Monday, May 14, 2012

PhotographyLK අඩවිය අති සාර්ථක ලෙස දියත් කෙරුණු වගයි



මාස කිහිපයක විශාල ප්‍රයත්නයකින් පසුව සාර්ථක ලෙස PhotographyLK අඩවිය ඊයේ සවස 6ට අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.
මුදාහරිනු ලැබූ පසුව විශාල පිරිසක් අඩවිය නැරඹීමටත් පැමිණියා. Google Analytics අනුව, ඊයේ පැය 6ට (විවෘත කළ සවස 6 සිට දිනය අවසන් වන තෙක්) පැමිණි පිරිස පහත පරිදි වෙනවා.



ඊයේ දින අවසන් වන විට statistics මෙහෙමයි. (2012.05.13)



ඉතින් අඩවිය ගැන සවිස්තරාත්මක ලිපියක් පළ කරන්නයි මේ සූදානම.

PhotographyLK කියන්නෙ මොකද්ද?

ඡායාරූපකරණය සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් විවෘත කෙරුනු වෙබ් අඩවියක්.
නමුත් මේක තවත් එක් වෙබ් අඩවියක් නම් නෙමෙයි. PhotographyLK අපේ ඉහළ දැක්මක් තිබෙනව. ඉතින් අඩවියේ දායකයින් හා ඇඩ්මින් වරුන් මේ දැක්ම වෙනුවෙන් හා අඩවියේ අරමුණු සඵල කරගැනීමට එක් සිතින් බැඳි සිටින කණ්ඩායමක්.



අපේ දැක්ම
ඡායාරූපකරණය සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ ශ්‍රී ලාංකිකයින් සඳහා තිබෙන ප්‍රමුඛම පෙළේ වෙබ් අඩව්යක් බවට පත් වීම.



PhotographyLK අරමුණු

අපගේ අරමුණු වෙන්නෙ පහත දේවල්.

“ඡායාරූපකරණයට ඇල්මක් දක්වන, ඡායාරූපකරණයේ යෙදෙන, ඡායාරූපකරණය සඳහා ආධාර සේවාවන් ලබාදෙන ඔබ සැමටම, සේවයක්, සහයක් ලබාදීම හා එම සියළුම දෙනාව එකම තලයක් මතට ගෙන එමින්, ඔවුනොවුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් පහසු හා සරළ කිරීම මෙම අඩවියේ ප්‍රධාන අරමුණයි.”
“ඡායාරූපකරණය සම්බන්ධව සිංහලෙන් ලියැවුනු ලිපි පළ කරමින්, ආධුනික ඡායාරූප ශිල්පීන්ට අත්වැලක් සැපයීමද මෙම අඩවිය හරහා අපි බලාපොරොත්තු වෙමු.”

PhotographyLK ඔබ වෙත ලබාදෙන සේවාවන්

  • ඡායාරූපකරණය සම්බන්ධයෙන් අධ්‍යාපනික ලිපි (මේ ලිපි, ප්‍රධාන වශයෙන්ම ආධුනික ඡායාරූප ශිල්පීන් ඉලක්ක කරමින් ගොඩ නඟන ලද ලිපි එකතුවකි.)
  • ඡායාරූපකරණය සම්බන්ධ කැමරා හා උපාංග පිළිබඳව, පොත්පත් සඟරා පිළිබඳව, වෙබ් අඩවි පිළිබඳව, මෘදුකාංග පිළීබඳව විචාරයන්.
  • ඡායාරූපකරණය සම්බන්ධ පොත්පත් , විඩියෝ දර්ශන බැලීම/ භාගත කර ගැනීමට පහසුකම්
  • ඡායාරූපකරණය සම්බන්ධ පුවත්, ප්‍රදර්ශන, වැඩමුළු සම්බන්ධ විස්තර ප්‍රචාරය
  • ඡායාරූපකරණය හා සම්බන්ධ පුද්ගලයින්, ආයතන, වලට තම විස්තර ඇතුලත් කළ හැකි ව්‍යාපාර නාමාවලිය
  • ඕනෑම සාමාජිකයෙකුට නොමිලේ තම දැන්වීම් පළ කළ හැකි ලුහුඬු දැන්වීම් පිටුව
  • සාමාජිකයින් විසින් එකතු කරන ලද ඡායාරූප වලින් පිරි පිංතූර ගැලරිය
  • කාලයෙන් කාලයට විවිධ තොරතුරු හා පුවත් ගෙන එන ඊ ලිපිය

මේ සේවාවන් වලට අමතරව තවත් සේවාවන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මූලික සාමාජිකයින්ට (Subscribers) ලැබෙන පහසුකම්

  • අඩවිය තුළ ලිපි කියවීම හා පහසුවෙන්ම අදහස් ප්‍රකාශ කිරීම
  • අඩවි පුවත් ලිපිය හා එක්වීම
  • Business Directory එකට Listings එකතු කිරීම
  • ලුහුඬු දැන්වීම් පිටුවට දැන්වීම් පළ කිරීමේ හැකියාව

තවත් පහසුකම් රැසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

PhotgraphyLK දායකයින්ට  (Contributors) ලැබෙන පහසුකම්

  • අඩවි සාමාජිකයින්ට ලැබෙන පහසුකම් සියල්ල
  • අඩවියට ලිපි ලිවීමේ හැකියාව
  • Business Directory එකට Listings එකතු කිරීම හා ඒවා Dash Boardහි සිට පාලනය කිරීමේ හැකියාව
  • Business Directory තුළ නොමිලේ Listings දෙකක්

ඉතින් සරළවම කෙටියෙන්ම කියන්න තියෙන්නෙ ඔය ටික තමයි. මේ දේවල් වලින් PhotographyLK කියන්නෙ මොකද්ද, PhotographyLK මොකද්ද කරන්න හදන්නෙ කියල ඔබ සැමටම අදහසක් එන්න ඇතියි කියල හිතනව.
තව අදහස් ගොන්නක් අපිත් එක්ක තිබෙනව, තව ඉදිරියට කරන්න සැලසුම් කරගෙනත් ඉන්නව දේවල් කිහිපයක්. පුළුවන් ආකාරයට කාලයෙන් කාලයට ට්ක ටික ඒවා එකින් එක ක්‍රියාත්මක කරන්න අපි හිතාගෙන ඉන්නව.

