Showing posts with label BMICH. Show all posts
Showing posts with label BMICH. Show all posts

Thursday, October 4, 2018

මෙවර පොත් සල්පිල, මගේ අත්දැකීම් හා අදහස්

වෙනදා මෙන්ම මේ වසරේදීත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. පසුගිය වසරවල දී වගේම මේ වසරේදීත්  මම පොත් ප්‍රදර්ශනය බැලීමට සහ පොත් මිලදී ගැනීමට ගියා. 

පෝය දිනයේ දවල් 12ට ගත්තු ඡායාරූප දෙකක්

මේ ලිපිය ලියන්න ආරම්භ කළේ ප්‍රදර්ශනේ පටන් ගත්තු දවසට පස්සෙ දවසෙ උනත් මට මේක ඉවර කරල දාන්න වෙලාවක් ලැබුණේ නෑ. :( 

ගිය වසරේදී රාත්‍රි කාලයේ ගොස් ලබාගත් අත්දැකීම නිසා මේ වසරේදීත් පොත් ප්‍රදර්ශනේට ගියේ රාත්‍රී කාලයේ. පොත් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම හවස 6 සිට 9 දක්වා මම පොත් ප්‍රදර්ශනය බැලීම සහ පොත් මිලට ගැනීම සිදු කළා
අන්තර්ජාලයේ ෆේස්බුක් හරහා පොත් සල්පිල සම්බන්ධ විවිධ ආකාරයේ tips share කිරීම නිසා මෙවර පොත් සල්පිල බැලීමට සහ පොත් මිලදී ගන්නා අයට ඒක ඉතා විශාල පහසුවක් වුණා. මමත් ඒ දේවල් වලින් යම් යම් අදහස් අරගත්ත. ඔය මුහුණුපොතේ කණ්ඩායම් අතරින් ඉදිරියෙන් හිටියෙ  "පොත් කියවන අය | Srilankan Book Readers" ගෲප් එක. 

මමත් පොත් ප්‍රදර්ශනේට පළමු දිනම සහභාගී වූ නිසා ලබාගත් අත්දැකීම් අනිත් අයට විවිධ ආකාරයෙන් ප්‍රයෝජනවත් විය හැකි දේවල් පිළිබඳව ෆේස්බුක් මත මගේ අදහස් පළ කළා. ඉන් ප්‍රයෝජන ලබා ගත් බොහෝ දෙනෙක් මට ස්තුති කරලා තිබුණා. 
හැමෝම මේ පාර කියල තිබ්බෙ මුලින්ම බාගේන් හෝල් එකෙන් පටන් ගන්න කියල. ගිය වසරේ මගේ අත්දැකීම් මත මමත් මුලින්ම ගියේ ඉතින් බාගේන් හෝල් එකට තමයි. 
බාගෙන් හෝල් එකේ තිබ්බ ස්ටෝල්ස් වක පොත් රාක්ක රාත්‍රී කාලයේ වනවිට ඉතාම අපිළිවෙල තත්ත්වයට පත් වී තිබුණත් යම් ආකාරයක හොඳ පොත් ලබා ගැනීමට හැකියාව තිබුණා. 
බාගේන් එකට යනවා නම් උදේ පාන්දරින්ම යා යුතුයි. මක්නිසාදයත් උදේ පාන්දර පොත් පිළිවෙළට තිබීම හා නව පොත් උදයෙන්ම එකතු කිරීමයි. මම දෙවන දිනයකුත් ගියානෙ. ඒ ගියේ පෝය දවසෙ. එදත් බාගෙන් එකටම තමා මුලින්ම ගියේ. හැබැයි සෙනඟ නම් පිරිල.
මුල් දිනයේ මම හා මගේ බිරිඳ පොත් මිලට ගත්තෙ, වැඩිපුරම ඉලක්ක කළේ අපේ අවු:3 පොඩි පුතුට ඉදිරියට ගැළපෙන පොත් ගන්න එක. දෙවනුව මගෙ ලඟ අඩු පාඩු තිබෙන පරිවර්තන කිහිපයක් හා තෙවනුව මනෝ විද්‍යා, ධනාත්මක චින්තන පොත් ටිකක් මිලට ගන්න. ඔයත් එක්කම මට අලුත්ම ආසාවක් ඇවිල්ල තිබ්බ ජන කතා පොත් එකතුවක් හදාගන්න. ඉතින් ඒකට ගැළපෙනපොත් ලිස්ට් එකක්ම මම ලියාගෙන තිබ්බෙ, ඒවත් ගන්න අදහස් කරගෙන හිටිය. 

