Monday, March 21, 2016

Windows / Android / iOS අතරින් හොදම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය මොකක්ද?


තාක්ෂණය අපේ වටපිටාවේ හැමතැනම තියෙනව. තාක්ෂණය දැන් අපි ස්මාර්ට්ෆොන් එකක හැඩයෙන් හැමතැනම අරගෙන යනවා. කිහිපදෙනෙක්ට තමන්ගේ ජංගම දුරකතනය ගැන හොඳ දැනීමක් තිබුණත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනයක් මිලදී ගන්නේ ඒහි විශිෂ්ට ලෙස නිමවා ඇති ආකර්ශනීය ස්පර්ශක තිරය ගැන පමණක් අවධානය යොමුකරලා. ඒ නිසා ජංගම දුරකතනයක් මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්නේ මොන විදිහේ එකක්ද සහ ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිලට ලැබෙන වට්නාකමක් ලැබෙනවාද නැද්ද යන දේ ගැන විමසිලිමත් වීම වැදගත් වෙනවා. ඒ තීරණය ගන්න ඔබට උදව්වක් විදිහට මම විවිධ ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති අතර සංසන්දනයක් කරා. මේ දැක්වෙන ඔනෑම ජංගම දුරකතනයක් ශ්‍රි ලංකාවේදී විවිධ වෙබ් අඩවි ඔස්සේ ඉතාම සාධාරණ මුදලකට අන්තර්ජාලය හරහා මිලදී ගන්න ඔබට පුලුවන්. Kaymu වෙබ් අඩවිය ඒවා අතරින් එකක්.  (මමත් ටෙස්ට් කරන්න පොඩි දෙයක් විකුණන්න දැම්ම.) 

මෙය ඉතාම සරළ සංසන්දනයක් බවත් සළකන්න. 


මෙහෙයුම් පද්ධති සංසන්දනය




  • මුහුණත
android වලදී විවිධ නිශ්පාදකයින් විවිධ interface මගින් මෙහෙයුම් පද්ධති ප්‍රතිනිර්මාණය කරනවා. මේ දුරකතන වල මූලිකාංග සමාන වුවත් විවිධ කුඩා වෙනස්කම් රැසක් දකින්න පුලුවන්. ඒ නිසා ඔබට ගැලපෙන interface එක සහිත දුරකතනයක් තොරාගැනීම ඔබට අවස්ථාව තියෙනව.
Apple ios වලදී වඩාත්ම කැපී පෙනෙන්නේ එහි slick animations සහ සරළ බවයි. යාවත්කාලීන වලදීත් මේය එතරම් වෙනස් වෙන්නේ නෑ.
Windows phone වල ප්‍රධානම අංගය live tiles. එවා කැමති විදියට customize කරන්නත් පුලුවන්. එත් මෙවායේ ක්‍රියාකාරීත්වය android සහ ios තරම් යහපත් නැහැ.
Android වල්දී ඔබට සියලු Google apps ලබාගන්න පුලුවන්. එත් windows phone වලදී මේ පහසුකම ලැබෙන්නේ නැහැ.

  • Apps සහ විකල්ප App Stores
Android වලට ඇති ඉල්ලුම නිසාම වෙනත් app store මෙවනවිට බොහෝ ජනප්‍රිය වෙලා තියෙනවා. ios app store වලදී ඔබට වඩා ගුණාත්මක apps ලබාගන්න පුලුවන් වුනත් වැඩිපුරම නොමිලේ ලබාදෙන apps ඇත්තේ android play store (Google Play) වලයි.
Android වල ඔබට වෙනත් app stores වල ඇති apps පවා දුරකතනයට ඇතුල් කරගන්න පුලුවන් (side loading apps), එත් apple ios සහ windows වල ඔබට මේ පහසුකම ලැබෙන්නේ නැහැ.

  • මෙහෙයුම් පද්ධති යාවත්කාලීන වීම

සෑම ජංගම දුරකතනයක්ම නිතරම යාවත්කාලීන වෙනව. Microsoft සහ Apple ජංගම දුරකතන වල මෘදුකාංග ඔවුන් සතුවම තිබෙන නිසා නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම් ලබාදෙනවා. හැම අවුරුද්දකම අලුතින් Apple මෘදුකාංගයක් එලිදක්වනවා, එවිට කලින් තිබුණු devices යල්පැන යනවා. ඒ නිසා Windows  phone මේ අංශයෙන් ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියන්න පුලුවන්.
ඉදහිට කෙරෙන redesigning වලට අමතරව android දුරකතන එතරම් යාවත්කාලීන වෙන්නේ නැහැ. ඉතා සුළු ප්‍රතිශතයක් android උපාංගවල ප්‍රමාදවී යාවත්කාලීන ලැබෙන යෙදුම් ධාවනය වෙනවා.

  • වෙනස් කරගත හැකි බව
Android දුරකතන වල ප්‍රභලම ශක්තිය තමයි එහි වෙනස් කළ හැකි බව. එමගින් ඔබට ඔබේම interface එකක්, home screen කිහිපයක් shortcut සහ widgets සමග භාවිතා කිරීමට අවස්තාව ලැබෙනව. එවාගේම ඔබට කැමති යතුරුලියනයක් (keyboard) භාවිතා කිරීමේ අවස්ථාවද Google සමාගම ඔබට ලබා දෙනවා.
Windows phone වල live tiles වලින් එවායේ ප්‍රමාණය වෙනස්කරගන්න පුලුවන්, එත් iOS දුරකතන වල වගේම windows වලත් යතුරුලියනය (keyboard) එක වෙනස් කරන්න ඔබට බැහැ.
ප්‍රායෝගිකව බලනවිට සෑම ජංගම දුරකතනයක්ම විවිධ හාවිත කරන්නන් අරමුණු කරමින් නිශ්පාදනය කරන ලද ඒවායි. එක් සරළ සැසඳීමකින් ඔබට ජංගම දුරකතනයක් තොරාගැනීම කළ නොහැක්කක්, නිසා ඔබට ජංගම දුරකතනයක් අවශ්‍ය කුමන කාරණාවක් ඉටුකරගැනීමටද කියා තීරණය කිරීම වැදගත් වෙනවා. ශ්‍රි ලංකාවේදී ජංගම දුරකතනයක් මිලදී ගැනීමට takas වෙබ් අඩවියත් පහසුකම් සපයනවා.

Sunday, March 20, 2016

සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?

උපුටා ගැනීමකි.



මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්‍රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්‍රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම තැනකම මේ දේවල් පුදුමඑළවන ආකාරයෙන් සිද්ධ වෙනවා.

ප්‍රාග්ධනය ගැටලුවෙන් මිදෙන්න බැරිව බොහෝ දෙනා තමන්ගේ ව්‍යාපාරික අදහස් උපන්ගෙයි මරා ගන්නවා. මුළු සමාජයටම සාප කරමින් පවතින සමාජ ක්‍රමයටත්, මුදල් ණයට දෙන බැංකුවලටත් නිරන්තරයෙන් බැන වදිමින් ඔවුන් තම ජීවිත විනාශ කරගන්නවා. රැකියා වියුක්තිය, සිය දිවි නසාගැනීම, අධ්‍යාපන ක්‍රමයට බැන වැදීම, කැරලි ගැසීම, දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වීම යනාදිය විවිධ දූෂණ හා අපචාරයන්ට ගොදුරුවීම ආදිය තුළින් බොහෝ දෙනා ඊට පිළිතුරු සොයනවා.