PhotographyLK වෙනුවෙන් ඔබට කළ හැකි දේ

  • PhotographyLK පිළිබඳව තොරතුරු අන් අයට පැවසීම
  • PhotographyLK අඩවියට සබැඳියක් / අඩවියේ දැන්වීමක් ඔබගේ අඩවියේ / බ්ලොග් අඩවියේ පළ කිරීම
  • PhotographyLK තුළ ලිපි ලිවීමට එකතු වීම
  • PhotographyLK වෙත පුවත් සොයා දීමට සහය වීම
  • අඩවිය පවත්වාගෙන යාම හා අඩවිය හරහා සංවීධානය කරන අවස්ථා වලට මූල්‍යමය සහය හා ශ්‍රම සහය ලබාදීම

ඡායාරූපකරණයට ලැදි, ඡායාරූපකරණයේ යෙදෙන ඔබ, අපිත් එක්ක සැමදාම එකතු වෙලා හිඳිමින්, අපිට සහයක් වේවි, මේ අඩවියෙන් ප්‍රයෝජනයක් ගනීවි කියල PhotographyLK අපි බලාපොරොත්තු වෙනවා.






ප.ලි. : මෙම අඩවිය සාර්ථක කරගැනීමට උර දුන් මනුශාන් සොයුරාට මගේ හද පිරි ප්‍රණාමය.
ඉදිරියට අඩවිය පවත්වාගෙන යාම සඳහා දැනට අප හා එක්ව ඇති අයටත් මගේ ස්තුතිය.
තවත් එකතු වෙන්න කැමති අය ඉන්නව නම් කියන්න. ඔයට සහයක් විය හැක්කේ කෙසේද කියලත් කියන්න.

Sunday, May 6, 2012

තව දින 6යි

මොකටද????

ඔයාලට මතකද දන්නෙ නෑ කාලෙකට ඉස්සර මම "Photography සිංහලෙන්" කියල ඡායාරූපකරණය ගැන ලියවෙන බ්ලොග් එකක් කළා. මුලින්ම බ්ලොගර් වල පටන් අරගෙන ඊට පස්සෙ වර්ඩ්ප්‍රෙස් දාල Roosara.info යන ඩොමේනය යටතේ අඩවිය පවත්වාගෙන ගිහිල්ල, ඊටත් පස්සෙ Roosara.net යන ඩොමේන් එක යටතේ පවත්වාගෙන ගියා. පස්සෙ පස්සෙ මට හරියකට වෙලාවක් නැති වෙලා බ්ලොග් එක අප්ඩේට් උනේ නෑ එතරම්. ඉතින් ටිකක් අභාවයට ගියා. 
අන්තිමට කෙල උනා. ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් නිසා ඩොමේන් එකට කෙල උනා. ඉතින් මම තීරණේ කළා උන දේ උනේ හොඳටයි කියල,
කට්ටියගෙන් අදහස් විමසල අලුත්ම ආරක වෙබ් අඩවියක් දෙන්න බලාපොරොත්තුවෙන් අලුතින්ම ඩොමේන් එකක් අරගෙන වැඩේට සෙට් උනා. ජනවාරි මාසෙ අඩවිය හදන්න පටන් අරගෙන, ඒකෙත් අවුල් ගොඩක් නිසා 75%ක් විතර හදල තිබ්බ අඩවිය අතෑරලම දැම්ම. ඊට පස්සෙ මේ අප්‍රේල් වල අවුරුද්දෙන් පස්සෙ ආපහු මේක ගොඩ දානවමයි කියල හිතාගෙන ආපහු මුල සිටම වැඩේට බැස්ස. 
ඉස්සෙල්ල පාර මාස 2ක් විතර තිස්සෙ කළ දේවල් ටික, මේ පාර සති 3කින් ගොඩ දැම්ම. තනියම නෙමෙයි, මගෙ මිත්‍රයෙක් මට ලොකු සහයක් උනා. අඩවියේ කටයුතු 90%ක්ම ඉවරයි. හැබැයි ලිපි ගොඩක් තව ඕනෙ කරල තිබෙනව. අනෙකුත් වැඩ නම් බොහොමයක් ඉවරයි. ඉතින් එන 12 වන සෙනසුරාදා සවස 6.00ට, මේ කියන වෙබ් අඩවිය ඔබ වෙනුවෙන් විවෘත වෙනවා.

ඔක්කොම හරි, මොකද්ද ඉතින් මේ වෙබ් අඩවිය??? පහල විඩියෝ එක බැලුවොත් ඔයාලටම තේරෙයි.




තේරුනා නේද දැන් මේ කියන්නෙ මොකක් ගැනද කියල?
"PhotographyLK" ඡායරූපකරණය සම්බන්ධ සියළුම පුද්ගලයින් එකම වේදිකාවක් මතට ගෙන එන්නට උත්සාහ දරන වෙබ් අඩවියක්. සේවාවන් බොහොමයක් එක්ක එන අඩවියක් කියල වීඩියෝව දැක්කම පේන්න ඇතිනෙ?

