Showing posts with label guides. Show all posts
Showing posts with label guides. Show all posts

Saturday, December 19, 2020

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - තෙවන 25

 ඔබට මතකයිනෙ මම මේ මාතෘකාව යටතේම "පළමු 25"  හා "දෙවන 25" කියල ලිපි දෙකක් ලිව්ව.

ඒක බලන්න මේ පහත සබැඳීයෙන් යන්න.
1. https://madhawaweblog.blogspot.com/2019/09/100-tips-to-improve-english-part-1.html

මම මුලින්ම ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කරගන්න ටිප්ස් කිහිපයක් එක්ක ලිව්ව ලිපිය බලන්න මේ සබැඳිය භාවිතා කරන්න.

https://madhawaweblog.blogspot.com/2019/01/learn-to-speak-english.html

හරි එහෙනම් මේ ක්‍රම 100යේ ලිපි මාලාවේ දෙවන කොටස. 51 - 75 දක්වා ටිප්ස්.


  1. ඉංග්‍රීසි ඉගෙනීම විනෝදයක් කරගන්න. අපි සතුටු හිතෙන දේ කරනකොට අපිට ඉගෙන ගන්න පහසු වෙනවා. 
  2. ඉංග්‍රීසි කතා කරනකොට කලබලකාරී හැඟීමක් එනව නම් දෙයක් කියන්න ඉස්සෙල්ල හොඳ හුස්මක් ගන්න. දෙපාරක්. එතකොට ඔයාගෙ හිත ටිකක් ලිහිල් වෙනව. ලිහිල් සිතක් කතා කිරීම පහසු කරනව. 
  3. ඔයා මුලින් කියවපු ඉංග්‍රීසි පොත, බලපු සීඩී තැටි, චිත්‍රපට දිහා බලල ඔයාවම උනන්දු කරගන්න. ඉස්සර බලපුව ආපහු බලනකොට ඒව තේරුම් ගන්න ලේසි වෙලා කියල හිතෙනව නේද? සුභ පැතුම් ඔබට. ඔබ ටික ටික ඉහළ මට්ටමකට යමිනුයි සිටින්නෙ.
  4. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබට වයස මදි හෝ වයස ඕනෑවට වඩා වැඩියි කියලා දෙයක් නැහැ. ඒක ඔයා ඉංග්‍රීසි ඉගෙන ගැනීම නැවැත්වීම සඳහා සමාවට කාරණාවක් කරගන්න එපා. ඇයි බලාගෙන ඉන්නේ.
  5. අද කරන්න බෑ හෙට කරන්නං කියල කල් අරින්න එපා. හැමදෙයක්ම ප්‍රමාද කරනවා කියලා කියන්නේ ඔයා  සාර්ථකත්වයට පත්වෙන්න තව තවත් පරක්කු වෙනවා කියන එක. ඉංග්‍රීසි ඉගෙනීම මඟ හැරීමට නම් ඔබ හැම වෙලේම ප්‍රමාද වෙන්න උත්සාහ කරන්නේ ඒ පුරුද්ද වහාම නවත්වා ගන්න.
  6. ඔබගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල තාම ඔබට ලැබී නැත්තං ඒක ඔබගේ ඉගෙනගැනීමේ නොහැකියාවක් නොවේ. ඊට හේතුව, ඔබට ඉගෙන ගැනීමට හොඳම ක්‍රමය තාම ඔබ සොයා ගෙන නොතිබීම වෙන්න පුළුවන්, ඉතින් වෙනත් ක්‍රම සොයා බලන්න, අත හදා බලන්න. 
  7. ඔබගේ ඉංග්‍රීසි දැනුමට ගැළපෙන ආකාරයේ පහසුකම් හා ක්‍රම භාවිතා කරන්න.  ඔබට ඉතාම පහසු හෝ ඔබට ඉතාම  අපහසු අභ්‍යාස  සිදු කරන්න උත්සාහ කරා කරන්න එපා.  ඔබට අභියෝගයක් වෙන ක්‍රම භාවිත කරන්න නමුත් ඔබට එපා වෙන ක්‍රම භාවිතා කරන්න එපා. 
  8. ඔබගේ උච්චාරණය  පරිපූර්ණ කර ගැනීමට උත්සාහ කරන්න එපා. ඔබගේ උච්චාරණ විලාසය ඔබගේ සංස්කෘතියට අදාළ දෙයක්. 
  9. විවිධ රටවල ඉංග්‍රීසි භාෂාවේ විවිධ වෙනස්කම් තිබෙනවා.  british english, american english, south african english සහ විවිධාකාරයේ ඉංග්‍රීසි ආකාර. මේ හැම එකකම එකිනෙකට වෙනස් ආකාරයේ දේවල් තිබෙනවා. ඒවා හිතන්න යන්න එපා. ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි.
  10. නමුත් එම ඉංග්‍රීසි භාෂා විලාසයන්ගේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන ඒවාට අනුව වචන පාවිච්චි කරන්න. උදා: සෝපානය = american english elevator british english lift.
  11. අලුත් වචන මතක තබා ගැනීමට cue cards ක්‍රමය භාවිතා කරන්න. Cue Cards කියන්නේ අපි අලුත් වචනයක් දැන්ගත්තහම ඒක ලියා තබන කුඩා කාඩ්පත්. ඒවා ඔබට විවේකී වෙලාවට එළියට අරගෙන ඒ අලුත් වචන ඉගෙන ගන්න.
  12. ඔබ අවට තිබෙන දේවල් ලේබල් කිරීම සඳහා sticky notes භාවිතා කරන්න.  එවිට එම වචන ඔබට නිතිපතා දකින නිසා මතක තබා ගන්නට පහසුවෙන්ම පුළුවන්.
  13. Phrasal verbs ඉගෙන ගන්න. Phrasal verbs කියන්නේ වචන දෙකක් තියෙන ක්‍රියා පද.  ඉංග්‍රීසි භාෂාවේ phrasal verbs සිය ගණනක් තිබෙනවා. ඔබ වැඩි වැඩියෙන් phrasal verbs ඉගෙනගන්නකොට අලුත් ඒවයෙ තේරුම පහසුවෙන් තේරුම් ගන්නට පුලුවන් වෙනවා.
  14. තමන් ගැන විශ්වාසයෙන් ඉන්න කියල මීට පෙරත් කියවුනානෙ. හිතට එන දේ එක්ක ඉදිරියට යන්න. Gut Feeling කියල කියන්නෙ. ඔයාගෙ පළවෙනි අනුමානය කෙතරම් නිවැරදිද කියල ඔයාටම පුදුම හිතෙයි. 
  15. ඔයාගෙ සිතිවිලි එකතු කරගන්න. ඔබ මොනවද කියන්න ලෑස්ති වෙන්නෙ කියල හිතන්න තත්පරයක් ගත කරන්න. ඔබ ව්‍යාකරණ රීති හොඳින් දන්නව. නමුත් කතා කරනකොට ඒව නිවැරදිව යොදා නොගන්නව වෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර හිතන්නෙපා, ඉස්සෙල්ල කතා කරල ඉන්න, පස්සෙ ව්‍යාකරණ නිවැරදි කරගන්න. 
  16. අලුත් මිනිස්සු හමු වෙන්න. ඔබේ ප්‍රදේශයේ සිටින ඉංග්‍රීසි කතා කරන සමාජය එක්ක මුසු වෙන්න උත්සාහ කරන්න. Club එකක්, Bar එකක් වෙන්නත් පුළුවන්. 
  17. ඉංග්‍රීසියෙන් කතා බහක් ආරම්භ කරන පුද්ගලයා වෙන්න උත්සාහ කරන්න. කතා බහ දිගටම ඉදිරියට යන්න, "really...", "go on..", "what happened then?.." වැනි වචන භාවිතා කරමින් තල්ලුවක් දෙන්න. අනිකාට ඔබට කතා කරන්න දෙනකම් බලා ඉන්නෙපා, කතාවට සහභාගි වෙන්න. 
  18. විවාද කරන්න. කණ්ඩායමක් එක්ක විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා කරන්න. එකිනෙකා එකිනෙකට වෙනස් මතයන් දරන්නන් වෙන්න. විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ එකිනෙකා හා වාද කරන්න. ක්‍රියාකාරී ලෙස සවන්දෙන්න පුරුදු වෙන්න. එසේ කිරීමෙන්, හැමෝටම ඒක සහයක් වෙනවා සේම වඩා වැඩි දායකත්වයක් සාකච්ඡාවට ලබා දීමටත් ඔබට හැකි වෙනවා. කතා කරන පුද්ගලයා කියන දේට හොඳින් අවධානය යොමු කර අසා සිටින්න. වෙනත් දේ වලින් ඔබේ අවධානය බිඳෙන්න දෙන්න එපා. එසේ කිරීමෙන් ඔබට තේරුම් ගන්න පහසු වෙනවාට අමතරව ඔබට දෙයක් අනිත් අයටත් තේරුම් කරල දීම පහසු වෙනවා. 
  19. ඉංග්‍රීසි වචන ඉගෙන ගැනීම ඉංග්‍රීසි ඉගෙනගැනීමක් නෙමෙයි. ඔබට ගිරවෙකුට උනත් ඉංග්‍රීසි වචන පුරුදු කරන්න පුළුවන්, නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ ගිරවට ඉංග්‍රීසි පුළුවන් කියල. වාක්‍ය තේරුම් ගන්න, ව්‍යාකරණ තේරුම් ගන්න. 
  20. ඉංග්‍රීසි කතා කරන කෙනෙක්, සිදුවීම් ගැන කතා කරද්දී අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල ව්‍යාකරණ භාවිතා කරනව. ඔබත් ඒව දැනගෙන ඉන්න අවශ්‍ය වෙනව. ඒව භාවිතා කරන්නත් පුරුදු වෙන්න. 
  21. ඉංග්‍රීසි භාෂාවේ regular verbs (borrow, borrowed; carry, carried, වගේ සියළුම කාල වලට අදාල ක්‍රියා පදය එක සමානයි, අගට ed ආකාරයට යෙදෙන) හා irregular verbs (do, did, done; go, went; steal, stole, stolen; rise, rose, risen වගේ එක එක කාල වලට අදාල ක්‍රියා පදයේ ස්වරූපය වෙනස් වන) කියන වර්ග දෙකෙන් irregu`lar verbs තේරුම් ගන්න, ඉගෙන ගන්න අවශ්‍යයි. 
  22. දිගටම ඉගෙනගන්න, පුරුදු වෙන්න. ඔබ ඉංග්‍රීසි ඉගෙනගන්න එක හා/හෝ පුහුණු වෙන එක හා/හෝ භාවිතා කරන එක නැවැත්වුවහොත් ඔබටම තේරෙයි කාලයක් යනකොට ඔබගේ ඉංග්‍රීසි දැනුම මට්ටම/හැකියාව ටික ටික මොට වෙනව කියල. ඉතින් ඉංග්‍රීසි දිගටම ඉගෙනගන්න, පුරුදු වෙන්න. 
  23. ඔබගේ ඉංග්‍රීසි විභාගයේ ලකුණු අඩු උනාද? නමුත් ඒක ගැන එතරම් හිතන්නෙපා. සමහර අය ඉන්නව විභාගෙ ඉහළින්ම පාස්, නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කරන්න බෑ, අනිත් පැත්තෙන් සමහරු ඉන්නව ඉංග්‍රීසි අකුරක්වත් බෑ, නමුත් ඉංග්‍රීසි කථිකයින් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනව. ඔබට ඉංග්‍රීසියෙන් යන්තම් හරි කතා කරන්න පුළුවන් නම්, කියවා තේරුම් ගන්න පුළුවන් නම්, ඒක විභාගෙක ලකුණු වලට වඩා ඉහළින්ම වටිනවා. 
  24. මිතුරෙකු සමඟ ඉංග්‍රීසි පුහුණු වෙන්න. ඔබට පුහුණු වෙන්න තවත් කෙනෙක් සිටිනව නම් ඒක ඉතාම සාර්ථක ක්‍රමයක් වගේම දෙන්නට පුළුවන් එකිනෙකාව පොළඹවන්න තවත් ඉදිරියට යන්න. 
  25. මතක තබා ගත යුතු දෙයක් තමයි, ඔබ මහන්සි වෙන්න මහන්සි වෙන්න ඔබ සාර්ථක වෙනවා කියන එක. 
අවසන් 25ත් පුළුවන් ඉක්මනට ලියල දාන්නම්. 

