Tuesday, September 25, 2012

පොත් ප්‍රදර්ශනයට ගියෙමි - පොත් ගතිමි - මිතුරන් හමුවුනෙමි

ඔව් ගියානෙ, එක පාරක් නෙමෙයි දෙපාරක්ම.
පළවෙනි පාර බලා කියාගෙන එන්න කියල ගිහිල්ල පොතුත් 10ක් වගේ අරගෙන ආව. දෙවෙනි පාර ගන්න ගිහිල්ල තව පොත් 14ක් අරගෙන ආව. අපේ නගා ගියා දවස් 2,3කට ඉස්සෙල්ල එයත් පොත් 9ක් අරගෙන ඇවිල්ල තිබුණ.
ඇත්තෙන්ම අපේ මේ වාර්ෂිකව පොත් ගන්න යෑම පොත් ගන්නම විතරක් යන එකක් නෙමෙයි, අපේ අතිජාත මිතුරන් සෙට් එක එකතු වෙන්නත් යොදාගන්න අවස්ථාවක්.

ඡායාරූපය නිසුපානිස්ගේ අනුග්‍රහයෙනි

ඡායාරූපයත් එක්කම විස්තර කළොත්, වමේ සිට, මගේ සුපැරණි මිතුරු උදිත, ඊලඟට මම, ඊට පස්සෙ දිමුතු, මැද්දෙ රිට වගේ ඉන්න සහන් මල්ලි, ඊලඟට මගෙ ඉපැරණි මිතුරිය නිසුපා හෙවත් නිපුසා, සාලිකා, මනෝරි අක්කා හෙවත් මනෝ අක්කා සහ අවසාන වශයෙන් පබා හෙවත් පබාවතී.
ඉතින් මේ අපේ සෙට් එක ඔක්කෝම සෙට් උනේ ගොඩ කාලෙකට පස්සෙයි. මොකද ඉතින් එක එක්කෙනා එක එක වැඩනෙ, ඉතින් එකට එකතු කරගන්න හරිම අමාරුයි. සමහරු රට ඉඳල එනව, සමහරු රට යන්න ලෑස්ති වෙනව. 
ඉතින් හරිම සතුටුයි ඔක්කොමල්ල එකතු උනු එක ගැන නම්. ඔය අස්සෙ ඉතින් අපි පොතුත් ගත්ත. මගෙ කුමාරිකාවට එන්න උනේ නෑ එයාට උදේ විභාග නිරීක්ෂණ කටයුත්තක් යෙදිල තිබුණු නිසා. අපේ නංගි ආවෙ නෑ ඉස්සෙල්ල ගිය නිසා, ගිය පාර ආපු උදිතගෙ මල්ලි මේ වෙනකොට ඉන්දියාවෙ. නිසුපගෙ නගාට නැගිටගන්න බැරිව සෙමලු. දිමුතුවව ගෙන්න ගත්තෙ තර්ජනයක් කරල. 
ඉතින් මේ යාලුවො සෙට් එකත් එක්කම බ්ලොගෝලයේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුත් මුණගැහෙන්න කතා උනාට උන්ගෙන් කී දෙනයිද හම්බුනේ. මම සෙනසුරාදා තනියම ආ වෙලාවේ ශානි මුණගැහුන. කඩ හොයාගන්න බැරිව කැරකි කැරකි ඉන්නකොට. 
ඉරිද උදේ පාන්දරම නෙරන්ජිව මුණගැහුන, කොල්ල නැතිව තනියම කැරකි කැරකි ඉන්නව. නෙරන්ජි හරිම හොඳයි, ඕනෙ උනොත් කියල ෆෝන් නම්බර් එකත් දුන්න ඉස්සෙල්ල දවසෙ, හැබැයි ෆෝන් එකේ බැටරි බස්සල ඕෆ් කරගෙනම තමා ඇවිල්ල තිබුණෙ.
ඊට පස්සෙ ගෝල්ඩ් ෆිෂ් මුණගැහුන. ඌට තිබ්බ හදිස්සියක්. ඌ එක්ක හිටිය ගෑණු ළමය කවුද කියන එක කාටත් අභිරහසක් :D
අපි ඉතින් පට්ට බඩගින්නෙ කාල තේ බොනකොට මෙන්න නෙරන්ජි කොල්ලවත් හොයාගෙන ආව. :)
ඊට ටිකකට පස්සෙ අර කොමෙන්ට් 20,000 පෝස්ට් එකේ අයිතිකාරිත් කොහෙන්ද මන්ද මතු වෙලා නිසුපගෙ තේකට වග කිව්ව. අනේ අන්තිමට නිසුප කියනව, "අනේ මේකෙ ගොඩක් තිබ්බනෙ" කියල. පවු ඉතින්. ;)

මම ගිය පාර නම් එකතු කරන්න හිතාගෙන චින්ගීස්ගෙ හා පවුලෝගෙ පොත් සෙට් එකක්ම ගත්තනෙ. ඇත්තම කිව්වොත් ඒව කියවල ඉවර කළේ නෑ. මේ පාර හිතල බලල කියවන්න පුළුවන් ඒව ටිකකුත් ගත්ත. නමුත් අරම එකතු කරන්න කියල හිතාගෙන ගත්තු පොත් ටිකකුත් තිබෙනව.
ඉතින් ඔක්කෝම පොත් (මම සහ නංගි ගත්තුව) වල එකතුව 33ක් වෙනව. (එකක් නගාට ඕනෙලු කොල්ලට තෑගි දෙන්න) පොත් වල වටිනාකම රු.12,000ක් වගේ. වියදම රු.9,500ක් වගෙයි වෙලා තියෙන්නෙ. 
මම ඉතින් ලිස්ට් එකක් දාන්නම්කො.

  1. රට රට වල සුරංගනා කතා
  2. අයේෂා ආපසු එයි (රයිඩර් හැගාඩ්)
  3. ඈ සහ ඇලන් (රයිඩර් හැගාඩ්)
  4. ලෝක විනාශය (ආතර් සී. ක්ලාක්)
  5. පාරාදීසයේ උල්පත් (ආතර් සී. ක්ලාක්)
  6. ජනකාන්ත මිත්‍යා මත
  7. වානරයා
  8. රාවණ මෙහෙයුම
  9. සරදියෙල්
  10. මනුසත් උයන (ඩෙස්මන් මොරිස්)
  11. රුසියන් කෙටිකතා
  12. ජේන් අයර්
  13. මුතු කරාබුව පැළඳි යුවතිය
  14. පර්ජා
  15. කාවේරි
  16. අපේ ගම (මාර්ටින් වික්‍රමසිංහ)
  17. කරුවල ගෙදර  (මාර්ටින් වික්‍රමසිංහ)
  18. රන් පිළිමය හා වෙනත් කතා  (මාර්ටින් වික්‍රමසිංහ)
  19. මුවන් පැලැස්ස
  20. මැක්සිම් ගෝර්කි - තෝරාගත් කෙටි කතා
  21. වානේ පන්නරය ලැබූ හැටි
  22. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 1 හා 2 කොටස්
  23. හීන් සැරය
  24. මඟුල් කෑම
  25. ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්ගේ අප්‍රකට ලිපි
  26. ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ විචිත්‍ර දේශනා
  27. පහසුවෙන් සිහිය වඩන මඟ
  28. බෝධි පාක්ෂික ධර්ම විස්තරය
  29. බුදු දහමේ මූලික ඉගැන්වීම්
  30. මොසපොතේමියාගේ ඝාතනය
  31. රොජර් ඇක්‍රොයිඩ් මරා දැමීම (අගතා ක්‍රිස්ටි)
  32. මකුළු දැල (අගතා ක්‍රිස්ටි)
  33. හර්කියුලිස්ගේ රහස් පරීක්ෂණ  (අගතා ක්‍රිස්ටි)
මෙන්න මෙහෙම තමා ගත්තු පොත් විස්තරය. ෆොටෝ එකක් දාන්න ලේසි නැති නිසා නිකා හිටිය.

