Showing posts with label green. Show all posts
Showing posts with label green. Show all posts

Sunday, September 20, 2015

Sustainability සහ බුදු දහම

මම මුලින්ම Sustainability කියන්නෙ මොකද්ද කියල කිව්ව ඔයාලට මතක ඇති.

අද කියන්න හදන්නෙ නම් පොඩි බණ කතාවක්. මේක තියෙන්නෙ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ල වග්ගයේ.



ඔන්න දවසක් උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ව හමු වෙන්නට ගියා. ආචාර සමාචාර පවත්වල එතුමා එකත්පස්ව හිඳගෙන කතාවට වැටුන.
අන්න ඒ දෙබස මෙන්න මෙහෙම එකක්.

රජතුමා අහනව, "හිමියනි, අද දින අපගේ දේවිය මෙහි පැමිණියාද?
ආනන්ද හිමියන් පවසනව "ඔව් රජතුමනි, ඇය පැමිණියා"
"ඇය ඔබ වහන්සේට මොනවාද ලබා දුන්නේ?"
" ඇය අප හට සිවුරු පන්සියයක් ලබා දුන්නා"
"එහෙත් හිමියනි, එතරම් සිවුරු ප්‍රමාණයකින් ඔබ වහන්සේ මොනවාද කරන්නෙ??"
"රජතුමනි, ඒවා අපි පරණ වූ සිවුරු සහිත භික්ෂූන්ට බෙදා දෙනවා"
"හිමියනි, පරණ වූ සිවුරු වලින් ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා පොරෝනා විදිහට භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පොරෝනා වලට ඔබවහන්සේලා කුමක් කරන්නේද?
"රජතුමනි, අප ඒවා කොට්ටා හා මෙට්ටා කවර ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ කොට්ටා හා මෙට්ටා කවර වලට ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා බිම් ඇතුරුම් ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ බිම් ඇතුරුම් වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, අප ඒවා පා පිස්නා ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පා පිස්නා වලට ඔබ කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා දූවිලි පිස්නා ලෙස භාව්තා කරනවා"
"හිමියනි, පරණ වූ දූවිලි පිසනා වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, යළි භාවිතාවට ගත නොහැකි තත්වයට කඩමලු වී ඇති ඒවා අපි කැබලි වලට ඉරා මැටි සමඟ මිශ්‍ර කර පොළව ඇතිරීමට භාවිතා කරනවා"

රජතුමා මෙවිට කල්පනා කරනව "බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන මෙන ශ්‍රමණයන් ඉතාමත් අරපරිස්සමින් හා ඥාණවන්ත ලෙස ක්‍රියා කරනවාද. කිසිම දෙයක් අපතේ යන්නට දෙන්නේ නෑ." කියල.

ඉතින් ඔබ මොකද්ද හිතන්නෙ?
මේ sustainability කියන එක අලුත් දෙයක් නෙමෙයි, බුදු රජාණන් වහන්සේ විසින් වසර 2700ක කාලයකට ඉස්සර උන් වහන්සේගේ ශ්‍රාවකයින්ට උපදෙස් දීල, ක්‍රියාවේ යෙදවූ දෙයක්.

ඉතින් ඇයි අපිට බැරි? 

මේ ලිපි මගේ නව බ්ලොග් අඩවිය "Build Greener Sri Lanka" බ්ලොග් අඩවියෙන්ද ඔබට කියවිය හැකියි. 

Sunday, September 13, 2015

හරිතාගාර ආචරණය හා අපි

මුලින් මම ප්‍රවේශය ගත්තෙ මොකද්ද sustainability කියන්නෙ කියන එකත් එක්ක. ඒක ඔයාල කියවන්න ඇතිනෙ නේද?
අද මාතෘකාව හරිතාගාර වායු හා හරිතාගාර ආචරණය ගැන. තාම මම අදාල මාතෘකාවට ආවෙ නෑ. ඒකට අවශ්‍ය වෙන මූලික කරුණු ගැන ඔබට යම් අදහසක් ලබා දීල තමයි මම අදාල විෂයයට එන්නෙ. තව ලිපි කිහිපයක් ලියන්න තියෙන ඒකට. 