සුභ පතනවා සියළු දෙයින් සාර්ථක වෙන්න. 

Thursday, September 21, 2017

අලුතින් බ්ලොග් අඩවියක් අරඹමු

අපේ අදහස් ප්‍රකාශ කරන්න, අපේ නිර්මාණ එළිදක්වන්න බ්ලොග් එකක් පවත්වාගෙන යන එකදැන් හරි පහසුම මාධ්‍යයක් වෙලා. අන්තර්ජාලය හරහා තමන්ගේ අදහස් එළිදැක්වීම සඳහා තමන්ගේ හැකියාව එලිදැක්වීම සදහා හොඳම මාධ්‍ය විදිහට විදියට දැන් හුඟක් අය පාවිච්චි කරන්නේ කරන්නෙ blog. 

බ්ලොග් එකක් කියන්නේ මොකද්ද 
බ්ලොග් එකක් කියන්නේ සරලව කිව්වොත් online journal එකක්. ඉස්සර බ්ලොග් කියන එක online dairy කියලත් හැඳීින්වුණා. නමුත් දැන් බ්ලොග් හරහා දහස් ප්‍රකාශ කිරීම පමණක් නෙමෙයි වෙබ් අඩවි සෑදීමට පවා හුඟක් දෙනෙක් යොමු වෙලා ඉන්නවා. විවිධාකාරයේ themes යොදාගෙන බ්ලොග් එකක් හරහා වෙබ් වෙබ් අඩවියක් හදා ගැනීම ඉතාම පහසු දෙයක්. 

බ්ලොග් එකක් හදන්න හොද ප්ලැට්ෆෝම් එක මොකක්ද 
බ්ලොග් සෑදීම සඳහා විවිධාකාරයේ blog platform පාවිච්චි කරන්න පුළුවන් 
ප්‍රධානම ඒව තමයි Wordpress සහ blogger කියන මාධ්‍යයන් දෙක. 
ඊට අමතරව තවත් විවිධ ආකාරයේ online blog සාදාගත හැකි වෙබ් අඩවි තිබෙනවා. මේ කාලයේ ප්‍රසිද්ධ වෙමින් පවතින තවත් එකක් තමයි medium කියන වෙබ් අඩවිය 
වර්ඩ්ප්‍රෙස් ගැන කතා කළොත්, එහි blogger ආකාරයේ version එකකුත්, අපේම හොස්ට් එකක ස්ථාපනය කරගෙන සාදාගත හැකි self hosted wordpress version එකකුත් තිබෙනවා. 

