Saturday, October 31, 2009

ගිය සතිය

කතා කරල වෑඩක් නෑ. හරිම කරදර සතියක්. කරදර කිව්වට කරදර නෑ, වැඩ ටිකක් වැඩී. අපේ ගුණපාල සර් වෙනුවෙන් බණක් තිබ්බනෙ බදාද, ඒකෙ වෑඩ තිබ්බ, එදා හවස වැස්සට තෙමිල බ්‍රහස්පතින්ද උණ ගැනුන. පෙනඩෝල් වලින් ගොඩ දාගත්තෙ. අපේ අක්කගෙ රිසර්ච් රිපෝට්ස් ටිකක් හදන්න මම පොඩ්ඩක් හෙල්ප් කළා, ඒවයෙ ප්‍රින්ට් අවුට් ගත්තෙ මම. A4 බන්ඩලයකුයි කාට්‍රිජ් එකහමාරකුයි ඉවර කළා. සිකුරාද එයා අපේ කෑම්පස් එකට ඈවිල්ල ඒව අරගෙන ගියා. අපේ කෑම්පස් එක ඉස්සරහින්මයි බයින්ඩ් කර ගත්තෙත්.
මට පිං දි දී ගියා.
අදත් ආපහු ටිකක් උණ ගතියක් තියෙනව වගේ, හෙට උදෙන්ම බේතක් ගන්න ඕනෙ, අද හවස බේත් ගන්න යන්න හිතාන හිටියෙ, ඒත් එලියට බහින්න බැරිවෙන්න වැස්සනෙ. හික්ස්.

Tuesday, October 27, 2009

Google Friend Connect එක දැන් Wordpress වලටත්



Google Friend Connect ගෑන දන්නවනෙ? ඔන්න දෑන් එම ප්ලගිනය Wordpress සඳහාත් සකසල. මෙමගින් කියවන්නන්ට මෙම wordpress බ්ලොග් සඳහාත් Google, OpenID, yahoo, AIM, හරහා ලොග් වෙන්න පුළුවන්. මෙමගින් ලොග් වන විට, එම ප්ලගිනය මගින් ඊට අදාල ලෙස wordpress ගිණුමක් අරඹනවාලු.


Google Friend Connect
කවුරු හරි ලිපියකට අදහස් දෑක්වු විට ඒවා Friend Connect activity stream එකේ පෙන්නනවා.
වෑඩි විස්තර සඳහා ගූගල් කෝඩ් වෙබ් අඩවියට යන්න.
උදාහරණ හා ආදර්ශන මෙතනින් හා මෙතනින් බලන්න.


Sunday, October 25, 2009

කොටස් වෙළඳපළ ආයෝජනයේ අනෙකුත් වාසි


සමාවෙන්න ඕනෙ ටිකක් පරක්කු උනාට. මේකෙ මුල් ලිපිය පළ කරල මාසෙකටත් වැඩියිනෙ. කමක් නෑ, එහෙනම් පටන් ගනිමු.

අර මුලින් කිව්ව ප්‍රධාන වාසි වලට අමතරව මොනවද තියෙන අමතර වාසි?

ඔබට අවස්ථාව ලැබෙනව එම සමාගම් වල වාර්ෂික රැස්වීම් වලට සහභාගි වීමට හා එම රැස්වීම වලදි ඡන්දය ප්‍රකාශ කිරීමට (ඔබ ඡන්ද බලය සහිත කොටස් නම් අරන් තියෙන්නෙ.) 
එම කොටස් හිලව්වට තබා බැංකු ණය ලබා ගැනීමට. 
තවත් කිහිපයක් තිබෙනව.
Right Issues, Bonus Issues සහ Share Splits