ඉතින් දැන් මේ ඉවර වෙච්චි ප්‍රදර්ශනේ ගැන කියල වැඩක නෑනෙ. ඊලඟ අවුරුද්දෙ එකටත් ගන්න පුළුවන් අදහස් කිහිපයක් විතරක් කියන්නම්.
  1. ආරම්භ කරන්න බාගේන් එකෙන්. ඒකෙන් ඇති තරම් පොත් ගන්න. ඒකෙ 40% ඩිස්කවුන්ට් එකකට තියෙන පොත් අනිත් තැන් වල 20%ට තියේවි. ඉතින් ඒක බාගේන් එකෙන් අරගන්නෙ නැතිව අතාරින එක අපරාදෙ.
  2. ලිපි ද්‍රව්‍ය සම්බන්ධ කුටි ගොඩක් තිබුණත් අනිත් කොටස් වල, ඒවත් යම් ප්‍රමාණයක් බාගේන් එකෙන්ම ගන්න පුළුවන් වෙයි. ඒකත් සළකල බලන්න.
  3. පොඩි අයගෙ පොත් උනත් සාමාන්‍යයෙන් වැඩියෙන්ම තියෙන්න පුළුවන් තැන තමයි බාගේන් එක. (මේ අවුරුද්දේ නම් උඩින්ම)
  4. වාහනේක යනව නම් පාක් කරගන්න ටිකක් කට්ටක් කන්න වෙනව අනිවා. මොකද BMICH තුළ හා අවට පාකිං ස්පේසස් ගොඩක් නෑ. ගිය වසරෙ නම් ඇතුළෙම පාක් කරගන්න පුළුවන් උනාට මේ පාර නම් ඇතුළට යන්න හිතන්නවත් බැරි උනා. මුල්ම දිනයේ හවස 5ට යනකොටත් පාකිං ෆුල්. හෙවෙනිය ගිය දිනයේ උදේ 8.45ට යනකොටත් පාකිං ෆුල්. පොඩි කට්ටක් කාල එලියෙ හදල තිබ්බ පාක් එකේ දාගත්තෙ. 
  5. මැගී කාල බඩගින්න නිවා ගන්න හිතනව නම් ඒක අමතක කරන්න. යන්න මවුන්ට් ලැවීනියා එකෙන් දාල තියෙන ගමේ කඩේට. කඩල, මය්යොක්ක, බතල, රොටී, නූඩ්ල්ස්, කාල බඩ පුරවගන්න සමානම මිලට. සරුවත් එකක්, දොඩම් වීදුරුවක් බොන්න පිපාසයට. (මුදල් ගෙවා පළ කල ඇඩ් එකක් නොවේ)
  6. යන්න ඉස්සෙල්ල මැප් එක හොයනව නම් Colombo International Book Fair Facebook Page එකේ චෙක් කරන්න මුලින්ම. 
  7. පොත් හා කතුවරු හොයන්න මම භාවිතා කළේ grantha.lk වෙබ් අඩවිය. ඒකෙ All Books ගිහිල්ල පිටුවෙන් පිටුව බල බල පොත් තේරුව. ඒව Google Keep එකේ ප්‍රකාශකගෙ නමත් එක්ක දාගත්ත. එතකොට අදාල ප්‍රකාශක කුටියට ගියාම බලාගෙන බලාගෙන අරගෙන අරගෙන ගියෑකි. 
  8. ක්‍රෙඩිට් කාඩ්, අර ගිය අවුරුද්දෙ දුන්නු MyBookClub කාඩ් එකට කියල නම් කිසිම අමතර වාසි නම් තිබුණෙ නෑ මේ පාර. නමුත් ඒව අරගෙන යන්න එන පාරත්. සමහරවිට තිබ්බොත් එහෙම. 
  9. ෆේස්බූක් පොත් සම්බන්ධ ගෲප් වල සාමාජිකයින්ට අමතර වට්ටම් දෙන වෙළඳ කුටි තිබ්බ. ඒ නිසා එවත් පොඩ්ඩක් මතක තියාගෙන ගිහිල්ල මුදල් ගෙවනකොට අහන්න. මට එකක්වත් කියන්න මතක් උනේ නෑනෙ.
ඔය ටික තමා කියන්න තියෙන්නෙ. 
මේ ලිපිය මීට ඉස්සෙල්ල හාන්න තිබ්බ නම් තව ගොඩක් දේ ලියන්න තිබුණ. :( සමාවෙන්න ඒක බැරි උනාට.


මම හා මගෙ නෝන මිලට ගත්තු පොත් එකතුව මම මුහුණු පොතේ දැම්ම. මේ පහළ තියෙන්නෙත් ඒවමයි. 











කවුරු හෝ මිතුරන් හමුවෙයි කියල හිතුව. හමු උනේ නම් එකම එක මිත්‍රයයි. මාව දැකල ඇවිල්ල කතා කළාට ඔහුට මගේ ස්තුතිය.



එහෙනම් ලබන වසරේ පොත් ප්‍රදර්ශනයේදී හමුවෙමු.


Tuesday, September 17, 2013

මේ පාරත් Book Fair ගියාලු

මේ පාර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා නම් තමයි, නමුත් ගිය පාර වගේ ලිපි ලියන්න බැරි උනානෙ.
ගිය පාර නම් යන්න ඉස්සෙල්ලත් එකක් ලියල, ගිහිල්ල ඇවිල්ලත් එකක් ලිව්ව. මේ පාර ගිහිල්ල ඇවිල්ල තමයි ලියන්නෙ. 
මේ ලිපි වලින් හොඳ පොත් ලිස්ට් එකක් හදාගන්න උනත් පුලුවන් වෙයි මේ පාර යන අයට.

