Showing posts with label learn-english. Show all posts
Showing posts with label learn-english. Show all posts

Tuesday, August 10, 2021

ඔබේ Public Speaking සහ Leadership Skills වැඩි දියුණු කරගන්න - Toastmaster සමඟ සම්බන්ධ වන්න

toastmasters international
සෑම කෙනෙකුම කතා පවත්වනවා කියන, ජාත්‍යන්තර සමාජයක් වන “Toastmasters” යන වචනය ඔබ අසා ඇති.

Toastmasters එකේ මොකද්ද වෙන්නෙ? 

ඔබේ ප්‍රසිද්ධ කථන කුසලතා සහ නායකත්ව කුසලතා වැඩි දියුණු කර ගැනීමට අත හිත දෙන, අදහස් හුවමාරු කරගන්නා සමාජයක් නැතිනම් club එකක් තමයි මේක. 

ඒක එහෙමමද / එච්චරමද ???

තවදුරටත් කියවගෙන යන්න, ඔයාලට හැම දෙයක්ම දැනගන්න පුළුවන්. 


Toastmasters නිල වෙබ් අඩවිය කියන්නෙ මෙන්න මෙහෙම දෙයක්. 

Do you want to practice public speaking, improve your communication and build leadership skills? With Toastmasters, you can break barriers, not your budget. 


Toastmasters International (Club) කියන්නෙ මොකද්ද? 

එය ජාත්‍යන්තරව පැතිරුණු සමාජ ජාල ජාලයක් කිව්වොත් නිවැරදියි. Toastmasters International කියන්නෙ, ප්‍රසිද්ධ කථා කිරීමේ හා නායකත්ව කුසලතා (Public Speaking and Leadership Development) උගන්වන අධ්‍යාපනික සංවිධානයක්.

මේ මොහොතේ එයාල කියන විදිහට, රටවල් 145 ක, ක්ලබ්ස් 16,200 ක, සාමාජිකයින් 364,000 කට අධික සංඛ්‍යාවක් Toastmasters International එක්ක ඉන්නව. 

Toastmasters International ආරම්භ කරල තියෙන්නෙ 1924 දී ය.


Toastmasters සමාජයකට සම්බන්ධ වීමෙන් ඔබට කුමක් කළ හැකිද/ලබා ගත හැක්කේ මොනවාද?

ඔබට පහත හැකියාවන්/කුසලතා වර්ධනය කර ගන්නා අතරෙම ඔබේ ආත්ම ශක්තිය වැඩි කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. 

  • ඔබේ ප්‍රසිද්ධ කථන කුසලතා වැඩි දියුණු කරන්න.
  • නායකත්ව කුසලතා ගොඩ නගන්න.
  • ඔබේ හැකියාවන් උපරිම කර ගන්න.
  • පෞද්ගලික වර්ධනයක් භුක්ති විඳින්න.
  • හිත මිතුරු, සහය වන කණ්ඩායමක් එක්ක ඔබගේ හැකියාවන් වර්ධනය කරගන්න. 
  • කණ්ඩායමක් තුළ ඉඳන්, කථා ලිවීමට සහ ඉදිරිපත් කිරීමට පුරුදු වන්න.
  • රැකියා ස්ථානයේ තරඟකාරී වාසියක් ලබා ගන්න.
  • ආත්ම විශ්වාසය සහ ස්වයං දැනුවත්භාවය ගොඩ නගන්න.


ප්‍රසිද්ධියේ කථා කිරීමට/නායකත්වය දීමට ඔබ භයද?

බොහෝ දෙනෙකුට තිබෙන ගැටළුවක් තමයි මේක. 

කතා කිරීමට කැමති නමුත් එයම නොකරන 99% ක් දෙනාට තියෙන ප්‍රධානතම ගැටළු තමයි, භය, සැකය සහ අන් අය සිතන දේ හෝ කියන දේ ගැන සිතමින් පසු බැසීම. 


ඔබත් එහෙම නම් ඔබට සතුටු වෙන්න පුළුවන් ආරංචියක් මේක. 

Toastmasters රැස්වීමකදී, ඔබ ඒ සියලු මෝඩ අදහස් ගැන තව දුරටත් සිතිය යුතු නෑ. 


ඇයි ඒ?

Toastmasters කියන්නෙ, ඔයා වගෙම සිතිවිලි තිබුණු ඔයාගෙ බෝට්ටුවේම ඉන්න පිරිසකගෙ සුහද මිතුරු හමුවක්. ධනාත්මක සිතිවිලි, ධනාත්මක කතා විතරයි මෙතන තියෙන්නෙ, කවුරුවත් ඔයා කරන වැරදි ගැන සොයන්නේ නෑ. එයාල කරන්නෙ ඔයා කරන සෑම දෙයක්ම අගය කිරීම හා වැඩි දියුණු කිරීමේ යෝජනා ඉදිරිපත් කරන එකයි. 

ඔබගේ නොසංසුන්තාවය, කාංසාව, බිය වැනි හැඟීම් ඔබට මුළුමනින්ම ඉවත් කළ හැකිය.

ඔබ උනන්දුද? පිළිතුර ඔව් නම්, කියවන්න ...

Club එකකට සම්බන්ධ වන්නේ කෙසේද/සොයා ගන්නේ කෙසේද?

Toastmasters International වෙබ් අඩවිය තුළ එහි ඇති සියලුම clubs වල සම්පූර්ණ දත්ත ගබඩාවක් තියෙනව. මෙන්න ලින්ක් එක. 

ඔබට මේ වෙබ් පිටුවට ගිහිල්ල, ඔබ උනන්දුවක් දක්වන ප්‍රදේශය (උදා. මහරගම, ශ්‍රී ලංකාව) Search කරල ඔබට ගැලපෙන ළඟම ඇති Toastmasters Club එක සොයා ගන්න පුළුවන්. එම පිටුවෙම තියෙන දුරකථන අංකය භාවිතා කරල එම ක්ලබ් එකේ පුද්ගලයෙක්ට ඔබට කතා කරන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් හැම ක්ලබ් එකකටම ස්ථිර රැස්වීම් ස්ථානයක් තිබෙනවා (කෙසේ වෙතත් මේ දිනවල නම් හැම දෙයක්ම වෙන්නෙ Zoom/Teams වගේ ඒව හරහා). සාමාන්‍යයෙන් රැස්වීම් සති 2 කට වරක් තමා පැවැත්වෙන්නෙ. 

මේකට කොපමණ මුදලක් වැය වෙනවද?

නව සාමාජික ගාස්තුව ඩොලර් 20 ක් වෙනව. සාමාජිකයෙකු වශයෙන් මාස හයකට වරක් ඩොලර් 45 ක් ගෙවිය යුතු වෙනවා. 

ඔබට ඔබගේ හැකියාවන් දියුණු කරගත හැකි මාර්ග මොනවාද? 

Toastmasters වලදි, ප්‍රසිද්ධියේ කථා කිරීම හැර වෙනත් බොහෝ හැකියාවන් වැඩි දියුණු කරගන්න ඔබට හැකියාව තිබෙනව. 

Toastmaster වල pathways 11 ක් තියෙනව. මේවායින් ඔබට මුලින් එක් මාවතක් තෝරා ගන්න පුළුවන් (මේවා පුහුණු වැඩසටහන් / පාඨමාලා කියල හිතා ගන්නකො).එකක් ඉවර කරල ඕනෙ න ම්තවත් එකක් ආරම්භ කරන්න උනත් පුළුවන්.

