Saturday, April 28, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 2 කොටස

මතක ඇතිනෙ ගිය සතියෙ ලිපියෙන් කතා කළා මේ සම්බන්ධ දේවල් 10ක් ගැන. කියෙව්වෙ නැති අය මෙතනින් ගිහිල්ල කියවන්න. ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ.


11. ඔබට ශබ්ද ගොනුවක් වාදනය අත්‍යවශ්‍ය නම් එය වාදනය ඇරඹීම භාවිත කරන්නාට කරන්නට දෙන්න.

සමහරක් අවස්ථා වලදි ඔබට යම් දබ්ද පටයක් වාදනය කරවීම අත්‍යවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා. කවුරුන්හෝ පවත්වන කතාවක්, ගීතයක්, වගේ දෙයක්. ඒකට කමක් නෑ, නමුත් අනිවාර්යයෙන්ම ඒක වාදනය කරවීමේ අයිතිය වෙබ් අඩවියට පැමිණෙන්නාට ලබා දෙන්න. ඔහුටම Play බොත්තම ඔබන්නට ඉඩ දෙන්න. 

12. වෙබ් අඩවිය විවිධ Badges වලින් පුරවන්න එපා. 
මේ බැජ් කියල කිව්වෙ විවිධ Networks, Communities වල Logos වැනි දේවල්. මේව තමයි යම් වෙබ් අඩවියක් unprofessional කියල පෙන්වන ප්‍රධානම දේවල් වලින් ටිකක් වෙන්නෙ. ඒ වගේ දේවල් පොඩියට අයිනකින් පමණක් දාන්න. ඒව විතරක්ම නෙමෙයි, ඔබ ලැබූ Awards වගේ දේවල් සම්බන්ධ බැජ් උනත් එච්චරයි, ඒ වගේ දේවල් නම් About Us වැනි පිටුවේ පමණක් යොදන්න. 

13. වෙබ් අඩවියට යන්නට පෙර තවත් නිවෙස් පිටුවක් භාවිත කරන්න එපා. 
සමහර වෙබ් අඩවි වල ඔබ දැකල ඇති අඩවියට ගියාම පොඩි විස්තරයක් නැත්තම් ලොකු රූපයක්/ රූප කිහිපයක් ඇති පිටුවක් ලැබෙනව, ඒකෙ තියෙන ලින්ක් එකක්/බොත්තමක් ක්ලික් කළාම තමයි හරි අඩවියට යන්නෙ. හුඟක් අය හිතනව එහෙම කළාම වෙබ් අඩවියට ලස්සනක් එකතු වෙනවා කියල. වෙන්න පුළුවන්, නමුත් ඒ එක්කම ඔබ අඩවියට එන්නාගේ තරහ අවුස්සනව. ඔබගේ අඩවියේ අන්තර්ගතයට යන්න තිබෙන පියවර ගණන අඩු වෙන්න අඩු වෙන්න තමයි ඔබගේ අඩවියට මිනිස්සු කැමති වෙන්නෙ. 

14. ඔබ සමඟ සම්බන්ධ විය හැකි මාර්ග දක්වන්න අමතක කරන්න එපා.

වෙබ් අඩවියේ තිබෙන දේ සම්බන්ධව කවුරුන්හෝ සමඟ සම්බන්ධ වෙලා විස්තර දැන ගැනීමට නොහැකි වෙබ් අඩවියක් තරම් නරක වෙබ් අඩවියක් නම් නෑ. ඒක අඩවියට එන අයට විතරක් නෙමෙයි, ඔබටත් ගොඩක් පාඩුයි. ඔබට වාසියක් සැළසෙන දෙයක් ඔබට වැදගත් වන තොරතුරක්, දැනගැනීමට තිබෙන අවස්ථාවක් ඔබ නැති කරගන්නවා පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන අනිත් අයට තිබෙන විශ්වාසයත් අඩු වන්නට මෙය හේතුවක් වනවා.

15. Back බොත්තමේ ක්‍රියාකාරිත්වය වළක්වන්න එපා. 

මේක භාවිතයේ පහසුව පෙන්වන සරළම දෙයක්. කුමන හේතුවක් නිසාවත් බැක් බොත්තම ඔබන්නට තිබෙන අවස්ථාව අහුරන්නට එපා. නව වින්ඩෝවක් විවෘත කිරීම මගින් මෙය සිදු වෙනවා. සහ ජාවාස්ක්‍රිප්ට් මගිනුත් මෙය සිදු කළ හැකියි.

16. Blinking Texts භාවිතා කරන්න එපා. 
නිවෙන පත්තුවෙන දේවල් වල කාලෙ ඉවරයි. ඔබ ඉන්නෙ 1996 නෙමෙයි. ඉතින් දැන් මේ ආකාරයේ දේවල් භාවිතා කරන්න එපා.

17. සංකීරණ URL Structures භාවිතා කරන්න එපා.
සරළ, keywords මූලික කරගත් URL structure එකක් භාවිතා කරන්න. මෙමගින් ඔබගේ අඩවියේ Search Engine Ranking එක වැඩි වෙනවා පමණක් නොවෙයි, අඩවියට පැමිණෙන්නාට ඒ ඒ පිටු වලට යන්නට පෙර ඒවායේ තිබෙන්නේ මොනවාද යන්න ගැන වටහා ගන්න ඉඩක් ලැබෙනවා. 

