Tuesday, September 17, 2013

මේ පාරත් Book Fair ගියාලු

මේ පාර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා නම් තමයි, නමුත් ගිය පාර වගේ ලිපි ලියන්න බැරි උනානෙ.
ගිය පාර නම් යන්න ඉස්සෙල්ලත් එකක් ලියල, ගිහිල්ල ඇවිල්ලත් එකක් ලිව්ව. මේ පාර ගිහිල්ල ඇවිල්ල තමයි ලියන්නෙ. 
මේ ලිපි වලින් හොඳ පොත් ලිස්ට් එකක් හදාගන්න උනත් පුලුවන් වෙයි මේ පාර යන අයට.

මේ තියෙන්නෙ මම සහ අපේ නංග ගත්තු පොත් සෙට් එක. අම්මත් ගියානෙ. 


1-10 මම ගත්තුව, 11,12 අම්ම ගත්තුව, 13-19 නංගි ගත්තුව. 

1. පන්සිය පණස් ජාතක පොත
2. තෙවන ඇස - ලොබ්සාන් රම්පා
3. ජීවිතේ අභියෝග වලට සතුටින් මුහුණ දෙන හැටි - අජාන් බ්‍රහ්මවංසෝ
3. සිත් තැවුල් ඇති කරගන්න එපා, බලාපොරොත්තු සහගත වන්න. - අජාන් බ්‍රහ්මවංසෝ
4. විමුක්ති රසය - අචාන් චා
5. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 3
6. සප්ත අපරිහාණී ධර්ම
7. ඈ සහ ඇලන් - රයිඩර් හැගාඩ්
8. අස්වැන්න - ජයසේන ජයකොඩි
9. මිහිකතේ ගීතය - ආතර් සී. ක්ලාක්
10. චන්ද්‍ර ගවේෂකයෝ - ආතර් සී. ක්ලාක්
11. පාරමිතා ප්‍රකරණය - රේණුකානේ චන්දවිමල
12. පුණ්යෝපදේශය - රේණුකානේ චන්දවිමල
13. දිණමිණ සූප ශාස්ත්‍රය 
14. ලන්තෑරුම් දහසේ නිවස - වික්ටෝරියා හෝල්ට්
15. බඹර තුඩේ අභිරහස
16. A bend in the road - Nicholas Sparks
17. Why didn't they asked Evans? - Agatha Christi
18. Diamond in the rough - Diana Palmer
19. Death in the clouds - Agatha Christi

අනාගත සැළසුම් සඳහා මුදල් ඉතුරු කරගන්නත්, ගිය අවුරුද්දෙ ගෙනාපු පොත් ඔක්කොම තවමත් කියවල ඉවර නැති නිසත්, මේ පාර ගත්තෙ පොත් පොඩ්ඩයි. 

මේ පාර කට්ටිය හරියකට සෙට් වෙන්න බැරි උනා. නමුත් ටික ටික හරි මුණ ගැහුන. මමයි මගෙ කෙලි පොඩ්ඩයි ගියා. නිසුපා සහ බට්ටි කෙල්ල පරක්කු වෙලා ආවා, නෙරන්ජි, සිහින, චින්තක පස්සෙ සෙට් උනා, අයිස් සහ ඩී.ජේ ආව කිව්වට මට හම්බුනේ නෑ. අපේ දිමුතු ආවට මිනිහ ආපු ගමන්ම වගේ වාෂ්ප වෙලා තිබුනා. දුක්බර ලෙස උදිතට එන්න බැරි උනා මොකෝ ඌ දේස දීපංකරේ ගොහිල්ල නිසා.

කට්ටිය හරියකට සෙට් උනා නම් පොඩ්ඩං පාටියක් දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මමයි මගෙ කෙල්ලයි ඉක්මනට ගියානෙ. (මම නම් ආපහු ආව). 
සිව්මාන ක්‍රියේෂන්ස් අනුග්‍රහයෙන්, මම මගෙ කෙලි පොඩ්ඩට ඇනිවසරි කාඩ් එකක් දුන්න. වැඩේ කියන්නෙ ඔක්කොම එදා එකම පාටට ගැළපුනානෙ. :)



Sunday, July 7, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 2

හඳුනාගැනීම - 1 ලිපිය කියෙව්වද?


දැන් ජොබ් කරන අය, ඒ ලිපියේ තිබ්බ වගේ තමුන්ගෙ හිත ගිය ආකාරයේ ජොබ් එකක්ද කරන්නෙ? එහෙනම් ඔයාල එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනව. ඔයා ඒක දැන් කරන්නෙ කැමැත්තෙන් කරගෙන යනවද?
නැත්තම් ඔයා කරන්නෙ ඔයා කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නෙමෙයිද? ඔයා ඒ ජොබ් එක කරන්නෙ අකමැත්තෙන්ද?

කැමති ආකාරයේ ජොබ් එකක් හම්බුනත් ඒක කරන්නෙ සතුටින් නෙමෙයි නම් ඔබ පරාදයි. සතුටින් කරනව නම් ඔබ දිනුම්. නමුත් ඔබ ඒ ජොබ් එකට දක්ෂයෙක්ද?
කැමැත්තෙන් හිටි ආකාරයේ ජොබ් එකක් හම්බුනේ නැතත් දැන් කරන ජොබ් එක ඔබ සතුටින් කරනවද? එහෙනම් ඔබත් යම් ආකාරයකින් දිනුම්. ඔබ ඒ කරන ජොබ් එකට දක්ෂද?

කැමති ජොබ් එකක් හම්බ වෙලා, ඒක සාර්ථකව කරගෙන යනව නම් ඔබ හැම අතින්ම සාර්ථකයි. කැමති ජොබ් එක හම්බවෙලත් ඔබට ඒ ජොබ් එක හරියට කරගන්න බැරි නම් ඔබ පරාදයි.
කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නොලැබුනත්, හම්බුනු ජොබ් එක ඔබ සාර්ථකව දක්ෂ ලෙස කරනව නම් ඔබත් සාර්ථකයි.