ඒක නෙමෙයි, මේ දවස් වල හරිම රස්නෙයි නේද? මේ දවස් වල කියලමත් නෙමෙයි, කොච්චර වැස්සත් දැන් අවුරුද්දක දෙකක ඉඳල, ටික කාලෙකට ඉස්සෙල්ලට වඩා සැළකිය යුතු උණුසුමක් තිබෙනව නේද?

ඒ ගැන හිතනවත් එක්ක, අපේ අද මාතෘකාවට එමු.

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය කියන්නෙ? 
2. මොනවද මේ හරිතාගාර වායු? 
3. ඉතින් ඕකෙන් මොකද්ද වෙන අවුල???
4. අපි මොකද්ද කරන්න ඕනෙ????

මේ ප්‍රශ්න ඔයාලගෙ හිතට එන්න ඕනෙ. මේ දේවල් සමහරු නම් දන්නවත් ඇතිනෙ. නමුත් ඔබ නොදන්නා කරුණු ටිකකුත් කියන්න මම බලාපොරොත්තු වෙනවා.

මුලින්ම අපි බලමු මොනවද මේ හරිතාගාර කියන්නෙ කියල.

0. මොනවද මේ හරිතාගාර?

මේක බලන්නකො. 

මේව දැකල තියෙනව නේද? මේවට කියන නම මොකද්ද?
ඔව්. මේවට තමා හරිතාගාර කියන්නෙ.
මේව ඇතුළට ගිහිල්ල තියෙනවද? ගියාම මොකද්ද ඇඟට එක පාරම දැනෙන්නෙ?
රස්නෙයි. නේද?
අවට පිටත පරිසරයට වඩා මේක ඇතුළෙ උෂ්ණත්වය යම් ඉහළ අගයක් ගන්නව. 
ඇයි ඒ???

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය?

අර ඉහතින් කිව්ව එක වෙන්න මූලික වෙන ක්‍රියාවලියට තමා කියන්නෙ "හරිතාගාර ආචරණය" කියල. 
ඒ කියන්නෙ?
පරිසර උෂ්ණත්වය ඉහළ යන එක සිද්ධ වෙන්න හේතු වෙන ක්‍රියාවලියක තමයි හරිතාගාර ආචරණය කියන්නෙ.

ඒක වෙන්නෙ කොහොමද?
පහත රූපය බලන්න.



මොකද්ද පේන්නෙ?
අපිට සූර්යයාගෙන් තාපය ලැබෙනව.
කොටසක් වායුගෝලය හා පොළව මඟින් උරා ගන්නව.
වායුගෝලයේ පවතින තාපයෙන් කොටසක් ආපහු පොලවෙන් උරාගන්නව, තවත් කොටසක් වායුගෝලයෙන් පිටත අභ්‍යාවකාශයට මුදා හැරෙනව.
අන්න ඒක තමයි සමබරතාවය. 

එතකොට මොකද්ද අලුතින් එන කොටස?

හරිතාගාර වායු?
මොනවද මේ හරිතාගාර වායු?

2. මොනවද මේ හරිතාගාර වායු?
මම කිව්වනෙ හරිතාගාර ආචරණයෙන් වෙන්නෙ පරිසර උෂ්ණත්වය ඉහළ යන එක කියල. එතකොට හරිතාගාර ආචරණය වෙන්නෙ හරිතාගාර වායු නිසා. 
එතකොට, හරිතාගාර වායු කියන්නෙ පරිසර උෂ්ණත්වය ඉහළ නංවන්නට හේතු වන වායූන්.

