්ජය විපුල අනුග්‍රහයෙනි.

Fuji ආයතනය විසින් අලුතින් කැමරාවකුත් හඳුන්වා දුන්නා. (DSLR එකක්ද කොහෙද, මම හරියටම දැක්කෙ නෑ. කීවෙ, ඒක Professional හෝ Advanced Amateur දෙගොල්ලන්ටම ගැලපෙන එකක් කියල. රු. 75,000 කැමරාව හඳුන්වාදීමේ මිල රු. 50,000යි.)
Heyleys stall එකෙන් raffle draw එකකුත් තිබ්බ. (ඒක ගැන නම් මම කතා කරන්නෙ නෑ. :D )

හරි හරි. ඉතින්, මම මුලින්ම යන්න හිටියෙ මගෙ යාලුවෙක් වෙන සන්ජය එක්ක. ඌ තමා මගෙ Photography companion. ෆොටෝ ගහන වැඩක් නම් ඌ එක්ක තමා ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ. ඉතින් මූ බෑ කීවනෙ. (මම ඉස්සෙල්ල ෆොටෝ ෆෙයා ගිය වෙලාවෙ ෆ්‍රී ටිකට් දෙකක් ගත්තෙත් මූටයි මටයි කියලනෙ.) 
ඔය අතරෙ බ්ලොගෝලයෙ යාළුවන්ගෙන් ඇහුවම කවුද එන්නෙ කියල, චාපා, ශිරෝෂි, ගෙහාන් එහෙම එනව කීව. තව කිහිප දෙනෙකුත් එනව කීවලු. ඉතින් උන් නිසාම මම සෙනසුරාද යන්න හිතන් හිටි එක ඉරිදට වෙනස් කළා. වෙලාවත් පොඩ්ඩක් ඉස්සර කරල 11 යන්න හිටි එක 10ට අඩු කළා. මගෙ ලඟ ටිකට් තුනක් තිබුන, දෙකක් ටිකට් කියන්නම පුළුවන් ටිකට්, තෙවැන්න මගෙ ෆෝන් එකට ආපු එස් එම් එස් ටිකට් එක. :) චාපා ඕනෙ කීවනෙ ටිකට් දෙක. ඉතින් සෙනසුරාද ටිකට් දෙක එයාට නොමිලේ වික්ක. ගෙහාන්ට එකක් ඕනෙ කීව, ඒත් ඉතින් පරක්කු වැඩීනෙ එතකොට, ඒත් මම කිව්ව ඇතුළට ගන්නම් කියල. ;)