එහෙනම්????? කවුද සාර්ථක? කවුද අසාර්ථක? කොහොමද අසාර්ථක උනේ???

ඔබ ආසාවෙන් හිටියෙ විධායක ශ්‍රේණියේ රැකියාවක්. පිරිසක් පාලනය කරන්න තිබෙන රැකියාවක්. ඔබේ ආසාව ඔබ කොහොම හරි ඉෂ්ඨ කරගත්ත. නමුත් ඔබේ යටත් පිරිස ඔබ කියන දේ අහන්නෙ නෑ, ඔබට හරි හැටි පිරිස් පාලනය තේරෙන්නෙ නෑ. ඉතින් ඔබ අසාර්ථකයි.
ඔබ ගොඩාක් ආසාවෙන් හිටියෙ පයිලට් කෙනෙක් වෙන්නෙ. නමුත් ඔබගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් නිසා ඔබට පයිලට් කෙනෙක් වෙන්න බැරි වෙනව. නමුත් ඔබගේ කථික හැකියාව ඉහළයි. ඔබ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක් වෙනව. ඔබට ප්‍රේක්ෂකයින් හරිම කැමතියි. ඔබ හුඟක් ජනප්‍රිය වෙනව. ඉතින් ඔබ ආස කරන රැකියාව නොලැබුනත් ඔබ කරන රැකියාවෙත් ඉතාමත් සාර්ථක වෙලා.

එතකොට අසාර්ථක උනු අයට කොතනද වැරදුනේ??? 
කැමැත්තක් නොතිබුනු ජොබ් එකක් කරන්න ගිය කෙනා සාර්ථක උනේ කොහොමද???
........................
..................
............
හිතන්න ටිකක්......

ඔන්න දැන් අපි හරි පාරට එනව.
කැමැත්ත, ආසාව විතරක් නෙමෙයි වැදගත් වෙන්නෙ.
මොනවද එහෙනම් වැදගත්???
"ඔබගේ හැකියාවන්"

එහෙනම් අන්න එතනින් පටන් ගනිමු.
ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න.

දැන් ආපහු මම පාසල් යන නංගිල මල්ලිල ගාවට එනව.
එතකොට ඔයාල යන්න ඕනෙ මොන පාරෙද? 
ඔයාල තාම පාර හදාගෙන එන අය. ඔයාල තමුන්ගෙ ආසාවට විතරක් නෙමෙයි පවතින හැකියාවට මුල් තැන දීල, තමුන්ගේ මාර්ගය තීරණය කරන්න වෙනව. ඔබට පුළුවන් ඔබගේ මාර්ගය තීරණය කරන්න. දෙමව්පියන්, නෑදෑයින් පෙන්වන මාර්ගය විතරක් නෙමෙයි, ඔයාලට පේන මාර්ගය ගැනත් හිතන්න.
හැබැයි සාර්ථක මාර්ගයක් ගැන. සාර්ථක අනාගතයක් ගොඩනැඟිය හැකි මාර්ගයක් පිළිබඳව.
"මම රටේ නම ගිය චණ්ඩියෙක් වෙනව" කියල උනත් කෙනෙක්ට හිතන්න පුළුවන්. නමුත් ඒත් එක්කම හිතල බලන්න ඒක සාර්ථක අනාගතයක් වේවිද කියල. පොලීසියෙන් හැංගෙන්නයි, හිර ගෙවල් වල ඉන්නයි වෙන අනාගතයක් සාර්ථක එකක් වෙන්නේ නෑනෙ නේද?
චිත්‍ර අඳින්න ඉහළ හැකියාවක් තිබෙන, ගණිතයට දුර්වල කෙනෙක්, තමුන්ගෙ ගණිතමය හැකියාවන් දියුණු කරගත හැකිය කියන ස්ථිර අධිෂ්ඨානයක් නැතිනම් ගණිත/විද්‍යා විෂයන් කරන්න නොසිතිය යුතුයි. මම කියන්නෙ නෑ එයාට ගණිතය කරන්නෙපා කියල. නමුත් සාර්ථක වෙන්න අධිෂ්ඨානය තියාගෙන මහන්සි වෙලා වැඩ කරන ගණිත හැකියාවන් දියුණු කරගන්නව කියල හිතාගෙන වැඩ පටන් ගන්නව නම් එයාටත් බැරි නෑ. හැබැයි එයාගෙ අවසන් අරමුණ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන එක නම්, ඒ මාර්ගයේ ගිහිල්ල ඒ ඉලක්කයට යන්න ටිකක් අපහසු වෙනව කියලත් හිතන්න වෙනව.

ඉතින් ඔයාල, ඔයාලගෙ අනාගත අරමුණට සාර්ථකව පහසුවෙන් ලඟා විය හැකි මාර්ගය තමයි තෝරාගත යුත්තේ.

"ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න" කියන වාක්‍යයත් එක්ක දැනට මම නවතිනව. ඊලඟ ලිපියෙන් කතා කරමු හැකියාවන් හඳුනාගෙන ඊලඟ පියවරට යන්නෙ කොහොමද කියල.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, July 1, 2013

උපන්දිනේ

පහුගිය අවුරුද්දටම වැදගත් ලිපි දෙක තුනකට වඩා ලියන්න බැරි උනු නිසා මම සද්ද නැතිව හිටියෙ. නමුත් ඊයෙ පෙරේද ඉඳල ආපහු වැදගත් දෙයක් ලියන්න පටන් ගත්තු නිසා මේක කියන්න හිතුන.

ගිය 28 වෙනිදට, ඒ කියන්නෙ 2013 ජුනි 28 වෙනිදට මගෙ මේ සිංහල බ්ලොග් එකට අවුරුදු 4ක් සපිරුනා.


