Showing posts with label Junior new Inventor. Show all posts
Showing posts with label Junior new Inventor. Show all posts

Friday, October 9, 2009

වැඩ ඉවරයි, පුදුම සැහැල්ලුවක්.





අප්පේ, Techno එකේ වැඩ වලට පහුගිය සතියෙ මහන්සි වෙලා එපාම වෙලා හිටියෙ. දවස් 3ක් ලෙක්චර් ඔක්කොම කට්. පෙරෙයිද උදේ ඉඳන් රෑ 9.30 වෙනකම් IESL එකේ. නිදා ගත්තෙ ඊයෙ පාන්දර 4.30ට. ආපහු උදේ 6ට ඇහැරුනා. ඊයෙත් IESL එකේ, IESL එකෙන් පිටත් උනේ රෑ 12.30ට. හොස්ටල් එකට ඇවිත් නිදා ගන්නකොට පාන්දර 2යි. 
අද උදේ තියෙන ලෙක්චර් 2 කට් කරල නිදා ගන්න හිතාන හිටියෙ, කොහෙද උදේ 6.30ට ගානට ඇහැරුනානෙ. මම හිතුවෙ අඩු ගානෙ 8 වෙනකම්වත් හොඳට නින්ද යයි කියල, කොහෙද....
ඊට පස්සෙ එකෙක් කියපි "මචන් කරන්ට් නෑ, වතුර නැතිවෙයිද දන්නෙ නෑ, නැගිටල නා කියා ගනින්" කියල. ඉතින් මොනව කරන්නද, නැගිටල එහෙමම ලෑස්ති වෙලා කැම්පස් ගියා. උදේ ලෙක්චර් එකට හිටිය. කරුවලේම ලෙක්චර් එක කළා. මමත් නිදි කිර කිර නෝට්ස් ත් ලියා ගත්ත. දෙවෙනි එක කට් කරල ගෙදර එන්න හිතාන හිටියෙ මම උදේ නැගිට්ට වෙලේ ඉඳන්, ඉතින් මුල ලෙක්චර් එක ඉවර වෙලා මම ඩිපාට්මන්ට් එකෙන් එලියට ආව, ඔන්න කියනව ඒ ලෙක්චර් එක කැන්සල් කියල. ඔය වැඩේ මට උනු පළවෙනි පාර නෙමෙයි මේ, ලෙක්චර් කට් කරන්න ගියාම ලෙක්චර් කැන්සල් වෙච්චි.
ඉතින් ගෙදර ඇවිත් දවල්ට කාල නිදා ගත්ත, හොඳට නින්ද ගියා. ඊට පස්සෙ නැගිටල නා කියාගෙන කොම්පියුටරේ ඉස්සරහින් වාඩි උනා. සින්ඩිය පැත්තෙත් රවුමක් ගැහුව.
කොහොම හරි, පොතේ හැටියට මම අද BMICH එකේ IESL එකේ "JIY" Stall එකේ ඉන්න ඕනෙ. (Organising උනාම අපි නැතුව බෑනෙ, හික්ස්.) ඒ උනාට මහන්සියයි, නිදිමතයි නිසා මම ගෙදර ආව, හෙට උදේ පාන්දරම යන්න ඕනෙ BMICH පැත්තෙ. Free Passes තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ කියල හිතනව, ඒත් තාම හමුදා ප්‍රදර්ශනේ ඉවර නෑනෙ. ඒක තමා ලෙඩකට හිටියොත්.

පොඩ්ඩක් Tchno ගැනත් කියන්න එපැයි. මේක කරන්නෙ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින්. (IESL- The Institution of Engineers, Sri Lanka) සම්පූර්ණයෙන්ම තාක්ෂනික ප්‍රදර්ශනයක්. රජයේ ආයතන, විශ්ව විද්‍යාල, වෙළඳ ආයතන වලින් මේකෙ තමුන්ගෙ ප්‍රදර්ශක වෙළඳ කුටි තියනව. තමුන්ගේ හැකියාවන්, නව නිෂ්පාදන තමයි මකෙ පෙන්නන්නෙ. විශේෂම ප්‍රදර්ශක කුටි විදිහට NERD ආයතනයේ ප්‍රදර්ශක කුටිය, කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ ප්‍රදර්ශක කුටිය (JIY, මම හිටියොත් ඉන්නෙ මෙතන තමා. හෙට, අනිද්ද, මම ඉන්න ඉඩ තියෙනව, දැක්කොත් කතා කරන්න හොඳේ.), රොබෝ තරඟාවලිය, විශේෂයි. (දෙවන හා තෙවන දෙකම IESL එකෙන් තමා කරන්නෙ.)



