Showing posts with label sinhala blogging. Show all posts
Showing posts with label sinhala blogging. Show all posts

Monday, March 30, 2015

බ්ලොග් වසන්තය

මේක අලුත් වැඩසටහනක්. තවත් බ්ලොග් සැණකෙලියක් නම් නෙමෙයි.
බ්ලොග් ලියන කට්ටිය මුණගැහිල සෙට් වෙන්නෙ නම් නෑ. නමුත් ඔන්ලයින් සෙට් වෙන වැඩක්.



මේක පටන් ගත්තෙ, අපේ සිංහල බ්ලොගෝලයේ මුල් කාලයේ හිටපු බ්ලොග් ලියන්නො ටික ආපහු බ්ලොග් පෝස්ට් එකක් දෙකක් හරි ලියන්න, එයාලගෙ බ්ලොග් වල අලු ගසා දාල ගන්න පොළඹවන්න.

මේ තියෙන්නෙ මේකෙ, හේතු පාඨය,

සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිනෙන සුභ වෙලාවේදී සිංහල බ්ලොග් වසන්තයක් යළි උදා කිරීමට එකී මෙකී නොකී තරුණ මහළු සියළුම බ්ලොග් කරුවන් එකතු කරගෙන සිදු කරනා මහා බ්ලොග් මංගල්‍යය.......!
අයියලා, මල්ලිලා,අක්කලා නංගිලා, මචංලා, මචීලා, ඇන්ටිලා අංකල්ලා ..... අර ඕල්ඩ් බෝයිස්ලා, ගර්ල්ස්ලා අවුරුද්දකට සැරයක් වගෙ සෙට් වෙලා ක්‍රිකට් ටූනමන්ට්, නෙට්බෝල් ටූනමන්ට් තියෙනවා වගේ අපි මේ පරන බ්ලොග් කාරයෝ ටිකක් එකතු වෙලා ලියමුද බ්ලොග් පෝස්ට් දෙක තුනක් සිංහල අවුරුද්දත් අල්ලලා.....?

ඔන්න එහෙමනම් නමෝ විත්තියෙන් 2015, අප්‍රේල් 8 - 15 ත් අතර සතිය ඇතුලේ පුළුවන් තරමක් ගුණාත්මක පෝස්ට් ප්‍රමාණයක් කරන්න ඕනෙම මාතෘකාවකට අදාලව. ඒ හැම පෝස්ට් එකක්ම මේ ගෲප් එකේ පබ්ලිශ් කරමු. බ්ලොග් වසන්ත සතිය ඇතුලත පොඩි බ්ලොග් රෝලක් තම තමන්ගේ බ්ලොග් එකේ ඇඩ් කරගමු මේ පෝස්ට් ඔක්කොම එකතු කරලා.....!

ඉතින් ඔන්න ඕකයි කතාව.
අපේ පරණ බ්ලොග් කාරයොන්ට ඔන්න ආරාධනා කොරනව මේ වැඩේට.

ඔය කිව්ව ගෲප් එක තමයි මේක.


කාලාන්තරය : අප්‍රේල් 8 - 15 දක්වා
වේලාව : ඔය දවස් අටේම හැම වෙලේම


ප. ලි: ලිපියේ තිබෙන දේ වලින් සමහරු හිතල තිබෙනවා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් පරණ බ්ලොග් ලිව්ව කට්ටියට විතරයි කියල. එහෙම එකක් නෑ, ගුණාත්මක ලිපියක් ලියන්න හැකි ඔබ සැමට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.



බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

Wednesday, January 21, 2015

අලුත් බ්ලොග් කියවනයක් හා දැන් කාලෙ සිංහල බ්ලොග් ලියවිල්ල

මම සම්බන්ධ වෙලා ඉන්න පොඩි වැඩක් ගැන කියන්න සහ මේ කාලෙ සිංහල බ්ලොගිං ගැන මට හිතෙන දේවල් ටිකකුත් එකතු කරන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඒත් එක්කම පරණ බ්ලොග් කරුවන්ට ඒ කාලෙත් පොඩ්ඩක් මතක් කරන්න. 