මොනවද ඒ වායූන්?
හරිතාගාර ආචරණය ඇතිකරන්න මූලිකම වෙන වායූන් 4ක් තියෙනව. මෙහෙම ඒව ලැයිස්තුගත කරමු, ඒවායින් සිදු කරන බලපෑමත් එක්ක.
  1. ජල වාෂ්ප (36 - 70%)
  2. කාබන් ඩයොක්සයිඩ් (9 - 26%)
  3. මෙතේන් (4 - 9%)
  4. ඕසෝන් (3 - 7%)

හරි දැන් කියයි ජල වාෂ්ප වලින්නෙ ලොකුම කේස් එක තියෙන්නෙ අපි ඒකට විසඳුමක් හොයමු කියල. ඔව් ඉතින්, කාන්තාරයක් කළා නම් ඒකටත් විසඳුමක් තමයි. :D 
නෑ. මෙහෙමයි, ජල වාෂ්ප කියන දේ වායු ගෝලයේ තිබෙන දෙයක්. ඒකෙ සමබරතාවයක් තිබෙනව. ඒකෙන් වෙන හරිතාගාර ආචරණය නිසා තමයි අපි මේ ගැහෙන්නෙ වෙවුලන්නෙ නැතිව හොඳට ඉන්නෙ. 
එතකොට ගැටළුවට එන්නෙ. දෙවෙනියයි, තෙවෙනියයි. සිව්වැන්නට ඉන්න ඕසෝන් ඉතින් තියෙන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයක් හා ඉහළම වායුගෝලයේ නිසා, ලොකුම බලපෑමක් නෑ.
එතකොට බැලුවම ලොකුම බලපෑම කරන්නෙ කාබන් ඩයොක්සයිඩ් වායුව. දන්නවනේ ඒ මොකද්ද කියල. දහනයක් වෙන සෑමවිටම වායූගෝලයට පිටවන වායුවක් තමයි කාබන්ඩයොක්සයිඩ්.
ගින්නක් ගැහුවත්, වාහනේක ගියත්, ඛනිජ තෙල් වර්ගයකින් දුවන කිසියම්ම හෝ යන්ත්‍රයක් ක්‍රියා කරවුවත් කාබන් ඩයොක්සයිඩ් වායුව අපේ වා තලයට එකතු වෙනවා. 

ආපහු අපේ ප්‍රශ්නෙට.

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය කියන්නෙ? 

කොහොමද මේ හරිතාගාර ආචරණය වෙන්නෙ?
දැන් ටිකක් තාක්ෂණික වෙන්න යන්නෙ. 
සූර්යයාගෙන් අපිට ලැබෙන විකිරණ වල තිබෙනව සියළුම ආකාරයේ තරංග ආයාමයන්. ඒවාට විවිධ මට්ටමේ ශක්තීන් තිබෙනවා. 
ඒවායින් යම් කොටසක් වායු ගෝලයේ තිබෙන වායූන්ගෙන් උරා ගන්නව. උරා ගන්න ආකාරය ගැන මම කතා කරන්නෙ නෑ. ඒක ගැන කියන්න නම් පරමාණු වල තිබෙන ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් අතර ගමන් කරන ආකාරය ගැන කතා කරන්න වෙනව. උසස්පෙළට රසායන විද්‍යාව හදාරපු අය මේ ගැන දන්නවනෙ, නේද?
ඉතින් පොළවෙන් අර සූර්ය ශක්තිය උරාගෙන ඊට වඩා පහළ ශක්තියක් ඇති, දිගු තරංග ආයාමයන් තිබෙන විකිරණ පිට කරනව. ඉතින් මේ හරිතාගාර වායු මොකද කරන්නෙ, අන්න අර දිගු තරංග ආයාම තියෙන විකිරණ වලට වායු ගෝලයෙන් පිටතට යන්න දෙන්නෙ නැතිව ආපහු ඒව උරාගෙන වායුගෝලය තුලටම මුදා හරිනව. මේ පහළ රූපයේ තිබෙන්නෙ ජල වාෂ්ප (නිල්) හා කාබන් ඩයොක්සයිඩ් (රතු) දෙක ඒ ක්‍රියාවලිය සිදුකරන තරංග ආයාමයන්. 