18. HTML වෙනුවට CSS භාවිතා කරන්න. 

ඉස්සට HTML භාවිතා කරල කරපු හුඟක් දේවල් දැන් ඊට වඩා පහසු හා දියුණු ලෙස CSS භාවිත කරල කිරීමේ හැකියාව තිබෙනව. HTML එක්ක CSS එකතු කරගෙන ඔබගේ වෙබ් අඩවිය වඩා වේගවත් හා ශක්තිමත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. සහ CSS මගින් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයකුත් ලබා දෙනවා.

19. ඔබගේ අඩවියට පැමිණෙන්නන්ට අඩවිය තුළ සෙවුමක් කරන්න හැකි විය යුතුයි. 

මේ නිසා තමයි සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලය තුළ විප්ලවයක් ඇති කළේ. ඔබගේ අඩවිය තොරතුරු වලින් පිරී තිබෙන්නක් නම් අනිවාර්යයෙන් මෙය අත්‍යවශ්‍යයි. වෙබ් අඩවි පරිශීලකයාට පහසුවෙන්ම ඔහුට අවශ්‍ය දේ සොයා ගත හැකි විය යුතුයි.

20. Drop Down Menus අවම කරන්න. 

සමහරක් වෙලාවට නම් මෙය අවශ්‍ය වෙනවා. නමුත් සමහරක් වෙලාවට නම් මෙය නරකයි. මොකද කිව්වොත් පරිශීලකයාට කෙලින්ම පහසුවෙන්ම වෙබ් අඩවියේ ඇති දේ දැක ගත හැකිවිය යුතුයි, වෙබ් අඩවිය තුළ පහසුවෙන් එහා මෙහා යා හැකි විය යුතුයි. Drop Down මෙනු වල කොටසක් සැඟවී තිබෙන නිසා සමහරක් අවස්ථා වල වෙබ් අඩවිය තුළ සැරිසරන්නා අන්දමන්ද විය හැකියි.

එහෙනම් මේ ලිපිය මෙතනින් අදටත් මතු සම්බන්ධයි... 
ඔබගේ අදහස් දක්වන්න.

Sunday, April 22, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්

වෙබ් අඩවි හදනකොට හුඟක් අය කරන විවිධාකාරයේ අත්වැරදීම් තිබෙනව. ඉතින් අපි කතා කරමු. මොනාකාරයේ වැරදිද අපි කරන්නෙ කියල. ඇත්තෙන්ම කිව්වොත් අපි බලමු හරි විදිහට කරන්නෙ කොහොමද කියල. මේ බොහොමයක් දේවල්, බොහොමයක් අඩවි වලට අදාලයි. සමහරක් ඒව නම් සාමාන්‍ය දැනීම, සමහරක් නම් එක පාර හිතෙන්නෙ නැති ඒව. අපි කතා කරන්නෙ වෙළඳ අඩවි, බ්ලොග් හැම එකක් ගැනමයි.



1. අඩවියට පැමිණෙන්නා අඩවිය කුමක් පිළිබඳවද යන්න ක්ෂණිකව දැන ගත යුතුයි.

අවධානය කියන්නෙ අන්තර්ජාලය තුළ තිබෙන වටිනාම වස්තුවක්. අඩවියට එන පුද්ගලයාට බැරි නම් ඒ අඩවිය තියෙන්නෙ මොකක් ගැනද කියල තේරෙන්නෙ නැති නම් ඒ ආපු පුද්ගලයා කෙලින්ම ආපහු හැරිල යනව. ඔබගේ වෙබ් අඩවිය තිබෙන්නෙ මොකක් සම්බන්ධයෙන්ද කියල එන පුද්ගලයාට ක්ෂණිකව පණිවිඩය දෙන්න ඔබගේ වෙබ් අඩවියට හැකි විය යුතුයි.

2. අන්තර්ගතය උඩින් යන්නට හැකි විය යුතුයි.
තේරෙන්න කිව්වොත් skim කරන්න පුලුවන් වෙන්න ඕනෙ. මේ පොතක් නෙමෙයිනෙ, අන්තර්ජාලය තුළ තිබෙන එක් වෙබ් අඩවියක්. ඉතින් ලොකු ලොකු පරිච්ඡේද අමතක කරන්න. මමත්, හුඟක් අයත් ලොකු ලොකු ඡේද තිබෙන වෙබ් අඩවි වලට අකමැතියි. උඩින් කියවන් ගිහිල්ල මොනවද තියෙන්නෙ කියල තේරුම් ගන්න පුලුවන් නම් කවුරුත් කැමතියි. කියවන්නාට, තමුන් කියවන දේ පහසුවෙන් වෙන් කරගන්න පුළුවන් ආකාර වලින් තොරතුරු ලබා දෙන්න. උදා: bulleted list, numbered lists, headers, sub headers.

