Friday, April 30, 2010

අද විශේෂයි



වෙන අයට නම් නෙමෙයි මට. 
මගෙ මේ සිංහල බ්ලොග් අඩවියේ Followersල ගාන 100ක් වෙලා.
මගෙ "Photography සිංහලෙන්" වෙබ් අඩවිය වෙනුවෙන් හදපු මුහුණු පොතේ පිටුවෙ රසිකයින් ගාණ 1000 පැනල.
අද අළුතෙන් හැදුව "Guide To CSE" බ්ලොග් අඩවිය වෙනුවෙනුත් මුහුණු පොතේ පිටුවක්. ඒක හරහා මගෙ බ්ලොග් අඩවියට වැඩි දෙනෙක් පැමිණිම පමණක් නොව කොටස් වෙළඳපළ ආයෝජනයට ආසාවක් ඇති අය ඒ වටා රොක් වෙලා ඒකෙන් උදව්වක් ගනී කියල සහ කොටස් වෙළඳපළ ආයෝජනය දිරි ගැන්වීමක් වෙයි කියල හිතනව. තවත් දෙයක්, ඉදිරියේදී කොටස් වෙළඳපළ සම්බන්ධ බ්ලොග් අඩවිය තුළ ලිපි පළ කිරීමට Market researcher කෙනෙකුත් එකතු වෙන්න ඉඩ තියෙනව.

Wednesday, April 28, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] වක දෙක හා වීදාගම මෛත්‍රී හිමි

.
(මගේ මැරතන් බ්ලොගයේ පළවූ ලිපියකි.)
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතාවක්. ඔයාලට මතක ඇති මම මගෙ සිංහල බ්ලොග් එකේ මේ වගේ කතා කිහිපයක්ම කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම, ජම්මෙද, පුරුද්දද?, සෘද්ධි තෛලය)

මේ සිදුවීම වෙන්නෙ තොටගමුවේ හාමුදුරුවන්ගෙ පොඩි කාලෙ. උන්නන්සෙ කුඩා කාලෙ හැඳින්වුනේ දෙමටානේ කුමාරයා කියල.
ඔන්න ඉතින් දෙමාටානේ කුමාරය දවසක් දිය කඩිත්තක් ලඟට ගිහිල්ල බිලී පිත්තකුත් දාගෙන මාළු බානව. එදා අටවක පෝය දවසක්. විදාගම මෛත්‍රී හාමුදුරුවො ඔතනින් යනව, දකිනව මේ මාළු බාන පොඩි එකාව.
අටවක පෝය දවසකත් මෙහෙම පාපයට කිසිම බයක් නැතුව ප්‍රාණ ඝාතයේ යෙදෙන මේ කොල්ලව දැකපු හාමුදුරුවො, පණ නැසීමේ ආදීනව කියල මේ කොල්ලව හොඳ මගට ගන්න කියල හිතාගෙන යනව ඔහු ලඟට. ගිහිල්ල මෙහෙම අහනව.
"ඈ දරුවො, අටවකේ උඹ මොකද ඔයි කරන්නෙ?"කුමාරය වතුර දිහා බලාගෙන හිටි හින්ද හාමුදුරුවො ලඟට එනකම්ම දැක්කෙ නෑ. කොල්ල මෙහෙම කිව්ව.
"අපේ හාමුදුරුවනේ මේකෙ ඇත්තෙ එක වකයි" කියල බිලී පිත්ත හාමුදුරුවන්ට පෙන්නපු කුමාරය කිසිම අමුත්තක් නොපෙන්නා ආපහු තමුන්ගෙ වැඩේට බැස්ස.
තමුන්ට කිසිම ගරුසරුවක් දක්වන්නෙ නැතුව තමුන්ගෙ වැඩේ කරගෙන යන මේ වැඩේට පොඩ්ඩක් හාමුදුරුවන්ට අප්සෙට්. හාමුදුරුවො අහනව ආපහු,
"ඈ බොල කොලුවො, තෝ කොයි වල යන්න හිතානද බිලී බාන්නෙ?"එතකොට කුමාරයා,
"අවසර හාමුදුරුවනේ. මේ වලේ කනයෙක් කාවය්යෙක් අහුවුනේ නැත්තම්, අර එහා පේන වලට යනව, ඒකෙත් මොකෙක්වත් නැත්තම් අර ඈතින් පේන අමුණට යනව, එහෙමත් නැත්තම් ඉතින් මක් කොරන්නද, බිලීප් පිත්ත වැටකේ පඳුර අස්සෙ හංගල ගෙදර යනව"කියල කිව්ව.
එහෙම කියල හාමුදුරුවො ගැන තැකීමක් නැතුව මාළු බාන වැඩේ කොරගෙන ගියා.

තවත් මේක එක්ක කතා කරල වැඩක් නැති බව තේරිච්ච හාමුදුරුවො, ආපහු පංසලට වැඩිය. එහෙත්, කුමාරය මෙහෙම කිසිම ගරු සරුවක් නැතුව කතා කළේ, මෝඩ කමට නැත්තම් වාචාල කමට නොව ඒ වෙලාවෙ ස්වාමීන්වහන්සේ කෙනෙක්ට මුහුණ දීල ඇති වෙච්ච අපහසුතාවය මග ඇරගන්න කියල තේරුම් ගත්තු හාමුදුරුවො ඔහුගේ තැනට සුදුසු නුවණ ගැන පැහැදුනා.

අටවක කියන්නෙ පෝය මිස වක 8ක් නොවන බවත්, වල කියන්නෙ දිය කඩිත්තක් නොව අපාය බවත් අනිත් ඕනෙම ළමයෙකුට වඩා කුමාරය දැනගෙන හිටිය.

මැරතන් බ්ලොගයේ තිබූ ලිපි මෙම බ්ලොගයට

.
සමහරු ඉතින් මැරතන් බලන්න ආවෙ නෑනෙ, ඉතින් මම හිතුව, මම මගෙ මැරතන් බ්ලොග් එකේ ලිව්ව ලිපි කිහිපයක් මෙම බ්ලොග් එකට අරගෙන එන්න, අර මැරතන් බලන්න ආපු නැති අයටත් කියවන්න.
මොකද ඔයාල ඒ ගැන හිතන්නෙ?