මොනවද මේ Right issues?
සමහර සමාගම්, කාලෙකට තමුන්ගෙ කොටස් අඩු මිලට මිලදී ගන්න කොටස් හිමි කරුවන්ට ඉඩ දෙනව. එම කොටස් වල වටිනාකම පෙර තීරණය කරනු ලැබූ අගයක්. ඒක බොහෝ විට සාමාන්‍ය වෙළඳපළ අගයට වඩා පහළ එකක්, හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. 
මෙහිදී වෙන්නෙ, එම සමාගමේ කොටස් හිමියන්ට පුළුවන්, අනුපාතයක් ලෙස අඩු මිලට එම සමාගමේ කොටස් මිලදී ගන්න. 
උදා: ABC සමාගම එම සමාගමේ කොටස් හිමියන්ට එක කොටසක මිල රු.10 බැගින් කොටස් 10කට එක බැගින් right issues නිකුත් කරනව. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 1000ක් තිබේ නම් ඔබට පුළුව්න් රු.10 බැගින් එම සමාගමේ කොටස් 100ක් right issues විදිහට මිලදී ගන්න.
සාමාන්‍යයෙන් right issues නිකුත් කරනව කිව්වම, එම සමාගමේ කොටස් වල මිල ඉහළ යනව, එතකොට ඔබට පුළුවන් ඉහල ලාභයක් තියාගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් විකුණන්න. Right issues දුන්න කියල ඒක මිලදී ගැනීම අත්‍යවශ්‍ය නෑ, ඕනෙ නම් විතරයි ගන්න ඕනෙ. මෙහෙම දෙන්නෙ කාලෙකට විතරයි, එම කාල පරාසය එම right issues නිකුත් කිරීමත් සමඟම කියනව, ඒකට කියන්නෙ Ex-Rights Period ("XR") කියල.

එතකොට Share Splits?
සමහර වෙලාවට සමහර සමාගම්, තමුන්ගෙ කොටස් කැබලි වලට කඩනව. ඒකත් අර ඉස්සෙල්ල වගේම දවසක් තීරණය කරල කරන දෙයක්. 
මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ share volume එක ඉහළ නැංවීම හා කොටස් වල මිල පහළ හෙලීම වගේ දේවල් තමයි.
උදා: ABC සමාගම කියනව, මෙන්න මේ දවසින් පස්සෙ අපේ සමාගමේ කොටස් එකක් දෙකකට බැගින් බෙදනව කියල. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, එම දිනෙන් පසු ඒක 200ක් වෙනව.

Bonus Issues හෙවත් Capitalization of Funds
සමහර වෙලාවට සමහර සමාගම් මෙහෙම වැඩත් කරනව, එයාල කියනව, අපේ කොටස් හිමිකරුවන්ට, අපි නොමිලේ කොටස් දෙනව කියල. මේකෙන් එම සමාගමට මුදල් ලැබෙන්නෙ නම් නෑ, නමුත් ඒ කොටස් වල වටිනාකම කොටස් හිමියාට ලැබෙනව. 
උදා: ABC සමාගමේ කොටස් හිමිකරුවන්ට කොටස් 10කට එක කොටස බැගින් නොමිලේ කොටස් දෙනව කිව්වොත්, ඔබ ලඟ එම සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, ඔබට පුළුවන් මෙම නොමිලේ ලබා දෙන කොටස් 10 අරගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් ටික 110ක් කරගන්න. පොඩි දුක හිතෙන කතාවක් නම් තියෙනව, bonus issues හුඟ කාලෙකින් කවුරුවත් දීල නෑ.

වාසි ඉවරයි, තවත් හොරතුරු ඉදිරියට.

Saturday, October 24, 2009

මයික්‍රොසොෆ්ට් හා ගූගල්, ට්විටරය සමඟ ගිවිසුම් ගසති



මේ දෙගොල්ලො, ට්විටරයේ ස්ටේටස් අප්ඩේට්ස් බිං හා ගූගල් සෙවුම් වලට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ගිවිසුම් ගහලලු. මුහුණු පොත සමඟත් මෙහෙමම කතා කරල කියලත් ආරංචියි.