3. කියවන්න අමාරු අමුතු අමුතු ෆොන්ට්ස් දාන්නෙපා.
මේකත් හුඟක් අය කරන වැඩක්. ලස්සන කරන්න කියල එක එක විදිහෙ fancy fonts භාවිත කරනව. ඇත්ත. සමහර ෆොන්ට් මගින් ඔබගේ අඩවියට ලස්සනක්, ගාම්භීර පෙනුමක් ලබාදෙන්න ඉඩ තිබෙනව. නමුත් ඒක කියවන්න අපහසු නම්??? ඔබගේ ප්‍රධාන අරමුණ යම් තොරතුරක්, පණිවුඩයක් ලබාදීම නේද? ඉතින් ඔබ කියන දේ එන කෙනාට කියවන්න අමාරු නම් වැඩක් තිබෙනවාද? එන අය කියවන්න කැමති, ඒ දේ කියවන්න පහසු ලෙස තිබෙනවා නම් පමණයි.

4. ඉතා කුඩා අකුරු ප්‍රමාණ භාවිතා කරන්න එපා.
අංක 3 සම්බන්ධයෙන් කිව්ව දේවල් ටිකම මෙතනටත් අදාල වෙනවා. කියවන්නාට පහසු ලෙස අපි අපේ අඩවියේ අන්තර්ගතය ලබා දිය යුතු වෙනවා. දැන් අප භාවිතා කරන වෙබ් බ්‍රවුසර් වල සූzම් පහසුකම් තිබෙනවා, නමුත් කියවන්නාට එය භාවිතා කරන්නට සිතු උනොත්, බොහෝවිට ඒ එම පුද්ගලයා ඔබගේ අඩවියට එන අවසන් අවස්ථාව වීමට ඉඩ තිබෙනවා.

5. නව බ්‍රවුසර් පැනල (windows) විවෘත කරන්න එපා.
මේකත් ගොඩක් අය කරනවා. අඩවියෙන් පිටත සබැඳියක් විවෘත කරන විට නව වින්ඩෝවක් විවෘතව ඒක තුළ එම සබැඳිය විවෘත වෙන්නට සකසනවා. ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද? ඔබගේ අඩවියට පැමිණි පුද්ගලයා පිටට යන්නට නොදී නවත්වා ගැනීම. මේක හරිම නරක වැඩක්. මමත් මේක ඉස්සර කළා, නමුත් දැන් නෑ. ඔහුට ඉඩ දෙන්න මොකද්ද කරන්න ඕනෙ කියල. ඔබගේ අඩවිය ඔහුට/ඇයට අවශ්‍ය නම් එයාම ඒ සබැඳිය වෙනත් වින්ඩෝවක/ටැබ් එකක ඇර ගනීවි. අනික, නැත්තම් මොකටද බ්‍රවුසර් එකක ලොකු Back බොත්තමක් තිබෙන්නෙ?

6. බ්‍රවුසර් වින්ඩෝව Resize කරන්න එපා. 
ඔබගේ අඩවියට එන පුද්ගලයාට ඕනෙ විදිහට වැඩ කරගන්න ඉඩ දෙන්න. ඔබ බ්‍රවුසර් වින්ඩෝවේ ප්‍රමාණය වෙනස් කළොත් ඒක වෙබ අඩවියට එන පුද්ගලයාට අපහසුතාවයක් වෙන්නට පුලුවන්. ඉතින් ඒක වෙන්න දෙන්න එපා. ඔබට පෙනි පෙනිම ඔබගේ අඩවියට එන කෙනෙක් නැති වේවි.

7. අඩවියේ ලියාපදිංචි වෙන්න බල කරන්න එපා.
කෙනෙක් අන්තර්ජාලය තුළ සැරිසරන්නෙ යමක් හොයාගන්න. ඉතින් අත්‍යවශ්‍යම නම් පමනක් හැර වෙබ් අඩවියන එන පුද්ගලයාගේ ඉමේල් ලිපිනය හා වෙනත් තොරතුරු ඉල්ලල කරදර කරන්න එපා. එහෙම කරන්න තරම් ඔබේ අඩවියේ තිබෙන තොරතුරු වටින්නෙ නැතිනම් ඔහු කවදවත් ආපහු එන එකක් නෑ. නමුත් තොරතුරු ටික වටිනව නම් ඔබේ අඩවියේ ලියාපදිව්චි වෙන්න කෙනෙක් පසුබට වෙන එකක් නෑ.

8. අඩවිය තුළ ලියාපදිංචි වන්නාගේ අවසරයක් රහිතව, ඔහුව කිසිම දේකට Subscribe කරවාගන්න එපා.
මේකත් අපේ හුඟක් අය කරනව මම අත්දැකල තිබෙනව. එහෙම කරල නම් කවදාවත් ඔබට යාළුවො හදාගන්න නම් බැරි වේවි. මොකද ඔවුන්ට ඒක කරදරයක්, හිසරදයක් වෙන නිසා. ඔවුන්ට ඕනෙ නම් පමණක් subscribe වෙන්න ඉඩ දෙන්න.

9. අනවශ්‍ය ලෙස ෆ්ලෑෂ් ඇනිමේෂන් භාවිතා කරන්න එපා.
ඔබගේ වෙබ් අඩවිය ලෝඩ් වෙන්නට ගත වන කාලය ඉතා විශාල වශයෙන් වැඩි කිරීමට අමතරව, එමගින් සමහරක් පැමිණෙන්නන් තරහ ගස්වන්නට එමගින් ඉඩ තිබෙනවා. සාමාන්‍ය HTML, PHP, JScript, DHTML, වැනි දේවල් ව්අලින් දෙන්නට බැරිම දේවල් පමණක් ෆ්ලෑෂ් මගින් දෙන්න. නමුත් දැන් නම් ෆ්ලෑෂ් කියන එක ටික ටික භාවිතයෙන් ඉවත්වේගෙන යනවා. දැන් JQuery වැනි දේවල් වලින් ඉතා පහසුවෙන් පෙරදී ෆ්ලෑෂ් භාවිත කර කරනු ලැබූ දේවල් කළ හැකියි.