මේවට අමතරව අපේ සාලිකා මිතුරියට මම, මහරහතුන් වැඩි මඟ ඔස්සේ පොත් දෙක හා සාරභූමි පොත් තුන්කට්ටුව අරන් දුන්නා තෑග්ගක් වශයෙන්. 

ප්‍රදර්ශනේ ගැන කියනවා නම් ප්‍රදර්ශනේ හොඳයි. ප්‍රකාශකයින්ට නම් පට්ටම ලාභයක් ඇති. කියවන ජනතාවටත් තමුන්ගෙ ලාභයෙන් කොටසක් වැය කරමින් පොත් දෙන එක නම් අගය කළ යුතුයි. ඒත් එක්කම ඔවුන් කතුවරුන්ට කරන අසාධාරණයත් ටිකක් අඩු කළොත් නම් හොඳයි. (කතෲ භාගය නොදී පොත් හොරෙන් මුද්‍රණය කර විකිණීම වගේ දේවල්). ඒ ගැන වැඩිපුර කතා කරන්න ඕනෙ නෑ කියල හිතනව. 
කොහොමෙන් කොහොම හරි, මේ වාරෙ පොත් සල්පිලත් අති සාර්ථක ලෙස තවමත් පැවැත්වෙනවා. අපිත් පොත් ගත්ත. සතුටුයි...

Thursday, September 20, 2012

[Update 2] මම ගන්න ඒවමත් නෙමෙයි, නමුත් ඔයාලට පොත් ගන්න උදව්වක්

ඉතින් අපි සෙට් එකක් යනවලුනෙ එන ඉරිද පොත් සල්පිලට. ඕකෙන් කට්ටිය පොත් ගොඩක් ගන්න අදහස ඇතිනෙ. සමහරු නම් එකක් දෙකක් වෙන්නත් පුළුවන්, සමහරු නම් පොත් කන්දක් වෙන්නත් පුලුවන්. ගිය පාරත් අපිත් එක්ක ගිය සමහරුන්ට ගත්තු පොත් ටික එල්ලගෙන ගිහිල්ල කොන්දෙ අමාරුත් හැදුනලුනෙ. :)

ගිය පාරත් මම කිව්ව පොත් ටිකක් ගැන, ඒවත් එක්ක මේ පාරත් පොත් ලැයිස්තුවක් දෙන්න හිතන්නෙ.
හැබැයි මෙහෙමයි. මගෙ රසාස්වාදය වෙනයි ඔයාලගෙ රසාස්වාදය වෙනයි. ඉතින් මම මේ කියන පොත් සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන්, සමහරුන්ට සවුත්තු වෙන්නත් පුළුවන්. ඔයාලගෙ අදහසුත් දෙන්න. එතකොට පොත් ලැයිස්තුව අලුත් කරන්න පුළුවන්නෙ ටික ටික. මේ සමහරක් පොත් මගෙ ලඟ තියෙන ඒව. සමහරක්, මගෙ ලඟ නැතත් කියවල තියෙන ඒව. සමහරක් මගෙ ලඟත් නැති කියවලත් නැති ඒව. (අන්න ඒවයින් ටිකක් සහ කියවල තියෙන මගෙ ලඟ නැති ඒවයින් ටිකක් මම මේ පාර ගනීවි.)

ගුරු ගීතය
චිංගීස් අයිත්මාතව් | පරි: දැදිගම වී. රොද්‍රිගූ | ප්‍රකා: කීර්ති
සුප්‍රසිද්ධ දුයිෂෙන්ගේ කතාව. මේක ගැන නම් කියන්න ඕනෙ නැතිව ඇති. 

ධිවර ගීතය
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
ධීවට පිරිසක් සමඟ මාළු අල්ලන්න යන කුඩා දරුවෙක්. අතරමං වෙලා පාර හොයාගන්න බැරිව, වැඩිමලුන් එකා එකා මිය යනවා. අවසානයේ මේ කුඩා දරුවා පමණයි. ඔහු කෙසේ හෝ ගොඩබිමට එනවා. සමහරවිට කියවන්න කම්මැලි හිතෙයි. මොකද මේකෙ දෙබස් අඩුයි, තිබෙන්නෙ හිතන දේවල් තමා වැඩිපුර.

ජමිලා
චිංගීස් අයිත්මාතව් | අනු: දැදිගම වී. රොද්‍රිගූ  | ප්‍රකා: කීර්ති
මේකත් හුඟක් ප්‍රසිද්ධ පොතක්නෙ ඉතින්.

සමුගනිමි ගුල්සාරි
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
මහලු වියේ සිටින අශ්වයෙකු හා මහල්ලෙකුගේ කතාවක්.

සුදු නැව
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන


2001, 2010, 2061, 3001 Space Odyssey Series එක 
ආතර් සී. ක්ලාක් | ප්‍රකා: S & T Group

රාමා හමුව
ආතර් සී. ක්ලාක් | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: S & T Group
පිටසක්වලින් අපගේ සෞර ග්‍රහ මණ්ඩලය හරහා යන නන්නාඳුනන මිය ගොස්ද නැතිද අවිනිශ්චිත යානාවක්...

අවසන් සිද්ධාන්තය
ආතර් සී. ක්ලාක් | පරි: තත්සරණි බුලත්සිංහල | ප්‍රකා: S & T Group
ක්ලාක්ගේ අවසන් කෘතිය.

මනුසත් උයන
ඩෙස්මන් මොරිස් | | ප්‍රකා: S & T Group

හිතන පතන යන්ත්‍ර
විද්‍යා ප්‍රබන්ධ එකතුවක්. | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: S & T Group

මැංචෝසන් චාරිකා
ආර්. ඊ. රාස්ප් | අනු: ඩී. බී. කුරුප්පු | ප්‍රකා: කුරුලු පොත්
බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් හුඟක් ලස්සන කතාවක්. සාමාන්‍ය විහිළු නෙමෙයි, හිතෙන්නෙවත් නැති ආකාරයේ out of the box විහිළු පිරුනු කතාවක්. මේක නම් හොයාගන්න තියෙයිද කියල ශුවර් නෑ. බලන්න ගොඩගේ පොත් මැදුර. පොඩි ගාණක් වෙන්නෙ, තිබ්බොත් හැබැයි අනිවා ගන්න.

මහල්ලා සහ මුහුද
අර්නස්ට් හෙමිංවේ | පරි: ප්‍රාම් තෙල්දෙණිය | ප්‍රකා: පොත් මිතුරෝ

ලව් ස්ටෝරි
එරිච් සේගල් | පරි: ප්‍රදීප් කුමාර බාලසූරිය
මේ පොත ලොව පුරා ඉතාම විශාල භාෂා ගණනකට පරිවර්තනය වෙලා තිබෙන, වාර්තා ගත අලෙවියක් වෙලා තියෙන ආදර කතාවක්.

සන්තියාගෝ නම් සැරිසරන්නා
පවුලෝ කොයියෝ | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
සුප්‍රකට "The Alchemist" පොතේ පරිවර්තනය

වෙරෝණිකා මැරෙන්නට තීරණය කරයි.
පවුලෝ කොයියෝ | පරි: ගාමිණි වියන්ගොඩ | ප්‍රකා: Fast Publishers
ජීවිතය එපා වී වස බී මැරෙන්නට ගොස් අවසානයේ රෝහලක ඇඳක් උඩදී සිහිය එන වෙරෝණිකාගේ දුක්බර කතාව..