Google's Marissa Mayer writes:

...we are very excited to announce that we have reached an agreement with Twitter to include their updates in our search results. We believe that our search results and user experience will greatly benefit from the inclusion of this up-to-the-minute data, and we look forward to having a product that showcases how tweets can make search better in the coming months. That way, the next time you search for something that can be aided by a real-time observation, say, snow conditions at your favorite ski resort, you'll find tweets from other users who are there and sharing the latest and greatest information.


http://googleblog.blogspot.com/2009/10/rt-google-tweets-and-updates-and-search.html





හැබැයි මේකත් එක්ක තවත් අනතුරුදායක තත්වයක් එනව, තමුන්ගෙ යාළුවන්ට විතරක් දැනගන්න දාන ස්ටේටස් එක (සමහරවිට පෞද්ගලික දේවලුත් දානවනෙ.) මුළු ලෝකයාටම මේක නිසා පේන්න සැළැස්වෙනව.
නමුත් කියැවෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. මුහුණු පොත එහෙම, එසේ සෙවුම් යන්ත්‍ර වල ලැයිස්තුගත වන ඒව සීමා කරන්න, තේරීමක් කරන්න, අවශ්‍ය තේරීම් කිරීමට හැකි ලෙස සැකසුම් හදාවිලු.

මොකද වෙන්නෙ කියල ඉතින් පොඩ්ඩක් බලා ඉන්න තමයි තියෙන්නෙ.

වින්ඩෝස් 7 ගැන



වින්ඩෝස් 7 ගැන යූටියුබ් එකේ තියෙන විඩියෝ කිහිපයක්.


මේ වින්ඩෝස් 7 නිකුත් කිරීම සම්බන්ධයෙන් කතාවක්.



මේ පොඩි විචාරයක්



මේ තවත් විචාරයක්



මෙන්න විස්ටා සමඟ සැසඳීමක්




Wednesday, October 21, 2009

ට්විටරය ට්වීට් බිලියන 5 ඉක්මවයි


මොකද්ද දන්නවද ඒ ට්වීට් එක? "Oh Lord"
මේක ආවෙ ට්විටරයේ සේවකයෙන්ගෙන්වත්, ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනවත් නෙමෙයි, "bio writer and web generalist" කෙනෙකුගෙන්. නම Robin Sloan.




Tuesday, October 20, 2009

කොටස් වෙළඳ පළ මේ දවස් වල


ළමයි දන්නවද මේ දවස් වල මාකට් එක ගන්නම දෙයක් නා, ඔක්කොම වගේ බැහැගෙන බැහැගෙන යනව. මේ ඔක්කොටම හේතුව අර දෙමළ ඇමරිකන් ඩයල් එක කරපු වංචාව. ඒ යකා හැම එකෙන්ම වගේ කොටස් අරන් තිබ්බ නිසා, 
දැන් මාකට් එක හිටු කියල බහිනව. පහු ගිය දවස් කිහිපයේම මාකට් එකේ තත්ත්වෙ ඍණ ගියේ. අදත් එහෙමම තමා. බලන්නකො අද තත්වෙ.

මෙහෙම බැස්මක් නම් මතක ඇති කාලෙක තිබ්බෙ නෑ. (දන්න කාලෙක.) හැබැයි ළමයිනේ ටික දවසකින් මේක ආපහු හරියනව, වැඩේට බැහල කොටස් ටිකක් අරන් තියන්න පුළුවන් නම් ගොඩේ ගොඩ තමා. ආයි හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙනව ෂුවර්.

Friday, October 16, 2009

කාලෙකට පස්සෙ.