10. සංගීත වාදනයන් යොදන්න එපා.
ඉස්සර හැම කෙනෙක්ම වගේ තමන්ගෙ වෙබ් අඩවියේ පසුබිම් සංගීතයන් වාදනය වෙන්නට සැළැස්වුවා. නමුත් ඔවුන්ට වැරදිලා. දැන් නම් කිසිදු සාර්ථක වෙබ් අඩවි නිර්මාණකරුවෙක් එහෙම කරන්නෙ නෑ. එමගිනුත් 90%ක්ම වෙබ් අඩවියට පැමිණෙන්නන් තරහ ගස්වනවා. ඔවුන් යළි එම අඩවියට පැමිණීම නවත්වනවා.

එහෙනම් තවත් "වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්" ටිකක් එක්ක ඊළඟ ලිපියෙන් හමුවෙමු...

ඉතින් කොහොමද?

ඉතින් කොහොමද කට්ටියගෙ සැප සනීප? අවුරුදු ඉවර වෙලා දැන් වැඩ පටන් අරගෙන ඇති. ඉස්කෝලෙ, කැම්පස්, රැකියා, හැම එකක්ම. (ඉස්කෝලෙ පටන් ගන්නෙ නම් හෙටද මන්ද.)
කොහොම හරි, පරක්කු වෙලා හරි, හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අවුරුදු සරුද? මට නම් ඉතින් විශේෂයක් නම් නෑ. පොඩි පොඩි අදහස් ටිකක් ඇවිල්ල ඒව ක්‍රියාත්මක කරන්න ප්ලෑන් කරනව. :) මේ දවස් වල ටිකක් නිදහස්. ෆැක්ටරි එකේ Shut Down. ඒ කීවෙ අවුරුද්දකට සැරයක් අප්‍රේල් මාසෙ අල්ලල ෆැක්ටරි එකේ වැඩ සම්පූර්ණයෙන්ම නවත්තල මාසයක් තිස්සෙ Preventive Maintenance කරනව. පැය 24ම වැඩ කරන ෆැක්ටරි එකක්නෙ. මැයි මාසෙ ඉඳල ආපහු වැඩ පටන් ගන්නව. 
ඉතින් මේ දවස් ටිකේ ෆැක්ටරියෙ වැඩ ගැන බලන්න දෙයක් නෑ, ISO වැඩ ටිකක් හා, තවත් ඩොක්‍යුමන්ට් වැඩ ටිකක් තමා තියෙන්නෙ. ඒ අතරෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන ළමයින්ගෙ හා අපේ වැඩ පහසු කිරීම සඳහා කඩදාසි වල පුරවන තොරතුරු පරිගණකගත කරන්න සොෆ්ට්වෙයා එකක් හදමින් පවතිනව. ඒක නම් කරන්නෙ මගෙ අනිත් මිත්‍රය. මමත් පොඩි පොඩි හෙල්ප් දෙනව. ඒකෙන් අපේ වැඩ උනත් හුඟාක් පහසු වෙනව. 

දවසක් කිව්ව වගේ අලුත් ලිපියක් සකසමින් ඉන්නෙ. "වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්" කියල. ඒක තාම ඉවර නෑනෙ. කොටස් කිහිපයක් වශයෙන් දෙන්න තමා ඉන්නෙ. අද එක කොටසක් දෙන්නම්.

එහෙනම් ඇති. මම ගිහිල්ල එන්නම්.

Tuesday, April 10, 2012

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] පුල කච්චන්නා


ඔන්න ඉතින් කාලාන්තරේකට පස්සෙ බ්ලොග් එකේ මොනා හරි ලියන්න ආව. පහුගිය කාලෙ පෝස්ට් එකක් ලියන්න පට්ටම කම්මැලිකමක් තිබුනෙ. ඉතින් මෙන්න ආව කතන්දරයක් අරගෙන. මම කාලෙකට ඉස්සෙල්ල කියාගෙන ආපු කතන්දර සෙට් එකටම තවත් එකක්. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො සම්බන්ධ ජනප්‍රවාදයක්. මීට ඉස්සෙල්ල කියපු කතා බලල නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහිල්ල කතා ටික හොයාගෙන කියවන්නකො.

හරි, අද කතාව "පුල කච්චන්නා".
අමුතු වචනයක්. දන්න වචනයක්ද? වෙන බාසාවක එකක්ද? කතාව කියවන් යනකොට තේරේවි. :)

අද කාලෙ නැති උනාට අතීතයේ, කුල වාදය තදින්ම තිබුන. ඉහල පැලැන්ති වල කුලත්, පහත්ම තලයේ කුලයනුත්. ඒ කාලෙ සමාජයේ උනු හැම කාර්යයක්ම එක්ක කුල වාදය පැවතුනා. ඒ කාලෙ, හැම ජන කොටසක්ම කොයිම හරි විදිහකට රජ මාළිගයට සේවාවක් කළ යුතු වෙනව. ඉතින් ඒ කරන කාර්යය අනුව ඒ මිනිස්සු උසස් පහත් කුල වලට බෙදෙනව. 

