Showing posts with label forklore. Show all posts
Showing posts with label forklore. Show all posts

Friday, October 23, 2020

ඇත්තටම සද්දෙට විද්දෙ අන්දරේද???

මම කාලෙකට ඉස්සර තොටගමුවේ රාහුල හිමියන්ගේ ජනප්‍රවාද ටිකක් කිව්වා ඔයාලට මතක ඇති.

ඒව කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහිල්ලා ඒවා බලන්න.

අද කතා කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ එක් ප්‍රසිද්ද ජන කතාවක් ගැන .

සමහවිට ඕගොල්ලෝ අහලා ඇති ශබ්දය අහලා ගෙම්බෙක්ට ඊතලයක් විදල මරල දමපු කතාවක් ගැන 

https://www.123rf.com/photo_45703903_stock-vector-princess-frog-with-a-golden-arrow.html
https://www.123rf.com/photo_45703903_stock-vector-princess-frog-with-a-golden-arrow.html


මේ සම්බන්ධයෙන් ජනප්‍රවාද දෙකක් තියෙනවා. 

අංක 1 - අන්දරේ

ඔයාලා කවුරුත් හඳුනන අන්දරේ ගැන තමයි පළවෙනි කතාව. අන්දරේ හිටියෙ රාජාධි රාජසිංහ රජතුමාගෙ කාලෙ. ඔන්න එක කාලයකදි රජතුමාට හරිම කරදරයක් සිද්ධ උනාලු. රෑට රෑට රජතුමා නිදාගෙන ඉන්නකොට ගෙම්බෙක් ශබ්ද කරල රජතුමාට කරදර කරනවාලු. එතුමාට මේ ශබ්දය නිසා රෑට නින්ද යන්නෙම නෑ.

ඉතින් රජතුමා රාජපුරුෂයන්ට අණ කලාලු කළාලු මේ ගෙම්බව අල්ලල මරා දමන්න. රාජ පුරුෂයෙක් ගෙම්බව අල්ලන්න හුඟාක් උත්සාහ කළත් කිසිම අවස්ථාවක බැරි උනාලු. මොකද ගෙම්බ දවල්ට හොයාගන්න නෑ. රෑ කරුවලේ පේන්නෙ නෑ. 

ඉතින් අන්තිමට කරන්න දෙයක් නැති නිසා රජතුමා අණ බෙරයක් යැව්වා මේ රජතුමාට කරදර කරන ගෙම්බව අල්ලල මරා දමන කෙනෙක්ට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා.

හුඟක් අය ඇවිල්ලා උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ වුණේ නැහැ. මොකද දවල්ට මේ ගෙම්බා හැංගිලා තමයි ඉන්නේ. රෑට කවුරුහරි එළියක් කරල හොයන්න හැදුවොත් ගෙම්බ හැංගෙනව. 

ඉතින් කාටවත්ම බැරි වුණා මේ ගේම්බව අල්ලන්න.

මේක හරිම කරදරයක් උනු නිසා රජතුමා රාජ සභාවට ඇවිල්ලත් නිදි කිරනවා.  

ඉතින් අන්දරේට තේරුණා මේ රජතුමාගේ අපහසුතාවය. අන්දරේ රජතුමා ගෙන් ඇහුවා මොකද මේ කියලා. රජතුමා කතාව කිවුවහම අන්දරේ කිව්වා අන්දරේට පුළුවන් කියලා මේ ගෙම්බව මරා දමන්න.

ඔන්න අන්දරේ වැඩේ බාරගත්තා.

ඊළඟ දවසේ දුනු ඊතල එහෙම ලෑස්ති කරගෙන අන්දරේ කරුවලේම උයනට වෙලා ඔන්න පොකුණට පේන හරියක හැංගිලා හිටියා.

ඔන්න රෑ වෙනකොට ගෙම්බ කෑගහන්න පටන් ගත්තා. ඒත් ඉතින් මේ කරුවලේ අන්තරේට උනත් ගෙම්බව පේන එකක්ය, නෑනෙ. 