මම ඉතින් ඔන්න බස් එකේ යනකොට BMICH එකට යන්න, අර මගෙ යාළුව ඔන්න කතා කරනව "උඹට හැමදාම පොල්ල තියන්න බෑනෙ බන්, මම එනව, 11 විතර වෙයි" කියල. ඉතින් මමත් "හා" කීව. ඌ නම් කැමරාවත් අරගෙන කීව එන්නෙ. මම 10ට කොළඹ කැම්පස් එක ගාවින් බැස්සම මෙන්න චාප රිං කොරල. කතා කරල බැලුවම ශිරෝෂි ඇවිල්ලලු. ඉතින් එයාට කතා කරල බැලුවම මෙන්න කැන්ටිමට වෙලා ඉන්නවලු. මම ඉතින් ගිහිල්ල බැලුවම මෙන්න ඉන්නව තව දෙතුන් දෙනෙක් එක්ක. බැලුවම, සිංහයා, ස්කූබි ඩූ, අනේ අනිකගෙ නම තාමත් මතක් වෙන්නෙ නෑ නෙව. :( සොලි හොඳේ. 
ඉතින් කොහොම හරි ගියගමන් කිරි පැකට් දානෙකට සෙට් උනා. මමත් ඉතින් වේලිලා උන්නු නිසා පිං දීල බිව්ව. එකෙක්ට නම් මදිත් වෙලා පැකට් එකට වතුර ටිකකුත් දාල බොන්න හැදුව. ;) ඒත් එක්කම දැනගන්න ලැබුන, එයාගෙ ප්‍රියතම ප්‍රශ්නෙ (කවුරුහරි එයාගෙන් අහනවට කැමතිම ප්‍රශ්නෙ) "උඹ කාලද?" කියන එකලු. කිරි පැකට් එකක් බිව්වට දෙක තුනක් විතර වේලෙනකම් බලා හිටිය චාප එනකම්. ආ අමතක උනානෙ, තව එකෙක් කිරි බෝතලයක් අරගෙන ඇවිල්ල ඒක මේසෙ යට හංගගෙන තනියමම බිව්වනෙ. :( 
ආ ඔය ඉන්න අතරෙ පිංතූර පෙට්ටියෙ දිනේශ් සහෝදරයවත් සෙට් උනානෙ. :) ඌ නම් කීව 100ක් දීල බලන්න දෙයක් නෑ කියල. :( මට දුකත් හිතුන එහෙම කීවම (මට නම් ඉතින් කොහොමත් ෆ්‍රී නෙ.) ගුටි කන්න වෙයිද කියලත් හිතුන. මොකද මම සන්ජයට කතා ගොඩක් කියල තිබ්බෙ. ඔය අතරෙ ඌට කතා කළාම ඌ කීව අවුලක් නෑ බලමුකො, Model Shoot එකකුත් තියෙනවලු, ඒක නිසා කමක් නෑලු.
ඉතින් ඒක මම අරුන්ටත් කීව, බලමුකො කීව. ඉතින් ටිකට් ගන්නත් එපැයි, ඉතින් මොකෝ කළේ, මම හැමෝටම ෆ්‍රී ටිකට් දුන්න. :D :D :D. මට ආපු මැසේජ් එක හැම එකාටම ෆෝවඩ් කළා. චාපට ටිකට් එකක් දුන්න. ඉස්සෙල්ල දෙකක් ඉල්ලපු එකී මෙන්න එකයිලු ඕනෙ කියනව. ඉතින් අනිත් එක තියාගත්ත, පස්සෙ එනව කිව්ව ගෙහාන්ට. (ඒත් ඉතින් ටිකට් එකකුත් තියාගෙන ඉඳල මූ ආවෙ නෑනෙ. :( නැත්තම් හොරෙන්ම ආවද දන්නෙත් නෑ. :D ) ඔන්න ඉතින් ඊට පස්සෙ අපි කැන්ටිමෙන් පිටත් උනා. 
සිරිමාවෝ හෝල් එක ගාවට ආවම මෙන්න තියෙනව එක එක තොරොම්බල් කඩයක්. ඒකෙ හිටපු සර්පයෙක්ට ශිරෝශි බය උනානෙ. මට හරි වෙලාවට ෆොටෝ එක ගන්න බැරි උනා, චුට්ටක් ඉක්මන් උනානෙ. :( ඔක්කොටම වඩා දුක කියන්නෙ ඒ ගත්තු ෆොටෝ එකත් අතුරුදන් වෙලා තියෙන එක. ගෙදර ඇවිල්ල ෆෝන් එකේ බලනකොට ෆොටො එක නෑ. ( ;) )
ඊට පස්සෙ මම ඉතින් ස්කූබි ඩූ ට කිව "අපි බෙදිල යං" කියල. ඊට පස්සෙ මුන් බයේ යම්දෝ නොයම්දෝ කියල. මම ගියා ඇතුළට, sms එක පෙන්නල ගියා. අරුන් sms එක පෙන්නනකොට ඇහුවලු sms එක forward කරගත්තද කියලත්. කොහොම හරි ශේප් වෙලා ආව ඇතුළට. තව පොඩ්ඩෙන් ගුටිත් කනව, ඔය ඉන්දියන් කාරයො ලේසි නෑ. :D
ඇතුළෙ ඉතින් යනකොට සන්ජය කතා කලා ඌ ආව කියල. ඊට පස්සෙ ඌ එක්ක සෙට් උනා. බ්ලොග් කස්ටියගෙන් වෙන් උනා. වෙන් උනා කීවට එක එක වෙලාවට උන්ව සෙට් උනා. :) 
ඉතින් අරූ එක්ක වටේම ගියා. බ්ලොග් කස්ටිය නම් 2-3 වගේ වෙලාවක පිටත් වෙලා ගියා, උන් මම එනකම් කන්නත් බලන් හිටියලු, මම ඉතින් සන්ජය එක්ක රවුමේ නෙ. උන්ට කන්න කීව. 