මේ අඩවිය මම තනියම හදපු එකක් නෙමෙයි. මනුෂාන් විමංස මල්ලි එක්ක එකට එකතු වෙලා හැදුවෙ. මනුෂාන් ලොකු වැඩ ප්‍රමාණයක් කළා. ඔහුට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. 

ඉතින් මේ එක්කම ඔබගෙනුත් ඉල්ලීමක් කරන්නට කැමතියි. 
ඔබට ඡායාරූපකරණය සම්බන්ධ ලිපි ලිවීමේ හැකියාවක් තිබෙනවා නම් හෝ වෙනත් ආකාරයකින් අඩවියට සහයක් වීමට කැමති නම් ඔබගේ ඊ මේල් ලිපිනය එක්ක කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක පබ්ලිශ් කරන්නෙ නෑ මම. නමුත් ඔබ හා සම්බන්ධ වෙන්නම් මේල් එකක් හරහා. 

තව කරන්න දේවල් ගොඩක් තිබෙනවා. ඒව ටික ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. වෙබ් අඩවියේ දුර්වලතා තිබුණොත් සමාවෙන්න ඕනෙ. (දැන්ම නම් දැනගන්න ලැබෙන්නෙ නෑ ඉතින් එන සෙනසුරාද වෙනකම්ම ඉන්න වෙනව. :) )

PhotographyLK කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ඔබටත් ආරාධනා...

Saturday, April 28, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 2 කොටස

මතක ඇතිනෙ ගිය සතියෙ ලිපියෙන් කතා කළා මේ සම්බන්ධ දේවල් 10ක් ගැන. කියෙව්වෙ නැති අය මෙතනින් ගිහිල්ල කියවන්න. ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ.


11. ඔබට ශබ්ද ගොනුවක් වාදනය අත්‍යවශ්‍ය නම් එය වාදනය ඇරඹීම භාවිත කරන්නාට කරන්නට දෙන්න.

සමහරක් අවස්ථා වලදි ඔබට යම් දබ්ද පටයක් වාදනය කරවීම අත්‍යවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා. කවුරුන්හෝ පවත්වන කතාවක්, ගීතයක්, වගේ දෙයක්. ඒකට කමක් නෑ, නමුත් අනිවාර්යයෙන්ම ඒක වාදනය කරවීමේ අයිතිය වෙබ් අඩවියට පැමිණෙන්නාට ලබා දෙන්න. ඔහුටම Play බොත්තම ඔබන්නට ඉඩ දෙන්න. 

12. වෙබ් අඩවිය විවිධ Badges වලින් පුරවන්න එපා. 
මේ බැජ් කියල කිව්වෙ විවිධ Networks, Communities වල Logos වැනි දේවල්. මේව තමයි යම් වෙබ් අඩවියක් unprofessional කියල පෙන්වන ප්‍රධානම දේවල් වලින් ටිකක් වෙන්නෙ. ඒ වගේ දේවල් පොඩියට අයිනකින් පමණක් දාන්න. ඒව විතරක්ම නෙමෙයි, ඔබ ලැබූ Awards වගේ දේවල් සම්බන්ධ බැජ් උනත් එච්චරයි, ඒ වගේ දේවල් නම් About Us වැනි පිටුවේ පමණක් යොදන්න. 

13. වෙබ් අඩවියට යන්නට පෙර තවත් නිවෙස් පිටුවක් භාවිත කරන්න එපා. 
සමහර වෙබ් අඩවි වල ඔබ දැකල ඇති අඩවියට ගියාම පොඩි විස්තරයක් නැත්තම් ලොකු රූපයක්/ රූප කිහිපයක් ඇති පිටුවක් ලැබෙනව, ඒකෙ තියෙන ලින්ක් එකක්/බොත්තමක් ක්ලික් කළාම තමයි හරි අඩවියට යන්නෙ. හුඟක් අය හිතනව එහෙම කළාම වෙබ් අඩවියට ලස්සනක් එකතු වෙනවා කියල. වෙන්න පුළුවන්, නමුත් ඒ එක්කම ඔබ අඩවියට එන්නාගේ තරහ අවුස්සනව. ඔබගේ අඩවියේ අන්තර්ගතයට යන්න තිබෙන පියවර ගණන අඩු වෙන්න අඩු වෙන්න තමයි ඔබගේ අඩවියට මිනිස්සු කැමති වෙන්නෙ. 

14. ඔබ සමඟ සම්බන්ධ විය හැකි මාර්ග දක්වන්න අමතක කරන්න එපා.

වෙබ් අඩවියේ තිබෙන දේ සම්බන්ධව කවුරුන්හෝ සමඟ සම්බන්ධ වෙලා විස්තර දැන ගැනීමට නොහැකි වෙබ් අඩවියක් තරම් නරක වෙබ් අඩවියක් නම් නෑ. ඒක අඩවියට එන අයට විතරක් නෙමෙයි, ඔබටත් ගොඩක් පාඩුයි. ඔබට වාසියක් සැළසෙන දෙයක් ඔබට වැදගත් වන තොරතුරක්, දැනගැනීමට තිබෙන අවස්ථාවක් ඔබ නැති කරගන්නවා පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන අනිත් අයට තිබෙන විශ්වාසයත් අඩු වන්නට මෙය හේතුවක් වනවා.

