Thursday, September 15, 2011

Widgets

පොත් ප්‍රදර්ශනෙන් පොත් තෝරන්න මගෙනුත් උදව්වක්

හෙට අනිද්ද පටන් ගන්නවනෙ ලංකාවේ මහා පොත් ප්‍රදර්ශනේ. මේ පාර BMICH එකත් නැති නිසා පට්ටම තදබදයක් නම් තියෙයි. තෙරපිලා මැරෙයිද දන්නෙ නෑ. :D
ඉතින් ඕකෙන් අපි පොත් ගන්නවනෙ. මමත් ගන්නව. ඔයාලත් ගන්නව. ඉතින් ඔයාලට මමත් පොඩි සහයක් වෙන්න හිතුව පොත් ටිකක් තෝරගන්න.
මේ කියන්න යන්නෙ නම් මගේ රසාස්වාදයේ හැටියට මම තෝරල තිබෙන පොත්. (මගෙ ලඟ, මගෙ කාමරේ, මගෙ පොත් රාක්කෙ තිබෙන මගෙ පුද්ගලික පුස්තකාලෙ තිබෙන මම එකතු කරල, මිලට අරන් තිබෙන පොත්) ඉතින් මේ පොත් වලට ඔයාලත් කැමති නම් ඔයාලටත් මිලට ගන්න ආරාධනා කරනවා. 

මම කැමතිම පොත් රචකයෙක් තමයි චින්ගීස් අයිත්මාතව්.


ඔහුගේ පොත් කිහිපයක්ම මගෙ ලඟ තිබෙනවා. මම ඔහුගේ පොත් එකතු කරනවා. මොහු කිර්ගීසියානු ගත් කතුවරයෙක්. කිර්ගීසියාව කියන්නෙ සෝවියට් රුසියාවත් එක්ක තිබෙන රටක්. ඉතාම ලස්සන පරිසරයක් ඇති රටක්ලු. හරි දැන් පොත් වලට යමු.

අංක එකේ පොත: "ගුරු ගීතය"
මේ පොත ඉතා කුඩා නවකතාවක්. නමුත් අයිත්මාතොව්ගෙ ඉතාම ප්‍රසිද්ධ වුනු නවකතාව කියල කියන්න පුළුවන්. ලස්සන කතාවක් තියෙන්නෙ. කිර්ගීසියාවේ රුසියානු බලය ස්ථාපිත වෙන කාලයේ කතාවක්. සමහරෙක් අහල ඇති, "පොප්ලර් ගස් දෙක" ගැන. අයිත්මාතොව්ගෙ ගොඩක් කතා වල මේ පොප්ලර් ගස් ගැන කියවෙනවා. 
මිල වෙන්නෙ රු. 100ක් පමණ.

අංක දෙක: "ජමිලා"
මෙයත් ඉතාම ප්‍රසිද්ධ වුනු පොතක්. මේකත් ගුරු ගීතය වගේම ඉතාම කුඩා නව කතාවක්. නමුත් මේක තමා අයිත්මාතොව්ගෙ ප්‍රථම විශාල නවකතාව. ජමිලා නම් කාන්තාවක් වටා ගෙතිල තිබෙන, ආදරය, ජීවිතය, ගැන කියවෙන සරළ නමුත් ගැඹුරු අරුතක් දෙන කතාවක්.
මේකත් රු. 100 අවට මිලක තමයි පවතින්නෙ.

මගේ තෙවන තේරීම: "ධීවර ගීතය"
මේක ටිකක් ලොකු පොතක්. නමුත් ගොඩාක් ලොකු නෑ. දාර්ශනික නව කතාවක්. ආත්ම පරිත්‍යාගය, ආත්ම විශ්වාසය ගැන කියවෙන ඉතාම ලස්සන කතාවක්. අයිත්මාතොව් ලිව්ව පොත් වලින් ඔහු කැමතිම පොත මේකයි. 
සාගරයේ අතරමං වන කුඩා දරුවෙක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. දෙබස් ගොඩාක් අඩුයි. තිබෙන්නෙ, හිතේ ඇතිවන හැඟීම්, අතීතය මතක් වීම් තමයි ගොඩාක් තිබෙන්නෙ. සමහරෙක්ට නම් කියවගෙන යනකොට එපා වෙන්නත් ඉඩ තිබෙනවා. 
මිල රු.220ක් තමා වෙන්නෙ. (විදර්ශනා ප්‍රකාශන)

