හ්ම්ම්. ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ ආව. පස්සෙ ඉතින් කොහොම හරි ලියන්න පටන් ගත්තනෙ. අවුරුදු 4ක් බ්ලොග් ලිව්වනෙ. දැන් ලියවෙන්නෙම නෑ. :(
ඇයි ඇත්තටම??? වෙලාව මඳ කමකුත් නෙමෙයි, ඇත්තටම කම්මැලිකමටද මන්ද. උවමනාවක් නැතිවද මන්ද.
නවත්තන්නත් හිතෙනව, ඒත් නවත්තන්න හිතෙන්නෙත් නෑ.
ඇයි අපි බ්ලොග් ලියන්නෙ?
ආපහු අවුරුදු 4කට ඉස්සෙල්ල මගෙ හිතට ආපු ප්‍රශ්නෙම මම අද ආපහු උත්තරයක් හිතනව.
මෙන්න උත්තර.
1. අපි අලුත්ම දෙයක් තමයි දෙන්න හදන්නෙ.
අපි අපිට වැඩක් තිබෙන නැතිනම් අනිත් අයට වැඩක් තිබෙන, අපිට වැඩක් නැති, නැතිනම් වෙනත් අයටත් වැඩක් නැති දේවල් දවසක් ඇතුළත කොච්චර කරනවද?
පරිගණකය ඉස්සරහට වෙලා ඉඳගෙන අපේම වචනයෙන් අපි බ්ලොග් ලිපියක් ලියනකොට මොකද වෙන්නෙ? අපි අපේම අලුත්ම දෙයක් ලෝකෙට දෙනව. සමහර විට ඒකෙ කියවන්න කෙනෙක් නැති වෙයි, සමහරවිට අදහස් එකක්වත් එන එකක් නෑ. නමුත්, අපි අලූත්ම දෙයක් ලෝකෙට දීල නේද? (කොපි කරන්නන්ට වලංගු නොවේ.)
2. ලියන එකෙන් අපි සතුටක් ලබනවා
බ්ලොග් ලියන එකෙත් එක්තරා සතුටක් තියෙනව. අපේ බ්ලොග් ලිපිය බලන්න ගොඩක් අය ඉන්නෙ නැති වෙන්න පුලුවන්, කමෙන්ට් එන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් අපේම වචන වලින් අපේ හිතේ තියෙන අදහස් එකතු කරල ලිපියක් ලියනකොට ඒ ලිපිය පබ්ලිශ් කළාම ඇත්තටම හිතට සතුටක් දැනෙනව නේද?
සමහරු නම් සිය ගාණක් කට්ටියතමන් වටේ එකතු කරගෙන ලිපි ලියනව, එයාලගෙ ලිපි කියනවන්න කමෙන්ට් කරන්න සිය ගණන් කට්ටිය ඉන්නව. හැමෝටම එහෙම නෙමෙයි.
නමුත් ලිපි ලිවීමෙන් සතුටක් දැනෙනව නේද?
3. අපි අලුත් දේවල් ඉගෙන ගන්නව
අපි බ්ලොග් එකක් පටන් අරගෙන ඒක දියුණු කරගන්න, ඒකට එක එක දේවල් එකතු කරගන්න තවත් විවිධාකාරයෙන් බ්ලොග් එක දියුණු කරන ආකාර ඉගෙන ගන්නව. බ්ලොග් එකට එන අයත් එක්ක කතා කරනකොට (කමෙන්ට් වලින්) අපි අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟන්න ඉගෙන ගන්නව.
ඉගෙන ගන්නව කියන එක නවතින දෙයක් නෙමෙයිනෙ නේද?
4. අපි අලුත් මිතුරන් ඇති කරගන්නව
බ්ලොග් කියන්නෙත් එක්තරා සමාජ ජාලයක්. අපි බ්ලොග් කියවනව, අපේ බ්ලොග් වෙනත් අය කියවනව. ඉතින් එක ආකාරයේ කැමැත්තන් තියෙන අය එකට එකතු වෙනව. අපේ ලිපි කියවන්න ඇවිල්ල අපේ මිතුරන් වෙන අය කොච්චර ඉන්නවද. මගෙ
PhotographyLK බ්ලොග් එක හරහා මම මිතුරන් සිය ගාණක් ඇතිකරගෙන තිබෙනව.