ඉතින් එතකොට මොකද වෙන්නෙ? 
වායුගෝලයේ තිබෙන තාපය ඉන් පිට වෙන්නෙ නෑ, ඇතුළෙ එකතු වෙවී එකතු වෙවී තියෙනව.
අන්තිමට පරිසරයේ උෂ්ණත්වය ටික ටික ඉහළ යනව.

ඔන්න ඕකයි හරිතාගාර ආචරණය කියන්නෙ.

3. ඉතින් ඕකෙන් මොකද්ද වෙන අවුල???

මෙන්න මේක තමයි බරපතලම ප්‍රශ්නෙ.
පරිසර උෂ්ණත්වය ඉහල යනව ටික ටික. 
මම මුලින්ම ඔයාලගෙන් ඇහුවෙ, දැන් හරි රස්නෙයි නේද කියල.
ඔව්. අන්න ඒකට හේතුව මේ හරිතාගාර ආචරණය තමයි එක් පැත්තකින් බැලුවම. තව හේතුවක් තියෙනව, ඒක අපි ඉස්සරහට කතා කරමු.

ලෝකෙ පුරාම මේක වෙනකොට මොකද වෙන්නෙ???

හරිම රස්නෙයි, මොකද වෙන්නෙ? අපි ෆෑන් දාගෙන ඉන්නව, AC එක තවත් තදට දාගන්නව.... මොකද වෙන්නෙ? තව තවත් අපි බලශක්තිය වියදම් කරනව. ඒවායින් තව තවත් පරිසරයට හරිතාගාර වායු මුදා හැරෙනව, ඒකෙන් තවත් පරිසර උෂ්ණත්වය ඉහළ යනව. ඕක ඉවරයක් නැතිව වෙනව.
අපි මෝටර් වාහන වල ගොඩක් එහෙ මෙහෙ යනව. ඒවායින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුවත් වාතලයට මුසු වෙනවා. 

ලංකාවෙ ටික කාලයකට ඉස්සර සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තිබ්බෙ සෙල්සියස් 27-29 අතර. දැන් සාමාන්‍යය කීයද දන්නවද? සෙල්සියස් 31 - 33. ෂුවර් නැත්තම් හොයල බලන්න. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහෙම අහල බලන්න. 

තව මොනවද වෙන්නෙ?
උෂ්ණත්වය ඉහළ යනකොට සාගරයේ ඇති ජලය ප්‍රසාරණය වෙනව.
එතකොට? 
සාගර ජල මට්ටම ඉහළ යනව.

අයිස් ග්ලැසියර දිය වෙනව.
එතකොට?
සාගර ජල මට්ටම ඉහල යනව.

දිය වෙන අයිස් ග්ලැසියර මුහුදට එකතු වෙනව.
එතකොට?
මිනිස්සුන්ට බීමට ගත හැකි ජලය 1%න් වැඩි ප්‍රමාණයක් තියෙනව ඔය ග්ලැසියර වල. ඒව මුහුදට එකතු උනාම ලුණු වතුර බොන්න පුළුවන්ද???

තව බැලුවොත්, උෂ්ණත්වය දරාගන්න බැරිව, පොළව උඩ, පොළව යට, ජලයේ ඉන්න සත්තුන් විනාශ වෙලා යන්න පුළුවන්, නියඟ වැඩි වෙනවා, ගංවතුර උවදුරු ඉහළ යනවා....
ඔන්න ඔහොම තව දේවල් ගොඩක් වෙනව.

4. අපි මොකද්ද කරන්න ඕනෙ????

දැන් අපි එනව වැදගත්ම ප්‍රශ්නෙට.
කොහොමද මේක වළක්වන්නෙ???
කණගාටුයි කියන්න මේව වලක්වන්න දැනටමත් බැරි මට්ටමට ඇවිල්ල. අපිට කරන්න පුළුවන් මේක තවත් බරපතල වෙන්න නොදී නවත්තගෙන ඉන්න එක තමයි.
මහ ලොකුවට අන්තර්ජාතික සම්මේලන තිබ්බට ලෝකෙම එකතු වෙලා, වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරන්න, ඒ කිසිවකින් කිසිවක් සිදු වෙලා නෑ. තාමත් වායුගෝලයේ ඇති CO2 ප්‍රමාණය ඉහළ යනව.