ඔන්න ඔය අතරෙ තමා අවාසනාවට ඇත්ත කතාව පටන් ගන්නෙ. :D 
අන්න ඒ කතාව ටිකක් දිග නිසා මම ඒක වෙනමම පෝස්ට් එකක් විදිහට දානව. (link එක ක්ලික් කොළාද, තාම ඒ ලිපිය රෙඩි නෑ හලෝ. :) )

ඔය අතරෙ මට තව මිත්‍රයෙක් මුණගැහුනනෙ. මුහුණු පොතේ මිතුරු ධනන්ජ ෂශින්ද ඇල්විටිගල මල්ලි. මිනිහත් තව සෙට් එකක් එක්ක බැහැල හිටියෙ. (බලහන්කො, මූ ගෙදර ආවටත් පස්සෙ කියනව ඉන්ද්‍රනාථ මහත්තය එහෙම හිටිය කියල, එවෙලෙ කීවෙ නෑනෙ. :( මට ඉතින් නේද මුගෙ ඔලුව අතගාන්න හිතුන ටිකක් තදට. දැක්ක නම් කතා කරල එන්නත් තිබ්බ. :(

බලන්නකො මේ පහළ තියෙන්නෙ ප්‍රදර්ශනේ තුළ මම ගත්තු ෆොටෝ හා විඩියෝ ටිකක්.

මේ ඉන්නෙ මගෙ මිත්‍රය, සන්ජය 
















මම එකතු කරගත්තු ඒව මේව ටිකක් ඔන්න.

මේක දැන් ඇති වගේ. අර කතාව ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. බ්ලොග් කාරයො ටික එක්ක ගත්තු ෆොටෝ එක ලැබෙනකම් දවස් දෙකක් බලාහිටිය, ඒත් නොලැබුනු තැන අද පෝස්ට් එක දැම්ම. (මේක ගැන තමා උඩමදි කිව්වෙ.)

එහෙනම් මම නවතිමි.

Wednesday, November 2, 2011

බ්ලොග් එකක් පටන් ගැනීම ඒකෙ අවසානය නෙමෙයි, ආරම්භයයි


මෙන්න මේ අත්දැකීම ගොඩක් අයට ඇති.
ඔන්න යාළුවෙක් කියනව ඔයාට, "මම මෙන්න බ්ලොග් එකක් පටන් ගත්ත, පොඩ්ඩක් බලන්නකො හොඳද කියල." කියල. එයා කියනව එයා ඒකෙන් කරන්න හිතන් ඉන්න දේවල්. සල්ලි හොයන්න හිතන් ඉන්නව නම් ඒ ගැන.සති කිහිපයකට පස්සෙ ඔයාට ඒ යාළුවව මුණගැහෙනව. ඔයා අහනව "කොහොමද බ්ලොග් එකේ වැඩ?" කියල. මොකද්ද ලැබෙන උත්තරේ?"අනේ වෙලාවක් නෑනෙ ලියන්න" කියල.
බ්ලොග් එකක් ඇරඹීම කියන්නෙ හුඟක් අය හිතන විදිහට ඒකෙ අවසානය නෙමෙයි, ආරම්භයයි. ඒක, ලස්සන ඩිසයින් එකක්, හිතට වදින ඩොමේන් එකක්/නමක්, මුල්ම ලිපිය ලිවීම පමණක් නෙමෙයි. 
ඔබ හිතනව නම් බ්ලොග් එකක් පටන් අරගෙන, පළවෙනි ලිපිය ලියල, ඊට පස්සෙ ඔයාගෙ බ්ලොග් එකට කට්ටිය බලන්න ඒවි කියල, ඒක එහෙම නෙමෙයි සිද්ධ වෙන්නෙ. ඇත්තටම වැඩ පටන් ගැනෙන්නෙ බ්ලොග් එක පටන් ගත්තට පස්සෙයි.
ඇත්තටම වැඩ කියන්නෙ දිගටම බ්ලොග් එක වෙනුවෙන් වැඩ කිරීමයි. ටික ටික දිනපතා ක්‍රමානුකූලව, බ්ලොග් එකේ අන්තර්ගතය හා බ්ලොග් එකට එන පිරිස ටික ටික වැඩි කර ගැනීමයි. 
සාර්ථක බ්ලොග් එකක් හදන්න කාලයක් යනවා. හරියට කරනවා නම් ගොඩාක් වැඩ තිබෙනවා. දෛනිකව කරන්න ඕනෙ දේවල් ටිකක් තිබෙනවා. ඒක මැරතන් එකක් වගේ, කෙටිදුර දිවිල්ලක් නෙමෙයි. 
සති කිහිපයකින් වැඩේ අතාරින්නෙපා. ඔබට හිතෙනවා නම් ඔබට ඕනෙ කරන තරමට ඔබ ඉදිරියට ගිහිල්ල නෑ කියල, ඒත් නවත්තන්න හිතන්නෙපා. කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න බැරි උනා කිය කිය බ්ලොග් එක මුල සිට අරඹන්න උත්සාහ කරන්නෙපා. කවුරුත් ඒ ගැන හිතන්නෙ නේ, කරගෙන ගිය විදිහටම දිගටම කරගෙන යන්න. (හික්, මමත් මේ වැඩේ නම් කරනව නේද? :D )