මෙලොව උපදින සියල්ලෝම උපදින්නේත්, මිය යන්නේත් අතේ සතයක් නැතිවය. නමුත් ජීවත් වන අය සල්ලිවලට අසීමිත වැදගත්කමක් දෙනවා. අද ලොව සෑම දෙයක්ම සල්ලි නොමැතිව කිරීමට නොහැකි දේවල් ලෙස සැකැසී තිබෙනවා. එම නිසා සෑම දෙයකින්ම සල්ලි හම්බ කිරීමට අද සමාජය පෙලඹී තියෙනවා. සල්ලි නිතරම ප්‍රතිඵලයක්. නමුත් එය යමක හේතුව නෙවෙයි. වැඩ කළොත් සල්ලි, බඩු වික්කොත් සල්ලි, ඉගෙන ගත්තොත් සල්ලි. සල්ලි මවන්න පුළුවන් දෙයක්. ඒ කොහොමද? තමන්ගේ බුද්ධිය තුළින් ප්‍රායෝගික මිනිසකු ලෙස ජීවත්වීමට තම බුද්ධිය පාවිච්චි කිරීමෙන් බොහෝ දෙනකුට තම නිදන්ගත ජීවිත ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පුළුවන්.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් පසුපසම හඹායන එක නතර කර මඳක් දෑස් විවර කර අවට පරිසරය දෙස බලන්න. වටිනා කියන සම්පත් බොහොමයක් ඔබ අවට තිබේ. ඒ තුළින් ඔබගේ ව්‍යාපාරයට අඩිතාලම සකසා ගත හැකිය. එසේ ආරම්භ කළ ව්‍යාපාර පිළිබඳ ඉතිහාස කතා බොහොමයක් අපට තිබෙනවා.
පහන් තිරයෙන් ව්‍යාපාරික ලොවට...

පහනක් දල්වා ගැනීම සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක් ඉරාගෙන පහන් තිරයක් හදා ගැනීම එදා අපේ සෑම ගෙදරකම සිරිතක් වුණා. අම්මා හෝ ආච්චි හෝ පහන් තිරයක් අඹරා ගැනීමට අත හෝ කකුල පාවිච්චි කළ ආකාරය ඔබේ සිතේ මැවෙන්න පුළුවන්. මෙය අපේ සිංහල සංස්කෘතිය තුළ පැලපදියම් වූ විශේෂ ලක්ෂණයක්. එහි අතීතය වසර දහස් ගණනක් වෙන්න ඕනෑ. නමුත් අද මොකද වුණේ? සෑම ගෙදරකම පහන් තියරක් ඕනෑ වුණාම රුපියලක් දීලා පහන් තිර පැකැට්ටුවක් කඩයෙන් ගෙන්නා ගන්නවා. අද කොයි ගෙදරද මේ සිරිතෙන් බැහැරවෙලා ඉන්නේ? ඔක්කොම කඩේට දුවනවා. එහෙම දුවන්නේ ගෙදරක පිරිසුදු රෙදි කැබැල්ලක් නැති හින්දද? නැත්නම් පහන් තිරයක් අඹරාගන්නට තාක්ෂණ ඥානයක් නැති නිසාද? එසේත් නැතිනම් ඒකට මිඩංගු කරන්න තරම් කාලයක් නැති නිසාද? මෙවැනි ප්‍රශ්න ඔබේ හිතට ක්‍ෂණයෙන් ගලා ඒවි

. ඒකට උත්තරය මොකක්ද? කවදා හෝ දවසක අපේ පුංචි රටේ පුංචි මිනිසකුට පහන් තිරයක් අඹරා කඩේකට දැම්මොත් එය විකුණා ගන්න පුළුවන් යන අදහස සිතක පහළ වුණා. වෙළෙඳපොළට රිංගාගෙන තම ආධිපත්‍ය ගොඩනඟා ගන්න පුළුවන් බව ඔහු තම අත්දැකීමෙන් තේරුම් ගත්තා. පසුදා උදේම ක්‍රියාත්මක වුණා. ඇඟලුම් කම්හලක ඉවත දමන රෙදි කැබැලි ගොඩක් දෑතට ගෙන පුංචි කතුරක ආධාරයෙන් සෙලෝපේන් කෑල්ලක් රත්කර පහන් තිර පැකැට්ටු කිහිපයක් තනා කඩේක එල්ලුවා. දින කිහිපයකින් පහන් තිර පැකැට්ටුව අලෙවි වුණා. ක්‍රමයෙන් ඔහු එම පුරුද්ද දිගින් දිගටම ගෙන ගියා. මුළු ලංකාතලයේම හැම ගෙදරකම මේ පහන් තිර පැකැට්ටුව සොයා එන තෙක් ඔහු දිගින් දිගටම පහන්තිර නිර්මාණය කළා.
සල්ලි නැතිව ව්‍යාපාර පටන්ගන්න පුළුවන් කියන කතාව බොරුවක්ද? වෙළෙඳපොළ ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔහුට දායාදයක් වුණා. ව්‍යාපාර අදහස දියත් කරන්න කාසි නෝට්ටුවලින් සාක්කුව පිරී තියෙන්න ඕනෑ නෑ කියා ඔහු අපට උගන්වා නැද්ද?

තියුණු බුද්ධියෙන් හා අවංකකමින් ව්‍යාපාරික ලොවට....
එක්තරා තරුණයෙක් තමන්ට කළ හැකි දෙයක් ඇත්දැයි විමසුම් සිතින් පසුවුණා. ඔහු සතුව කිසිම මුදලක් තිබුණේ නැහැ. නමුත් ඔහු යමක් පටන් ගැනීමේ අදහසින් තියුණු ඇසකින් ජීවත් වුණා. එක් දවසක් පුවත්පතක විවිධ ප්‍රමාණයේ කළුගල් ඉල්ලා දැන්වීමක් පළකොට තිබුණා. අවශ්‍ය ප්‍රමාණය හා කළුගල්වල උපරිම මිල ගණන්ද එහි සඳහන් වුණා. අඩුම මිල ගණන් සඳහන් කරන්නකුට ටෙන්ඩරය ලබාගත හැකි බව ඔහු වටහා ගත්තා.

මේ අනුව පළමුව ඔහුගේ පදිංචි නිවෙස වටා ඇති ගල්වළ වෙත ගොස් ඔවුන් සමඟ මිල ගණන් සාකච්ඡා කළා. ටෙන්ඩරය තමන්ට ලැබුණොත් ඔවුන්ගෙන් කළුගල් ලබා ගන්නා බවත්, මුදල් ලැබුණු පසු ඔවුන්ට මුදල් ගෙවිය හැකි බවත් දන්වා සිටියා. කතිකා කරගත් මිල ගණන්වලට මඳක් වැඩිකර ඉතා අඩු මිල ගණන් ඇති ටෙන්ඩරයක් සකසා ඉල්ලුම් කළ පසු ඔහුට එය ලැබුණා. එය ඔහුගේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වුණා. ඉන් පසුව නියමිත දිනට කළුගල් සැපයීමට ඔහු ක්‍රියාත්මක වුණා. පොරොන්දුව වූ පරිදි කළුගල් සපයන්නෝ අදාළ ප්‍රමාණයන් පොරොන්දු වූ මිල ගණන්වලට ණයට ලබාදීම ඇරැඹුවා. කාලයත් සමඟ ඔහු ලක්ෂපතියෙක් වුණා. ඒ සඳහා ඔහුට වැය වුණේ ටෙන්ඩරයේ අයැදුම්පත්‍රය සඳහා වැය වූ මුදල පමණි. සල්ලි නැතිව පටන්ගත් තියුණු බුද්ධිය, තීරණ ගැනීමේ ශක්තිය හා ඔහුගේ අවංකභාවයයි.