මේ තියෙන්නෙ මම සහ අපේ නංග ගත්තු පොත් සෙට් එක. අම්මත් ගියානෙ. 


1-10 මම ගත්තුව, 11,12 අම්ම ගත්තුව, 13-19 නංගි ගත්තුව. 

1. පන්සිය පණස් ජාතක පොත
2. තෙවන ඇස - ලොබ්සාන් රම්පා
3. ජීවිතේ අභියෝග වලට සතුටින් මුහුණ දෙන හැටි - අජාන් බ්‍රහ්මවංසෝ
3. සිත් තැවුල් ඇති කරගන්න එපා, බලාපොරොත්තු සහගත වන්න. - අජාන් බ්‍රහ්මවංසෝ
4. විමුක්ති රසය - අචාන් චා
5. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 3
6. සප්ත අපරිහාණී ධර්ම
7. ඈ සහ ඇලන් - රයිඩර් හැගාඩ්
8. අස්වැන්න - ජයසේන ජයකොඩි
9. මිහිකතේ ගීතය - ආතර් සී. ක්ලාක්
10. චන්ද්‍ර ගවේෂකයෝ - ආතර් සී. ක්ලාක්
11. පාරමිතා ප්‍රකරණය - රේණුකානේ චන්දවිමල
12. පුණ්යෝපදේශය - රේණුකානේ චන්දවිමල
13. දිණමිණ සූප ශාස්ත්‍රය 
14. ලන්තෑරුම් දහසේ නිවස - වික්ටෝරියා හෝල්ට්
15. බඹර තුඩේ අභිරහස
16. A bend in the road - Nicholas Sparks
17. Why didn't they asked Evans? - Agatha Christi
18. Diamond in the rough - Diana Palmer
19. Death in the clouds - Agatha Christi

අනාගත සැළසුම් සඳහා මුදල් ඉතුරු කරගන්නත්, ගිය අවුරුද්දෙ ගෙනාපු පොත් ඔක්කොම තවමත් කියවල ඉවර නැති නිසත්, මේ පාර ගත්තෙ පොත් පොඩ්ඩයි. 

මේ පාර කට්ටිය හරියකට සෙට් වෙන්න බැරි උනා. නමුත් ටික ටික හරි මුණ ගැහුන. මමයි මගෙ කෙලි පොඩ්ඩයි ගියා. නිසුපා සහ බට්ටි කෙල්ල පරක්කු වෙලා ආවා, නෙරන්ජි, සිහින, චින්තක පස්සෙ සෙට් උනා, අයිස් සහ ඩී.ජේ ආව කිව්වට මට හම්බුනේ නෑ. අපේ දිමුතු ආවට මිනිහ ආපු ගමන්ම වගේ වාෂ්ප වෙලා තිබුනා. දුක්බර ලෙස උදිතට එන්න බැරි උනා මොකෝ ඌ දේස දීපංකරේ ගොහිල්ල නිසා.

කට්ටිය හරියකට සෙට් උනා නම් පොඩ්ඩං පාටියක් දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මමයි මගෙ කෙල්ලයි ඉක්මනට ගියානෙ. (මම නම් ආපහු ආව). 
සිව්මාන ක්‍රියේෂන්ස් අනුග්‍රහයෙන්, මම මගෙ කෙලි පොඩ්ඩට ඇනිවසරි කාඩ් එකක් දුන්න. වැඩේ කියන්නෙ ඔක්කොම එදා එකම පාටට ගැළපුනානෙ. :)



Saturday, December 17, 2011

Image Today අතුරු කතා සහ අවාසනාවට ඇත්ත කතාව

දැන් නම් කට්ටියට අමතකද දන්නෙත් නෑ, මෙහෙම එකකට අපි ගියා කියල. (තව බ්ලොග් ලියන පිස්සො ටිකකුත් සෙට් උනා කියල මම කිව්වෙ.)
අවාසනාවට ඇත්ත කතාවක් කිව්වට මේක සතුටුදායක විදිහට අවසන් නම් උනා. මැද ටික විතරයි අවාසනාවන්ත. :D
මම ඉස්සෙල්ල කිව්වනෙ Image Today Exhibition එකට ගිය එක ගැන. ඒක කියෙව්ව නේද? නැත්තම් දැන්මම කියවල එන්න.

