Sunday, September 9, 2012

ආදර අන්දරයක කඩ ඉමක්

ඇත්තටම කඩ ඉමක්මත් නෙමෙයි. නමුත් ඒ වගේ එකක්.
අද 2012.09.09. 
එදා 2009.09.09. 
ගොඩක් විශේෂ දවසක්. මට හා තවත් කෙනෙකුට. :)
හරියටම කිව්වොත්, මම මගෙ ආදරවන්තියට ආදරෙයි කියල අදට හරියටම අවුරුදු 3යි. අපි දෙන්නගෙ ආදරේ පටන් අරගෙන අදට හරියටම අවුරුදු 3යි. 
ලොකු කාලයක්. ගොඩක් දේවල් උනා. පොඩි පොඩි හැල හැප්පිම් සිදු උනේ නැත්තෙත් නෑ. නමුත් හැම වෙලේම අපේ ආදරේ තව තවත් ශක්තිමත් උනා. හැමදාම තව තවත් ආදරේ කළා. 
යාළුවෙක් විදිහට මගෙ ලඟට ඇවිල්ල, හොඳම යාළුවෙක් වෙලා, අන්තිමට මගෙ ආදරවන්තිය, මගෙ අනාගතේ උනා ඒ කෙල්ල.
ලිපිය කෙටියි, නමුත් ආදරේ හුඟක් ලොකුයි...
තෙවසරක් ගෙවුනා..
තවත් අපි ලං උනා...
ඉඳිමු අපි ආලෙනා...
සැම දිනා, එකෙකු සේමා...

----------------
ලොව ඇති
සියළු සැපයෙන් සම්පතින් පිරි,
ලොව ඇති
ලස්සනම මාළිගාව තූළ සිටින,
මලක් සේ සසොබන,
මගේ කුමරිය.
ඔබය මගේ ජීවය.
ඔබය මගේ සිහිනය.
ඔබය මගේ ආලය.
සැමදා මා ඔබේය,
ඔබ මගේය,
අපි මියෙන තුරා...
-------------------
ඔබයි මගෙ කුමරිය,
ඔබයි මගෙ ආදරය,
සැමදාම රකිමි ඔබ,
ආදරෙන් ලං කරන්.
සතුටක්ම දෙමි ඔබට,
ජීවිතේ පුරාවට.
මහළුවී මියෙන තුරු....
------------------
Though we call and talk 3,4,5 times a day,
Though we send sms every day,
Though I have many photos to look at all the day,
Though I think of you every time,
Though I dream of you every night,
Though I hug my pillow pretending it is you,
It is not like having you by my side.
Missing you soo much...
Wanting you soo much...
Loving you soo much...
----------------





Saturday, September 8, 2012

Book Fair එකත් අත ලඟ...


හ්ම්ම්. පොත් ප්‍රදර්ශනේකුත් එනවලු ඉතින්. ගිය පාර නම් අපි සෙට් එකක් එකතු වෙලා ගියානෙ. මේ පාර තාම කිසිම සද්දයක් නෑ වගෙයි. කෝ මේ අපේ කට්ටිය හැබෑට??? අර ලක්මිණි සොයුරිය මුහුණු පොතේ පටන් ගත්තු ත්‍රෙඩ් එක නම් තාම දුවනව, ඒත් බැරි බර ගාතෙ. කාගෙන්වත් හරි හෙල්ප් එකක් නෑ. :( මේ පෝස්ට් එක ලියනකොට කමෙන්ට්ස් 20000ට 29යි අඩු වෙලා තිබ්බෙ. 
ගිය පාර නම් මම යන්න ඉස්සෙල්ල පෝස්ට් දෙකක් ලියල ගිහිල්ල ඇවිල්ලත් පෝස්ට් එකක් ලිව්ව. ඒවායින් ගොඩක් අය ප්‍රයෝජනත් අරගෙන තිබුන. ඒ ලිපි දෙකට දාල තිබුණු කමෙන්ට් හරහා තවත් පොත් ගැනත් දැනගත්ත. 