"ලක් දැල" නැතිනම් "LK Grid" නමින් අලුතින්ම සිංහල බ්ලොග් සින්ඩිකේටරයක් අන්තර්ජාලයට එකතු වෙලා තිබෙනවා. 

"LK Grid" වෙබ් අඩවිය හරහා අනාගතයේදී තවත් වෙනත් සේවාවන් ලබා දෙන්න වැඩ කටයුතු සැළසුම් වෙමින් පවතිනවා. මුල්ම සේවාව හැටියට ඔබ වෙත ගෙන එන්නේ මේ සිංහල බ්ලොග් කියවනයයි.

මෙහි යම් නීති රීති ටිකක් තිබෙනවා. සමහරවිට ඔබට හිතේවි මේ නීති නම් තද වැඩිද මන්ද කියල. නමුත් එවන් නීති දැම්මෙ දැනට සිංහල බ්ලොග් ලියන්නන් කරන යම් යම් වැරදි යම් ප්‍රමාණයකට හරි අඩු කරන්න පොඩි තල්ලුවක් දෙන්න.
උදා: වෙනත් අඩවි වලින් කොපි පේස්ට් බෑ, පුවත් අඩවි වලින් එහෙමම දාන්න බෑ, රූප විදිහට ලිපි තියෙන්න බෑ, යුනිකෝඩ් වෙන්න ඕනෙ පුළුවන් තරමක්, සියළුම ඉල්ලීම් බ්ලොග් අඩවියේ ඇති ලිපි පරික්ෂා කිරීමෙන් අනතුරුව සළකා බලන්නෙ, එක එක තේරුමක් නැති ගැජට් එල්ලන් ඉන්න බෑ, තවත් තියෙනවා.

ප්‍රධානම නීතිය: ඔබගේ බ්ලොග් අඩවියේ තිබෙන ලිපි ගුණාත්මක භාවයෙන් ඉහළ වෙන්න ඕනෙ. 

මොකද මෙහෙම නීති දාන්න හේතුව?
අලුතින් ඇවිල්ල තිබෙන හුඟක් සිංහල බ්ලොග් ලියන්නන් කරන වැරදි තමයි, එහෙන් මෙහෙන් අහුල ගත්තු දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ඔහේ හිතේ හැටියට ලියල දානව. ලියනව කිව්වට සමහර ඒවයෙ වැකි නෙමෙයි තියෙන්නෙ, වචන වල ඉස්පිලි පාපිලි නෑ, ලියන සමහර දේවල් කිසිම තේරුමක් නෑ, සමහර ඒව බොරු. සමහර අඩවි වලට යන්න බෑ පරිගණකයත් එක්ක ස්ලෝ වෙනව. දැන හෝ නොදැන මැල්වෙයා දාගෙන, එක එක තේරුමක් නැති ස්ක්‍රිප්ට්ස් දාගෙන බ්ලොග් එක විනාස කරගෙන, ලෝඩ් වෙන්න හැට පැයක් යනවා.......
ඉතින් එහෙම බ්ලොග් වලට ඇත්තටම "ගුණාත්මක අන්තර්ගතයක් තිබෙන බ්ලොග් එකක්" කියන්න බෑනෙ. අන්න එහෙම ඒව අපි මේ සින්ඩියට එකතු කරන්නෙ නෑ. තරහ වෙන්න එපා. 

බ්ලොග් එක පිළිවෙලට ලස්සනට හදාගෙන, ලස්සනට වැදගත් විදිහට ලිපි ලියන බ්ලොග් වලට අපි ඉහළින්ම තැන දෙනව. ඉතින් අන්න එහෙම මට්ටමකින් එන්න.

මම සිංහල බ්ලොග් එකක් හදල ලියන්න ගත්තු කාලෙ සිංහල බ්ලොග් 50ක්වත් තිබුණෙ නෑ. හැබැයි ඒවායේ තිබුණු අන්තර්ගතය වටිනව, ගුණාත්මකයි. දැන් නම් ඒ කාලෙ බ්ලොග් ලිව්ව බොහොමයක් අයගෙ බ්ලොග් වසර ගාණකින් යාවත්කාලීන වෙලා නම් නෑ. නමුත් ටික දෙනෙක් ඉන්නව තාමත් ලියන. (මම ඇතුළුව)

ඒ කාලෙ අපි හැමෝගෙම දැක්මක් තිබුණ.
මොකද්ද?
"අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීම"
ඉතින් අන්න ඒක හිතාගෙන තමයි ඒ කාලෙ අපි ලිපියක් උනත් ලිව්වෙ. 