ඉතින් එහෙනම්, යළිත් ප්‍රයෝජනවත් ලිපි පෙළක් එක්ක හමුවෙමු.

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

මුල් ලිපියට හිතපු තරම් නම් අදහස් ලැබුනෙ නෑ. මේ ලිපි එක්ක ඔයාලගෙ අදහස් මග ඕනෙ කරනව, ඒවත් එක්ක ඒවට අනුකූලව තමයි මම ඉදිරි ලිපි ලියන්න අදහස් ගන්නෙ. 
කමක් නෑ. දැනට අපි කතාව ආරම්භ කරමුකො එහෙනම්. 



යමෙක්, යම් මාර්ගයක යන්න තෝරාගන්න එක් හේතුවක් හෝ හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. බහුල හේතු ගත්තොත්,
  • එම විෂය පරාසයට දක්වන කැමැත්ත
  • කුඩා කාලයේදී ඇතිවුණු යම් තදබල කැමැත්තක්
  • දෙමාපියන්ගේ / නෑදෑයින්ගේ බලපෑම්
  • විවිධ අය හමුවීමත් සමඟ ඇතිවන කැමැත්තක්
  • රූපවාහිනී වැනි මාධ්‍ය හරහා දකින දේ සමඟ එන අදහස්

මේ වගේ විවිධාකාරයේ හේතු තිබෙන්න පුළුවන්. සමහරවිට ගිය ආත්ම වලින් එන සිතුවිලි නිසා පවා.

ඉතින් ඔබ යම් මාර්ගයක් තෝරාගන්න හේතුව කුමක්ද?
ඔබට යම් දෙයක් තමුන්ගේ අනාගත වෘත්තිය කරගන්න තරම් ඒ දේට කැමැත්තක් ඇතිවෙන්න හේතුව කුමක්ද?
මුලින්ම අන්න ඒ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්න වෙනව.

සාමාන්‍යයෙන් Career Guidance වලදි අහන පළමු ප්‍රශ්නය මේක නෙමෙයි. ඔවුන් කියන්නෙ මුලින්ම තමුන්ගේ හැකියාවන් / කැමති දේ හඳුනා ගන්න කියල. නමුත් මගේ ප්‍රවේශය ඊට ටිකක් වෙනස්. වෙන පාරකින් අර පාරට එන්නයි මම හදන්නෙ.
ඉතින්? 
මුලින්ම අර ප්‍රශ්නෙට උත්තරයක් හිතන්න. 
හැබැයි හිතන්න ඕනෙ ඔබ සාමාන්‍ය පෙළ කරන්න ඉස්සෙල්ල කාලෙ හිතුව / හිතන විදිහට.

බලමු හිතල......
"මම පොඩි කාලෙ මට උගන්නපු ටීචර් හරිම හොඳයි, ඉතින් මටත් ඕනෙ උනේ ඒ කාලෙ ඒ වගේ ළමයි ගොඩක් ආදරේ කරන ලස්සනට උගන්නන ටීචර් කෙනෙක් වෙන්න" කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒක කුඩා කාලයේදී ඇසුරු කරන කෙනෙක් නිසා හටගත්තු ආසාවක්.

"මම ආසයි එක එක දේවල් හදන්න, නව නිර්මාණ කරන්න. ඒක නිසා මට විද්‍යාඥයෙක් නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ" කියල තව කෙනෙක් හිතයි. ඒක තමුන්ගේ යම් හැකියාවක් හඳුනා ගත්තු කෙනෙක් හිතන විදිහ.

"මම ආසයි අහසින් යන්න, රට රට වල යන්න. ඉතින් මට පයිලට් කෙනෙක් වෙන්න ඕනෙ". ඒ තව කෙනෙක්ගෙ ආසාවක් නිසා ඇති උනු ඉලක්කයක්.

"මට පුළුවන් අනිත අයට හොඳට දේවල් කියල දෙන්න, උගන්නන්න. ඉතින් මට ඒක නිසා ගුරුවරයෙක් වෙලා අනිත් අයට දේවල් කියල දෙන්න ඕනෙ" ඒ තමුන්ගෙ ඉගැන්වීමේ හැකියාව ගැන තේරුම් ගත්තු කෙනෙක් හිතන විදිහ.

ඉතින් ඔයාල කොහොමද හිතුවෙ / හිතන්නෙ?



"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, June 29, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

"ආරම්භය" 

 "පුතා ලොකු උනාම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?" නැත්තම්, "දුව ලොකු උනාම කවුරු වෙන්නද කැමති?" කියල පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් ඔහු / ඇය දෙන පිළිතුර කුමක්ද? 
"මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ", 
"මම ඩොක්ටර් කෙනෙක් වෙනව", 
"මම ටීචර් කෙනෙක් වෙන්නයි කැමති", 
"මම පයිලට් කෙනෙක් වෙනව" 
කියල තමයි අපිට බහුලව ඇහෙන්නෙ. 
ඒක ඒ දරුවන්ගෙ හීනය. 

නමුත් ඇත්තටම ඒක ඒ දරුවගෙ හීනයමද? 
දන්නෙ අහල තියෙන්නෙ ඒ රැකියාවන් ගැන විතරක් නිසාද? 

ඔයාල පොඩි කාලෙ එහෙම ඇහුවොත් මොකද්ද දුන්න උත්තරය? 

මම කිව්වෙ, "මම ඩොක්ටර් කෙනෙක් වෙනවා" කියල. ඇත්තම කිව්වොත් මම ඒක ගැන ලොකුවට හිතල නෙමෙයි ඒ කාලෙ කිව්වෙ. 

ඔයාල? 