මිනිත්තු එකොළහේ කතාව
පවුලෝ කොයියෝ | පරි: රුවිනි තල්පාවිල | ප්‍රකා: විදර්ශන

යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය
පවුලෝ කොයියෝ | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන

පියදෙරා ගඟබඩ හිඳ වැළපුණෙමි
පවුලෝ කොයියෝ |  | ප්‍රකා: විදර්ශන

වීදි දරුවා
බර්ලි ඩොරති | පරි: දෙව්දූ සෙනෙවිරත්න | ප්‍රකා: Baby Bee

ඈ හෙවත් අයේෂා, අයේෂා යළි පැමිණෙයි
රයිඩර් හැගාඩ් | පරි: කේ. පී. කරුණාතිලක | ප්‍රකා: දයාවංශ ජයකොඩි
මෙතුමාගේ පොත් හැම එකක්ම ඉතා ඉහළ ගණයේ කෘති.
වසර දහස් ගණනක් වයසැති රූප ශ්‍රීයෙන් අග තැන්පත් මායාකාරී රැජිණකගේ කතාව. ත්‍රාසය භීතිය පිරි කතා මාලාවක්.

මොන්ටිසුමාගේ දියණීය
රයිඩර් හැගාඩ් | පරි: ප්‍රේමසිරි මාහියංගොඩ | ප්‍රකා: දයාවංශ ජයකොඩි
පැරණි මෙක්සිකෝවේ ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ විනාශය, මවගේ ඝාතකයා සොයා යන මිනිසෙක් මුහුණදෙන ඛේදජනක සිදුවීම් මාලාවක්.

නිරුවත් වානරයා
ඩෙස්මන් මොරිස් | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: නව විද්‍යා
සුප්‍රසිද්ධ "Naked Ape" මනෝ විද්‍යා ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. මිනිසාගේ ගතිගුණ හා හැසිරීම් මනෝ විද්‍යා ඇසකින්.

ෆ්‍රැන්කස්ටයින්
මේරි ෂෙලී | පරි: චන්ද්‍ර අනගිරත්න | ප්‍රකා: දයාවංශ ජයකොඩි
දන්නවනෙ අර ශරීර කොටස් එකතු කරල අලුත්ම කැතම කැත ජීවියෙක්ව හදපු කතාව? අන්න ඒක තමයි මේ.

ස්මිත්
ලියොන් ගාෆීල්ඩ් | පරි: චිත්‍රා අයි. පෙරේරා | ප්‍රකා: Baby Bee
වීදි දරුවෙක්. සොරකම් කරන ලද ලියවිල්ලක්. එම ලියවිල්ලත් සමඟ ඔහුගේ ජීවිතයට තර්ජනයක්. ඒත් අන්තිමේ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක්.

කලු සිවුරුධර භික්ෂුව
ඇන්ටන් චෙකෝව් | පරි: රංජිත් ධර්මකීර්ති | ප්‍රකා: එස්. ගොඩගේ
ටිකක් අමුතු කතාවක්. මට නම් ටිකක් තේරුනත් හොරයි. :)

ඇට මැස්සා
පරි: සුගතපාල ද. සිල්වා

ගුප්ත ප්‍රතිවාදියා
අගතා ක්‍රිස්ටි | පරි: බර්ටි ද. සොයිසා
අගතා ක්‍රිස්ටි කියන්නෙ ලෝප්‍රකට රහස් පරීක්ෂක කතා ලිව්ව කතුවරියක්නෙ, මේ එයාගෙ එක් පොතක්.

රට රට වල සුරංගනා කතා
පරි: ටෙනිසන් පෙරේරා | ප්‍රකා: සරසවි
සුරංගනා කතා ඉතින් කියවන්න එපා වෙන්නෙ නෑනෙ.

මනස්තාපය
වික්ටර් හියුගෝ | පරි: විජයරත්න දොලවත්ත
ප්‍රකට Les Miserable කතාවේ සිංහල පරිවර්තනය. මේකද කොහෙද ලෝකෙ ප්‍රථම නව කතාව.

අදහස්
ෆෙඩ්‍රික් හරේන්
අලුත් අදහස් එකතුවක් හා අපේ අදහසුත් ලියන්නත් ඉඩක් තියල තියෙන පොතක්.

සොෆීගේ ලෝකය

පොලියානා

වානේ පන්නරය ලැබූ හැටි

වානරයා
වූ චෙං එන් | පරි: ඒ. පී. ගුණරත්න් | ප්‍රකා: සූරිය
ප්‍රසිද්ධ අමරණීය වානර මුණිවරයාගේ කතාව.

ස්පාටකස්
ග්‍රීසියේ වහලුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ කතාව.

කීඩෑවෝ ඇවිල්ලා

මළගිය ඇත්තෝ
එදිරිවීර සරච්චන්ද්‍ර


මුවන් පැලැස්ස
මුදලිනායක සෝමරත්න | ප්‍රකා: සරසවි
මේක ගැනත් කියන්න ඕනෙ නෑනෙ. :) මේ ප්‍රසිද්ධ ගුවන්විදුලි වැඩසටහන ගැන කවුද නොදන්නෙ.


ජනකාන්ත මිත්‍යා මත
තිලක් සේනාසිංහ | ප්‍රකා: සරසවි

රාවණා මෙහෙයුම
සුසිත රුවන් | ප්‍රකා: සරසවි
රාවණා රජු ගැන පවතින සාක්ෂි සමඟ කතා කරන පොතක්. මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන පොතක්.

කවි කඳුර (2011 ස්වර්ණ පුස්තක සම්මානය හිමි)
සුනේත්‍රා රාජකරුණානායක | ප්‍රකා: සරසවි

චුම්බන කන්ද (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)
ජයතිලක කම්මැල්ලවීර | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
බුද්ධදාසී
සුනේත්‍රා රාජකරුණානායක

සඳුන්ගිර ගිනි ගනී
සුනේත්‍රා රාජකරුණානායක
දුප්පත් මිනිස්සු, කොළඹ වැඩකාරකමට යන පොඩි කෙල්ලක්, ආදරයෙන් සළකන පවුලක්...


හරි. දැනට ලිස්ට් එක මෙන්න මේකයි. මේ පොත් බොහොමයක්, ගොඩක් දෙනා අත තියෙන්න පුළුවන් ඒව. නමුත් නොදන්න අයටත් දැනගන්නයි දැම්මෙ. තව මතක් වෙන විදිහට හා විස්තර ලැබෙන විදිහට මේ ලිස්ට් එක අප්ඩේට් කරන්නම්.
ඔයාලත් පොත් ගැන කියන්න කමෙන්ට් හරහා. එතකොට අනිත් අයට ඒවත් පහසුවක් වෙනවානෙ.

එහෙනම් අපි 23 වන ඉරිදා හමුවෙමු පොත් සල්පිලේදී... දැකල හඳුනගත්තොත් තට්ටුවක් දාල කතා කරන්න.

----------- අලුතින් එකතු කිරීම 2012.09.20 --------------------

ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන්ගේ අප්‍රකට ලිපි
සමුද්‍ර වෙත්තසිංහ | ප්‍රකා: සමුද්‍ර වෙත්තසිංහ
ආනන්ද හාමුදුරුවො ලියලු ලිපි හා උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ සිදුවීම් තමයි මේකෙ තියෙන්නෙ.