Sunday, April 25, 2010

බ්ලොග් මැරතන් අවසානය දකී - මම දිව් හැටි

.
ඔන්න ඉතින් 2010 සිංහල බ්ලොග් මැරතන් අද උදේ 8ට අවසාන උනා. මමත් දිව්ව. 
පාවිච්චි කළෙ මෙන්න මේ බ්ලොග් අඩවිය.
http://madhawa-in-blogothon.blogspot.com
ලිපි නම මහ ගොඩක් ලිව්වෙ නෑ. සමහරු එකසිය ගණං ලිව්ව, මම නම් ලිව්වෙ එච්චර ලිව්වෙ නෑ, හරියටම කිව්වොත් මැරතන් එකට ලිව්වෙ ලිපි 39යි. විනාඩි 20න් 20ට එක එක දැම්මෙ. අන්තිම පැයේ විනාඩි 15කට සැරයක් දැම්ම.
ඔක්කොම ලිපි 39ට කමෙන්ට් 74ක් තිබ්බ, මම දාපු කමෙන්ට් කිහිපයත් එක්ක.
වැඩිම කමෙන්ට් ප්‍රමාණයක් ලැබුනෙ ඩොලර් 5කට ඔයාල කරල දෙන්න කැමති මොනවද? කියන ලිපියට. ඒකම තමා ජනප්‍රියම ලිපිය වෙලා තිබ්බෙත්. දෙවනුව ජනප්‍රිය ලිපිය වෙලා තිබ්බෙ කම්මැලිකමට ෆ්ලෑෂ් ගේම් එකක් ගහමු කියන ලිපිය. 
ලිපි 5, 6ක් ඇරුනම අනිත් හැම ලිපියකටම කමෙන්ට් නම් ලැබුන. කමෙන්ට් කරපු හැමෝටම නොහොම ස්තුතියි.
කට්ටියට උදේ මහන්සි වෙලාද මන්ද උදේ 6.00 සිට 7.15 වෙනකම් දාපු ලිපි වලට කමෙන්ට් තිබුනෙ නෑ.
ඒ ලිපි තමා,
සරළ ඔන්ලයින් ToDo List එකක් හදා ගන්න
ඔයාගෙ ෆොන් එකටත් Privacy Tool එකක්
යක්ෂයින් පන්නා දැමීම (තොටගමුවේ හාමුදුරුවන්ගෙ කතාවක්)
ඔයාලගෙ වෙබ් අඩවියට Forum එකක් embed කරගන්න


කට්ටිය කොහොමද ආවෙ කියල මේවයින් බලාගන්න.




කට්ටිය කොහෙන් කොහෙන් ආවද කියල මෙතන තියෙනව. (මේ බ්ලොග් එකේ පරණ ලිපි කිහිපයකුත් තිබ්බනෙ, ඒවට ආපු ඒවත් මෙතන තියෙනව ටිකක්.)



ඒ ගැන ඇතිවගේ. මම එහෙනම් ගියා.
මම බලාපොරොත්තු වෙනව, ඒ බ්ලොග් අඩවියේ පළ කරපු සමහර ලිපි කිහිපයක් යළි මේ බ්ලොග් එකෙත් පළ කරන්න, මොකද මැරතන් බලන්න ආපු නැති අය ගොඩක් ඉන්නවනෙ.

Saturday, April 24, 2010

බුද්ධිමය දේපළ සහ ඔබ

.
මේ දවස් වල එක එක කට්ටිය අනිත් අයගෙ බුද්ධිමය දේපළ හොරකම් කරනව කියල කට්ටිය කෑ ගහන නිසා මේ ගැන ලියන්න හිතුව.


මුලින්ම, මොකද්ද මේ බුද්ධිමය දේපළක් කියන්නෙ?
ඒ කියන්නෙ මිනිහෙක් තමුන්ගෙ බුද්ධිය මෙහෙයවල කරන නිර්මාණයකට. තාක්ෂණික නිපැයුම්, වෙළඳ ලකුණු හා නාම, භාණ්ඩයකට නව පෙනුමක් ලබා දෙන නිර්මාණයක්, ශාස්ත්‍රීය හා කලාත්මක නිර්මාණයන්, ගීත, කලා කෘති හා එවෙනි දේ ඇතුලත් කර තනනු ලැබූ තැටි, පටිගත කිරීම්, ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන්, මේ වගේ ගොඩක් දේවල්. මීට අමතරව ආර්ථික වටිනාකමින් යුතු නාම, වෙළඳ රහස් හා එවැනි ප්‍රසිද්ධ නොකරන ලද තොරතුරු, අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි සිද්ධාන්ත ආදී තවත් අංග රැසක් මේක ඇතුළෙ තියෙනව.

බුද්ධිමය දේපළ අයිතීන්
තම නිර්මාණය ගැන නිර්මාණකරුට තියෙන හිමිකම තමා "බුද්ධිමය දේපළ අයිතිය" කියල සැළකෙන්නෙ. නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ ප්‍රධාන වශයෙන් ඒ නිර්මාණය භාවිතා කිරීමේ අයිතිය ඇතුළු අයිතීන් කිහිපයක් මේකට ඇතුළත්. මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මුතියේ 27 වන ව්‍යවස්ථාවෙන් බුද්ධිමය දේපළ අයිතීන් මානව හිමිකමක් විදිහටත් පිළිගන්නව.
හිමිකරුගේ අවසරයක් නැතුව නීතියෙන් පිළිගත් කාලසීමාවක් තුළ මෙම අයිතීන් වෙනත් අයෙකු විසින් භාවිතා කිරීම නීතියෙන් තහනම්. එහෙම කළොත් ඒවයෙ හිමිකාරයට පුළුවන් සිවිල් හා අපරාධ අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් බුද්ධිමය අයිතීන් උල්ලංඝණය කිරීමට එරෙහිව ක්‍රියා කරන්න.

බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමට හේතු
යම් රටක බුද්ධිමය දේපළ වල ආරක්ෂාව තහවුරු කිරීමට හේතු වෙන ප්‍රධාන කාරණා වලින් කිහිපයක් කියන්නම්.