මගේ සිව්වන තේරීම: "සමුගනිමි ගුල්සාරි"
සමහරෙක් මෙය පළමු තේරීම කරන්නට ඉඩ තිබෙනවා. මේක ඒ තරම්ම ප්‍රසිද්ධ හොඳ කතාවක්. මහළු මිනිසෙක් හා මහළු අශ්වයෙක් අතර තිබෙන අපූර්ව සම්බන්ධතාවයක් ගැන කියවෙන කතාවක් මේක. දුක්බර අවසානයක් තිබුනත්, ඉතාම හැඟීම්බර, ලස්සන කතාවක්. 
මිල රු. 350යි (විදර්ශනා ප්‍රකාශන)

තවත් පොත් ගොඩාක් තිබෙනවා චින්ගීස් අයිත්මාතව්ගෙ. "සුදු නැව" නමින් තවත් පොතක් තිබෙනවා. (ගිය අවුරුද්දෙ ප්‍රදර්ශනෙන් මම අරන් ආව, තාම මට කියවන්න බැරි උනා, නමුත් මගෙන් ඉල්ලගෙන ඒක කියෙව්ව කිහිපදෙනෙක්ම)

ඊලඟ කතුවරයා "පවුලෝ කොයියෝ". ඉතා ප්‍රසිද්ධ ලතින් ඇමරිකානු ලේඛකයෙක්. 
මොහුගේ පොත් නම් මගෙ ලඟ තිබෙන්නේ එකයි, ඒක සුපිරි. "සන්තියාගෝ නම් සැරිසරන්නා". කවුරුත් දන්න නමින් කිව්වොත් "The Alchemist".


නිධානයක් සොයා යන කොලු ගැටයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. නමුත් මෙහි ඒ නිධානෙට වඩා ගොඩාක් දේවල් තිබෙනවා. උත්සාහය, ආදරය, .... ගොඩක් දේවල්...
මිල රු. 230යි. (විදර්ශනා ප්‍රකාශන)

ඊළඟට ඉන්නෙ "යුස්ටයින් ගෝඩර්"



"සොෆීගේ ලෝකය" නම් ලෝක ප්‍රසිද්ධ නවකතාව රචනය කළ මොහු, නෝවීජියානු ලේකකයෙක්. 
මම කතා කරන්න ලෑස්ති වෙන පොත තමයි, "අඳුරු පළිඟුතල මැදින්" කියන පොත. මරණාසන්න ගැහැණු ලමයෙක් හා ඇය හමුඅට එන සුර දූතයෙන් අතර ඇතිවන ජීවිතය, මරණය ගැන කතා කරන කතාබහ ගැන තමයි මෙහි තිබෙන්නෙ. හුඟක් සුන්දර, අනුවේදනීය කතාවක්. දාර්ශනික ප්‍රශ්න, අසන මේ ගැහැණු ළමයාත් ඒවාට සරළ පැහැදිලි කිරීම් කරන මේ සුර දූතයාගේත් කතා බහ එක හුස්මට කියවන් යන්න පුළුවන්. 
මිල: රු. 220යි. (baby Bee Publishers)

ඔන්න එනව ලොකු ලොක්කෙක්. කවුරුත් දන්න "ඇන්ටන් චෙකෝෆ්", ලෝක ප්‍රසිද්ධ රුසියානු කෙටි කතා රචකයෙක්.

මම කියන්න යන පොත තමයි, "කළු සිවුරුධර භික්ෂුව" (The Black Monk)
පොඩි පොතක්. හැබැයි ගොඩක් ගැඹුරු පොතක්. (ඇත්තම කියන්න, මටත් මේක හැරියට තේරුනේ නෑ) පුරාවෘත්තයක් වන භික්ෂුවකුත්, ලෞකික ජීවිතයේ සුන්දරත්වය පෙන්වන උයනකුත්, උත්තම මිනිසෙක් වෙන්න හදන පාරලෞකික දැක්මක් සහිත පුද්ගලයෙකුත් වටා ගෙතෙන කතාවක්. 
මිල රු. 120යි. (ගොඩගේ ප්‍රකාශකයෝ)