බ්ලොග් ලිවීම ගැන මෙවන් තවත් ලිපි ඉදිරියට. එකතු වෙලා ඉන්න මාත් එක්ක.

මගෙ RSS Feed එකත් එක්ක එකතු වෙලා, ලිපි පළ උනු හැටියෙ ඒක මේල් එකටම ගෙන්නගන්න. පහත ෆෝම් එකට ඔබගේ ඊමේල් ලිපිනය එකතු කරන්න.

Thursday, October 27, 2011

බ්ලොග් එකට එන අයව ඇදල බැඳල තියාගන්නෙ කොහොමද?

මතකයිනෙ මම දුන්න ඔයාලට ඔයාලගෙ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න උපදෙස් 100ක් තියෙන පොතක්. (ගත්තු නැති අය මෙතනින් ගන්න. සරළ සිංහලෙන් තියෙන්නෙ.) ඉතින් මේවත් ඒ වගේම දේවල් තමයි. 
මිනිස්සු හරිම අකමැතියි, එයාලට ඕනෙ විස්තර, ගොඩක් හොය හොයා ඉන්න එයාල අකමැතියි.  ගූගල් එකේ සෙවුකම් කළාම, ඉතාම ලේසියෙන් ඕනෙ විස්තර තිබෙන අඩවි ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියවෙන්නෙ, පුද්ගලයෙක් එක් වෙබ් අඩවියක ගත කරන කාලය ඉතාම අඩුයි කියන එක නේද? ඉතින් මේක වළක්වාගෙන තමුන්ට එන visitorsල තමුන්ගෙ අඩවියට ඇදල බැඳල තියාගන්න, එන අය අඩවිය තුළ ගතකරන කාලය වැඩි කරගන්න ඔබ ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය ඉතා හොඳින් සකසා ගත යුතුයි. 

මම දැන් කියන්න යන්නෙ, ඒ දේ කරගන්න, සරළ නමුත් ඉතාම බලවත් පියවර කිහිපයක්. ඒ හරහා ඔබගේ අඩවියට එන කියවන්නන්ගේ බ්ලොග් එක ගැන තිබෙන අදහස හොඳ එකක් කරල, ඔබ තොරතුරු ලබාදෙන ආකාරය වඩාත් ඵලදායී කරල, ඒ හරහා ඔබගේ visitorsල ඔබගේ අඩවියට ඇදල තියාගන්නට ඔබට හැකි වේවි.

මුල්ම තත්පර 10 තමයි වැදගත්ම

ඔයාගෙ අඩවියට එන කෙනෙක් සමහරක් විට වැඩක් නැති අඩවි හම්බෙලා ඒව බලල එපා වෙලා එන කෙනෙක් වෙන්න පුළුවන්. මෙච්චර වෙලා හරියකට හදල නැති, තියෙන අන්තර්ගතය හරියට නැති අඩවි වලට ගිහිල්ල ඔහුට/ඇයට දැන් එපා වෙලා ඉන්නෙ. ඉතින් ඔබේ අඩවියත් එහෙම උනොත්, එයාල ආපු ක්ෂණයෙන් ආපහු යාවි. හුඟක්ම අය මුල් තත්පර 10-20 ඇතුළත ඔබේ අඩවියෙන් පිට වෙලා යාවි. 
නැතිනම් මුලින්ම ආවෙ ඔයාගෙ අඩවියට වෙන්නත් පුළුවන්. එහෙම උනත් අර වගේ අවුල් නම් අනිවා එන අය හැරිල යාවි. 
අන්න ඒකයි කියන්නෙ මුල්ම තත්පර 10 තමා වැදගත්ම කියල. ඉතින් ඒ කාලය පන්නගන්න පුළුවන් උනොත් ඔබට වාසනාව තිබෙනවා ඔහුව/ඇයව තවත් වෙලා රඳවා ගන්න.

