මේක ලියන්න ටික දවසක ඉඳල හිතන් හිටියත් ලියන්න බැරි උනා. අද ලියන්න හිතුව. මේක ඇවිල්ල බස් කතාවක්. (කතන්දරයක් නෙමෙයි) මම රැකියාවට යන්නෙ එන්නෙ High Level පාරෙ 122 - අවිස්සාවේල්ල පිටකොටුව බස් වලයි (මේපේ සිට නුගේගොඩට; දුර කි. මී. 24යි.) උදේ 6ට මීපෙන් පිටත් වෙන මම හවස 5.30ට නුගේගොඩින් බස් එකකට නගිනවා. සාමාන්‍යයෙන් මේ වෙලාවල් වලට 122 බස් තියෙන්නෙ මිනිත්තු 10කට වගේ සැරයක්. නමුත් මේ මාර්ගයේ ඒ වෙලාවල් වලට ගමන් කරන මගීන් ප්‍රමාණයට මේ බස් ප්‍රමාණය හොඳටම මදි. (අනෙකුත් වෙලාවල් වලට නම් හොඳටම ප්‍රමාණවත්) හවසට එහෙම යන්නෙ හොඳටම තෙරපිලා. උදේටත් ඒකෙ ලොකු වෙනසක් නෑ.
ඕක නෙමෙයි මම කියන්න හදන නෝක්කාඩුව. ඒක කියන්න ඉස්සෙල්ල මේ මාර්ගයේ යන අනෙකුත් බස් ගැනත් ටිකක් කියන්නම්.
122 - අවිස්සාවේල්ල සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 53, බසයක් එන්නේ මිනිත්තු 10කට පමණ වරකි.)
138 - හෝමාගම සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 23, මිනිත්තු 5කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - කොට්ටාව සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 19, මිනිත්තු 2කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - මහරගම සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 15, මිනිත්තුවකට පමණ වරක් බසයක් පැමිණෙයි.)
මේ දත්තයන් සළකා බැලුවොත් පෙනෙන්නෙ, අනෙකුත් ඒවාට සාපේක්ෂව අවිස්සාවේල්ල බස් දුර ගමන් බසයක් වන බවයි.
මීට අමතරව දුර ගමන් බස් ලෙස රත්නපුර - කොළඹ, ඇඹිලිපිටිය - කොළඹ හා බදුල්ල කොළඹ කියන්න පුළුවන්. සහ කොටසක් දුර ගිහිල්ල ගොඩගමින් හරවන 125 පාදුක්ක - පිටකොටුව හා 125 ඉංගිරිය - පිටකොටුව බසුත් තිබෙනවා. මම ඒව ගැන කතා කරන්න යන්නෙ නෑ.
දැන් නෝක්කාඩුවට එන්නම්. නුගේගොඩින් හවසට බසයට නැගල තෙරපිලා අමාරුවෙන් ඉන්නකොට මෙන්න ඉඳගෙන ඉඳන් කට්ටිය දෙල්කඳින්, විජේරාමෙන්. මහරගමින් බහිනවා. එහාට මෙහාට හැරෙන්නවත් ඉඩ නැතිව ඉන්න අපිවත් පෙරලගෙන තෙරපගෙන, මෙයාලත් පුදුම කට්ටක් කාගෙන, අපිට ඊටත් වඩා කට්ටක් දීගෙන තමා මොවුන් බැහැල යන්නෙ.
අනේ මම අහන්නෙ, අර තරම් මහරගමට බස් තියෙද්දි, අර තරම් කොට්ටාව බස් තියෙද්දි, අර තරම් හෝමාගම බස් තියෙද්දි, ඒවයේ කිසිම අමාරුවක් නැතිව යන්න පුළුවන්කම තියෙද්දි, ඇයි දෙයියනේ මේ දුක් විඳගෙන අච්චර දුරක් යන්න තියෙන මිනිස්සුන් යන බස් එකටම රිංගන්නෙ??? ඒ මදිවට ඉඳගෙනත් ඉඳල අර අවිස්සාවේල්ලට යන එකාවත් පෙරලගෙන බහින්න දඟලන්නෙ???
කිසිවෙක්ට කිසිම තහනමක් නෑ තමයි තමුන්ට ඕනෙ බස් එකකට නගින්න, මම ඒ ගැන තර්ක කරන්න යන්නෙ නෑ. නමුත් තමුන්ටම යන්න වෙන් වෙලා තියෙන බස් තියෙද්දි අර දුක් විඳගෙන දුර යන මිනිස්සුන්ට තවත් දුකක් දෙන්නෙ ඇයි???
ඉතින් ඒ නොක්කාඩුවත් එක්ක මගේ ඉල්ලීමත් ඔබට තේරෙන්න ඇති.
මීගොඩට, මීපෙට, පහත්ගමට පුවක්පිටියට, අවිස්සාවේල්ලට යන්න ඕනෙ අයට බෑනෙ 138 බස් එකක නගින්න. මහරගමට යන්න ඕනෙ අයට තමයි මහරගම - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ, කොට්ටාවට යන්න ඕනෙ අයට තමයි කොට්ටාව - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ. හෝමාගමින් එහාට යන අයට තමයි 122 බස් දාල දීල තියෙන්නෙ. නමුත් දුර හා ඉන්න සෙනඟ ප්‍රමාණය අනුව බැලුවම නම් 122 බස් එන කාල ප්‍රාන්තරය දිගු වැඩියි. (තදබදය සහිත වෙලාවන් වලට) ඉතින් එහෙම අපහසුවක් තියෙද්දිත් මහරගමට දෙල්කඳට යන අයත් අර අවිස්සාවේල්ල බස් එකට නැග්ගම එහි යන මඟීන් තව තවත් අපහසුතාවයට පත් වෙනවා.
සමහර කොන්දොස්තර මහතුන් නම් "හෝමගමින් එහා විතරක් නගින්න" කියල තමයි සෙනඟ නග්ගගන්නෙ. ඒත් මහරගමට යන කොට්ටාවට යන අය නගින්නෙ නැතිව නෙමෙයි.
ඉතින් මගේ ඉල්ලීම තමයි, අනේ කරුණාකරල ඔබටත් අපිටත් හැමෝටම පහසු වෙන විදිහට වැඩ කරන්න, දුර යන අයට අපහසුවක් නොවෙන්න, ලඟට යන අය ඒ ඒ අදාල බස් වල නැගල යන්න. එය ඔබටත් පහසුයි, අනිත් අයටත් පහසුයි.
මම මේ කිව්ව දෙයින් තරහක් ගන්න කිසිම උවමනාවක් නෑ, මම කිව්වෙ මම දැක්ක දෙයක්, මම අත් විඳින අපහසුතාවයක්. මම කතා කළේ මටත් වඩා වැඩි අපහසුතාවයක් විඳින පිරිසකුත් මෙතන ඉන්න නිසයි.