එක තැනකදි දැක්ක, අපි ෆොටෝ එකක් දුන්නොත් එයාල කැලැන්ඩර් එකක් ප්‍රින්ට් කරල දෙනව කියල. නොදොවකින්. මුලින් දන්නව නම් හොඳ ෆොටෝ ටිකක් පෙන් එකටවත් දාගෙන එනවනෙ. :( මම පෙන් එකත් සාක්කුවෙ දාගෙන ඒත් වැඩක් වෙන එකක් නෑ කියල ආපහු තියල ආවනෙ. සන්ජය කියනව අපි දෙන්න එකට ඉඳල එකක් අරගෙන ප්‍රින්ට් කරල කෙල්ලන්ට දෙමු කියල. :D :D එහෙම කොරල අල කන්ඩද. මම කීව ඒක හරියන්නෙ නෑ කියල. මම ශොප් එකේ එකාටත් කීවෙ කෙල්ලත් එක්ක ආව නම් දෙන්නගෙ ෆොටෝ එකක් දාගන්න තිබ්බනෙ කියල. :( 
ඊට පස්සෙ ඉතින් බැලුව ෆෝන් එකේ තියෙන ෆොටෝ වලින් මොකුත් කරගන්න බැරි වෙයිද කියල. මගෙ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ වලින් එකක් තෝරගත්ත. අරූගෙ ෆෝන් එකෙත් තිබ්බ ෆොටෝ එකක් තෝරගත්ත. ඉතින් ඒකත් මගෙ ෆෝන් එකටම දාගෙන ගියා අතනට ආපහු. අනේ මූ කියපි microsd card බෑ කියල. කොරහන්කො, ඉතින් මොකෝ කරන්නෙ. ඉතින් මගෙ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික අරූගෙ කැමරාවෙ කාඩ් එකට ගන්න ක්‍රමයක් හොය හොය මුලු ප්‍රදර්ශනේ වටේම ඇවිද්ද. ලැප්ටොප් තියෙන හැමතැනින්ම ඇහුව. (කැමරාවෙ කාඩ් එක SD එකක්නෙ, ඒක අතන රිඩර් එකෙන් රිඩ් කළෑකිනෙ.)

ඕව හොයන් යන අස්සෙ, Model shoot දෙකටම අරූ සෙට් උනා. (ඉස්සෙල්ල පෝස්ට් එකේ මොඩ්ල්ස්ලගෙ ෆොටෝ ටිකක් මම දැම්ම. ඒ මගෙ මිත්‍රයගෙ වැඩ තමයි. දැක්කෙ නැත්තම් ගිහිල්ල බලන්නකො.)
මිලින්ද වීරසේකර අය්යවත් සෙට් වෙලා එයත් එක්කත් කතා කර කර හිටිය ටිකක්. ඒ අස්සෙ මම ලැප් එකක් ගන්නට තියෙන ඕනෙකම ගැනත් එයාට කීව. (එයා වැඩ කරන්නෙ HP, Apple Official Dealer වන DMS එකේ.) බජට් එක පොඩී නම් Unity එකෙන් ගන්නය කියල. Laptop.lk එකත් හොඳයි කිව්ව එකම කෙනා. එහෙම අරගෙන DMS එකේ Care Pack එක දාගන්නය කීව (අවුරුදු 3නේ වොරන්ටියට රු.15,000යි).
තවත් ඉතාම වැදගත් දෙයකුත් කිව්ව. Unity එකේ තියෙන ගොඩක් ලැප් Asian Region එකට හදපුව නෙමෙයිලු. ඉතින් මෙහෙ ඒවට spare parts නෑලු හරියට. අනිත් එක Climate වෙනස නිසා හුඟක් ලැප් අවුල් යනවලු. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඇයි මේ කට්ටිය HP ලැප් හොඳ නෑ කියල කියන්නෙ කියල. ඉතින් ගන්නකොට ටිකක් පරිස්සමින් ගන්න කීව. Middle East Region එකට හදන ලැප් ගොඩක් තියෙනවලු Unity එකේ. අන්න ඒවයින් බොහොමයක් මොඩල් වලට spares මෙහෙට එවන්නෙම නෑලු. ඉතින් එහෙම එකක් සෙට් වෙලා ඒකට කෙල උනොත්, කෙලාම තමා. :(