පහත ප්‍රස්තාරයේ තිබෙන්නෙ අවුරුදු ලක්ෂ 4කට ඉස්සර ඉඳල වසර 2000 වෙනකම් වායුගෝලයේ CO2 වායුවේ විචලනය (වායු කොටස් මිලියනයකට CO2 කොටස් ගණන)
අවසන් වසර 1000 වෙනමම පෙන්නල තියෙන්නෙ.


මොකද්ද පේන්නෙ? පහුගිය අවුරුදු 200ක වගේ ඉඳල අපි වායුගෝලයට මුසු කරන CO2 ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ දමමින් සිටින බව නේද?

මේ පහත ප්‍රස්තාරයේ තිබෙන්නෙ පහුගිය අවුරුදු 200 තුළදී විවිධ පෙට්‍රෝලියම් දහනයෙන් මේ ලෝකෙ අපි වායුගෝලයට එකතු කර ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයන් (වසරකට කාබන් මෙට්‍රික් ටොන් වශයෙන්(


පේනව නේද කොච්චර ගොඩක්ද කියල!!!!

ඉතින් ආපහු, අපි මොකද්ද කරන්න ඕනෙ???
පුළුවන් තරම්, හරිතාගාර වායු පරිසරයට මුහු කරන එක අඩු කරන එකයි. ඒක 100%ක් නවත්වන්න කිසිම ආකාරයකින් බෑ. මොකද බිලියන 7ක් මිනිස්සු ප්‍රාශ්වාස කරන වාතයෙත් CO2 තියෙනවනෙ. 
නමුත් ඒව එච්චර ගොඩක් නෙමෙයි, මේ ඉහත කිව්ව ඒව එක්ක ගත්තම. 

හිතන්න. කොහොමද මේක අඩු කරන්නෙ කියල.
සරළ උදාහරණ ටිකක් දෙන්නම්.
පෙට්‍රෝලියම් තෙල් භාවිතා වන උපකරණ භාවිතය අවම කරන්න.
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න උත්සාහ කරන්න. පොඩි දුරක් නම්, ඇවිදන් යන්න, නැත්තම පාපැදියක් භාවිතා කරන්න. (ඔය කිව්වම මතක් උනේ, ජපානෙ පිටරටවල් වලට කාර් හදල යවල, උන් පුශ් බයිසිකල් වල යනව. :D )
ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ දැමිය හැකි දේ කරන්න.
බලශක්තීන් හැකිතරම් පරිස්සමින් හා උපරිම කාර්යක්ෂමතාවයකින් හා උපරිම ඵලදායීතාවයකින් භාවිතා කරන්නට උත්සාහ කරන්න.

සාකච්ඡාවට විවෘතයි.

මේ ආකාරයේ තවත් ලිපි Green යන ටැගය යටතේ මම ඉදිරියටත් ලියනව. එකතු වෙලා ඉන්න.
මෙම ලිපි හා තවත් මේ සම්බන්ධ ඉංග්‍රීසි ලිපි පල කරන්නට මම වෙනත් බ්ලොග් එකකුත් හැදුව. ඒකත් බලන්නට ආරාධනා කරනවා


ඔබගේ ඉමේල් ගිණුමට මේ ලිපි කෙලින්ම ලබා ගන්න, පහත පෝරමය හරහා සබ්ස්ක්‍රයිබ් වන්න. 


Enter your email address:


Delivered by FeedBurner

Sunday, September 6, 2015

නව විෂයකට ප්‍රවේශයක් - මොකද්ද මේ Sustainability කියන්නෙ?

අලුත් දෙයක් ගැන කතා කරන්න හිතුව. ඒකට ප්‍රවේශයක් වශයෙන් මේ "Sustainability" කියන දේ ගැන ටිකක් කතා කරන්න හිතුව.