අන්දරේ මොකද කළේ, ඕනෙ එකක් කියල, ගෙම්බ ඉන්න දිහාවට ඊතලේ මානල විද්ද. ගෙම්බගෙ සද්දෙ නැවතුනා. ඉතින් අන්දරේ ගෙදර ගිහිල්ලා හොඳට නිදාගත්තා.

ඊළඟ දවසේ උදේ පාන්දරින් ඇහැරිලා අන්දරේ උයනට ඇවිල්ලා බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියල/ එතකොට දැක්කා ගෙම්බා ඊතලේ කෙලවරේ ඇමිණිලා පොකුණ ගාව වැටිලා ඉන්නවා. 

ඉතින් ඒ ඊතලය ඇනිච්චි ගෙම්බවත් අරගෙන ගිහිල්ලා අන්තරේ රජතුමාට පෙන්නුවා. මේක දැකල සතුටු උනු රජතුමා, අන්තරේට වස්තුව ගොඩකුත් දීල "සද්ද විද්ද" කියන නම්බු නාමයකුත් අන්දරේට දුන්න. 

ඔන්න එදා ඉඳල තමයිලු අන්දරේගෙ නමට "සද්ද විද්ද" කියල කොටස පට බැඳුනෙ. 

සද්ද විද්ද පළඟ පතිරණ රංපටබැඳී අන්දරේ .


අංක 02 - දස්කොන් අදිකාරම්

මේක ප්‍රසිද්ධ දස්කොන් ප්‍රමිලා කතාවේ කොටසක්.

ඔයාල දන්නව ඇතිනෙ ප්‍රමිලා බිසව, දස්කොන් අදිකාරම්ට ආදරය කරපු කතාව. මෙි ආදර පලහිලව්ව දැනගත්තු  රජතුමා දස්කොන් අදිකාරම්ව මරා දමන්න නියම කරනව. නමුත් ඔහුව මරන්න රැගෙන යනකොට කිව්ව කවියක් නිසා ඔහුට වාසනාවක් ලැබෙනව. වැඩේ ගොඩක් දුරදිග ගිහිල්ල කියල ඒ කවිව ඇහුණු රජතුමාට තේරුනු නිසා ජරතුමා ප්‍රමිලා සහ දස්කොන් දෙදෙනාවම පිටුවහල් කරනවා. මේ දෙන්න ඈත ගමකට ගිහිල්ලා අප්‍රසිද්ධියේ ජීවත් වෙනවා.

ඉතින් ඔන්න මෙතනදිත් අර වගේම ගෙම්බෙක් ඇවිත් රජතුමාට කරදර කරනවා.

රාජ පුරුෂයෝ උත්සාහ කලත් මේ ගෙම්බා මරා දමන්න ඔවුන්ට හැකි වෙන්නේ නැහැ. ඉතින් රජතුමා අණ බෙරයක් යවනවා ගෙම්බව මරා දැමිය හැකි කෙනෙක්ට තෑගි ලබා දෙනවා කියලා. 

ඉතින් මෙතනදි අර දස්කොන් අදිකාරම් වෙස් වලාගෙන ඇවිත් මේක කරන්න බාර ගන්නවා. රාජපුරුෂයන් රාජපුරුෂයන් රජුගේ භාණ්ඩාගාරයෙන් දුණු ඊතල මොහුට ලබා දෙනවා. ඉතින් දුනුදිය ඇද්දහම මේ දුනු කඩලා යනවා. මෙහෙම රාජ භාණ්ඩාගාරයේ තිබිච්ච සියළුම දුනු කැඩිලා යනවා, අන්තිමට ඉතුරු වෙන්නේ දස්කොන් අදිකාරම් ඒ කාලයේ පාවිච්චි කරපු දුන්න පමණයි. 