මුතු කරාබුව පැළඳි යුවතිය (Girl with a pearl earing)
ට්‍රේසි චෙවලියර් | පරි: ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද | ප්‍රකා: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් වර්මීර්ගේ චරිතය ඇසුරු කර ලියවුනු මනරම්, ගුප්ත, අනුවේදනීය ප්‍රබන්ධයක්.

පර්ජා (Parja)
ගෝපිනාත් මෝහන්ති | පරි: චිත්‍රා අයි. පෙරේරා | ප්‍රකා: විදර්ශන
කඳුකර ඕරිස්සා ප්‍රදේශයේ ජීවත් වන ගෝත්‍රික මිනිසුන්ගේ ජීවිත ගැන කියවෙන ඉන්දීය නූතන නව කතාවක්.

ජේන් අයර්
චාලට් බ්‍රොන්ටේ | පරි: එන්. ජී. විජේරත්න | ප්‍රකා: ආශිර්වාද
මේ ලෝකයේ ජනප්‍රියම ප්‍රේම වෘතාන්තය තමයි මේක. සම්භාව්‍ය ආදර කතාවක්.

ඔලිවර් ට්විස්ට්
චාර්ල්ස් ඩිකන්ස් | පරි: ඇම්. ඇම්. පියවර්ධන | ප්‍රකා: ආශිර්වාද
අනාථ නිවසෙන් පැන යන දරුවෙක් මුහුණදෙන විවිධ කම්කටොළු, ගැටළු... අවසානයේ සතුටුදායක අවසානයක්.

වෛරයේ මිදි ඵල (The Grapes of Wrath)
ජෝන් ස්ටෙයින්බෙක් | පරි: ශ්‍යාමන් හේමකොඩි | ප්‍රකා: විදර්ශන
ඇමරිකානු කම්කරු නීති පවා වෙනස් වීමට තරම් බලපෑමක් සිදු කරන ලද ඇමරිකානුවන් වැඩිම දෙනෙක් කියවන ලද මේ පොත වෙනුවෙන් කතුවරයාට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයද හිමි වෙනවා. මේක ඇමරිකාවේ සිදුවුනු දරුණුතම මානව ඛේදවාචකය පසුබිම් කරගත් හද සසල කරවන නිර්මාණයක්.


----------- අලුතින් එකතු කිරීම 2012.09.22 --------------------

ඈ සහ ඇලන්
රයිඩර් හැගාඩ් | පරි: චන්ද්‍ර අනගිරත්න | ප්‍රකා: දයාවංශ ජයකොඩි
අයේෂා කතාවේ අයේෂා සොයාගෙන ඇලන් ක්වාටර්මෙන් යන ගමනේ විස්තරය. මේක ඇලන් ක්වාටර්මෙන් කතා මාලාවේ එක් කතාවක්.

සරදියෙල්
විමලසේන ඉහළගම | ප්‍රකා: දයාවංශ ජයකොඩි

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
ඉන්ද්‍රජිත් සුබසිංහ | ප්‍රකා: කරුණාරත්න සහ පුත්‍රයෝ
දිවයින පත්‍රයේ මේ නමින් පළ වන ලිපි මාලාව කවුරුත් දන්නවනෙ. අන්න ඒකයි මේ. මේකෙ පොත් 2ක් තිබෙනවා. දෙකම ගන්න.

මකුළු දැල
අගතා ක්‍රිස්ටි | පරි: තොම්සන් ඒ වැන්දබෝනා | ප්‍රකා: සරසවි

මෙසපොතේමියාවේ ඝාතනය
අගතා ක්‍රිස්ටි | පරි: තොම්සන් ඒ වැන්දබෝනා | ප්‍රකා: සරසවි

අගතා ක්‍රිස්ටිගෙ පොත් කිහිපයකම පරිවර්තන සරසවි ප්‍රකාශකයින් කරල තිබෙනව.

සක්කාරං  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
චමින්ද වෙලගෙදර | ප්‍රකා: ෆාස්ට් පබ්ලිෂින්

ලලිත සමය  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
එරික් ඉලයප් ආරච්චි | ප්‍රකා: සරසවි ප්‍රකාශකයෝ

කළුවරයි පුරහඳ  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
අනුරසිරි හෙට්ටිගේ  | ප්‍රකා:  සදීපා ප්‍රකාශකයෝ

සිටුවර පුවත  (2012 ස්වර්ණ පුස්තක සම්මානය හිමි)  
රූපා ශි‍්‍රයානි ඒකනායක

පියැසි කවුළුව (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)  කපිල කුමාර කාලිංග

රතු ඉද්ද  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   කරුණාදාස සූරියආරච්චි

අභිරහස් ජීවිත තරණය  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   ටෙනිසන් පෙරේරා

පරඬැල්  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   ශාන්ති දිසානායක

තුන් තකතීරු මං
දිලීප ජයකොඩි

තවත් ඉදිරියේදී ලැයිස්තුව අප්ඩේට් කරන්නම්.

------- අමතර සහයක් --------

ඒ ඒ ප්‍රකාශයකයින්ගෙ ප්‍රදර්ශන කුටි තිබෙන තැන්

සිරිමාවෝ වම්පස ශාලාව 
සරසවි පොත් හල - A62-69
විජිත යාපා - A 4a, 9b

සිරිමාවෝ දකුණූපස ශාලාව
දයාවංශ ජයකොඩි - B130-137
Fast Publishing - B102-104
රත්න ප්‍රකාශකයෝ - B111-112
සමයවර්ධන - B119-120
විදර්ශනා - B99-100
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය B93-97

සිරිමාවෝ පිටත වම්පස ශාලාව
එම්. ඩී. ගුණසේන - C139-140
මල්පියලි C141-146

සිරිමාවෝ බිමට ඇතුළු වන තැන වම්පස ශාලාව
රත්න - E
අකුර - E1

සිරිමාවෝ බිමට ඇතුළු වන තැන දකුණුපස ශාලාව (F)
Expographic

VIP වාහන නවතන තැන (K)
අකුර
සමයවර්ධන
සරසවි
විජිත යාපා

ආපනශාලාව පස විශාල ශාලාව 
ආශිර්වාද - H392-393
සරසවි
වීරෝදාර ලිපිද්‍රව්‍ය - H364-367

තවත් අයට වැදගත් වල ප්‍රකාශකයින්ගේ කුටි සඳහන් නොවුවාට සමාව අවසර.

Sunday, September 9, 2012

ආදර අන්දරයක කඩ ඉමක්

ඇත්තටම කඩ ඉමක්මත් නෙමෙයි. නමුත් ඒ වගේ එකක්.
අද 2012.09.09. 
එදා 2009.09.09. 
ගොඩක් විශේෂ දවසක්. මට හා තවත් කෙනෙකුට. :)
හරියටම කිව්වොත්, මම මගෙ ආදරවන්තියට ආදරෙයි කියල අදට හරියටම අවුරුදු 3යි. අපි දෙන්නගෙ ආදරේ පටන් අරගෙන අදට හරියටම අවුරුදු 3යි. 
ලොකු කාලයක්. ගොඩක් දේවල් උනා. පොඩි පොඩි හැල හැප්පිම් සිදු උනේ නැත්තෙත් නෑ. නමුත් හැම වෙලේම අපේ ආදරේ තව තවත් ශක්තිමත් උනා. හැමදාම තව තවත් ආදරේ කළා. 
යාළුවෙක් විදිහට මගෙ ලඟට ඇවිල්ල, හොඳම යාළුවෙක් වෙලා, අන්තිමට මගෙ ආදරවන්තිය, මගෙ අනාගතේ උනා ඒ කෙල්ල.
ලිපිය කෙටියි, නමුත් ආදරේ හුඟක් ලොකුයි...
තෙවසරක් ගෙවුනා..
තවත් අපි ලං උනා...
ඉඳිමු අපි ආලෙනා...
සැම දිනා, එකෙකු සේමා...