Saturday, September 19, 2009

වසරේ කනිෂ්ඨ නව නිපැයුම්කරුවා තේරීමේ තරඟය


මේ වසරේත් කනිෂ්ඨ නව නිපැයුම් කරුවා තේරීමේ තරඟයේ තේරීම් කටයුතු, පසුගිය මාස 2 තුළදී සිදු උනා. මේ සඳහා ලංකාව පුරා විසිරී ඇති පාසල් වල සිටින සිසු දරු දැරියන් සහභාගි උනා. අද තමයි එහි අවසාන වටයේ තරඟ පැවැත්වුනේ. අවසන් වටය සඳහා තේරුනු සිසුන් 70 දෙනෙකුගේ නව නිපැයුම් අද විනිශ්චයට භාජනය උනා. ඒවායින් හොඳම 25 මෙහිදී තෝරා ගැනෙනවා. එම 25න් 1,2 හා 3 ස්ථාන තෝරා ගැනෙනවා. ඒවා තෝරා ගැනීමේ සාකච්ඡාව හෙට උදයේ පැවැත්වීමට නියමිතයි.
හරි, දැන් ඒ ඇති, සමහරු නම් දන්නව ඇති, නමුත් සමහරු බලනව ඇති මොකද්ද බොලේ මේ කියල. හරි හැමෝටම දැනගන්න කියන්නම්කෝ.

"වසරේ හොඳම කනිෂ්ඨ නව නිපැයුම් කරුවා" (Junior Inventor of the Year - JIY) කියන්නෙ ජාතික ඉංජිනේරු ආයතනය (Institution of Engineers Sri Lanka - IESL) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරඟයක්. මෙය පාසල් සිසු දරුවන් ඉලක්ක කරමින් පැවැත්වෙන්නක්. ළමුන්ගේ නිර්මාණාත්මක චින්තනය දියුණු කිරීමට උනන්දු කරවන වැඩසටහනක්. ඔයාල "Techno" ප්‍රදර්ශනය නරඹල තිබෙනවනම් දැකල ඇති "Junior Inventor of the Year" කියල ප්‍රදර්ශන කුටියක්. ඒ අර කිව්ව අවසන් 25 දෙනාගේ නිපැයුම් ප්‍රදර්ශනය කිරීමට සැකසූ ප්‍රදර්ශන කුටිය.
1 වසරේ සිට 13 වසර දක්වා ඕනෑම සිසුවෙකුට සිසුවියකට මෙම තරඟය සඳහා සහභාගිවිය හැකියි. අවශ්‍ය වන්නේ නව නිපැයුමකට සරිලන නව්‍ය වූ අදහස් තිබීම පමණයි. එය භෞතික තත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනව නම් තවත් හොඳයි.

දැන් කියන්නම් විශේෂම දේ. අර කිව්ව 25 දෙනාගෙන් තෝරා ගන්න 10 දෙනෙක් ජාතික විද්‍යා පදනමෙන් (National Science Foundation - NSF) යෝජනා කරන තවත් 10 දෙනෙකුත් සමඟ කරන තවත් තරඟයකින් පසු ඉන් තෝරාගන්න දෙදෙනෙකුට ඇමරිකාවේ පැවැත්වෙන අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ තරඟයට (International Science and Engineering Fair - ISEF) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට අවස්ථාව ලැබෙනව. එම තරඟයට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නෙ අපි හැමෝම දන්න Intel ආයතනය.

අර මුලින් කිව්ව 25 දෙනාගේ ඉතිරි අයට, වටිනා සහතිකපත් වගේම මුදල් ත්‍යාගත් හිමි වෙනවා. දැන් කට්ටිය බලයි, මම එතන මොන මඟුලක් කළාද කියල. මම ඒ සමඟ පසුගිය අයුරුදු 2ක් සහභාගි උනා. එහි සංවිධාන කටයුතු වලට හා විනිශ්චයන් සඳහා සහය වීම තමයි මම කරන්නේ. මා සමඟ අපේ විශ්ව විද්‍යාලයේ තවත් මගේ මිතුරෙක් (සන්ජය විපුල) මේ සඳහා සහය වෙනවා.