  • නව නිර්මාණකරණය දිරිමත් කිරීම. උදාහරණයක් කිව්වොත්, තාක්ෂණික නව නිපැයුමක හිමිකම තහවුරු කිරීමෙන් ඒ නිර්මාපකයා තවත් නව නිර්මාණ කිරීමට පෙළඹෙනවා. කළාකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමෙන් ඔවුන් තව තවත් නිර්මාණ කරනවා.
  • නව නිර්මාණකරණය රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට ක්‍රියාශීලී දායකත්වයක් සපයනවා. නිදසුනක් කිව්වොත්, අලුත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින් නව නිෂ්පාදන වගේම රැකියා අවස්ථාද හිමි වෙනවා.
  • බුද්ධිමය දේපළ වෙනත් විවිධ ආකාර වලින් රටක ආර්ථිකා හා සාමාජීය සංවර්ධනයට දායක වෙනවා. තාක්ෂණික හුවමාරුවට, ආයෝජන ප්‍රවර්ධනයට, පර්යේෂණ සඳහා තාක්ෂණික තොරතුරු සැපයීමට, භාණ්ඩ හා  සේවා වාණිජකරණයට වගේ දේවල් වලට ඒව දායක වෙනවා.
  • බුද්ධිමය දේපළ වලින් පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. වෙළඳ ලකුණු වංචනික ලෙස යොදාගනිමින් පාරිභෝගිකයින් නොමඟ යැවීම වැලැක්වීමට වෙළඳ ලකුණු නීතිය මගින් උත්සාහ කරනවා.
  • හිමිකාරයගේ අයිතිය හා සමාජ අවශ්‍යතා අතර සමබරතාවයක් ඇති කිරීමේ අරමුණෙන්, බුද්ධිමය දේපළ සාධාරණ විදිහට භාවිතා කරන්න ඉඩ දීල තියෙනව. උදාහරණයක් විදිහට, ආරක්ෂිත බුද්ධිමය දේපළක් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු සඳහා හිමිකාරයගේ අවසරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.

ලංකාව තුළ බුද්ධිමය දේපළ ගැන ඊලඟ ලිපියෙන් කතා කරමු.
.

Thursday, April 22, 2010

Guide to CSE - නව පාර්ලිමේන්තුවත් සමඟ කොටස් වෙළඳපළ ඉහළට

.
ශක්තිමත් පාර්ලිමේන්තුවක් යටතේ ලංකාවේ ආර්ථිකයට හොඳ කාලයක් හා කොටස් වෙළඳපළටත් හොඳ කාලයක් එයි කියල හිතපු ආයෝජකයෝ අද කොටස් වෙළඳපළ වටා රැස් වෙලා.


සම්පූර්ණ ලිපියට >>>
.

කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දැන ගන්න, සාකච්ඡා කරන්න

.

ඔන්න ඔයාලට කොළඹ කොටස් වෙළඳපළ ගැන දැන ගන්න, ඉගෙන ගන්න, ප්‍රශ්න අහන්න, ප්‍රශ්න විසඳ ගන්න, සාකච්ඡා කරන්න හොද අවස්ථාවක් ඇවිල්ල. ඒ වෙනුවෙන් Forum එකක් විවෘත කරල තියෙනව ඔයාල වෙනුවෙන්ම. ගිහිල්ල බලන්න, ඔයලගෙ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න. 
ඒ ගැන දන්න කියන අය එක්ක සාකච්ඡා කරන්න, උපදෙස් ගන්න.
එන්න එකතු වෙන්න...
මෙන්න ලින්ක් එක.


Tuesday, April 20, 2010

මටත් සින්ඩියක්

.
මේ දවස් වල සින්ඩි තරඟයක්, සින්ඩි උණුසුමක් තියෙනව නෙව. ඉතින් මටත් ලොකු ආසාවක් ආව සින්ඩියක් හදන්න. මගෙ wordpress හොස්ට් එකක තියෙනව සින්ඩියක් මගෙ බ්ලොග් අඩවි කිහිපයක් සින්ඩිකේට් වෙන, feed-wordpress දාල. (ඒක හැදුවෙ, සිංහල බ්ලොගිං වලට ආපුම කාලෙ වගේ)
ඉතින් මම අළුත්ම සින්ඩියක් හැදුව මගෙ සිංහල බ්ලොග් අඩවි කිහිපය දාල. හැබැයි මේක හොස්ට් කළේ wordpress උඩ නම් නෙමෙයි, blogspot උඩ.


මම පාවිච්චි කළේ Google Ajax Feed API එක. සමහරු නම් දන්නව ඇති. මම ඒකත් මීට පෙර පාවිච්චි කරල තියෙනව. ඒත් අද තමා ඒක හරියට configure කරල එහෙම ගත්තෙ.
බ්ලන්නකො ගිහිල්ල මගෙ චූටි සින්ඩියට.  


Monday, April 19, 2010

අද කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක්

.

අද දවස කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක් වෙනවා. මොකද ප්‍රථම වතාවට කොටස් වෙළඳපළ සියළු කොටස් මිල දර්ශකය (ASI) ඒකක 4000 පසු කළා. පසු ගිය කාලය කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් වගේම ඉහළ වර්ධනයක් පෙන්වපු වෙළඳ පළක්. 
ඔයාල දන්නවනෙ, සියළු කොටස් මිල දර්ශකය කියන්නෙ සම්පූර්ණ වෙළඳපළ ගැනම මිනුමක් ලබාදෙන දර්ශකයක් කියල.
2009.04.20 වන දින ඒකක 1744.14 ක් වූ සියළු කොටස් මිල දර්ශකය, අද දින අවසානයේදී ඒකක 4015.36 ක් වුනා. ඒක 130% වර්ධනයක්.


On Line Trading සහය සපයන්නෝ

තියෙන සියළුම තැරැව්කාර ආයතන 21න් 18ක් අන්තර්ජාලය හරහා කොටස් වෙළඳපළ හා ගනු දෙනු කිරීමට සහය දක්වනවා.
මේක හුඟක් ලොකු වාසියක් වෙනව ගොඩක් පැති වලින්. 
මේව හරහා, වෙළඳපළ පිළිබඳ තොරතුරු, ඒ ඒ සමාගම් පිළිබඳ තොරතුරු, වෙනත් අධ්‍යාපනික වටිනාකමින් යුතු ආයෝජනයන්ට අදාල තොරතුරු විශාල ප්‍රමාණයක් ආයෝජකයන්ට ලබා ගැනීමට පුළුවන්. ඒක ආයෝජකයාට විශාල පහසුවක් වගේම විවිධ අපහසුතාද මග හරවනවා.
තමුන්ගේ තොරතුරු වලට තමුන්ගේ උපදේශකයා නොමැතිව ලඟාවීමට හැකි වීම හා උපදේශකයාගෙ සහයක් නොමැතිව තනිවම වෙළඳාම් කිරීම වඩා වේගවත් වගේම පහසු ක්‍රමයක් වෙනවා.