හරි හරි, ආපහු කතාවට. ඉතින් මම කීවනෙ අපි හැමතැනම ගියා කියල ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික SD card එකට ගන්න ක්‍රමයක් හොය හොය. හම්බුනේම නෑ, හවස 4.30 විතර වෙනකොට දෙන්නට හොඳටම හෙම්බත්. වැඩේ අතාරින්නත් හිතුන. අපේ දිනේශ් සහෝගෙත් ලැප මැරිල, චාජරෙත් නෑ. ඌ කීව බොරැල්ලට ගිහිල්ල කරගෙන වරෙන්කො කියල. අලුත් බලාපොරොත්තුවක්. අපි ඉතින් එලියට ආව. පස්සෙ කල්පනා කරල වැඩි ෂුවර් එකටත් එක්ක බම්බලපිටියට ගියා. ගිහිල්ල communications දෙක තුනකින් ඇහුව, ම්හ්. :( ඊට පස්සෙ මොකෝ කළේ, අපිට කරගන්නම ඕනෙනෙ. MC එකේ කඩේකට ගිහිල්ල MicroSD Card Reader එකක් සල්ලි වලටම ගත්ත රු.150ක් දීල.
ඉතින් ඕකත් අරගෙන උඩ පැන පැන ආපහු BMICH ඇවිල්ල මගෙ ෆෝන් එකේ කාඩ් එක අරකට ගහල අර ස්ටෝල් එකේ එකාට දුන්න.
හරිම සතුටුයි කියන්න, මගෙ කාඩ් එකේ මොකාක් හරි අවුලක්, මැෂින් එකෙන් ගන්නෙ නෑ. ඉතින් මොකෝ කරන්නෙ. ඔන්න මේ යකා කාඩ් එක රීඩර් එකෙන් ගලවල උගෙ කාඩ් රීඩර් එකට ගැහුවනෙ. 
අපි දෙන්නට නේද, පස්ට හැපී, කාඩ් එක රීඩ් කරගන්න පුළුවන් නිසා නෙමෙයි, දෙන්නට දෙපැත්තෙ ඉඳන් අරූගෙ කණ් දෙක රත් කරන්න හිතුන නිසා. ඇයි දෙය්යනේ, මූ ඉස්සෙල්ල MicroSD රීඩ් කරන්න බෑ කීව නිසානෙ අපි පැය ගාණක් කකුල් කඩෙත්තුව හැදෙනකම් එහෙට මෙහෙට ඇවිද්දෙ. :(
ඊට පස්සෙ හරි ගියෙ නැති තැන තවත් එකක් මතක් උනා, දුක කියන්නෙ ඕක ඉස්සෙල්ල මතක් උනේ නෑනෙ. සන්ජයගෙ ෆෝන් එකේ තිබ්බෙ MiniSD එකක්. ඒකට ආපහු ෆයිල් ටික දැම්ම, ඒක රීඩර් එකට දාල ෆොටෝ ටික මැෂිමට ගත්ත. 
ආපහු ශෝක්. උන්ගෙ කැලැන්ඩර් එකේ PSD එක නෑ. ඉතින් පුළුවන් Portrait විදිහට විතරයි, අපි දෙන්න දුන්න ෆොටෝ දෙක landscape. ඉතින් මොකෝ කොරන්නෙ, තව ෆොටෝ දෙකක් අමාරුවෙන් හොයල දාල දුන්න. යන්තම් ඔන්න එකා කැලැන්ඩර් දෙක ගාණෙ ප්‍රින්ට් කරගත්ත. (එකකට 150/=යි. )
ඉතින් ඔහොම මහන්සි වෙලා ලැබුනු ප්‍රථිපලේ තමා මෙන්න මේ පහල තියෙන්නෙ.

සයිස් එක අඟල් 13*19යි.

ඒ වෙනකොට වෙලාව හවස 5.30ත් වෙලා. ඊට පස්සෙ කෙලින්ම ගෙදර එන්න පිටත් උනා. 
මම ගෙදර එනකොට රෑ 7.30 විතර උනා. එවෙලෙම ලියන්න හිතුනත්, මහන්සි නිසා බෑ කියල හිතුව. 

ඔන්න ඔහොමයි උනේ. ඔන්න ඔහොමයි අච්චර දුක් විඳල අන්තිමට කතාවට ලස්සන අවසානයක් දුන්නෙ. :)

Tuesday, November 8, 2011

"Image Today" බලන්නට ගියෙමි සහ තවත් කතා

ලිපිය ලියන්න පරක්කු උනේ ඒව මේව ටිකක් සපයගන්න පරක්කු උන නිසයි. (තවත් දේවල් ටිකක් ලැබුනෙ නැති නිසා අද ලිපිය දානව කියල හිතුව.)
"මි" කිව්වට "මු" වෙන්න ඕනෙ හරි නම්. මොකද මම තනියම ඇතුළට ගියාට ඇතුලෙදි තව සෙට් එකක් සෙට් උනා නෙව.
හරි. "Image Today" කියල කියන්නෙ, පසුගිය සති අන්තයේ, BMICH එකේ පැවති ඡායාරූපකරණය සම්බන්ධ ප්‍රදර්ශනයක්. ඒකෙ තිබුනෙ ඡායාරූපකරණයට සම්බන්ධ වෙන ගොඩක් දේවල්. කඩ තමා වැඩිපුරම තිබුනෙ.
හරි කියන්නම්කො විස්තර.
මේකෙ තිබුන, කැමරා හා උපකරණ විකිණීමට, ඕඩර් කිරීමට. Fuji, Canon, Nikon, Olympus, Kodak, Benq වගේ ප්‍රසිද්ධ කැමරා මාදිලි.
ඡායාරූප මුද්‍රණය සම්බන්ධ මුද්‍රණ යන්ත්‍ර හා වෙනත් මුද්‍රණ යන්ත්‍ර, තීන්ත, කඩදාසි වගේ හැම දෙයක්ම මිලට ගන්න, බලන්න, ඕඩර් කරන්න පුළුවන්කම තිබුන.
මංගල උත්සව සම්බන්ධ දේවල්. ඇල්බම් හදන කට්ටිය, ඇල්බම් හදන උපකරණ, විඩියෝ හදන කට්ටිය, වීඩියෝ හදන්න පුළුවන් මෘදුකාංග, සඟරා...
ඡායාරූපකරණය සම්බන්ධ පොත්, සඟරා. (මේ පොත් නම් ඔක්කොම ඉංග්‍රීසි, පට්ට ගණං, සඟරා නම් තිබ්බ)
Lighting Equipment. Flashers, Reflectors, Diffusers, වගේ දේවල්.
ඡායාරූපකරණය සම්බන්ධ පොඩි වැඩමුළුත් තිබුන වෙලාවෙන් වෙලාවට. (අතුල රණරාජා මහතාගේ, ශාක්‍යා ස්ටුඩියෝ එක අයිති නිවේදකයාගේ (මට එයාගෙ නම මතක නෑනෙ. :( ) ) ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයාගෙත් එකක් තිබිල තියෙනව, අපි දැක්කෙ නෑනෙ. :( 
ඔක්කොටම වඩා, වැඩිපුරම කට්ටිය සෙට් උනේ Model Shoot එකට. Model Shoots දෙකක් තිබුන. එකක් තෙවෙනි ඇසේ කට්ටිය සංවිධානය කරල තිබුනු එකක්. අනිත් එක Heyleys ආයතනයේ FujiFilm stall එකේ තිබ්බ එකක්.