----------------
ලොව ඇති
සියළු සැපයෙන් සම්පතින් පිරි,
ලොව ඇති
ලස්සනම මාළිගාව තූළ සිටින,
මලක් සේ සසොබන,
මගේ කුමරිය.
ඔබය මගේ ජීවය.
ඔබය මගේ සිහිනය.
ඔබය මගේ ආලය.
සැමදා මා ඔබේය,
ඔබ මගේය,
අපි මියෙන තුරා...
-------------------
ඔබයි මගෙ කුමරිය,
ඔබයි මගෙ ආදරය,
සැමදාම රකිමි ඔබ,
ආදරෙන් ලං කරන්.
සතුටක්ම දෙමි ඔබට,
ජීවිතේ පුරාවට.
මහළුවී මියෙන තුරු....
------------------
Though we call and talk 3,4,5 times a day,
Though we send sms every day,
Though I have many photos to look at all the day,
Though I think of you every time,
Though I dream of you every night,
Though I hug my pillow pretending it is you,
It is not like having you by my side.
Missing you soo much...
Wanting you soo much...
Loving you soo much...
----------------





Saturday, September 8, 2012

Book Fair එකත් අත ලඟ...


හ්ම්ම්. පොත් ප්‍රදර්ශනේකුත් එනවලු ඉතින්. ගිය පාර නම් අපි සෙට් එකක් එකතු වෙලා ගියානෙ. මේ පාර තාම කිසිම සද්දයක් නෑ වගෙයි. කෝ මේ අපේ කට්ටිය හැබෑට??? අර ලක්මිණි සොයුරිය මුහුණු පොතේ පටන් ගත්තු ත්‍රෙඩ් එක නම් තාම දුවනව, ඒත් බැරි බර ගාතෙ. කාගෙන්වත් හරි හෙල්ප් එකක් නෑ. :( මේ පෝස්ට් එක ලියනකොට කමෙන්ට්ස් 20000ට 29යි අඩු වෙලා තිබ්බෙ. 
ගිය පාර නම් මම යන්න ඉස්සෙල්ල පෝස්ට් දෙකක් ලියල ගිහිල්ල ඇවිල්ලත් පෝස්ට් එකක් ලිව්ව. ඒවායින් ගොඩක් අය ප්‍රයෝජනත් අරගෙන තිබුන. ඒ ලිපි දෙකට දාල තිබුණු කමෙන්ට් හරහා තවත් පොත් ගැනත් දැනගත්ත. 

ගිය පාර මතකයෙන්

ඉතින් මේ පාරත් හිතුන දැන්මම පෝස්ට් එකක් ලියන්න. ලියන්න කිව්වට එක පාරටම මොනවද ලියන්න යන්නෙ කියල අදහසක් එන්නෙ නෑ, කොහොමහරි, මේ පාර, අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනව. ඉතින් පොත් ටිකක් වැඩිපුර ගන්න පුළුවන් වෙයි කියල හිතනව. (ගිය පාර නම් අපේ සමහරු පොත් අරගෙන වැඩි වෙලා උස්සන් යන්න ගිහිල්ල කොන්දෙ අමාරුත් හදාගත්තද මන්ද.) 
ගිය පාර හිතාගෙන හිටි පොත් කිහිපයක් හොයා ගන්න නම් බැරි උනා. (චින්ගීස්ගෙ පොත් කිහිපයක්). සමහරවිට මේ පාර හොයාගන්න පුළුවන් වේවි. බෞද්ධ පොත් ටිකකුත් ගන්න හිතන් ගියාට ඒක එතරම්ම සාර්ථක උනේ නෑ. අනිත් එක ඡායාරූපකරණය සම්බන්ධ පොත්. එහෙම ඒවත් එකක් දෙකක් හම්බුනා, ඒත් ඒව ගන්න ගියා නම් වෙන පොත් ගන්න වෙන්නෙ නෑ. ඉන්ද්‍රනාථ මහත්මයගෙ පොත් තියේවිද දන්නෙ නෑ. මම කොපියක් පරිස්සම් කරල අරන් තියන්න කිව්ව. එතුමට මතකද දන්නෙ නෑ. :) 
ආ... ගිය පාර ගත්තනෙ, "ඈ හෙවත් අයේෂා" පොත. මේ පාර ඒකෙ ඉතිරි කොටස් ටික හොයල ගන්න ඕනෙ. තවත් ඒ වගේ හොඳ පරිවර්තන ටිකක් ගන්න අදහසක් තිබෙනවා. ගිය පාර ගත්තෙම චින්ගීස්, පව්ලෝ, වගේ අයගෙ පොත්නෙ. මේ පාර ටිකක් වෙනසක් කරන්නත් හිතෙනව. බලමුකො. ඉංගිරිසි පොතක් දෙකක් ගන්නත් ආසාව තියෙනව. කියවල තේරෙයිද මංද. 
ආ. ආතර් සී. ක්ලාක් මහත්මයගෙ "අවසන් සිද්ධාන්තය" පොත ගිය පාර ගත්තනෙ. ඊට පස්සෙ වෙලාවක (ඔය කිව්වට ඊට මාස 5,6කටත් පස්සෙද කොහෙද) සරසවි පොත් හලට ගිය වෙලාවක, එතුමාගෙ තව පොතක් ගත්ත. "රාමා හමුව". එතුමගෙ තවත් පොතක් දෙකක් ගන්න ඕනෙ. S & T Group එකේ ස්ටෝල් එක කළේ මගෙ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් නිසා වැඩි ඩිස්කවුන්ට් එකකුත් හම්බුනා (හ්ම්ම්, යාලුව මොකාද කියල දැන් මතක නෑනෙ. මේ පාර ඒ කියන්නෙ වැඩි ඩිස්කවුන්ට් නෑ. :( )
එරිච් සේගල් ගෙ The Love Story (පරි: ප්‍රදීප් කුමාර බාලසූරිය) පොත ලෝකෙම ප්‍රසිද්ධ උනු ආදර අන්දරයක් ගැන පරිවර්තනයක්. හැබැයි පොත නම් ගොඩක් පොඩී. අර්නස්ට් හෙමිංග්වේගෙ "මහල්ලා සහ මුහුද" (පරි: ප්‍රාම් දෙල්දෙණිය) ගොඩක් ප්‍රසිද්ධ පොතක්. 
හොයා ගන්නව නම් හොයාගන්න මේන්න මේ පොත. ආර්. ඊ. රාස්ප්ගෙ "මැංචෝසන් චාරිකා" (අනු: ඩී. බී කුරුප්පු). බඩ පැලෙනකම් හිනා උනෑකි. මම මේ පොත හොයල හොයල හොයා ගත්තෙ මරදානෙ ගොඩගේ පොත් මැදුරෙන්. කෝල් කරල පොත බුක් කලා. :) තිබ්බ අන්තිමම කොපියද මන්ද. 
ඉතින් ඔයාලගෙ අදහසුත් කියනවද. ඒ කිව්වෙ ගන්න ගොඳ පොත් පිළිබඳ අදහස්. සරසවි පොත් හලේ වෙබ් අඩවියත් ටිකක් බලල යන එක හොඳයි. සෙනඟ අස්සෙ පොත් තෝරන්න ඒක යම්ම හරි පහසුවක් වෙයි. ඇයි අපේ මිත්‍රයෙක් පවත්වාගෙන යන SinhalaBooks.lk වෙබ් අඩවිය. ඒකත් බලන්න ඕනෙ. 