එක pathway එකක් තෝරා ගත්තත්, ඒක ඇතුළෙ අනෙකුත් pathways වල තිබෙන අන්තර්ගතයත් ටික ටික තියෙනව. .උදා: ඔයාට ඕනෙ Dynamic Leadership ඉගෙනගන්න. නමුත් ඔයාට Presentations Mastery එකත් ටිකක් ඕනෙ. බයවෙන්න දෙයක් නෑ. Dynamic Leadership එක ඇතුළෙ අනිකෙත් ටිකක් තියෙනව. 

හුරේ! මටත් එකකට සම්බන්ධ වෙලා මගෙ හැකියාවන් දියුණු කරගන්න ඕනෙ!

එහෙනම් ඇයි තවත් බලා ඉන්නෙ? යන්න, ක්ලබ් එකක් සොයාගෙන ඒකෙ සම්බන්ධීකාරක වෙත ඇමතුමක් ලබා දෙන්න. 

තව නිවුස් එකක්. 

ඔබ කොට්ටාව, හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මොරගහහේන, අතුරුගිරිය ප්‍රදේශ ආශ්‍රිතව සිටින කෙනෙක් නම් හා ඒ අවට ක්ලබ් එකකට සම්බන්ධ වීමට කැමති නම්, අපි එම ප්‍රදේශයේ අලුත් ක්ලබ් එකක් පිහිටුවන්නයි යන්නෙන්. ("Silverline Toastmasters Club කියලයි නම් කරල තියෙන්නෙ.) මේ දිනවල Zoom ඔස්සේ රැස්වීම් තියෙන නිසා වෙන පැත්තක හිටියත් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. (පහළම තියෙනව අද සෙෂන් එකේ meeting details. අපේ රැස්වීම් තිබෙන්නේ අඟහරුවාදා දින වල)

වැඩි විස්තර සඳහා කරුණාකර ආසිරි මහතා (076 770 9227), චමිල මහතා (077 757 3084) හෝ ඉෂානි මෙනෙවිය (077 647 4122) අමතන්න.

මේ වන විටත් අපි demo meetings 3 ක් පවත්වා තියෙනව. අද 4වෙනි demo meeting එක. ඒ හැම එකකටම මම සම්බන්ධ උනා. ඒ මුළු අත්දැකීමම හරිම රසවත් හා ප්‍රයෝජනවත්. මම හිතන්නේ ඔබටත් එසේම වේවි. ඔබ හැකි ඉක්මනින් මේකට සම්බන්ධ විය යුතුයි. 

ප්‍රසිද්ධියේ කථා කිරීම හැර සාමාජිකයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා අධ්‍යාපන සැසි රාශියකුත් මේවායෙ පැවැත්වෙනවා. 

මෙතෙක් පැවති Silverline Toastmasters Club Demo Meetings වල සිදු කළ සැසි මේවායි.


මේ අද කරන සෙෂන් එක.



මේ තියෙන්නෙ අපේ පළවෙනි රැස්වීමේ screenshot එකක්.


අවසාන සටහනක් වශයෙන්,

මොකද තවම මෙතන කරන්නේ ?????

මෙම සබැඳිය ක්ලික් කරල ලඟම ක්ලබ් එක සොයාගෙන ඔබේ ජීවිතයේ එක් වටිනා දුරකථන ඇමතුමක් ලබා ගන්න.


මේකත් අමතක කරන්න එපා, 

ඔබ කොට්ටාව, හෝමාගම, පාදුක්ක, හංවැල්ල, මොරගහහේන, අතුරුගිරිය ප්‍රදේශවල ඉන්න කෙනෙක් නම් අපේ TM Club එකට එකතු වෙන්න. ආසිරි (076 770 9227), චමිල (077 757 3084) හෝ ඉෂානි (077 647 4122) කියන කෙනෙක්ට කතා කරල විස්තර දැනගන්න. 

මේ දවස් වල හැම දෙයක්ම ඔන්ලයින් වෙන නිසා ඔයා ලෝකෙ කොහෙ හිටියත් මේකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනව. 

Friday, August 6, 2021

Improve your Public speaking and Leadership capabilities – Join Toastmasters

 


You may have heard the word “Toastmasters”, an international club where everyone are giving speeches….

What is done in Toastmasters?

It is simply a club where you can improve your public speaking skills and leadership skills.

But is it???

Read further and you would know everything.

This is what the Toastmasters official web site says.

Do you want to practice public speaking, improve your communication and build leadership skills? With Toastmasters, you can break barriers, not your budget. 

What is Toastmasters International (Club)?

It is an international worldwide network of clubs, where Toastmasters International is an educational organization that teaches public speaking and leadership skills.
At the moment, they say that they have over 364,000 members in 16,200 clubs in 145 countries.
Toastmasters International was started in 1924.

Continue Reading >>>

Saturday, December 19, 2020

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - තෙවන 25

 ඔබට මතකයිනෙ මම මේ මාතෘකාව යටතේම "පළමු 25"  හා "දෙවන 25" කියල ලිපි දෙකක් ලිව්ව.

ඒක බලන්න මේ පහත සබැඳීයෙන් යන්න.
1. https://madhawaweblog.blogspot.com/2019/09/100-tips-to-improve-english-part-1.html

මම මුලින්ම ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කරගන්න ටිප්ස් කිහිපයක් එක්ක ලිව්ව ලිපිය බලන්න මේ සබැඳිය භාවිතා කරන්න.

https://madhawaweblog.blogspot.com/2019/01/learn-to-speak-english.html

හරි එහෙනම් මේ ක්‍රම 100යේ ලිපි මාලාවේ දෙවන කොටස. 51 - 75 දක්වා ටිප්ස්.