මී කුණකින් ඇරැඹූ ව්‍යාපාරයක්....
අවසාන වශයෙන් මී කුණක් විකුණා පොහොසතෙක් වූ කතාව රැගත් චුල්ලසෙට්ටි ජාතකයේ කතාන්දරය ඔබට මතක් කරදෙන්න කැමැතියි. තම ජීවිතය කෙසේ නමුත් ගැටගසා ගනිමියි සිතූ ධෛර්යසම්පන්න අසරණ මිනිසකු මහ මඟ තිබූ මී කුණක් අතට ගෙන ඉදිරියට ගමන් කළා. මේ මී කුණ දුටු තවත් මනුෂ්‍යයෙක් ඒ මී කුණ තම බළලාට හොඳ යැයි සිතා කාසි කිහිපයක් දී මිලට ගත්තා. ඒ කාසි කිහිපයෙන් ප්‍රයෝජනවත් යමක් කළ යුතු සිතා පසුවදා මල් නෙළන ළඳුන්ට උක් හකුරු හා පැන් විකිණීමෙන් මුදල් ඉපයීමට ඔහු කල්පනා කළා. සිතූ පරිදි මල් නෙළන ලියන් සියලු දෙනාම ඔහුගේ සේවය ප්‍රශංසා කොට තමන් නෙළාගත් මල්වලින් මිට මිට දී ඔහුගේ සේවය අගය කළා. මේ පුරුද්ද දිගටම ගෙන ගියා. පසුව ඒ ළඳුන් ඒ මල් යායේ මල් කඩාගන්නට ඔහුට අවසර දුන්නා. මේ මල් විකුණා ඔහු ක්‍රමයෙන් පොහොසත් වුණා.

මේ අතර විශාල කුණාටුවකින් විනාශ වී ගිය උයනක තිබූ දර කන්දරාවක් ඉවත් කිරීමට ඔහු උයන් පල්ලාගෙන් අවසර ගත්තා. ඒ අවට සිටි ළමයින්ගේද ආධාර ඇතිව ඔහු ඉක්මනින් උයනේ දර සියල්ල ඉවත් කළා. ඒ දර කන්දරාව දුටු කුඹල් මිනිසකු ඒ දරවල වටිනාකම දැක ඒවා මිලට ගන්නට කල්පනා කළා. ඒ ගනුදෙනුකරුවා මුදල් හා වළං දී ඔහුව සතුටට පත් කළා. දැන් ඔහු පෙරටත් වඩා පොහොසත්. ඔහුට ලැබුණු වළං සියල්ල විකුණා ඔහු අවට ජනයා සමඟ ඉතා කුලුපග වී වෙළෙ¼දාම දියුණු කරගත්තා. පසු කලෙක අසුන් සඳහා තණකොළ සැපයීමෙන්ද, නැවියන් සමඟ ගනුදෙනු කිරීමෙන්ද විශාල ධනසම්භාරයකට උරුමකම් පෑවා. මේ සියල්ල මී කුණකින් ඇරැඹීම අදහාගත නොහැකි විප්ලවයක්. ව්‍යාපාරයක් අරඹන්න මුදල් අනිවාර්ය නොවේ යන කතාව යටගිය දවස මේ කතන්දරයෙන්ද ඔප්පු වෙනවා.

මෙලොව සියලු දෙය බිහිවීමේලා මුල්ව ඇත්තේ සිතය; මුදල් දෙවැනුවය
ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුල පුලා සිටින ඔබ මුදල්වලට අනවශ්‍ය ප්‍රධාන තැනක් දෙමින් ඔබේ ව්‍යාපෘති අදහස යටකරන්න එපා. මුදල් වෙනුවට ඔබේ නිරීක්ෂණ ශක්තිය, ආත්ම ධෛර්යය, කැපවීම, ශිල්ප ඥානය, උපාය මාර්ග ආදිය මුදල් ලෙස සිතා ඒවා ඉතා යෝග්‍ය අයුරින් ගළපා ඔබේ ව්‍යාපෘති අදහස දියත් කරන්න. ඒ ගමන ඉතා සෙමින් විය හැකියි. එහෙත් ඔබේ ඉලක්ක වෙත ගමන් කරනු නොඅනුමානය. මෙලොව සියලු දෙය බිහිවීමෙහිලා මුල්වී ඇත්තේ සිතය. මුදල් දෙවැනුවය.

මේ කතන්දර කිහිපය නිසා ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍ය මුල්ම සාධකය පරිසරය නිරීක්ෂණය තුළින් ලබාගන්නා අවබෝධය සමඟ මුසු වූ එඩිතරකම හා කැපවීම බව පෙනෙනවා. සල්ලි හෝ ප්‍රාග්ධනය අජීවී වස්තූන්. ඒවාට අගය දිය හැක්කේ අපේ වටිනා සිතිවිලිවලට පමණයි. අපේ සිතිවිලි මලානික වූ විට අපේ මුදල්ද මලානික වෙනවා. සිතිවිලි ප්‍රාණවත් වූ තරමට මුදල්ද අප්‍රමාණ ලෙස ජීවයක් ලබනවා. අපේ ප්‍රාණවත් වූ සිතිවිලිවලින් ව්‍යාපාරයකට අවශ්‍ය සියලු සාධක ගොනු කරන්න පුළුවන්. එයට පරිසරය නිවැරැදිව හැදෑරීමත්, මිනිසුන්ගේ චර්යාවන් නිවැරැදිව වටහා ගැනීමත්, පරිසරය ඉදිරියේ ඔවුන්ගේ හැසිරීම් හා ප්‍රතික්‍රියා දක්වන ආකාරය වටහා ගැනීමටත් අපේ සංස්කෘතික රට අධ්‍යයනය කිරීමත් අද මූලිකව වැදගත් කරුණු වී තිබෙනවා.
මේ නිසා ව්‍යාපාරවලට අත ගසන ඔබ සල්ලිවලට මූලික තැනක් නොදී ඔබේ සිතිවිලිවලට නව ජීවයක් දෙන්න.

මුල් ලිපිය.

Monday, December 14, 2015

"රැකියා වෙළඳපළ ජය ගනිමු" ග්‍රන්ථය ඔබත් ලබාගන්න



මාස කිහිපයක උත්සාහයකින් පසුව ඔන්න ඔයාල බලාගෙන හිටිය අත්පොත එළිදක්වන්න තමයි මේ සූදානම් වන්නෙ.

පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්.
  1. "රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???
  2. ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?
  3. සාර්ථක CV එකක් සාදා ගනිමු
  4. මොකද්ද මේ CV එකක් කියන්නෙ?
    1. CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?
    2. CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
    3. ඔබ CV කීයක් සෑදිය යුතුද?
    4. ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
    5. CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
    6. සාර්ථක CV එකක් කොහොම විය යුතුද?
    7. මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි
    8. තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
    9. සාර්ථක CV එකක දිග
    10. සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting
    11. ඔබගේ CV එක ඉලක්ක කිරීම
    12. මුද්‍රිත CV, ඊමේල් CV, වෙබ් CV
  5. ඔබගේ සුදුසුකම් ෆයිල් එක සකසා ගන්නේ කෙසේද
  6. Cover Letter එකක් නිවැරදිව සාදාගනිමු
  7. ජොබ් එකකට හරියට අයදුම් කරන්නේ කොහොමද
  8. සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙමු
    1. සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ කොහොමද
    2. සම්මුඛ පරීක්ෂණයට අඳින්නෙ පළඳින්නෙ මොනවද
    3. සම්මුඛ පරීක්ෂණය දවස
    4. සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙමු
    5. සම්මුඛ පරීක්ෂණයින් පස්සෙ
  9. Professional Online Profile එකක් පවත්වාගෙන යන්න
    1. මොකද්ද මේ Professional Online profile එකක් කියන්නෙ?
    2. ඔන්ලයින් ප්‍රොෆයිල්, රැකියා සෙවීමට භාවිතා කළ හැක්කේ කෙසේද?
    3. LinkedIn හරහා Online Profile එකක් සාදාගන්න.
    4. මොකද්ද මේ LinkedIn?
    5. මොකද්ද LinkedIn වල අවශ්‍යතාවය?
Demo එකක් පහත ලින්ක් එකෙන් බලාගන්න.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing

මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්
  1. CV Templates
  2. Cover Letter Template
  3. බහුල සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට නිදසුන් පිළිතුරු
  4. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" නොමිලේ බෙදා හැරුණු ඊබුක් එක
  5. අත්වැල් කිහිපයක්
  6. ඒත් එක්කම ඔයාල ඉදිරියට හදන CV එකක දුර්වලතා හඳුනාගෙන, ඒවා නිවැරදි කරල, අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නිවැරදි කරල ඒක හොඳ ආකාරයට හදල දෙනව. (එක් CV එකක් සඳහා) 
මේ දේවල් 6 ලැබෙන්න නම් ඔයා මේ පොත මිලට ගැනීම සිදු කළ යුතුම වෙනවා. 

අංක 6 ගැන කතා කළොත්, ඊට පස්සෙ උනත් ඔයාලට ඒ සේවාව ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ ගැන දැනගන්න මෙම සබැඳිය හරහා යන්න.
http://careerguidancelk.blogspot.com/p/cv-correction-service.html

මගෙ අත්දැකීම් හා දැනුම එකතු කරල තමයි මේ පොත නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මම උනු මහන්සියට හා ගත කළ කාලයට ඔයාලගෙන් පොඩි මුදලක් අය කරනවා. ඒ වෙනුවෙන් ඔයාල තරහ වෙන එකක් නෑ කියල හිතනව. ඒ මිලටත් වඩා වටිනා දේවල් ටිකක් මේ හරහා ඔබට ලැබෙනව කියල මම ස්ථිරවම කියා සිටිනවා.
මම මීට පෙර, නොමිලේ ඔයාලට ලිපි රැසක්, කෙටි අත්වැල් දෙකක්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" යන්න ගැන කතා කරන ebook එකක් ලබා දුන්නා.

ලොකු මුදලක් වෙන්නෙ නෑ. $1.49. (ඒ කියන්නෙ රු.200-220ක් වගේ පොඩි මුදලක්)

පහත Buy Now බොත්තම හරහා ඔබට මේ පොත මිලට ගන්නට හැකියාව තිබෙනවා. PayPal මගින් කෙලින්ම ඔබට මුදල් ගෙවිය හැකියි 
 Buy Now
$1.49

PayPal නොමැති අය සිටිනවා නම් මට ඊ මේල් ලිපියක් එවන්න. මම eZCash / mCash / Bank Transfer සඳහා අවශ්‍ය විස්තර එවන්නම්.

වැදගත් කරුණක් කියන්නට තිබෙනවා.
මේ පොත මම ඔයාල වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් ලියපු පොතක්. ඉතින් මම මිලක් නියම කරල තිබෙන මෙම පොත නොමිලේ බෙදා හරින්නට එපා යයි කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ සිදුවන තැනක් දුටුවහොත් ඒ පිළිබඳ මා වහාම දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. 
ලංකාවේ බුද්ධිමය දේපළ පණත යටතේ එය ඉතාම වැරදි ක්‍රියාවක් කියලත් ඔබට මතක් කරන්නට කැමතියි.

ඉතින් ඔබ මෙම පොත ඔබගේ මිතුරන් හා බෙදා හදාගන්නා විට ඔවුන්ටත් මෙය මිලට ගැනීමට මෙම පිටුව වෙත ඔවුන්ව එවන්න කාරුණික වන්න.

Buy Now


මගේ Affiliate කෙනෙක් වී ඔබත් උපයන්න. 


මෙම පොත ඔබට පුළුවන් ඔබගේ වෙබ් / බ්ලොග් අඩවි හරහාත් විකුණන්නට. මම ඒ වෙනුවෙන් ඔබට 33%ක Affiliate Commission එකක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ ඔබගේ Affiliate Link එකකින් මගෙ පොත මිලට ගන්නා වාරයක් පාසා ඔබගේ Affiliate ගිණුමට $0.50 බැගින් බැර වෙනවා.
මේ මුදල් ඔබට ඔබගේ Paypal ගිණුමට කෙලින්ම ලබා ගන්නට පුළුවන්. 100%ම ලැබෙනව.
ඒත් එක්කම eZCash, mCash, Bankd Transfer (Commercial/Sampath) හරහාත් ඔබට ඒ මුදල් ලබා ගන්නට පුළුවන්. හැබැයි ඒවට නම් 5%ක service charge එකක් ගන්න වෙනව. 

වැඩි විස්තර සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න.
http://careerguidancelk.blogspot.com/2015/12/ebook-affiliate-programme.html

හැකියාවක් තිබුණොත් මෙම පොත තවත් වැඩිදියුණු කොට මුද්‍රණය කිරීමේ කැමැත්තකුත් මට තිබෙනවා. මේ උත්සාහය ඇගයීමකට ඔබත් බලාපොරොත්තු වනවා නම් ආරාධනා කරනවා මා වෙත ඔබට හැකි අයුරින් කුඩා ආධාරයක් වුවත් කරන ලෙස ආරාධනා කරනවා. 

 

වෙනත් කිසියම්ම හෝ ගැටළුවක් ඇති නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්නට ඉල්ලා සිටිනවා.

UPDATE:
මෙම පොත ඉදිරියට අන්තර්ජාලය හරහා සෘජුව මිලට ගැනීමට නොහැක. ඔබට මෙම පොත අවශ්‍ය නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්න. එවිට සියළුම විස්තර ඔබ වෙත නොපමාව ලැබෙනු ඇත. 

Digital Delivery by E-junkie

Saturday, October 31, 2015

මහතෙක් යයි කිව හැකි කොන්දොස්තර මහතෙක්


කොන්දොස්තර කිව්වම බස් වල යන ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නෙ "මොකද ඔතන නැවතිලා ඉන්නෙ, ඉස්සරහට යන්න", "ඔය මැද නැවතිලා ඉන්න මල්ලි, ඉස්සරහට යන්න", "ඔතනින් පස්සට යන්න" වගේ කතා කරුණාවෙන් නෙමෙයි සැර වැර දාල කතා කරන පුද්ගලයින් කණ්ඩායමක් නේද?
ඊට පස්සෙ, ඉතුරු නොදී මඟ ඇරල, අපි බහින තැන ලං වෙනකොට ඉතුරු ඉල්ලන්න කොන්දොස්තර හොයාගෙන බස් එකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෙනඟ මැද්දෙන් පීරගෙන යන්න වෙන අවස්ථා ඕනෙ තරම් ඔබ හැමෝම අත්විඳල ඇතිනෙ? නේද?