මෙම ඡායාරූප, සන්ජය විපුල අනුග්‍රහයෙනි.

Fuji ආයතනය විසින් අලුතින් කැමරාවකුත් හඳුන්වා දුන්නා. (DSLR එකක්ද කොහෙද, මම හරියටම දැක්කෙ නෑ. කීවෙ, ඒක Professional හෝ Advanced Amateur දෙගොල්ලන්ටම ගැලපෙන එකක් කියල. රු. 75,000 කැමරාව හඳුන්වාදීමේ මිල රු. 50,000යි.)
Heyleys stall එකෙන් raffle draw එකකුත් තිබ්බ. (ඒක ගැන නම් මම කතා කරන්නෙ නෑ. :D )

හරි හරි. ඉතින්, මම මුලින්ම යන්න හිටියෙ මගෙ යාලුවෙක් වෙන සන්ජය එක්ක. ඌ තමා මගෙ Photography companion. ෆොටෝ ගහන වැඩක් නම් ඌ එක්ක තමා ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ. ඉතින් මූ බෑ කීවනෙ. (මම ඉස්සෙල්ල ෆොටෝ ෆෙයා ගිය වෙලාවෙ ෆ්‍රී ටිකට් දෙකක් ගත්තෙත් මූටයි මටයි කියලනෙ.) 
ඔය අතරෙ බ්ලොගෝලයෙ යාළුවන්ගෙන් ඇහුවම කවුද එන්නෙ කියල, චාපා, ශිරෝෂි, ගෙහාන් එහෙම එනව කීව. තව කිහිප දෙනෙකුත් එනව කීවලු. ඉතින් උන් නිසාම මම සෙනසුරාද යන්න හිතන් හිටි එක ඉරිදට වෙනස් කළා. වෙලාවත් පොඩ්ඩක් ඉස්සර කරල 11 යන්න හිටි එක 10ට අඩු කළා. මගෙ ලඟ ටිකට් තුනක් තිබුන, දෙකක් ටිකට් කියන්නම පුළුවන් ටිකට්, තෙවැන්න මගෙ ෆෝන් එකට ආපු එස් එම් එස් ටිකට් එක. :) චාපා ඕනෙ කීවනෙ ටිකට් දෙක. ඉතින් සෙනසුරාද ටිකට් දෙක එයාට නොමිලේ වික්ක. ගෙහාන්ට එකක් ඕනෙ කීව, ඒත් ඉතින් පරක්කු වැඩීනෙ එතකොට, ඒත් මම කිව්ව ඇතුළට ගන්නම් කියල. ;)

