Saturday, October 31, 2015

මහතෙක් යයි කිව හැකි කොන්දොස්තර මහතෙක්


කොන්දොස්තර කිව්වම බස් වල යන ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නෙ "මොකද ඔතන නැවතිලා ඉන්නෙ, ඉස්සරහට යන්න", "ඔය මැද නැවතිලා ඉන්න මල්ලි, ඉස්සරහට යන්න", "ඔතනින් පස්සට යන්න" වගේ කතා කරුණාවෙන් නෙමෙයි සැර වැර දාල කතා කරන පුද්ගලයින් කණ්ඩායමක් නේද?
ඊට පස්සෙ, ඉතුරු නොදී මඟ ඇරල, අපි බහින තැන ලං වෙනකොට ඉතුරු ඉල්ලන්න කොන්දොස්තර හොයාගෙන බස් එකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෙනඟ මැද්දෙන් පීරගෙන යන්න වෙන අවස්ථා ඕනෙ තරම් ඔබ හැමෝම අත්විඳල ඇතිනෙ? නේද?

අද මම කාලෙකින් බස් එකක ගියා. ගෙදර ඉඳල කොළඹට. 122 අවිස්සාවේල්ල පිටකොටුව බස් එකක. 
මම නැග්ග බස් එකේ කොන්දොස්තර මහතා ගැන තමයි මේ කතාව.
ඔහුගේ කතා විලාසය හරිම අපූරුයි. හරිම මිත්‍රශීලී. "ඔය ඉස්සරහ ඉන්න මල්ලිය තරහ නැතිව පොඩ්ඩක් ඉස්සරහට යමුද පුතේ", "ඔය චූටි මහත්තය ඔතනින් පොඩ්ඩක් ඉඩ දෙනවද" වගේ තමයි මේ කොන්දොස්තර මහතා බස් එකේ යන අයට කතා කරන්නෙ.
"මල්ලිල ඉතින් ඉස්සරහට යන්නෙ ගෑණු ළමයි කවුරුහරි හිටියොත්නෙ නේද, ඒ ඉතින් එයාලගෙ හැටිනෙ" කියල විහිලුවෙන්ම කියනව එක වෙලාවක. 
ඉතිරි දෙන්න තියෙන අය හොයාගෙන බස් එකේ ඉස්සරහ ඉඳල පස්සට ගිහිල්ල ඉතිරි දෙනව. සමහරුන්ට මතක නෑ තමන්ට ඉතිරි ගන්න තියෙනව කියලත්. මෙයාම කතා කරල "මෙන්න මල්ලි ඔයාගෙ ඉතිරි සල්ලි" කියල ඉතුරිය දෙනව. එක් වරක් බස් එකෙන් පිරිමි ළමයෙක් බැස්ස, මෙයා කෑගහල ඒ මල්ලිට කතා කරනව, "මල්ලී, ඔයා ඉතිරි ගත්තෙ නෑ නේද?" කියල බස් එකෙන් බැස්ස කෙනාටත් කතා කරල ඉතුරු සල්ලි දුන්න.

මට එවෙලෙම හිතුන මේ කොන්දොස්තර මහත්තය ගැන නම් පොඩ්ඩක් කියන්නම ඕනෙ කියල. 
ඉහළින් තියෙන්නෙ ඔහුගේ ඡායාරූපයක් නම් නෙමෙයි, මම අන්තර්ජාලයෙන් සොයාගත්තු එකක්. 

මෙහෙම කොන්දොස්තරල සුහදශීලීව, මිත්‍රශීලීව කතා බහ කරනව නම්, අපහසුවෙන් උනත් මිනිස්සු බස් වල යයි බැණ අඬගහන්නෙ නැතිව. 

Wednesday, October 14, 2015

ISO 9001 නව සංස්කරණය හා බැදේ


ISO 9001: 2015 සංස්කරණයද පැමිණ ඇත. අපි ISO 9001:2008 සංස්කරණයෙන් 2015 සංස්කරණය වෙත වසර 3ක් ඇතුළත මාරු විය යුතුය. එසේ නොවුවහොත් අප වෙත ලැබී ඇති තත්ව සහතිකය අවලංගු වනු ඇත.

නමුත් පුදුමයට කරුණක් වනුයේ, සමහර ප්‍රසිද්ධ සමාගම් තමන් ISO 9001:2000 තත්ව සහතිකය ලබා ඇති බව පවසමින් මාධ්‍ය වල වෙළඳ දැන්වීම් පළ කිරීමය. ISO 9001:2000 තත්ව සහතිකය අවලංගු වී දැනටමත් වසර 12 ගෙවී ඇති බව බොහෝ දෙනා නොදන්නා නිසා ඔවුන් මෙසේ තම පාරිභෝගිකයින් රවටයි.


නොදන්නා අයගේ දැනගැනීම පිණිසය.

ISO වේවා SLS වේවා ඕනෑම සහතිකයකට/ප්‍රමිතියකට එය පළ කළ වර්ෂයක් වේ. ඉන් පසු ඒවායේ නව සංස්කරණ නිකුත් කරන විට පැරණි සංස්කරණය අවලංගු වේ. ISO සඳහා නම් පැරණි සංස්කරණයෙන් අලුත් සංස්කරණයට සමාගමකට මාරු වීමට වසර 3ක කාලයක් ලබා දේ. 
යම් සහතිකයක නව සංස්කරණයක් නිකුත්ව ඇතිනම්, කිසියම් සමාගමක් පැරණි සංස්කරණයක් සඳහා තමන් එම සහතිකය ලබා ඇති බව පවසයි නම්, එය සාවද්‍ය ප්‍රකාශයක් වේ. මක් නිසාද යත්, කිසිදු ප්‍රමිතිකරණ ආයතනයක්, පැරණි සංස්කරණ සඳහා ප්‍රමිති/සහතික නිකුත් නොකරන නිසාය.