ඉතින් ඒ දුන්න භාවිතා කරලා රාත්‍රියේ දී ගෙම්බා කෑගසන විට ගෙම්බාගේ ශබ්දය ඇහෙන දිශාවට විදල දස්කොන්ට හැකි වෙනවා මේ ගෙම්බව මරා දමන්න. මේ දක්ෂතාවය නිසා දස්කොන්ට තෑගි බෝගත් ගම්වරයක් ලැබෙනවා හැබැයි ඒ කෙසේ වෙතත් රජතුමා දන්නේ නැහැ මේ දස්කොන් අදිකාරම් කියලා.

ඔන්න ඔහොම ජනප්‍රවාද දෙකක් ලංකාවේ සාහිත්‍යයේ තිබෙනවා ශබ්දය දෙසට මානා ගෙම්බෙකු මරා දැමීම සම්බන්ධයෙන්.

මේ දෙකෙන් කොයික හරියක ද කියා අපි දන්නේ නැහැ. 

Sunday, March 16, 2014

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සරස්වතී තෛලය (පුදුම මතකය)



හුඟ කාලෙකට පස්සෙ තමයි මේ කතන්දර සීරීස් එකට අලුතින් කතාවක් ලියන්නෙ. ඇත්තම කිව්වොත් ලියන්න හිතුනෙ මේ කතා වල පරණ කතාවකට මගෙ පාඨකයෙක් දාල තිබුණු කමෙන්ට් එකක් දැකල.
තොටගමුවේ හාමුදුරුවන්ගෙ කතා මම මීට ඉස්සෙල්ල කිහිපයක්ම කිව්ව. ඒව කියවපු නැති අය Stories ටැගයට ගිහිල්ල ඒව බලන්න. (ටැග් එකේ වෙනත් කතාත් ඇති, ඒවත් ඉතින් බැලුවට කමක් නෑ. ;) )

හරි. අද කතාව "සරස්වතී තෛලය (පුදුම මතකය)".
මේ කතාව නම් ටිකක් ප්‍රසිද්ධ කතාවක්නෙ. ගොඩක් අය දන්නවත් ඇති.

රාහුල හාමුදුරුවො කුඩා කාලෙ සිදුවුනු දෙයක් තමයි මේක. 
ඉතින් රාහුල හාමුදුරුඔ පොඩි කාලෙ, තමන්ගෙ ගුරු හිමියන් සිදු කරන අමුතු ගුප්ත චර්යාවක් ගැන උන්වහන්සේට පොඩි සැකයක් ආව. ඉතින් ඒ ගැන ටිකක් හෙවිල්ලෙන් ඉන්න රාහුල පොඩි හාමුදුරුවො හිතාගත්ත. 
ගුරුහිමියන්ගෙ කුටියට යාබදව තවත් කුටියක් තිබුන. මේකෙ තිබුනෙ රහස් බෙහෙත් වට්ටෝරු, වටිනා බෙහෙත් වර්ග එහෙම තමයි. ඉතින් ගුරු හාඅමුදුරුවො සමහර වෙලාවට මේකට වෙලා විවිධ දේවල් කරනව. නමුත් එලියට ආ ගමන්ම කුටිය යතුරු දාල වහනව. ඇතුළෙ මොනව තියෙනවද මොනව කරනවද දෙය්යො තමයි දන්නෙ.
මේක නිසා රාහුල හාමුදුරුවන්ට, මේ කුටිය ඇතුළෙ තියෙන්නෙ මොනවද කියල බලන්න ආසාවක් කුතුහලයක් ආව. ඒත් කොහොමද කරන්නෙ, ලොකු හාමුදුරුවො හැම වෙලේම මේක යතුරු දාල වහලනෙ තියෙන්නෙ. 
පොඩි හාමුදුරුවො ඒකට ක්‍රමයක් හොයාගත්ත. කාමරයේ පැත්තෙකින් තියෙන වා කවුළුවට ලං වෙන්න උන්වහන්සේට පුළුවන් උනා බිත්තියට හේත්තු කරපු ලී කොටයක් උඩට නැඟල.
එහෙම බලනකොට පොඩි හාමුදුරුවන් දැක්ක දෙයක් තමයි, ගුරු හාමුදුරුවො මොකක් හරි බණකට, ශාස්ත්‍රීය කටයුත්තකට එහෙම යනකොට අර කාමරයට ගිහිල්ල ඒකෙ තියෙන යම් කුප්පියක තිබෙන තෙලක්, පරෙවි පිහාටුවක තුඩට අරගෙන දිව අග ගාගෙන යනව කියන එක.
පොඩි රාහුල හාමුදුරුවන්ට මේක හරිම ප්‍රෙහෙලිකාවක්. කොහොමද මේක මොකද්ද කියල හොයාගන්නෙ???