මම ඉතින් ඔන්න බස් එකේ යනකොට BMICH එකට යන්න, අර මගෙ යාළුව ඔන්න කතා කරනව "උඹට හැමදාම පොල්ල තියන්න බෑනෙ බන්, මම එනව, 11 විතර වෙයි" කියල. ඉතින් මමත් "හා" කීව. ඌ නම් කැමරාවත් අරගෙන කීව එන්නෙ. මම 10ට කොළඹ කැම්පස් එක ගාවින් බැස්සම මෙන්න චාප රිං කොරල. කතා කරල බැලුවම ශිරෝෂි ඇවිල්ලලු. ඉතින් එයාට කතා කරල බැලුවම මෙන්න කැන්ටිමට වෙලා ඉන්නවලු. මම ඉතින් ගිහිල්ල බැලුවම මෙන්න ඉන්නව තව දෙතුන් දෙනෙක් එක්ක. බැලුවම, සිංහයා, ස්කූබි ඩූ, අනේ අනිකගෙ නම තාමත් මතක් වෙන්නෙ නෑ නෙව. :( සොලි හොඳේ. 
ඉතින් කොහොම හරි ගියගමන් කිරි පැකට් දානෙකට සෙට් උනා. මමත් ඉතින් වේලිලා උන්නු නිසා පිං දීල බිව්ව. එකෙක්ට නම් මදිත් වෙලා පැකට් එකට වතුර ටිකකුත් දාල බොන්න හැදුව. ;) ඒත් එක්කම දැනගන්න ලැබුන, එයාගෙ ප්‍රියතම ප්‍රශ්නෙ (කවුරුහරි එයාගෙන් අහනවට කැමතිම ප්‍රශ්නෙ) "උඹ කාලද?" කියන එකලු. කිරි පැකට් එකක් බිව්වට දෙක තුනක් විතර වේලෙනකම් බලා හිටිය චාප එනකම්. ආ අමතක උනානෙ, තව එකෙක් කිරි බෝතලයක් අරගෙන ඇවිල්ල ඒක මේසෙ යට හංගගෙන තනියමම බිව්වනෙ. :( 
ආ ඔය ඉන්න අතරෙ පිංතූර පෙට්ටියෙ දිනේශ් සහෝදරයවත් සෙට් උනානෙ. :) ඌ නම් කීව 100ක් දීල බලන්න දෙයක් නෑ කියල. :( මට දුකත් හිතුන එහෙම කීවම (මට නම් ඉතින් කොහොමත් ෆ්‍රී නෙ.) ගුටි කන්න වෙයිද කියලත් හිතුන. මොකද මම සන්ජයට කතා ගොඩක් කියල තිබ්බෙ. ඔය අතරෙ ඌට කතා කළාම ඌ කීව අවුලක් නෑ බලමුකො, Model Shoot එකකුත් තියෙනවලු, ඒක නිසා කමක් නෑලු.
ඉතින් ඒක මම අරුන්ටත් කීව, බලමුකො කීව. ඉතින් ටිකට් ගන්නත් එපැයි, ඉතින් මොකෝ කළේ, මම හැමෝටම ෆ්‍රී ටිකට් දුන්න. :D :D :D. මට ආපු මැසේජ් එක හැම එකාටම ෆෝවඩ් කළා. චාපට ටිකට් එකක් දුන්න. ඉස්සෙල්ල දෙකක් ඉල්ලපු එකී මෙන්න එකයිලු ඕනෙ කියනව. ඉතින් අනිත් එක තියාගත්ත, පස්සෙ එනව කිව්ව ගෙහාන්ට. (ඒත් ඉතින් ටිකට් එකකුත් තියාගෙන ඉඳල මූ ආවෙ නෑනෙ. :( නැත්තම් හොරෙන්ම ආවද දන්නෙත් නෑ. :D ) ඔන්න ඉතින් ඊට පස්සෙ අපි කැන්ටිමෙන් පිටත් උනා. 
සිරිමාවෝ හෝල් එක ගාවට ආවම මෙන්න තියෙනව එක එක තොරොම්බල් කඩයක්. ඒකෙ හිටපු සර්පයෙක්ට ශිරෝශි බය උනානෙ. මට හරි වෙලාවට ෆොටෝ එක ගන්න බැරි උනා, චුට්ටක් ඉක්මන් උනානෙ. :( ඔක්කොටම වඩා දුක කියන්නෙ ඒ ගත්තු ෆොටෝ එකත් අතුරුදන් වෙලා තියෙන එක. ගෙදර ඇවිල්ල ෆෝන් එකේ බලනකොට ෆොටො එක නෑ. ( ;) )
ඊට පස්සෙ මම ඉතින් ස්කූබි ඩූ ට කිව "අපි බෙදිල යං" කියල. ඊට පස්සෙ මුන් බයේ යම්දෝ නොයම්දෝ කියල. මම ගියා ඇතුළට, sms එක පෙන්නල ගියා. අරුන් sms එක පෙන්නනකොට ඇහුවලු sms එක forward කරගත්තද කියලත්. කොහොම හරි ශේප් වෙලා ආව ඇතුළට. තව පොඩ්ඩෙන් ගුටිත් කනව, ඔය ඉන්දියන් කාරයො ලේසි නෑ. :D
ඇතුළෙ ඉතින් යනකොට සන්ජය කතා කලා ඌ ආව කියල. ඊට පස්සෙ ඌ එක්ක සෙට් උනා. බ්ලොග් කස්ටියගෙන් වෙන් උනා. වෙන් උනා කීවට එක එක වෙලාවට උන්ව සෙට් උනා. :) 
ඉතින් අරූ එක්ක වටේම ගියා. බ්ලොග් කස්ටිය නම් 2-3 වගේ වෙලාවක පිටත් වෙලා ගියා, උන් මම එනකම් කන්නත් බලන් හිටියලු, මම ඉතින් සන්ජය එක්ක රවුමේ නෙ. උන්ට කන්න කීව. 

ඔන්න ඔය අතරෙ තමා අවාසනාවට ඇත්ත කතාව පටන් ගන්නෙ. :D 
අන්න ඒ කතාව ටිකක් දිග නිසා මම ඒක වෙනමම පෝස්ට් එකක් විදිහට දානව. (link එක ක්ලික් කොළාද, තාම ඒ ලිපිය රෙඩි නෑ හලෝ. :) )

ඔය අතරෙ මට තව මිත්‍රයෙක් මුණගැහුනනෙ. මුහුණු පොතේ මිතුරු ධනන්ජ ෂශින්ද ඇල්විටිගල මල්ලි. මිනිහත් තව සෙට් එකක් එක්ක බැහැල හිටියෙ. (බලහන්කො, මූ ගෙදර ආවටත් පස්සෙ කියනව ඉන්ද්‍රනාථ මහත්තය එහෙම හිටිය කියල, එවෙලෙ කීවෙ නෑනෙ. :( මට ඉතින් නේද මුගෙ ඔලුව අතගාන්න හිතුන ටිකක් තදට. දැක්ක නම් කතා කරල එන්නත් තිබ්බ. :(

බලන්නකො මේ පහළ තියෙන්නෙ ප්‍රදර්ශනේ තුළ මම ගත්තු ෆොටෝ හා විඩියෝ ටිකක්.