ඉතින් සෑදිම පහසුම සහ වැඩිම අන්තර්ජාල ප්‍රසිද්ධියක් ලබා ගත හැකි බ්ලොගර් වෙබ් අඩවිය හරහා බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය අපි සාකච්ඡා කරමු. 

www.blogger.com හරහා බ්ලොගර් අඩවියට ඔබට පිවිසිය හැකියි.

පහළින් තිබෙන්නේ blogger වෙබ් අඩවියේ ප්‍රධාන මුහුණතයි. 
ඔබගේ gmail ගිණුම භාවිතා කර ඔබට මෙම අඩවියට පිවිසිය හැකියි. (මෙම අඩවිය භාවිතයට google ගිණුමක් අත්‍යවශ්‍යයි.) 
ඔබ gmail account එකක් තිබෙන පුද්ගලයෙක් නම් දකුණු පස ඉහළ කෙළවරේ තිබෙන sign in සබැඳිය හරහා හරහා ගොස් username password ඇතුළු කිරීමෙන් බ්ලොගර් වෙබ් අඩවියට ඇතුළුවීමට පුළුවන්. 

Blogger Home page

blogger වෙබ් අඩවියට ඇතුලු වූ පසු බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් එක පහත ආකාරයට ඔබට දැකගත හැකියි. මින් පෙර බ්ලොග් අඩවියක් සාදා නොමැති නම් මෙය මේ පහත ආකාරයට හිස්ව පවතී. 

අලුත් බ්ලොග් අඩවියක් නිර්මාණය ආරම්භය
වම් පස ඉහළ කෙළවරේ තිබෙන new blog සබැඳිය හරහා ඔබට නව බ්ලොග් අඩවියක් සෑදීම ආරම්භ කළ හැකියි.
Blogger Dashboard

එම සබැඳිය ක්ලික් කළ විට කල විට පහත ආකාරයේ වින්ඩෝවක් විවෘත වනු ඇති. 
මෙතැනදී ඔබ ඔබගේ බ්ලොග් අඩවියට ගැලපෙන නමක් හා ඊට ගැළපෙන වෙබ් ලිපිනයක් නිර්මාණය කළ යුතු වනවා. ඊට අමතරව ඔබගේ නව බ්ලොග් අඩවියට ගැළපෙන තීම් එකක්ද තේරිය හැකියි. 
Create new blog

බ්ලොග් අඩවියේ නම් කැමති ආකාරයකට සාදාගැනීමට පුළුවන් වුවත්, වෙබ් ලිපිනය (domain name), දැනට භාවිතා කර නොමැති එකක් තෝරාගත යුතු වෙනවා. ඔබට නොමිලේ ලැබෙන්නේ blogspot.com හි සබ් ඩොමේනයක්. ඒ කියන්නෙ http://yourname.blogspot.com ආකාරයේ වෙබ් ලිපිනයක්. ඔබට www.yourname.com වැනි Top level domain ලිපිනයක් මිලට ගෙන මෙම බ්ලොග් අඩවියට සම්බන්ධ කරගැනීමත් කළ හැකියි. 

Create new blog - select a name
ඉන්පසු create blog යන බොත්තම මත ක්ලික් කිරීමෙන් ඔබට ඔබගේ නව බ්ලොග් අඩවියක් නිර්මාණය කරගත හැකියි.
බලන්න කෙතරම් පහසුද කියල.

මූලික අතුරු මුහුණත (Dashboard)
මේ පහතින් දිස් වන්නේ ඔබ අලුතෙන් නිර්මාණය කරගත් බ්ලොග් අඩවියේ dashboard එකයි. (බ්ලොග් අඩවි කිහිපයක් හැදුවොත් වම් පස ඉහළ කෙළවරට වන්නට තිබෙන බ්ලොග් අඩවි නම් ක්ලික් කිරීමෙන් ඔබගේ බ්ලොග් ලැයිස්තුව ලැබෙනවා.)
එහි වම් පස පේනුවේ විවිධාකාරයේ සබැඳිද දකුණු පස පේනුවේ ඔබගේ බ්ලොග් අඩවියට publish කර ඇති ලිපි ද පෙන්වනවා. (දැනට කිසිදු ලිපියක් නැති නිසා දකුණුපස කොටස හිස්ව තිබෙන්නෙ)

new blog dashboard

ලිපි ලිවීම 
ඉහත වම්පසට වන්නට තැඹිලි පාටින් පෙන්වන new post බොත්තම ක්ලික් කිරීම හරහා ඔබට නව ලිපියක් ලිවීම ආරම්භ කළ හැකියි. එය ක්ලික් කළ විට පහත ආකාරයේ වෙබ් පිටුවක් open වනවා. 
මෙහි work area එකෙහි ඔබට අවශ්‍ය ලිපිය සාමාන්‍ය word document එකක් නිර්මාණය කරගන්නා ආකාරයට ලිවිය හැකියි. ඉහතින් ඇති tool bar එකෙහි තිබෙන විවිධ පහසුකම් ඔබට භාවිතා කළ හැකියි . අමතක නොකර ඔබගේ බ්ලොග් ලිපියට ලිපියට ගැලපෙන මාතෘකාවක්ද යොදන්න. 
Create new post

අකුරු bold, underline, italic, color, highlight, bullet-ed list, numbered list, ප්‍රමාණය වෙනස් කිරීම වැනි පහසුකම්, රූපයක් එක් කිරීම, hyperlink එකක් එක් කිරීම වැනි දේ මෙම පහසුකම් අතර වනවා.

බ්ලොග් ලිපියට රූපයක් ඇතුළු කිරීම 
එම ටූල් භාරයේ ඇති image අයිකනය ක්ලික් කිරීම හරහා ඔබට ඔබගේ බ්ලොග් ලිපියට රූපයක් ඇතුළත් කළ හැකියි. එය ක්ලික් කළ කල විට පහත ආකාරයේ dialog box එකක් විවෘත වනවා. ඒ හරහා ඔබගේ පරිගණකය තුල ඇති හෝ ඔබගේ google drive ගිණුමේ ඇති හෝ අන්තර්ජාලය තුල ඇති images ඔබට ඔබගේ බ්ලොග් පිටුවට ඇතුලත් කර හැකියි. 
රූපය තේරීමෙන් පසුව එය අප්ලෝඩ් කිරීම හරහා එය ඔබට බ්ලොග් ලිපියට ඇතුළු කළ හැකියි. 
Add images to posts

ලිපියට ඉමේජය ඇතුළත් කළ පසු මෙසේ දිස් වනු ඇති.