පරිවර්තන ඉවරයි. දැන් ලංකාවෙ කතාවක් ගැන කියන්නම්.
කතුවරයා රත්නසිරි අබේවර්ධන
පොත "නිහඬ ගිගුරුම"
කොටි ත්‍රස්තවාදයත් එක්ක හැප්පෙන අහිංසක මිනිස්සුන්ගේ විනාස උනු, හෙම්බත් උනු ජීවිත අතරෙ හිටපු එක් දිරිය කාන්තාවක් ගැන කියවෙන මේ පොත, කාන්තාවගේ ලාලිත්වය, සුකොමලත්වයට වඩා, ඇය තුල ඇති ශක්තිය, අධිෂ්ඨානය හුවා දක්වන ආධුනික කතුවරයෙක්ගේ විශිෂ්ඨ නව කතාවක්.
මිල රු.495යි. (කතුවරයාගේම ප්‍රකාශනයකි)

මම ගොඩාක්ම කැමති කතා පොතක් තිබෙනවා, මගෙ ලඟ නම් නෑ, නමුත් කිහිපවරක්ම කියවල තිබෙනවා. 
"වානරයා". (නැත්තම්, "අමරණීය වානර මුණිවරයා") චීන පුරාඩෘත්තයක් ඇසුරෙන් ගොඩනැඟුනු ලස්සන කතාවක්. ඔයාලට මතක නම් කාලෙකට ඉස්සර රූපවාහිනියේ කාටූන් එකකුත් ගියා "වානර රජු" කියල. (ඒ වගේ නම, මතක නෑ හරියට). ත්‍රිපිටකය ලබා ගැනීමට චීනයේ සිට ඉන්දියාවට යන හාමුදුරු නමකට සහයට එන, දෙව් ලොවටත් කරදරයක් අභියෝගයක් වූ, අමරණීය වානර රජෙකුගේ කතාවත්, මේ හාමුදුරුවො එක්ක යන මෙ වානර රජු හා සෙට් එක මුහුණදෙන විවිධ කරදර බාධා ගැනත් කියවෙන කතාවක්. මාරම ආසයි මම මේකට. මිල නම් මතකයක් නෑ. පළවෙනි පාර මම කියෙව්වෙ 10 වසරෙදි හරි ඊටත් ඉස්සෙල්ල හරි. ඒ කාලේ මගෙ කියවීමේ හොඳ ස්පීඩ් එකකුත් තිබ්බ. එක හුස්මට පුටුවෙන් නැගිටින්නෙ නැතිව පැය 8කින් කියවල ඉවර කළා. (තේකත් අම්ම ලඟට ගෙනත් දුන්නු නිසා බිව්ව.)
පහළ රූපෙ දැක්කම ඩයල් එකව මතක් වේවි.
මතකද "The Forbidden Kingdom" ෆිල්ම් එක? අන්න ඒකෙ හිටියෙ මෙයා තමයි. :)

තව එකක් මතක් වෙනවා, "ඇපොකැලිප්ටස්". මේකත් ටිකක් ලොකු පොතක්. වහලුන්ගේ ගැලවුම් කාරයෙක් වන ඇපොකැලිප්ටස් වහලුන් නිදහස් කරගෙන ඔවුන්ගේම රාජ්‍යයක් සඳහා සටන් වැදී ජයගෙන අලුත් ජීවිතයක් අරඹන හැටි තමා මේ නව කතාවෙහි කියවෙන්නෙ. 

දැන් කියන්න යන්නෙ බෞද්ධ පොත් කිහිපයක් ගැන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පොත් ගොඩාක් තිබෙනව ඉතාම හොඳ ඒවා. ඒවායේ තිබෙන විශේෂත්වය වෙන්නෙ, සරළ බස්වහර, පහසුවෙන් තේරුම් ගත හැකි බව, ඒත් එක්කම ගොඩක් පොත් තරුණ පාඨකයා ඉලක්ක කරල තමා ලියල තිබෙන්නෙ. "අඳුර විනිවිද එළිය දකින්නට" (දයාවංශ ජයකොඩි; රු.180), "සිත දියුණු කරන ක්‍රම" (මහමෙව්නා ප්‍රකාශන; රු. 160), තව බොහොමයක් පොත් තිබෙනවා.