විශ්වාසවන්තභාවය ඉතාම වැදගත්

කියවන්නා අඩවිය කෙරෙහි දක්වන විශ්වාසවන්තභාවය ඉතාම වැදගත් වෙනවා ඔවුන්ව අඩවිය හා තබාගන්නට. කියවන්නන්ට අවිශ්වාස බවක් ගොඩනැඟුනොත් ඔවුන් කවදාවත් ආපහු එන එකක් නෑ. බ්ලොග් අඩවිය පසුපස ඉන්නෙ කවුද, ලිපිය පසුපස ඉන්නෙ කවුද කියල ඔවුන්ට පෙන්වීම වැදගත්. 
බ්ලොග් එකේ පෙනුමෙන් මුලින්ම විශ්වාසවන්ත බව දිනාගන්න. හුඟක් බ්ලොග් වල පෙනුම ඉතාම ප්‍රාථමිකයි. බ්ලොග් එකට Professional look and feel එකක් දෙන්න. හොඳ තීම් එකක් දාගන්න. (හොඳ කීවෙ වෛවරණ එකක් නෙමෙයි, Professional පෙනුමක් තියෙන සරළ එකක්.) ඒව මේව ඇඩ් පිරිච්ච, scripts ගොඩක් තියෙන අඩවි වලට ගොඩක් අය කැමති නෑ. 
Professional Header Image එකක් යොදාගන්න අඩවියට. ඔබම හදාගත්තු, අඩවියේ අන්තර්ගතයට ගැළපෙන එකක් වෙන එක තමා ඉතාම හොඳ. ලිපි ඇතුළත තිබෙන රූප පැහැදිලි හොඳ quality එකේ ඒව වෙන්න ඕනෙ. පැහැදිලි බව ඉතාම වැදගත්. පහසුවෙන් අඩවිය පුරා යන්නට (navigation) පැහැදිලි පිරිසිදු ක්‍රමයක් තිබෙන්නට ඕනෙ, අදාල සැබැඳි හරිහැටි යොදන්න. 
ඒත් එක්කම ඉතාම වැදගත් දෙයක් තමයි, හරියට ලියන්න. හොඳ භාෂා විලාසයක් තිබීම ඉතාම වැදගත්. මේ කියන්නෙ ලිඛිත භාෂාවෙන් ලියන්න කියල නෙමෙයි, නමුත් පිරිසිදු, පැහැදිලි, තේරුම් ගැනීමට පහසු විදිහට ලියන්න කියන එක.

සරළ බව තමයි රහස

90%කටම වඩා අය ලිපියක් සම්පූර්ණයෙන් කියවන්නේ නෑ. තැනින් තැන කියවගෙන යමින් ඕනෙ කරන වචන, වාක්‍ය හොයාගන්නව. බොහොමයක් දෙනා පහළට scroll කරගෙන යන්න පවා කැමති නෑ. ලිපිය හුඟක් දිගයි වගේ පෙනුනොත් කියවීම සම්පූර්ණයෙන්ම නවත්වන අයත් ඉන්නව. හුඟක් අය ලිපියෙ අන්තිමට යන්නෙ නැති තරම්. (ඔයාල තාම මාත් එක්ක ඉන්නවද??? :) )
සමීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් වෙබ් අඩවියක් තුළ ගතකරන්නෙ එන අයගෙන් 20% පමණයි කියල හා, Page Break එකෙන් පහළට ගිහිල්ල මොනව හරි ක්ලික් කරන්නෙ තියෙන්නෙ 20%ක් දෙනා පමණයි. ඉතින් ඔබේ ලිපිය දිග වැඩි වෙන්න වැඩි වෙන්න, එන කෙනා ගතකරන කාලය අඩු වෙනවා. 
ඉතින් මොකද්ද මේ කියන්නෙ? මේ කියන්නෙ ඔබගේ ලිපිය පුළුවන් තරම් කෙටියෙන් ලියන්න කියන එක තමා. 
ඒක කරන්නෙ කොහොමද?? 
හරියටම ඕනෙ දේ ගැන කියන්න. වැල්වටාරම් කියන්න යන්නෙපා. අදාල දේ පමණක් ලියන්න. ලිපියේ තිබෙන අන්තර්ගතය, සරළ, සෘජු හා ඉලක්කගත විය යුතුයි. 
ලියන්න, වෙනස් කරන්න, අනවශ්‍ය කොටස් ඉවත් කරන්න, සරළ වෙන්න.