"Sustainability" කියන එකට ප්‍රවේශයක් මම ගන්නව මෙන්න මේ චීන කියමනින්. (ඉංග්‍රීසියෙන් තිබ්බ එක මම සිංහලට පරිවර්තනය කළා.)
"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."
පොඩ්ඩක් මේ ප්‍රකාශය ගැන කල්පනා කරන්නට ඔබට ආරාධනා කරනව. ඒකෙන් කියවෙන දෙය ඔබ තේරුම් ගත්තොත්, මොකද්ද මේ "sustainability" කියන්නෙ කියල ඔබට යම් අදහසක් ලැබෙනවා. 


හරි.
මේ ඉහතින් තිබෙන රූපය බලන්න. මොකද්ද ඔබට පෙනෙන්නෙ?
අපි යන්නෙ කොයිබටද කියල නේද? 
මේ ලෝකය දැන් යන්නෙ ටික ටික විනාශයකට නේද??? 

අපි මේ ලෝකයේ තිබෙන සියළුම ආකාරයේ සම්පත් ඉතා සීග්‍රයෙන් භාවිතාවට ගනිමින් සිටිනවා. අපි මේ ලෝකය ඉතා සීග්‍රයෙන් දූෂණය කරමින් සිටිනව. අපි මේ ලෝකය ටික ටික ජීවත් වීමට නොහැකි තත්වයට පත් කරමින් සිටිනවා.
ඔබ පිළිගන්නවාද?

එතකොට මොකද්ද sustainability කියන්නෙ?
ඒකට හුඟක් බරපතල definition එකක් තියෙනව. නමුත් මම සරළවම කියන්නම්.

Sustainability කියන්නෙ අර මම උඩම කිව්ව ප්‍රකාශය ආරක්ෂා වන පරිදි වර්තමානයේදී ක්‍රියා කිරීමයි.

ඒ කිව්වෙ?

"අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය."

ඒ කියන්නෙ,
අපි අද ලෝකයේ තිබෙන පහසුකම් හා සම්පත්, අනාගත පරපුර වෙනුවෙනුත් ආරක්ෂා කරමින් භාවිතා කළ යුතුයි කියන එකයි. 
වර්තමානයේ ජීවත්වන්නන් වඩා හොඳ ජීවන තත්වයක් ගත කරමින් හා අනාගත පරපුරටත් හොඳ ජීවන තත්වයක් ලබා ගැනීමට හැකි පරිදි ලෝකයේ තිබෙන සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම "Sustainability" වශයෙන් අර්ථ දක්වන්න පුළුවන්. 

මොකද අතිශය සීග්‍රයෙන් හා කිසිදු පාලනයකින් තොරව ලෝකයේ තිබෙන සම්පත් විනාශ කරමින් අවභාවිතා කළොත් අනාගත පරපුරට මොකද වෙන්නෙ???

ඔවුන්ට ජීවත් වෙන්න කිසිදු සම්පතක් ඉතිරි නොවෙනවා ඇති. 

අපි එහෙම කළොත් ඔවුන් කාටද බනින්නෙ? ඔබට හා මට නේද?

"අපේ මුතුන්මිත්තන්ට බැරි උනා තමන්ගෙ දරු මුණුබුරන්ට ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ ලෝකයක් ඉතිරි කරන්න. ඔවුන් කිසිම අරපිරිමැස්මක් රහිත කිසිදු උවමනාවක් තිබුනෙ නැති තමන් ගැන පමණක් කල්පනා කළ ආත්මාර්ථකාමී පිරිසක් නේද..." 
කියල ඔවුන් අනාගතයේදී කියන එකක් නැද්ද???

අපගේ පසු පරම්පරාවන්ට ජීවත් වන්නට ලෝකයක් අපි ඉතිරි නොකළ යුතුද???

ඔබට සිතන්නට යමක් හා කියන්නට යමක් ඉතිරි කරමින් මම මෙතනින් නවතිනවා.

සාකච්ඡාවට විවෘතයි.