සම්පූර්ණ ලිපිය කියවන්න >>>

Sunday, April 18, 2010

දැන්වීමයි - කොටස් වෙළඳපළ ලිපි පෙළ

.
මම ඉස්සෙල්ල කිව්වනෙ, මම මීට පෙර ලියපු, කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි එක තැනකට කළා කියල. (මෙන්න මෙතනට) (http://guidetocse.blogspot.com)
ඉතින් ම්ම හිතුව, අළුතින් ලියන ලිපි හැම එකක්ම එතන ප්‍රසිද්ධ කරන්න. නමුත් මේ බ්ලොග් එකටත් ලිපියක් දානව, ඒකෙ ලිපියක් ලියූ වහාම. එතකොට ඔයාලටත් පහසුයිනෙ.
ඔයාලගෙ අදහස මොකද්ද ඒ ගැන? එ ක්‍රමේ වඩාත් පිළිවෙලයි නේද?
.

Thursday, April 15, 2010

කෝච්චි ප්‍රශ්නය


මේකත් SLEN වලින් උපුටා ගන්නා ලද ප්‍රශ්නයක්. මුලදි ඒකෙන් උපුටා ගත්තු "අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?" ප්‍රශ්නය හා "දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය " ප්‍රශ්නය කියවන්න ඇතිනෙ? සමහරු උත්තර දෙන්නත් ඇතිනෙ.
මේක ඇවිල්ල "Sri Lankan Engineering News" ජනවාරි කලාපයේ පල වුනු ප්‍රශ්නයක්. 

ප්‍රශ්නෙ මෙහෙමයි.
සෙල්ලම් දුම්රිය මාර්ගයක තියෙනව දුම්රිය දෙකක්. දෙකම තියෙන්නෙ එකම දුම්රිය රේල් පීලි මත. මේ දෙකට ශක්තිය සපයන්නෙ විදුලිය. මේවට විදුලිය දෙන්නෙ පිටතින් තියෙන විදුලි ජනකයකින්, රේල් පීලි හරහා.
දුම්රිය පද්ධතිය හා පිටත ලෝකය අතර ඇති එකම සම්බන්ධය, ඒවාට විදුලිය සපයන විදුලි ජනකය හා රේල් පීලි අතර ඇති රැහැන් දෙකකින් වන සම්බන්ධය පමණයි. ඒ කියන්නෙ වෙන කිසිම රැහැන් රහිත සබඳතාවක්වත් වෙනත් තොරතුරු හුවමාරු සබඳතාවක්වත් කිසිම දෙයක් නෑ.


කොහොමද මේ දුම්රිය දෙකෙහි වේගයන් එකිනෙකින් ස්වායත්තව පාලනය කරන්නෙ? 

Wednesday, April 14, 2010

හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?

.
අලුත් අවුරුද්දේ හා පුරා කියල ලියන පළවෙනි ලිපිය. හැමෝටම මුලින්ම ආපහු සැරයක් සුභම සුභ අලුත් අවුරුද්දකට සුභැ පැතුම්!!! 
අලුත් ඇඳුමකුත් ඇන්දෙව්ව බ්ලොග් එකට. දැනුයි දැක්කෙ පොඩි මැහුමක දෙකක අවුලක් තියෙනව, එච්චරම ගාණක් නෑ. ඇඳුම ගැනත් පොඩි කොමෙන්ට් එකක් දාල යන්නකො.
එහෙනම් අද ලිපිය පටන් ගමුකෝ..

හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?
මේකට උත්තර හොයන්න ගියොත් පේන්නෙ, මේක හෙළයන්ම පටන් ගත්තු එකක් බවයි. මේක රාවණා කාලයේ සිට හෝ ඊටත් පෙර සිට පැවතගෙන එන එකක් කියලයි පේන්නෙ.
හෙළි කියන්නෙ හිරුට කියන තවත් නමක්. මේ අනුව හිතුවම රාවණා කාලයේ ඉඳල හරි ඊටත් ඉස්සර ඉඳන් හෙළයන් හිරු මඟුල පවත්වල තියෙන බව අනුමාන කරන්න පුළුවන්. හිරු වන්දනාවට අතීත හෙළයන් කේතුකාකාර කඳු මුදුන් තෝරාගෙන තියෙනව. ඉසුරුමුණිය, සමනොළගිර, මෙන්ම වර්තමාන කෝනේෂ්වරම් හා මුණ්නේෂ්වරම් සහ දෙවුන්දර එදා තිබිච්ච හිරු දෙවොල් විදිහට හඳුනාගන්න පුළුවන්. මේ හැම එකකින්ම මූලික උනු දේවොල උනේ "හිරු දෙවිඳුන් වඩනා දොර" වන දෙවුන්දොරයි.
අප්‍රේල් මස අලුත් අවුරුදු සමයේදී දෙවුන්දරට හිරු මුදුන් වේ. එහෙයින්, අලුත් අවුරුද්ද උදා වන්නේ සිරිලකට හිරු මුදුන් වීමත් එක්කයි. එහෙම බලනකොට මුළු ලෝකයටම නව අවුරුද්දක් උදා වෙන්නේ දෙවුන්දරින්.
දෙවුන්දර ගල්ලෙනේ කන්ද කියන කඳු මුදුනෙ තියෙනව කළුගලින් කරපු පුරාණ ගොඩනැඟිල්ලක්. මේක මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් යළි ගොඩනංවනු ලැබුවා. ඒක පැරණි හිරු දෙවොලක් කියල තමා පැවසෙන්නෙ. අප්‍රේල් අවුරුදු සමයේදී මෙම ගොඩනැඟිල්ලට ලම්භකව හිරු මුදුන් වෙනව.