Guide To CSE බ්ලොග් එකෙනුත් එහෙමයි. ඇයි මේ බ්ලොග් එකෙන්. කැම්පස් එකේදි සමහරු මාව දැක්කම මට ඒ දවස් වල කතා කළේ මගෙ නම කියල නෙමෙයි, මගෙ බ්ලොග් එකක නමක් කියල. :D
ඇයි බ්ලොග් ලියන අපේ ලඟ පාතම හිටි අයත් හම්බෙනවනෙ. පිට රටවල් වල අයත්. කොහොම හරි, බ්ලොග් හරහා අපිට පුලුවන් ගමේ ඉන්න බ්ලොග් ලියන කෙනත්, ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් ලියන්නන් එක්කත් මිතුරු වෙන්න.
5. අපි මිනිස්සුන්ට උදව් කරනවා
අපේ බ්ලොග් එකට එන්නෙ 10දෙනා වෙන්න පුළුවන්, 1000දෙනෙක් වෙන්නත් පුළුවන්. ගණන කීය උනත්, ඒ ලිපිය කියවන අය යම්ම හෝ ප්‍රයෝජනයක් ගන්නව නම් අපි කාටහරි එක්කෙනෙක්ට හරි යම් උදව්වක් නේද කරල තියෙන්නෙ?
අපි අධ්‍යාපනික දෙයක්, මොකක් හරි කරන හැටි ලිව්වොත්, ඒක ඉගෙනගන්න අයට කොච්චර පහසුවක්ද. අපි විහිළුවක් ලිව්වොත් කාගෙ හරි හිතේ සතුටක් ඇති කරන්න අපිට පුළුවන් නේද? අපි ලියන දෙයක් කියවල කෙනෙක් හිතන විදිහ වෙනස් කරගත්තු අයත් ඇති නේද?
අපි වෙනසක් කරන්න උත්සාහ කරනව නම් ඒ උත්සාහය කොතරම් පොඩිද ලොකුද කියල හිතන්න අපි අවශ්‍ය නෑ. වෙනසක් කරනව නම් එපමණයි අවශ්‍ය වන්නේ.
6. අපි මුදල් ඉපයීමක් කරන්න ආසන්නව ඉන්නෙ.
සමහරවිට දැනටමත් සමහරු බ්ලොග් එක හරහා මුදල් උපයනව. සමහරු කිසිම වාසියක් නැතිව වෙහෙසෙනව. (මමත් ඒ ජාතියෙනෙ).
නමුත් ඇත්තටම ඉතින් මොකද. සමහරු බ්ලොග් හදන්නෙ මුදල් උපයන්න, සමහරු සතුටක් ලබාගන්න, මේ උඩ කිව්ව මොකක් හරි හේතුවක් නිසා.
රුපියලක් උපයන්න පුළුවන් උනත් ඒකත් වැදගත් නේද? ටිකක් මහන්සි උනොත් ඊට වඩා දෙයක් උනත් කරගන්න බැරි වෙන්නෙ නෑ. ටිකක් නිර්මාණාත්මකව හිතන්නයි ඕනෙ. රැකියාවක් කරන්නෙ නැද්ද? එහෙනම් ඇයි උත්සාහ කරන්නෙ නැත්තෙ? ඔබේම මුදලක් උපයන්න?
7. අපි හරිම ලස්සන ගමනක් යන ගමන් ඉන්නෙ.
බ්ලොග් ලිවීම කියන්නෙ ඇත්තටම හරිම ලස්සන දෙයක්. අර කිව්ව වගේ අලුත් යාලුවො, අලුත් දේවල් අපිට හම්බ වෙනව, ඉගෙන ගන්නව, උගන්නනව. මේ හරහා අපි කොයි පැත්තකට යාවිද අපිටම කියන්න බෑ. අපි තෝරාගන්නා යම් ඉලක්කයකට උනත් යන්න උනත් අපිට පුළුවන්, නැතිනම් වටපිට බල බල හෙමීට හිත හැරුනු අතේ යන්නත් පුළුවන්, සමහර විට එහෙම ගිහිල්ල ගොඩක් ලස්සන තැනක නවතින්නත් ඉඩ තියෙනව.
ඉතින් හරිම ඉලක්කයක් නැතිනම් හිතන්න එපා, හිතේ හැටියට යන්න, ලස්සන තැනක ඔබ නවතීවි.
බැරි වෙලාවත් අපි බ්ලොග් ලියන එක නැවැත්තුවොත්????
අපි දන්නෙ නෑ අර ලස්සන තැන කොයි වගේ වෙයිද කියල.
ඉතින්.....
මම නම් බ්ලොග් ලියන එක නවත්තන්නෙ නෑ.