Tuesday, May 17, 2011

Widgets

වර්ෂ 2012, සූර්ය කුණාටු යනු ලෝක විනාශයද???



වර්තමාන ලෝකය, නව තාක්ෂණය මත බොහෝ සේ රඳා පවතින්නකි. එය හුදු පැවැත්ම සඳහාම පමණක් නොවන අතර වර්තමානයෙහි නව තාක්ෂණය මිනිස් ජීවන රටාවෙහි අංගයක් බවට පත්ව ඇත්තේ ගසට පොත්තක් පොත්තට ගසක් යන පැරණි කියමන තව දුරටත් අර්ථ ගන්වමිනි. විදුලි බලය, සන්නිවේදන තාක්ෂණය නොමැති ලෝකයක් ගැන අප හට සිතා ගැනීමටවත් නොහැකි තරම්ය.

මෙම තාක්ෂණය මත රඳා පැවතීම, නැතහොත් එය මිනිස් ජීවන රටාවේ කොටසක් බවට පත්ව තිබීම, පරිසර නියමයන්ට පටහැනිව යාමකි. ස්වභාවධර්මයට අනුව එය බරපතල වරදකි. ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද ස්වභාවික විපත් නමැති දණ්ඩ නීති සංග්‍රහය මගින් දැනටමත් තාක්ෂණයට ගැති ලෝකයා දඬුවම් විඳියි. මෙය දිනෙන් දින උග්‍ර වන බව, පසුගිය කාලය දෙස ආපසු හැරී බැලීමේදී අප හට පසක් වන කරුණකි.

මෙම ස්වභාවික සංසිද්ධීන් මගින් ඇති වන ප්‍රථිවිපාක වලට බොහෝ සේ වෙනස් ආකාරයෙහි විපතක් නුදුරු අනාගතයේදී පෘථිවි වැසියන්ට අත් විඳීමට සිදුවනු ඇත. එය මුළු මහත් ජීවී සංහතියටම කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ගැටළු ලඟා කරන සිදුවීමක් වනු ඇත. පරමාණු බෝම්බ වැනි විනාශකාරී මිනිස් නිර්මාණ වලින් හැරුනු කොට, එතරම් විනාශයක් කළ හැකි එනම් අපගේ සියළුම අත්‍යවශ්‍ය පද්ධතීන් වල පූර්ණ ඇද වැටීමක් සිදු කිරීම තනිවම කළ හැකි, ස්වභාවික විපත් නොමැති බව යමෙකුට පැවසිය හැකි වුවත් සත්‍ය තත්ත්වය ඊට සපුරා වෙනස් ආරක් ගනී. න්‍යෂ්ටික උපද්‍රව වැනි අමානුෂික විනාශයන් මිනිසාටම වළක්වා ගත හැකි වුවත්, අමානුෂිකව සිතන මිනිස් වර්ගයා කෙරෙහි ස්වභාවධර්මයාගේ ප්‍රතිචාර දැක්වීම කිසිවෙකුට වැළක්විය නොහැකිය. භයානකම සංසිද්ධිය නම් එවැනි විශාල විනාශයක් සිදු කළ හැකි උපද්‍රවයකට පෘථිවි ජීවීන් ඉතා ආසන්නව සිටීමයි. එය නමින් "සූර්ය කුණාටු"!!!

සූර්ය කුණාටු ඇති වන්නේ සූර්ය පෘෂ්ඨය මත ඇති වන සූර්ය ලප වල ප්‍රථිපලයක් වශයෙනි. සාමාන්‍යයෙන්, සූර්ය ලප වසර 11කට වරක් ඇති වන්නකි. චක්‍රාකාරව සිදුවන මෙම ක්‍රියාවලිය අවසන් වරට එහි උපරිමයට ලඟා වූයේ 2001 වර්ෂයේදීය. ආරම්භ වූ පසු එය වසර කිහිපයක් දක්වා පවතින මෙම සූර්ය ලප වල මීළඟ චක්‍රය එහි උපරිමයට ලඟා වන්නේ වසර 2012දී යයි දත්ත වාර්තා මගින් තහවුරු කර ඇත!!!. දැන් අපි සිටින්නේ පසුගිය වසරේ ඇරඹි එම චක්‍රයේ ආරම්භක අවධියේයි.