දැන් සිංහල බ්ලොග් ලියන අයට නම් එහෙම කිසිම හැභීමක් නෑ. හුඟක් අය වැඩිපුරම හොයන්නෙ Alexa Rank එක ඉහළ නංවගන්න, Traffic වැඩි කරගන්න විතරයි. බ්ලොග් එකේ වැදගත් දෙයක් ලියන එක නෙමෙයි. ඒවට එක එක ක්‍රම හොයනව. නමුත් එයාල දන්නෙ නෑ ඒකට තියෙන හොඳම ක්‍රමය "ගුණාත්මක ලිපි ලිවීම" කියල. 

දැනටමත් බ්ලොග් කිහිපයක් එම කියවනයට ඇතුළත් කරල තිබෙනවා. ඔබටත් පුළුවන් ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළු කරන්න ඉල්ලුම් කරන්න. පැය කිහිපයකින් ඇතුළු නොවේවි. නමුත් දිනක් දෙකක් ඇතුළත ඔබට පණිවුඩයක් ඒවි, බ්ලොග් එක ඇතුළත් කළාද නැද්ද කියල. (ඇතුළත් කලේ නැතිනම් ඒකට හේතුවත්).

එහෙනම්, අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීමට දායක වීමට ඔබටත් හැකි වේවායි පතනවා.

ලක් දැල මුහුණු පොතේ පිටුවටත් එකතු වෙන්න ආරාධනා කරනවා.

ප. ලි.: කිහිප දෙනෙකුගෙන්ම මට අසන්නට ලැබුණා ඔවුන්ගේ බ්ලොග් එක එකතු කළාද නැතිද යන වග සඳහන් කර එවන ලද ඊ ලිපිය ඔවුනට ලැබුණේ නැති බව.
බොහෝවිට එම ලිපිය ස්පෑම් ෆෝල්ඩරයට ගියා වන්නට පුළුවන්. එම නිසා ඔබ බ්ලොග් අඩවිය එකතු කරන්නට පෝරමය පුරවා info[at]lkgrid[dot]com ඊ මේල් ලිපිනය ඔබගේ Address Book එකට එකතු කරගන්න. එවිට, ලක් දැල හරහා එන සියළුම ඊ ලිපි ඔබ වෙත පැමිණේවි. 

Friday, July 1, 2011

"මාධවගේ බ්ලොග් සටහන්" දෙවන උපන්දිනය හා අපේ උපාධි ප්‍රදානෝත්සවය

දෙකම ටිකක් පරණයි, නමුත් ලියන්න වෙලාවක් ආවෙ අද තමයි.
මගේ මේ සිංහල බ්ලොග් එකට පසුගිය 28 වනදාට ඒ කියන්නෙ 2011 ජුනි 28 වනදාට, වසර දෙකක් සපිරුනා. 2009 ජුනි 28 වනදා තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ හා පුරා කියල.