අද මම කාලෙකින් බස් එකක ගියා. ගෙදර ඉඳල කොළඹට. 122 අවිස්සාවේල්ල පිටකොටුව බස් එකක. 
මම නැග්ග බස් එකේ කොන්දොස්තර මහතා ගැන තමයි මේ කතාව.
ඔහුගේ කතා විලාසය හරිම අපූරුයි. හරිම මිත්‍රශීලී. "ඔය ඉස්සරහ ඉන්න මල්ලිය තරහ නැතිව පොඩ්ඩක් ඉස්සරහට යමුද පුතේ", "ඔය චූටි මහත්තය ඔතනින් පොඩ්ඩක් ඉඩ දෙනවද" වගේ තමයි මේ කොන්දොස්තර මහතා බස් එකේ යන අයට කතා කරන්නෙ.
"මල්ලිල ඉතින් ඉස්සරහට යන්නෙ ගෑණු ළමයි කවුරුහරි හිටියොත්නෙ නේද, ඒ ඉතින් එයාලගෙ හැටිනෙ" කියල විහිලුවෙන්ම කියනව එක වෙලාවක. 
ඉතිරි දෙන්න තියෙන අය හොයාගෙන බස් එකේ ඉස්සරහ ඉඳල පස්සට ගිහිල්ල ඉතිරි දෙනව. සමහරුන්ට මතක නෑ තමන්ට ඉතිරි ගන්න තියෙනව කියලත්. මෙයාම කතා කරල "මෙන්න මල්ලි ඔයාගෙ ඉතිරි සල්ලි" කියල ඉතුරිය දෙනව. එක් වරක් බස් එකෙන් පිරිමි ළමයෙක් බැස්ස, මෙයා කෑගහල ඒ මල්ලිට කතා කරනව, "මල්ලී, ඔයා ඉතිරි ගත්තෙ නෑ නේද?" කියල බස් එකෙන් බැස්ස කෙනාටත් කතා කරල ඉතුරු සල්ලි දුන්න.

මට එවෙලෙම හිතුන මේ කොන්දොස්තර මහත්තය ගැන නම් පොඩ්ඩක් කියන්නම ඕනෙ කියල. 
ඉහළින් තියෙන්නෙ ඔහුගේ ඡායාරූපයක් නම් නෙමෙයි, මම අන්තර්ජාලයෙන් සොයාගත්තු එකක්. 

මෙහෙම කොන්දොස්තරල සුහදශීලීව, මිත්‍රශීලීව කතා බහ කරනව නම්, අපහසුවෙන් උනත් මිනිස්සු බස් වල යයි බැණ අඬගහන්නෙ නැතිව. 

Wednesday, October 14, 2015

ISO 9001 නව සංස්කරණය හා බැදේ


ISO 9001: 2015 සංස්කරණයද පැමිණ ඇත. අපි ISO 9001:2008 සංස්කරණයෙන් 2015 සංස්කරණය වෙත වසර 3ක් ඇතුළත මාරු විය යුතුය. එසේ නොවුවහොත් අප වෙත ලැබී ඇති තත්ව සහතිකය අවලංගු වනු ඇත.

නමුත් පුදුමයට කරුණක් වනුයේ, සමහර ප්‍රසිද්ධ සමාගම් තමන් ISO 9001:2000 තත්ව සහතිකය ලබා ඇති බව පවසමින් මාධ්‍ය වල වෙළඳ දැන්වීම් පළ කිරීමය. ISO 9001:2000 තත්ව සහතිකය අවලංගු වී දැනටමත් වසර 12 ගෙවී ඇති බව බොහෝ දෙනා නොදන්නා නිසා ඔවුන් මෙසේ තම පාරිභෝගිකයින් රවටයි.


නොදන්නා අයගේ දැනගැනීම පිණිසය.

ISO වේවා SLS වේවා ඕනෑම සහතිකයකට/ප්‍රමිතියකට එය පළ කළ වර්ෂයක් වේ. ඉන් පසු ඒවායේ නව සංස්කරණ නිකුත් කරන විට පැරණි සංස්කරණය අවලංගු වේ. ISO සඳහා නම් පැරණි සංස්කරණයෙන් අලුත් සංස්කරණයට සමාගමකට මාරු වීමට වසර 3ක කාලයක් ලබා දේ. 
යම් සහතිකයක නව සංස්කරණයක් නිකුත්ව ඇතිනම්, කිසියම් සමාගමක් පැරණි සංස්කරණයක් සඳහා තමන් එම සහතිකය ලබා ඇති බව පවසයි නම්, එය සාවද්‍ය ප්‍රකාශයක් වේ. මක් නිසාද යත්, කිසිදු ප්‍රමිතිකරණ ආයතනයක්, පැරණි සංස්කරණ සඳහා ප්‍රමිති/සහතික නිකුත් නොකරන නිසාය.

Sunday, September 20, 2015

පොත් ප්‍රදර්ශනය බලන්න යනවාද? උපදෙස් ටිකක්

මුලින්ම කියන්න ඕනෙ, මේ උපදෙස් මම කොපි පේස්ට් කල ඒව ටිකක්. මනෝරම වීරසිංහ අය්ය මුහුණු පොතේ දාල තිබ්බ එකක්. නමුත් ඒක සිය ගුණයක් වටින නිසා ඒකම බෙදාගන්න හිතුවා. 

කෑම පුලුවන් නම් පිටින් අරං යන්න... ඉතාම දියාරැ, මස්කට්ටක් දාපු බත් වේලක් BMICH කැන්ටිමෙන් කන්න පැය භාගයක් පෝලිමේ ඉන්න වෙනවා.. වතුර බෝතලයක් අරං බැක් පැක් එකක දාගෙන යන්න.. ලැප් එක අයින් කරල.. මොකද අත රිදෙනවා නැත්තං..
නූඩ්ල්ස් කන්න එපා! බාගෙට තම්බල දෙන්නෙ හදිසිය නිසා.. වරක් කල් ඉකුත්වූ නූඩ්ල්ස් දාලා අහුවුණා.. ඒවා කාලා විදවන පාඨකයෙක් තමා මම.. කොකාකෝලා වල ප්‍රමිතිය පවා ඔතනදි බාලයි.. ඒ නිසා දෙපාරක් හිතන්න...
පර්ස් එකේ විතරක් නැතුව සල්ලි කිහිප පොළක තියාගන්න.. ඒ වගේම ATM ගැන වැඩිය විශ්වාසය තියාගන්න එපා. සල්ලි අතේ අරං යන්න.. සම්පත් ක්‍රෙඩිට් කාඩ් එක අමතර 5%ක් දුන්නට වැඩක් නෑ.. හේතුව 30% වට්ටම් දෙන තැන් වලින් කාඩ් එකෙන් ගෙවද්දි දෙන්නෙ 25%යි!
පුලුවන් තරම් හවස් වෙලා යන්න... තදබදය, විඩාව, පෝලිම් යන තුනම අඩුයි. රෑට ස්ටෝල්වල සෙනග නැහැ.. නිදහසේ තෝරන්න පුලුවන්...
දවස් දෙකක් යෑම තමා නුවණට හුරුම දේ. පළවෙනි දවසේ සැලසුමේ තියෙන සියලුම කුටි වලට ඔලුව දාන්න.. ප්‍රධාන කුටි වලට ඔලුව දාන්න ඕනි අන්තිමට.. මොකද ඒවට හිරවුණාම එලියට එන්න බෑ..
දෙවෙනි දවසෙ යද්දි යාලුවෙක් එක්කං යන්න.. තනියම යෑම හරිම බෝරිං..
නිරන්තරයෙන් බිල පිරික්සා, ඉතිරි මුදල් නිවැරැදිද බලන්න..මොකද කාටත් වරදිනවා...