  1. ඉංග්‍රීසි ඉගෙනීම විනෝදයක් කරගන්න. අපි සතුටු හිතෙන දේ කරනකොට අපිට ඉගෙන ගන්න පහසු වෙනවා. 
  2. ඉංග්‍රීසි කතා කරනකොට කලබලකාරී හැඟීමක් එනව නම් දෙයක් කියන්න ඉස්සෙල්ල හොඳ හුස්මක් ගන්න. දෙපාරක්. එතකොට ඔයාගෙ හිත ටිකක් ලිහිල් වෙනව. ලිහිල් සිතක් කතා කිරීම පහසු කරනව. 
  3. ඔයා මුලින් කියවපු ඉංග්‍රීසි පොත, බලපු සීඩී තැටි, චිත්‍රපට දිහා බලල ඔයාවම උනන්දු කරගන්න. ඉස්සර බලපුව ආපහු බලනකොට ඒව තේරුම් ගන්න ලේසි වෙලා කියල හිතෙනව නේද? සුභ පැතුම් ඔබට. ඔබ ටික ටික ඉහළ මට්ටමකට යමිනුයි සිටින්නෙ.
  4. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබට වයස මදි හෝ වයස ඕනෑවට වඩා වැඩියි කියලා දෙයක් නැහැ. ඒක ඔයා ඉංග්‍රීසි ඉගෙන ගැනීම නැවැත්වීම සඳහා සමාවට කාරණාවක් කරගන්න එපා. ඇයි බලාගෙන ඉන්නේ.
  5. අද කරන්න බෑ හෙට කරන්නං කියල කල් අරින්න එපා. හැමදෙයක්ම ප්‍රමාද කරනවා කියලා කියන්නේ ඔයා  සාර්ථකත්වයට පත්වෙන්න තව තවත් පරක්කු වෙනවා කියන එක. ඉංග්‍රීසි ඉගෙනීම මඟ හැරීමට නම් ඔබ හැම වෙලේම ප්‍රමාද වෙන්න උත්සාහ කරන්නේ ඒ පුරුද්ද වහාම නවත්වා ගන්න.
  6. ඔබගේ ඉංග්‍රීසි දැනුම ගැන ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල තාම ඔබට ලැබී නැත්තං ඒක ඔබගේ ඉගෙනගැනීමේ නොහැකියාවක් නොවේ. ඊට හේතුව, ඔබට ඉගෙන ගැනීමට හොඳම ක්‍රමය තාම ඔබ සොයා ගෙන නොතිබීම වෙන්න පුළුවන්, ඉතින් වෙනත් ක්‍රම සොයා බලන්න, අත හදා බලන්න. 
  7. ඔබගේ ඉංග්‍රීසි දැනුමට ගැළපෙන ආකාරයේ පහසුකම් හා ක්‍රම භාවිතා කරන්න.  ඔබට ඉතාම පහසු හෝ ඔබට ඉතාම  අපහසු අභ්‍යාස  සිදු කරන්න උත්සාහ කරා කරන්න එපා.  ඔබට අභියෝගයක් වෙන ක්‍රම භාවිත කරන්න නමුත් ඔබට එපා වෙන ක්‍රම භාවිතා කරන්න එපා. 
  8. ඔබගේ උච්චාරණය  පරිපූර්ණ කර ගැනීමට උත්සාහ කරන්න එපා. ඔබගේ උච්චාරණ විලාසය ඔබගේ සංස්කෘතියට අදාළ දෙයක්. 
  9. විවිධ රටවල ඉංග්‍රීසි භාෂාවේ විවිධ වෙනස්කම් තිබෙනවා.  british english, american english, south african english සහ විවිධාකාරයේ ඉංග්‍රීසි ආකාර. මේ හැම එකකම එකිනෙකට වෙනස් ආකාරයේ දේවල් තිබෙනවා. ඒවා හිතන්න යන්න එපා. ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි.
  10. නමුත් එම ඉංග්‍රීසි භාෂා විලාසයන්ගේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන ඒවාට අනුව වචන පාවිච්චි කරන්න. උදා: සෝපානය = american english elevator british english lift.
  11. අලුත් වචන මතක තබා ගැනීමට cue cards ක්‍රමය භාවිතා කරන්න. Cue Cards කියන්නේ අපි අලුත් වචනයක් දැන්ගත්තහම ඒක ලියා තබන කුඩා කාඩ්පත්. ඒවා ඔබට විවේකී වෙලාවට එළියට අරගෙන ඒ අලුත් වචන ඉගෙන ගන්න.
  12. ඔබ අවට තිබෙන දේවල් ලේබල් කිරීම සඳහා sticky notes භාවිතා කරන්න.  එවිට එම වචන ඔබට නිතිපතා දකින නිසා මතක තබා ගන්නට පහසුවෙන්ම පුළුවන්.
  13. Phrasal verbs ඉගෙන ගන්න. Phrasal verbs කියන්නේ වචන දෙකක් තියෙන ක්‍රියා පද.  ඉංග්‍රීසි භාෂාවේ phrasal verbs සිය ගණනක් තිබෙනවා. ඔබ වැඩි වැඩියෙන් phrasal verbs ඉගෙනගන්නකොට අලුත් ඒවයෙ තේරුම පහසුවෙන් තේරුම් ගන්නට පුලුවන් වෙනවා.
  14. තමන් ගැන විශ්වාසයෙන් ඉන්න කියල මීට පෙරත් කියවුනානෙ. හිතට එන දේ එක්ක ඉදිරියට යන්න. Gut Feeling කියල කියන්නෙ. ඔයාගෙ පළවෙනි අනුමානය කෙතරම් නිවැරදිද කියල ඔයාටම පුදුම හිතෙයි. 
  15. ඔයාගෙ සිතිවිලි එකතු කරගන්න. ඔබ මොනවද කියන්න ලෑස්ති වෙන්නෙ කියල හිතන්න තත්පරයක් ගත කරන්න. ඔබ ව්‍යාකරණ රීති හොඳින් දන්නව. නමුත් කතා කරනකොට ඒව නිවැරදිව යොදා නොගන්නව වෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර හිතන්නෙපා, ඉස්සෙල්ල කතා කරල ඉන්න, පස්සෙ ව්‍යාකරණ නිවැරදි කරගන්න. 
  16. අලුත් මිනිස්සු හමු වෙන්න. ඔබේ ප්‍රදේශයේ සිටින ඉංග්‍රීසි කතා කරන සමාජය එක්ක මුසු වෙන්න උත්සාහ කරන්න. Club එකක්, Bar එකක් වෙන්නත් පුළුවන්. 
  17. ඉංග්‍රීසියෙන් කතා බහක් ආරම්භ කරන පුද්ගලයා වෙන්න උත්සාහ කරන්න. කතා බහ දිගටම ඉදිරියට යන්න, "really...", "go on..", "what happened then?.." වැනි වචන භාවිතා කරමින් තල්ලුවක් දෙන්න. අනිකාට ඔබට කතා කරන්න දෙනකම් බලා ඉන්නෙපා, කතාවට සහභාගි වෙන්න. 
  18. විවාද කරන්න. කණ්ඩායමක් එක්ක විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා කරන්න. එකිනෙකා එකිනෙකට වෙනස් මතයන් දරන්නන් වෙන්න. විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ එකිනෙකා හා වාද කරන්න. ක්‍රියාකාරී ලෙස සවන්දෙන්න පුරුදු වෙන්න. එසේ කිරීමෙන්, හැමෝටම ඒක සහයක් වෙනවා සේම වඩා වැඩි දායකත්වයක් සාකච්ඡාවට ලබා දීමටත් ඔබට හැකි වෙනවා. කතා කරන පුද්ගලයා කියන දේට හොඳින් අවධානය යොමු කර අසා සිටින්න. වෙනත් දේ වලින් ඔබේ අවධානය බිඳෙන්න දෙන්න එපා. එසේ කිරීමෙන් ඔබට තේරුම් ගන්න පහසු වෙනවාට අමතරව ඔබට දෙයක් අනිත් අයටත් තේරුම් කරල දීම පහසු වෙනවා. 
  19. ඉංග්‍රීසි වචන ඉගෙන ගැනීම ඉංග්‍රීසි ඉගෙනගැනීමක් නෙමෙයි. ඔබට ගිරවෙකුට උනත් ඉංග්‍රීසි වචන පුරුදු කරන්න පුළුවන්, නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ ගිරවට ඉංග්‍රීසි පුළුවන් කියල. වාක්‍ය තේරුම් ගන්න, ව්‍යාකරණ තේරුම් ගන්න. 
  20. ඉංග්‍රීසි කතා කරන කෙනෙක්, සිදුවීම් ගැන කතා කරද්දී අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල ව්‍යාකරණ භාවිතා කරනව. ඔබත් ඒව දැනගෙන ඉන්න අවශ්‍ය වෙනව. ඒව භාවිතා කරන්නත් පුරුදු වෙන්න. 
  21. ඉංග්‍රීසි භාෂාවේ regular verbs (borrow, borrowed; carry, carried, වගේ සියළුම කාල වලට අදාල ක්‍රියා පදය එක සමානයි, අගට ed ආකාරයට යෙදෙන) හා irregular verbs (do, did, done; go, went; steal, stole, stolen; rise, rose, risen වගේ එක එක කාල වලට අදාල ක්‍රියා පදයේ ස්වරූපය වෙනස් වන) කියන වර්ග දෙකෙන් irregu`lar verbs තේරුම් ගන්න, ඉගෙන ගන්න අවශ්‍යයි. 
  22. දිගටම ඉගෙනගන්න, පුරුදු වෙන්න. ඔබ ඉංග්‍රීසි ඉගෙනගන්න එක හා/හෝ පුහුණු වෙන එක හා/හෝ භාවිතා කරන එක නැවැත්වුවහොත් ඔබටම තේරෙයි කාලයක් යනකොට ඔබගේ ඉංග්‍රීසි දැනුම මට්ටම/හැකියාව ටික ටික මොට වෙනව කියල. ඉතින් ඉංග්‍රීසි දිගටම ඉගෙනගන්න, පුරුදු වෙන්න. 
  23. ඔබගේ ඉංග්‍රීසි විභාගයේ ලකුණු අඩු උනාද? නමුත් ඒක ගැන එතරම් හිතන්නෙපා. සමහර අය ඉන්නව විභාගෙ ඉහළින්ම පාස්, නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කරන්න බෑ, අනිත් පැත්තෙන් සමහරු ඉන්නව ඉංග්‍රීසි අකුරක්වත් බෑ, නමුත් ඉංග්‍රීසි කථිකයින් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනව. ඔබට ඉංග්‍රීසියෙන් යන්තම් හරි කතා කරන්න පුළුවන් නම්, කියවා තේරුම් ගන්න පුළුවන් නම්, ඒක විභාගෙක ලකුණු වලට වඩා ඉහළින්ම වටිනවා. 
  24. මිතුරෙකු සමඟ ඉංග්‍රීසි පුහුණු වෙන්න. ඔබට පුහුණු වෙන්න තවත් කෙනෙක් සිටිනව නම් ඒක ඉතාම සාර්ථක ක්‍රමයක් වගේම දෙන්නට පුළුවන් එකිනෙකාව පොළඹවන්න තවත් ඉදිරියට යන්න. 
  25. මතක තබා ගත යුතු දෙයක් තමයි, ඔබ මහන්සි වෙන්න මහන්සි වෙන්න ඔබ සාර්ථක වෙනවා කියන එක. 
අවසන් 25ත් පුළුවන් ඉක්මනට ලියල දාන්නම්. 