15. Back බොත්තමේ ක්‍රියාකාරිත්වය වළක්වන්න එපා. 

මේක භාවිතයේ පහසුව පෙන්වන සරළම දෙයක්. කුමන හේතුවක් නිසාවත් බැක් බොත්තම ඔබන්නට තිබෙන අවස්ථාව අහුරන්නට එපා. නව වින්ඩෝවක් විවෘත කිරීම මගින් මෙය සිදු වෙනවා. සහ ජාවාස්ක්‍රිප්ට් මගිනුත් මෙය සිදු කළ හැකියි.

16. Blinking Texts භාවිතා කරන්න එපා. 
නිවෙන පත්තුවෙන දේවල් වල කාලෙ ඉවරයි. ඔබ ඉන්නෙ 1996 නෙමෙයි. ඉතින් දැන් මේ ආකාරයේ දේවල් භාවිතා කරන්න එපා.

17. සංකීරණ URL Structures භාවිතා කරන්න එපා.
සරළ, keywords මූලික කරගත් URL structure එකක් භාවිතා කරන්න. මෙමගින් ඔබගේ අඩවියේ Search Engine Ranking එක වැඩි වෙනවා පමණක් නොවෙයි, අඩවියට පැමිණෙන්නාට ඒ ඒ පිටු වලට යන්නට පෙර ඒවායේ තිබෙන්නේ මොනවාද යන්න ගැන වටහා ගන්න ඉඩක් ලැබෙනවා. 

18. HTML වෙනුවට CSS භාවිතා කරන්න. 

ඉස්සට HTML භාවිතා කරල කරපු හුඟක් දේවල් දැන් ඊට වඩා පහසු හා දියුණු ලෙස CSS භාවිත කරල කිරීමේ හැකියාව තිබෙනව. HTML එක්ක CSS එකතු කරගෙන ඔබගේ වෙබ් අඩවිය වඩා වේගවත් හා ශක්තිමත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. සහ CSS මගින් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයකුත් ලබා දෙනවා.

19. ඔබගේ අඩවියට පැමිණෙන්නන්ට අඩවිය තුළ සෙවුමක් කරන්න හැකි විය යුතුයි. 

මේ නිසා තමයි සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලය තුළ විප්ලවයක් ඇති කළේ. ඔබගේ අඩවිය තොරතුරු වලින් පිරී තිබෙන්නක් නම් අනිවාර්යයෙන් මෙය අත්‍යවශ්‍යයි. වෙබ් අඩවි පරිශීලකයාට පහසුවෙන්ම ඔහුට අවශ්‍ය දේ සොයා ගත හැකි විය යුතුයි.

20. Drop Down Menus අවම කරන්න. 

සමහරක් වෙලාවට නම් මෙය අවශ්‍ය වෙනවා. නමුත් සමහරක් වෙලාවට නම් මෙය නරකයි. මොකද කිව්වොත් පරිශීලකයාට කෙලින්ම පහසුවෙන්ම වෙබ් අඩවියේ ඇති දේ දැක ගත හැකිවිය යුතුයි, වෙබ් අඩවිය තුළ පහසුවෙන් එහා මෙහා යා හැකි විය යුතුයි. Drop Down මෙනු වල කොටසක් සැඟවී තිබෙන නිසා සමහරක් අවස්ථා වල වෙබ් අඩවිය තුළ සැරිසරන්නා අන්දමන්ද විය හැකියි.

එහෙනම් මේ ලිපිය මෙතනින් අදටත් මතු සම්බන්ධයි... 
ඔබගේ අදහස් දක්වන්න.

Sunday, April 22, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්

වෙබ් අඩවි හදනකොට හුඟක් අය කරන විවිධාකාරයේ අත්වැරදීම් තිබෙනව. ඉතින් අපි කතා කරමු. මොනාකාරයේ වැරදිද අපි කරන්නෙ කියල. ඇත්තෙන්ම කිව්වොත් අපි බලමු හරි විදිහට කරන්නෙ කොහොමද කියල. මේ බොහොමයක් දේවල්, බොහොමයක් අඩවි වලට අදාලයි. සමහරක් ඒව නම් සාමාන්‍ය දැනීම, සමහරක් නම් එක පාර හිතෙන්නෙ නැති ඒව. අපි කතා කරන්නෙ වෙළඳ අඩවි, බ්ලොග් හැම එකක් ගැනමයි.



1. අඩවියට පැමිණෙන්නා අඩවිය කුමක් පිළිබඳවද යන්න ක්ෂණිකව දැන ගත යුතුයි.

අවධානය කියන්නෙ අන්තර්ජාලය තුළ තිබෙන වටිනාම වස්තුවක්. අඩවියට එන පුද්ගලයාට බැරි නම් ඒ අඩවිය තියෙන්නෙ මොකක් ගැනද කියල තේරෙන්නෙ නැති නම් ඒ ආපු පුද්ගලයා කෙලින්ම ආපහු හැරිල යනව. ඔබගේ වෙබ් අඩවිය තිබෙන්නෙ මොකක් සම්බන්ධයෙන්ද කියල එන පුද්ගලයාට ක්ෂණිකව පණිවිඩය දෙන්න ඔබගේ වෙබ් අඩවියට හැකි විය යුතුයි.