ගිය පාර මතකයෙන්

ඉතින් මේ පාරත් හිතුන දැන්මම පෝස්ට් එකක් ලියන්න. ලියන්න කිව්වට එක පාරටම මොනවද ලියන්න යන්නෙ කියල අදහසක් එන්නෙ නෑ, කොහොමහරි, මේ පාර, අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනව. ඉතින් පොත් ටිකක් වැඩිපුර ගන්න පුළුවන් වෙයි කියල හිතනව. (ගිය පාර නම් අපේ සමහරු පොත් අරගෙන වැඩි වෙලා උස්සන් යන්න ගිහිල්ල කොන්දෙ අමාරුත් හදාගත්තද මන්ද.) 
ගිය පාර හිතාගෙන හිටි පොත් කිහිපයක් හොයා ගන්න නම් බැරි උනා. (චින්ගීස්ගෙ පොත් කිහිපයක්). සමහරවිට මේ පාර හොයාගන්න පුළුවන් වේවි. බෞද්ධ පොත් ටිකකුත් ගන්න හිතන් ගියාට ඒක එතරම්ම සාර්ථක උනේ නෑ. අනිත් එක ඡායාරූපකරණය සම්බන්ධ පොත්. එහෙම ඒවත් එකක් දෙකක් හම්බුනා, ඒත් ඒව ගන්න ගියා නම් වෙන පොත් ගන්න වෙන්නෙ නෑ. ඉන්ද්‍රනාථ මහත්මයගෙ පොත් තියේවිද දන්නෙ නෑ. මම කොපියක් පරිස්සම් කරල අරන් තියන්න කිව්ව. එතුමට මතකද දන්නෙ නෑ. :) 
ආ... ගිය පාර ගත්තනෙ, "ඈ හෙවත් අයේෂා" පොත. මේ පාර ඒකෙ ඉතිරි කොටස් ටික හොයල ගන්න ඕනෙ. තවත් ඒ වගේ හොඳ පරිවර්තන ටිකක් ගන්න අදහසක් තිබෙනවා. ගිය පාර ගත්තෙම චින්ගීස්, පව්ලෝ, වගේ අයගෙ පොත්නෙ. මේ පාර ටිකක් වෙනසක් කරන්නත් හිතෙනව. බලමුකො. ඉංගිරිසි පොතක් දෙකක් ගන්නත් ආසාව තියෙනව. කියවල තේරෙයිද මංද. 
ආ. ආතර් සී. ක්ලාක් මහත්මයගෙ "අවසන් සිද්ධාන්තය" පොත ගිය පාර ගත්තනෙ. ඊට පස්සෙ වෙලාවක (ඔය කිව්වට ඊට මාස 5,6කටත් පස්සෙද කොහෙද) සරසවි පොත් හලට ගිය වෙලාවක, එතුමාගෙ තව පොතක් ගත්ත. "රාමා හමුව". එතුමගෙ තවත් පොතක් දෙකක් ගන්න ඕනෙ. S & T Group එකේ ස්ටෝල් එක කළේ මගෙ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් නිසා වැඩි ඩිස්කවුන්ට් එකකුත් හම්බුනා (හ්ම්ම්, යාලුව මොකාද කියල දැන් මතක නෑනෙ. මේ පාර ඒ කියන්නෙ වැඩි ඩිස්කවුන්ට් නෑ. :( )
එරිච් සේගල් ගෙ The Love Story (පරි: ප්‍රදීප් කුමාර බාලසූරිය) පොත ලෝකෙම ප්‍රසිද්ධ උනු ආදර අන්දරයක් ගැන පරිවර්තනයක්. හැබැයි පොත නම් ගොඩක් පොඩී. අර්නස්ට් හෙමිංග්වේගෙ "මහල්ලා සහ මුහුද" (පරි: ප්‍රාම් දෙල්දෙණිය) ගොඩක් ප්‍රසිද්ධ පොතක්. 
හොයා ගන්නව නම් හොයාගන්න මේන්න මේ පොත. ආර්. ඊ. රාස්ප්ගෙ "මැංචෝසන් චාරිකා" (අනු: ඩී. බී කුරුප්පු). බඩ පැලෙනකම් හිනා උනෑකි. මම මේ පොත හොයල හොයල හොයා ගත්තෙ මරදානෙ ගොඩගේ පොත් මැදුරෙන්. කෝල් කරල පොත බුක් කලා. :) තිබ්බ අන්තිමම කොපියද මන්ද. 
ඉතින් ඔයාලගෙ අදහසුත් කියනවද. ඒ කිව්වෙ ගන්න ගොඳ පොත් පිළිබඳ අදහස්. සරසවි පොත් හලේ වෙබ් අඩවියත් ටිකක් බලල යන එක හොඳයි. සෙනඟ අස්සෙ පොත් තෝරන්න ඒක යම්ම හරි පහසුවක් වෙයි. ඇයි අපේ මිත්‍රයෙක් පවත්වාගෙන යන SinhalaBooks.lk වෙබ් අඩවිය. ඒකත් බලන්න ඕනෙ. 

මම යන්න හිතන් ඉන්නෙ ඉරිදා (23). ඔයාල යන්නෙ කවදද? 

Thursday, August 23, 2012

හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ දිනයක්

දිනය පසුගිය 19 වන ඉරිදා. උදේ පාන්දරින් නොකා නොබී (ඔය කිව්වට කිරි එකක් බිව්ව) ගෙදරින් පිටත් උනේ කවදාවත් ලබල නැති අලුත්ම අත්දැකීමක් විඳගන්න. ගෙදර ඉඳල පැය 2ක දුරක් (බස් 4ක්) ගෙවාගෙන ගමනාන්තයට ලඟා උනා. 

ගමනාන්තය : හොරගොල්ල ජාතික වනෝද්‍යානය

මේක තියෙන්නෙ මෙන්න මෙතන. (ක්ලික් කරල බැලුව නම් ලොකුවට පෙන්නාවි.)

වචනයෙනුත් කිව්වොත් මේ තැන තියෙන්නෙ හොරගොල්ලෙ. හොරගොල්ල වලව්ව එහෙම අහල ඇතිනෙ?ඒකත් මේ ලඟ තමා. නිට්ටඹුවේ ඉඳල වේයන්ගොඩ පැත්තට කිලෝමීටරයයි. 

මේ තැන ගැන කෙටි විස්තරයක් කිව්වොත්, මේ තමයි ලංකාවේ තිබෙන කුඩාම ජාතික වනෝද්‍යානය. වර්ගප්‍රමාණය අක්කර 33යි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබෙන්නෙ. නමුත් හොඳ ජෛව විවිධත්වයක් තිබෙන කුඩා වන ගැබක්. නමටම අනුව, මේක හොර ශාකයන් පිරුනු පහත රට තෙත් වනාන්තරයක්.