ඉතින් පොඩි හාමුදුරුවො මේකට අල්ලගත්තෙ පුංචිත්තව. පුංචිත්ත මතකයිනෙ? ලොකු හාමුදුරුවන්ගෙ සේවකයා. පස්සෙ කාලෙක රාහුල හාමුදුරුවන්ගෙ හොඳම ගෝලයා උනෙ ඔහු තමයි.
ඔහුගෙන් උන්වහන්සේ දැනගත්ත මේ ල්ලොකු හාමුදුරුවො යාන්තම් දිවේ ගාගෙන යන්නෙ ස්මරණ ශක්තිය, ඒ කිව්වෙ මතක ශක්තිය දියුණු කරන මහෞෂධ තෛලයක් උනු "සරස්වතී තෛලය" කියල. 
දැන් ඉතින් රාහුල හාමුදුරුවන්ටත් ඉවසිල්ලක් නෑ මේකෙන් බිඳක් පානය කරන්න. 

ඉතින් ඔන්න දවසක් මැති ඇමති වරුන්ගෙ කටයුතු ටිකක් එක්ක, බණකට වඩින්නත් ලොකු හාමුදුරුවට සිද්ධ වෙලා තිබුණ. හොඳටම පර්අක්කු වෙලා තිබුණු නිසා ඉක්මනටම සරස්වතී තෛලය දිවග ගාගෙන ලොකු හාමුදුරුවො ඉක්මනටම පිටත් උනා. මේ කලබල අස්සෙ උන්වහන්සේට කාමරයේ දොර අගුලු දාන්න අමතක උනා. 
ඔන්න රාහුල හාමුදුරුවන්ගෙ අවස්ථාව. 
ඉතින් වෙලාව බලල පොඩි හාමුදුරුවො රිංගුව අර රහස් කාමරයට. බෙහෙත් තෙල් එකින් එක බලල සරස්වතී තෛලය තිබුණු කුප්පිය හොයාගත්ත. 
ඉතින් පොඩි හාමුදුරුවොත් ලොකු හාමුදුරුවො කළා වගේ චුට්ටක් අරගෙන දිව ගාල බැලුව. ම්හ්. කිසි වෙනසක් නෑ. ඔන්න ඒ අස්සෙ රාහුල හාමුදුරුවට අමුතුම කල්පනාවක් ආව. පරෙවි පිහාටුවකින් බිදක් අරගෙන වැලඳුවොත් මෙතරම් මතක ශක්තියක් එනව නම් ඔක්කොම තෙල් ටික වැළඳුවොත් අසාමාන්‍ය මතක ශක්තියක් එයිනෙ කියල හිතපු පොඩි හාමුදුරුවො මුළු තෙල් බෝතලයම කටට හලා ගත්ත.