බෙල්ලන ඤාණවිමල මහා නාහිමිගේ "පෙනෙන ලොඅ තුළ නොපෙනෙන ලොවක්" කියන පොතත් මම ගොඩක් කැමති පොතක්. විද්‍යාව, බුදුදහම, පුනරුප්පත්තිය, සිත ගැන ගොඩක් දේවල් කියවෙන, බෞද්ධ, විද්‍යාත්මක පොතක්. (දයාවංශ ජයකොඩි; රු. 180)

ඔබට ඕනෙ නම් නිනිති තාක්ෂණය (නැනෝ තාක්ෂණය) ගැන දැන්ගන්න මම දන්නා තරමින් තිබුනු එකම පොත, චින්තක නදුන් රත්නවීරගෙ "ඉසුරු පිරි යුගයකට - නිනිති තාක්ෂණය" කියන පොතයි. දැන් නම් තවත් පොත් තිබෙනවාද නම් දන්නේ නෑ. නැනෝ තාක්ෂණයේ න්‍යායන් හා ප්‍රායෝගික භාවිත ගැන සරළව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. (කතෲ ප්‍රකාශනයකි; රු.200)

සාපේක්ෂතාවාදය ගැන අහල ඇතිනෙ? අවකාශයය, කාලය, කාලයේ වක්‍ර වීම, ආලෝකයෙ වේගය ඉක්මවා යෑම.... ඔව තේරෙනවද?


මෙන්න තියෙනව ඉතාම හොඳ, පොඩි පොතක් සාපේක්ෂතාවාදයේ ගැඹුර නැත්තටම නැති කරල ඉතාම සරළව පැහැදිලි කරල දෙන. මේක පරිවර්තනයක්.
"සාපේක්ෂතාවාදය යනු කුමක්ද?" පරිවර්තකයා ඩී. එස්. එස්. මායාදුන්නේ. මිල වෙන්නෙ රු.150ක් පමණයි. මේක විසිදුනු ප්‍රකාශනයක්. 

මෙන්න හොද පොතක් විශේෂයෙන්ම පාසල් සිසුන්ට. විභාග වලට බයද? එහෙනම් මේක කියවන්න, භාවිතා කරන්න. දායා රෝහණ අතුකෝරළයන්ගේ, "විභාග ජය ගත හැකි පහසු මඟ". (ශික්ෂා මන්දිර; රු.150)
ගොඩක් හොඳ පොතක්. දයා රෝහණයන් කියන්නෙ, ධනාත්මක චින්තනය ගැන නිතර කතා කරන, ගත් කතුවරයෙක්, විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක්. මොහුගේ පොත් ඉතාම ජනප්‍රිය උනා. මෙතුමාගේ "සිත් දිනාගැනීමේ මඟ" කියන පොතටත් මම ගොඩාක් කැමතියි.

ඉතින් තව පොත් නම් ගොඩාක් තිබෙනවා. මම කියවපු, නමුත් මගෙ ලඟ නැති පොත් ගොඩක් තිබෙනවා, ඉතාම හොඳ. කියවපු පොත් ගොඩක් මට මතකත් නෑ, අන්න ඒක තමයි දුක. :(

ඉතින් මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනොත් සතුටුයි. ඒ එක්කම මටත් මේ ලිපිය කියවන අනිත් අයටත් සහයක් වෙන්න, තවත් හොඳ පොත් අදහස් මගින් කියල.
එහෙනම් සමහරක් විට පොත් ප්‍රදර්ශනයේදී ඔබව හමුවන බලාපොරොත්තුවෙන් ලිපිය අවසන් කරනවා. මාව දැක්කොත් කෑගහල හරි කතා කොරන්ඩ හොඳේ. (දන්න කෙනෙක් නම් අඳුනගන්න බැරි උනොත් සමාවන සේක්වා, මට ටිකක් එක පාරක් දැක්ක මුහුණු මතක හිටින්නේ නැත.)
(මම යන්න ඉන්නෙ 18 වෙනිදා.)

සටහන:
මේ මිල ගණං ටිකක් පරණ ඒව නිසා වෙනස් වෙන්න ඉඩ තිබෙනවා.