මුලින්ම කියල ලිව්වෙ චුට්ටිම චුට්ටි ලිපියක්. කවුද මට මේ ගැන මුලින්ම කිව්වෙ කියල නම් මතක නෑ. අනේ ඒ පුද්ගලය මට සමාවෙන්න ඕනෙ. නමුත් මම සිංහල බ්ලොග් ලියන්නෙක් වශයෙන් මුලින්ම දැනගත්ත කෙනෙක් තමයි කණිය. ඊට පස්සෙ ධනික එහෙම සෙට් උනා, අම්මෝ ඌව අල්ලගන්න තිබ්බ අමාරුවක්. 
ඔය අස්සෙ මම කියල සිංහල බ්ලොග් එකක් පටන් ගත්තු මගෙ හොඳම යාළුවෙක් තමයි උදිත. මුල්ම කමෙන්ටුව දැම්මෙ චමිල ඩි අල්විස්. මගෙ මේ බ්ලොග් එකේ කොටස් වෙළඳපළ ගැන ලියපු ලිපි මාලාව ඉතාම ජනප්‍රිය උනු නිසා මම ඒ වෙනුවෙන් වෙනමම බ්ලොග් අඩවියක් අරඹල කරගෙන යනව. ඒ අතරෙ තමා ඡායාරූපකරණය ගැන ලිපි ලියන්න හිතල ඒකට තවත් බ්ලොග් එකක් පටන් ගත්තෙ. ඒක නම් මේ දවස් වල ටිකක් අල වෙලා තියෙන්නෙ. 
රැකියාව පටන් ගත්තට පස්සෙ නම් එතරම් ලිපි ලියන්න බැරි උනා, කියවන එකත් අඩු උනා, නමුත් නැතිම වෙලා නම් නෑ. සිංඩියට වැඩිපුර යන්න බැරි උනත් මම ෆලෝ කරන බ්ලොග්, ටික ටික මම බලනව.

මම බ්ලොග්කරණය පටන්ගන්නකොට සිංහල බ්ලොග් තිබ්බෙ 200ක් 300ක් වගෙයි මතක. නමුත් දැන් 2000ක්වත් තිබෙනව මගෙ හිතේ. ඒ අතින් වෙලා තිබෙන දියුණුව නම් ඉතාම ඉහළයි, නමුත් දුකට කාරණාවක් වෙන්නෙ ඒ බ්ලොග් අතරින් බොහොමයක් සාර්ථකව ඉදිරියට නොයන/නොගිය එකයි. තවත් කාරණාවක් වෙන්නෙ සමහරෙක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන එක හරියට නොදැන ඉන්න එකයි, ඔහේ වල්පල් ලියනව, නැත්තම් නිකම්ම රූප ටිකක් දාල නිකා ඉන්නව වගේ දේවල් කරනව. (මගෙ අතිනුත් ඒ වැරද්ද යන්තම හරි වෙලා තියෙනව කියල මටත් පිළිගන්න වෙනව) ඉතින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ පරමාර්ථය වෙන "අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය දියුණු කිරීම" කියන එක හරි හැටි ඒ වගේ බ්ලොග් අඩවි වලින් ඉටු වෙනවාද කියන සැකය අපිට එනවා. 
නමුත් බොහොමයක් බ්ලොග් අඩවි තිබෙනවා ඉතා හොඳ අන්තර්ගතයක් තිබෙන. ඒ අඩවි ඉතාම වටිනවා. අපි දියුණු කළ යුත්තේ සිංහල අන්තර්ගතය පමණක්ම නොවෙයි, ප්‍රයෝජනවත් අර්ථවත් සිංහල අන්තර්ගතයක්. අන්න ඒ ගැන අපේ සිංහල බ්ලොග් කරුවන් ටිකක් සිතිය යුතුයි කියල මම හිතනවා. 

හරි ඒ කතාව ඇති. දැන් මගෙ ලිපියේ මාතෘකාවේ දෙවන කොටසට. බ්ලොග් එකෙ උපන්දිනය සමරපු 28 වනදාම තමයි අපේ උපාධි ප්‍රදානෝත්සවයත් තිබ්බෙ. BMICH එකේ. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ හා ප්‍රමාණ සමීක්ෂණ පීඨයේ 06 කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවය. 

මේ ඉන්නෙ මගේ හොඳම මිතුරා වන උදිත හා මම

ඉතින් අපි උපාධියත් ගත්තලු. දැන් මමත් උපාධිධාරී ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරුවෙක්. (Materials Engineer) කැම්පස් එකෙන් අවුට් වෙලා මාස 6ක් 7ක් ගත වෙලා තිබ්බත් ඒක එතරම් හිතට දැනුනෙ නෑ. නමුත් උපාධිය ගන්නකොට ඒක හුඟක් ලොකුවට හිතට දැනුන. ඇස් වලට කඳුලක් ආව කිව්වොත් හරි.
හරි, කතා ඇති.