සංඛ්‍යා වලින් කිව්වොත් ක්ෂීරපායී වර්ග 10ක්, පක්ෂි විශේෂ 64ක්, මත්ස්‍ය විශේෂ 7ක් හා සමණල් විශේෂ 28ක් මේ කුඩා වනාන්තරය තුළ වෙසෙනවා.
ඇතුළ් වෙනකොටම දැකගන්න පුළුවන් විශාල පුවරුව තමයි මේ ඉහළ ඡායාරූපයේ තිබෙන්නේ. වනයේ සිතියමක් හා මම මේ කියපු විස්තර ටික එහි තිබෙනවා. 
වනය තුළ ඉහළ සිතියමේ පරිදි සැම අත විහිදුනු, ගල් ඇතිරූ කුඩා අඩි පාරවල් තිබෙනවා. ඒ ඒ මංසන්ධි වලින් අංක කර තිබෙන දිශා වලට යනවා නම් මුළු වනය පුරාම කරදරයක් නැතිව යන්න පුළුවන්. ඔහේ වට පිට බල බල පමණක් ඔය අඩි පාරවල් දිගේ ඇවිදගෙන යනව නම් පැයකින් ඔබට පුළුවන් මුළු වනය පුරාම යන්න.


නමුත් අපේ කාර්යය උනේ ඒක නෙමෙයි, අපි එතනට ගියේ ඒකට නෙමෙයි. අපි මේ වනය තුළ පැය 8ක පමණ කාලයක් ගත කළා.

අපගේ අරමුණ : මේ වනය තුළ වෙසෙන සතුන් ඡායාරූපයට හසු කර ගැනීම.

ඉතින් ඔන්න ඔය අරමුණ පෙරදැදි කරගෙන තමා, මුහුණු පොත තුළ තුළ සංවිධානය කළ Event එකක් හරහා එකතු උනු 12 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායම කටයුතු කළේ. (කණගාටුවට කරුණක් උනේ මේ අවස්ථාව සංවිධානය කරන්න ප්‍රධානව සම්බන්ධ වෙලා හිටිය පුබුදු ඉන්දික සහෝදරයාට හදිසි කරදරයක් නිසා මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වීමයි. ඔහුගේ සීයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.)

ඡායාරූපය: ප්‍රමිත දිල්රුක්

ඉතින් මේ කණ්ඩායම එකතු වෙලා මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ සහයත් ඇතුව හාපුරා කියල කැලේට ඇතුළු උනා. (එතුමා එනකම් අනිත් අයට ඉතින් චුට්ට වෙලාවක් බලා ඉන්නත් සිද්ද උනා. ඕව මොනවද ඉතින්. දඩ කැමරා බඩු ටිකකුත් උස්සන් ආවෙ පවුල් පිටින්. :) ) 
ඉතින් දවල්ට කන බොන ඒව එහෙමත් සැලසුම් කරල, අපි කැලේ ඇතුළට ඇතුළු උනා. (ටිකටුත් ගන්න ඕනෙ හරිය. ලොක්කෙක්ට රු.40යි, පොඩ්ඩෙක්ට රු.20යි. + 12% වැට් බද්ද)

හ්ම්ම් දැන් නිදිමතයි හොඳටම. තව අඩු වැඩිය එක්ක ඊලඟ ලිපියෙන් හමුවෙන්නම්.

Saturday, August 4, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 4 කොටස (අවසාන කොටස)

මින් පෙර ලිපි තුනක් හරහා අපි සාකච්ඡා කළා වෙබ් අඩවි සාදනකොට බහුතරයක් දෙනා කරන පොඩි පොඩි වැරදි සම්බන්ධයෙන්. ඉතින් මේ ඒ ලිපි පෙළෙහි අවසාන ලිපිය. මුල් ලිපි 3 කියෙව්වෙ නැති අය පහත සබැඳියන්ගෙන් යන්න.
පළමු ලිපිය | දෙවන ලිපිය | තෙවන ලිපිය

ඔන්න අද කොටස.



31. සබැඳියන් පෙන්වන්න.
අඩවියට පැමිණෙන්නාට හැකියාව තිබෙන්න ඕනෙ, ක්ලික් කළ හැකි සබැඳියන් මොනවාද සබැඳියන් නොවන්නේ මොනවාද යන්න තේරුම් ගන්න. සාමාන්‍යයෙන් නම් සබැඳියක් යටින් ඉරකින් හා තද නිල් පැහැයෙන් තමයි දැක්වෙන්නෙ. ඔබගේ අඩවියේ වර්න තේමාවට අදාල ආකාරයට, ගැළපෙන වර්ණ යොදාගන්න.

32. සාමාන්‍ය වැකි වල වර්ණ වෙනස් කරන්නට හා යටින් ඉරි අඳින්නට එපා.
අත්‍යවශ්‍යම අවස්ථාවක හැරුනුවිට සාමාන්‍ය වාක්‍ය කොටස් වල අකුරු වර්ණය වෙනස් කරන්නටවත් යටින් ඉරි අඳින්නටවත් එපා. එමගින් කියවන්නා නොමඟ යා හැකියි. සබැඳියන් මොනවාද යන්න පැහැදිලිව පෙනෙන ආකාරයට වර්ණ හා ඉරි යොදාගන්න.

33. ක්ලික් කරන ලද සබැඳියන් වල වර්ණය වෙනස් කරන්න.
වෙබ් අඩවියක් භාවිතයේදී මේක ඉතා වැදගත්. කියවන්නාට හැකියාව තිබිය යුතුයි, තමුන් බලපු පිටු මොනවාද නොබලපු පිටු මොනවාද යන්න පැහැදිලිව බලාගන්නට. බලපු පිටු වලට යළි යළිත් නොගිහින් සිටීමට හා අඩවිය භාවිතයට මින් ලොකු සහයක් කරනවා.