සුභ පතනවා සියළු දෙයින් සාර්ථක වෙන්න. 

Sunday, December 15, 2019

ඔබගේ ඉංග්‍රීසි වාග් මාලාව (Vocabulary) වැඩි දියුණු කරගන්න මේවා කරන්න

මේක සමහර අයට තිබෙන ප්‍රශ්නයක්.
කොහොමද මගෙ English Vocabulary එක වැඩි දියුණු කරගන්නෙ?
මොකද වැඩිපුර ඉංග්‍රීසි වචන දන්නකොට අනිත් අය කියන දේවල් පහසුවෙන් තේරෙනව වගේම හොඳ වචන භාවිතයක් කරන්නත් පුළුවන් වෙනව. 



ඉතින් මේක කරගන්නෙ කොහොමද කියල මම සරළව අයිතම කිහිපහකින් කියන්නම්. 

1. ඔබට හමුවන අලුත් වචන වල තේරුම් සොයන්න. 
එවෙලෙම හරි, එවෙලෙ බැරි නම් පසුව බලන්න පොඩි පොතක, ෆෝන් එකේ නෝට් එකක් දාගෙන තියාගෙන බලන්න.

2. ඔබගේ මිතුරන්ගෙන් අහන්න.
නොදන්න වචනයක තේරුම් ඒක දන්න මිතුරෙක්ගෙන්, නෑදෑයෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන් අහල දැනගන්න. 

3. දිනපතා කියවන්න.
දිනපතා ඉංග්‍රීසි පොත්, පුවත්පත්, බ්ලොග්, කියවන්න මිනිත්තු 15 - 20ක කාලයක්වත් ගත කරන්න. ඒ කියවන්න ලැබෙන ඉංග්‍රීසි වචන වල තේරුම් ඉහත 1, 2 අනුව සොයාගන්න.

4. ඉවසිලිවන්ත වෙන්න.
හදිසි වෙන්න එපා. ඔබගේ වාග්මාලාව සෙමෙන් දියුණු කරගන්න, දියුණු වෙන්න ඉඩ දෙන්න. 

5. Podcasts, Audiobooks වලට සවන් දෙන්න.
පොතක්, පුවත්පතක් කියවන්න වෙලාව හා අවස්ථාව නැති නම් යන එන ගමන් podcast එකකට , Audiobook එකකට සවන් දෙන්න. 

6.  Mnemonic Devices (Memory devices) ක්‍රමය භාවිතා කරන්න.
දෙයක් මතක තියාගන්න අපි කලාත්මක ක්‍රම භාවිත කරන්න. අන්න ඒවට තමයි Mnemonic Devices කියල කියන්නෙ. උදා: ඉස්කෝලෙ යන කාලෙ ආවර්තිතා වගුව මතක තියාගත්තෙ, දිශා 8 මතක තියාගත්තෙ (උපාලි ඊළඟ නැවෙන් ගිහින්....), මාස වලට දින කීයද කියල knuckles භාවිතා කරන්නෙ. අන්න ඒවගෙ ඒව තමයි Mnemonic Devices.

7. ලියල තියාගන්න.
පස්සෙ බලන්න, තේරුම් හොයන්න, මතක් කරගන්න අලුත් වචන ලියල තියාගන්න.

8. හැම කියවීමක්ම ලිවීමක්.
අපි මතකයේ ලියවිලා තියෙන දෙයක් ආපහු මතක් කරනව කියන්නෙ මතකය කියවනව කියන එක. ඒ කියන්නෙ ආපහු ඒක මතකයේ ලියවනවත් කියන එක. ඉතින් මතකයේ තියෙන අලුත් වචන, නැවත නැවත මතක් කරන්න. 

9. සරළ වෙන්න, සංකීර්ණ නොවෙන්න.
සරළ කෙටි දෙයක් නිවැරදිව භාවිතය, සංකීර්ණ දිග දෙයක් වැරදිව භාවිතා කිරීමට වඩා හොඳයි. ඉතින් අමාරු වචනයක් මතක තියාගන්නවට වඩා වටිනව, ඒ තේරුමම දෙන්න පුළුවන් සරළ වචන කිහිපයක් මතක තබා ගන්න එක. 

මීට අමතරව ඔයාලගෙ ක්‍රම තියෙනව නම් මම ආරාධනා කරනව කමෙන්ට් එකකින් ඒක අනිත් අයත් එක්කත් බෙදා හදා ගන්න කියල.


============================================================

English Learning සම්බන්ධව මම ලිව්ව සියළුම ලිපි කියවන්න මෙතනින් යන්න. 

============================================================

මගෙ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැතිනම් දැන්මම සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට අලුත් ලිපි ඔයාලගෙ ඊ මේල් ඉන්බොක්ස් එකට එවෙලෙම එනව. ඒකට පහත බොක්ස් එක භාවිතා කරන්න. 