පහුගිය ටිකේම රාහුල හාමුදුරුවන්ගෙ වැඩ ගැන පරික්ෂාවෙන් හිටි පුංචිත්ත දැක්ක රාහුල හාමුදුරුවො රහස් කුටියට වඩිනව. ඉතින් ඇතුළෙ වෙන දේවල් හොරන් බලාහිටියත් ඔහුට බැරි උනා පොඩි හාමුදුරුවන්ව නවත්වන්න. එතකොට වැඩේ වෙලා ඉවරයි. බෙහෙතෙ අධි මාත්‍රාවත් එක්කම පොඩි හාමුදුරුවො සිහි නැතිව ඇදගෙන වැටුන.
ඉක්මන් උනු පුංචිත්ත, පොඩි හාමුදුරුවන්ව ඇඳක සතපවල දුවල ගිහිල්ල සිද්ධිය කිව්ව ලොකු හාමුදුරුවන්ට. පිස්සුවෙන් වගේ නැගිටපු ලොකු හාමුදුරුවො රීයක වේගෙයෙන් පංසලට වැඩිය. මොකද රාහුල හාමුදුරුවන්ගෙ ජීවිතේ අනතුරේ නිසා. 

ලොකු හාමුදුරුවො පන්සලට දුවන් එන ගමන් ගමටම ඇහෙන්න කෑගහල හැම කිරිමවකටම පන්සලට එන්න කිව්ව. ලොකු හාමුදුරුවන්ගෙ සිංහ නාදය ඇසුනු හැම අම්ම කෙනෙක්ම, තමංගෙ දරුවන්ටත් කිරි පොවන එක තියල පන්සල්ට දුවන් ආව. මෙහෙම සිය ගාණක් අම්මල පංසලට ආව. ගුරු හාමුදුරුවන්ගෙ උපදෙස් අනුව හැමෝම තමන්ගෙ දෙතන කිරි අන්තිම බිංදුව දක්වාම බෙහෙත් ඔරුවකට දොවල දුන්න. ගුරු හාමුදුරුවො මුළු පන්සල් වත්තම පීරල බෙහෙත් හොයල බෙහෙත් හදල අර කිරි පිරුනු ඔරුවට ඒ බෙහෙත් මිශ්‍ර කළා. 
ඊට පස්සෙ රාහුල හාමුදුරුවන්ව බෙහෙත් ඔරුවෙ සතපවල, උන්වහන්සේ දන්න සියළුම යාග හෝම, ශාන්තිකර්ම, මන්ත්‍ර, ගුරුකම් ඔක්කෝම කළා. ඒත් කිසිම සුවයක් පේන්න නෑ. 
ඉතින් මොකද කරන්නෙ. අන්තිම බරපතල රෝගියෙකුට මරණාසන්න අවස්ථාවේදී පමණක් කරන නස්න ප්‍රතිකාරයකුත් අන්තිමට කළා.
ඒත් කිසිම ගුණයක් පේන්න නෑ. දෙය්යො හරි උන්වහන්සේව බේරා ගනීවි කියල ලොකු හාමුදුරුවොත් බෙහෙත් ඔරුව පැත්තකට වෙලා දුකින් බලා හිටිය.
යන්තම් ඔන්න උදේ වෙනකොට පොඩි හාමුදුරුවන්ට යන්තම සුව වන ලක්ෂණ ආව.
ඉතින් දවස් 7ක් එක දිගට බෙහෙත් ඔරුවෙම සතපවල කරපු අනෙකුත් ප්‍රතිකාරත් එක්කම උන්වහන්සේට සම්පූර්ණ සුවය ලැබුණ.

තව පොඩ්ඩෙන් මේ ලක්දිවට අගනා සේවයක් කරපු පඬිරුවනක් අපිට නැති වෙන්න තිබුණ.

කොහොමෙන් කොහොම හරි මේ තෙල වැළඳිම නිසා රාහුල හාමුදුරුවන්ට අසාමාන්‍ය මතක ශක්තියක් ලැබුන.

Sunday, August 14, 2011

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය - Part 2

අන්තිමට කතාව ඉවර උනේ කොහෙන්ද?...... ආ උපාසකයො රාහුල හාමුදුරුවන්ගෙන් මෙහෙම ඇහුව.
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?"  කියල.
කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහිල්ල කියවන්න.