34. Animated Gif යොදාගන්නට එපා.
දැන්වීම් සඳහා banners යොදාගැනීමට අවශ්‍ය අවස්ථාවක හැරුණුකොට වෙනත් ස්ථාන වල මේවා භාවිතා කරන්නට එපා. එමගින් එම අඩවියට unprofessional ගතියක් එකතු කරනවා සහ භාවිතා කරන්නාගේ අවධානය වෙනතකට යොමු කරනවා.

35. රූප සඳහා “ALT” හා “TITLE” attributes අනිවාර්යයෙන්ම යොදන්න.
එමගින් ඔබගේ අඩවියේ SEO වලට විශාල සහයක් ලබාදෙනවා පමණක් නොව, රූප රහිතව අන්තර්ජාලයේ සැරිසරන්නන්ට, අන්ධ පුද්ගලයින්ට, ඉහළ සහයක් ලබා දෙනවා.

36. ඇසට අපහසු වර්ණ යොදාගන්න එපා.
ඔබගේ වෙබ් අඩවියට ඇවිල්ල විනාඩි 10කින් ඒ පුද්ගලයාට හිසේ කැක්කුමක් ඇහේ අමාරුවක් හැදෙනව නම් ඔබ ආපහු හිතල බලන්න වෙනව ඔබගේ අඩවියේ වර්ණ සංකලනය සම්බන්ධයෙන්. අඩවියේ අරමුණට කියවන්නාව නාභිගත කරන ආකාරයේ හා ඇසට පහසු ආකාරයේ වර්ණ සංයෝජනයක් සිදු කරන්න.

37. Popups භාවිතයෙන් වළකින්න.
මේ කියන්නෙ සියළුම ආකාරයේ popups ගැන. පොප් අප් එකක් කියන්නෙ අඩවියට පැමිණෙන්නාව තරහ ගස්වන ආකාරයේ දෙයක්. මේක කොතරම් කරදරයක්ද කියල හිතාගන්න පුලුවන්නෙ දැනට තිබෙන Popup Blockers මෘදුකාංග ගණන දිහා බැලුවම.

38. Javascript සහිත සබැඳියන් යෙදීමෙන් වළකින්න.
මේවා මගින් සබැඳියන් සමඟ කුඩා javascript කේතයන් දුවවනවා. මේව භාවිතා කරන්න එපා. මොකද හුඟක් වෙලාවට මේවා, භාවිතා කරන්නාට ප්‍රශ්න ඇති කරනවනවා.

39. අඩවියේ Footerහි, අත්‍යවශ්‍ය දේ සඳහා සබැඳියන් යොදන්න.
හුඟක් අය, තමුන්ට අවශ්‍ය දේ සොයාගන්න අපහසු උනාම අඩවියේ ෆුටරය බලන්න පෙළඹෙනවා. ඉතින් අඩවි පරිශීලකයාට අත්‍යවශ්‍යම වෙයි කියල හිතෙන දේ වලට සබැඳියන් ෆුටරයේ යොදන්න. උදා: Contact Us

40. ඉතා දිගු පිටු සකසන්න එපා.
අඩවි පරිශීලකයාට සිද්ධ උනොත් පිටුවේ ඇති දේවල් කියවන්න, ඉවරයක් නැතිව පහලට ස්ක්‍රෝල් කරන්න, අනිවාර්යයෙන්ම ඔහු ඒ අඩවිය අත ඇරල යනව. ඉතින් කළ යුත්තේ කෙටි පිටු සකසමින්, පිටු අතර ගමන් කිරීමේ ක්‍රම පහසු හා වේගවත් කිරීමයි.

41. හරස් අතට ස්ක්‍රෝල් කරන්න පිටු සකසන්න එපා.
දිගු අතට ස්ක්‍රෝල් කිරීම අත්‍යවශ්‍ය වුවත් හරස් අතට ස්ක්‍රෝල් කරන්න නම් කවුරුවත් කැමති නෑ. ඉතින් දැනට බහුලව භාවිතා වන 1024 x 768 pixels resolution එකටවත් ගැළපෙන ආකාරයට අඩවිය සකසන්න.

42. අක්ෂර වින්‍යාස හා භාෂා වින්‍යාස වැරදි තබන්න එපා.
මේක ඇත්තෙන්ම web design වැරැද්දක් නෙමෙයි. නමුත්, වෙබ අඩවියක සමස්ථ තත්වය සඳහා බරපතලවම බලපාන දෙයක්. වෙබ් අඩවිය තුළ තිබෙන වචන හා වගන්ති වල වැරදි නැති බවට සහතික කරන්න.

43. CAPTCHA භාවිතා කරනවා නම් ඒවායේ අකුරු කියවිය හැකි මට්ටමට සකසන්න.
ස්පෑම් කරදර වලින් මිදීමට, බොහොමයක්ම දෙනා තම අඩවි සඳහා captcha භාවිතා කරනවා. නමුත් මේ සමහරක් ඒවා කියවන්න මුළු පවුලම ඇවිල්ල බැලුවත් හරියන්නෙ නැති වෙනවා. මමත් පෞද්ගලිකව සමහරක් අවස්ථා වල අපහසුතාවයට පත් වෙලා තිබෙනවා මේ captcha කියවගන්න අමාරු වෙලා.

ඔන්න ඉතින් ඒ ලිපි පෙළත් අදින් අවසානයි. මින් ඔබ යමක් ඉගෙනගන්නට ඇතැයි සිතනවා.
කොච්චර කිව්වත් මමත් මේ වැරදි කරනවා/කර තිබෙනවා. නමුත් අඩු කරගන්න/වළක්වාගන්න උත්සාහ කරනවා.
ඔබට ජය.