මම යන්න හිතන් ඉන්නෙ ඉරිදා (23). ඔයාල යන්නෙ කවදද? 

Thursday, August 23, 2012

හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ දිනයක්

දිනය පසුගිය 19 වන ඉරිදා. උදේ පාන්දරින් නොකා නොබී (ඔය කිව්වට කිරි එකක් බිව්ව) ගෙදරින් පිටත් උනේ කවදාවත් ලබල නැති අලුත්ම අත්දැකීමක් විඳගන්න. ගෙදර ඉඳල පැය 2ක දුරක් (බස් 4ක්) ගෙවාගෙන ගමනාන්තයට ලඟා උනා. 

ගමනාන්තය : හොරගොල්ල ජාතික වනෝද්‍යානය

මේක තියෙන්නෙ මෙන්න මෙතන. (ක්ලික් කරල බැලුව නම් ලොකුවට පෙන්නාවි.)

වචනයෙනුත් කිව්වොත් මේ තැන තියෙන්නෙ හොරගොල්ලෙ. හොරගොල්ල වලව්ව එහෙම අහල ඇතිනෙ?ඒකත් මේ ලඟ තමා. නිට්ටඹුවේ ඉඳල වේයන්ගොඩ පැත්තට කිලෝමීටරයයි. 

මේ තැන ගැන කෙටි විස්තරයක් කිව්වොත්, මේ තමයි ලංකාවේ තිබෙන කුඩාම ජාතික වනෝද්‍යානය. වර්ගප්‍රමාණය අක්කර 33යි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබෙන්නෙ. නමුත් හොඳ ජෛව විවිධත්වයක් තිබෙන කුඩා වන ගැබක්. නමටම අනුව, මේක හොර ශාකයන් පිරුනු පහත රට තෙත් වනාන්තරයක්.


සංඛ්‍යා වලින් කිව්වොත් ක්ෂීරපායී වර්ග 10ක්, පක්ෂි විශේෂ 64ක්, මත්ස්‍ය විශේෂ 7ක් හා සමණල් විශේෂ 28ක් මේ කුඩා වනාන්තරය තුළ වෙසෙනවා.
ඇතුළ් වෙනකොටම දැකගන්න පුළුවන් විශාල පුවරුව තමයි මේ ඉහළ ඡායාරූපයේ තිබෙන්නේ. වනයේ සිතියමක් හා මම මේ කියපු විස්තර ටික එහි තිබෙනවා. 
වනය තුළ ඉහළ සිතියමේ පරිදි සැම අත විහිදුනු, ගල් ඇතිරූ කුඩා අඩි පාරවල් තිබෙනවා. ඒ ඒ මංසන්ධි වලින් අංක කර තිබෙන දිශා වලට යනවා නම් මුළු වනය පුරාම කරදරයක් නැතිව යන්න පුළුවන්. ඔහේ වට පිට බල බල පමණක් ඔය අඩි පාරවල් දිගේ ඇවිදගෙන යනව නම් පැයකින් ඔබට පුළුවන් මුළු වනය පුරාම යන්න.


නමුත් අපේ කාර්යය උනේ ඒක නෙමෙයි, අපි එතනට ගියේ ඒකට නෙමෙයි. අපි මේ වනය තුළ පැය 8ක පමණ කාලයක් ගත කළා.

අපගේ අරමුණ : මේ වනය තුළ වෙසෙන සතුන් ඡායාරූපයට හසු කර ගැනීම.

ඉතින් ඔන්න ඔය අරමුණ පෙරදැදි කරගෙන තමා, මුහුණු පොත තුළ තුළ සංවිධානය කළ Event එකක් හරහා එකතු උනු 12 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායම කටයුතු කළේ. (කණගාටුවට කරුණක් උනේ මේ අවස්ථාව සංවිධානය කරන්න ප්‍රධානව සම්බන්ධ වෙලා හිටිය පුබුදු ඉන්දික සහෝදරයාට හදිසි කරදරයක් නිසා මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වීමයි. ඔහුගේ සීයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.)

ඡායාරූපය: ප්‍රමිත දිල්රුක්

ඉතින් මේ කණ්ඩායම එකතු වෙලා මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ සහයත් ඇතුව හාපුරා කියල කැලේට ඇතුළු උනා. (එතුමා එනකම් අනිත් අයට ඉතින් චුට්ට වෙලාවක් බලා ඉන්නත් සිද්ද උනා. ඕව මොනවද ඉතින්. දඩ කැමරා බඩු ටිකකුත් උස්සන් ආවෙ පවුල් පිටින්. :) ) 
ඉතින් දවල්ට කන බොන ඒව එහෙමත් සැලසුම් කරල, අපි කැලේ ඇතුළට ඇතුළු උනා. (ටිකටුත් ගන්න ඕනෙ හරිය. ලොක්කෙක්ට රු.40යි, පොඩ්ඩෙක්ට රු.20යි. + 12% වැට් බද්ද)

හ්ම්ම් දැන් නිදිමතයි හොඳටම. තව අඩු වැඩිය එක්ක ඊලඟ ලිපියෙන් හමුවෙන්නම්.

Saturday, August 4, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 4 කොටස (අවසාන කොටස)

මින් පෙර ලිපි තුනක් හරහා අපි සාකච්ඡා කළා වෙබ් අඩවි සාදනකොට බහුතරයක් දෙනා කරන පොඩි පොඩි වැරදි සම්බන්ධයෙන්. ඉතින් මේ ඒ ලිපි පෙළෙහි අවසාන ලිපිය. මුල් ලිපි 3 කියෙව්වෙ නැති අය පහත සබැඳියන්ගෙන් යන්න.
පළමු ලිපිය | දෙවන ලිපිය | තෙවන ලිපිය

ඔන්න අද කොටස.



31. සබැඳියන් පෙන්වන්න.
අඩවියට පැමිණෙන්නාට හැකියාව තිබෙන්න ඕනෙ, ක්ලික් කළ හැකි සබැඳියන් මොනවාද සබැඳියන් නොවන්නේ මොනවාද යන්න තේරුම් ගන්න. සාමාන්‍යයෙන් නම් සබැඳියක් යටින් ඉරකින් හා තද නිල් පැහැයෙන් තමයි දැක්වෙන්නෙ. ඔබගේ අඩවියේ වර්න තේමාවට අදාල ආකාරයට, ගැළපෙන වර්ණ යොදාගන්න.

32. සාමාන්‍ය වැකි වල වර්ණ වෙනස් කරන්නට හා යටින් ඉරි අඳින්නට එපා.
අත්‍යවශ්‍යම අවස්ථාවක හැරුනුවිට සාමාන්‍ය වාක්‍ය කොටස් වල අකුරු වර්ණය වෙනස් කරන්නටවත් යටින් ඉරි අඳින්නටවත් එපා. එමගින් කියවන්නා නොමඟ යා හැකියි. සබැඳියන් මොනවාද යන්න පැහැදිලිව පෙනෙන ආකාරයට වර්ණ හා ඉරි යොදාගන්න.