නාගරිකව, ග්‍රාමීයව කොච්චර අඩුපාඩු උනත්, නාගරීකරණයත් එක්ක ආපු කාර්යබහුලත්වය නිසා සියළු සිරිත් විරිත් ඒ විදිහටම කරන්න බැරි උනත්, මොන බාධා තිබ්බත් යම් ප්‍රමාණයකට හරි මෙම අවුරුදු සිරිත් විරිත් රැකිල තියෙනව. එකම දවසේ එකම වෙලාවේ සිදු කරන අවුරුදු සිරිත් කොච්චර අගය කළ යුතු දෙයක්ද. වෙන රටවල් වල මෙහෙම දේවල් නෑ නෙ.
ඒක නිසා අපටම උරුම මේ උත්සවය ඉදිරියටත් රැක ගන්න ඕනෙ.
පරම්පරාවෙන් පරම්පරාවට අවුරුදු පන්දහසක් තිස්සෙ පැවතගෙන එන මෙම හෙළ අලුත් අවුරුද්ද ජාතියේ, රටේ මහඟු සම්පතක්.
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

සුභ අළුත් අවුරුද්දකට ආසිරි!!!

ලොව වටා සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට, සාමය සතුට පිරි, සියළු අනාගත සිතුම් පැතුම් ඉටු වන, ආදරයෙන් හා ජීවයෙන් සපිරුන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!


ඔබගේ සියළුම පැතුම් ඉටු වේවා...

Monday, April 12, 2010

මගේ කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි පෙළ

.
ඔයාලට මතකයිනෙ මම කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි පෙළක් ලිව්ව. ඒක එහෙ මෙහෙ තියෙන නිසා ඒව කියවන්න ඕනෙ කෙනෙක්ට ලේසියෙන් ඒව ටික පිළිවෙලට කියවන්න කරදරයිනෙ. ඉතින් මම ඒකට පොඩි වැඩක් කළා. මම CSE ගැන උනන්දුව ඇති වෙච්ච කාලෙ හදපු බ්ලොග් එකක් තියෙනව, ඒකට අර හැම ලිපියකම ලින්ක් එකක් දැම්ම, එකකට එක පෝස්ට් එක ගානෙ. (ලිපියෙන් චූටි කොටසකුත් එක්ක)
දැන් ඉතින් කට්ටියටම ලේසියෙන්ම ඒ ගැන තොරතුරු ඕනෙ නම් ඒ බ්ලොග් එකට ගියාම ඔක්කොම ලිපි ටිකට ගියෑකි. ඉදිරියේදී ලියන ලිපිත් එහෙමම එකතු කරන්න තමා හිතාන ඉන්නෙ.


Saturday, April 10, 2010

අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙන ගමන්

සිංහල හින්දු අළුත් අවුරුද්දට තියෙන්නෙ තව දවස් 4යි නෙව. දැන් මේ ඒකට ලක ලෑස්ති වෙන ගමන්. මගෙ බ්ලොග් එකට අවුරුද්දට අළුත් ඇඳුමක් මහන ගමන්. ඒක මහල ඉවර උනාම (ඇත්තම කිව්වොත් දැනටම මහල ඉවරයි වගේ තමා, ලිපියක් ලියන පරක්කුව තියෙන්නෙ), ඒක අන්දල අළුත් ලිපියකුත් එක්කම එන්නම්කො.
මම කල්පන කළේ ඇඳුම අවුරුද්දට ඉස්සෙල්ල අන්දනවද, පස්සෙ අන්දනවද කියල. ඔයාලගෙ අදහස් කොහොමද?

දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය - උත්තරය

මතකයිනෙ මම ප්‍රශ්නයක් ඇහුව. දැක්ක නැති අය මෙතනට ගිහිල්ල බලන්න.
ප්‍රශ්නෙ ටිකක් තාක්ෂණික වැඩි වගේ නිසාද මන්ද, එච්චරම උත්තර ලැබුනෙ නම් නෑ, කමක් නෑ ඉතින්. දැන් ලෑස්ති වෙන්නෙ ඒකට උත්තරේ කියන්න.
ප්‍රශ්නෙ තිබ්බෙ දෙන්නගෙ ඇඟේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණ වල වෙනසක්.

සාමාන්‍යයෙන් 70kg කියල ගත්තොත් මිනිසෙක්ගෙ බර, ඒ පුද්ගලයාගේ ඇඟේ ඉලෙක්ට්‍රෝන මවුල 35523ක් තියෙනව. (මවුලයක් කියන්නෙ 6.022*10^23කට) මේ ඉලක්කම මම ගණං හදල ගත්තෙ, සිරුරේ තියෙන මූලද්‍රව්‍ය අනුපාත අනුව.
එතකොට එයින් 1% කියන්නෙ මවුල 355.23ක්. ඒ ප්‍රමාණෙ ස්කන්ධය වෙන්නෙ ග්‍රෑම් 19ක් වගේ පොඩි ගාණක්. දෙදෙනා අතර දුර මීටර් 1ක් කියල ගමු.

බර අනුව ඇතිවන ආකර්ෂණ බලය සැලකුවොත් ඒක නොගිණිය හැකි තරම් කුඩා බලයක්.
(ඉලෙක්ට්‍රෝනයක බර ග්‍රෑම් 9.1*10^-31, එතකොට GMm/r^2 කියන සමීකරණයට දැම්මම එන්නෙ මැස්සෙක්ගෙ පිහාටුවක්වත් උස්සන්න බැරි තරම් කුඩා බලයක්)

ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.602*10^-19C. ඒ අනුව ඉලෙක්ට්‍රෝන මවුල 355.23ක වෙනසක් නිසා ඇති වන ආරෝපණ වෙනස නිසා ඇතිවන ආකර්ෂණ බලය නිව්ටන් 1.056*10^29 ක්. (F=kEe/r^2 සමීකරණයට ආදේශ කළාමයි බලය ලැබෙන්නෙ, K=9*10^9, E= 3.39*10^9, e= 3.46*10^9)
පෘථිවියේ ස්කන්ධය 5.974/10^24 Kg වෙන්නෙ.
එතකොට මේ එන උත්තරේට අනුව බැලුවම, ඒ ඉලෙක්ට්‍රෝන වෙනස නිසා ඒ පුද්ගලයින් දෙදෙනා අතර ඇතිවන බලය, අපේ පෘථිවියේ බරට සමාන බරක් උනත් එසවීමට සමත්. ඒ කියන්නෙ නිවැරදි පිළිතුර අ1ක 7.


කොහොමද වැඩේ? !!!