Thursday, June 28, 2012

අවුරුදු තුනයි

දෙයි හාමුදුරුවනේ, දන්නෙම නැතිව මගෙ බ්ලොග් එකට අවුරුදු තුනකුත් වෙලා. 2009 ජුනි 28 වෙනිද පටන් ගත්තු බ්ලොග් එකට අද වෙනකොට අවුරුදු 3ක් පිරිල. 
මුල් කාලෙ එතරම්ම තේරුමක් තිබ්බෙ නෑ ලියන එක ගැන, නමුත් පස්සෙ මම විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලිව්ව. කොටස් වෙළඳපළ ගැන, ඡායාරූපකරණය ගැන, වෙබ් අඩවි ගැන එහෙම. 
පසුගිය අවුරුද්දෙ වැඩිපුරම ලිව්වෙ නම් වෙබ් අඩවි / බ්ලොග් අඩවි සැදීම සම්බන්ධ ඉඟි හා උපදෙස්. විශේෂයෙන්ම ට්‍රැෆික් ගෙන්න ගන්න එක ගැන එහෙම. ඇයි තොටගමුවේ හාමුදුරුවන්ගෙ ජනප්‍රවාද පෙළ. 
ඒත් මේ අවුරුද්දෙ එතරම් ලිපි නම් ලියවුනේ නෑ. 
පසුගිය වසරේ ලිව්ව ලිපි අතරින්, විශේෂ ලිපි ලෙස කියන්න පුළුවන්, ජනප්‍රිය උනු ලිපි ගැන කිව්වොත් මෙහෙමයි.

"Image Today" බලන්නට ගියෙමි සහ තවත් කතාපොත් ප්‍රදර්ශනේ බලන්න ගියෙමි සහ යන්න ඉන්න අයට උදව්වක්ඊයෙ ගොඩක් විශේෂ දවසක්එදා විහිළු හා අද විහිළු
ඔන්න ඔහොමයි සිද්ධිය.
වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් කියන මාතෘකාවෙනුත් ඉස්සෙල්ල මම දුන්නු පොත් පිංච වගේ පොත් පිංචක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉදිරියට. :)

Sunday, June 3, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 3 කොටස

මතක ඇතිනෙ, පසුගිය ලිපි දෙකකින් මම කතා කළා වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් 20ක් ගැන. 
ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ. 

21. Text Navigation භාවිතා කරන්න. 
වෙබ් පිටු හරහා යාමට තිබෙන හොඳම සහ වේගවත්ම ක්‍රමය තමයි මේක. සමහරක් වෙබ් අඩවි පරිශීලකයින් රූප disable කරලයි අන්තර්ජාලය තුළ සැරිසරන්නේ. 

22. ඔබ යම් PDF ගොනුවකට සබැඳියක් යොදනවා නම් ඒක කියන්න. 
ඔබටත් අත්දැකීම් ඇති, ඔබ සබැඳියක් මත ක්ලික් කළාම ඔබට අවශ්‍ය නැති PDF ගොනුවක් ඕපන් කරන්න Adobe Reader එක ඕපන් වෙනකම් ඔබගේ බ්‍රවුසර් එක හිර වෙලා තියෙනව. මේක හරිම නරකයි. ඔබ ලින්ක් කරන්නෙ PDF ගොනුවකට නම් ඒක ඉස්සෙල්ල කියල තියන්න. එතකොට එම ලින්ක් එක ක්ලික් කරන පුද්ගලයාට පුළුවන් ඒක තමුන්ට ඕනෙ විදිහට හසුරවාගන්න. 

23. වෙබ් අඩවියේ versions ගොඩක් දීල අඩවියට එන පුද්ගලයාව අන්දමන්ද කරන්න එපා.
මම හිතන්නෙ දැන් නම් මේක එතාම් අවශ්‍ය නෑ, මොකද හැමෝම දැන් වේගවත් අන්තර්ජාල සබඳතා වලට හිමිකම් කියනව. ඉතින් ඔබට අවශ්‍ය කුමන bandwidth එකක්ද? 56Kbps? 128Kbps? Flash? HTML? වෙබ් අඩවියට එන මනුස්සය කියන්නෙ, මොකක් හරි කමක් නෑ මට අවශ්‍ය තොරතුරු ටික දෙන්න කියලයි. 

24. තොරතුරු අතරතුර දැන්වීම් පළ කරන්න එපා. 
ඔබගේ ලිපි අතරමැද දැන්වීම් පළ කරන එක ඔබගේ දැන්වීම් වලට ලැබෙන ක්ලික් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරනවා තමයි. නමුත් ඒක කෙටි කාලීනයි. දිගුකාලීනව බැලුවොත් ඒක ඔබගේ කියවන්නන් ගණන අඩු කරනවා. තරහ ගිය පරිශීලකයෙක් කියන්නෙ ඉදිරියටත් ඔබගේ පරිශීලකයෙක් නෙමෙයි. 

25. සරළ Navigation Structure එකක් හදන්න.
සමහරක් වෙලාවට සරල බව තමයි හොඳම වෙන්නෙ. මේක හුඟක් මිනිස්සුන්ටත් තේරීම් කරද්දිත් වලංගුයි. ඔබගේ වෙබ් අඩවියට සරළ හා පිළිවෙලට ඇති Navigation Structure එකක් හදන්න. ඔබගේ අඩවිය තුළ සැරිසරන්නාට සංකීර්ණ දේවල් දීල එයාව අවුල් කරන්න ඕනෙ නෑනෙ. 