33. ක්ලික් කරන ලද සබැඳියන් වල වර්ණය වෙනස් කරන්න.
වෙබ් අඩවියක් භාවිතයේදී මේක ඉතා වැදගත්. කියවන්නාට හැකියාව තිබිය යුතුයි, තමුන් බලපු පිටු මොනවාද නොබලපු පිටු මොනවාද යන්න පැහැදිලිව බලාගන්නට. බලපු පිටු වලට යළි යළිත් නොගිහින් සිටීමට හා අඩවිය භාවිතයට මින් ලොකු සහයක් කරනවා.

34. Animated Gif යොදාගන්නට එපා.
දැන්වීම් සඳහා banners යොදාගැනීමට අවශ්‍ය අවස්ථාවක හැරුණුකොට වෙනත් ස්ථාන වල මේවා භාවිතා කරන්නට එපා. එමගින් එම අඩවියට unprofessional ගතියක් එකතු කරනවා සහ භාවිතා කරන්නාගේ අවධානය වෙනතකට යොමු කරනවා.

35. රූප සඳහා “ALT” හා “TITLE” attributes අනිවාර්යයෙන්ම යොදන්න.
එමගින් ඔබගේ අඩවියේ SEO වලට විශාල සහයක් ලබාදෙනවා පමණක් නොව, රූප රහිතව අන්තර්ජාලයේ සැරිසරන්නන්ට, අන්ධ පුද්ගලයින්ට, ඉහළ සහයක් ලබා දෙනවා.

36. ඇසට අපහසු වර්ණ යොදාගන්න එපා.
ඔබගේ වෙබ් අඩවියට ඇවිල්ල විනාඩි 10කින් ඒ පුද්ගලයාට හිසේ කැක්කුමක් ඇහේ අමාරුවක් හැදෙනව නම් ඔබ ආපහු හිතල බලන්න වෙනව ඔබගේ අඩවියේ වර්ණ සංකලනය සම්බන්ධයෙන්. අඩවියේ අරමුණට කියවන්නාව නාභිගත කරන ආකාරයේ හා ඇසට පහසු ආකාරයේ වර්ණ සංයෝජනයක් සිදු කරන්න.

37. Popups භාවිතයෙන් වළකින්න.
මේ කියන්නෙ සියළුම ආකාරයේ popups ගැන. පොප් අප් එකක් කියන්නෙ අඩවියට පැමිණෙන්නාව තරහ ගස්වන ආකාරයේ දෙයක්. මේක කොතරම් කරදරයක්ද කියල හිතාගන්න පුලුවන්නෙ දැනට තිබෙන Popup Blockers මෘදුකාංග ගණන දිහා බැලුවම.

38. Javascript සහිත සබැඳියන් යෙදීමෙන් වළකින්න.
මේවා මගින් සබැඳියන් සමඟ කුඩා javascript කේතයන් දුවවනවා. මේව භාවිතා කරන්න එපා. මොකද හුඟක් වෙලාවට මේවා, භාවිතා කරන්නාට ප්‍රශ්න ඇති කරනවනවා.

39. අඩවියේ Footerහි, අත්‍යවශ්‍ය දේ සඳහා සබැඳියන් යොදන්න.
හුඟක් අය, තමුන්ට අවශ්‍ය දේ සොයාගන්න අපහසු උනාම අඩවියේ ෆුටරය බලන්න පෙළඹෙනවා. ඉතින් අඩවි පරිශීලකයාට අත්‍යවශ්‍යම වෙයි කියල හිතෙන දේ වලට සබැඳියන් ෆුටරයේ යොදන්න. උදා: Contact Us

40. ඉතා දිගු පිටු සකසන්න එපා.
අඩවි පරිශීලකයාට සිද්ධ උනොත් පිටුවේ ඇති දේවල් කියවන්න, ඉවරයක් නැතිව පහලට ස්ක්‍රෝල් කරන්න, අනිවාර්යයෙන්ම ඔහු ඒ අඩවිය අත ඇරල යනව. ඉතින් කළ යුත්තේ කෙටි පිටු සකසමින්, පිටු අතර ගමන් කිරීමේ ක්‍රම පහසු හා වේගවත් කිරීමයි.

41. හරස් අතට ස්ක්‍රෝල් කරන්න පිටු සකසන්න එපා.
දිගු අතට ස්ක්‍රෝල් කිරීම අත්‍යවශ්‍ය වුවත් හරස් අතට ස්ක්‍රෝල් කරන්න නම් කවුරුවත් කැමති නෑ. ඉතින් දැනට බහුලව භාවිතා වන 1024 x 768 pixels resolution එකටවත් ගැළපෙන ආකාරයට අඩවිය සකසන්න.

42. අක්ෂර වින්‍යාස හා භාෂා වින්‍යාස වැරදි තබන්න එපා.
මේක ඇත්තෙන්ම web design වැරැද්දක් නෙමෙයි. නමුත්, වෙබ අඩවියක සමස්ථ තත්වය සඳහා බරපතලවම බලපාන දෙයක්. වෙබ් අඩවිය තුළ තිබෙන වචන හා වගන්ති වල වැරදි නැති බවට සහතික කරන්න.

43. CAPTCHA භාවිතා කරනවා නම් ඒවායේ අකුරු කියවිය හැකි මට්ටමට සකසන්න.
ස්පෑම් කරදර වලින් මිදීමට, බොහොමයක්ම දෙනා තම අඩවි සඳහා captcha භාවිතා කරනවා. නමුත් මේ සමහරක් ඒවා කියවන්න මුළු පවුලම ඇවිල්ල බැලුවත් හරියන්නෙ නැති වෙනවා. මමත් පෞද්ගලිකව සමහරක් අවස්ථා වල අපහසුතාවයට පත් වෙලා තිබෙනවා මේ captcha කියවගන්න අමාරු වෙලා.

ඔන්න ඉතින් ඒ ලිපි පෙළත් අදින් අවසානයි. මින් ඔබ යමක් ඉගෙනගන්නට ඇතැයි සිතනවා.
කොච්චර කිව්වත් මමත් මේ වැරදි කරනවා/කර තිබෙනවා. නමුත් අඩු කරගන්න/වළක්වාගන්න උත්සාහ කරනවා.
ඔබට ජය.





Thursday, June 28, 2012

අවුරුදු තුනයි

දෙයි හාමුදුරුවනේ, දන්නෙම නැතිව මගෙ බ්ලොග් එකට අවුරුදු තුනකුත් වෙලා. 2009 ජුනි 28 වෙනිද පටන් ගත්තු බ්ලොග් එකට අද වෙනකොට අවුරුදු 3ක් පිරිල. 
මුල් කාලෙ එතරම්ම තේරුමක් තිබ්බෙ නෑ ලියන එක ගැන, නමුත් පස්සෙ මම විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලිව්ව. කොටස් වෙළඳපළ ගැන, ඡායාරූපකරණය ගැන, වෙබ් අඩවි ගැන එහෙම. 
පසුගිය අවුරුද්දෙ වැඩිපුරම ලිව්වෙ නම් වෙබ් අඩවි / බ්ලොග් අඩවි සැදීම සම්බන්ධ ඉඟි හා උපදෙස්. විශේෂයෙන්ම ට්‍රැෆික් ගෙන්න ගන්න එක ගැන එහෙම. ඇයි තොටගමුවේ හාමුදුරුවන්ගෙ ජනප්‍රවාද පෙළ. 
ඒත් මේ අවුරුද්දෙ එතරම් ලිපි නම් ලියවුනේ නෑ. 
පසුගිය වසරේ ලිව්ව ලිපි අතරින්, විශේෂ ලිපි ලෙස කියන්න පුළුවන්, ජනප්‍රිය උනු ලිපි ගැන කිව්වොත් මෙහෙමයි.