Wednesday, April 7, 2010

මමත් මැරතන් දුවන්නයි ලෑස්තිය

ඔන්න මැරතන් එක තියෙන දවස ප්‍රකාශයට පත් කරල. මේ තියෙන්නෙ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ඒක කිව්ව ලිපියෙ තිබ්බ විස්තරේ.
2010 සිංහල බ්ලොග් මිනි මැරතන් ඉසවුව
2010 අප්‍රේල් 24 සෙනසුරාදා
අපර භාග 8 සිට
2010 අප්‍රේල් 25 ඉරිදා
පූර්ව භාග 8 දක්වා
පුරා පැය 12ක්
සයිබර් අවකාශය තුල පැවැත්වෙන බව මෙයින් දන්වා සිටිමු.
මාත් ඉතින් මේ බ්ලොග් එකෙන් මැරතන් දුවනව කියල කස්ටිය දන්නව ඇතිනෙ. මටත් හෙල්ප් එකක් දෙන්න හොඳේ.

මෙන්න මේකයි මගෙ මැරතන් දුවන බ්ලොග් එක.

කොටස් වෙළඳ පළ - A small Case Study


මේ ලිපිය ලියන්න ගිහිල්ල මට වෙච්චි දේ ඉස්සෙල්ල මම දාපු ලිපියෙන් දකින්න ඇතිනෙ? නැත්තම් මෙතනින්ගිහිල්ල බලන්න. එකම ලිපිය දෙවනි වරටත් ලියන නිසා පෙර ලිපිය තරම් දිග හා හොඳ නොවෙන්න ඉඩ තියෙනව මේක.

කොටස් වෙළඳපළ ගැන මම ලිපි පෙළක්ම ලිව්ව, ඒක මග නැවැත්තුවෙ ඒ දවස් වල ඒක ගැන මම කියන්න ඕනෙ දේවල් ඉවර කරපු නිසා (ඒක සම්පූර්ණයෙන්ම හැඳින්වීමක් වගේනෙ.) ඒ ලිපි කියෙව්වෙ නැති අය, අවසාන ලිපියට මෙතනිනුත්, මුල්ම ලිපියට මෙතනිනුත්යන්න.

හරි, අද ලිපිය පටන් ගමු එහෙනම්.
අද කියන්න යන්නෙ, ආයෝජනය ගැන තොරතුරු නෙමෙයි, වෙන කතා ටිකක්. පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ගැන විස්තර ටිකක් සහ තව අදහස් ටිකක්.

මුලින්ම බලමු අපේ මාකට් එකේ තත්වෙ.
CSE-market-details.JPG
උපුටා ගැනීම : Bloomberg - International Federation of Stock Exchanges

මේක බැලුවම මොකද හිතෙන්නෙ? අනිත් දකුණු ආසියානු කලාපීය රටවල තරම් ලොකු නොවුනත් කොළඹ කොටස් වෙළඳපළ කියන්නෙ ඩොලර් 10.58ක කොටස් හුවමාරු වන වෙළඳපළක්.

දැන් බලමු, පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය කොහොමද වෙලා තියෙන්නෙ කියල.
cse-market-2009.JPG
උපුටා ගැනීම: Bloomberg
මොනවද පේන්නෙ? 2009 වසර තුළ කොළඹ කොටස් වෙළඳපළ 125.2%ක ඉතා ඉහළ වගේම ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නල තියෙනව.

මෙතන තියෙනව විවිධ අංශ (Sectors) කිහිපයක් සම්බන්ධ විස්තර.
cse-return.JPG
උපුටා ගැනීම : කොළඹ කොටස් වෙළඳපළ
ඉහළම ක්‍රියාකාරිත්වයක් දක්වන ලද අංශ (Sectors) බැලුවම 17.5% ක මධ්‍යන්‍ය ක්‍රියාකාරිතවයක් තියෙන්නෙ, නමුත් සමහර අංශ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව. Food and Beverages කියන අංශය අධි ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව.

මේ තියෙන්නෙ 2010 වසරේ පලමු කාර්තුව තුළ කොළඹ කොටස් වෙළඳපළේ ක්‍රියාකාරිත්වය.
cse-market-2010.JPG
උපුටා ගැනීම: Bloomberg
බලන්න මේ කාර්තුව තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපළ 13.2%ක වර්ධනයක් පෙන්වල තියෙනව. බලන්න කලාපය තුළ අනෙකුත් කොටස් වෙළඳපළ වල තත්වය.

ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ ආර්ථික උද්ධමනය වෙනස් වෙලා තියෙන හැටි මේකෙන් පෙන්වනව.
cse-inflasion.JPG
උපුටා ගැනීම: ශ්‍රී ලංකා මහ බැංකුව
බලන්න, 2009 වසර තුළ උද්ධමනය ඉතා පහළ අගයක තියෙන්නෙ. 2010 වසර ආරම්භයේ පොඩ්ඩක් ආපහු වැඩි වෙල තියෙනව, නමුත් මධ්‍ය අගය සැළකුවාම ඒක අඩු වෙලා.

මේකෙ වැදගත් තොරතුරු ටිකක් තියෙනව, මේ තියෙන්නෙ කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය සම්බන්ධයෙන් තිබෙන අවදානම් තත්වය පිළිබඳ වක්‍රයක්. (Risk Level)
cse-risk.JPG
උපුටා ගැනීම: JBS Reasearch
මොකද වෙලා තියෙන්නෙ? 2009 වසර තුළ ආයෝජන අවදානම ඉතාම විශාල ලෙස අඩු වෙලා 2008 වසරට සාපේක්ෂව.

නිගමන:

  • කොළඹ කොටස් වෙළඳපළ, දකුණු ආසියානු කලාපය තුළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත වෙළඳපළකි.
  • කොළඹ කොටස් වෙළඳපළ, පසුගිය කාලය තුළ ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇත.
  • වෙළඳපළ තුළ ඇති සමහර අංශ ඉහළ ක්‍රියාකාරිත්වයක් දැක්වීමට සමත් වී ඇත.
  • මේ වසර තුළද ඉහත කී වර්ධනය අපේක්ෂා කරනු ලැබේ.
  • ආර්ථික උද්ධමනය පහළ යාමත් සමඟ, ආයෝජන ප්‍රතිලාභද ඉහළ ගොස් ඇත.
  • කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජන අවදානම පහළ බැස ඇත.


අවසන් නිගමනය:
බලා ඉන්නෙ නැතුව ඉක්මනට වැඩ පටන් ගනිල්ලා...