ඔයාල සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලෙ කවුරුහරි ඇහුවනම් ඔය ප්‍රශ්නෙ, අර පොඩි කාලෙ දුන්නු උත්තරේමද ඔයාල දුන්නෙ? පොඩ්ඩක් මතක් කරල බලන්නකො. 
උසස් පෙළ කරන්න යනකොට විෂය තෝරගන්නකොට ඒ විෂයයන් තෝරාගත්තෙ ඇයි? 
ආසාවටද? ගෙදර අය කිව්ව නිසාද? අනිත් අයත් කරන නිසාද? නැත්තම් ඔයාගෙ අනාගතය ඔයාට ඕනෙ විදිහට හැඩගස්ව ගන්න ඕනෙ නිසාද? 

මම පොඩි කාලෙ වෛද්‍යවරයෙක් වෙන්නෙ ඕනෙ කිව්වට මම සාමාන්‍යපෙළ කරන කාලෙ ඒක ඉංජිනේරුවෙකුට වෙනස් උනා. ඉතින් මම ඒක වෙනුවෙන් උසස්පෙළට ගණිතය තෝරාගත්තා.

ඔයාල ඒලෙවල් කරනකොට / කරන්න ලෑස්ති වෙනව නම් ඇයි ඔයාල ගණිතය තෝරාගත්තෙ? විද්‍යාව තෝරාගත්තෙ? වාණිජ තෝරාගත්තෙ? නැතිනම් කළාව තෝරාගත්තෙ? නැත්තම් ඒලෙවල් නොකර කෙලින්ම වෙනත් මාර්ගයක යන්න තීරණය කළේ?

දෙන්න බලන්න උත්තරයක්.

මේ වේදිකා නාට්‍ය ගීතය මතකද?
"විභාගෙ විභාගේ 
එහෙ බැලුවත් විභාගේ........
...............
..... ඉතින් පුතේ නම්බුවක්ගෙ ෆේල් උනත් විද්දියාව විසයෙන් විභාගෙ කොරල...." 
ඔයාලටත් එහෙම වෙයිද / උනාද?

මෙතනින් ආරම්භය ගනිමු මේ ලිපියේ මාතෘකාවට ප්‍රවේශයක් වශයෙන්. 
ඉතින් ඔබගේ පිළිතුරු ලබා දෙන්න ඉහත ප්‍රශ්නයට.

මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, June 17, 2013

ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5

හුඟ කාලෙකින් ආවෙ බ්ලොග් එක ලියන්න. ලියන්න තියෙන කම්මැලි කමටත් වඩා ලියන්න හරි හමන් මාතෘකාවක් හිතට ආවෙ නෑ. ටිකක් හිත හිත ඉන්නකොට, තාක්ෂණය පැත්ත ටිකක් පැත්තකින් තියල වෙනස් දේවල් ටිකක් ගැන ලියන්න හිතුන. මේ ඒකෙ ආරම්භය. මේ වගේ තවත් ලිපි ටිකක් ඉදිරියේදී ලියවෙයි. මගේ පුද්ගලික අත්දැකීම් සහ, පොත පතින්, වෙබ් අඩවි වලින් කියවා ලබා ගත් දැනුමත් එකතු කරල මේ වගේ කාටත් ප්‍රයෝජනවත් වෙන මාතෘකා ටිකක් ඔස්සේ යන්න හිතුව. මේ ඒවායින් පළමුවැන්න.

ඉතින් පටන් ගමු. 

ඉතින් කියන්න බලන්න, රැකියාවක් කරන වයසෙ ඉන්න කෙනෙක්නම් ඔබ, එකම එක ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ල තියෙනවනෙ නේද? සාර්ථකව මුහුණ දුන්නද? රැකියාවට තෝරා ගත්තද? එහෙනම් සුභ පැතුම්. ඔබ යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනව.
මම නම් මුලින්ම ගිය ඉන්ටර්විව් එක ඉහළින්ම ෆේල්. ගන්නම දෙයක් නැති උනා. එහෙනම් දෙවනි එක? ඒකත් එච්චරම තමා. :(
හ්ම්ම්. මට උනු දේ ඔයාල ගොඩක් අයටත් වෙලා ඇති. 
එහෙනම් මේ සාමාන්‍ය දෙයින් ආරම්භ කරමු. 

මොනවද ශ්‍රී ලාංකික වන අපි සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙනකොට හා / හෝ ගියාම කරන ප්‍රධානතම වැරදි? අපි එහෙම වැරදි 5ක් සාකච්ඡා කරමු.

1. සම්මුඛ පරීක්ෂණයට පියා / මව සමඟ පැමිණීම

දෙය්යනේ, මේක නම් කවම කවදාවත් කරන්නෙපා. ඔබට කියන්න කිසිම නිදහසට කරුණක් නෑ මේ සඳහා.

ඔබ සම්මුඛ පරීෂණයකට යන්නෙ මොකටද?
 ඒ අදාල සමාගමට පෙන්නන්න ඔබට වැඩක් කරන්න පුලුවන් කියල. ඔබේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ. සමාගමක් කියන්නෙ වැඩිහිටියන් එකතු වෙලා වගකීම් බෙදාගෙන වැඩ කරල සමාගම ලාභ ඉපයීම සඳහා රැගෙන යන කණ්ඩායමක් ඉන්න තැනක්.
ඉතින් එතනට ඔබ අම්ම/ තාත්ත එක්ක එන එකෙන් මොනවද කියවෙන්නෙ??? ඔබ ප්‍රසිද්ධි‍යේ හැමෝටම කියාපානව, වැඩිහිටියෙක් ලෙස ඔබ කළ යුතු මූලිකම දේවත් ඔබට කරන්න බෑ කියල. තනියම වැඩක් කරගන්න බෑ කියන එක. ඒක ඔබගේ සේවාදායකයා දැක්කම මොකද වෙන්නෙ? "මෙහෙම තනියම තැනකට එන්න බැරි කෙනෙක්ට මම ජොබ් එකක් දුන්නොත් මෙයා කොහොම මේක කරයිද???!!!" කියන හැඟීම තමයි. ඉතින් එතනින්ම ඔබ කැපිලම යනව. (කියන්න සතුටුයි මගෙ අතින් නම් මේ වැරැද්ද උනේ නෑ.)
හැබැයි ලංකාවෙ දෙමව්පියන් හුඟක් තමුන්ගෙ දුවල ගැන සැළකිළිමත් වෙන නිසා පරිස්සමට එනව. ඒක නරකයි කියන්න බෑ, එපා කියන්නත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? ගෑණු ළමයි අම්ම / තාත්ත එක්ක ආවට කමක් නෑ. නමුත් එයාලට ඔබ ඉන්ටර්විව් එකට යන ආයතනය තුළට එන්න එපා කියන්න. පුළුවන් තරම් නොපෙනෙන්න ඉන්න කියන්න. 