අලුතින් එකතු කිරීමක් (2011.09.15; 19:30):
තව ඉතාම හොඳ පොතක් මතක් උනා, ඩෙස්මන් මොරිස්ගේ පොතක් වන "Naked Ape" පොතෙහි සිංහල අනුවාදය "නිරුවත් වානරයා". මේක මනෝ විද්‍යාව, ජීව විද්‍යාව කැටි උනු පොතක්. මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන අතීත වර්තමාන ගොඩක් දේවල් තිබෙන විද්‍යාත්මක පොතක්. ඩෙස්මන් මොරිස් කියන්නෙ සිග්මන් ප්‍රොයිඩ් වගේම අතිශය අග්‍ර ගණයේ මනෝ විද්‍යාඥයෙක්.


අලුතින් එකතු කිරීමක් (2011.09.15; 20:55):

ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල්ගෙ "ෂර්ලොක් හෝම්ස්" රහස් පරික්ෂක කතා පෙළ ලෝක ප්‍රසිද්ධ වුනු කතා පෙළක් කියල කියන්න පුළුවන්. මුලින් ඔහු මේ කතා ලිව්වෙ පුවත්පතකට. පස්සෙ තමා පොතක් වශයෙන් එළි දැක්වුනේ. කොනන්ඩොයිල්ට එපා වෙලා ඔහු එක් තැනකදි ෂර්ලොක් හෝම්ස්ව මරල දාල කතාව අවසන් කරනවා. නමුත් පාඨකයන්ගේ දැඩි ඉල්ලීම නිසා ඔහු යළිත් හෝම්ස්ට පණ දීල කතාව යළිත් ලියනව.

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාවෙ කොටස් 60 ක් තිබෙනවා. කෙටි කතා 56කුත් දිගු කතා 4කුත් මේ 60ට ඇතුළත්. මේවායින් ප්‍රසිද්ධම කතාව තමයි "බැස්කවිල් ශාපය".
චන්දන මෙන්ඩිස් කියන පරිවර්තකයාට ස්තුතිවන්ත වෙන්න, ඔහු තමයි පාඨකයාට ඉතාම හොඳින් හිතට වැදෙන විදිහට මේ කතා පරිවර්තනය කළා. නමුත් ඔහු පස්සෙ කළ දේ නම් මම අනුමත කරන්නෙ නෑ. ඔහුම කතා ලියමින් ෂර්ලොක් හෝම්ස්ගේ කතා නමින් විකිණුවා.
ආතර් කොනන්ඩොයිල්ගේ තවත් කතා චන්දන මෙන්ඩිස් පරිවර්තනය කර තිබෙනවා. ඒවත් ගොඩක් ලස්සනට රසවත්ව පරිවර්තනය කර තිබෙනවා.


අලුතින් එකතු කිරීමක් (2011.09.16; 10:45):

කමෙන්ට් එකක් නිසා මතක් උනු පොත් කිහිපයක් දාන්නම්. මේවත් ඉතාම විශිෂ්ට ගත් ඉංග්‍රීසි කතුවරයෙක් වන හෙන්රි රයිඩර් හැගාඩ්ගෙ පොත් කිහිපයක්.
එකම චරිත ටිකක් මේවයෙ තිබෙන්නෙ. මේ කතා ටික ටික එකිනෙකට සම්බන්ධයි.
1. දියමන්ති නිම්නය (King Sollomon's Mines)
අප්‍රිකානු දියමන්ති නිධියක් සොයාගෙන යන කණ්ඩායමක් හා ඔවුන් මුහුණදෙන ත්‍රාසජනක අත්දැකීම් සමූහයක්. ගෝත්‍රිකයන් සමඟ කරන සටන්..... මේක  වීර වික්‍රම පිරි කතාවක්. \
මිල නම් කොහොමද දන්නේ නෑ, මගෙ ලඟ තිබෙන පොත මම ගත්තෙ 1999දි රු. 90කට. දැන් රු.200-250 ක්වත් ඇති. 

2. ඉස්සෙල්ල එකටත් වඩා හොඳ කතාවක්. අරකෙ ඉන්න සෙට් එකම යන තවත් වික්‍රමයක්, "ඇලන් ක්වාටර්මෙන් වීර චාරිකා". සැඟවුණු ශිෂ්ටාචාරයක් සොයා යන ත්‍රාසය භීතිය පිරි කතාවක්. මේකෙ මිල නම් රු. 300-400 ක්වත් ඇති කියල හිතනවා.


3. "ඈ", "අයේෂා" සහ "ඈ සහ ඇලන්" කියන කතා දෙකත් එකිනෙකට සම්බන්ධයි. මේ ඇලන්ම තමයි ඉස්සෙල්ල කතා දෙකේම හිටි ඇලන් ක්වාටර්මෙන්. 