මේ තියෙන තත්වෙ හැටියට මේ අවුරුද්දෙත් මාකට් එක තව ඉහළ යයි කියල හිතෙනව.
මේ කාලය ගැන කියනව නම්, අළුත් අවුරුද්ද නිසා ටිකක් මාකට් එක ස්ථාවර තත්වයක තියෙන්නෙ. (ගොඩාක් ඉහළ යන්නෙත් නෑ, ගොඩාක් පහළ වැටෙන්නෙත් නෑ) අවුරුද්දට කට්ටියට සල්ලි එහෙම ඕනෙ වෙන නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ආයෝජකයින් තමුන් ආයෝජනය කළ මුදල් අතට ගන්නව. (කොටස් මුදල් බවට හරවනවා) ඉතින් වෙළඳපළ තුළ තියෙන මුදල් ප්‍රමාණය ටිකක් අඩු වෙනව. ඉතින් මේ කාලෙ කොටස් ටිකක් අරන් තියා ගන්න පුළුවන් නම් හොඳයි කියලයි මම හිතන්නෙ.
මැතිවරණය, මාකට් එකට ලොකු බලපෑමක් කරන්නෙ නෑ, මොකද බොහෝ දෙනෙක් දන්නව මේ හරහා ස්ථාවර ආණ්ඩුවක් ඇති වෙයි කියල. ඉතින් ඒක එච්චර මාකට් එකට බලපෑමක් කරන්නෙ නෑ.
මැයි වෙනකොට අර මුලින් කිව්ව ආයෝජකයින් අවුරුදු එහෙම කාල ආපහු පරණ වැඩේට බහින්න එනව, එතකොට ඔයාලට තියෙන්නෙ මේ කාලෙ අරන් තියපු කොටස් ටික ටිකක් වැඩි ගාණකට විකුණ ගන්න. මාසෙකින් ප්‍රථිලාභයක් ගන්න පුළුවන්.

ප.ලි.
මෙහි එන තොරතුරු ඒ ඒ තැන් වලින් උපුටා ගන්නා ලද අතර, මෙහි එන නිගමන මගේ නිගමනයි.

එහෙනම් සුභ පතනව.

අනේ බලන්නකො වෙච්චි දෙයක්


ඊයෙ රෑ ලිව්ව දිග ලිපියක් කොටස් වෙළඳපළ ගැන. රූප එහෙම දාල පොඩි financial research එකක් වගේ එකක්. පැය එකහමාරක් දෙකක් ගත කළා. ඔන්න ලියල ඉවර වෙලා පබ්ලිශ් කරන්න බට්න් එක ක්ලික් කළ ගමන් ආව page cannot be displayed. කනෙක්ශන් එකෙත් අවුලක් නෑ, අනිට් සයිට් හොඳට ලෝඩ් වෙනව. බ්ලොගර්ට ඒ පේජ් එක විතරයි ලෝඩ් උනේ නැත්තෙ. ආපස්සට ගියාම ආටිකල් එක හිස්, auto save වෙච්ච එක බැලුවම ඒකත් හිස්.
මේක මීට ඉස්සෙල්ලත් එක පාරක් මට වෙලා තියෙනව, නමුත් එදා පොඩි ලිපියක් ලිව්ව නිසා, මම ආපහු ඒ ලිපිය ලිව්ව, ඊයෙ එක නම් දිගයි ටිකක්. :( 
අනේ මට වෙච්චි දෙයක්. :'(
මට බ්ලොගිං එක්ක එපා වෙලා ගියා ඒ වෙලාවෙ. :(


Sunday, April 4, 2010

දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය



මේ කතා කරන්නෙ ආදරය වගේ දෙයක් ගැන එහෙම නොමෙයි හොඳේ. වස්තූන් දෙකක් අතර එම වස්තූන් වල ස්කන්ධය නිසා ඇති වන ආකර්ෂණය ගැන. උසස්පෙළට විද්‍යා හරි ගණිත විෂයන් හරි කරපු අයට නම් මේක අළුත් දෙයක් නෙමෙයි. දන්නවනෙ වස්තූන් දෙකක් අතර ඇති වන ආකර්ෂණය එම වස්තූන් දෙකෙහි ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියල.
සහ, ආරෝපණ දෙකක් අතර ආකර්ශණ බලය, එම ආරෝපණ දෙකෙහි විශාලත්වයන්ට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි.
මේකත් ඒ සම්බන්ධ ප්‍රශ්නයක්, හැබැයි සමීකරණ භාවිතාව අවශ්‍යද නැද්ද කියල අහන්න එපා, මම හරියටම දන්නෙ නෑ. මම විසඳන්න ට්‍රයි කළේ නිකං හිතල. 
මේකත් මම උපුටා ගත්තෙ IESL එකෙන් කරන Engineering News මාසික පුවත්පතින්. මතකයිනෙ අර lateral thinking ප්‍රශ්නෙ? ඒක උපුටා ගත්තු කලාපයෙන්ම තමයි. (මම දන්නෙ නෑ ඇයි කියල, මට ඒක එන්නෙ ටිකක් පරක්කු වෙලා, පෙබරවාරි එක එන්න ඕනෙ හරි නම් මාර්තු මුල සතියෙනෙ, නමුත් මට එන්නෙ මාර්තු අන්තිම සතියෙ.)