Labels 
මෙතනදි මම labels ගැනත් කියන්නම්. ඔබ ලියන ලිපි විවිධ ප්‍රවර්ග (categories) යටතේ පෙළගස්වන්න ඕනෙ නම් ඒකට labels භාවිතා කළ හැකියි. ලිපියක් ලියන විට දකුණුපස පේනුවේ තිබෙන labels මත ක්ලික් කිරීමෙන් එය ඕපන් කරගන්න. ඉන්පසු අවශ්‍ය ලේබල් යොදන්න. එකක් හෝ කිහිපයක් විය හැකියි. කිහිපයක් නම්, කොමා යොදා වෙන් කරන්න.
උදා: මෙවන් ලිපියකට යොදා ගැනීමට හැකි ලේබල් වෙන්නෙ blogger, guides වගේ කියන ඒව.
Writing a blog post and adding labels

ඉන්පසු ඔබේ ලිපිය ලිවීමට බලාපොරොත්තු වෙන අන්තර්ගතය work area එකෙහි ටයිප් කිරීමෙන් ඔබට බ්ලොග් ලිපිය complete කර ගත හැකියි. (සිංහලෙන් ලියනව නම් ඔබ භාවිත කළ යුතු වෙන්නේ සිංහල යුනිකෝඩ් ක්‍රමයයි.)
අවසානයේ Publish බොත්තම ක්ලික් කර ඔබට එම බ්ලොග් ලිපිය ඔබගේ ඔබගේ බ්ලොග් අඩවියේ publish කරගත හැකියි. 
ඔබ ඔබගේ google+ ගිණුම ඔබගේ බ්ලොග් අඩවිය හා සම්බන්ධ කර ඇතිනම් ඔබ ලියූ බ්ලොග් ලිපිය Google+ හරහා ශෙයා කිරීමට ඔබට වින්ඩොවක් විවෘත වනු ඇති. මෙය හරහා ඔබට ඔබගේ අලුතෙන් publish කරන ලද ලිපිය ඔබගේ Google+ followers හට share කරන්න පුළුවන්. 
Saving and Google+ sharing

ඔබගේ බ්ලොග් අඩවියේ ඔබ ලියූ සියලුම ලිපි මේ ආකාරයෙන් දිස් වෙනු ඇති.
Blog Posts list

Blog Statistics
වම් පස පේනුවේ ඔබට පෙනෙනවා ඇති statistics යනුවෙන් සඳහන්ව ඇති සබැඳියක්. ඒ හරහා ගොස් ඔබට ඔබගේ බ්ලොග් අඩවියට පැමිණි අයගේ විස්තර බැලිය හැකියි. මොන වෙබ් අඩවි හරහාද, මොන රටවල් වලින්ද, කෙතරම් පුද්ගලයන් ප්‍රමාණයක් පැමිණියාද වැනි විස්තර ඔබට එම පිටුව හරහා බලා ගත හැකියි.
Blog Statistics
ඔබගේ බ්ලොග් අඩවියට ගිය විට එය මේ ආකාරයට දැක ගත හැකියි.

Blog Site

Edit the blog site Layout
වම් පස පේනුවේ ඇති layout තුලට ගිය විට එහි ඔබගේ බ්ලොග් අඩවියේ බ්ලොග් පිටුවේ widget සකසා ගැනීම කර ගත හැකියි. මෙහි විජට් යනුවෙන් හඳුන්වන්නේ, බ්ලොග් අඩවියේ පෙනුමට එකතු කළ හැකි කොටස්.
උදා: ඔබගේ පුද්ගලික ප්‍රොෆයිලය (Profile), බ්ලොග් අඩවියේ ලේබල් ලැයිස්තුව (Labels), රූපයක් (Image), කුමක් හෝ ලියූ text area එකක් (HTML/JavaScript), සෙවුම් පහසුකම (Blog Search). 

Blog page layout

Add widget මත ක්ලික් කළ විට මේ ආකාරයේ වින්ඩෝවක් පෙනෙනු ඇති. එම වින්ඩෝව හරහා ඔබට කැමති ආකාරයේ ගැජට්ටුවක්  ඔබගේ බ්ලොග් අඩවියට එකතු කරගැනීමට පුළුවන්. 

Adding gadgets to the blog page

Blog Settings 
මෙහි පහතින් තිබෙන්නේ ඔබගේ බ්ලොග් අඩවියේ setting පිටුවයි ඒ හරහා ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය වෙනස් කිරීම, නම වෙනස් කිරීම, email subscription සම්බන්ධ වෙනස්කිරීම් හා තවත් විවිධ දේ වෙනස් කිරීම් සිදු කර ගත හැකියි. 
Basic Blog settings 

Blog Theme එක වෙනස් කිරීම
ඔබගේ බ්ලොග් අඩවියේ theme එක වෙනස් කිරීමට මෙම themes පිටුව භාවිතා කිරීමට පුළුවන් blogger හි තිබෙන themes භාවිතා කිරීම හෝ අලුත්ම theme එකක් වැක් කර ගැනීම මේ පිටු හරහා සිදුකරගත හැකියි. 

Blog themes

නව බ්ලොග් ලිපිය වෙනත් social networks හරහා ශෙයා කිරීම
ඔබගේ බ්ලොග් ලිපිය open කල විට මේ පහත ආකාරයෙන් දිස් වෙයි. එහි දකුණු පස ඉහළ ඉහළ කෙළවරේ තිබෙන v හැඩති සලකුණ මත ක්ලික් කල විට සෝශල් ශෙයාරිං menu එක open වනු ඇති. 
Share Posts via Social networks

මෙහි පහත පෙනෙන්නේ එම මෙනුවයි.
මෙම මෙනුව හරහා ඔබගේ බ්ලොග් ලිපිය Facebook විට ආදී සමාජ ජාල වෙබ් අඩවි තුළ ශෙයා කළ හැකියි. 
Share Posts via Social networks
බ්ලොග් අඩවියක් මුල සිට සාදා ගන්නා ආකාරය, මූලික වෙනස් කිරීම් කරන ආකාරය, බ්ලොග් ලිපියක් ලියන ආකාරය, පළ කරන ආකාරය සහ එය සමාජ ජාල හරහා share කරන ආකාරය අපි කතා කළා. 

මේ සරල මාර්ග උපදේශනය හරහා ඔබට අලුතෙන්ම බ්ලොග් අඩවියක් සාදා ගැනීම කළ හැකි යැයි මා සිතනවා.
ඔබගේ බ්ලොග් අඩවියේ වැඩිදියුණු කිරීම්, අලුතින් පහසුකම් එක් කිරීම් වැනි දේ සිදු කළ හැකි ආකාරයන් ගැන අන්තර්ජාලයේ විවිධ ලිපි අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා පරික්ෂා කර ඔබගේ බ්ලොග් අඩවිය තවත් වැඩි දියුණු කර ගැනීමට ඔබට පුළුවන්.

වෙනත් තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම් ඊට හැකි අයුරින් සහය දෙන්නම්.

මම මේ පෝස්ට් එක පොඩි ebook එකකට කැටි කරල තියෙනව. ඔයාලට පහත සබැඳියෙන් ගිහිල්ල ඒක භාගත කරගෙන කියවන්න උනත් පුළුවන්.

කට්ටියත් එක්ක බෙදා හදා ගන්න ඔබට නිදහස තිබෙනවා.

https://goo.gl/9AR2GW
හෝ
https://www.mediafire.com/file/zc3je7sbyrc127d/Blogger+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94+Madhawaweblog.pdf



Sunday, July 7, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 2

හඳුනාගැනීම - 1 ලිපිය කියෙව්වද?