28 comments:

  1. හොද ලිපියක්,ඉදිරියෙදි මටත් ලොකු උදව්වක් වෙවි මේ ලිපිය

    ReplyDelete
  2. වානරයා පොත කියවන්න මාත් ආසයි මාධව.ඒත් තාම ලැබුනෙ නෑ නෙ කියවන්න.

    ReplyDelete
  3. තැන්කු වේවා මාධව, ගොඩක් ලස්සන පොත් ටිකක් යෝජනා කරලා තියනවා..
    හැබැයි මම මේ පොත් ගොඩක් කියවල තියනවා.
    "පවුලෝ කොයියෝ" ගැන නම් කියන්නම ඕන. Alchemist කියන්නේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කතාවක්.
    අනිවාර්යෙන්ම කියවන ලිස්ට් එකට දාගන්න ඕනි පොතක්.
    ඔහු තව පොත් 11ක් ලියල තියනවා... මමත් පොත් 4ක් කියවල තියනවා...
    සිංහල වුනත් ඉංග්‍රීසි වුනත් එක දිගට කියවන්න පුළුවන් ලස්සන පොත්..
    රචනා ශෛලිය අපුරුයි. මෙන්න මගේ යෝජිත් පොත් ...
    1. වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි (Veronica Decides to Die ) "පට්ට නම"
    2. පියෙද්රා ගඟ ළඟ මම වැළපුනෙමි. (By the river side piyedra I wept )
    මට පොත් වල මිල නම් මතක නෑ :(

    ReplyDelete
  4. මල්ලි...

    // තවත් පොත් ගොඩාක් තිබෙනවා චින්ගීස් අයිත්මාතව්ගෙ. ලෝක ප්‍රසිද්ධ "දුයිෂෙන්" මොහුගේ කෘතියක්. //

    පෝස්ට් එකේ කලින්ම "ගුරු ගීතය" ගැන ලියල තියෙන නිසායි මේක අහන්නෙ... "ගුරු ගීතය" හැටියට පරිවර්තනය වුණු " the first teacher " කියන නවකතාව හැර "දුයිෂෙන්" කියා පොතක් ඔහු ලියා ඇති බවක් මම නම් අසා නැහැ...

    -සපතේරු උන්නැහේ

    ReplyDelete
  5. @matamathakahatiyata:
    සමාවෙන්න මට වැරදීමක් වෙලා. ගුරු ගීතය පොතේ තමා දුයිෂෙන් ඉන්නෙ. වෙනම පොතක් නෙමෙයි. මම වරද හැදුව.

    @රූසිරි: ඔව් alchemist නම් නියමම පොතක්. මාරම ලස්සන කතාවක්. ජීවන අන්දරයක්.
    පවුලෝ කොයියෝගේ පොත් හොයාගෙන මිලට ගන්න බලාපොරොත්තු වෙනවා මේ පාර.

    @නිසුපා: ඇයි අනේ උදිත ගාව තියෙනවනෙ.

    @පබළු: සතුටක් සහයක් වෙනව නම්.

    @යකා මහත්තයා: බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගන්නවා. සුභ පතනවා.

    ReplyDelete
  6. මල්ලි, අයිත්මා‍තෝව් කියන්නෙ මාර පොරක්. මිනිහ ලියපු හැම පොතක්ම සෑහෙන්න අමුතුයි වගේම එක හුස්මට ඇදල අරින්න පුලුවන්. වේලාසන කොක්කු ඇවිත් කියලා පරිවර්තනයක් තියනවා (ක්‍රේන්ස් ෆ්ලයි අර්ලි) කියන පොතේ. ඒක මම කැමතිම පොතක්. ෆෙයාවෙල් ගුල්සාරි කියන්නෙත් මාරම පොතක්. තව එඩ්ගර් ඇලන් පෝ, හෙන්රි රයිඩර් හැගාඩ් ගෙ පොතුත් හොඳයි, එච්චර කියවන්නෙ නැති ඒත් කියවීම පිස්සුවක් කරගන්න කැමති අයට පටන්ගන්න!