කාලෙකට පස්සෙ කිව්වට සතියක් වගේ නේද? මාරම විදිහට බිසී උනා පහුගිය සති වල. ගිය සතියෙ ටෙක්නෝ නිසා, මේ සතියෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් කෙනෙක් නැති වෙලා ඒ මල ගෙදර නිසා. කිසිම වෙලාවක් තිබුනෙ නෑ අඩු ගානේ හරියකට මේල් චෙක් කරගන්නවත්. මූණු පොත පැත්තෙවත් යන්න බැරි උනා, ෆෝන් එකෙන් තමයි ස්ටේටස් අප්ඩේට් කළෙත්.
කොහොම හරි මේ වැඩ ගොඩ නිසා මගෙ බර කිලෝ 2,3 ක්වත් අඩුවෙන්න ඇති. ලබන සතියත් ටිකක් වැඩ අධික ලෙස ගෙවිල යාවි, මේ සතියෙ කරන්න බැරි වෙච්චි ලෙක්චර් වලට අමතර ලෙක්චර් කිහිපයක්ම දැම්ම. ඒ මදිවට "HRM and Industrial Relations" subject එකේ inclass test එකක් තියෙනව කිව්ව ලබන සතියෙ, අඩු ගානෙ ඒකෙ නෝට්ස් ටිකවත් හරියට නෑ.
techno 2009 ගැන පසු වදනක් ලියන්න හිටියෙ. (මම එතන දවස් දෙකක් හිටියනෙ, අර මම මුලින් කිව්ව ප්‍රදර්ශන කුටියෙ.) නමුත් වෙලාවක් ලැබුනෙ නෑ, දැන්නම් බෑ කොහොමවත්. අපේ ගුණපාල සර් ගැන නම් පොඩි හරි ලිපියක් ලියන්න ඕනෙ.
ඒ අස්සෙ කොටස් වෙළඳපළත් හෝ ගාල නගිනව, ඒක බලන්නවත් වෙලාවක් නෑ, මට සැළකිය යුතු ලාභයක් ගන්න පුළුවන් දැන් මගෙ ලඟ තියෙන කිහිපයක් වික්කොත් නම්.
තව කියන්න දේවල් නම් තියෙනව, ඒත් කම්මැලී ලියන්න. සතියක්, දෙකක් එකතු වෙච්චි මේල් ටික බලන්න ඕනෙ, මූණු පොතේ මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න ඕනෙ, වැඩ ගොඩයි. බලමුකෝ.

Saturday, October 10, 2009

ලංකාවටම විදුලිය නැති වීමට හේතුව


හැමෝටම හරිම ප්‍රශ්නයක් වෙලා ඇයි මේ ලංකාවටම එක පාරටම විදුලිය නැති උනේ කියල. (ඇත්තටම මට නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ, උඹලටත් හුඟක් වෙලාවට නැතුවැති, හික්ස්. කමක් නෑ). 
ඒකට හේතුව තාම හරියටම අනාවරණය වෙලා නෑ, නමුත් පැවසෙන්නෙ, කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් පිට වන වෝල්ට් 132,000 රැහැන් පද්ධතියේ කෙළවරක ඇති සම්බන්ධකයක් (Grid එකක්) පිපිරීම නිසා මෙය සිදු උනා කියල. ඒක තමා හේතුව, නමුත් ඉන්පසු යළිත් හරි හැටි විදුලිය යථා තත්වයට පත් කිරීමට දිගු කාලයක් ගත වීම නම් ප්‍රශ්නයක්. (එහෙම විදුලිය නැවතුනොත් එක පාරටම ආපහු දෙන්න බෑ, යන්ත්‍ර, පරිපථ, නවත්තල, ඕෆ් කරල, ඒව මුල සිට යළිත් ක්‍රියාත්මක කළ යුතුයි. වැරැද්දක් උනොත් එහෙම ආපහු මුල සිට කරන්න ඕනෙ. :( ) 
මේ පිළිබඳව පූර්ණ පරීක්ෂාවකින් පසුව වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙස ඉහළින් නියෝග ලැබිල තියෙනවලු. ඊට පස්සෙ තමා මොකද වෙලා තියෙන්නෙ කියල හරියටම දැන ගන්න වෙන්නෙ. 
මීට ඉස්සර මෙහෙම ලංකාවටම විදුලිය නැති වෙලා තියෙනව එක පාරක් අසූ ගණන් වල. ඒක වෙලා තියෙන්නෙ එකෙක්ගෙ අත් වැරැද්දක් නිසාලු. ඒ වැරැද්ද සිදු කළ පුද්ගලයා පරීක්ෂණ වලින් පසුව දුෂ්කර පළාතකට මාරු කළාලු.