රාහුල හාමුදුරුවො කියපි. 
"උඹල කෑ ගහන්නෙ නැතිව ඉදපියව්. පොල් කඩන දවසට උදලු ටිකකුයි පස් ඉවත් කරන්න කූඩ ටිකකුයි අරන් වරෙල්ල" කියල.
මොකද්ද අප්පේ ඒ කතාව??? පොල් කඩන්න මොකටෙයි උදලු??? පස් කූඩ?????
උපාසකයින්ට මාර ප්‍රශ්නෙ මොකද්ද මේ කතාව කියල. ඒත් ඉතින් සද්ද නැතිව උන්න.

ඔන්න දවස උදා උනා...
අහල පහළ ගම් වල විතරක් නෙමෙයි, ඈත ගම්මාන වල පවා කට්ටිය ඇවිල්ල සිද්ධිය බලන්න. මොකද වෙන්නෙ බලන්න. ඇයි අප්පේ රාහුල හාමුදුරුවො මොකද කරන්නෙ කියන්නෙ කියල බලන්න එපැයි. 

ගුරු හාමුදුරුවො උජාරුවෙන් ඉන්නව තමුන්ගෙ ගහේ ඵලදාව බල බල. රාහුල හාමුදුරුවොත් ගානක්වත් නැතිව ඉන්නව. හරි නම් මේ වෙලාවට පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් වෙන්න ඕනෙනෙ. ඇයි අනේ කඩන්නෙ අර පුවක් ගෙඩි සයිස් කළටි ගෙඩි ටිකද????

ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා ගුරු හාමුදුරුවන්ගෙ ගහේ පොල් ටික කැඩුව, මොන ටිකද, පොල් ගෙඩි 200ක් විතර!!!. කඩල ඒ ටික ගොඩ ගහල ගුරු හාමුදුරුවො ඔලොක්කුවට වගේ රාහුල හාමුදුරුවො දිහා බැලුව.
රාහුල හාමුදුරුවො හිනා වෙලා මොකද දන්නවද කිව්වෙ?
"උපාසක, ගනිල්ල ඔය උදලු ටික, හාරපල්ල පොල් ගහ වටේටම."
පුදුමයෙන් හාමුදුරුවො දිහා බලපු උපාසක ගොල්ලො උදලු කූඩ අරගෙන පොල් ගහ වටේ හාරන්න පටන් ගත්ත.
මෙන්න පුදුමයක්, පොල් ගහේ මුල පලාගෙන පොලු හැදිල, එකක් දෙකක් නෙමෙයි මහ විසාල ප්‍රමාණයක්, වළු ගාණක්. ගම්මුන්ට විතරක් නෙමෙයි මෛත්‍රී හාමුදුරුවන්ටත් අදහා ගන්න බෑ. ඇයි දෙය්යනේ පොල් මුලෙන් ගෙවි හැදෙනවද!!!! 
ඔක්කොම කැඩුව. කැඩුව කිව්වට ගහට නැගල නෙමෙයි, ගහටත් වඩා පහළට බැහැල. 
ඔක්කොම පොල් ගෙඩි 300කටත් වැඩී. ගුරු හාමුදුරුවො එතනිනුත් පරාදයි ගෝළයට.
මොකද වෙලා තිබ්බෙ?රාහුල හාමුදුරුවො දැනන් හිටිය හරියටම නැකතට වෙලාවට හිටෙව්වොත් පොල් මුලෙන් උනත් ගෙඩි හැදෙනව කියල. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය ඉහළට ඔසවන් ඉඳල වලට දානකොට නැකතෙන් ක්ෂණයක් පහු උනා. නමුත් රාහුල හාමුදුරුවො කළේ පොල් පැළය කකුලෙන් රඳවන් ඉඳල ගානට වෙලාවට වලට අත හැරපු එකනෙ. 
ඔන්න ඔහොමයි කතාව. එදත් කොහොම හරි ගුරා පැරදුනා ගෝළයට. අනේ එහෙමයි කියල මේ ගුරු හාමුදුරුවො කවදාවත් ගෝළයට වල කපල නම් නෑ. හැම වෙලේම ගෝළයගෙ දියුණුව පැතුව, දියුණුවට අත දුන්න....