හරි. ඉතින් ඔන්න එදා පසළොස්වක දවසක්. පළාතෙ දානපතියෙක්ගෙන් දනට වඩින්න ආරාධනාවක් ආව. ඉතින් ගුරු හාමුදුරුවොයි, රාහුල පොඩි හමුදුරුවොයි ඔන්න දානෙට වඩිනව. ඔය අතරමඟ ගොඩක් මඩ වගුරු සහිත ප්‍රදේශයක් පසු කරල යන්න මේ දෙනමට සිද්ද වෙනව. ඔන්න අමාරුවෙන් අමාරුවෙන් වඩින අතරෙ හදිසියෙම කොහෙන්ද මන්ද ආපු කොලු ගැටයෙක් "පුල කච්චන්නා පුල කච්චන්නා" කියල කෑ ගහගෙන උන්නාන්සෙල පහු කරල දුවගෙන ගියා. 
ඉතින් මේ වචනෙ ඇහෙනකොටම ගුරු හමුදුරුවො, මේක මොන භාෂාවෙ වචනයක්ද, පාලිද සංස්කෘතද, වෙන බාසාවක එකක්ද කියල හිතන්න උනා. කොහෙද මතකෙට එන්නෙම නෑ, හැබැයි ඒකෙ තේරුම මේ දිව් අග තියෙනව වගේ, ඒත් මතක් වෙන්නෙම නෑ. ඉතින් ගුරු හාමුදුරුවො ඕක ගැනම හිත හිත මග වගුරු වලත් වැටි වැටි යනව. රාහුල හාමුදුරුවන්ට කිසිම තේරුමක් නෑ මොකද්ද මේ ලොකු හාමුදුරුවො පැටලිලා ඉන්න පඹ ගාල ගැන. 
ඔන්න අර දානපතියගෙ ගේත් පහු කරගෙන ලොකු හාමුදුරුවො වඩිනව. රාහුල හාමුදුරුවො බලනව මේ මොකෝ කියල. දෙන් දානෙටත් වෙලාව ලඟයි. රාහුල හාමුදුරුවන්ට ඉන්ටම බැරි තැන ලොකු හමුදුරුවන්ගෙන් අහනව "ලොකු හාමුදුරුවනේ, දානෙටත් වෙලාව ලඟයි, දැන් අපි දානෙ ගෙදරත් පහු කරගෙන හුඟක් දුර වැඩිය" කියල. ඔන්න එතකොටයි ලොකු හාමුදුරුවන් පියවි සිහියට ආවෙ. ඉතින් දෙන්න ආපහු හැරිල ගියා.

දානෙ වැළඳුවට මොකද වෙන සිහියක. අර වචනෙ තේරුම ගැනමයි හිතන්නෙ. ගැටළුවක් ආවම ඒක විසඳන්නෙ නැතිව වෙන වැඩක් කරන්න බැරි පුරුද්දක් උන්නාන්සෙට තිබෙනව. ඉතින් හරියකට දානෙ වැළඳුවෙත් නෑ, උපාසක මහත්තය අහනව ලොකු හාමුදුරුවන්ගෙන් මොකක් හරි අසනීපයක්වත්ද කියල. 
ඉතින් දානෙ අවසන් වෙලා පංසලට ආව විතායි ලොකු හාමුදුරුවො පොත් ගුලට ගිහිල්ල තියෙන තියෙන ශබ්දකෝෂ පෙරල පෙරල "පුල කච්චන්නා" කියන වචනෙ තේරුම හොයනව. නමුත් කිසිම පොතක ඒ වචනෙ නෑ. හොයාගන්න විදිහක්ම නෑ.
රාහුල හාමුදුරුවන්ටත් මේ වෙනකොට විවිධ භාෂා කිහිපයක් ගැනම හොඳ දැනුමක් තිබෙනවා. නමුත් ගුරු හිමියන්ට හිතෙන්නෙ නෑ ගෝල හිමියන්ගෙන් මේ ගැන විමසන්ට. ඒත් ගැටළුවට උත්තරයක් ඇත්තෙම නෑ, ඉතින් ගුරු හාමුදුරුවො තීරණේ කළා රාහුල හාමුදුරුවන්ගෙන් මේ ගැන විමසන්න.

"රාහුලට මතකද අපි අර දානෙට වඩිනකොට කොලු ගැටයෙක් පුල කච්චන්නා කියාගෙන දිව්ව? රාහුල දන්නවයි ඔය වචනෙ තේරුම?"

ඔන්න දැන් තමා රාහුල හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවො පැලලිලා උන්නු පඹගාල ගැන තේරුනේ.

"අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මෙච්චර වෙලා හෙව්වෙ ඕක ගැනද? අපේ හාමුදුරුවනේ දන්නව ඇතිනෙ, ඒ හරියෙ පාරෙ එක පැත්තක ඉන්නෙ රදා කුලේ උදවිය, අනිත් පැත්තෙ කුඹල් කුලේ උදවිය. ඉතින් ඔය දෙපැත්තෙ කොල්ලො දෙන්නෙක් රණ්ඩුවක පැටලෙන්ට ඇති. ඔය දුවපු කොල්ල රදා කුළේ එකෙක් වෙන්න ඕනෙ. ඉතින් ඒ කොල්ල ගහයි කියන බයට වෙන්න ඕනෙ බැන බැන දිව්වෙ."