හරි හරි ප්‍රශ්නෙට බහිමු.
ප්‍රශ්නෙ හරිම කෙටියි, සරළයි,
ඔයාගෙ ඇඟේ තියෙන්න ඕනෙ ගාණට වඩා 1%ක් අඩුවෙන් ඉලෙක්ට්‍රෝන තියෙනව. ඔයාට අතේ දුරින් ඉන්න තවත් කෙනෙකුගේ ඇඟේ, තියෙන්න ඕනෙ ගාණට වඩා 1%ක් වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියෙනව. ඔයාල දෙන්න අතර ඇතිවන ආකර්ෂණ බලය කොච්චර වෙයිද?
ගණං හදන්න ඕනෙ වෙන එකෙක් නෑ මම හිතන්නෙ, මොකද උත්තර කිහිපයකුත් දීල තියෙනව, ඒවායින් තෝරන්න ඕනෙ.
  1. මැස්සෙක්ව උස්සන්නවත් ප්‍රමාණවත් නෑ.
  2. මැස්සෙක්ව උස්සන්න පුළුවන්, නමුත් මිනිහෙක්ව නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  3. මිනිහෙක්ව උස්සන්න පුළුවන්, නමුත් අලියෙක්ව නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  4. අලියෙක්ව උස්සන්න පුළුවන්, නමුත් පිදුරුතලාගල කන්ද නම් උස්සන්න ප්‍රමාණවත් නෑ. 
  5. පිදුරුතලාගල උස්සන්න පුළුවන්, නමුත් හඳ තරම් බරක් නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  6. හඳ තරම් බරක් උස්සන්න පුළුවන්, නමුත් පෘථිවිය තරම් බරක් නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  7. පෘථිවිය තරම්, බරක් උනත් උස්සන්න පුළුවන්.
උත්තරයක් හිතල බලන්නකෝ. ගණං හදල හෝ නොහද ගොඩ දාන්න පුළුවන් ඇති.
මමත් විසඳන්න ට්‍රයි කරමින් ඉන්නෙ, මේක ලියන අතරෙත් හිතල බලනව. මම තවම උත්තරේ දන්නේ නෑ. (ඇත්තම කිව්වොත් මට උත්තරයක් හිතුන, හරියටම හරිද දන්නෙ නෑ. ;) ) පත්තරෙන්ම උත්තරේ ගන්න නම් මාස 4 ක් බලා ඉන්න වෙනව, මොකද එයාල මාස 4කට පස්සෙ තමා උත්තරේ කියන්නෙ. :(


ඔයාලත් ට්‍රයි කරල බලල උත්තරයක් ලැබුණොත් මටයි අනිත් කියවන අයටයි කියන්නකෝ.

Saturday, April 3, 2010

මමත් බ්ලොග් මැරතන් දුවන්නයි ලෑස්ති වෙන්නෙ



මේ ලිපිය තව කල් ගිහිල්ල ලියන්න හිතුවත් අද ලියන්න හිතුව. අවුරුදු මාසෙ පටන් අරන් දැන් තුන්වෙනි දවස. රූපවාහිනියෙ රබන් සද්දයක් ඇහිච්චි නිසා තමයි මේක අද ලියන්න හිතුවෙ. 
සිංහල බ්ලොග්කරුවන් බ්ලොග් මැරතන් එකක් දුවනව කියල කියනවනෙ. මම නම් මීට පෙර මැරතන් එකට සහභාගි වෙලා නෑ, මොකද ඒ කාලෙදි මම සිංහල බ්ලොග්කරණයට ඇවිල්ල හිටියෙ නැති නිසා. (නමුත් ඉංග්‍රීසියෙන් බ්ලොග් ලිව්ව) ඉතින් මේ පාර තියෙන මැරතන් එකට මමත් දුවන්න හිතුව. ඒකට කියල වෙනම බ්ලොග් එකකුත් හැදුව. (මුලින් හිතුවෙ මේ බ්ලොග් එකම පාවිච්චි කරන්න, නමුත් මීට වඩා පහසුවෙන් වේගවත්ව බලන්න පුළුවන් වෙන්න, වෙනම බ්ලොග් එකක් හැදුව, අනවශ්‍ය එක එක scripts නැති පිරිසිදු කෝඩ් එකක් සහිත ටෙම්ප්ලේට් එකකුත් හදල. :) ) මෙතනට ගිහිල්ල ඒක බලන්නකො. බලල කොහොමද කියලත් කියන්නකො.




Friday, April 2, 2010

අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?



මේක ඇවිල්ල lateral thinking ප්‍රශ්නයක්. මතක ඇතිනෙ කාලෙකට ඉස්සෙල්ල අපේ උදිත සහෝදරයා මෙහෙම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. 
මම මේ ප්‍රශ්නෙ උපුටා ගත්තේ "Sri Lanka Engineering News" Feb 2010 කලාපයෙන්. (Institution of Engineers - Sri Lanka (IESL) මගින් මාසිකව නිකුත් කරන පුවත්පතකි.) ඕකෙ තියෙනව පොඩි පොඩි වගේම ලොකු ලොකු ප්‍රෙහෙලිකා. මේකත් එහෙම එකක්.
හුඟක් අය මේක දන්නව, නමුත් මේකට දෙන්න පුළුවන් පිළිතුරු කිහිපයක් තියෙනව, ටිකක් වෙනස් විදිහට, ඒ කිව්වෙ Out of the Box හිතුවම ගොඩක් පිළිතුරු දෙන්න පුළුවන් එකම ප්‍රශ්නෙට. 


ප්‍රශ්නෙ මේකයි. (ප්‍රශ්නෙට මම චූටි වෙනස්කමක් කළා. :) ) 
දඩයක්කාරයෙක් දඩයමේ යනකොට දකිනව ගහක අත්තක කුරුල්ලො දෙන්නෙක් ලැගල ඉන්නව. දඩයක්කාරයා මේ එක කුරුල්ලෙක්ව බිමදාගන්නව. (තේරෙනවනෙ, ඒ කිව්වෙ මරනව.)
දැන් අත්ත උඩ තව කුරුල්ලෝ කීයක් ඉතුරුද? 
ඉතුරු ගාන විතරක් නෙමෙයි, ඒකට හේතුත් මම බලාපොරොත්තු වෙනව. නිර්මාණාත්මක පිළිතුරක් හිතල බලන්නකෝ.

Thursday, April 1, 2010

Unlimited Online Storage



LiveDrive කියන්නෙ ඔන්ලයින් ෆයිල් හොස්ටිං වෙබ් අඩවියක්. backup, sharing, mobile access හා web portal එකකුත් තියනව ඔබගේ ගොනු කලමණාකරණය කරගන්න. මේවාට අමතරව ඔබගේ පරිගණකයේ වෙනමම හාඩ් ඩ්‍රයිව් එකක් විදිහට මේක පෙන්නනව. ගොනු උඩුගත කරන්න හරිම ලේසී, කරන්න තියෙන්නෙ ෆයිල් එක ඇදගෙන ඇවිල්ල ඒක උඩට අතාරින එක විතරයි. 
වෙබ් අඩවියට යන්නෙ නැතුව ඔයාගෙ ෆයිල් ටික කලමණාකරනය කරගන්න පුළුවන්. හරියට පෙන් ඩ්‍රයිව් එකක් වගේ තමා වැඩ කරන්නෙ.