දැන් ජොබ් කරන අය, ඒ ලිපියේ තිබ්බ වගේ තමුන්ගෙ හිත ගිය ආකාරයේ ජොබ් එකක්ද කරන්නෙ? එහෙනම් ඔයාල එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනව. ඔයා ඒක දැන් කරන්නෙ කැමැත්තෙන් කරගෙන යනවද?
නැත්තම් ඔයා කරන්නෙ ඔයා කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නෙමෙයිද? ඔයා ඒ ජොබ් එක කරන්නෙ අකමැත්තෙන්ද?

කැමති ආකාරයේ ජොබ් එකක් හම්බුනත් ඒක කරන්නෙ සතුටින් නෙමෙයි නම් ඔබ පරාදයි. සතුටින් කරනව නම් ඔබ දිනුම්. නමුත් ඔබ ඒ ජොබ් එකට දක්ෂයෙක්ද?
කැමැත්තෙන් හිටි ආකාරයේ ජොබ් එකක් හම්බුනේ නැතත් දැන් කරන ජොබ් එක ඔබ සතුටින් කරනවද? එහෙනම් ඔබත් යම් ආකාරයකින් දිනුම්. ඔබ ඒ කරන ජොබ් එකට දක්ෂද?

කැමති ජොබ් එකක් හම්බ වෙලා, ඒක සාර්ථකව කරගෙන යනව නම් ඔබ හැම අතින්ම සාර්ථකයි. කැමති ජොබ් එක හම්බවෙලත් ඔබට ඒ ජොබ් එක හරියට කරගන්න බැරි නම් ඔබ පරාදයි.
කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නොලැබුනත්, හම්බුනු ජොබ් එක ඔබ සාර්ථකව දක්ෂ ලෙස කරනව නම් ඔබත් සාර්ථකයි.

එහෙනම්????? කවුද සාර්ථක? කවුද අසාර්ථක? කොහොමද අසාර්ථක උනේ???

ඔබ ආසාවෙන් හිටියෙ විධායක ශ්‍රේණියේ රැකියාවක්. පිරිසක් පාලනය කරන්න තිබෙන රැකියාවක්. ඔබේ ආසාව ඔබ කොහොම හරි ඉෂ්ඨ කරගත්ත. නමුත් ඔබේ යටත් පිරිස ඔබ කියන දේ අහන්නෙ නෑ, ඔබට හරි හැටි පිරිස් පාලනය තේරෙන්නෙ නෑ. ඉතින් ඔබ අසාර්ථකයි.
ඔබ ගොඩාක් ආසාවෙන් හිටියෙ පයිලට් කෙනෙක් වෙන්නෙ. නමුත් ඔබගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් නිසා ඔබට පයිලට් කෙනෙක් වෙන්න බැරි වෙනව. නමුත් ඔබගේ කථික හැකියාව ඉහළයි. ඔබ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක් වෙනව. ඔබට ප්‍රේක්ෂකයින් හරිම කැමතියි. ඔබ හුඟක් ජනප්‍රිය වෙනව. ඉතින් ඔබ ආස කරන රැකියාව නොලැබුනත් ඔබ කරන රැකියාවෙත් ඉතාමත් සාර්ථක වෙලා.

එතකොට අසාර්ථක උනු අයට කොතනද වැරදුනේ??? 
කැමැත්තක් නොතිබුනු ජොබ් එකක් කරන්න ගිය කෙනා සාර්ථක උනේ කොහොමද???
........................
..................
............
හිතන්න ටිකක්......

ඔන්න දැන් අපි හරි පාරට එනව.
කැමැත්ත, ආසාව විතරක් නෙමෙයි වැදගත් වෙන්නෙ.
මොනවද එහෙනම් වැදගත්???
"ඔබගේ හැකියාවන්"

එහෙනම් අන්න එතනින් පටන් ගනිමු.
ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න.

දැන් ආපහු මම පාසල් යන නංගිල මල්ලිල ගාවට එනව.
එතකොට ඔයාල යන්න ඕනෙ මොන පාරෙද? 
ඔයාල තාම පාර හදාගෙන එන අය. ඔයාල තමුන්ගෙ ආසාවට විතරක් නෙමෙයි පවතින හැකියාවට මුල් තැන දීල, තමුන්ගේ මාර්ගය තීරණය කරන්න වෙනව. ඔබට පුළුවන් ඔබගේ මාර්ගය තීරණය කරන්න. දෙමව්පියන්, නෑදෑයින් පෙන්වන මාර්ගය විතරක් නෙමෙයි, ඔයාලට පේන මාර්ගය ගැනත් හිතන්න.
හැබැයි සාර්ථක මාර්ගයක් ගැන. සාර්ථක අනාගතයක් ගොඩනැඟිය හැකි මාර්ගයක් පිළිබඳව.
"මම රටේ නම ගිය චණ්ඩියෙක් වෙනව" කියල උනත් කෙනෙක්ට හිතන්න පුළුවන්. නමුත් ඒත් එක්කම හිතල බලන්න ඒක සාර්ථක අනාගතයක් වේවිද කියල. පොලීසියෙන් හැංගෙන්නයි, හිර ගෙවල් වල ඉන්නයි වෙන අනාගතයක් සාර්ථක එකක් වෙන්නේ නෑනෙ නේද?
චිත්‍ර අඳින්න ඉහළ හැකියාවක් තිබෙන, ගණිතයට දුර්වල කෙනෙක්, තමුන්ගෙ ගණිතමය හැකියාවන් දියුණු කරගත හැකිය කියන ස්ථිර අධිෂ්ඨානයක් නැතිනම් ගණිත/විද්‍යා විෂයන් කරන්න නොසිතිය යුතුයි. මම කියන්නෙ නෑ එයාට ගණිතය කරන්නෙපා කියල. නමුත් සාර්ථක වෙන්න අධිෂ්ඨානය තියාගෙන මහන්සි වෙලා වැඩ කරන ගණිත හැකියාවන් දියුණු කරගන්නව කියල හිතාගෙන වැඩ පටන් ගන්නව නම් එයාටත් බැරි නෑ. හැබැයි එයාගෙ අවසන් අරමුණ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන එක නම්, ඒ මාර්ගයේ ගිහිල්ල ඒ ඉලක්කයට යන්න ටිකක් අපහසු වෙනව කියලත් හිතන්න වෙනව.

ඉතින් ඔයාල, ඔයාලගෙ අනාගත අරමුණට සාර්ථකව පහසුවෙන් ලඟා විය හැකි මාර්ගය තමයි තෝරාගත යුත්තේ.

"ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න" කියන වාක්‍යයත් එක්ක දැනට මම නවතිනව. ඊලඟ ලිපියෙන් කතා කරමු හැකියාවන් හඳුනාගෙන ඊලඟ පියවරට යන්නෙ කොහොමද කියල.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, July 1, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

මුල් ලිපියට හිතපු තරම් නම් අදහස් ලැබුනෙ නෑ. මේ ලිපි එක්ක ඔයාලගෙ අදහස් මග ඕනෙ කරනව, ඒවත් එක්ක ඒවට අනුකූලව තමයි මම ඉදිරි ලිපි ලියන්න අදහස් ගන්නෙ. 
කමක් නෑ. දැනට අපි කතාව ආරම්භ කරමුකො එහෙනම්. 