කියවන්න පහසු විදිහට ලිපිය සකසා ගන්න

අඩවියට එන අය තව වැඩි කාලයක් අඩවිය තුළ රඳවාගන්නට, ඔබ ලිපිය පැහැදිලි, කියවීමට පහසු, කියවීමට ආස හිතෙන විදිහට සකසා ගත යුතුයි.
  • අභ්‍යන්තර සබැඳි: ලිපියක් තුළ තිබෙන සබැඳි මත ක්ලික් කිරීමට ඕනෑම කියවන්නෙක් පෙළඹෙනවා. ඉතින් අඩවියේ වෙනත් ලිපි වලටම ලිපිය තුළ සැබැඳි යෙදීම හරහා ඔබට පුළුවන් එන අයව තවත් වෙලා අඩවිය තුළ රඳවා ගන්නට.
  • ඡේද: හරි හැටි ඡේද වෙන් කරල ලියන්න. දිග ඡේද කියවන්නට හුඟක් අය අකමැතියි. එහෙමයි කියල වාක්‍යයෙන් වාක්‍යයෙට ඡේද කඩන්නෙපා. ඒක අරකට වඩා එපා කරපු වැඩක්.
  • එක ඡේදෙකට එක අදහසක්: එක ඡේදෙකට එක අදහස ගානෙ දාන්න. මොකද මුල ටික බලනකොට කියවන්නාට ඕනෙ නැති දෙයක් නම් ඉතිරි ටික කියවන්නෙ නැතිව එයා යන්න යනවා. ඔබ පස්සෙ ලිව්ව දේ වඩා වැදගත් උනත් ඒක අපතේ යනවා.
  • අනු මාතෘකා: ඡේද කඩනකොට හොඳ අනු මාතෘකා දාල ලිපිය වෙන් කරගන්න.
  • බහුමාධ්‍ය භාවිතය: රූප, විඩියෝ ලිපිය තුළ භාවිතා කරන්න. ඒ හරහා කියවන්නන්ව ඇදල තියාගන්න පුළුවන්.
  • ඉස්මතු කිරීම් (Highlight): ඉතාම වැදගත් කොටස් highlight කරල පෙන්නන්න. Bold, Underline, Highlight, font color මේ සඳහා යොදාගන්නට පුළුවන්. ඒ හරහා ලිපියට ලස්සනක් එකතු කරන්නත් ඔබට පුළුවන්. 
  • ලැයිස්තු: ලිපියේ සමහරක් කොටස් ලැයිස්තු විදිහට දාන්න., ඒක කියවන්නාට ඉතාම පහසුවෙක් වෙනවා තේරුම් ගන්න. 
  • වැදගත් වෙනත් දේ: ලිපියට අදාල වෙන වැදගත් දේවල්/ලිපි තිබෙනවා නම් ඒවට අදාල සබැඳි ලිපිය අවසානයේ දාන්න. ඒ හරහා එහ්ටකොට ඔවුන්ට පුළුවන් තවත් වැඩිදුර විස්තර ලබාගන්න. Wordpress වලට තිබෙන Related Posts ප්ලගිනය, එහෙම මේකට කියාපු විසඳුමක්. 
ඉතින් මෙන්න මේ දේවල් ගැන හිතල පොඩ්ඩක් ඔයාලගෙ වෙබ් අඩවිය/බ්ලොග් අඩවිය හදාගන්න පුළුවන් නම් ඔබගේ අඩවියට එන අයව ඔබේ අඩවියත් එක්ක හැමදාම තියාගන්න ඔබට පුළුවන් වෙනවා. 
තවත් මේ වගේ දේවල් ඉස්සරහට බලපොරොත්තු වෙන්න. 