Tuesday, August 9, 2011

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය


මගෙ බ්ලොග් අඩවියෙ මම ලිව්වනෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තිබෙන ජනප්‍රවාද කිහිපයක්. ඒව කියවල නැති අය කියවල බලන්නකො මෙන්න මෙතනින් ගිහිල්ල.

සිනිඳු සේළයවක දෙකගුරු හිමියන්ට බළල් වසුරු කැවීම (කොටස් 12)
ජම්මෙද? පුරුද්දද?
සෘද්ධි තෛලය (කොටස් 12)
තොටගමුව නොව අපගමුව
තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි
පුන් සඳයි දසවකයි
ගොම දෝත 



අද කතාව "නැකැත් කෙළිය"
එක දවසක් තොටගමු විහාරයට ආව උපාසක මහත්මයෙක්. මොකටද? පොල් පැළ හිටවන්න නැකතක් හදව ගන්න. ගුරු හාමුදුරුවො ඔහුට කිව්ව පස්සෙ දවසෙ එන්න හදල තියන්නම් කියල.
ඉතින් ඔන්න ගුරු හාමුදුරුවො පොඩි නමට ඒ කියන්නෙ රාහුල හාමුදුරුවන්ට කතා කරල කතාව කියල, උන්නාන්සෙට කීව නැකතක් හදල දෙන්න කියල. ඉතින් රාහුල හාමුදුරුවොත් පොත් ගුලට වෙලා වෙහෙස මහන්සි වෙලා නැකතක් හදල දුන්නලු ගුරු හාමුදුරුවන්ට. 
ගුරු හාමුදුරුවො නිකං උන්නෙ නෑ, උන්නාන්සෙත් හැදුව නැකතක්, තමුන්ගෙ ගෝලයගෙ හැකියාව පරික්ෂා කරන්න. ඉතින් රාහුල හාමුදුරුවො හදපු එකත් එක්ක ගුරු හාමුදුරුවො හදපු එක සංසන්දනය කළාම දෙකම හරියටම හරි. ගුරු හාමුදුරුවන්ට හරිම සතුටුයි. උන්නාන්සෙට තේරුනා රාහුල හාමුදුරුවන්ට තව ඉතින් උගන්වන්න දෙයක් නොමැති බව.
ඉතින් ගුරු හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ට මෙහෙම කිව්ව.
"රාහුල, නුඹගේ නැකතට අනුව අපිත් පැළ සිටුවා නුඹගේ ශාස්ත්‍රය සළකා බලමු" කියල.
රාහුල හාමුදුරුවොත් එකඟ උනා.
උන්නාන්සෙගෙ නැකතට අනුව මෙන්න මේ දවසෙ මෙන්න මේ වෙලාවට මෙන්න මේ පැත්ත බලාගෙන පැළ සිටුවිය යුතුයි, මෙන්න මේ කාලය වෙනකොට අස්වැන්න නෙළාගන්න පුළුවන් කියල, කියවිලා තිබුනා.
ඉතින් අර නැකැත් පත රැගෙන යන්න ආපු උපාසක මහත්තයට කියල පොල් පැළ දෙකකුත් ගෙන්නාගෙන උන්නාන්සෙල දෙන්නත් ලෑස්ති උනා පොල් පැළ සිටුවන්න.