මට අවසානව මෙන්න මේ ටික කියන්න ඕනෙ. 
සිංහල බ්ලොග් කරුවන්ට කියන්න තියෙන්නෙ, අපි එකතු වෙලා අන්තර්ජාලය තුළ "ඵලදායී" අන්තර්ගතයක් දියුණු කිරීමට ඇප කැප වෙමු. 
ඉගෙනගන්න නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ හොඳට ඉගෙනගෙන ඉහළට යන්න ඔබ සැමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලයි.

ප. ලි: මේ ලිපිය ඊයේ ලිව්වත්, බ්ලොගරයේ තිබ්බ අවුලක් නිසා පබ්ලිශ් කරන්න බැරි උනා, ඉතින් අද උදෙන්ම දැම්ම. 

Tuesday, August 25, 2009

මගෙ බ්ලොග් එක බලන්න ආපු කට්ටිය 2000 පැන්න


මේක උනේ නම් දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල. ඒත් මේ කලබල අස්සෙ ඕව ලිය ලියා හිටියැකිය. අද මේ උදේ වෙනකොට මගෙ බ්ලොග් එකට පැමිණි පුද්ගලයින් ගණන 2086යි.

Page Loads

3,267

Unique Visitors

2,086

First Time Visitors

1,165

Returning Visitors

921



ජනප්‍රියම බ්ලොග් ලිපි වෙලා තියෙන්නේ,
කියන ඒව.

වැඩිපුරම ක්ලික් කරල තියෙන ලින්ක් එක තමා මුහුණු පොතේ ගූගල් ෆෑන් පේජ් ලින්ක් එක, දෙවනුව මගෙ ප්‍රොෆයිල් එක බලන ලින්ක් එක. තෙවනුව, මගෙ ලිපියක කියල තිබුන notify.me ලින්ක් එක.

ලංකාවට අමතරව, මගෙ බ්ලොග් එකට කැනඩාවෙන්, කටාර් රාජ්‍යයෙන්, ඇමරිකාවෙන්, ස්වීඩනයෙන්, සිංගප්පූරුවෙන්, සහ තවත් රටවල් කීපයකින් බලන්න කට්ටිය ඇවිත් තියෙනව.
බ්ලොග් එක බලන්න කට්ටිය වැඩිපුරම ඇවිල්ල තියෙන්නෙ Firefox 3.5 පාවිච්චි කරල. දෙවනුව Chrome 2.0. වැඩිපුරම පාවිච්චි කරල තියෙන්නෙ Windows XP, දෙවනුව Windows Vista.
බලමුකො, ඉස්සරහට, මේ ගාන හුඟක් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනව. මගෙ බ්ලොග් එකට ආපු, බලපු, කියවපු හැමෝටම ස්තුතියි. ඒ හැමෝම මා එක්ක දිගටම රැඳී සිටීවි කියල බලාපොරොත්තු වෙනව.


Sunday, August 16, 2009

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවන් කවුද?


මට දැන ගන්න ඕනෙ සිංහල බ්ලොග් ලියන්නන්ගේ සංසදය හා එක්ව ඇති හා නැති මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සියලුම බ්ලොග්කරුවන් ගැන විස්තර.
ඉතින් ඔබ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්න සිංහල බ්ලොග්කරුවෙක් නම් කරුණාකරල මේකට කමෙන්ට් එකක් දාල ඒ ගැන මට කියන්න තරම් කාරුණික වෙන්න පුලුවන්ද?
බොහොම ස්තුතියි.

Sunday, June 28, 2009

සිංහලෙන් බ්ලොග් ලිවීම


මටත් පොඩ්ඩක් සිංහලෙන් මොනව හරි ලියන්න හිතුන. ඒක නිසා මමත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්ත. ලංකාවෙ ඉන්න සිංහල බ්ලොග් ලියන්නන් ගාන දක්කම මට පුදුමත් හිතුන. එක අතකින් සතුටටත් කාරණයක් මෙච්චර ගානක් හරි ඉන්න එක ගැන. ඔන්න ඒ ගානට
තවත් එකෙක්.