Techno 2009 ගැන


මම අද උදේම Techno ගියානෙ. හොඳ වෙලාවට උදේ 10ට ඉස්සෙල්ල යන්න පුළුවන් උනේ. (මම ගෙදර ඉඳන් හොස්ටල් එකටත් ගිහින් තමා ගියේ.) ඇයි 10ටනෙ හමුදා ප්‍රදර්ශනේ පටන් ගන්නෙ, ඊට පස්සෙ ඉතින් යන්න හරිම කරදරයිනෙ. 10ට ඉස්සෙල්ල ගියොත් කිසිම ප්‍රශ්නයක් නෑ, සිරිමාවෝ එක පැත්තෙ ගේට්ටුවෙන් ඇතුළු උනොත් කිසිම කරදරයක් බාධාවක් නැතුව යන්න පුළුවන්, කිසිම් චෙක් කිරීමක්වත් නෑ. මගෙ ලඟ පාස් එකක් තිබ්බ කියලත් වැඩක් උනේ නෑ, ඒක පෙන්නන්නවත් අවශ්‍ය උනේ නෑ කෙලින්ම ඇතුළෙ.  
කොහොම හරි ප්‍රදර්ශනේ පටන් අරන් තිබ්බෙ 9ට. ඒත් සෙනඟ නම් නෑ වගේ තමා ඒ වෙලාවෙ නම්, හවස් වෙනකොට නම් සෙනඟ ටිකක් ආව. ඒත් වෙනදට වඩා නම් හරිම අඩුයි. වෙළඳ කුටිත් ටිකක් අඩුයි කියල හිතුන. 
කට්ටිය අඩු ඇයි? මට නම් හිතුනෙ, ප්‍රධානම හේතුව විදිහට, "හමුදා ප්‍රදර්ශනය". ඒක 7 වෙනිදයින් අවසන් කරන්නෙ නැතුව 11 වනදා වෙනකම් කල් දාපු එක Techno එකට එන සෙනඟ ප්‍රමානය සැලකිය යුතු ලෙස අඩු කළා. ඒකට එන අය ඒක බලල යන්න යනව, නැත්තම් මහන්සි නිසා මේ පැත්තෙ එන්නෙ නැතුව යනව. කට්ටියක් "හමුදා ප්‍රදර්ශනේ නිසා පාරවල් වහල, යන්න එන්න ගියාම හරිම කරදරයි" කියල හිතල එන්නෙ නෑ. Techno ගැන මේ පාර දැන්වීම් පළ කලත් මදිද මන්ද. 
කොහොම හරි, මේ පාර, ගිය පාරටත් වඩා IESL එකට Techno එකෙන් ලැබෙන ලාභය නම් අඩුයි. ගිය සැරෙත් හිතුව තරම් ලාභයක් ලැබුනෙ නෑ. හෙටත් උදෙන්ම යන්න හිතාන ඉන්නෙ. නොගිහින් ඉන්න හිතුවට හෙටත් යන්න තීරණේ කළා. 
මම කස්ටියට ආරාධනය කරනව ඇවිත් Techno 2009 බලන්න කියල. මම ඉන්නෙ "JIY" කුටියෙ. (හැබැයි මම හැමතැනම කරක් ගහනව. එක තැන නම් ඉන්නෙම නෑ. හික්ස්.)

Friday, October 9, 2009

වැඩ ඉවරයි, පුදුම සැහැල්ලුවක්.