2. අන්තර්ගතය උඩින් යන්නට හැකි විය යුතුයි.
තේරෙන්න කිව්වොත් skim කරන්න පුලුවන් වෙන්න ඕනෙ. මේ පොතක් නෙමෙයිනෙ, අන්තර්ජාලය තුළ තිබෙන එක් වෙබ් අඩවියක්. ඉතින් ලොකු ලොකු පරිච්ඡේද අමතක කරන්න. මමත්, හුඟක් අයත් ලොකු ලොකු ඡේද තිබෙන වෙබ් අඩවි වලට අකමැතියි. උඩින් කියවන් ගිහිල්ල මොනවද තියෙන්නෙ කියල තේරුම් ගන්න පුලුවන් නම් කවුරුත් කැමතියි. කියවන්නාට, තමුන් කියවන දේ පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් ආකාර වලින් තොරතුරු ලබා දෙන්න. උදා: bulleted list, numbered lists, headers, sub headers.

3. කියවන්න අමාරු අමුතු අමුතු ෆොන්ට්ස් දාන්නෙපා.
මේකත් හුඟක් අය කරන වැඩක්. ලස්සන කරන්න කියල එක එක විදිහෙ fancy fonts භාවිත කරනව. ඇත්ත. සමහර ෆොන්ට් මගින් ඔබගේ අඩවියට ලස්සනක්, ගාම්භීර පෙනුමක් ලබාදෙන්න ඉඩ තිබෙනව. නමුත් ඒක කියවන්න අපහසු නම්??? ඔබගේ ප්‍රධාන අරමුණ යම් තොරතුරක්, පණිවුඩයක් ලබාදීම නේද? ඉතින් ඔබ කියන දේ එන කෙනාට කියවන්න අමාරු නම් වැඩක් තිබෙනවාද? එන අය කියවන්න කැමති, ඒ දේ කියවන්න පහසු ලෙස තිබෙනවා නම් පමණයි.

4. ඉතා කුඩා අකුරු ප්‍රමාණ භාවිතා කරන්න එපා.
අංක 3 සම්බන්ධයෙන් කිව්ව දේවල් ටිකම මෙතනටත් අදාල වෙනවා. කියවන්නාට පහසු ලෙස අපි අපේ අඩවියේ අන්තර්ගතය ලබා දිය යුතු වෙනවා. දැන් අප භාවිතා කරන වෙබ් බ්‍රවුසර් වල සූzම් පහසුකම් තිබෙනවා, නමුත් කියවන්නාට එය භාවිතා කරන්නට සිතු උනොත්, බොහෝවිට ඒ එම පුද්ගලයා ඔබගේ අඩවියට එන අවසන් අවස්ථාව වීමට ඉඩ තිබෙනවා.

5. නව බ්‍රවුසර් පැනල (windows) විවෘත කරන්න එපා.
මේකත් ගොඩක් අය කරනවා. අඩවියෙන් පිටත සබැඳියක් විවෘත කරන විට නව වින්ඩෝවක් විවෘතව ඒක තුළ එම සබැඳිය විවෘත වෙන්නට සකසනවා. ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? ඔබගේ අඩවියට පැමිණි පුද්ගලයා පිටට යන්නට නොදී නවත්වා ගැනීම. මේක හරිම නරක වැඩක්. මමත් මේක ඉස්සර කළා, නමුත් දැන් නෑ. ඔහුට ඉඩ දෙන්න මොකද්ද කරන්න ඕනෙ කියල. ඔබගේ අඩවිය ඔහුට/ඇයට අවශ්‍ය නම් එයාම ඒ සබැඳිය වෙනත් වින්ඩෝවක/ටැබ් එකක ඇර ගනීවි. අනික, නැත්තම් මොකටද බ්‍රවුසර් එකක ලොකු Back බොත්තමක් තිබෙන්නෙ?

6. බ්‍රවුසර් වින්ඩෝව Resize කරන්න එපා. 
ඔබගේ අඩවියට එන පුද්ගලයාට ඕනෙ විදිහට වැඩ කරගන්න ඉඩ දෙන්න. ඔබ බ්‍රවුසර් වින්ඩෝවේ ප්‍රමාණය වෙනස් කළොත් ඒක වෙබ අඩවියට එන පුද්ගලයාට අපහසුතාවයක් වෙන්නට පුලුවන්. ඉතින් ඒක වෙන්න දෙන්න එපා. ඔබට පෙනි පෙනිම ඔබගේ අඩවියට එන කෙනෙක් නැති වේවි.

7. අඩවියේ ලියාපදිංචි වෙන්න බල කරන්න එපා.
කෙනෙක් අන්තර්ජාලය තුළ සැරිසරන්නෙ යමක් හොයාගන්න. ඉතින් අත්‍යවශ්‍යම නම් පමනක් හැර වෙබ් අඩවියන එන පුද්ගලයාගේ ඉමේල් ලිපිනය හා වෙනත් තොරතුරු ඉල්ලල කරදර කරන්න එපා. එහෙම කරන්න තරම් ඔබේ අඩවියේ තිබෙන තොරතුරු වටින්නෙ නැතිනම් ඔහු කවදවත් ආපහු එන එකක් නෑ. නමුත් තොරතුරු ටික වටිනව නම් ඔබේ අඩවියේ ලියාපදිව්චි වෙන්න කෙනෙක් පසුබට වෙන එකක් නෑ.

8. අඩවිය තුළ ලියාපදිංචි වන්නාගේ අවසරයක් රහිතව, ඔහුව කිසිම දේකට Subscribe කරවාගන්න එපා.
මේකත් අපේ හුඟක් අය කරනව මම අත්දැකල තිබෙනව. එහෙම කරල නම් කවදාවත් ඔබට යාළුවො හදාගන්න නම් බැරි වේවි. මොකද ඔවුන්ට ඒක කරදරයක්, හිසරදයක් වෙන නිසා. ඔවුන්ට ඕනෙ නම් පමණක් subscribe වෙන්න ඉඩ දෙන්න.