    ReplyDelete
  7. මල්ලි, අයිත්මා‍තෝව් කියන්නෙ මාර පොරක්. මිනිහ ලියපු හැම පොතක්ම සෑහෙන්න අමුතුයි වගේම එක හුස්මට ඇදල අරින්න පුලුවන්. වේලාසන කොක්කු ඇවිත් කියලා පරිවර්තනයක් තියනවා (ක්‍රේන්ස් ෆ්ලයි අර්ලි) කියන පොතේ. ඒක මම කැමතිම පොතක්. ෆෙයාවෙල් ගුල්සාරි කියන්නෙත් මාරම පොතක්. තව එඩ්ගර් ඇලන් පෝ, හෙන්රි රයිඩර් හැගාඩ් ගෙ පොතුත් හොඳයි, එච්චර කියවන්නෙ නැති ඒත් කියවීම පිස්සුවක් කරගන්න කැමති අයට පටන්ගන්න!

    ReplyDelete
  8. කියල වැඩක් නෑ, අයිත්මාතව්ගෙ පොත් නම් පට්ටයි. මාරම ලස්සනයි කතා.
    රයිඩර් හැගාඩ්ගෙ පොත් කිහිපයකුත් කියවල තිබෙනව. ඒවත් හොදයි ගොඩාක්. ඇයි ආතර් කොනන්ඩොයිල්. තවත් එක් පට්ටම කතුවරයෙක්.

    ReplyDelete
  9. චින්ගීස් අයිත්මාතෙව් - වේලාසන කොක්කු ඈවිත්

    ReplyDelete
    Replies
    1. චින්ගීස් අයිත්මාතෙව් - කොක්කු පනහා පනහා ඈවිත්

      Delete
  10. ආතර් සී ක්ලාක්ගේ විද්යා ප්‍රභන්ද වල සිංහල පරිවර්තනත් හොඳයි. චන්ද්‍ර සංචාරකයෝ,ගැඹුරු මුහුද වගේ ඒවා.රුසියන් පරිවර්තනයක් තියනවා "සැබෑ මිනිසෙකුගේ කතාව" ඇත්ත කතාවක් .

    ReplyDelete
  11. වානරයා පොත නම් මම කියවපු සුපිරි පොතක්. ඒක චීන භාසාවෙන් කරපු පරිවර්තනයක් නේද?

    කොහොමත් මම වෙනුවෙන් වෙන කෙනෙක් පොත් ගන්න නිසා මට ගන්න දෙයක් නැති තරම්. ක්ලාක් මහත්තයගෙ සිංහලට පරිවර්තනය නොවුණ ඉංගිරිසි පොත් ටිකක් හොයාගන්න හිතාගෙන ඉන්නවා.

    බලමුකො මෙදා පාරත්.. :D

    පොත් කියවන අය තම තමන් කියවපු ඒව ගැන කෙටියෙන්වත් මෙහෙම ලිව්වනම් පොත් ගන්න ඉන්න අයට පහසු වෙයි නේද?

    ReplyDelete
  12. @Ano 1: මේක හොයාගන්න ඕනෙ.

    @Ano 2: ආතර් සී. ක්ලාක්ගෙ පොත් ගොඩක් මම කියවල තිබෙනව, නමුත් කියවල නැති ඒවත් ගොඩක් තිබෙනව.

    @hare: ඔව්. වානරයා/වානර මුණිවරයා පොත චීන පුරාවෘතයක්නෙ.
    ඔයාගෙ යෝජනාව නම් අගෙයි. එතකොට හැමෝටම යෝජනා අනුව තේරීම් කරගන්න පුළුවන්නෙ.

    ReplyDelete
  13. වානරයා පොත නම් ඒ පී ගුණරත්නව තමයි ලියාලා තියෙන්නේ 1968 දී දෙවන මුද්‍රණයෙන් පස්සෙ ආයි කරලා නෑ. මං ගාව බොහෝම අමාරුවෙන් හොයාගත්ත පොතක් තියෙනවා දෙවන මුද්‍රණයේ.

    ReplyDelete
  14. හ්ම්ම්. ඒකත් එහෙමද. හය්යෝ. :( දුක තමයි.

    ReplyDelete
  15. හ්මි. නියමයි. ඉස්තූතියි ඔහේට

    ReplyDelete
  16. මෙදා පාර ‍කොහෙද තියෙන්නෙ ප්‍රදර්ශනය එහෙනම්..