යමෙක්, යම් මාර්ගයක යන්න තෝරාගන්න එක් හේතුවක් හෝ හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. බහුල හේතු ගත්තොත්,
  • එම විෂය පරාසයට දක්වන කැමැත්ත
  • කුඩා කාලයේදී ඇතිවුණු යම් තදබල කැමැත්තක්
  • දෙමාපියන්ගේ / නෑදෑයින්ගේ බලපෑම්
  • විවිධ අය හමුවීමත් සමඟ ඇතිවන කැමැත්තක්
  • රූපවාහිනී වැනි මාධ්‍ය හරහා දකින දේ සමඟ එන අදහස්

මේ වගේ විවිධාකාරයේ හේතු තිබෙන්න පුළුවන්. සමහරවිට ගිය ආත්ම වලින් එන සිතුවිලි නිසා පවා.

ඉතින් ඔබ යම් මාර්ගයක් තෝරාගන්න හේතුව කුමක්ද?
ඔබට යම් දෙයක් තමුන්ගේ අනාගත වෘත්තිය කරගන්න තරම් ඒ දේට කැමැත්තක් ඇතිවෙන්න හේතුව කුමක්ද?
මුලින්ම අන්න ඒ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්න වෙනව.

සාමාන්‍යයෙන් Career Guidance වලදි අහන පළමු ප්‍රශ්නය මේක නෙමෙයි. ඔවුන් කියන්නෙ මුලින්ම තමුන්ගේ හැකියාවන් / කැමති දේ හඳුනා ගන්න කියල. නමුත් මගේ ප්‍රවේශය ඊට ටිකක් වෙනස්. වෙන පාරකින් අර පාරට එන්නයි මම හදන්නෙ.
ඉතින්? 
මුලින්ම අර ප්‍රශ්නෙට උත්තරයක් හිතන්න. 
හැබැයි හිතන්න ඕනෙ ඔබ සාමාන්‍ය පෙළ කරන්න ඉස්සෙල්ල කාලෙ හිතුව / හිතන විදිහට.

බලමු හිතල......
"මම පොඩි කාලෙ මට උගන්නපු ටීචර් හරිම හොඳයි, ඉතින් මටත් ඕනෙ උනේ ඒ කාලෙ ඒ වගේ ළමයි ගොඩක් ආදරේ කරන ලස්සනට උගන්නන ටීචර් කෙනෙක් වෙන්න" කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒක කුඩා කාලයේදී ඇසුරු කරන කෙනෙක් නිසා හටගත්තු ආසාවක්.

"මම ආසයි එක එක දේවල් හදන්න, නව නිර්මාණ කරන්න. ඒක නිසා මට විද්‍යාඥයෙක් නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ" කියල තව කෙනෙක් හිතයි. ඒක තමුන්ගේ යම් හැකියාවක් හඳුනා ගත්තු කෙනෙක් හිතන විදිහ.

"මම ආසයි අහසින් යන්න, රට රට වල යන්න. ඉතින් මට පයිලට් කෙනෙක් වෙන්න ඕනෙ". ඒ තව කෙනෙක්ගෙ ආසාවක් නිසා ඇති උනු ඉලක්කයක්.

"මට පුළුවන් අනිත අයට හොඳට දේවල් කියල දෙන්න, උගන්නන්න. ඉතින් මට ඒක නිසා ගුරුවරයෙක් වෙලා අනිත් අයට දේවල් කියල දෙන්න ඕනෙ" ඒ තමුන්ගෙ ඉගැන්වීමේ හැකියාව ගැන තේරුම් ගත්තු කෙනෙක් හිතන විදිහ.

ඉතින් ඔයාල කොහොමද හිතුවෙ / හිතන්නෙ?



"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, June 29, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

"ආරම්භය" 

 "පුතා ලොකු උනාම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?" නැත්තම්, "දුව ලොකු උනාම කවුරු වෙන්නද කැමති?" කියල පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් ඔහු / ඇය දෙන පිළිතුර කුමක්ද? 
"මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ", 
"මම ඩොක්ටර් කෙනෙක් වෙනව", 
"මම ටීචර් කෙනෙක් වෙන්නයි කැමති", 
"මම පයිලට් කෙනෙක් වෙනව" 
කියල තමයි අපිට බහුලව ඇහෙන්නෙ. 
ඒක ඒ දරුවන්ගෙ හීනය. 

නමුත් ඇත්තටම ඒක ඒ දරුවගෙ හීනයමද? 
දන්නෙ අහල තියෙන්නෙ ඒ රැකියාවන් ගැන විතරක් නිසාද? 

ඔයාල පොඩි කාලෙ එහෙම ඇහුවොත් මොකද්ද දුන්න උත්තරය? 

මම කිව්වෙ, "මම ඩොක්ටර් කෙනෙක් වෙනවා" කියල. ඇත්තම කිව්වොත් මම ඒක ගැන ලොකුවට හිතල නෙමෙයි ඒ කාලෙ කිව්වෙ. 

ඔයාල? 

ඔයාල සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලෙ කවුරුහරි ඇහුවනම් ඔය ප්‍රශ්නෙ, අර පොඩි කාලෙ දුන්නු උත්තරේමද ඔයාල දුන්නෙ? පොඩ්ඩක් මතක් කරල බලන්නකො. 
උසස් පෙළ කරන්න යනකොට විෂය තෝරගන්නකොට ඒ විෂයයන් තෝරාගත්තෙ ඇයි? 
ආසාවටද? ගෙදර අය කිව්ව නිසාද? අනිත් අයත් කරන නිසාද? නැත්තම් ඔයාගෙ අනාගතය ඔයාට ඕනෙ විදිහට හැඩගස්ව ගන්න ඕනෙ නිසාද? 

මම පොඩි කාලෙ වෛද්‍යවරයෙක් වෙන්නෙ ඕනෙ කිව්වට මම සාමාන්‍යපෙළ කරන කාලෙ ඒක ඉංජිනේරුවෙකුට වෙනස් උනා. ඉතින් මම ඒක වෙනුවෙන් උසස්පෙළට ගණිතය තෝරාගත්තා.

ඔයාල ඒලෙවල් කරනකොට / කරන්න ලෑස්ති වෙනව නම් ඇයි ඔයාල ගණිතය තෝරාගත්තෙ? විද්‍යාව තෝරාගත්තෙ? වාණිජ තෝරාගත්තෙ? නැතිනම් කළාව තෝරාගත්තෙ? නැත්තම් ඒලෙවල් නොකර කෙලින්ම වෙනත් මාර්ගයක යන්න තීරණය කළේ?

දෙන්න බලන්න උත්තරයක්.

මේ වේදිකා නාට්‍ය ගීතය මතකද?
"විභාගෙ විභාගේ 
එහෙ බැලුවත් විභාගේ........
...............
..... ඉතින් පුතේ නම්බුවක්ගෙ ෆේල් උනත් විද්දියාව විසයෙන් විභාගෙ කොරල...." 
ඔයාලටත් එහෙම වෙයිද / උනාද?

මෙතනින් ආරම්භය ගනිමු මේ ලිපියේ මාතෘකාවට ප්‍රවේශයක් වශයෙන්. 
ඉතින් ඔබගේ පිළිතුරු ලබා දෙන්න ඉහත ප්‍රශ්නයට.

මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, June 17, 2013

ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5

හුඟ කාලෙකින් ආවෙ බ්ලොග් එක ලියන්න. ලියන්න තියෙන කම්මැලි කමටත් වඩා ලියන්න හරි හමන් මාතෘකාවක් හිතට ආවෙ නෑ. ටිකක් හිත හිත ඉන්නකොට, තාක්ෂණය පැත්ත ටිකක් පැත්තකින් තියල වෙනස් දේවල් ටිකක් ගැන ලියන්න හිතුන. මේ ඒකෙ ආරම්භය. මේ වගේ තවත් ලිපි ටිකක් ඉදිරියේදී ලියවෙයි. මගේ පුද්ගලික අත්දැකීම් සහ, පොත පතින්, වෙබ් අඩවි වලින් කියවා ලබා ගත් දැනුමත් එකතු කරල මේ වගේ කාටත් ප්‍රයෝජනවත් වෙන මාතෘකා ටිකක් ඔස්සේ යන්න හිතුව. මේ ඒවායින් පළමුවැන්න.

ඉතින් පටන් ගමු. 

ඉතින් කියන්න බලන්න, රැකියාවක් කරන වයසෙ ඉන්න කෙනෙක්නම් ඔබ, එකම එක ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ල තියෙනවනෙ නේද? සාර්ථකව මුහුණ දුන්නද? රැකියාවට තෝරා ගත්තද? එහෙනම් සුභ පැතුම්. ඔබ යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනව.
මම නම් මුලින්ම ගිය ඉන්ටර්විව් එක ඉහළින්ම ෆේල්. ගන්නම දෙයක් නැති උනා. එහෙනම් දෙවනි එක? ඒකත් එච්චරම තමා. :(
හ්ම්ම්. මට උනු දේ ඔයාල ගොඩක් අයටත් වෙලා ඇති. 
එහෙනම් මේ සාමාන්‍ය දෙයින් ආරම්භ කරමු. 

මොනවද ශ්‍රී ලාංකික වන අපි සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙනකොට හා / හෝ ගියාම කරන ප්‍රධානතම වැරදි? අපි එහෙම වැරදි 5ක් සාකච්ඡා කරමු.

1. සම්මුඛ පරීක්ෂණයට පියා / මව සමඟ පැමිණීම

දෙය්යනේ, මේක නම් කවම කවදාවත් කරන්නෙපා. ඔබට කියන්න කිසිම නිදහසට කරුණක් නෑ මේ සඳහා.

ඔබ සම්මුඛ පරීෂණයකට යන්නෙ මොකටද?
 ඒ අදාල සමාගමට පෙන්නන්න ඔබට වැඩක් කරන්න පුලුවන් කියල. ඔබේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ. සමාගමක් කියන්නෙ වැඩිහිටියන් එකතු වෙලා වගකීම් බෙදාගෙන වැඩ කරල සමාගම ලාභ ඉපයීම සඳහා රැගෙන යන කණ්ඩායමක් ඉන්න තැනක්.
ඉතින් එතනට ඔබ අම්ම/ තාත්ත එක්ක එන එකෙන් මොනවද කියවෙන්නෙ??? ඔබ ප්‍රසිද්ධි‍යේ හැමෝටම කියාපානව, වැඩිහිටියෙක් ලෙස ඔබ කළ යුතු මූලිකම දේවත් ඔබට කරන්න බෑ කියල. තනියම වැඩක් කරගන්න බෑ කියන එක. ඒක ඔබගේ සේවාදායකයා දැක්කම මොකද වෙන්නෙ? "මෙහෙම තනියම තැනකට එන්න බැරි කෙනෙක්ට මම ජොබ් එකක් දුන්නොත් මෙයා කොහොම මේක කරයිද???!!!" කියන හැඟීම තමයි. ඉතින් එතනින්ම ඔබ කැපිලම යනව. (කියන්න සතුටුයි මගෙ අතින් නම් මේ වැරැද්ද උනේ නෑ.)
හැබැයි ලංකාවෙ දෙමව්පියන් හුඟක් තමුන්ගෙ දුවල ගැන සැළකිළිමත් වෙන නිසා පරිස්සමට එනව. ඒක නරකයි කියන්න බෑ, එපා කියන්නත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? ගෑණු ළමයි අම්ම / තාත්ත එක්ක ආවට කමක් නෑ. නමුත් එයාලට ඔබ ඉන්ටර්විව් එකට යන ආයතනය තුළට එන්න එපා කියන්න. පුළුවන් තරම් නොපෙනෙන්න ඉන්න කියන්න. 

2. සූදානමකිත් තොර වීම.

මේක ඇවිල්ල, ලංකාවෙ තිබෙන බහුලම දේ. ඒත් එක්කම නොකළම යුතු දේ. මේ කියන්නෙ, අමතර CV පිටපතක් රැගෙන නොඒම, හරියට ඇඳගෙන නොඒම වගේ දේවල් නෙමෙයි. ලංකාවෙදි ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නෙ වෙන්නෙ, ලංකාවෙ ජොබ් ඉන්ටර්විව් එකකට යන අයගෙන 90%ම තමුන් මේ ඉන්ටර්විව් එක යන සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නැති එක. සමාගමට වෙබ් සයිට් එකක් තියෙනව නම් ඒකට ගිහිල්ල නෑ, මොනවද ඒ සමාගමේ කරන්නෙ කියල හරියට දන්නෙ නෑ, ඇප්ලයි කරල ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල දන්නෙ නෑ....... ඒත් කියනව තමුන්ට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියල. :D
මේකෙන් ඔබගේ සේවාදායකයා එක දෙයයි තේරුම් ගන්නෙ. ඔබ සිතන්නේ ඔබ ගැන විතරයි කියල.
ඔබ ඉන්ටර්විව් එකට එන්නෙ මේ කිසිවක් නොදැන නම් ඒ කියන්නෙ ඔබ මෙන්න මෙහෙම දෙයක් අඟවනවා කියන එක. 
"මම මෙතනට ආවෙ ජොබ් එකක් ගන්න. මම ඒක ගැන මොකුත් හොයන්න ඕනෙ නෑ. මට ඕනෙ කොම්පැනියක ඕනෙ ජොබ් එකක් කළෑකි." වගේ දෙයක්. 

"රැකියාව"ක් කියන්නෙ මොකද්ද ඇත්තටම???
ආයතනයක් තිබෙන්නෙ කාටවත් රැකියා දෙන්න නෙමෙයි. ඔවුන් සිටින්නේ යම් සේවාවක්, නැතිනම් යම් නිෂ්පාදනයක් හරහා යම් අවශ්‍යතාවයක් පිරිමසන්න, නැතිනම් පවතින ගැටළුවකට පිළිතුරක් දෙන්න.
ඉතින් ඔබ යන්නෙ ඒ කාර්යයට සහය වෙන්න.
ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ඔබ ඔවුන්ට පෙන්නන්න ඕනෙ, "ඔයාල කරන්නෙ මොනවද කියල මම හොඳින් දන්නව, ඒකට සහය වන්න මට පුළුවන්" කියන දේ. සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙ ඔබට නෙමෙයි, ඔබට කළ හැකි දේ වෙනුවෙනුයි. 