26. හැඳින්වීම් දාන්න එපා. 
මේ කියන්නෙ වෙබ් අඩවියට ඇතුළු වෙනකොට මුලින්ම එන්න දාන Intros ගැනයි. හුඟක් අය කැමතියි, තමුන්ගෙ වෙඑබ් අඩවියට කවුරුහරි එනකොට, මේ අඩවිය මොන වගේ එකක්ද කියල ලස්සන ෆ්ලෑෂ් ඇනිමේෂන් එකක් එහෙම දාල, කියන්න. අඩවියට පිවිස්සෙන්නාට අනවශ්‍ය දේවල් ඕනෙ නෑ, එයාට ඕනෙ කරන තොරතුරු ටිකයි එයාට ඕනෙ. 

27. Front Page භාවිතා කරන්න එපා. 
මේක සියළුම බාල ගණයේ HTML Editors වලට අදාල වෙනවා. එයාල පෙන්නනව එබ් ඩිසයින් ගොඩක් පහසු කරනව කියල, නමුත් අවසාන ප්‍රථිඵලය වෙන්නෙ ඉතාම නරක විදිහට හැදුනු කෝඩ්ස් ටිකක්. සමහර බ්‍රවුසර් සපෝට් කරන්නෙ නෑ, වැරදිත් තිබෙනව. 

28. ඔබගේ අඩවිය හැම බ්‍රවුසරයකම හරි හැටි ක්‍රියාත්මක වන ලෙස සකසන්න.
හැම බ්‍රවුසරයක්ම හදල තියෙන්නෙ සමානවෙ නෙමෙයිනෙ. ඒ ඒ එව සමානව නෙමෙයි CSS හෝ වෙනත් භාෂා පරිවර්තනය කරගන්නෙ. ඔබ කැමති උනත් අකමැති උනත් ඉතින් ඔබට සිද්ධ වෙනවා, ඔබගේ අඩවිය විවිධ වෙබ් බ්‍රවුසර වල හරි හැටි ක්‍රියාත්මක වෙනවද කියල පරික්ෂා කරල බලල අවුල් තිබෙනව නම් සකසන්න. නැත්තම් වෙන්නෙ ඔබගේ අඩවියට මිනිස්සු එන එක අඩු වෙන එකයි. 

29. සබැඳියන් තුළ Anchor Texts යොදාගන්න
පිටුවක් ඇතුළෙ ලින්ක් දානකොට ඒ ලින්ක් එකෙන් යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවෙන වචනයක දෙකක විස්තරය තමා මේ ඇන්කර් ටෙක්ස්ට් කියන්නෙ. තමුන් මේ ලින්ක් එක ක්ලික් කළාම යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවන්නා දැන සිටීම ඔහුට ලොකු පහසුවක් වෙනව, මොකද, නිකම්ම Click Here කියල දාන එක එතරම්ම සාර්ථක නෑ. ඒත් එක්කම ඒක SEO වලටත් ගොඩක් හොඳයි. 

30. සබැඳියන් සඟවන්නට එපා
Anchor Text යොදනවාට අමතරව කියවන්නාට හැකියාව තිබිය යුතුයි මේ ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසුව තමන් යන්නෙ කොහෙටද කියල Browser එකේ Status bar එකේ පේන්න. ඒ කිව්වෙ ලින්ක් එකේ URL එක ඔබ නොසැඟවිය යුතුයි. ඒ සබැඳියන් Affiliate Link නිසා හෝ වෙනත් හේතුවක් නිසා හැංගුවොත්, කියවන්නාට ඔබ ගැන තිබෙන විශ්වාසය පලුදු වෙන්න ඒල හේතු වේවි/

තවත් දේවල් ටිකක් එක්ක ඊලඟ ලිපියෙන් හමු වෙමු.

Monday, May 14, 2012

PhotographyLK අඩවිය අති සාර්ථක ලෙස දියත් කෙරුණු වගයි



මාස කිහිපයක විශාල ප්‍රයත්නයකින් පසුව සාර්ථක ලෙස PhotographyLK අඩවිය ඊයේ සවස 6ට අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.
මුදාහරිනු ලැබූ පසුව විශාල පිරිසක් අඩවිය නැරඹීමටත් පැමිණියා. Google Analytics අනුව, ඊයේ පැය 6ට (විවෘත කළ සවස 6 සිට දිනය අවසන් වන තෙක්) පැමිණි පිරිස පහත පරිදි වෙනවා.



ඊයේ දින අවසන් වන විට statistics මෙහෙමයි. (2012.05.13)



ඉතින් අඩවිය ගැන සවිස්තරාත්මක ලිපියක් පළ කරන්නයි මේ සූදානම.

PhotographyLK කියන්නෙ මොකද්ද?

ඡායාරූපකරණය සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් විවෘත කෙරුනු වෙබ් අඩවියක්.
නමුත් මේක තවත් එක් වෙබ් අඩවියක් නම් නෙමෙයි. PhotographyLK අපේ ඉහළ දැක්මක් තිබෙනව. ඉතින් අඩවියේ දායකයින් හා ඇඩ්මින් වරුන් මේ දැක්ම වෙනුවෙන් හා අඩවියේ අරමුණු සඵල කරගැනීමට එක් සිතින් බැඳි සිටින කණ්ඩායමක්.