ඔන්න නැකත් දවසත් ආව. 
උදෙන්ම අවදි වෙලා මුන්නාන්සෙල දෙන්න පැළ සිටුවන්න සූදානම් උනා. වලවල් දෙකකුත් හාරල, නැකැත් වෙලාව එනකම් බලා උන්න.  ඉතින් නැකැත් වෙලාව ලං වෙනකොට, දුවන තරඟෙකට සූදානම් වෙලා ඉන්න ක්‍රීඩකයො දෙන්නෙක් වෙඩි හඬ ඇසෙනකම් බලා ඉන්නව වගේ දැන් ලෑස්ති වෙලා ඉන්නෙ දෙන්න.
ඔන්න නැකැත් වෙලාව ආව. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය අතින් අරගෙන උස්සල වලට දාල පස් දාල වැහුව. රාහුල හාමුදුරුවො පොල් පැළය කකුලෙ මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතර රඳවාගෙන ඉඳල හරියටම වෙලාවට වලට අත හැරල, පස් දමල වැසුව. එතනින් ඉතින් පොල් පැළ සිටුවීමේ කාර්යය ඉවර උනා.

නැකතට පොල් වගා කරල ඔන්න වසර කිහිපයක් ගත උනා. ගුරු හාමුදුරුවන්ගෙ පොල් පැළේ හොඳට වැඩෙනව. ඒ උනාට අනේ රාහුල හාමුදුරුවන්ගෙ පොල් පැළේ??? කණාටු වෙලා. 
ඔන්න තව ටික කාලයක් යනකොට පොල් ගස් වල මල් පීදෙන්න පටන් ගත්ත. මල් පීදෙනවත් එක්කම ඔන්න ආපහු "නැකැත් කෙළිය" කියන ගුරු ගෝල සටන ඇරඹෙනවා...

දවසෙන් දවස ගෙවිල යද්දි ගුරු හිමියන්ගෙ පොල් ගසේ මල් පීදිල ගෙඩි හැදෙන්න පටන් ගන්නව. අනේ ඒත් ගෝල හාමුදුරුවන්ගෙ පොල් ගහ වැට ඉන්නක් වගේ එහෙමමයි. ටික කාලෙකින් මේ කතාව ගම් රට පුරාම ආරංචි වෙලා... හැමෝම දැන් මේක ගැන තමයි කතාව.
ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ දැන් හොඳට පීදිලා හොඳට ගෙඩි හැදිල. ගහට දරාගන්න බැරි තරම් වලු බර වෙලා. රාහුල හාමුදුරුවන්ගෙ ගහේ ඔන්න යන්තම් මලක් ඇවිල්ල තියෙනව. පංසලට එන කට්ටිය ඔක්කොම මේක ගැනමයි කතාව. හැමෝම රාහුල හාමුදුරුවන්ගෙන් අහනව මොකද මේ වෙලා තියෙන්නෙ කියල. ම්හ්. රාහුල හාමුදුරුවො සද්දයක් නෑ. 
ඔන්න ඉතින් ටික ටික ඵලදාව නෙලන කාලයත් ලං වෙනව. ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ නම් වලු බර වෙලා, ගෙඩි පිරිල, රන්වන් පාටින් බබලනව. ඒත් රාහුල හාමුදුරුවන්ගෙ කේඬෑරි පොල් ගහේ යන්තම් එකම එක පොල් වල්ලක් විතරයි තියෙන්නෙ. ඒකත් පොල් කීවට චුට්ටිම චුට්ටි ගෙඩි.
ඉතින් ඔන්න රාහුල හාමුදුරුවොයි ලොකු හාමුදුරුවොයි කතා වෙලා පොල් කඩන්න දවසක් තීරණය කරගෙන ඒ පණිවිඩය හැමතැනම ප්‍රචාරය කෙරෙව්ව. රාහුල හාමුදුරුවොත් එදාටම පොල් කඩනවය කියලත් කියල යැව්ව. අනේ මන්ද මොනව කඩන්නද කියල. මොකද උන්නන්සෙගෙ පොල් ගහේ තිබ්බෙ මේ පුවක් ගෙඩි විතර තරමෙ කළටි පොල් වල්ලක්නෙ. 
පංසලට එන උපාසකයො විහිළුවෙන් අහනව,
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?" කියල.

හාමුදුරුවො මොකද දන්නවද කිව්වෙ?
ඒක ලිපියේ ඉතුරු කොටසෙන්.....

ඒක කියවන්න මෙතනින් යන්න...