නියමිත පරිදි වට්ටම් ලැබුණාද කියල බලන්න..
පොත මිලයට ගන්න කලින් වට්ටම ගැන විමසා සිටින්න.. සල්ලි ගස්වලින් කඩන්නෑනෙ නිකං පුදල එන්න... හැමවිටම පොත මුල් ප්‍රකාශකයගෙන්ම ගන්න බලන්න. එවිට වට්ටම වැඩියි...

උදාහරණයක් විදියට සුරස ප්‍රකාශන ආයතනය සිය කෘති වලට දෙන 30% වට්ටම, එළියෙ තියෙන වෙනත් ප්‍රකාශකයන්ගෙන් ගන්න බෑ.. ඒ අය දෙන්නෙ 20%යි.. මොකද ඒ අයට පොතක් දාන්නෙ 40%ක වට්ටමකට.. ඉතින් පිට පොතක් විකිණීමෙන් කුඩා ප්‍රකාශකයන්ට ලැබෙන්නෙ 20%ක ලාභයක් පමණයි.
පොතක් ගනිද්දි පිටු නිවැරැදිව මුද්‍රණය වෙලාද බලන්න.. මොකද, ප්‍රදර්ශනය ලංවෙලා මුද්‍රණාලවලින් පොත් එන්නෙ උණු උණුවෙ ආප්ප වගේ..හදිසියට ගැදරින්, බයින්ඩින්, කටිං වල දෝෂ ඇතිවෙන එක අතිශයින් ස්වාභාවිකයි.. මොකද සල්ලි දීලා පොත ගන්න ඕබ ඉන්නෙ කහටගස්දිගිලියෙ, මොණරාගල නම්, ආයෙ කොළඹ ඇවිත් ඕක මාරු කරන්න ඔබට දාස් ගාණක් වැය වෙනවා..
හැම විටම බිල්පත ලග තියාගන්න.. මොකද එකම පොත වෙන වෙන තැන්වල තියෙන නිසා පරීක්ෂා කරොත් ප්‍රශ්න ඇතිවෙනවා.. ඊයේ මට තෑගි වශයෙන් ලැබුණු පොත් ගැනත් ඒ ගැටලුවම ඇතිවුණා..

හෙට (සඳුදා) යනව නම් මගෙන් උපදෙසක්. 
හෙට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ Convocation එක. ඉතින් උදේ ඉඳල හවස් වෙනකම් ඒක නිසා BMICH එක පැත්ත හුඟාක් කාර්යබහුව වෙයි. පාකිං අමාරු වෙයි, ට්‍රැෆික් කිහිප ගුණයකින් වැඩි වෙයි. 
ඒකත් හිතන්න.

වසර කිහිපයකට පෙර නම් මම පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ලිපි ලිව්ව, දැන් නම් පොත් කියවෙනව ගොඩාක් අඩුයි. :(

Sustainability සහ බුදු දහම

මම මුලින්ම Sustainability කියන්නෙ මොකද්ද කියල කිව්ව ඔයාලට මතක ඇති.

අද කියන්න හදන්නෙ නම් පොඩි බණ කතාවක්. මේක තියෙන්නෙ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ල වග්ගයේ.



ඔන්න දවසක් උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ව හමු වෙන්නට ගියා. ආචාර සමාචාර පවත්වල එතුමා එකත්පස්ව හිඳගෙන කතාවට වැටුන.
අන්න ඒ දෙබස මෙන්න මෙහෙම එකක්.

රජතුමා අහනව, "හිමියනි, අද දින අපගේ දේවිය මෙහි පැමිණියාද?
ආනන්ද හිමියන් පවසනව "ඔව් රජතුමනි, ඇය පැමිණියා"
"ඇය ඔබ වහන්සේට මොනවාද ලබා දුන්නේ?"
" ඇය අප හට සිවුරු පන්සියයක් ලබා දුන්නා"
"එහෙත් හිමියනි, එතරම් සිවුරු ප්‍රමාණයකින් ඔබ වහන්සේ මොනවාද කරන්නෙ??"
"රජතුමනි, ඒවා අපි පරණ වූ සිවුරු සහිත භික්ෂූන්ට බෙදා දෙනවා"
"හිමියනි, පරණ වූ සිවුරු වලින් ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා පොරෝනා විදිහට භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පොරෝනා වලට ඔබවහන්සේලා කුමක් කරන්නේද?
"රජතුමනි, අප ඒවා කොට්ටා හා මෙට්ටා කවර ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ කොට්ටා හා මෙට්ටා කවර වලට ඔබ වහන්සේලා කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා බිම් ඇතුරුම් ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ බිම් ඇතුරුම් වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, අප ඒවා පා පිස්නා ලෙස භාවිතා කරනවා"
"හිමියනි, පරණ වූ පා පිස්නා වලට ඔබ කුමක් සිදු කරන්නේද?"
"රජතුමනි, අප ඒවා දූවිලි පිස්නා ලෙස භාව්තා කරනවා"
"හිමියනි, පරණ වූ දූවිලි පිසනා වලට ඔබ කුමක් සිදු කරන්නේද?
"රජතුමනි, යළි භාවිතාවට ගත නොහැකි තත්වයට කඩමලු වී ඇති ඒවා අපි කැබලි වලට ඉරා මැටි සමඟ මිශ්‍ර කර පොළව ඇතිරීමට භාවිතා කරනවා"

රජතුමා මෙවිට කල්පනා කරනව "බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන මෙන ශ්‍රමණයන් ඉතාමත් අරපරිස්සමින් හා ඥාණවන්ත ලෙස ක්‍රියා කරනවාද. කිසිම දෙයක් අපතේ යන්නට දෙන්නේ නෑ." කියල.

ඉතින් ඔබ මොකද්ද හිතන්නෙ?
මේ sustainability කියන එක අලුත් දෙයක් නෙමෙයි, බුදු රජාණන් වහන්සේ විසින් වසර 2700ක කාලයකට ඉස්සර උන් වහන්සේගේ ශ්‍රාවකයින්ට උපදෙස් දීල, ක්‍රියාවේ යෙදවූ දෙයක්.

ඉතින් ඇයි අපිට බැරි? 

මේ ලිපි මගේ නව බ්ලොග් අඩවිය "Build Greener Sri Lanka" බ්ලොග් අඩවියෙන්ද ඔබට කියවිය හැකියි. 

Sunday, September 13, 2015

හරිතාගාර ආචරණය හා අපි

මුලින් මම ප්‍රවේශය ගත්තෙ මොකද්ද sustainability කියන්නෙ කියන එකත් එක්ක. ඒක ඔයාල කියවන්න ඇතිනෙ නේද?
අද මාතෘකාව හරිතාගාර වායු හා හරිතාගාර ආචරණය ගැන. තාම මම අදාල මාතෘකාවට ආවෙ නෑ. ඒකට අවශ්‍ය වෙන මූලික කරුණු ගැන ඔබට යම් අදහසක් ලබා දීල තමයි මම අදාල විෂයයට එන්නෙ. තව ලිපි කිහිපයක් ලියන්න තියෙන ඒකට. 

ඒක නෙමෙයි, මේ දවස් වල හරිම රස්නෙයි නේද? මේ දවස් වල කියලමත් නෙමෙයි, කොච්චර වැස්සත් දැන් අවුරුද්දක දෙකක ඉඳල, ටික කාලෙකට ඉස්සෙල්ලට වඩා සැළකිය යුතු උණුසුමක් තිබෙනව නේද?

ඒ ගැන හිතනවත් එක්ක, අපේ අද මාතෘකාවට එමු.