අපේ දැක්ම
ඡායාරූපකරණය සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ ශ්‍රී ලාංකිකයින් සඳහා තිබෙන ප්‍රමුඛම පෙළේ වෙබ් අඩව්යක් බවට පත් වීම.



PhotographyLK අරමුණු

අපගේ අරමුණු වෙන්නෙ පහත දේවල්.

“ඡායාරූපකරණයට ඇල්මක් දක්වන, ඡායාරූපකරණයේ යෙදෙන, ඡායාරූපකරණය සඳහා ආධාර සේවාවන් ලබාදෙන ඔබ සැමටම, සේවයක්, සහයක් ලබාදීම හා එම සියළුම දෙනාව එකම තලයක් මතට ගෙන එමින්, ඔවුනොවුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් පහසු හා සරළ කිරීම මෙම අඩවියේ ප්‍රධාන අරමුණයි.”
“ඡායාරූපකරණය සම්බන්ධව සිංහලෙන් ලියැවුනු ලිපි පළ කරමින්, ආධුනික ඡායාරූප ශිල්පීන්ට අත්වැලක් සැපයීමද මෙම අඩවිය හරහා අපි බලාපොරොත්තු වෙමු.”

PhotographyLK ඔබ වෙත ලබාදෙන සේවාවන්

  • ඡායාරූපකරණය සම්බන්ධයෙන් අධ්‍යාපනික ලිපි (මේ ලිපි, ප්‍රධාන වශයෙන්ම ආධුනික ඡායාරූප ශිල්පීන් ඉලක්ක කරමින් ගොඩ නඟන ලද ලිපි එකතුවකි.)
  • ඡායාරූපකරණය සම්බන්ධ කැමරා හා උපාංග පිළිබඳව, පොත්පත් සඟරා පිළිබඳව, වෙබ් අඩවි පිළිබඳව, මෘදුකාංග පිළීබඳව විචාරයන්.
  • ඡායාරූපකරණය සම්බන්ධ පොත්පත් , විඩියෝ දර්ශන බැලීම/ භාගත කර ගැනීමට පහසුකම්
  • ඡායාරූපකරණය සම්බන්ධ පුවත්, ප්‍රදර්ශන, වැඩමුළු සම්බන්ධ විස්තර ප්‍රචාරය
  • ඡායාරූපකරණය හා සම්බන්ධ පුද්ගලයින්, ආයතන, වලට තම විස්තර ඇතුලත් කළ හැකි ව්‍යාපාර නාමාවලිය
  • ඕනෑම සාමාජිකයෙකුට නොමිලේ තම දැන්වීම් පළ කළ හැකි ලුහුඬු දැන්වීම් පිටුව
  • සාමාජිකයින් විසින් එකතු කරන ලද ඡායාරූප වලින් පිරි පිංතූර ගැලරිය
  • කාලයෙන් කාලයට විවිධ තොරතුරු හා පුවත් ගෙන එන ඊ ලිපිය

මේ සේවාවන් වලට අමතරව තවත් සේවාවන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මූලික සාමාජිකයින්ට (Subscribers) ලැබෙන පහසුකම්

  • අඩවිය තුළ ලිපි කියවීම හා පහසුවෙන්ම අදහස් ප්‍රකාශ කිරීම
  • අඩවි පුවත් ලිපිය හා එක්වීම
  • Business Directory එකට Listings එකතු කිරීම
  • ලුහුඬු දැන්වීම් පිටුවට දැන්වීම් පළ කිරීමේ හැකියාව

තවත් පහසුකම් රැසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

PhotgraphyLK දායකයින්ට  (Contributors) ලැබෙන පහසුකම්

  • අඩවි සාමාජිකයින්ට ලැබෙන පහසුකම් සියල්ල
  • අඩවියට ලිපි ලිවීමේ හැකියාව
  • Business Directory එකට Listings එකතු කිරීම හා ඒවා Dash Boardහි සිට පාලනය කිරීමේ හැකියාව
  • Business Directory තුළ නොමිලේ Listings දෙකක්

ඉතින් සරළවම කෙටියෙන්ම කියන්න තියෙන්නෙ ඔය ටික තමයි. මේ දේවල් වලින් PhotographyLK කියන්නෙ මොකද්ද, PhotographyLK මොකද්ද කරන්න හදන්නෙ කියල ඔබ සැමටම අදහසක් එන්න ඇතියි කියල හිතනව.
තව අදහස් ගොන්නක් අපිත් එක්ක තිබෙනව, තව ඉදිරියට කරන්න සැලසුම් කරගෙනත් ඉන්නව දේවල් කිහිපයක්. පුළුවන් ආකාරයට කාලයෙන් කාලයට ට්ක ටික ඒවා එකින් එක ක්‍රියාත්මක කරන්න අපි හිතාගෙන ඉන්නව.

PhotographyLK වෙනුවෙන් ඔබට කළ හැකි දේ

  • PhotographyLK පිළිබඳව තොරතුරු අන් අයට පැවසීම
  • PhotographyLK අඩවියට සබැඳියක් / අඩවියේ දැන්වීමක් ඔබගේ අඩවියේ / බ්ලොග් අඩවියේ පළ කිරීම
  • PhotographyLK තුළ ලිපි ලිවීමට එකතු වීම
  • PhotographyLK වෙත පුවත් සොයා දීමට සහය වීම
  • අඩවිය පවත්වාගෙන යාම හා අඩවිය හරහා සංවීධානය කරන අවස්ථා වලට මූල්‍යමය සහය හා ශ්‍රම සහය ලබාදීම

ඡායාරූපකරණයට ලැදි, ඡායාරූපකරණයේ යෙදෙන ඔබ, අපිත් එක්ක සැමදාම එකතු වෙලා හිඳිමින්, අපිට සහයක් වේවි, මේ අඩවියෙන් ප්‍රයෝජනයක් ගනීවි කියල PhotographyLK අපි බලාපොරොත්තු වෙනවා.