    ReplyDelete
  17. තව ටිකක් මමත් එකතු කරන්න කැමතියි. රයිඩර් හැගාඩ්ගේ පරිවර්තන පොත් ටිකකුත් ඕකට එකතු කර ගන්න.

    ReplyDelete
  18. ඔව් ඔව්. මම ඒ පොත් කිහිපයකුත් එකතු කරන්නම්. king sollomon's mines එහෙම නම් මගෙ ලඟ තියෙනව.

    ReplyDelete
  19. @Out Sider:
    Exhibition එක "සිරිමාවෝ බණ්ඩාරනායක අණුස්මරණ ශාලාවේ", කැන්ටින් එක පැත්තෙ හදපු තාවකාලික ශාලාවේ හා අවට සාදන ලද මඩු වල තිබේවි.

    ReplyDelete
  20. මම නම් කැමතිම පොත තමයි "වානරයා". මුලින්ම ඔය පොත මම කියෙව්වෙ අපේ සර් කෙනෙක්ගෙන් ඉල්ලගෙන. ඊට පස්සෙ ආයෙත් පාරක් ඒ සර්ගෙන්ම පොත ඉල්ලගෙන දෙවෙනි පාරටත් පොත් කියෙව්වා. ඒ පොත කොච්චර හිතට ඇල්ලුවද කියනවනම් පස්සෙ කාලෙකදි හොයල හොයල සල්ලි වලට ගත්තා. පොත ගත්තේ ඒ දවස් වල නුගේගොඩ තිබුණු "සම්මාන" පොත්හලෙන්.

    ReplyDelete
  21. ආයිත් අහල. මමත් ඒකට පට්ටම කැමතියි. මුලින්ම කියෙව්වෙ පාදුක්ක ඉස්කෝලෙ පුස්තකාලෙන්, පස්සෙ කියෙව්වෙ උඹෙන් අරගෙනනෙ.
    මතකද අර පොඩි කතා පොත් තිබ්බ, හතරැස් වගේ, උඩින් ලොකූ රූපෙකුයි, පහළින් කතාවෙ වාක්‍ය කිහිපයකුයි තියෙන? අන්න ඒවායින් තමයි මම මුලින්ම මේ කතා කියෙව්වෙ. ඒවට මම ඒ කාලෙ මාරම ආසයි.

    ReplyDelete
  22. නියම එකතුවක්!!! :D
    පරිවර්තන ටික ගැන නම් මන් දැනන් හිටියෙම නෑ. මේ පාර ගියාම හොයාගන්න ඕන
    ඇල්කෙමිස්ට් එක හිතට ඇල්ලුව වගේ :)
    මගේ යාලුවෙක් තමයි මේ ලිපියට ලින්ක් එක දුන්නෙ.
    නියම ලිපියක්!
    මං හෙටයි ප්‍රදර්ශනේ බලන්න යන්නෙ.වටින පොත් ටිකක් මතක් කරල දුන්නට ස්තූතියි!!!

    ReplyDelete
  23. කියෙව්වම ඊට වඩා හිතට අල්ලාවි. අනිවා ගන්න ඒ පොත.
    මම නම් යන්න ඉන්නෙ හෙට (18).
    යාළුවට ස්තුති කරන්න මම වෙනුවෙනුත්. :)

    ReplyDelete
  24. ඇත්තම තමයි. චිංගීස්ගේ ගොඩක් පොත් මමත් ආසාවෙන් බලනවා. මාධව දාලා තිබුණු පොත් ලිස්ට් එකට අමතරව තව ලස්සන පොත් ටිකක් මා ලග තියෙනවා. ඔටු ඇස, සියවසක් පවත්වා දවසක්, නැතිවූ වස්තුව (ජමීලා හා නැතිවූ වස්තුව එකම පොතේ වෙන වෙනම තියෙන්නේ). මම පරිවර්තන කියවන්න ආසාව ඇතිවුනේ ගුරු ගීතය කියවලා.

    ReplyDelete
  25. Keep on writing, great job!

    ReplyDelete
  26. Hello, I think your web site could be having browser compatibility issues.
    Whenever I take a look at your blog in Safari, it looks fine however, if opening in I.E., it's got some overlapping issues.

    I just wanted to give you a quick heads up!

    Other than that, wonderful blog!

    ReplyDelete
  27. These are genuinely wonderful ideas in concerning blogging.
    You have touched some pleasant points here. Any way keep up wrinting.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.