ඉතින් අද මොකද උනේ කියල ටිකක් කියන්නම්කෝ. අද උදෙන්ම මම එතනට ගියා. (IESL එකට, එතන තමා විනිශ්චය කටයුතු කෙරුනෙ.) අර කිව්ව අන්තිම 70 දෙනා එම ස්ථානයට පැමිණිලා හිටියා. (දෙතුන් දෙනෙක් නම් ඇවිල්ල හිටියෙ නෑ, සමහරු පරක්කු වෙලත් ආව.) 
උදෙන්ම ළමුන් සඳහා දේශන කිහිපයක්, පසුගිය වසරේ ලංකාව නියෝජනය කරමින් ඇමරිකාවේ පැවතුනු අන්තර්ජාතික තරඟයට සහභාගිව අදාළ ක්ෂේත්‍රයෙන් (Electrical and Mechanical Engineering) තෙවන ස්ථානය දිනාගත්තු සිසුවාගෙන් (චන්දුල පද්මසිරි- කොළඹ ආනන්ද විද්‍යාලය ) ඉදිරිපත් කිරීමක්, සහ සහතික පත්‍ර හා ශිෂ්‍යත්ව බෙදා දීමක් සිදු කෙරුනා.
විශේෂ ආරාධිත අමුත්තා උනේ IESL හි සභාපති වරයා. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති තුමනුත් මෙම අවස්ථාවට සහභාගි උනා. එතුමන්ගේ කතාව නම් ඉතාම හරවත් හා හැමදාම වගේ සිත්ගන්නා සුළු උනා.
ඉන්පසු තේරීම් කටයුතු සිදු උනා. හවස 6 පමණ වනතෙක් මෙම කටයුතු සිදු උනා. විටෙක සිසුන් හා විනිශ්චය මණ්ඩලයන් අතර සම්බන්ධීකරණ කටයුතු කරමිනුත් විටෙක විනිශ්චය මණ්ඩලය තුළ සිට විනිශ්චයන් සඳහා සහය වෙමිනුත් මම එම අවස්ථාවේදී ක්‍රියා කළා. මේ සඳහා මගෙ මිතුරු සන්ජය විපුල ත් සහභාගි උනා.

වැදගත් දෙයක් කියන්න ඕනෙ. මෙවර වෙනදාට වඩා ළමුන්ගේ නිර්මාණ වල අඩුපාඩු විශාල ප්‍රමාණයක් තිබුනා, ඒක බොහෝවිට මෙවර සහභාගි වූ ළමුන්ගේ නොතේරුම්කම නිසා සිදුවූවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ බොහොමයක් ළමුන් මේ "නව නිපැයුමක්" කියන වචනයේ තේරුම හරි හැටි දන්නෙ නෑ. හුඟක් අය හිතන්නෙ නව නිපැයුමක් කියන්නෙ මොකක් හරි හදන එක කියල, ඒක මේ ලෝකෙ තිබුනා හෝ නැතා. නමුත් නව නිපැයුමක් කියන්නෙ අළුත්ම නව්‍යමය අදහසකට. ඒ වගේ දෙයක් මීට පෙර , මේ ලෝකය තුළ නොතිබිය යුතු දෙයක්. ඒක හුඟාක් සරළ හෝ සංකීරණ අදහසක් වෙන්න පුළුවන්. එම අදහස නිර්මාණාත්මක ලෙස ලෝකයාට ප්‍රයෝජනවත් ලෙස කුමන හෝ ආකාරයකින් ඉදිරිපත් කරන්න හැකියාව ඇත්නම් එතනදී නව නිපැයුමක් එළි දැක්වෙනවා.
සරළම උදාහරණයක් ගමු. ඔබ පාවිච්චි කරන පැන්සල කෙළවරේ තියෙන මකනය. එහෙම දෙයක් මුලින් තිබුනෙ නෑ, නමුත් එහෙම අදහසක් ඇවිල්ල ඒක ක්‍රියාත්මක කළේ චීනයේ හිටපු පුංචි ගෑණු ළමයෙක්, නමුත් ඇය එම පුංචි අදහස නිසා මිලියන ගානක් ඉපයුවා. සංකීරණ එකක් ගමු, සාපේක්ෂතාවාදය. ඇල්බට් අයින්ස්ටයින් එම අදහස නිසා නොබෙල් ත්‍යාගයෙනුත් පිදුම් ලැබුව.
ඔබ නව නිපැයුමක් කරනකොට ඒකට පාට පාට බල්බ්, සංකීරණ පරිපථ, ලොකු ලොකු සමීකරණ ඇතුළත් විය යුතු නෑ, අවශ්‍ය වෙන්නේ නව්‍යමය අදහසක් පමණයි. මේක මේ ලිපියේ සඳහන් වුනු කනිෂ්ඨ නව නිපැයුම්කරුවන්ට විතරක් නෙමෙයි, සියළුම දෙනාට පොදුයි.