"ඉතින් රාහුල, මොකද්ද එතකොට ඒ කිය කියා ගිය වචනෙ තේරුම???" ලොකු හාමුදුරුවන්ට හරිම ප්‍රශ්නයක්.

"ඉතින් හාමුදුරුවනේ කොල්ල බයට වචනෙ නොපිට හරවලයි කිය කියා ගියේ, කල පුච්චන්නා කියන එක." කියල ඔන්නෙ රාහුල හාමුදුරුවො ප්‍රෙහෙළිකාව විසඳුව.

Tuesday, March 20, 2012

ඇන්ටන් ජූඩ් මහතාට නිවන් සුව!!!

කාලෙකට පස්සෙ පෝස්ට් එකක් ලියන්න ගත්තෙ, දුක හිතෙන ආරංචියක් දැකල. අද දෙරණ අඩවියට ගියාම දැක්ක නිවුස් එකක්. අපි කවුරුත් දන්න ඇන්ටන් ජූඩ් මහතා මිය පරලොව ගිහිල්ලලු. අසනීප වෙලා රෝහලට එක්කන් යනකොටම නැති වෙලාලු. :'(
මම ආසම කරපු නළුවෙක් තමයි එතුමා. 90%ක්ම එතුමා රඟපෑ චරිත හාස්‍යජනක චරිත තමයි, ඒ චරිත වලින් ලස්සනට ඒ හාස්‍ය මතු කරල ගත්තු පුද්ගලයෙක්. සබඳ පබිලිස් නාට්‍යයේ රඟපෑ චරිතයට එහෙම මම මාරම කැමතියි. 

ඔහු ගැන මම වැඩි දෙයක් නම් දන්නෙ නම් නෑ, නමුත් විඩියෝ ටිකක් තියෙනව, ඔහුගේ මතකයන්ගෙන්. 









අපි හැම ඇන්ටන් ජූඩ් මහතාට නිවන් සුව පතමු!!!.

Saturday, February 4, 2012

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" පළමු සංස්කරණය නිකුත් කෙරේ

කට්ටියට මතක ඇති මම පොඩි පොත් පිංචක් හදල ඔයගොල්ලන්ට දුන්න "ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියන නමින්. ඒක ඔයාලට ලබාදුන්නේ, මගෙ බ්ලොග් එකේ 2010 අන්තිම ටිකේ ලියපු ලිපි ටිකක තිබුණු අන්තර්ගතය භාවිතා කරලයි. මේ වෙනකොට ඒක 441 වතාවක් කට්ටිය භාගත කරගෙන තිබෙනවා.
ඉතින් ඒකට අදහස් දුන්න කියවපු සමහරක් දෙනා. පොඩි පොඩි අවුල් ටිකකුත් තිබුන කිව්ව. ඉතින් මම මේ දවස් ටිකේ ඒකෙ ඒ තිබ්බ අවුල් ටිකක් හදල අලුත් සංස්කරණයක් ලෙස ඒ පොතම දැන් ඔබ වෙත ලබා දෙනවා. 

ලොකු වෙනස්කම් වෙලා නෑ. වෙනත් වෙබ් අඩවි වලට දීල තිබුණු සබැඳි සමහරක් වැඩ කරන්නෙ නෑ කියල තිබුණු නිසා හැම සබැඳියක්ම සමඟ ඒ වෙබ් පිටුවේ ලිපිනය වෙනමම දැම්ම. පොඩි පොඩි වැරදි ටිකක් හා formatting දෝෂ ටිකක් හැදුව. ඉතින් මුල් එක භාගත කරගත්තු අයට ඒකෙ වැඩ කළේ නැති සබැඳි බලාගන්න ඕනෙ නම් මේකත් භාගත කරගන්න. 
මේක කියෙව්වෙම නැති අයට ආරාධනා කරනවා කියවල බලන්න. මම හිතනව, ඔබට පුළුවන් වේවි යම් යම් ප්‍රයෝජනවත් දේවල් ටිකක් එකතු කරගන්න. 
මේ පොත පිටු 26කින් සමන්විතයි. සරළ සිංහල භාෂාවෙන් තමයි ලියල තියෙන්නෙ.

මේක තියෙන්නෙ PDF ගොනුවක් විදිහට. ඒක RAR Archive එකක් විදිහට මුරපදයක් යොදල ZIP Archive එකක් ඇතුළෙ දාල තියෙන්නෙ. ඒක ඇතුළෙ තියෙන Read Me එකේ මේ ලිපියට සබැඳියක් තිබෙනවා. ගොනුවේ ප්‍රමාණය වෙන්නෙ 1.21MB පමණයි. 

මෙන්න බාගන්න ලින්ක් එක. 
http://www.mediafire.com/?gn0jzfdb8e1tecr

මුරපදය වෙන්නෙ "madhawaweblog.blogspot". (Double Quotes නැතිව.)

 ඉතින් අලුතින්ම මේක කියවන අය, කියවල බලල අදහස් කියන්නකෝ.

මේ වගේම තවත් දේවල් ගැන විස්තර ඇතුළත් තවත් පොත් පිංචක් ඔබ වෙත ඉදිරියේදී ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. (තාම ලියන්න පටන් ගත්තෙවත් නෑ හොඳේ.)