2. සූදානමකිත් තොර වීම.

මේක ඇවිල්ල, ලංකාවෙ තිබෙන බහුලම දේ. ඒත් එක්කම නොකළම යුතු දේ. මේ කියන්නෙ, අමතර CV පිටපතක් රැගෙන නොඒම, හරියට ඇඳගෙන නොඒම වගේ දේවල් නෙමෙයි. ලංකාවෙදි ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නෙ වෙන්නෙ, ලංකාවෙ ජොබ් ඉන්ටර්විව් එකකට යන අයගෙන 90%ම තමුන් මේ ඉන්ටර්විව් එක යන සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නැති එක. සමාගමට වෙබ් සයිට් එකක් තියෙනව නම් ඒකට ගිහිල්ල නෑ, මොනවද ඒ සමාගමේ කරන්නෙ කියල හරියට දන්නෙ නෑ, ඇප්ලයි කරල ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල දන්නෙ නෑ....... ඒත් කියනව තමුන්ට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියල. :D
මේකෙන් ඔබගේ සේවාදායකයා එක දෙයයි තේරුම් ගන්නෙ. ඔබ සිතන්නේ ඔබ ගැන විතරයි කියල.
ඔබ ඉන්ටර්විව් එකට එන්නෙ මේ කිසිවක් නොදැන නම් ඒ කියන්නෙ ඔබ මෙන්න මෙහෙම දෙයක් අඟවනවා කියන එක. 
"මම මෙතනට ආවෙ ජොබ් එකක් ගන්න. මම ඒක ගැන මොකුත් හොයන්න ඕනෙ නෑ. මට ඕනෙ කොම්පැනියක ඕනෙ ජොබ් එකක් කළෑකි." වගේ දෙයක්. 

"රැකියාව"ක් කියන්නෙ මොකද්ද ඇත්තටම???
ආයතනයක් තිබෙන්නෙ කාටවත් රැකියා දෙන්න නෙමෙයි. ඔවුන් සිටින්නේ යම් සේවාවක්, නැතිනම් යම් නිෂ්පාදනයක් හරහා යම් අවශ්‍යතාවයක් පිරිමසන්න, නැතිනම් පවතින ගැටළුවකට පිළිතුරක් දෙන්න.
ඉතින් ඔබ යන්නෙ ඒ කාර්යයට සහය වෙන්න.
ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ඔබ ඔවුන්ට පෙන්නන්න ඕනෙ, "ඔයාල කරන්නෙ මොනවද කියල මම හොඳින් දන්නව, ඒකට සහය වන්න මට පුළුවන්" කියන දේ. සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙ ඔබට නෙමෙයි, ඔබට කළ හැකි දේ වෙනුවෙනුයි. 

3. පළමු සම්මුඛ පරීක්ෂණයේදීම වැටුප ගැන විමසීම

ඇත්ත. අපි රැකියාවකට යන්නෙ මුදල් හොයන්නනෙ. ඒත් මොකද හදිස්සිය? අලුතින්ම ජොබ් එකකට යන්න හොයන අය මේක නොදැන සිටින්න පුළුවන්, නමුත් ඉන්ටර්විව් එකකට දෙකකට ගිය අය දන්නව, අහන්න පුළුවන් නරකම ප්‍රශ්නය තමා පඩි කොහොමද කියන එක කියල. සාමාන්‍ය ක්‍රමය නම් දෙවන හෝ තෙවන (ඔබව අවසන් කිහිපදෙනා අතරට තෝරාගන්නා පරීක්ෂණය) සම්මුඛ පරීක්ෂණයේදී තමයි වැටුප් ගැන ඇසිය යුත්තේ. 
මුල් පරීක්ෂණ වලදී ඔබගේ මූලිකම ඉලක්කය වෙන්න ඕනෙ ඔබගේ හැකියාවන් පෙන්වීම හරහා ඔබව මාකට් කරන එක. 
හ්ම්ම්. ඔබ අනිවාර්යයෙන්ම එතකොට මෙහෙම හිතයි. "මෙයාල දෙන්නෙ අඩු පඩියක් නම්??? මම මගෙ කාලය අපතේ හරිනව නේද" කියල. ඔව්, එතන පොඩි අනතුරුදායක තත්වයක් තිබෙනව. අමුත් ඒක ගත යුතු රිස්ක් එකක්. ඔබ ඒ කාලය අපතේ හරිනවා නම් අදාල ආයතනය කොතරම් කාලයක් අපතේ යවනවද වැඩක් නැති අයදුම්කරුවන් පරික්ෂා කර කර???
ඉතින් ඔයා වැටුප් ගැන අහන්න අහන්න, එයාලට ඔයාව එපා වෙනව. 
මොකද ජොබ් එකක් කරන්න එන්නෙ සල්ලි හොයන්න උනත් කවුරුවත් කැමති නෑ සල්ලි පස්සෙම දුවන මනුස්සයෙක්ව ජොබ් එකකට ගන්න. 

4. එකම CV එක හැම අයදුම් කිරීමකටම භාවිතා කිරීම.