ප.ලි. : මෙම අඩවිය සාර්ථක කරගැනීමට උර දුන් මනුශාන් සොයුරාට මගේ හද පිරි ප්‍රණාමය.
ඉදිරියට අඩවිය පවත්වාගෙන යාම සඳහා දැනට අප හා එක්ව ඇති අයටත් මගේ ස්තුතිය.
තවත් එකතු වෙන්න කැමති අය ඉන්නව නම් කියන්න. ඔයට සහයක් විය හැක්කේ කෙසේද කියලත් කියන්න.

Sunday, May 6, 2012

තව දින 6යි

මොකටද????

ඔයාලට මතකද දන්නෙ නෑ කාලෙකට ඉස්සර මම "Photography සිංහලෙන්" කියල ඡායාරූපකරණය ගැන ලියවෙන බ්ලොග් එකක් කළා. මුලින්ම බ්ලොගර් වල පටන් අරගෙන ඊට පස්සෙ වර්ඩ්ප්‍රෙස් දාල Roosara.info යන ඩොමේනය යටතේ අඩවිය පවත්වාගෙන ගිහිල්ල, ඊටත් පස්සෙ Roosara.net යන ඩොමේන් එක යටතේ පවත්වාගෙන ගියා. පස්සෙ පස්සෙ මට හරියකට වෙලාවක් නැති වෙලා බ්ලොග් එක අප්ඩේට් උනේ නෑ එතරම්. ඉතින් ටිකක් අභාවයට ගියා. 
අන්තිමට කෙල උනා. ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් නිසා ඩොමේන් එකට කෙල උනා. ඉතින් මම තීරණේ කළා උන දේ උනේ හොඳටයි කියල,
කට්ටියගෙන් අදහස් විමසල අලුත්ම ආරක වෙබ් අඩවියක් දෙන්න බලාපොරොත්තුවෙන් අලුතින්ම ඩොමේන් එකක් අරගෙන වැඩේට සෙට් උනා. ජනවාරි මාසෙ අඩවිය හදන්න පටන් අරගෙන, ඒකෙත් අවුල් ගොඩක් නිසා 75%ක් විතර හදල තිබ්බ අඩවිය අතෑරලම දැම්ම. ඊට පස්සෙ මේ අප්‍රේල් වල අවුරුද්දෙන් පස්සෙ ආපහු මේක ගොඩ දානවමයි කියල හිතාගෙන ආපහු මුල සිටම වැඩේට බැස්ස. 
ඉස්සෙල්ල පාර මාස 2ක් විතර තිස්සෙ කළ දේවල් ටික, මේ පාර සති 3කින් ගොඩ දැම්ම. තනියම නෙමෙයි, මගෙ මිත්‍රයෙක් මට ලොකු සහයක් උනා. අඩවියේ කටයුතු 90%ක්ම ඉවරයි. හැබැයි ලිපි ගොඩක් තව ඕනෙ කරල තිබෙනව. අනෙකුත් වැඩ නම් බොහොමයක් ඉවරයි. ඉතින් එන 12 වන සෙනසුරාදා සවස 6.00ට, මේ කියන වෙබ් අඩවිය ඔබ වෙනුවෙන් විවෘත වෙනවා.

ඔක්කොම හරි, මොකද්ද ඉතින් මේ වෙබ් අඩවිය??? පහල විඩියෝ එක බැලුවොත් ඔයාලටම තේරෙයි.




තේරුනා නේද දැන් මේ කියන්නෙ මොකක් ගැනද කියල?
"PhotographyLK" ඡායරූපකරණය සම්බන්ධ සියළුම පුද්ගලයින් එකම වේදිකාවක් මතට ගෙන එන්නට උත්සාහ දරන වෙබ් අඩවියක්. සේවාවන් බොහොමයක් එක්ක එන අඩවියක් කියල වීඩියෝව දැක්කම පේන්න ඇතිනෙ?

මේ අඩවිය මම තනියම හදපු එකක් නෙමෙයි. මනුෂාන් විමංස මල්ලි එක්ක එකට එකතු වෙලා හැදුවෙ. මනුෂාන් ලොකු වැඩ ප්‍රමාණයක් කළා. ඔහුට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. 

ඉතින් මේ එක්කම ඔබගෙනුත් ඉල්ලීමක් කරන්නට කැමතියි. 
ඔබට ඡායාරූපකරණය සම්බන්ධ ලිපි ලිවීමේ හැකියාවක් තිබෙනවා නම් හෝ වෙනත් ආකාරයකින් අඩවියට සහයක් වීමට කැමති නම් ඔබගේ ඊ මේල් ලිපිනය එක්ක කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක පබ්ලිශ් කරන්නෙ නෑ මම. නමුත් ඔබ හා සම්බන්ධ වෙන්නම් මේල් එකක් හරහා. 

තව කරන්න දේවල් ගොඩක් තිබෙනවා. ඒව ටික ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. වෙබ් අඩවියේ දුර්වලතා තිබුණොත් සමාවෙන්න ඕනෙ. (දැන්ම නම් දැනගන්න ලැබෙන්නෙ නෑ ඉතින් එන සෙනසුරාද වෙනකම්ම ඉන්න වෙනව. :) )

PhotographyLK කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ඔබටත් ආරාධනා...