3. පළමු සම්මුඛ පරීක්ෂණයේදීම වැටුප ගැන විමසීම

ඇත්ත. අපි රැකියාවකට යන්නෙ මුදල් හොයන්නනෙ. ඒත් මොකද හදිස්සිය? අලුතින්ම ජොබ් එකකට යන්න හොයන අය මේක නොදැන සිටින්න පුළුවන්, නමුත් ඉන්ටර්විව් එකකට දෙකකට ගිය අය දන්නව, අහන්න පුළුවන් නරකම ප්‍රශ්නය තමා පඩි කොහොමද කියන එක කියල. සාමාන්‍ය ක්‍රමය නම් දෙවන හෝ තෙවන (ඔබව අවසන් කිහිපදෙනා අතරට තෝරාගන්නා පරීක්ෂණය) සම්මුඛ පරීක්ෂණයේදී තමයි වැටුප් ගැන ඇසිය යුත්තේ. 
මුල් පරීක්ෂණ වලදී ඔබගේ මූලිකම ඉලක්කය වෙන්න ඕනෙ ඔබගේ හැකියාවන් පෙන්වීම හරහා ඔබව මාකට් කරන එක. 
හ්ම්ම්. ඔබ අනිවාර්යයෙන්ම එතකොට මෙහෙම හිතයි. "මෙයාල දෙන්නෙ අඩු පඩියක් නම්??? මම මගෙ කාලය අපතේ හරිනව නේද" කියල. ඔව්, එතන පොඩි අනතුරුදායක තත්වයක් තිබෙනව. අමුත් ඒක ගත යුතු රිස්ක් එකක්. ඔබ ඒ කාලය අපතේ හරිනවා නම් අදාල ආයතනය කොතරම් කාලයක් අපතේ යවනවද වැඩක් නැති අයදුම්කරුවන් පරික්ෂා කර කර???
ඉතින් ඔයා වැටුප් ගැන අහන්න අහන්න, එයාලට ඔයාව එපා වෙනව. 
මොකද ජොබ් එකක් කරන්න එන්නෙ සල්ලි හොයන්න උනත් කවුරුවත් කැමති නෑ සල්ලි පස්සෙම දුවන මනුස්සයෙක්ව ජොබ් එකකට ගන්න. 

4. එකම CV එක හැම අයදුම් කිරීමකටම භාවිතා කිරීම.

හොඳ CV එකක් හදන එකත් එක්තරා හැකියාවක්. මීට පෙර අත්දැකීමක් නැතිනම් ඒක තවත් අමාරුයි. සමහරු එකම ජොබ් එකට ඇප්ලිකේශන් කිහිපයක් එවනව. බොහොමයක් දෙනා එකම CV එක ගමරාලගෙ වංගෙඩිය වගේ හැම එකටම යවනව. මේකට කියන්නෙ "Shot Gun Approach" කියල. Shot Gun එක ඕනෙ එකෙක්ට වෙඩි තියන්න පාවිච්චි කළෑකිනෙ, තිබ්බම පළාතක් ඉවරයි. ඒ කියන්නෙ. එක CV එකක් හදාගන්නව, ඒක හතර වටේටම යවනව. ඒක හරියන වැඩක් නම් නෙමෙයි, ඒක හුඟක් අයට අල්ල ගත්තැකි. ඒකෙන් කියවෙන්නෙ, ඔබ අයදුම් කරන ජොබ් එක ගැන ඔබට උවමනාවක් නෑ කියන එකයි. ආපහු අංක 2ට යන්නකො. මේකත් යන්නෙ එතනටම තමයි. 
හැම ජොබ් එකකට ගැළපෙන දේවල් තියෙනව. ඉතින් ඒවට ගැළපෙන ආකාරයට හැම වෙලේම අලුත් ජොබ් එකකට අලුතින් CV එකක් හදන්න. 

ඉතින් මොකද්ද කරන්න ඕනෙ? 
Sniper කෙනෙක් වගේ වෙන්න ඕනෙ, හොඳට බලන් ඉඳල, හොඳට සූදානම් වෙලා හරියටම ඉලක්කයටම තියන්න ඕනෙ. 
අදාල ආයතනය ගැන, ඔවුන්ගේ විෂය පරාසය ගැන, ඔවුන් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් මුලින්ම ගන්න ඕනෙ. පුළුවන් නම් ඉස්සෙල්ල දවසක ආයතනයට කෝල් එකක් දීල විස්තර ටිකක් හොයාගන්න. ජොබ් එක ගැන නෙමෙයි, ආයතනය කරන දේවල් ගැන. :)
උදා: ඔබ යන්නෙ IT Firm එකක Programmer ජොබ් එකකට නම්, ටිකක් හොයල බලන්න මොනවද ඔවුන් භාවිතා කරන මෘදුකාංග, Programming languages, මොන වගේ මෘදුකාංගද හදන්නෙ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔවුන් භාවිතා කරන්නෙ ජාවා කියමු. ඔබට එතකොට පුළුවන් ඔබගේ CV එකේ ඔබට ජාවා ක්‍රමලේඛ දැනුම තියෙනව කියල විශේෂයෙන් දාන්න. 
ඒව දන්නව කියල ඊට පස්සෙ ඔබ පෙන්නුවම සම්මුඛ පරීක්ෂණයේදි, ආයතනය ඔබ ගැන ඉහළින්ම පැහැදෙනව. හැම එකක්ම ඔබට කියල දෙන්න ඕනෙ නෑ, ගොඩක් කල් පුහුණු කරන්න ඕනෙ නෑ, ඉතින් ඒක ආයතනයට පහසුවක් වගේම මුදල් ඉතිරියක්. 
ඉතින් මොකද වෙන්නෙ? ඔබව ඔවුන් තෝරා ගන්නව.

5. වෙලාවට නොපැමිණීම හා එන්නට නොහැකි නම් නොපැවසීම. 

කතාවක් තියෙනවනෙ, "ඔබ මිනිත්තු 10ක් ඉක්මනින් ආවෙ නැතිනම් ඔබ මිනිත්තු 5ක් ප්‍රමාදයි" කියල.
අයදුම්කරුවන්ගෙන් 30%ක්වත් මේ පරීක්ෂණය නම් අසමත් වෙනවාලු. 
ලංකාවෙ මිනිස්සු නම් වෙලාවට වැඩ කරන්නෙම නෑනෙ කවදාවත්. නමුත් සම්මුඛ පරීක්ෂණයකට යන දවසෙවත් වෙලාවට එතනට යන්න. 
අනිත් එක, අදාල වෙන් කරගත් දිනයට වෙලාවට එන්න බැරි වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒක අදාල ආයතනයට දන්වන්න, වෙනත් වෙලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන් වේවි. අපේ අය ඉතින් බයට කතා කරන්නෙ නෑනෙ. :( හේතු දක්වන්න ඕනෙ නෑ. ඒ දව්සට වෙලාවට එන්න වෙන්නෙ නෑ, වෙනත් වෙලාවක් ලබාදෙන්න කියන්න.  
ලංකාවෙ බොහොමයක් රැකියා අයදුම්කරුවන් වෙලාවට අදාල ස්ථානයට ගිහිල්ල ඉන්නෙ නෑ. උදේ 10ට එන්න කිව්වොත් එන්නෙ 10.15 නැත්තම් 10.30ට. ඒකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ. 9.45ටවත් යන්න. ගිහිල්ල පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලෑස්ති වෙලා ඉන්න. 

එහෙනම් මම මේ ලිපිය මෙතනින් නවත්වනවා. තවත් මේ ආකාරයේ ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු. මේකට එන ප්‍රතිචාර කොහොමද කියල. 

මෙම ලිපිය http://www.theceylonian.com වෙබ් අඩවියේ ලිපියකින් උපුටා ගන්නා ලද කරුණු වලින් සමන්විතය.


මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.

වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.