මේ ඉන්නෙ මගෙ මිත්‍රය, සන්ජය 
















මම එකතු කරගත්තු ඒව මේව ටිකක් ඔන්න.

මේක දැන් ඇති වගේ. අර කතාව ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. බ්ලොග් කාරයො ටික එක්ක ගත්තු ෆොටෝ එක ලැබෙනකම් දවස් දෙකක් බලාහිටිය, ඒත් නොලැබුනු තැන අද පෝස්ට් එක දැම්ම. (මේක ගැන තමා උඩමදි කිව්වෙ.)

එහෙනම් මම නවතිමි.

Sunday, September 20, 2009

මාත් ගියා අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බලන්න.



BMICH හිදී 11 වන වරට මෙවරත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය දැන් පැවැත්වෙනවා. ඊයෙ තමයි ආරම්භ උනේ, 27 වෙනිදා වෙනකම් මේක පැවැත්වෙනව.


ඔන්න ඉතින් මමත් ගියාලු අද ඒක බලන්න. පරණ යාළුවො ටිකකුත් සෙට් කරගෙන තමයි ගියේ. පරණ යාළුවො කිව්වට එකෙක්වත් පරණ නෑ, මම, මගෙ නංගි, අපේ අක්ක, උදිත, නිසුපා, දිමුතු සහ මනෝරි අක්ක. තව අපේ මිතුරියකට කතා කළා, අවාසනාවකට වගේ එයාට මේ දවස් වල විභාගයක්, දවස පරක්කු කළොත් අපේ අක්කගෙන් බැනුම්, එයාට එන්න වෙන්නෙ නෑ කියල. අර යාළුව නම් එයාගෙ කැම්පස් යාළුවො එක්ක යනව කිව්ව.

කොහොම හරි උදේ 9 වෙනකොට අපි BMICH එකේ. රෑ වැටුනු වලේ දවලුත් වැටෙමින්, ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් ටිකට් ගත්ත. (විශ්ව විද්‍යාල සිසුන්ට ඇතුළුවීම නොමිලේ.) කමක් නෑ, ඒ සල්ලි ශිෂ්‍යත්ව අරමුදලකටනෙ යන්නෙ. හවස 5 වෙනකම් හිටිය. මගෙ නංගි, අක්ක, නිසුපාට නම් හවස් වෙනකොට එපා වෙලා හිටියෙ. 

කොහොමහරි මහලොකු මුදලක් අරන් ගියෙ නෑ, මේ දවස් වල ආර්ථික අවපාතයක්නෙ. පොත් කිහිපයක් ගත්ත. 
ලියොන් ගාර්ෆීල්ඩ් ගේ "ස්මිත්"
"තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අප්‍රකට ජනප්‍රවාද"
චින්ගීස් අයිත්මාතොව් ගේ "සමුගනිමි ගුල්සාරි"
අර්ල් ස්ටැන්ලි ගාර්ඩ්නර් ගේ "අවිවේකී රූමතිය"
මේරි ශෙලී ගේ "ෆ්‍රැන්කන්ස්ටයින්"
ජෑන් ක්නැපර්ට් ගේ "ගෝහා"
ඔය කිව්ව පොත් තමයි ගත්තෙ. මේ අමුතු නම් තිබ්බට ඔක්කොම සිංහල හොඳේ. 

මගේ චින්ගීස් අයිත්මාතොව් ගේ සියළු පොත් එකතු කිරීමේ ඉලක්කයට තව ඒකක එකකින් ලන් උනා සමුගනිමි ගුල්සාරි සමඟ. එය පමණමයි මට සොයා ගතහැකි වූයේ චින්ගීස් අයිත්මාතොව්ගේ පොත් වලින් මගෙ ලඟ නැති. ගුරු ගීතය එහෙම නම් වැහි වැහැල වගේ හැමතැනම තිබුනා.
ෆ්‍රැන්කන්ස්ටයින්, මමයි නංගියි දෙන්නම කියවල තිබෙනව, නමුත් නංගිට ඕනෙ කිව්ව නිසා ගත්ත.
උදිත නම් ලොකු පොත් සෙට් එකක් ගත්ත.

සමහරවිට මම අපේ කැම්පස් එකේ යාළුවො එක්කත් යන්න ඉඩ තියෙනව. බලමුකෝ. අද සෙනඟ නම් හිටිය හුඟාක්. සමහර වෙළඳ කුටි තුළ විශාල තදබදයකුත් තිබ්බ.

ගන්න ආස පොත් නම් එමටයි, මට සුවිප් එකක් ඇදුන නම් මම ලොරියකට ඇති වෙන්න පොත් ගන්නව. කොහෙද එච්චර වාසනාවක්.