Monday, January 30, 2012

අලුත් අවුරුද්ද, අලුත් ජොබ් එක, ISO, උපන්දින, තවත් දේ.

අලුත් අවුරුද්ද ගැන නම් කතා කරන්න හොඳටම පරක්කු වැඩී, ඒත් මොනා කොරන්ඩද, මගෙ මේ මඟුල් කබල් කොම්පියුටරේ එක්ක වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. විනාඩි 5ක වැඩක් කරන්න පැය බාගයක් යනව. පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියල හැමදාම හිතනව, ඒත් මේක දාගත්තම එපා වෙනව, ෆිල්ම් එකක් බලල නිකා ඉන්නව. මේ ලියන්නෙත් නෝට්පෑඩ් එකේ, මේකෙන් කොපි පේස්ට් කරල ගන්නව. 

ඉතින් අලුත් අවුරුද්ද කට්ටියට හොඳ ඇති කියල හිතනව. මට නම් පොඩි පොඩි වෙනස්කම් ටිකක් උනා, ඒත් එච්චර දේවල් නෙමෙයි. 2012, ලෝක විනාසෙ වෙනවයි කියන අවුරුද්දනෙ. මමත් එක දවසක් ලෝක විනාසෙ ගැන ලිපියක් ලිව්ව, කට්ටිය කියෙව්වද දන්නෙ නෑ. ඒක හැබැයි ටිකක් වෙන්ඩ scientific එකක් හොඳේ. 

පරණ අවුරුද්දෙ අන්තිම මාසෙ 9 වෙනිද, මම ජොබ් එක කරමින් උන් මාග ඉංජිනේරු ආයතනයෙන් ඉවත් වෙලා දෙසැම්බර් 12 වනදා අලුත් තැනක ජොබ් එකට ගියා. පෝස්ට් එක නම් එකමයි, Quality Assurance Executive, තැන Lanka Walltiles PLC. මීපේ තිබෙන ලංකා වෝල් ටයිල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ. 
 යාම් ඊම් නම් හරිම පහසුයි. ගෙදර ඉඳන් 1.2km වගේ. මම එතනම Training හිටපු නිසා මට කිසිම කරදරයක් නැතිව වැඩ ටික නම් අල්ලගන්න පුළුවන් උනා. ඒත් තව මදි. ශිෆ්ට් එකට වැඩ කීවට, ශිෆ්ට් එකට නොවන වෙලාවලුත් තිබෙනව. (6.00 - 14.00 හා 14.00 - 22.00 ශිෆ්ට් දෙක පමණයි.) එතනත් අවුලක්, හිටපු QA executive කෙනෙක් යනව. (ගිය සිකුරාද ඉඳල එයා නිවාඩු දාල නැවතුනා.) තව එක්කෙනෙක්ව ගත්ත ජනවාරි වල. ඒත් ඒ මනුස්සය ටයිල් ගැන කිසිම දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් අද ඉඳල මම හා අලුත් එකා එක ශිෆ්ට් එකේ ඉන්නව, ලොකු ප්‍රශ්න ආවෙ නැති උනොත් එච්චරයි. ඌත් පුරුදු වෙලා, තව supervisor කෙනෙකුත් වැඩට අලුතින් ආවම, මම ශිෆ්ට් එකෙන් නිදහස් වෙනව. එතකොට මගෙ වැඩ වෙන්නෙ ISO වැඩ. (ඒ කිව්වෙ, ෆැක්ටරි එක ISO 9001 හා ISO 14001 තත්ව සහතික ලබාගෙන තිබෙනවා, ඒව පවත්වාගෙන යාමට අදාල වැඩ). කොහොම හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි. :)
 
ඒ අස්සෙ කොම්පැනියෙන් මාව යැව්ව ට්‍රේනිං එකකටත් "ISO 9001 and Internal Auditing". බලන්න වෙන කොම්පැනි ඕවට කට්ටිය යවන්නෙ ඒ මනුස්සය permanant එහෙම උනාට පස්සෙ. මේකට ගිහිල්ල මාසයයි යැව්ව ට්‍රේනිං එකකට. :) මේක ගිය සතියෙ SLSI එකේ තිබුනෙ. ඒකෙන් කැම්පස් එකේ Total Quality Management විෂයට ඉගෙනගත්තු අමතක වෙලා ගිය ගොඩක් දේවල් මතක් කරගන්නත්, අලුතින් ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් උනා. මමත් දැන් Certified, ISO 9001 Internal Auditor කෙනෙක්. :) හැබැයි එහෙම උනා කියල එක පාරම audit කරන්න යන්න බෑ, observer කෙනෙක් විදිහට audit කිහිපයකට සහභාගි උනාට පස්සෙ තමා මටම audit කිරීමේ හැකියාව ලැබෙන්නෙ.
Quality Mangement පැත්තෙන් ඉස්සරහට යන්න ඕනෙ නම් ඔයාලටත්, SLSI  එකේ තිබෙනව ඉතාම හොඳ පාඨමාලා ටිකක්. එක් දින පාඨමාලා, තෙදින, සතියක, සති කිහිපයක, මාස 6ක ඩිප්ලෝමා පාඨමාලාව. මිල ගණං නම් හරියටම මතක නෑ. 3750, 8500, 11500, 50000 වගේ අවට ගණං තමා පිළිවෙලින්.
 