අප්පේ, Techno එකේ වැඩ වලට පහුගිය සතියෙ මහන්සි වෙලා එපාම වෙලා හිටියෙ. දවස් 3ක් ලෙක්චර් ඔක්කොම කට්. පෙරෙයිද උදේ ඉඳන් රෑ 9.30 වෙනකම් IESL එකේ. නිදා ගත්තෙ ඊයෙ පාන්දර 4.30ට. ආපහු උදේ 6ට ඇහැරුනා. ඊයෙත් IESL එකේ, IESL එකෙන් පිටත් උනේ රෑ 12.30ට. හොස්ටල් එකට ඇවිත් නිදා ගන්නකොට පාන්දර 2යි. 
අද උදේ තියෙන ලෙක්චර් 2 කට් කරල නිදා ගන්න හිතාන හිටියෙ, කොහෙද උදේ 6.30ට ගානට ඇහැරුනානෙ. මම හිතුවෙ අඩු ගානෙ 8 වෙනකම්වත් හොඳට නින්ද යයි කියල, කොහෙද....
ඊට පස්සෙ එකෙක් කියපි "මචන් කරන්ට් නෑ, වතුර නැතිවෙයිද දන්නෙ නෑ, නැගිටල නා කියා ගනින්" කියල. ඉතින් මොනව කරන්නද, නැගිටල එහෙමම ලෑස්ති වෙලා කැම්පස් ගියා. උදේ ලෙක්චර් එකට හිටිය. කරුවලේම ලෙක්චර් එක කළා. මමත් නිදි කිර කිර නෝට්ස් ත් ලියා ගත්ත. දෙවෙනි එක කට් කරල ගෙදර එන්න හිතාන හිටියෙ මම උදේ නැගිට්ට වෙලේ ඉඳන්, ඉතින් මුල ලෙක්චර් එක ඉවර වෙලා මම ඩිපාට්මන්ට් එකෙන් එලියට ආව, ඔන්න කියනව ඒ ලෙක්චර් එක කැන්සල් කියල. ඔය වැඩේ මට උනු පළවෙනි පාර නෙමෙයි මේ, ලෙක්චර් කට් කරන්න ගියාම ලෙක්චර් කැන්සල් වෙච්චි.
ඉතින් ගෙදර ඇවිත් දවල්ට කාල නිදා ගත්ත, හොඳට නින්ද ගියා. ඊට පස්සෙ නැගිටල නා කියාගෙන කොම්පියුටරේ ඉස්සරහින් වාඩි උනා. සින්ඩිය පැත්තෙත් රවුමක් ගැහුව.
කොහොම හරි, පොතේ හැටියට මම අද BMICH එකේ IESL එකේ "JIY" Stall එකේ ඉන්න ඕනෙ. (Organising උනාම අපි නැතුව බෑනෙ, හික්ස්.) ඒ උනාට මහන්සියයි, නිදිමතයි නිසා මම ගෙදර ආව, හෙට උදේ පාන්දරම යන්න ඕනෙ BMICH පැත්තෙ. Free Passes තියෙන නිසා අවුලක් වෙන එකක් නෑ කියල හිතනව, ඒත් තාම හමුදා ප්‍රදර්ශනේ ඉවර නෑනෙ. ඒක තමා ලෙඩකට හිටියොත්.

පොඩ්ඩක් Tchno ගැනත් කියන්න එපැයි. මේක කරන්නෙ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින්. (IESL- The Institution of Engineers, Sri Lanka) සම්පූර්ණයෙන්ම තාක්ෂනික ප්‍රදර්ශනයක්. රජයේ ආයතන, විශ්ව විද්‍යාල, වෙළඳ ආයතන වලින් මේකෙ තමුන්ගෙ ප්‍රදර්ශක වෙළඳ කුටි තියනව. තමුන්ගේ හැකියාවන්, නව නිෂ්පාදන තමයි මකෙ පෙන්නන්නෙ. විශේෂම ප්‍රදර්ශක කුටි විදිහට NERD ආයතනයේ ප්‍රදර්ශක කුටිය, කනිෂ්ඨ නව නිපැයුම් කරුවන්ගේ ප්‍රදර්ශක කුටිය (JIY, මම හිටියොත් ඉන්නෙ මෙතන තමා. හෙට, අනිද්ද, මම ඉන්න ඉඩ තියෙනව, දැක්කොත් කතා කරන්න හොඳේ.), රොබෝ තරඟාවලිය, විශේෂයි. (දෙවන හා තෙවන දෙකම IESL එකෙන් තමා කරන්නෙ.)



Tuesday, October 6, 2009

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ජම්මෙද, පුරුද්දද?