9. අනවශ්‍ය ලෙස ෆ්ලෑෂ් ඇනිමේෂන් භාවිතා කරන්න එපා.
ඔබගේ වෙබ් අඩවිය ලෝඩ් වෙන්නට ගත වන කාලය ඉතා විශාල වශයෙන් වැඩි කිරීමට අමතරව, එමගින් සමහරක් පැමිණෙන්නන් තරහ ගස්වන්නට එමගින් ඉඩ තිබෙනවා. සාමාන්‍ය HTML, PHP, JScript, DHTML, වැනි දේවල් ව්අලින් දෙන්නට බැරිම දේවල් පමණක් ෆ්ලෑෂ් මගින් දෙන්න. නමුත් දැන් නම් ෆ්ලෑෂ් කියන එක ටික ටික භාවිතයෙන් ඉවත්වේගෙන යනවා. දැන් JQuery වැනි දේවල් වලින් ඉතා පහසුවෙන් පෙරදී ෆ්ලෑෂ් භාවිත කර කරනු ලැබූ දේවල් කළ හැකියි.

10. සංගීත වාදනයන් යොදන්න එපා.
ඉස්සර හැම කෙනෙක්ම වගේ තමන්ගෙ වෙබ් අඩවියේ පසුබිම් සංගීතයන් වාදනය වෙන්නට සැළැස්වුවා. නමුත් ඔවුන්ට වැරදිලා. දැන් නම් කිසිදු සාර්ථක වෙබ් අඩවි නිර්මාණකරුවෙක් එහෙම කරන්නෙ නෑ. එමගිනුත් 90%ක්ම වෙබ් අඩවියට පැමිණෙන්නන් තරහ ගස්වනවා. ඔවුන් යළි එම අඩවියට පැමිණීම නවත්වනවා.

එහෙනම් තවත් "වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්" ටිකක් එක්ක ඊළඟ ලිපියෙන් හමුවෙමු...

ඉතින් කොහොමද?

ඉතින් කොහොමද කට්ටියගෙ සැප සනීප? අවුරුදු ඉවර වෙලා දැන් වැඩ පටන් අරගෙන ඇති. ඉස්කෝලෙ, කැම්පස්, රැකියා, හැම එකක්ම. (ඉස්කෝලෙ පටන් ගන්නෙ නම් හෙටද මන්ද.)
කොහොම හරි, පරක්කු වෙලා හරි, හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අවුරුදු සරුද? මට නම් ඉතින් විශේෂයක් නම් නෑ. පොඩි පොඩි අදහස් ටිකක් ඇවිල්ල ඒව ක්‍රියාත්මක කරන්න ප්ලෑන් කරනව. :) මේ දවස් වල ටිකක් නිදහස්. ෆැක්ටරි එකේ Shut Down. ඒ කීවෙ අවුරුද්දකට සැරයක් අප්‍රේල් මාසෙ අල්ලල ෆැක්ටරි එකේ වැඩ සම්පූර්ණයෙන්ම නවත්තල මාසයක් තිස්සෙ Preventive Maintenance කරනව. පැය 24ම වැඩ කරන ෆැක්ටරි එකක්නෙ. මැයි මාසෙ ඉඳල ආපහු වැඩ පටන් ගන්නව. 
ඉතින් මේ දවස් ටිකේ ෆැක්ටරියෙ වැඩ ගැන බලන්න දෙයක් නෑ, ISO වැඩ ටිකක් හා, තවත් ඩොක්‍යුමන්ට් වැඩ ටිකක් තමා තියෙන්නෙ. ඒ අතරෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන ළමයින්ගෙ හා අපේ වැඩ පහසු කිරීම සඳහා කඩදාසි වල පුරවන තොරතුරු පරිගණකගත කරන්න සොෆ්ට්වෙයා එකක් හදමින් පවතිනව. ඒක නම් කරන්නෙ මගෙ අනිත් මිත්‍රය. මමත් පොඩි පොඩි හෙල්ප් දෙනව. ඒකෙන් අපේ වැඩ උනත් හුඟාක් පහසු වෙනව. 

දවසක් කිව්ව වගේ අලුත් ලිපියක් සකසමින් ඉන්නෙ. "වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්" කියල. ඒක තාම ඉවර නෑනෙ. කොටස් කිහිපයක් වශයෙන් දෙන්න තමා ඉන්නෙ. අද එක කොටසක් දෙන්නම්.

එහෙනම් ඇති. මම ගිහිල්ල එන්නම්.

Tuesday, April 10, 2012

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] පුල කච්චන්නා


ඔන්න ඉතින් කාලාන්තරේකට පස්සෙ බ්ලොග් එකේ මොනා හරි ලියන්න ආව. පහුගිය කාලෙ පෝස්ට් එකක් ලියන්න පට්ටම කම්මැලිකමක් තිබුනෙ. ඉතින් මෙන්න ආව කතන්දරයක් අරගෙන. මම කාලෙකට ඉස්සෙල්ල කියාගෙන ආපු කතන්දර සෙට් එකටම තවත් එකක්. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො සම්බන්ධ ජනප්‍රවාදයක්. මීට ඉස්සෙල්ල කියපු කතා බලල නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහිල්ල කතා ටික හොයාගෙන කියවන්නකො.