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය කියන්නෙ? 
2. මොනවද මේ හරිතාගාර වායු? 
3. ඉතින් ඕකෙන් මොකද්ද වෙන අවුල???
4. අපි මොකද්ද කරන්න ඕනෙ????

මේ ප්‍රශ්න ඔයාලගෙ හිතට එන්න ඕනෙ. මේ දේවල් සමහරු නම් දන්නවත් ඇතිනෙ. නමුත් ඔබ නොදන්නා කරුණු ටිකකුත් කියන්න මම බලාපොරොත්තු වෙනවා.

මුලින්ම අපි බලමු මොනවද මේ හරිතාගාර කියන්නෙ කියල.

0. මොනවද මේ හරිතාගාර?

මේක බලන්නකො. 

මේව දැකල තියෙනව නේද? මේවට කියන නම මොකද්ද?
ඔව්. මේවට තමා හරිතාගාර කියන්නෙ.
මේව ඇතුළට ගිහිල්ල තියෙනවද? ගියාම මොකද්ද ඇඟට එක පාරම දැනෙන්නෙ?
රස්නෙයි. නේද?
අවට පිටත පරිසරයට වඩා මේක ඇතුළෙ උෂ්ණත්වය යම් ඉහළ අගයක් ගන්නව. 
ඇයි ඒ???

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය?

අර ඉහතින් කිව්ව එක වෙන්න මූලික වෙන ක්‍රියාවලියට තමා කියන්නෙ "හරිතාගාර ආචරණය" කියල. 
ඒ කියන්නෙ?
පරිසර උෂ්ණත්වය ඉහළ යන එක සිද්ධ වෙන්න හේතු වෙන ක්‍රියාවලියක තමයි හරිතාගාර ආචරණය කියන්නෙ.

ඒක වෙන්නෙ කොහොමද?
පහත රූපය බලන්න.



මොකද්ද පේන්නෙ?
අපිට සූර්යයාගෙන් තාපය ලැබෙනව.
කොටසක් වායුගෝලය හා පොළව මඟින් උරා ගන්නව.
වායුගෝලයේ පවතින තාපයෙන් කොටසක් ආපහු පොලවෙන් උරාගන්නව, තවත් කොටසක් වායුගෝලයෙන් පිටත අභ්‍යාවකාශයට මුදා හැරෙනව.
අන්න ඒක තමයි සමබරතාවය. 

එතකොට මොකද්ද අලුතින් එන කොටස?

හරිතාගාර වායු?
මොනවද මේ හරිතාගාර වායු?

2. මොනවද මේ හරිතාගාර වායු?
මම කිව්වනෙ හරිතාගාර ආචරණයෙන් වෙන්නෙ පරිසර උෂ්ණත්වය ඉහළ යන එක කියල. එතකොට හරිතාගාර ආචරණය වෙන්නෙ හරිතාගාර වායු නිසා. 
එතකොට, හරිතාගාර වායු කියන්නෙ පරිසර උෂ්ණත්වය ඉහළ නංවන්නට හේතු වන වායූන්.

මොනවද ඒ වායූන්?
හරිතාගාර ආචරණය ඇතිකරන්න මූලිකම වෙන වායූන් 4ක් තියෙනව. මෙහෙම ඒව ලැයිස්තුගත කරමු, ඒවායින් සිදු කරන බලපෑමත් එක්ක.
  1. ජල වාෂ්ප (36 - 70%)
  2. කාබන් ඩයොක්සයිඩ් (9 - 26%)
  3. මෙතේන් (4 - 9%)
  4. ඕසෝන් (3 - 7%)

හරි දැන් කියයි ජල වාෂ්ප වලින්නෙ ලොකුම කේස් එක තියෙන්නෙ අපි ඒකට විසඳුමක් හොයමු කියල. ඔව් ඉතින්, කාන්තාරයක් කළා නම් ඒකටත් විසඳුමක් තමයි. :D 
නෑ. මෙහෙමයි, ජල වාෂ්ප කියන දේ වායු ගෝලයේ තිබෙන දෙයක්. ඒකෙ සමබරතාවයක් තිබෙනව. ඒකෙන් වෙන හරිතාගාර ආචරණය නිසා තමයි අපි මේ ගැහෙන්නෙ වෙවුලන්නෙ නැතිව හොඳට ඉන්නෙ. 
එතකොට ගැටළුවට එන්නෙ. දෙවෙනියයි, තෙවෙනියයි. සිව්වැන්නට ඉන්න ඕසෝන් ඉතින් තියෙන්නෙ ඉතාම කුඩා ප්‍රමාණයක් හා ඉහළම වායුගෝලයේ නිසා, ලොකුම බලපෑමක් නෑ.
එතකොට බැලුවම ලොකුම බලපෑම කරන්නෙ කාබන් ඩයොක්සයිඩ් වායුව. දන්නවනේ ඒ මොකද්ද කියල. දහනයක් වෙන සෑමවිටම වායූගෝලයට පිටවන වායුවක් තමයි කාබන්ඩයොක්සයිඩ්.
ගින්නක් ගැහුවත්, වාහනේක ගියත්, ඛනිජ තෙල් වර්ගයකින් දුවන කිසියම්ම හෝ යන්ත්‍රයක් ක්‍රියා කරවුවත් කාබන් ඩයොක්සයිඩ් වායුව අපේ වා තලයට එකතු වෙනවා. 

ආපහු අපේ ප්‍රශ්නෙට.

1. මොකද්ද මේ හරිතාගාර ආචරණය කියන්නෙ? 

කොහොමද මේ හරිතාගාර ආචරණය වෙන්නෙ?
දැන් ටිකක් තාක්ෂණික වෙන්න යන්නෙ. 
සූර්යයාගෙන් අපිට ලැබෙන විකිරණ වල තිබෙනව සියළුම ආකාරයේ තරංග ආයාමයන්. ඒවාට විවිධ මට්ටමේ ශක්තීන් තිබෙනවා. 
ඒවායින් යම් කොටසක් වායු ගෝලයේ තිබෙන වායූන්ගෙන් උරා ගන්නව. උරා ගන්න ආකාරය ගැන මම කතා කරන්නෙ නෑ. ඒක ගැන කියන්න නම් පරමාණු වල තිබෙන ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් අතර ගමන් කරන ආකාරය ගැන කතා කරන්න වෙනව. උසස්පෙළට රසායන විද්‍යාව හදාරපු අය මේ ගැන දන්නවනෙ, නේද?
ඉතින් පොළවෙන් අර සූර්ය ශක්තිය උරාගෙන ඊට වඩා පහළ ශක්තියක් ඇති, දිගු තරංග ආයාමයන් තිබෙන විකිරණ පිට කරනව. ඉතින් මේ හරිතාගාර වායු මොකද කරන්නෙ, අන්න අර දිගු තරංග ආයාම තියෙන විකිරණ වලට වායු ගෝලයෙන් පිටතට යන්න දෙන්නෙ නැතිව ආපහු ඒව උරාගෙන වායුගෝලය තුලටම මුදා හරිනව. මේ පහළ රූපයේ තිබෙන්නෙ ජල වාෂ්ප (නිල්) හා කාබන් ඩයොක්සයිඩ් (රතු) දෙක ඒ ක්‍රියාවලිය සිදුකරන තරංග ආයාමයන්. 


ඉතින් එතකොට මොකද වෙන්නෙ? 
වායුගෝලයේ තිබෙන තාපය ඉන් පිට වෙන්නෙ නෑ, ඇතුළෙ එකතු වෙවී එකතු වෙවී තියෙනව.
අන්තිමට පරිසරයේ උෂ්ණත්වය ටික ටික ඉහළ යනව.