මේ තවත් තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ප්‍රවාදයක්. මතකයිනෙ අර මම ඉස්සෙල්ල කිව්ව පූස් පැටිය? එදා ගෝලයට පැරදුනාට පස්සෙ ගුරු හාමුදුරුවො හැසිරුනේ පරෙස්සමෙන්, නමුත් ගෝලයව පරද්දන්න ක්‍රමයක් හිත හිතා.
මේ පූස් පැටිය නිසා වෙච්චි දෙයින් පස්සෙ ගුරු හාමුදුරුවො පූසා එක්ක මිතුරුව ඉන්න හිතුව. අන්තිමට ගෝලයට වඩා ගුරු හාමුදුරුවො එක්ක මේ පූසා මිතුරු උනා. ගුරු හාමුදුරුවන්ටත් මේකව නැතිවම බැරි උනා, දැක්කෙ නැති උනාම පාළු හිතුන.
මූව නිකං තියාගෙන ඉන්න එකේ මුගෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුව ගුරු හාමුදුරුවො, මේ පූසට, හාමුදුරුවො පොත් කියවනකොට ලන්තෑරුම අල්ලන් ඉන්න පුරුදු කලා. පූසත් ඉක්මන්ටම වැඩේ අල්ල ගත්ත. කොච්චර හොඳට පුරුදු උනාද කිව්වොත් හාමුදුරුවො රාත්‍රියෙදි පොත් රාක්කයෙන් පොතක් ගත් වහාම පූසා ලන්තෑරුම අතට ගත්ත.
ඉතින් ටික දවසක් යනකොට ගුරු හාමුදුරුවො හිතුව මේකෙන් ගෝලයව පරද්දන්න මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න. 
දවසක් ගුරු හාමුදුරුවොයි, ගෝල නමයි කතා කරකර ඉන්නකොට ගුරු හාමුදුරුවො පොඩි නමගෙන් ඇහුව, 
"රාහුල, ජම්මෙද ලොකු පුරුද්දද?" කියල. 
රාහුල පොඩි හාමුදුරුවො කිව්ව, "ජම්මෙ" කියල. 
"නෑ නෑ පොඩි නම, වඩා ලොකු පුරුද්ද" කියල ආපහු ගුරු හාමුදුරුවො කිව්ව. කොහොම හරි දෙන්න ටික වෙලාවක් මේ ගැන වාද කර කර හිටිය. 
අන්තිමට ලොකු හාමුදුරුවො කිව්ව, 
"හරි. මම අද රෑට පෙන්නනම්කො පුරුද්ද වඩා ලොකු බව".

ඉතින් රෑ ගුරු හාමුදුරුවො පොඩි නමත් එක්ක කාමරයට ගිහින් පොත් රාක්කය ලඟට ගිහිල්ල පොතක් අරගත්ත. මතකයිනෙ පූස? ඔන්න ඌත් ඉතින් පුරුදු පරිදි ලන්තෑරුම අතට අරන් මේසයට නැග්ග.
රාහුල පොඩි හාමුදුරුවො දිහා බලපු ගුරු හාමුදුරුවො, 
"දැක්කද පොඩි නම? පුරුද්ද තමා ලොකු" කියල කිව්ව. 
මඳ සිනහවක් පාපු පොඩි නම, කාමරයේ තිබුන මී කූඩුවක හිටපු මීයෙක් එලියට අරන් හාමුදුරුවන්ගෙ මේසය උඩින් අර පූසට පේන්න තිබ්බ. පරම්පරා ගානක් තිබ්බ ජන්ම ගතිය මතක් උනු පූසා, ලන්තෑරුම පැත්තකට විසි කරල මීය පස්සෙ පන්නන්න ගත්ත. එදා ඉඳන් ලොකු හාමුදුරුවන්ට පුරුද්ද ලොකු උනේ නෑ.

Friday, October 2, 2009

ගූගල් වෙබ් අඩවි පරිවර්තන ටූලය (Website Translator Gadget) නිකුත් කරයි


ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක වෙබ් අඩවියක් කියවන්න, එම භාෂාව අපි දැන සිටිය යුතු වෙනව. මේ ප්‍රශ්නය නිසා සමහර වෙබ් අඩවි ලොව පුරාම භාවිත වීම අඩු වෙනව. (එම භාෂාව දන්නා අය විතරනෙ ඒක බලන්නෙ.) මේ නිසා එම පුද්ගලයින්ට උදව් කිරීමට, ගූගල්, වෙබ් අඩවියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි ටූලයක් ඉදිරිපත් කරල තිබෙනව.
මේක ක්‍රියාත්මක වෙන්නෙ "Google Translate" හරහා. මේ මගින් ඔබේ වෙබ් අඩවිය භාෂා 51කින් පෙන්වීමට ඔබට හැකියාව ලැබෙනව. ඉතින් මේක දාගත්තට පස්සෙ. ඔබේ අඩවියට යමෙක් පැමිණෙන විට, ඔබේ අඩවියේ භාෂාව හා ඔහුගේ/ඇයගේ වෙබ් බ්‍රවුසරයේ භාෂාව නොගැළපෙනවනම්, ඔහුට හෝ ඇයට, ඔබේ අඩවිය විසින්, අඩවිය තුළ පවතින තොරතුරු, ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළ යුතුදැයි අසාවි.