Enter your email address:


Delivered by FeedBurner
============================================================

Tuesday, October 29, 2019

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - දෙවන 25

ඔබට මතකයිනෙ මම මේ මාතෘකාව යටතේම "පළමු 25" කියල ලිපියක් ලිව්ව.
ඒක බලන්න මේ පහත සබැඳීයෙන් යන්න.
https://madhawaweblog.blogspot.com/2019/09/100-tips-to-improve-english-part-1.html

මම මුලින්ම ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කරගන්න ටිප්ස් කිහිපයක් එක්ක ලිව්ව ලිපිය බලන්න මේ සබැඳිය භාවිතා කරන්න.

https://madhawaweblog.blogspot.com/2019/01/learn-to-speak-english.html

හරි එහෙනම් මේ ක්‍රම 100යේ ලිපි මාලාවේ දෙවන කොටස. 26 - 50 දක්වා ටිප්ස්.


  1. දේවල් කියවනකොට සම්පූර්ණ වාක්‍යම නැතිනම් වාක්‍යයක හැම කොටසක්ම තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. සරළව එහි අදහස තේරුම් ගන්න උත්සාහ කරන්න. පසුව නොතේරෙන වචන, වාක්‍ය කොටස් පිළිබඳ සොයා බලා තේරුම් ගන්න. 
  2. ඔබට නොතේරෙන වචන තිබෙන විට ඒ වාක්‍යයේ අනෙකුත් වචන සමඟ වාක්‍යයේ අදහස තේරුම් ගන්න උත්සාහ කරන අතරෙ අර නොදන්නා වචනයේ තේරුම තේරුම් ගන්න උත්සාහ කරන්න. වටේ තියෙන වචන හරහා ඔයාට ඉඟියක් ගන්න පුළුවන් වෙයි. ඒ තේරුම එක්ක යළි වාක්‍ය තේරුම් ගන්න. පසුව නිවැරදිම තේරුම සොයා බලන්න.
  3. වචනයකට සමාන තේරුම් තිබෙන පද හඳුනා ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට වචන තේරුම් ගැනීම වඩාත් පහසු වෙනවා.  (උදා: Scribe = Write, Minimum = Small)
  4. අලුත් වචනයක් ඉගෙනගත්තම ඒකෙ තියෙන අනෙකුත් අවස්ථා පිළිබඳත් සොයා බලන්න, ඉගෙනගන්න. උදා: Beautiful (Adjective-නාම විශේෂණ පදය), Beauty (Noun-නාම පදය), Beautifully (Adverb-ක්‍රියා විශේෂණය)
  5. උපසර්ග පද ඉගෙනගන්න. (Prefixes and Suffixes). ඒවායින් වචන වල තේරුම් වෙනස් වන හැටි ඉගෙනගන්න. ඒ හරහා ඔබගේ Vocabulary එක දියුණු කර ගැනීම තවත් පහසු වේවි. (Prefixes = dis---, un---, re--- = DISlike, UNresponsive, REwork, Suffixes = ---ly, ---ment, ---ful = correctLY, achieveMENT, beautiFUL)
  6. ඔබට හැකි සෑම විටම හැකි සෑම අවස්ථාවකදීම ඉංග්‍රීසි භාවිතා කරන්න. 
  7. ඔබ ඉංග්‍රීසි කියවනකොට, අහගෙන ඉන්නකොට කිසිම වෙලාවක ඒක ඔබගේ මව් භාෂාවට පරිවර්තනය කර කර තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඉංග්‍රීසියෙන් හිතන්න. ඉංග්‍රීසියෙන් ඔබ සමඟ සිතින් කතා කරන්න. එතකොට ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව තව තවත් දියුණු වෙනවා. 
  8. ඉංග්‍රීසි භාෂාව පෙළ පොත් කියවලම ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට එය භාවිතා කරන්නම සිද්ද වෙනවා. 
  9. ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගන්න තිබෙන පහසුම ක්‍රමය තමයි ඉංග්‍රීසියෙන් කතා කරන එක එතකොට ටික ටික ඔයාට ඉබේම ව්‍යාකරණ රීති මතක හිටිනවා. ඔබ එන්න එක්ක නිවැරදිව කතා කරන්න ගන්නවා. 
  10. ඉංග්‍රීසියෙන් දින පොතක් ලියන්න. මුලදි වාක්‍ය කිහිපයකින් ආරම්භ කරන්න. පස්සෙ ටික ටික වැඩි කරන්න. එතකොට ඉංග්‍රීසියෙන් ලියන පුරුද්ද ඔබට ඉබේම එනව. ඒ හරහාම ඔබ දියුණු වෙනවා. 
  11. ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකක් ආරම්භ කරන්න. ඔබගේ දැනුම, අදහස් ඉංග්‍රීසියෙන් ලියල ලෝකය එක්කම බෙදා හදා ගන්න 
  12. ඔබට හොඳ ඉංග්‍රීසි කතුවරයෙන් වෙන්න ඕනෙ නම් මුලින් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන හිතන්නෙ නැතිව කොලේක හිතෙන හිතෙන දේවල් ලියන්න. ඔබට අවශ්‍ය ආකෘතිය ගැන පමණක් හිතන්න.  Brain Storm කරන්න. එහෙම සකස් කරගත්තට පස්සෙ, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගළපමින් ඔබේ නිර්මාණය සිදු කරන්න. අන්තිමට ඒක වඩා දැනුමැත්තෙක්ගෙ අතට දීල සෝදුපත් කියවාගන්න. 
  13. විරාම ලකුණු ගැන අවදානය යොමු කරන්න. මොකද වැරදි තැනක යොදන කොමාවකින් මුළු වාක්‍යකම තේරුම කනපිට හරවන්න පුළුවන්. ඒ නිසා විරාම ලකුණු නම් වරද්දගන්න එපා. උදා: බලන්න මේ වාක්‍ය දෙක. 1. A woman without her man is nothing”. 2. “A woman: without her, man is nothing”. පේනවනෙ? එකම වචන සෙට් එකට විරාම ලකුණු දෙකකින් කරපු වෙනස?
  14. ඔබ ගායනයට දක්ෂද? ඉතින් ඇයි ඔබගේ ඉංග්‍රීසි දැනුම ඉංග්‍රීසි ගීත හරහා දියුණු කර නොගන්නෙ? ඉංග්‍රීසි ගීත ඉගෙනගන්න. ඒව ශබ්ද නගා ගායනා කරන්න. ඒකෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුම විතරක් නෙමෙයි, ඔබගේ ගායන හැකියාවත් දියුණු වෙනවා. 
  15. ඔබට ඉංග්‍රීසි කතා කරන්න බයද, කෙනෙක් නැද්ද? Chat rooms, Forums, Community Sites කියන්නෙත් හොඳ විසඳුමක්. ඒවා හරහා වෙනත් අයත් එක්ක ඉංග්‍රීසියෙන් චැට් කරන්න ඔබට පුළුවන්, ඉංග්‍රීසියෙන් ඔබගේ අදහස් ලියන්න පුළුවන්. 
  16. ඉංග්‍රීසි කියන්නෙ භාෂා කථනයේදී සමහර තැන් වල වචනය බර කරල කතා කරන භාෂාවක්. ඒක අපි ඉගෙනගන්න ඕනෙ. නැත්තම් වචන වන හරි උච්ඡාරණය ගන්න බෑ. ඒක හරිම ලේසි දෙයක්. එසේ බර කරල ශබ්ද කරන්නෙ අනිවාර්යයෙන්ම ස්වරයක්. (a,e,i,o,u). ස්වර එකක් තියෙන වචනයකදී ඒ ස්වරයත්, ස්වර දෙකක් හෝ කිහිපයක් තිබෙන වචනයකදී දෙවන ස්වරයත් මත තමයි බර යෙදෙන්නෙ. උදා: beGIN, TEAcher, HAPpy....  වශයෙන්.
  17. ඉංග්‍රීසි භාෂාව භාවිතා වන දෙබස් තිබෙන වැඩසටහන්, කතා බලන ගමන් ඒ දෙබස් අනුකරණය කරන්න. වාක්‍ය කිහිපයක් අහගෙන ඉඳල,  ඒක pause කරල ඒ වාක්‍ය ඒ විදිහටම කියන්න. ඒ කතා වල තිබෙන රටාව, කතා විලාසය ඉගෙන ගන්න. 
  18. නිවසේ, වාහනයෙදී, ගමන් බිමන් වලදී ගුවන්විදුලිය අසනවාද? එසේ නම් ඉංග්‍රීසි වැඩසටහන් වලට සවන් දෙන්න. නිවසේදී හෝ වාහනයෙදී ඔබ උවමනාවෙන් ඒ දෙබස්  ඇසුවෙ නැතත්, ඔබ ඔබගේ කණ ඉංග්‍රීසි වලට හුරු කිරීමක් ඔබට නොදැනීම සිදු කරනවා. 
  19. පොඩි කාලෙ ඉංග්‍රීසි කාලච්ඡේදයේදී කරපු Dictation මතකද? ඇයි දැනුත් ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ සවන් දෙන ඉංග්‍රීසි ලියන්න පුරුදු වෙන්න. ඔබගේ Listening and writing skills දෙකම ඒකෙන් වැඩි දියුණු වෙනවා. 
  20. හුඟක් අය තමන්ගේම කටහඬ අහන්න කැමති නෑ. නමුත් මෙතනදි නම් එහෙම වෙලා බෑ. ඔබ ඉංග්‍රීසියෙන් කතා කරන දේවල් පටිගත කරන්න. ඒවා යළිත් අසන්න, ඔබගේ වචන උච්ඡාරණය, භාෂා විලාසය ඔබම පරික්ෂාවට ලක් කරන්න. එවිට ඔබටම හැකියාව ලැබෙනවා ඔබගේ දුර්වලතා හඳූනා ගන්න. 
  21. ඔබගේ ඉංග්‍රීසි ගුරුවරයා කියනා දේවල් ඔබ පටිගත කර ගැනීමට අවසර ගන්න. ඒ පටිගත කරගත් කටහඬ යළිත් අසමින්, ඔහුගේ / ඇයගේ භාෂා විලාසය, වචන උච්ඡාරණය හරහා ඉගෙනගන්න උත්සාහ කරන්න. (ඔබගේ ගුරුවරයා හොඳින් ඉංග්‍රීසි හසුරවන්නෙක් යයි උපකල්පනය මත.)
  22. ඉංග්‍රීසි - ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් භාවිතා කරන්න. එවිට ඔබට හැකියාව ලැබෙනවා ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරමින් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැතුව, ඉංග්‍රීසියෙන්ම හිතන්න, දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න, ඉගෙන ගන්න. ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ නම් භාවිතයට ගන්න උත්සාහ කරන්නම එපා. 
  23. ඉංග්‍රීසි - ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් භාවිතා කරන්න අපහසු නම් ඔබට තවත් විසඳූමක් තිබෙනවා. ඒ තමයි English Learners' Dictionaries. මේවා සකසා ඇත්තේ විවිධ මට්ටම් වල ඉංග්‍රීසි ඉගෙනගන්න සිසුන් සඳහාමයි. 
  24. ශබ්ද කෝෂයක් කියන්නෙ, පහසුකමක් / අත්වැලක් පමණයි. ඒක ඔබගේ ගුරුවරයා කරගන්න උත්සාහ කරන්න එපා. නොදන්නා වචන වල තේරුම් හිතලම තේරුම් ගන්න උත්සාහ කරන්න. 
  25. අතාරින්න එපා. ධනාත්මකව හිතන්න. ඔබට සමහර අවස්ථා වලදී හිතෙන්නට පුළුවන් ඔබට අවශ්‍ය තරම් ඉක්මනින් ඔබ ඉගෙනගන්නේ නෑ කියල. හුඟක් අයට මෙහෙම හිතෙනව. එහෙම හිතුන කියල අත අරින්න එපා. ටික ටික හරි ඔබට ඔබගේ ඉලක්කයට යන්න ශක්තිය ලැබෙනව. 
හරි අදට ඇති. මේ මාතෘකාව යටතේ එතකොට තව ලිපි 2ක් එනව. මම 100ක ලිව්වට පස්සෙ ඒ 100 එකතු කරල තව දේවලුත් එකතු කරල PDF එකක් වශයෙන් ඒක ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව ඔයාලට අත් පොතක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න.