සූර්ය ලපයක්, විටින් විට ඇති වන දරුණු පිපිරීම් ඇති කරනු ලබයි. මෙම පිපිරීම් සිදුවීමේදී, ආලෝක තරංග, ගැමා විකිරණ, එක්ස් කිරණ සහ විශාල වශයෙන් ආරෝපිත අංශු (coronal mass ejections) අවකාශයට මුදා හරිනු ලබයි. යම් සූර්ය ලපයක් එම පිපිරීම් අවස්ථාවකදී පෘථිවිය දෙසට මුහුණලා තිබේ නම්, එම පිපිරීමෙන් නිකුත් වන ආරෝපිත අංශු, ඒවායේ ශක්තිය හා වේගය මත, පැය 1-4 කාලයක් ඇතුළත පෘථිවි වායුගෝලයට ඇතුළු වෙයි. ආලෝකයේ වේගයෙන් ගමන් කරන අනෙකුත් විකිරණ, මිනිත්තු 8ක පමණ කාලයකින් පෘථිවියට ලඟා වේ.

සූර්යයා මත ඇති වන ප්‍රභල සූර්ය ගිනිසිළුවක්, නිත්‍ය වශයෙන්ම පෘථිව්යට හා එහි පද්ධතීන්ට තදින්ම බලපානු ලබයි. පෘථිවිය මත ඇති සියළු සජීවී හා අජීවී ක්‍රියාකාරී පද්ධතීන්ටද බරපතල හානි සිදු කිරීමට ඊට හැකියාවක් පවතී.

අජීවී පද්ධති සැළකීමේදී, මෙය සෘජුවම විදුලි බලය හා සන්නිවේදන තාක්ෂණය කෙරෙහි ඉහළ බලපෑමක් ඇති කරන්නේ, ඒ සමඟ බැඳී සිටින මිනිසාටද ඔහුගේ ක්‍රියාකාරකම් වලටද බොහෝ බලපෑම් ඇති කරමිනි. සුර්ය කුණාටුවක් මගින්, විදුලි පද්ධතිය මත විශාල ධාරවන් ඇති කිරීමක් සිදු කරනු ලබයි. එනිසා එම පද්ධති වල පවතින ආරක්ෂක පද්ධතීන් හරි හැටි ක්‍රියාකාරී නොවීම නිසා විදුලිය බිඳ වැටී, සම්පූර්ණ විදුලි බල පද්ධතියම අක්‍රිය වීම විය හැකිය. විදුලිබලය වනාහී බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වන්නකි. 1989 මාර්තු මාසයේදී, බරපතල භූ චුම්භක කුණාටුවක් නිසා විශාල විදුලි බල පද්ධති (Hydro-Quebec's Electricity Transmission System) බිඳ වැටීමක් සිදු වූ අතර එය පැය 9ක් දක්වා අක්‍රියව පැවතිනි. එම ආරෝපිත අංශු නිසා හා එක්ස් කිරණ නිසා අයන ගෝලයේ ඇති වන වෙනස්කම් හරහා සන්නිවේදන පද්ධති සම්පූර්ණයෙන්ම වාගේ අඩපණ විය හැකිය. පෘථිවි  කක්ෂ‍යේ රඳවා ඇති ඇමරිකානු ඩොලර් බිලියන 200ක් තරම් වටිනා චන්ද්‍රිකා වලටද බරපතල හානි කිරීමට ඊට හැකියාව පවතී.

සජීවී පද්ධති සැළකීමේදී, විකිරණ විශවීම් නිසා ජීවීන්ට විශාල බලපෑම් සිදුවිය හැකිය. මෙම විකිරණ මගින් සත්ව ශරීර වල ඇති DNA අණු වලට හානි සිදුවිය හැකි අතර එම හානි කෙටිකාලීන හෝ දිගුකාලීන විය හැකිය.