හොඳ CV එකක් හදන එකත් එක්තරා හැකියාවක්. මීට පෙර අත්දැකීමක් නැතිනම් ඒක තවත් අමාරුයි. සමහරු එකම ජොබ් එකට ඇප්ලිකේශන් කිහිපයක් එවනව. බොහොමයක් දෙනා එකම CV එක ගමරාලගෙ වංගෙඩිය වගේ හැම එකටම යවනව. මේකට කියන්නෙ "Shot Gun Approach" කියල. Shot Gun එක ඕනෙ එකෙක්ට වෙඩි තියන්න පාවිච්චි කළෑකිනෙ, තිබ්බම පළාතක් ඉවරයි. ඒ කියන්නෙ. එක CV එකක් හදාගන්නව, ඒක හතර වටේටම යවනව. ඒක හරියන වැඩක් නම් නෙමෙයි, ඒක හුඟක් අයට අල්ල ගත්තැකි. ඒකෙන් කියවෙන්නෙ, ඔබ අයදුම් කරන ජොබ් එක ගැන ඔබට උවමනාවක් නෑ කියන එකයි. ආපහු අංක 2ට යන්නකො. මේකත් යන්නෙ එතනටම තමයි. 
හැම ජොබ් එකකට ගැළපෙන දේවල් තියෙනව. ඉතින් ඒවට ගැළපෙන ආකාරයට හැම වෙලේම අලුත් ජොබ් එකකට අලුතින් CV එකක් හදන්න. 

ඉතින් මොකද්ද කරන්න ඕනෙ? 
Sniper කෙනෙක් වගේ වෙන්න ඕනෙ, හොඳට බලන් ඉඳල, හොඳට සූදානම් වෙලා හරියටම ඉලක්කයටම තියන්න ඕනෙ. 
අදාල ආයතනය ගැන, ඔවුන්ගේ විෂය පරාසය ගැන, ඔවුන් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් මුලින්ම ගන්න ඕනෙ. පුළුවන් නම් ඉස්සෙල්ල දවසක ආයතනයට කෝල් එකක් දීල විස්තර ටිකක් හොයාගන්න. ජොබ් එක ගැන නෙමෙයි, ආයතනය කරන දේවල් ගැන. :)
උදා: ඔබ යන්නෙ IT Firm එකක Programmer ජොබ් එකකට නම්, ටිකක් හොයල බලන්න මොනවද ඔවුන් භාවිතා කරන මෘදුකාංග, Programming languages, මොන වගේ මෘදුකාංගද හදන්නෙ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔවුන් භාවිතා කරන්නෙ ජාවා කියමු. ඔබට එතකොට පුළුවන් ඔබගේ CV එකේ ඔබට ජාවා ක්‍රමලේඛ දැනුම තියෙනව කියල විශේෂයෙන් දාන්න. 
ඒව දන්නව කියල ඊට පස්සෙ ඔබ පෙන්නුවම සම්මුඛ පරීක්ෂණයේදි, ආයතනය ඔබ ගැන ඉහළින්ම පැහැදෙනව. හැම එකක්ම ඔබට කියල දෙන්න ඕනෙ නෑ, ගොඩක් කල් පුහුණු කරන්න ඕනෙ නෑ, ඉතින් ඒක ආයතනයට පහසුවක් වගේම මුදල් ඉතිරියක්. 
ඉතින් මොකද වෙන්නෙ? ඔබව ඔවුන් තෝරා ගන්නව.

5. වෙලාවට නොපැමිණීම හා එන්නට නොහැකි නම් නොපැවසීම. 

කතාවක් තියෙනවනෙ, "ඔබ මිනිත්තු 10ක් ඉක්මනින් ආවෙ නැතිනම් ඔබ මිනිත්තු 5ක් ප්‍රමාදයි" කියල.
අයදුම්කරුවන්ගෙන් 30%ක්වත් මේ පරීක්ෂණය නම් අසමත් වෙනවාලු. 
ලංකාවෙ මිනිස්සු නම් වෙලාවට වැඩ කරන්නෙම නෑනෙ කවදාවත්. නමුත් සම්මුඛ පරීක්ෂණයකට යන දවසෙවත් වෙලාවට එතනට යන්න. 
අනිත් එක, අදාල වෙන් කරගත් දිනයට වෙලාවට එන්න බැරි වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒක අදාල ආයතනයට දන්වන්න, වෙනත් වෙලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන් වේවි. අපේ අය ඉතින් බයට කතා කරන්නෙ නෑනෙ. :( හේතු දක්වන්න ඕනෙ නෑ. ඒ දව්සට වෙලාවට එන්න වෙන්නෙ නෑ, වෙනත් වෙලාවක් ලබාදෙන්න කියන්න.  
ලංකාවෙ බොහොමයක් රැකියා අයදුම්කරුවන් වෙලාවට අදාල ස්ථානයට ගිහිල්ල ඉන්නෙ නෑ. උදේ 10ට එන්න කිව්වොත් එන්නෙ 10.15 නැත්තම් 10.30ට. ඒකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ. 9.45ටවත් යන්න. ගිහිල්ල පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලෑස්ති වෙලා ඉන්න. 

එහෙනම් මම මේ ලිපිය මෙතනින් නවත්වනවා. තවත් මේ ආකාරයේ ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු. මේකට එන ප්‍රතිචාර කොහොමද කියල. 

මෙම ලිපිය http://www.theceylonian.com වෙබ් අඩවියේ ලිපියකින් උපුටා ගන්නා ලද කරුණු වලින් සමන්විතය.


මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.

වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Friday, April 19, 2013

ඔබගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය රැක ගැනීමට පියවර 8ක්

ඉතින් ඉතින්? හුඟ කාලෙකින් ලිපියක් ලියන්න හිතුන. වෙලාව මඳකම කියල බොරු කියන්න ඕනෙ නෑ, ඇත්තටම කම්මැලිකම තමා. 
මම ඉතින් මේ බ්ලොග් එක බ්ලොගර් වල කළාට මම වර්ඩ්ප්‍රෙස් මත කරන බ්ලොග් අඩවි කිහිපයකුත්, වෙබ් අඩවි කිහිපයකුත් තිබෙනවා. පහුගිය දවසක මගෙ හොස්ටිං කොම්පැනියෙන් මට ඊ මේල් එකක් ආව වර්ඩ්ප්‍රෙස් අඩවි වලට බොට්නෙට් එකකින් හැකර් ඇටෑක් එකක් තියෙනව, ඉතින් අඩවි බැකප් කරගන්න හා CloudFlare හරහා ආරක්ෂා කරගන්න කියල.
 ඒ බොට්නෙට් ඇටෑක් එක නම් වෙන්නෙ admin කියන ගිණුමට බොට්නෙට් එක හරහා Bruteforce ඇටෑක් එකක් කරන එක. ඒ කියන්නෙ පාස්වර්ඩ් දහස් ගාණක් දදා බලනව. (මෙන්න තියෙනව නිවුස් එක.)
ඉතින් ඒකෙන් නම් මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ කියල ශුවර්. මොකද ආරක්ෂාව තකා මම එදා ඉඳලම වර්ඩ්ප්‍රෙස් ඉන්ස්ටෝල් කළ ගමන් වෙනත් නමකින් තවත් ඇඩ්මිනිස්ට්‍රේටර් ගිණුමක් හදල admin ගිණුම ඩිලීට් කරල දානව.

ඉතින් මම ටිකක් හොයල බලල සහ අත්දැකීමෙන්, ලිපියක් ලියන්න හිතුව වර්ඩ්ප්‍රෙස් අඩවියක් එවන් කරදර වලින් බේරා ගැනීමට කරන්න පුළුවන් සරළ දේවල් ටිකක් ගැන කියන්න.




1. අලුත් ඇඩ්මින් ගිණුමක් හදන්න.
හුඟක්ම වර්ඩ්ප්‍රෙස් වලට එන්නෙ අර කිව්ව වගේ default "Admin" ගිණුමට එන Brute Force attacks. ඉතින් හැකර්ට මුරපදය විතරක් නෙමෙයි, යූසර් නේම් එකත් හොයන්න උනොත් වැඩේ අමාරු වෙනව නේද? ඉතින් ඔබ මුලින්ම වර්ඩ්ප්‍රෙස් දැම්මම කරන්න ඕනෙ වෙනත් නමක් සහිතව ඇඩ්මින් ගිණුමක් හදල ඉබේ සෑදෙන ඇඩ්මින් ගිණුම ඩිලීට් කරල දාන එකයි. මතක තබාගන්න ඔබ ලිපි එහෙම දාල තිබ්බොත් ඇඩ්මින් ගිණුම ඉවත්කරන්න ඉස්සෙල්ල ඒ ලිපි ඔක්කෝම අලුත් ඇඩ්මින් ගිණුමට ට්‍රාස්න්ෆර් කරන්න. අනිත් එක, අලුත් ඇඩ්මින් ගිණුමට සම්පූර්ණයෙන්ම වෙනස් යූසර් නේම් එකක් ලබාදෙන්න. (admin, administrator, සයිට් එකේ නම එහෙම යොදන්නෙඑපා.)

2. ශක්තිමත් මුරපදයක් යොදන්න.
හුඟක් අය කරන තවත් වැරැද්දක් තමා මේක. මතක තියාගන්න ලේසියට පහසු මුරපද යොදනවා. 
මම දවසක් වර්ඩ්ප්‍රෙස් වලින් හැදුව සිංහල වෙබ් අඩවියකට ගිහිල්ල නිකමට ලොගින් එකට admin හා abc@123 ගැහුව. මෙන්න ලොග් උනා. :D මම ඉතින් මොකුත් කළේ නම් නෑ, වෙබ් අඩවියෙ උන්ට මේල් එකක් දැම්ම ඒක වෙනස් කරන්න කියල. 
ඉතින් ඔබත් අනිවාර්යයෙන්ම ශක්තිමත් මුරපදයක් යොදන්න. අක්ෂර 8ක්වත් අවම වශයෙන් යොදන්න, සිම්පල්, කැපිටල් අකුරු, ඉලක්කම්, සංකේත සමඟ. මේ සියල්ල තිබෙනවා නම් ඉතින් මොකෙක්ටවත් ලේසි වෙන්නෙ නෑ ඔයාගෙ පාස්වර්ඩ් එක හොයන්න. :) (මගෙ සාමාන්‍ය පාස්වර්ඩ් වල අකුරු, ඉලක්කම් හා සංකේත 8-15 අතර තිබෙනවා. මම දන්නව සමහරුන්ගෙ නම් 25ක් විතරත් තියෙනව කියල. :D )

3. නික් නේම් එක වෙනස් කරන්න.
ඔයාගෙ අලුත් ඇඩ්මින් යුසර් නේම් එක පෝස්ට් එකක් ගානෙ තියෙන්න ඕනෙ නෑනෙ. එතකොට ඉතින් අර යුසර් නේම් එක වෙනස් කරල කරගන්න හදපු දේ අසාර්ථක වෙනව. වර්ඩ්ප්‍රෙස් වල තිබෙනව "Nickname" කියල එකක්. අන්න ඒකට වෙනත් නමක් දාන්න. එතකොට ඔබගේ අලුත් ඇඩ්මින් යූසර්නේම් එක පිටතට ප්‍රසිද්ධ වෙන එක වැළකෙනවා.