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

Monday, October 17, 2011

Theweni Esa Photo Fair 2011 ගියෙමි

ඔන්න ඉතින් මමත් හාපුරා කියල ජීවිතේ පලවෙනි වතාවට ගියාලු ඡායාරූපකරණය සම්බන්ධ Fair එකකට.  පොළක් කිව්වම ඉතින් ඔයාල දන්නවනෙ, බඩු විකුණන තැනක්නෙ, මේකත් එහෙම එකක් තමයි, විකුණන්නෙ ඡායාරූපකරණය සම්බන්ධ දේවල් තමයි. ගියේ සෙනසුරාද තමා ගියේ, ඒත් ලිපිය ලිවීම පරක්කු උනේ ගෙදර විදුලි අර්බුදයක් නිසා. 
මේක ගැන දැනගත්තෙ මම ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරන්න ස්ටුඩියෝ එකට ගිය වෙලේ. එතන තිබ්බ ෆ්‍රී පාස්. ඉතින් මම ඇහුවම මට 4ක්ම දුන්න. මම ඉතින් ගත්ත, විස්තරත් බලාගත්ත. මගෙ යාළුවෙක් ඉන්නව සන්ජය කියල, මේ වගේ වැඩ වලට මම ඌට තමා ඉතින් කතා කරන්නෙ. දළදා පෙරහැර බලන්න ගියෙත් ඌ එක්කනෙ. මිනිහත් ඉතින් එන්නම් කියල කිව්ව. ඔන්න සිකුරාද කියනව බෑඈඈ කියල. :( බුකියෙ මිතුරු මල්ලි කෙනෙක් එන්නම් කියල එයාටත් අසනීප වෙලා කිව්වනෙ. එදා උදේ ඔෆිස් එකේ එකෙක් එන්නම් කිව්ව, ඌත් ඊට පස්සෙ බෑ කිව්ව. ඉතින් මම තනියම ගියා. 
දවල්ට කාල එහෙම පිටත් වෙලා 2.15ට විතර ගියා සම්බුද්ධ ජයන්ති මන්දිරයට. "මාග" එකෙන් හැදුවට එදා තමා ඒකට මුලින්ම ගියේ. ඉතින් ටිකක් වටේ ඇවිදිනකොට මුණගැහුන තෙවෙනි ඇස එකේ ඉන්න අනූපම මහත්තයව. (මම එයත් එක්ක ) එයත් එක්කත් ටිකක් කතා කරල තෙවෙනි ඇස මැගසින් එකත් අරගෙන අර රැෆල් එකටත් දාල (ටිකට් එකේ කෑල්ලක නම ගම ලියල දාන්න තිබ්බෙ) ඉතිරි ටිකත් ගියා. ඔහොම වට දෙකක් ගියා. ඒ අතරෙ තමා මෙන්න මේ පහළ ෆොටෝ ටික ගත්තෙ.