මගෙ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැතිනම් දැන්මම සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට අලුත් ලිපි ඔයාලගෙ ඊ මේල් ඉන්බොක්ස් එකට එවෙලෙම එනව. ඒකට පහත බොක්ස් එක භාවිතා කරන්න. 

Enter your email address:


Delivered by FeedBurner



Tuesday, September 17, 2019

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - පළමු 25

ඉතින් ආයුබෝවන්!.
මේ මාතෘකාව එක්ක මම ඉතා දිග ලිපියක් ලියාගෙන යනව.
නමුත් පෙනුනු කාරණය, කාලය එක්ක ලිපිය ඉවර කරන්න යන කාලය ඉතා වැඩියි. ඉතින් මේ tips 100, 25 කොටස් වලට කඩල දෙන්න හිතුව. එතකොට ඔයාලට බලන්නත් ලේසී, මට ලියන්නත් ලේසී.
මීට පෙර මම ලියපු, "සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද" ලිපිය කියවන්න මෙම සබැදියෙන් යන්න.

ඉංග්‍රීසි කියන්නෙ මේ කාලෙ අත්‍යවශ්‍යම දෙයක් වෙලා.
රැකියාවේ වැඩකටයුතු, අන්තර්ජාලය සම්බන්ධව වැඩ කටයුතු වලට පමණක් නෙමෙයි, බොහොමයක් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලටත් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් වෙලා.
ඉතින් ඔබ ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට උත්සාහ කරන, යම් අපහසුතා තිබෙන කෙනෙක් නම්, මේ තොරතුරු ටික ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි.
ඔබගේ ඉංග්‍රීසි, ලිවීමෙ, කියවීමේ, තේරුම් ගැනීමේ හා කතා කිරීමේ හැකියාව දියුණු කර ගැනීමට මම ඔබට කෙටි උපදෙස් 100ක ලැයිස්තුවක් ලබා දෙනවා. 