ඊළඟට, වෝල්ටයිල් එකේ ISO 14001 External Audit (Survelence Audit) එකත් තිබුනෙ ගිය සතියෙ. ඒකටත් මහන්සි උනා. SLSI එකෙන් කට්ටිය ඇවිල්ල Audit කරල බලනව, අපි හරි විදිහට ISO 14001 ක්‍රියාත්මක කරනවද කියල. (ISO 14001 - Environmental Management System - පරිසර කළමණාකරණ පද්ධතිය) ඒකෙත් අවුලක් උනේ නෑ. Minor Nonconformities 3ක් ආව. ඒව හරිගස්සල එයාලට කියන්න ඕනෙ මාස 2ක් ඇතුළත.

ඉතින් මේ හැම වැඩක්ම නිසා ගිය සතිය නම් මාරම බිසී සතියක් උනා.
ඊලඟට, මගෙ උපන්දිනේ පසුගිය 27 වෙනිදට වැටිල තිබුනලුනෙ. :) මට දැන් එතකොට වයස 26ක්ලු. හ්ම්ම්. ටික ටික නාකි වෙනව නේද අපි? :( ඇයි මගෙ හොඳම මිතුරියකගෙ උපන්දිනයකුත් මේ ඊයෙ තිබ්බනෙ. අපේ නිපුසා හෙට්ටිවට්ටගෙ. ;) අන්න එයාටත් සුභ උපන්දිනයක් පතනවා. (මම කතා කොළා, මෙන්න මෙයා කළුතර බෝධිය වඳින්න යනවලු, කොහෙන් ගියාද දන්නෙ නෑ, සිග්නල් තිබුනෙම නෑ. :( සාමාන්‍යයෙන් නම් හොරණ හරහා ගියොත් සිග්නල් නැති තැන් නම් තියෙන්න විදිහක් නෑ. :D )

මම කරගෙන ආපු "Photography සිංහලෙන්" වෙබ් අඩවිය තාක්ෂණික ප්‍රශ්න ටිකක් නිසා වසා දැමුනා. නමුත් අලුත්ම අදහස් ටිකක් හා, අලුත්ම දේවල් ටිකක් එක්ක, අලුත්ම අඩවියක් මේ දවස් වල හදමින් ඉන්නව PhotographyLK නමින්. ඒකෙත් වැඩ ගොඩක් තියෙනව. මාර්තු මාසෙ වගේ දියත් කරන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ.

වැදගත්ම දෙයක් කියන්න තියාගත්ත අන්තිමට. මගෙ ආදරවන්තිය මාළිගාගෙ Research Project එක ගැන ගිය සතියෙ විදුසර (25 වනදා) පත්‍රයේ පිටු බාගයක ලිපියක් ගියා. (පත්තරේ තියෙනව නම් බලන්න, අන්තිම පිටුවෙ (පිට පැත්තෙ) පහළ ලිපිය) ඒ ගැන හරිම සතුටුයි.  ලොකු ජයක් ඒක. එයා ඒක International Journal එකකටත් යවල තියෙන්නෙ, ගිය සතියෙ corrections කරන්න ඕනෙ කරන තැන් කියල ආපහු එවල තිබුන, ඒකත් බොහෝවිට පළ වන්නට ඉඩ තිබෙනවා. ඒත් මේකටත් වඩා විදුසර පත්‍රයේ ලිපියයි වැදගත්, මොකද සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් ඒකනෙ.
ඒගොල්ලන්ගෙ Convocation එකත් ලබන සතියට යෙදිල තියෙනව. (පෙබරවාරි 7) ඒ දවස තවත් විශේෂයි, එයාගෙ උපන්දිනේ. ලස්සන උපන්දින තෑග්ගක් වගේ. <3

ඔන්න ඕව ගැන තමා බ්ලොගෝලය පැත්තෙ මම ආපු නැති කාලෙ මට සිද්ද වෙච්ච විශේෂ දේවල්. මම ආපු නැති කාලේ එක එක දේවල් මේ පැත්තෙන් වෙලා තිබ්බ කියල වටින් ගොඩින් ආරංචි ආව. බලන්න ඕනෙ ටිකක් වටේ ඇවිදල. කොහෙද, වෙලාව තිබ්බත්, මේ මඟුල් මැසිම එක්ක වැඩ කරන්න හරිම අමාරුයිනෙ.
ඉතින් දැනට නවතින්නම්.
බ්ලොගෝලයේ ඉන්න සියළුම සහෝදර සහෝදරියන්ට ජයග්‍රාහී නව වසරක් ප්‍රර්ථනා කරනව. (පරක්කු උනු එක ගැන සමාවෙන්ට. )

Tuesday, December 27, 2011

ඔබගේ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න වසර අවසානය යොදාගන්නේ කොහොමද?


මේ වසර අවසාන නිවාඩුවෙ, ඔබ මොන ආකාරයේ බ්ලොග් ලියන්නෙක් වෙන්නද හිතන් ඉන්නෙ?
තමන්ගෙ බ්ලොග් එක තව ටිකක් වැඩි දියුණු කරගන්න හිතාගෙන ඉන්නවද, නැත්තම් බඩ පැලෙන්න කනවද? :D