"Image Today" බලන්නට ගියෙමි සහ තවත් කතාපොත් ප්‍රදර්ශනේ බලන්න ගියෙමි සහ යන්න ඉන්න අයට උදව්වක්ඊයෙ ගොඩක් විශේෂ දවසක්එදා විහිළු හා අද විහිළු
ඔන්න ඔහොමයි සිද්ධිය.
වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් කියන මාතෘකාවෙනුත් ඉස්සෙල්ල මම දුන්නු පොත් පිංච වගේ පොත් පිංචක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉදිරියට. :)

Sunday, June 3, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 3 කොටස

මතක ඇතිනෙ, පසුගිය ලිපි දෙකකින් මම කතා කළා වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් 20ක් ගැන. 
ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ. 

21. Text Navigation භාවිතා කරන්න. 
වෙබ් පිටු හරහා යාමට තිබෙන හොඳම සහ වේගවත්ම ක්‍රමය තමයි මේක. සමහරක් වෙබ් අඩවි පරිශීලකයින් රූප disable කරලයි අන්තර්ජාලය තුළ සැරිසරන්නේ. 

22. ඔබ යම් PDF ගොනුවකට සබැඳියක් යොදනවා නම් ඒක කියන්න. 
ඔබටත් අත්දැකීම් ඇති, ඔබ සබැඳියක් මත ක්ලික් කළාම ඔබට අවශ්‍ය නැති PDF ගොනුවක් ඕපන් කරන්න Adobe Reader එක ඕපන් වෙනකම් ඔබගේ බ්‍රවුසර් එක හිර වෙලා තියෙනව. මේක හරිම නරකයි. ඔබ ලින්ක් කරන්නෙ PDF ගොනුවකට නම් ඒක ඉස්සෙල්ල කියල තියන්න. එතකොට එම ලින්ක් එක ක්ලික් කරන පුද්ගලයාට පුළුවන් ඒක තමුන්ට ඕනෙ විදිහට හසුරවාගන්න. 

23. වෙබ් අඩවියේ versions ගොඩක් දීල අඩවියට එන පුද්ගලයාව අන්දමන්ද කරන්න එපා.
මම හිතන්නෙ දැන් නම් මේක එතාම් අවශ්‍ය නෑ, මොකද හැමෝම දැන් වේගවත් අන්තර්ජාල සබඳතා වලට හිමිකම් කියනව. ඉතින් ඔබට අවශ්‍ය කුමන bandwidth එකක්ද? 56Kbps? 128Kbps? Flash? HTML? වෙබ් අඩවියට එන මනුස්සය කියන්නෙ, මොකක් හරි කමක් නෑ මට අවශ්‍ය තොරතුරු ටික දෙන්න කියලයි. 

24. තොරතුරු අතරතුර දැන්වීම් පළ කරන්න එපා. 
ඔබගේ ලිපි අතරමැද දැන්වීම් පළ කරන එක ඔබගේ දැන්වීම් වලට ලැබෙන ක්ලික් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරනවා තමයි. නමුත් ඒක කෙටි කාලීනයි. දිගුකාලීනව බැලුවොත් ඒක ඔබගේ කියවන්නන් ගණන අඩු කරනවා. තරහ ගිය පරිශීලකයෙක් කියන්නෙ ඉදිරියටත් ඔබගේ පරිශීලකයෙක් නෙමෙයි. 

25. සරළ Navigation Structure එකක් හදන්න.
සමහරක් වෙලාවට සරල බව තමයි හොඳම වෙන්නෙ. මේක හුඟක් මිනිස්සුන්ටත් තේරීම් කරද්දිත් වලංගුයි. ඔබගේ වෙබ් අඩවියට සරළ හා පිළිවෙලට ඇති Navigation Structure එකක් හදන්න. ඔබගේ අඩවිය තුළ සැරිසරන්නාට සංකීර්ණ දේවල් දීල එයාව අවුල් කරන්න ඕනෙ නෑනෙ. 

26. හැඳින්වීම් දාන්න එපා. 
මේ කියන්නෙ වෙබ් අඩවියට ඇතුළු වෙනකොට මුලින්ම එන්න දාන Intros ගැනයි. හුඟක් අය කැමතියි, තමුන්ගෙ වෙඑබ් අඩවියට කවුරුහරි එනකොට, මේ අඩවිය මොන වගේ එකක්ද කියල ලස්සන ෆ්ලෑෂ් ඇනිමේෂන් එකක් එහෙම දාල, කියන්න. අඩවියට පිවිස්සෙන්නාට අනවශ්‍ය දේවල් ඕනෙ නෑ, එයාට ඕනෙ කරන තොරතුරු ටිකයි එයාට ඕනෙ. 

27. Front Page භාවිතා කරන්න එපා. 
මේක සියළුම බාල ගණයේ HTML Editors වලට අදාල වෙනවා. එයාල පෙන්නනව එබ් ඩිසයින් ගොඩක් පහසු කරනව කියල, නමුත් අවසාන ප්‍රථිඵලය වෙන්නෙ ඉතාම නරක විදිහට හැදුනු කෝඩ්ස් ටිකක්. සමහර බ්‍රවුසර් සපෝට් කරන්නෙ නෑ, වැරදිත් තිබෙනව. 

28. ඔබගේ අඩවිය හැම බ්‍රවුසරයකම හරි හැටි ක්‍රියාත්මක වන ලෙස සකසන්න.
හැම බ්‍රවුසරයක්ම හදල තියෙන්නෙ සමානවෙ නෙමෙයිනෙ. ඒ ඒ එව සමානව නෙමෙයි CSS හෝ වෙනත් භාෂා පරිවර්තනය කරගන්නෙ. ඔබ කැමති උනත් අකමැති උනත් ඉතින් ඔබට සිද්ධ වෙනවා, ඔබගේ අඩවිය විවිධ වෙබ් බ්‍රවුසර වල හරි හැටි ක්‍රියාත්මක වෙනවද කියල පරික්ෂා කරල බලල අවුල් තිබෙනව නම් සකසන්න. නැත්තම් වෙන්නෙ ඔබගේ අඩවියට මිනිස්සු එන එක අඩු වෙන එකයි. 

29. සබැඳියන් තුළ Anchor Texts යොදාගන්න
පිටුවක් ඇතුළෙ ලින්ක් දානකොට ඒ ලින්ක් එකෙන් යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවෙන වචනයක දෙකක විස්තරය තමා මේ ඇන්කර් ටෙක්ස්ට් කියන්නෙ. තමුන් මේ ලින්ක් එක ක්ලික් කළාම යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවන්නා දැන සිටීම ඔහුට ලොකු පහසුවක් වෙනව, මොකද, නිකම්ම Click Here කියල දාන එක එතරම්ම සාර්ථක නෑ. ඒත් එක්කම ඒක SEO වලටත් ගොඩක් හොඳයි. 

30. සබැඳියන් සඟවන්නට එපා
Anchor Text යොදනවාට අමතරව කියවන්නාට හැකියාව තිබිය යුතුයි මේ ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසුව තමන් යන්නෙ කොහෙටද කියල Browser එකේ Status bar එකේ පේන්න. ඒ කිව්වෙ ලින්ක් එකේ URL එක ඔබ නොසැඟවිය යුතුයි. ඒ සබැඳියන් Affiliate Link නිසා හෝ වෙනත් හේතුවක් නිසා හැංගුවොත්, කියවන්නාට ඔබ ගැන තිබෙන විශ්වාසය පලුදු වෙන්න ඒල හේතු වේවි/

තවත් දේවල් ටිකක් එක්ක ඊලඟ ලිපියෙන් හමු වෙමු.