අන්තිම එකට ඉස්සෙල්ල එක බැලුවොත් දන්න අඳුනන කෙනෙක් ඉන්නව. (හැමෝම නම් නෙමෙයි, සමහරෙක් දන්නව මුහුණු පොතේ අපේ ෆොටෝග්‍රැෆි ගෲප් එක්ක ඉන්නව නම් අනිවා දන්න කෙනෙක්.) පින්තූර පෙට්ටිය වෙබ් අඩවියේ ඇඩ්මින් දිනේෂ් පෙරේරා. (හෙවත් කෝට්ටේ දිනේෂ්) (ඔන්න මචෝ උඹේ පොඩි ඇඩ් එකක්. :D )
ෆොටෝ ටික බැලුවමම ඔයාලට තේරෙනව ඇති මේකෙ මොනවද තිබ්බෙ කියල. ඇත්තම කිව්වොත් ඡායාරූපශිල්පියෙකුට ඕනෙ වෙන හැම දෙයක්ම වගේ මෙතන මිලට ගන්න තිබුන. Canon, Nikon, Fuji, Olympus වගේ කැමරා හා උපාංග, ඡායාරූප මුද්‍රණ යන්ත්‍ර, මුද්‍රණ කඩදාසි, රාමු කිරීම සම්බන්ධ දේවල්, තව ගොඩාක් දේවල්. 
ඒත් ඉතින් මම නම් මොකුත් ගන්න නෙමෙයි ගියේ, බලන්න විතරයි. ගන්න නම් හිතුනු දේවල් එමටයි, ඒත් ඉතින් ඒව ගන්න නම් ලොතරැයියක්වත් ඇදෙන්න ඕනෙ.
මම ඉතින් අර වට දෙක ගිහිල්ල ඉවර වෙලා පිටත් වෙන්න ලෑස්ති වෙනකොට මෙන්න අපේ ඉස්කෝලෙ මගෙ ක්ලාස්මේට් ඇන්ඩ් අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටියෙ හිටි එකක් ආව. අනේ ඌයි උගෙ යාලුවයි එක්ක තව වට 5ක් ගියා. :D (ඒකම විතරක් නෙමෙයි පරක්කු වෙන්න සිද්ධිය, sms යවල කරන තව තරඟයක් තිබ්බ, ඒකට sms යවල ඒකෙ ප්‍රතිඵල දෙනකම් ගිටියෙ.) කොහොම හරි 3.30ට පිටත්වෙන්න හිතන් උන්නු මම 5.45 වෙනකම් එතන හිටිය. අරුන් දෙන්න ගියා 5.30ට විතර. අන්තිමට ඒ තරඟෙ තෑග්ග නම් ලැබුනෙ නෑ. :(
ඒත් ඉතින් ඕකෙන් එක හොඳක් උනා. ඔන්න ඔය උඩ ෆොටෝ එකේ හිටි එකාව මුණගැහුන එක. ඒකත් අහම්බයක්ද මන්ද. මොකද මම 1වෙනි වටේ යනකොට ගියා NAPSL (National Association of Photographers - Sri Lanka) එකේ ස්ටෝල් එකට. ගිහිල්ල ඒ සංගමයේ සාමාජික ඉල්ලුම්පත්‍රයක් ගත්ත. ඔතන හිටිය සුදට සුදේ ටිකක් මහත් එකෙක්. මට එවෙලෙ ඌව එච්චර නෝට් උනේ නෑ. 5 වෙනි වටේ යනකොට තමා පින්තූර පෙට්ටිය අඩවියෙ ඇඩ් එකක් අයිනක තියෙනව දැක්කෙ. ඔන්න 6 වෙනි වටේද කොහෙද ගිහිල්ල ඔය NAPSL එකේ ස්ටෝල් එක ඉස්සරහ ස්ටෝල් එකේ Desiccators ටිකක් බලන අතරෙ  පොඩ්ඩක් අනිත් පැත්ත හැරිල බලනකොට දැක්ක රතු, කලු, සුදු බිස්නස් කාඩ් එකක් කෙනෙක්ගෙන් තව කෙනෙක්ගෙ අතට යනවා. බැලුවම අර මම මුලින් කීව එකා. අන්න එතකොට මගෙ මතකෙට ආව ඩයල් එක. :D පින්තූර පෙට්ටියෙ දිනේශ්. ඔන්න ඊට පස්සෙ ගිහිල්ල කතා කළාම මේකටත් මාව ක්ලික් උනා. :D ඔන්න ඊට පස්සෙ පොඩ්ඩක් ස්ටෝල් එකට වෙලා ඉඳගෙනම කතාවක් දාගෙන හිටිය. ඒ අස්සෙ අරූ පොඩ්ඩකට ගිය අතරෙ මට සිද්ධ උනා ස්ටෝල් එක බලාගන්නත්. :) ඕව ඉතින් අපට නුපුරුදුය. (ටෙක්නො එකේ අවුරුදු 4ක් එක දිගටම ස්ටෝල් වල ඉඳල තියෙනවනෙ. exhibitorsල නම් නෙමෙයි, Organisersල විදිහට. :) ) 
කොහොම හරි ඉතින් යන්තම් 5.45ට පිටත් වෙලා තමා ගෙදර ආවෙ.

ආ තව එකක් අමතක උනානෙ. නොවැම්බර් 4-6 දවස් තුනේ BMICH එකේ තියෙනව තවත් මේ වගේම Fair + Exhibition එකක්. ඒක Organize කරන්නෙ NAPSL එකත් එක්ක ඉන්දියානු කට්ටියක්ද කොහෙද. ඒකටත් යන්න තමා හිතාගෙන ඉන්නෙ. මේකට ආව නම් ඒ ප්‍රදර්ශනේට යන්න Free Entry Tickets ගන්න තිබ්බ. (ඒකත් මේ වගේ ෆ්‍රී එකක්ද නම් දන්නෙ නෑ)

ඔන්න ඕකයි මගේ Photo Fair 2011 කතාව. දිනේශ් කිව්ව, බුකියෙ කට්ටිය ගොඩක් එදා උදේ ආව කියල. මම ඉතින් ගියෙ හවසනෙ, මට නම් කාවවත් හම්බුනේ නෑ. :(