පසුගිය වසර 200ක කාලය තුළ ඇතිවූ බරපතලම සූර්ය කුණාටුව ඇති වුනේ 1859 වර්ෂයේදියි. එම කුණාටුව මුලින්ම වාර්තා කළ රිචර්ඩ් කැරිංටන් නම් අභ්‍යාවකාශගාමියාට ගෞරවයක් වශයෙන් මෙය "කැරිංටන් සංසිද්ධිය" (Carrington Event) නමින් අඳුන්වනු ලැබිනි. මෙම පණිවිඩය, ඇමරිකාව මගින් යුරෝපයට හා ලෝකයේ අනෙකුත් රටවල් වලට පවා ටෙලිග්‍රාෆ් පණිවිඩ හරහා සන්නිවේදනය කරනු ලැබ තිබේ. එම ගිනිසිළුව කෙතරම් විශාලද යත්. පියවි ඇසට පවා පැහැදිලිවම පෙනී තිබෙන අතර එමගින් ඇති කරනු ලැබූ ඌෂාලෝකය හෙවත් අව්රෝරාව (සූර්යයාගෙන් පිට වන ආරෝපිත අංශු පෘථිවි වායු ගෝලයේ අයන ගෝලය හා ගැටීමේදී ඇති වන ඝර්ෂණය කරන කොට ගෙන, එම අංශු දීප්තිමත්ව දැවීමක් සිදුවේ. මෙම අවස්ථාවේදී පිට වන ආලෝකය නිසා අහසේ ඇති වන ආලෝකමත් රටා ඌෂාලෝක නමින් හැඳින්වේ.), සමකාසන්න රටවල් වන කියුබාව, හවායි වලට පවා දර්ශනය වී තිබේ. එම ඌෂාලෝකය මගින් ඇතිවූ ආලෝකය නිසා උතුරු ඇමරිකාවේ රොකී කඳුකරයේ පදිංචිව සිටි රන් ආකර වල පතල් කනින්නන් උදෑසන යයි සිතා අවදි වී වැඩ ආරම්භ කිරීමට සූදානම් වූවා යයිද පැවසේ.

ඉතින් මෙවැනි සිදුවීමක් වර්තමානයේදී සිදු වුවහොත්, අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් වල ඇති අන්තර් සබඳතාවයත්, සන්නිවේදන හා විදුලි සැපයුම් පද්ධති වල ඇති සබඳතාවයත් නිසා, සිදුවිය හැකි විනාශය අති මහත් වන්නට ඉඩ තිබේ. ඉහළ චුම්බක ක්ෂේත්‍රයක් සහිත ධ්‍රැවාසන්න ප්‍රදේශ වලට, කුණාටුවෙන් පිට වන ආරෝපිත අංශු වැඩි වශයෙන් ඇදී යාම නිසා ධ්‍රැවාසන්න රටවල් වලට මෙමගින් සිදු වන හානිය වඩා විශාල වීමට ඉඩක් ඇති නමුදු වාසනාවකට ශ්‍රී ලංකාව සමකාසන්න රටක් වීම සූර්ය කුණටු වලින් අපට සිදුවිය හැකි විනාශය යම් ප්‍රමාණයක් අවම වන්නට හේතුවක් වෙයි. නමුත් විකිරණ වලින් සිදුවන බලපෑම  ඉහළ තත්වයක පවතී.

මෙවන් ස්වභවික විපතක් විය හැකි කාල වකවානු, එවන් විපත් වල විශාලත්වය, 100%ක් නිවැරදිව කිසිවෙකුට පැවසිය නොහැකිය.එම නිසා අප සියළු දෙනාගේම වගකීම වන්නේ, සියළුම වියහැකියාවන් පිළිබඳව අවධානයෙන් සිට ක්‍රියාත්මක වීමයි. පෙරසූදානම, සාර්ථකව ක්‍රියාත්මක වීමටද, ආරක්ෂාකාරී වීමටද, ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

6 comments:

  1. වැදගත් ලිපියක් මචං

    ReplyDelete
  2. වැදගත් ලිපියක් අයියෙ..

    ReplyDelete
  3. වැදගත් කරුණු ටිකක් දැන කියා ගත්තා............

    ReplyDelete
  4. ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.