ඔන්න ඉතින් තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතාවක් එක්ක මම ආව. (මුලින් ලියපු කතා වල ලිස්ට් එකක් මෙන්න
මෙතන තියෙනවා.)
ඔය කාලෙ රජව හිටපු හයවන පැරකුම් රජ්ජුරුවො එක්ක පොඩි නෝක්කාඩුවක් ගිහිල්ල, රාහුල හාමුදුරුවො, තොටගමුවේ විහාරය අත ඇරල ඇල්පිටිය ඉඳුරුව ගල් ලෙනෙහි කාලයක් වාසය කළා. (ඉඳුරුව ගල් ලෙන ගැන මීට ඉස්සෙල්ල
ලිපියකත් කිව්ව මතක ඇතිනෙ?) ඉතින් මේ කාලෙ, රාහුල හාමුදුරුවන්ට තමුන්ගේ ගුරු හිමියන්, ඒ කියන්නෙ විදාගම හාමුදුරුවන්ව දැකගන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඒත් දුර හිටියත් තමුන්ගේ ගුරු හිමියන්ට සළකන්න රාහුල හාමුදුරුවො භක්තිවන්ත උනා.
විදාගම හාමුදුරුවො මීකිරි හා කෙසෙල් ගෙඩි වළඳන්න හරිම කැමතියි. ඉතින් රාහුල හාමුදුරුවන්ට ලැබෙන මීකිරි හා කෙසෙල් තමුන්ගේ අතවැසියෙකු අතේ විදාගම හාමුදුරුවන්ට යවන්න රාහුල හාමුදුරුවො පසුබට උනේ නෑ.
ඒක නෙමෙයිනෙ සිද්දිය, මේ අත වැසියත් මේ දෙකට හරිම කැදරයි. ඒක හින්ද විදාගම හාමුදුරුවන්ට යවන මේ කෑම වලින් උන්වහන්සේට ලැබුනෙ බාගයයි. ඒවායින් අඩකට මේ ඇබිත්තය වග කියනව මගදි. මේ සිද්දිය විදාගම හාමුදුරුවො දන්නෙත් නෑ.
ඉතින් දවසක්, රාහුල හාමුදුරුවො උන්නාන්සෙට ලැබුණු කිරි හට්ටියකුයි කෙසෙල් ගෙඩි දහයකුයි, තමුන්ගේ අතවැසියා අතේ ගුරු හාමුදුරුවන්ට යැව්ව, හැබැයි එදා රාහුල හාමුදුරුවො, මෙන්න මෙහෙම පොඩි පණිවිඩයකුත් යැව්ව.
"පුන් සඳ හා දසවක පිළිගනු මැනවි" කියල.
ඉතින් මේ ඇබිත්ත කොලුවත් වෙනද වගේම මගදි කිරි හට්ටියෙන් බාගෙකුත් ගිල දමල කෙසෙල් ගෙඩි 2කුත් කාල, ඉතිරිය විදාගම හාමුදුරුවන්ට ගිනිහිල්ල දුන්න පණිවිඩයත් එක්ක. පණිවිඩය කියවපු විදාගම හාමුදුරුවො, කිරි හට්ටියයි කෙසෙල් ගෙඩි 8යි දැකල, වෙලා තියෙන අලකලංචිය තේරුම් ගත්ත.
ඉතින් උන්නන්සෙ මොකද කළේ,
"අඩ සඳයි අටවකයි භාර ගතිමි" කියල ඇබිත්ත කොලුව අතේම ලියමනක් රාහුල හාමුදුරුවන්ට යැව්ව.
මේ මොකුත් නොදන්න ඇබිත්ත කොලුව, පණිවිඩය රාහුල හාමුදුරුවන්ට ගිහිල්ල බාර දුන්න. ඒක කියවපු රාහුල හාමුදුරුවන්ට, වෙලා තියෙන සිද්ධිය තේරුම් ගන්න අමාරුවක් උනේ නෑ.
ඉතින් හාමුදුරුවො, ඇබිත්තයගෙන් මේ ගැන ඇහුව. මොන, මිනිහ දිවුරල කියන්නව නෑමයි කියල. ලොකු හාමුදුරුවො බොරුවක් නොකියන වගත් රාහුල හාමුදුරුවො දන්නව.
ඉතින් මොකද කරන්නෙ, ඇත්ත එලි කරගන්නත් ඕනෙනෙ. ඉතින් රාහුල හාමුදුරුවො මොකද කළේ දන්නවද?
ඇබිත්තයටම කියල පොඩි බෙහෙත් පැළෑටියක් ගෙන්නගෙන, පොඩි බෙහෙතක් හදල මිනිහට බොන්න දුන්න.
මොකද උනේ...................
ටිකකින් ඇබිත්තයට කලන්තෙ වගේ. ඔලුවෙ අත ගහගෙන වමනෙ කරන්න ගත්ත. අනේ ඔක්කොම බොරු මාට්ටු, කාපු කිරියි කෙසෙලුයි ඔක්කොම මෙන්න එලියෙ.
හොඳටම ලැජ්ජාවට පත් උනු අතවැසියා, හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලුව. හාමුදුරුවො තවත් බෙහෙතක් පොවල ඇබිත්තයව සනීප කරල වංචා නොකරන්න අවවාද කළා.
ඊට පස්සෙ මේ අතවැසියා ඉතාම සිල්වත් උපාසකයෙක් උනා.