හරි, අද කතාව "පුල කච්චන්නා".
අමුතු වචනයක්. දන්න වචනයක්ද? වෙන බාසාවක එකක්ද? කතාව කියවන් යනකොට තේරේවි. :)

අද කාලෙ නැති උනාට අතීතයේ, කුල වාදය තදින්ම තිබුන. ඉහල පැලැන්ති වල කුලත්, පහත්ම තලයේ කුලයනුත්. ඒ කාලෙ සමාජයේ උනු හැම කාර්යයක්ම එක්ක කුල වාදය පැවතුනා. ඒ කාලෙ, හැම ජන කොටසක්ම කොයිම හරි විදිහකට රජ මාළිගයට සේවාවක් කළ යුතු වෙනව. ඉතින් ඒ කරන කාර්යය අනුව ඒ මිනිස්සු උසස් පහත් කුල වලට බෙදෙනව. 

හරි. ඉතින් ඔන්න එදා පසළොස්වක දවසක්. පළාතෙ දානපතියෙක්ගෙන් දනට වඩින්න ආරාධනාවක් ආව. ඉතින් ගුරු හාමුදුරුවොයි, රාහුල පොඩි හමුදුරුවොයි ඔන්න දානෙට වඩිනව. ඔය අතරමඟ ගොඩක් මඩ වගුරු සහිත ප්‍රදේශයක් පසු කරල යන්න මේ දෙනමට සිද්ද වෙනව. ඔන්න අමාරුවෙන් අමාරුවෙන් වඩින අතරෙ හදිසියෙම කොහෙන්ද මන්ද ආපු කොලු ගැටයෙක් "පුල කච්චන්නා පුල කච්චන්නා" කියල කෑ ගහගෙන උන්නාන්සෙල පහු කරල දුවගෙන ගියා. 
ඉතින් මේ වචනෙ ඇහෙනකොටම ගුරු හමුදුරුවො, මේක මොන භාෂාවෙ වචනයක්ද, පාලිද සංස්කෘතද, වෙන බාසාවක එකක්ද කියල හිතන්න උනා. කොහෙද මතකෙට එන්නෙම නෑ, හැබැයි ඒකෙ තේරුම මේ දිව් අග තියෙනව වගේ, ඒත් මතක් වෙන්නෙම නෑ. ඉතින් ගුරු හාමුදුරුවො ඕක ගැනම හිත හිත මග වගුරු වලත් වැටි වැටි යනව. රාහුල හාමුදුරුවන්ට කිසිම තේරුමක් නෑ මොකද්ද මේ ලොකු හාමුදුරුවො පැටලිලා ඉන්න පඹ ගාල ගැන. 
ඔන්න අර දානපතියගෙ ගේත් පහු කරගෙන ලොකු හාමුදුරුවො වඩිනව. රාහුල හාමුදුරුවො බලනව මේ මොකෝ කියල. දෙන් දානෙටත් වෙලාව ලඟයි. රාහුල හාමුදුරුවන්ට ඉන්ටම බැරි තැන ලොකු හමුදුරුවන්ගෙන් අහනව "ලොකු හාමුදුරුවනේ, දානෙටත් වෙලාව ලඟයි, දැන් අපි දානෙ ගෙදරත් පහු කරගෙන හුඟක් දුර වැඩිය" කියල. ඔන්න එතකොටයි ලොකු හාමුදුරුවන් පියවි සිහියට ආවෙ. ඉතින් දෙන්න ආපහු හැරිල ගියා.

දානෙ වැළඳුවට මොකද වෙන සිහියක. අර වචනෙ තේරුම ගැනමයි හිතන්නෙ. ගැටළුවක් ආවම ඒක විසඳන්නෙ නැතිව වෙන වැඩක් කරන්න බැරි පුරුද්දක් උන්නාන්සෙට තිබෙනව. ඉතින් හරියකට දානෙ වැළඳුවෙත් නෑ, උපාසක මහත්තය අහනව ලොකු හාමුදුරුවන්ගෙන් මොකක් හරි අසනීපයක්වත්ද කියල. 
ඉතින් දානෙ අවසන් වෙලා පංසලට ආව විතායි ලොකු හාමුදුරුවො පොත් ගුලට ගිහිල්ල තියෙන තියෙන ශබ්දකෝෂ පෙරල පෙරල "පුල කච්චන්නා" කියන වචනෙ තේරුම හොයනව. නමුත් කිසිම පොතක ඒ වචනෙ නෑ. හොයාගන්න විදිහක්ම නෑ.
රාහුල හාමුදුරුවන්ටත් මේ වෙනකොට විවිධ භාෂා කිහිපයක් ගැනම හොඳ දැනුමක් තිබෙනවා. නමුත් ගුරු හිමියන්ට හිතෙන්නෙ නෑ ගෝල හිමියන්ගෙන් මේ ගැන විමසන්ට. ඒත් ගැටළුවට උත්තරයක් ඇත්තෙම නෑ, ඉතින් ගුරු හාමුදුරුවො තීරණේ කළා රාහුල හාමුදුරුවන්ගෙන් මේ ගැන විමසන්න.

"රාහුලට මතකද අපි අර දානෙට වඩිනකොට කොලු ගැටයෙක් පුල කච්චන්නා කියාගෙන දිව්ව? රාහුල දන්නවයි ඔය වචනෙ තේරුම?"

ඔන්න දැන් තමා රාහුල හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවො පැලලිලා උන්නු පඹගාල ගැන තේරුනේ.

"අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මෙච්චර වෙලා හෙව්වෙ ඕක ගැනද? අපේ හාමුදුරුවනේ දන්නව ඇතිනෙ, ඒ හරියෙ පාරෙ එක පැත්තක ඉන්නෙ රදා කුලේ උදවිය, අනිත් පැත්තෙ කුඹල් කුලේ උදවිය. ඉතින් ඔය දෙපැත්තෙ කොල්ලො දෙන්නෙක් රණ්ඩුවක පැටලෙන්ට ඇති. ඔය දුවපු කොල්ල රදා කුළේ එකෙක් වෙන්න ඕනෙ. ඉතින් ඒ කොල්ල ගහයි කියන බයට වෙන්න ඕනෙ බැන බැන දිව්වෙ."

"ඉතින් රාහුල, මොකද්ද එතකොට ඒ කිය කියා ගිය වචනෙ තේරුම???" ලොකු හාමුදුරුවන්ට හරිම ප්‍රශ්නයක්.

"ඉතින් හාමුදුරුවනේ කොල්ල බයට වචනෙ නොපිට හරවලයි කිය කියා ගියේ, කල පුච්චන්නා කියන එක." කියල ඔන්නෙ රාහුල හාමුදුරුවො ප්‍රෙහෙළිකාව විසඳුව.

Tuesday, March 20, 2012

ඇන්ටන් ජූඩ් මහතාට නිවන් සුව!!!

කාලෙකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න ගත්තෙ, දුක හිතෙන ආරංචියක් දැකල. අද දෙරණ අඩවියට ගියාම දැක්ක නිවුස් එකක්. අපි කවුරුත් දන්න ඇන්ටන් ජූඩ් මහතා මිය පරලොව ගිහිල්ලලු. අසනීප වෙලා රෝහලට එක්කන් යනකොටම නැති වෙලාලු. :'(
මම ආසම කරපු නළුවෙක් තමයි එතුමා. 90%ක්ම එතුමා රඟපෑ චරිත හාස්‍යජනක චරිත තමයි, ඒ චරිත වලින් ලස්සනට ඒ හාස්‍ය මතු කරල ගත්තු පුද්ගලයෙක්. සබඳ පබිලිස් නාට්‍යයේ රඟපෑ චරිතයට එහෙම මම මාරම කැමතියි. 

ඔහු ගැන මම වැඩි දෙයක් නම් දන්නෙ නම් නෑ, නමුත් විඩියෝ ටිකක් තියෙනව, ඔහුගේ මතකයන්ගෙන්. 









අපි හැම ඇන්ටන් ජූඩ් මහතාට නිවන් සුව පතමු!!!.

Saturday, February 4, 2012

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" පළමු සංස්කරණය නිකුත් කෙරේ

කට්ටියට මතක ඇති මම පොඩි පොත් පිංචක් හදල ඔයගොල්ලන්ට දුන්න "ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියන නමින්. ඒක ඔයාලට ලබාදුන්නේ, මගෙ බ්ලොග් එකේ 2010 අන්තිම ටිකේ ලියපු ලිපි ටිකක තිබුණු අන්තර්ගතය භාවිතා කරලයි. මේ වෙනකොට ඒක 441 වතාවක් කට්ටිය භාගත කරගෙන තිබෙනවා.
ඉතින් ඒකට අදහස් දුන්න කියවපු සමහරක් දෙනා. පොඩි පොඩි අවුල් ටිකකුත් තිබුන කිව්ව. ඉතින් මම මේ දවස් ටිකේ ඒකෙ ඒ තිබ්බ අවුල් ටිකක් හදල අලුත් සංස්කරණයක් ලෙස ඒ පොතම දැන් ඔබ වෙත ලබා දෙනවා. 

ලොකු වෙනස්කම් වෙලා නෑ. වෙනත් වෙබ් අඩවි වලට දීල තිබුණු සබැඳි සමහරක් වැඩ කරන්නෙ නෑ කියල තිබුණු නිසා හැම සබැඳියක්ම සමඟ ඒ වෙබ් පිටුවේ ලිපිනය වෙනමම දැම්ම. පොඩි පොඩි වැරදි ටිකක් හා formatting දෝෂ ටිකක් හැදුව. ඉතින් මුල් එක භාගත කරගත්තු අයට ඒකෙ වැඩ කළේ නැති සබැඳි බලාගන්න ඕනෙ නම් මේකත් භාගත කරගන්න. 
මේක කියෙව්වෙම නැති අයට ආරාධනා කරනවා කියවල බලන්න. මම හිතනව, ඔබට පුළුවන් වේවි යම් යම් ප්‍රයෝජනවත් දේවල් ටිකක් එකතු කරගන්න. 
මේ පොත පිටු 26කින් සමන්විතයි. සරළ සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.

මේක තියෙන්නෙ PDF ගොනුවක් විදිහට. ඒක RAR Archive එකක් විදිහට මුරපදයක් යොදල ZIP Archive එකක් ඇතුළෙ දාල තියෙන්නෙ. ඒක ඇතුළෙ තියෙන Read Me එකේ මේ ලිපියට සබැඳියක් තිබෙනවා. ගොනුවේ ප්‍රමාණය වෙන්නෙ 1.21MB පමණයි. 

මෙන්න බාගන්න ලින්ක් එක. 
http://www.mediafire.com/?gn0jzfdb8e1tecr

මුරපදය වෙන්නෙ "madhawaweblog.blogspot". (Double Quotes නැතිව.)

 ඉතින් අලුතින්ම මේක කියවන අය, කියවල බලල අදහස් කියන්නකෝ.

මේ වගේම තවත් දේවල් ගැන විස්තර ඇතුළත් තවත් පොත් පිංචක් ඔබ වෙත ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. (තාම ලියන්න පටන් ගත්තෙවත් නෑ හොඳේ.)