මේක කරගන්න හරිම ලේසී. ඔබට තිබෙන්නෙ, ගූගල් විසින් ලබා දෙන පොඩි කේත කොටස ඔබේ වෙබ් පිටුවට ඇතුළු කිරීම පමණයි.
හැබැයි පොඩි දෙයක් කියන්න ඕනෙ, මේකෙන් හරියටම හරි විදිහටම පරිවර්තනය වෙන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම්, අවුල් වෙනව. ඒ නිසා සමහර දේවල් පරිවර්තනයෙන් පස්සෙ තේරුම් ගැනීමේ අපහසුතා එන්න පුළුවන්. වෙබ් පිටුව තුළ හුඟාක් තාක්ෂණික දේවල් නම් තියෙන්නෙ මේක හුඟක්ම ලෙඩ දෙයි.


ඒ උනාට ඉතින් මේ වැඩේ අගයන්න ඕනෙ, මොකුත් නැතුවට වඩා මෙහෙම එකක් හරි තියෙන එක ලොකු දෙයක්නෙ. අනේ ඉතින් මේ භාෂා 51ට සිංහලත් දාගන්න පුළුවන් නම් ගොඩම තමා. ඒත් ඒක වෙයි කියල නම් හිතන්න ටිකක් අමාරුයි, මොකද ලෝකෙ සිංහල භාවිත කරන්නන් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් නිසා.

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම - 2



පසුගිය කොටසින්,  
පොඩි හාමුදුරුවො ඔක්කොම වසුරු ටික කෑවනෙ. මතකයිනෙ. 
[මුල් කොටස කියවන්න.]
----------------------------- 
අද එතැන් සිට,

පස්සෙන්ද එළි උනා. ලොකු හාමුදුරුවො වෙනදා වගේම පංසල් වත්තෙ සක්මන් කරනව. පොඩි හාමුදුරුවොත් මොකුත් නූන වගේ මළුව ඇමදුව. ඊට පස්සෙ ලොකු හාමුදුරුවො මොකද කරන්නෙ කියල විමසිල්ලෙන් හිටිය. 
ලොකු හාමුදුරුවො වෙනද වගේම බණ මඩුවට වැඩිය. මොනවද දැක්කෙ, කිහිප පොලකම බළල් වසුරු. ඒ උනාට අද ලොකු හාමුදුරුවො තරහ ගත්තෙ නෑ. ඉස්සෙල්ල දවසෙ ගෝල නම හරිම ආසාවෙන් බළල් බෙටි වැළඳුවෙ මොකක් හරි රසක් නිසා වෙන්නැති කියල හිතපු ගුරු හාමුදුරුවො වසුරු පිඬක යන්තමට ඇඟිල්ල ඔබල දිවග තියල බැලුව.
ඔන්න ඕක වෙනකම් තමා පොඩි හාමුදුරුවො හැංගිලා බලාන හිටියෙ. විදාගම හාමුදුරුවො ඇඟිල්ල දිවග තියන සැනින් රාහුල හාමුදුරුවො මොකද දන්නවද කළේ?
"අපේ නායක හාමුදුරුවො බළල් බෙටි කෑවෝ !!!" 
කියල මහ හඬින් කෑ ගැහුව.
උදේ පාන්දර රාහුල හිමියන්ගෙ කෑගැසීම ඇහුනු උපාසක මහතුන් සහ ඇබිත්ත කොලුව, මේ මොන විපත්තියක්ද කියල දුවගෙන ආව. ඒ උනාට කාටවත් රාහුල හාමුදුරුවො කිව්ව එක හරියකට තේරිලා තිබුනෙ නෑ.
පොඩි හාමුදුරුවන්ගෙ හඬින් බය වෙච්චි ලොකු හාමුදුරුවො, බයයි ලැජ්ජාවයි හංගගෙන හෙමිහිට බණ මඩුවෙන් ආවාස ගේ පැත්තට ගියා.

[මුල් කොටස කියවන්න.]