මේ ඉන්නෙ අර මම කිව්ව සිසුවා, චන්දුල පද්මසිරි.


මේ ඔහු ඇමරිකාවේදී ගත්තු ඡායාරූපයක්. එහි මැද සිටින්නේ JIY හි ප්‍රධාන සංවිධායක ජ්‍යේෂ්ඨ ඉංජිනේරු මීගොඩ මහතා. අනෙක් සිසුවා JIY 2008 හි දෙවන ස්ථානය ලබා ගත්තා.


මෙහි සිටින අනෙකුත් සිසුවියන් දෙදෙනා ජාතික විද්‍යා පදනමෙන් යෝජනා වුනු දෙදෙනෙක්.


මෙම තරඟය පැවැත්වුනේ 2009 මැයි මස, ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේදී.

ඔබත් කැමති නැද්ද මේ වගේ වෙන්න? (මෙම ප්‍රශ්නය පාසල්ල් සිසුන්ට පමණයි, නමුත් අනිත් අයටත් නව නිපැයුම් කරන්න තහනමක් නෑ හොඳේ.)

Thursday, July 30, 2009

මේ දවස් වල වැඩ

මෙ දවස් ටික නම් ටිකක් කාර්යබහුලයි. (එත් නිකං ඉන්න වෙලාවලුත් බහුලයි :), මොකද කිව්වොත් අපේ අර මම කිව්ව ප්‍රොජෙක්ට් එකේ ස්ක්‍රීන් ශොට්ස් ටිකක් යවන්න ඕනෙ අද හෙටම, ඊලඟට වැදගත්ම දේ තමයි මට විභාගයක් තියෙනව 7,8, ඒකට පාඩම් කරනව, විෂයන් 4යි, ඒත් වැඩ නම් හෙමින් තමයි. ඊලඟට June Term එකේ විභාග තියෙනව 11, 13, ඒකටත් පාඩම් කරන්න ඕනෙ, මොකද ඒ විෂයන් ලේසි උනාට විභාග නම් ලේසි නෑ.

ඔන්න ඒ අස්සෙ "වසරේ හොඳම කණිෂ්ට නව නිපැයුම්කරුවා" (Junior New Inventor of the Year) තේරීමේ තරඟයේ වැඩ කටයුතුත් වැටිල, අවසන් 450 දෙනාගෙන් ඊලඟ වටයට යන 100 දෙනා තේරීමේ තරඟ 9 වෙනිද පටන් ගන්නව, ඒකෙ විනිශ්චය වැඩත් කරන්න වෙලා. අවුරුදු 2ක් කරපු එකනෙ, අමාරු වෙන එකක් නෑ, විභාග අස්සෙ වෙච්චි එකයි තියෙන අවුල. ඒකට ඉතින් කොහොම හරි යන්න ඕනෙ. මොකද IESL එකේ වැඩක්නෙ, ඒ වගේ වැඩ වලින් අතුරු ප්‍රයෝජන බොහොමයි. මම IESL එකේ ශිෂ්‍ය සාමාජිකත්වය ගත්තෙත් ගිය අවුරුද්දෙ අන්තිම, ඒත් IESL එක එක්ක මම අවුරුදු 2ක් තිස්සෙ වැඩ කලා.

හ්ම්ම්ම්, දැනට ඇති, මේ ගෙදර ආව විතරයි, කැම්පස් එකේ ඉඳල.