4. සමහරක් IP Addresses වලින් ලොග් වීම අවහිර කරන්න.
Login Lockdown නමින් ප්ලගිනයක් තිබෙනවා. මෙමගින් අඩවියට ලොග් වන්නන්ගේ IP ලිපින හා ලොග් වන්නට උත්සාහ දරන වේලාවන් මතක තබාගන්නා අතර, එකම IP ලිපිනයකින් අසාර්ථක ලොගින් උත්සාහයන් හඳුනාගෙන යම් උත්සාහයන් ගණනකට පසු එම IP ලිපින තාවකාලිකව බ්ලොක් කිරීමක් සිදු කරනු ලබනවා. 

5. ඔබගේ IP ලිපිනය හැර වෙනත් IP ලිපින වලින් ලොග් වීම අවහිර කිරීම.
මේක නම් හරියන්නෙ Static IP එකක් හරහා බ්ලොග් අඩවියට ලොග් වෙන අයට පමණක් සහ ඔබ වෙනත් අයට අඩවියේ ලියාපදිංචියට අවස්ථාවක් දී නොමැති නම් පමණකි. මින් කරන්නේ wp-admin තුළට වෙනත් IP ලිපින හරහා ඇතුළු වීම අවහිර කිරීමයි.
මෙය කරන්නේ, ඔබගේ අඩවියේ wp-admin ෆෝල්ඩරය තුළට ගොස් .htaccess ගොනුව විවෘත කරගන්න.
එය තුළ කොතැනකට හෝ මෙම කෝඩ් එක ඇතුළු කරන්න. YOURIPNUMBER කියන තැනට ඔබට ඕනෑ තරම් IP ලිපින ඇතුළු කරගත හැකියි. ඔබට තිබෙන්නේ # whitelist home IP address හා allow from YOURIPNUMBER පේළි දෙක යළි යළි යොදමින් අදාල IP ලිපින එකතු කරගැනීමයි.

[sourcecode]
order deny,allow
deny from all
# whitelist home IP address
allow from YOURIPNUMBER
# whitelist work IP address
allow from YOURIPNUMBER
# whitelist holiday IP address
allow from YOURIPNUMBER
[/sourcecode]
ඉතින් වෙනත් කෙනෙක් ඔබගේ අඩවියට ලොග් වීමට හැදුවොත් ඔහුට ලැබෙන්නේ පහතාකාරයේ පණිවුඩයක්.
Forbidden. You don’t have permission to access /wp-admin on this server.
6. New User Registrations නවත්වන්න.
ඔබගේ අඩවිය සාමාජිකයින් සහිත අඩවියක් නොවේ නම් ඔබගේ අඩවියේ නව සාමාජිකයින් ලියාපදිංචිය අවශ්‍ය දෙයක් නෙමෙයිනෙ. ඉතින් අඩවිය තුළ ලියාපදිංචි වීම අවහිර කරන්න. එය කරන්න, වර්ඩ්ප්‍රෙස් Dash Board > Settings වෙත යන්න. එහි Anyone can register යන හරි සළකුණ ඉවත් කර සුරකින්න.

7. සැමවිටම යාවත්කාලීන කරන්න.
වර්ඩ්ප්‍රෙස් හා ප්ලගින් සැමවිටම යාවත්කාලීන කරන්න. මුල් සංස්කරණයේ තිබෙන යම් යම් දුර්වලතා සැමවිටම නව සංස්කරණයකදී මඟහරවා වැඩිදියුණු කිරීම් සිදු කරනු ලබනවා. ඉතින් ඔබ සැමවිට යාවත්කාලීන කිරීමෙන් ඔබටත් ආරක්ෂාව සැපයෙනවා. ලොකු වැඩක් නෙමෙයි, ඩෑෂ් බෝර්ඩ් එකේම තියෙනවා අප්ඩේට් කරන්න ඔප්ෂන් එකක්. ක්ලික් කරන්න විතරයි තිබෙන්නේ. වර්ඩ්ප්‍රෙස් විසින් ඉතිරි සියල්ල ස්වයංක්‍රීයවම කරගන්නවා.

8. නිතිපතා Backup කරන්න.
බ්ලොග්/වෙබ් අඩවියේ හා ඩේටාබේස් යන දෙකම නිතිපතා backup කරගන්න එක හැමවිටම හොඳයි. කොච්චර කලත් කරදරේක වැටෙන්න බැරිම නෑනෙ. ඉතින් බැකප් එකක් තිබ්බොත් කිසිම දේකට බයවෙන්න දෙයක් නෑනෙ. Wordpress Database Backup කියන්නේ මේ වැඩේට හොඳ ප්ලගින් එකක්. සතියකට සැරයක් වගේ කරගන්නව නම් ඇති වෙයි. ගොඩක් අප්ඩේට් නොවෙන එකක් නම් මාසෙකට/ මාස කිහිපයකට සැරයක් උනත් ඇති වෙයි. 

ඉතින් මේ සරළ දේවල් ටික කළොත් නම් ඔබගේ වර්ඩ්ප්‍රෙස් වෙබ්/බ්ලොග් අඩවිය හැක් කරන්න කිසිම කෙනෙක්ට ලේසි නෑ. ඇත්තෙන්ම බෑම තමයි. :) ආපහු ඒ ගැන බයක් වෙන්න දෙයක් නෑ.

මීට අමතරව තවත් හොඳ, Wordpress ආරක්ෂාව සඳහා මම භාවිතා කරන වර්ඩ්ප්‍රෙස් ප්ලගින 3ක් මම කියන්නම්.


මේ තුනෙන් Better WP Security කියන එක මම ඉහළින්ම රෙකමෙන්ඩ් කරනවා. අනිත් දෙකේම තියෙන වැඩ ඒකෙන් කරන්න පුළුවන් සහ අංක 6 යටතේ කිව්ව එකත්. 

ඉතින් එහෙනම් සුභ පතනවා සුරැකි වර්ඩ්ප්‍රෙස් අනාගතයකට!!!

Sunday, April 14, 2013

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!