  1. වැරදීම් සිදු කරමින් කතා කිරීමට බිය වන්නට එපා. ඔබ ගැන විශ්වාසය ඇති කරගන්න. අනෙකුත් අයට ඔබව නිවැරදි කළ හැක්කේ ඔබ වැරදීම් සිදු කරමින් කතා කරනවානම් පමණයි. 
  2. ඔබව ඉංග්‍රීසි වලින් වට කරගන්න. ඉංග්‍රීසි කථා කරන වටපිටාවක ජීවත් වීමට උත්සාහ කරන්න. එවිට ඔබට සක්‍රිය හා අක්‍රිය ව ඉංග්‍රීසි ඉගෙන ගැනීම සිදු කළ හැකි සිදුකළ හැකි වනවා. ඉංග්‍රීසි ඉගෙනීමට හොඳම ක්‍රමය ඉංග්‍රීසි කතා කිරීමයි.
  3. දෛනිකව ඉංග්‍රීසි පුහුණු වන්න. ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්මක් සකසා ගන්න. ඔබට සතියකට ඉංග්‍රීසි ඉගෙනීම වෙනුවෙන් වෙන්කළ හැකි කාලය තීරණය කර එයට අනුගත වන්න. කාල සටහනකට අනුව වැඩ කරන්න.
  4. ඔබගේ ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්ම සම්බන්ධයෙන් ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට පවසන්න. එම සැලැස්මට අනුගත වීමට ඔබට බල කරන්නැයි ඔවුන්ට පවසන්න. ඊට අවහිර කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.
  5. භාෂාවේ මූලිකාංග 4 පුහුණු කරන්න. කියවීම, ලිවීම, කතා කිරීම හා සවන් දීම. ඔබට ඉංග්‍රීසි වැඩි දියුණු කරගැනීමට මෙම 4ම අත්‍යවශ්‍ය වෙනවා. 
  6. ඔබ සමඟ සැම විටම කුඩා සටහන් පොතක් තබාගන්න. ඔබ ඉගෙන ගන්නා නව වචන එහි ලියන්න. ඒවා වාක්‍ය වල භාවිතා කරන්න. ඒවා භාවිතා කරමින් කතා කරන්න.
  7. දිනකට එක් වරක්වත් ඔබගේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් පාඩම් කටයුත්තක් සිදු කරන්න.
  8. කට පාඩම් කිරීම කියන්නෙ විභාගයක් ලිවීමට වගේ දේකට මතක තබා ගන්නා ආකාරයක්. නමුත් මෙහිදී එය අසාර්ථකයි. මොකද කට පාඩම් කළ දේ විභාගයෙන් පසුව මතකයෙන් ගිලිහෙනවා. ඉතින් ඉංග්‍රීසි කඩ පාඩම් කරන්න යන්න එපා. කළ යුතු වන්නේ භාවිතයයි. 
  9. ඔබගේ ශරීරයේ ඔරලෝසුවට අනුව වැඩ කරන්න. ඔබට උදේ වරුවේ ඉගෙනීම් කරන්නට බැරි නම් හවස් වරුවේ හෝ රාත්‍රියේ ඉගෙනීම් කටයුතු සිදු කරන්න. 
  10. ඔබ නව වචන ඉගෙනීමට උත්සාහ දරන විට එය වාක්‍යයක් තුළ යොදා මතක තබා ගැනීමට උත්සාහ කරන්න. එවිට වචන මතක තබා ගැනීම ඉතා පහසු වනු ඇති. 
  11. විභාගයක් වෙනුවෙන් පමණක් ඉංග්‍රීසි ඉගෙනීම සිදු නොකරන්න. ඔබට හොඳ ඉංග්‍රීසි හැකියාවක් තිබෙන විට එය ඔබට, ඔබගේ ජීවිතයට ධනාත්මකව බලපානා ආකාරය සිතට ගන්න. 
  12. ඔබ, ඔබට දිගු කාලීන ඉලක්කයක් ලබා දෙන්න (ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන්). ඒ වෙනුවෙන් වැඩ කරන්න. 
  13. ඔබ, ඔබගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන් කෙටි කාලීන ඉලක්ක ඔබගේ සිතට ලබා දෙන්න. ඒවා ජය ගන්න. ඒ ජයග්‍රහණ වෙනුවෙන් ඔබටම තෑගි, ප්‍රශංසා ලබා දෙන්න. 
  14. ඔබ "ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නිසා ඉගෙන ගනිමි" යන සංකල්පයෙන් බැහැරව, ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අවශ්‍යයි යන සිතිවිල්ලේ සිට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔබ කැමැත්තෙන් ඉගෙන ගන්නවා නම් ඔබ වඩා හොඳින් ඉගෙනගන්නවා. 
  15. ඔබට ගැළපෙන ක්‍රම තේරුම් ගන්න. මීට පෙර ඔබට සාර්ථක වූ ක්‍රම මේ වෙනුවෙනුත් භාවිතා කරන්න. 
  16. ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට පහසුම ක්‍රමය තේරුම් ගන්න. එය, කියවීමෙන්, ලිවීමෙන්, කතා කිරීමෙන් හෝ සවන් දීමෙන් සිදු වන්නට පුළුවන්. ඔබට සාර්ථක ක්‍රමය හඳුනා ගෙන ඒ ඔස්සේ ගොස් ඉගෙනගන්න.  සමහර අවස්ථා වලදී ඒ ක්‍රම වල සම්මිශ්‍රණයක් වන්නටත් පුළුවන්. 
  17. ඔබට නොතේරෙන යමක් ඇති නම් ඔබගේ නෑදෑයෙකුගෙන්, ගුරුවරයාගෙන්, මිතුරන්ගෙන් හෝ වෙනස් අයගෙන් ඒවා අසා තේරුම් ගන්න. 
  18. පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න. ඔබ උගත් දේ යළි යළිත් අධ්‍යයනය කරමින් අභ්‍යාස කරන්න. 
  19. තනිවම අධ්‍යයනය කරන විට මිනිත්තු 30කට වඩා අධ්‍යනයන් කරන්න එපා. නිති පරිදි කුඩා විවේක ලබා ගන්න. පොඩ්ඩක් නැගිටල එලියට ගිහිල්ල හුළං ටිකක් වැදිල, අත පය දික් කරල හිරි ටිකක් ඇරල මිනිත්තු කිහිපයකට පස්සෙ ආපහු ආරම්භ කරන්න. 
  20. ඉක්මනට ඉක්මනට Level Up වෙන්න උත්සාහ කරන්න එපා. ඉන්න level එකට හිත යොමු කරල එම මට්ටමේ හැකි තරම් දියුණු වෙන්න උත්සාහ කරන්න. ඒ මට්ටම ගැන ඔබ ඇත්තටම සෑහීමකට පත් වනතුරු ඒ මට්ටමේම ඉඳන් වැඩ කරන්න. 
  21. TV එකේ ෆිල්ම් බලනවට වඩා DVD එකක් ගෙනත්, නැතිනම් පරිගණකයේ ෆිල්ම් එකක් බලන එක තමා වඩා හොඳ. මොකද ඔයාලට මොනව හරි තැනක් මිස් උනොත්, ආපහු අහල තේරුම් ගන්න ඕනෙ උනොත්, ඒක ඉතාම පහසුවෙන් කරන්න හැකියාව තිබෙන නිසා. 
  22. රූපවාහිනියෙන් දේවල් බලනකොට ඒක යලිත් අහන්න බැරි වෙන නිසා, දෙයක් මුල් වතාවෙම තේරුම් ගන්න උත්සාහ කරන්න ඔයාලට ඒකෙන් අවස්ථාවක් ලැබෙනව. මේක ගොඩක් හොඳයි යම් ඉංග්‍රීසි දැනුමක් තියෙන අයට. අනිත් එක, මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනව ඉංග්‍රීසි තමන්ගෙ මව් භාෂාව උනු කෙනෙක් එක්ක කතා කරනකොට. මොකද එයාලට එයාල කියපු දෙයක් ආපහු කියන්න කියල ඔයාලට කියන්න ඕනෙ වෙන්නෙ නෑ. 
  23. විවිධ වයස් මට්ටම් වලට / විවිධ ඉංග්‍රීසි දැනුම මට්ටම් වලට වෙන් කරලම සකස් කරපු කතා පොත් තිබෙනවා. ඒවායෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුමට ගැළපෙන ආකාරය් පොත් තෝරාගෙන කියවන්න. එය කියවීම ඔබට පහසුවෙන් කළ හැකි වනවා පමණක් නොවෙයි, ඔබට මුළු පොතම කියවා අවසන් වූ පසු ලොකු සතුටකුත් දැනේවි. 
  24. ඉහත කිව්ව වගේ විවිධ දැනුම මට්ටම් වලට සකස් කරපු පොත් නොමැති උනත් ළමා පොත් කියවීම සිදු කිරීම ඉතාම පහසුයි. මොකද ඒවා ඉතාම සරළ බසින් ලියා ඇති නිසා. ඒවායින් ආරම්භ කරන්න, ටික ටික ඉහළට එන්න, 
  25. පුවත්පත් කියන්නෙ හොඳම මාධ්‍යයක් වාක්‍ය රටා, කර්මකාරක වාක්‍ය, වාර්තානුකූල ආකාරයේ වාක්‍ය ඉගෙනගන්න. ඇයි අලුත් වචන. ඉතින් පුවත්පත් කියවල ඒ දේවල් ඉගෙනගන්න උත්සාහ කරන්න.