ඔන්න ඕකයි හරිතාගාර ආචරණය කියන්නෙ.

3. ඉතින් ඕකෙන් මොකද්ද වෙන අවුල???

මෙන්න මේක තමයි බරපතලම ප්‍රශ්නෙ.
පරිසර උෂ්ණත්වය ඉහල යනව ටික ටික. 
මම මුලින්ම ඔයාලගෙන් ඇහුවෙ, දැන් හරි රස්නෙයි නේද කියල.
ඔව්. අන්න ඒකට හේතුව මේ හරිතාගාර ආචරණය තමයි එක් පැත්තකින් බැලුවම. තව හේතුවක් තියෙනව, ඒක අපි ඉස්සරහට කතා කරමු.

ලෝකෙ පුරාම මේක වෙනකොට මොකද වෙන්නෙ???

හරිම රස්නෙයි, මොකද වෙන්නෙ? අපි ෆෑන් දාගෙන ඉන්නව, AC එක තවත් තදට දාගන්නව.... මොකද වෙන්නෙ? තව තවත් අපි බලශක්තිය වියදම් කරනව. ඒවායින් තව තවත් පරිසරයට හරිතාගාර වායු මුදා හැරෙනව, ඒකෙන් තවත් පරිසර උෂ්ණත්වය ඉහළ යනව. ඕක ඉවරයක් නැතිව වෙනව.
අපි මෝටර් වාහන වල ගොඩක් එහෙ මෙහෙ යනව. ඒවායින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුවත් වාතලයට මුසු වෙනවා. 

ලංකාවෙ ටික කාලයකට ඉස්සර සාමාන්‍ය පරිසර උෂ්ණත්වය තිබ්බෙ සෙල්සියස් 27-29 අතර. දැන් සාමාන්‍යය කීයද දන්නවද? සෙල්සියස් 31 - 33. ෂුවර් නැත්තම් හොයල බලන්න. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහෙම අහල බලන්න. 

තව මොනවද වෙන්නෙ?
උෂ්ණත්වය ඉහළ යනකොට සාගරයේ ඇති ජලය ප්‍රසාරණය වෙනව.
එතකොට? 
සාගර ජල මට්ටම ඉහළ යනව.

අයිස් ග්ලැසියර දිය වෙනව.
එතකොට?
සාගර ජල මට්ටම ඉහල යනව.

දිය වෙන අයිස් ග්ලැසියර මුහුදට එකතු වෙනව.
එතකොට?
මිනිස්සුන්ට බීමට ගත හැකි ජලය 1%න් වැඩි ප්‍රමාණයක් තියෙනව ඔය ග්ලැසියර වල. ඒව මුහුදට එකතු උනාම ලුණු වතුර බොන්න පුළුවන්ද???

තව බැලුවොත්, උෂ්ණත්වය දරාගන්න බැරිව, පොළව උඩ, පොළව යට, ජලයේ ඉන්න සත්තුන් විනාශ වෙලා යන්න පුළුවන්, නියඟ වැඩි වෙනවා, ගංවතුර උවදුරු ඉහළ යනවා....
ඔන්න ඔහොම තව දේවල් ගොඩක් වෙනව.

4. අපි මොකද්ද කරන්න ඕනෙ????

දැන් අපි එනව වැදගත්ම ප්‍රශ්නෙට.
කොහොමද මේක වළක්වන්නෙ???
කණගාටුයි කියන්න මේව වලක්වන්න දැනටමත් බැරි මට්ටමට ඇවිල්ල. අපිට කරන්න පුළුවන් මේක තවත් බරපතල වෙන්න නොදී නවත්තගෙන ඉන්න එක තමයි.
මහ ලොකුවට අන්තර්ජාතික සම්මේලන තිබ්බට ලෝකෙම එකතු වෙලා, වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය පාලනය කරන්න, ඒ කිසිවකින් කිසිවක් සිදු වෙලා නෑ. තාමත් වායුගෝලයේ ඇති CO2 ප්‍රමාණය ඉහළ යනව.

පහත ප්‍රස්තාරයේ තිබෙන්නෙ අවුරුදු ලක්ෂ 4කට ඉස්සර ඉඳල වසර 2000 වෙනකම් වායුගෝලයේ CO2 වායුවේ විචලනය (වායු කොටස් මිලියනයකට CO2 කොටස් ගණන)
අවසන් වසර 1000 වෙනමම පෙන්නල තියෙන්නෙ.


මොකද්ද පේන්නෙ? පහුගිය අවුරුදු 200ක වගේ ඉඳල අපි වායුගෝලයට මුසු කරන CO2 ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ දමමින් සිටින බව නේද?

මේ පහත ප්‍රස්තාරයේ තිබෙන්නෙ පහුගිය අවුරුදු 200 තුළදී විවිධ පෙට්‍රෝලියම් දහනයෙන් මේ ලෝකෙ අපි වායුගෝලයට එකතු කර ඇති කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයන් (වසරකට කාබන් මෙට්‍රික් ටොන් වශයෙන්(


පේනව නේද කොච්චර ගොඩක්ද කියල!!!!

ඉතින් ආපහු, අපි මොකද්ද කරන්න ඕනෙ???
පුළුවන් තරම්, හරිතාගාර වායු පරිසරයට මුහු කරන එක අඩු කරන එකයි. ඒක 100%ක් නවත්වන්න කිසිම ආකාරයකින් බෑ. මොකද බිලියන 7ක් මිනිස්සු ප්‍රාශ්වාස කරන වාතයෙත් CO2 තියෙනවනෙ. 
නමුත් ඒව එච්චර ගොඩක් නෙමෙයි, මේ ඉහත කිව්ව ඒව එක්ක ගත්තම. 

හිතන්න. කොහොමද මේක අඩු කරන්නෙ කියල.
සරළ උදාහරණ ටිකක් දෙන්නම්.
පෙට්‍රෝලියම් තෙල් භාවිතා වන උපකරණ භාවිතය අවම කරන්න.
පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න උත්සාහ කරන්න. පොඩි දුරක් නම්, ඇවිදන් යන්න, නැත්තම පාපැදියක් භාවිතා කරන්න. (ඔය කිව්වම මතක් උනේ, ජපානෙ පිටරටවල් වලට කාර් හදල යවල, උන් පුශ් බයිසිකල් වල යනව. :D )
ඉන්ධන කාර්යක්ෂමතාවය ඉහළ දැමිය හැකි දේ කරන්න.
බලශක්තීන් හැකිතරම් පරිස්සමින් හා උපරිම කාර්යක්ෂමතාවයකින් හා උපරිම ඵලදායීතාවයකින් භාවිතා කරන්නට උත්සාහ කරන්න.

සාකච්ඡාවට විවෘතයි.

මේ ආකාරයේ තවත් ලිපි Green යන ටැගය යටතේ මම ඉදිරියටත් ලියනව. එකතු වෙලා ඉන්න.
මෙම ලිපි හා තවත් මේ සම්බන්ධ ඉංග්‍රීසි ලිපි පල කරන්නට මම වෙනත් බ්ලොග් එකකුත් හැදුව. ඒකත් බලන්නට ආරාධනා කරනවා


ඔබගේ ඉමේල් ගිණුමට මේ ලිපි කෙලින්ම ලබා ගන්න, පහත පෝරමය හරහා සබ්ස්ක්‍රයිබ් වන්න. 


Enter your email address:


Delivered by FeedBurner