හරි අදට ඇති. මේ මාතෘකාව යටතේ එතකොට තව ලිපි 3ක් එනව. මම 100ක ලිව්වට පස්සෙ ඒ 100 එකතු කරල තව දේවලුත් එකතු කරල PDF එකක් වශයෙන් ඒක ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව ඔයාලට අත් පොතක් වශයෙන් භාවිතා කරන්න ලබා දෙන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න.
මගෙ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැතිනම් දැන්මම සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට අලුත් ලිපි ඔයාලගෙ ඊ මේල් ඉන්බොක්ස් එකට එවෙලෙම එනව. ඒකට පහත බොක්ස් එක භාවිතා කරන්න. 

Enter your email address:


Delivered by FeedBurner

තව දෙයක් කියන්න තියෙනව. මම අලුත් ප්‍රොජෙක්ට් එකකටත් සම්බන්ධ වෙලා ඉන්නව. සමහර විට ඔයාල දන්නවත් ඇති. #The කඩ්ඩ.
ඒ වෙබ් අඩවියටත් ගිහිල්ල බලන්න. ඔයාලට ඉගෙනගන්න ගොඩක් දේවල් තියේවි. Avanthi Niroshani එයාගෙම ආරකට ඉංග්‍රීසි උගන්වනව. ඔයාලටත් ආස හිතේවි.




Thursday, January 3, 2019

සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද?



ඉංග්‍රීසි
හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්

ඉංග්‍රීසි කතා කිරීම
හුඟක් අයට තියෙන බයක්. 

ඉතින් මගෙ අදහස් ටිකකුත් කියන්න හිතුව.

මුලින්ම මගෙ කියවන්නන් සියළුම දෙනාට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියළු දෙනාගේම සියළුම අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!

ආපහු සබ්ජෙක්ට් එකට. 
මම පාසලේදී පමණක් නෙමෙයි, අමතර පංතියක් හරහාත් ඉංග්‍රීසි හොඳින් ඉගෙනගත්ත. ඔව්. මට සා. පෙළ වෙනකොට ඉතා හොඳින් ඉංග්‍රීසි ලියන්න හා කියවන්න පුළුවන්. නමුත්, මට කතා කරන්න ඉතාම අපහසුතාවයක් තිබ්බ. 
මම සිංහල සාහිත්‍ය සංගමයේදී, පාසල් රැස්වීම් වලදී සිංහලෙන් කතා පවත්වා පවා තිබුණත් ඉංග්‍රීසියෙන් කතා කිරීම මට හරිම අපහසුවක් තිබුණ. මම හරිම බය උනා. 
ඉතින් මම මොකද කළේ? ටික ටික කතා කරන්න ආරම්භ කළා. උසස් පෙළදී මම පාසලේ පංතියේ ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසියෙන් කතාවක් කළා. ඒකත් එක්ක මටම තේරුනා මට කතා කරන්න පුළුවන් කියල. ටික ටික ප්‍රසිද්ධි‍යේ කතා කරන්න හුරු උනා. 
විශ්ව විද්‍යාලයේදී කථිකාචාර්ය වරු එක්ක කතා කරනකොට, ප්‍රශ්න අනහකොට, ප්‍රශ්න වලට උත්තර දෙනකොට තව තවත් හුරු උනා. 
මම රැකියාවට එනකොටත් හොඳින් මට ඉංග්‍රීසි කතා කළ හැකියි. රැකියාවේදී ඉංග්‍රීසි භාවිතය ඉතාම ඉහළයි. ඉතින් තව තවත් හැකියාව ඉහළ නංවා ගත්ත. අපි පිටරට අය එක්කත් සම්බන්ධතා පවත්වනවා. ඔවුන් එක්ක උනත් ඉතා පහසුවෙන් ඉංග්‍රීසියෙන් කතා කිරීමට පවා හැකියාව දැන් දියුණුයි.

ඉතින් මේ පහත දේවල් ටික කළොත් ඔයාලටත් හොඳින් බය නැතිව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. 

අංක 1.
"අනිත් අය මට හිනා වෙයිද!"
"අනේ මට වරදීද!"
"වෙන අය මගෙ ගැන මොනව හිතයිද!"
ඔබත් මෙහෙම හිතන කෙනෙක්ද?
එහෙනම් මුලින්ම මේ සිතිවිල්ල ඉවත් කරගන්න. මොකද මේ සිතිවිල්ල එක්ක නම් සාර්ථකව ඉංග්‍රීසි කතා කිරීම සිහිනයක්ම පමණයි.
බය නැති කරගන්න. මේක තමා සාර්ථකව ඕනෑම භාෂාවක් කතා කිරීමට අවැසි වන මූලිකම හා ප්‍රධානතම අවශ්‍යතාවය.
තමන් ගැන විශ්වාසය ගොඩ නඟාගන්න. වැරදීමට බිය වෙන්න එපා. 
ඔබ පොඩි කාලයේදී එක පාරම නැගිටල දිව්වෙ ඇවිද්දෙ නෑ නේද? භාෂාවකටත් ඒක පොදුයි.
වෙන අයට පුළුවන් නම් ඇයි ඔබට බැරි?

"ඔව්. මට පුළුවන්. මම බය නෑ" 
එහෙම හිතන්න.


......................................................................
......................................................................

මේ ලිපියේ තව මේ වගේ වටිනා tips 9ක් තියෙනව. සම්පූර්ණ ලිපිය කියවන්න මගෙ අලුත් personal web site එකේ ලිපියට මේ පහත සබැඳියෙන් යන්න.



-----------------------------------------------------------------------------------------
BONUS
-----------------------------------------------------------------------------------------


I will be talking about tips and tricks on improving your English speaking, reading, writing and listening skills on my podcast. You can listen to them also. 


All these are the recordings I did for "OpenTalk" App.
You can view my OpenTalk profile by going through the below link.

OpenTalk is an android/iphone app which can be used to talk with people all around the world to improve your language speaking skills. It is not limited to English, but many other languages. You can create your account, follow me and add me as a buddy to listen to my podcasts on the app and also talk with me to improve your English language skills. 
-----------------------------------------------------------------------------------------

මෙවන් ප්‍රයෝජනවත් ලිපි ඔබගේ ඊ මේල් ගිණුමටම ලබා ගන්න, මා සමඟ Subscribe වන්න පහත ඔබගේ ඊ මේල් ලිපිනය එකතු කරන්න.


Enter your email address:


Delivered by FeedBurner