Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!


Sunday, December 21, 2014

Google Translator හොඳ වගේම නරකත් තිබෙන දෙයක්


මුලින්ම කියන්න ඕනෙ ඔයාල හිතන්න එපා මම සෘණාත්මකව හිතන කෙනෙක් කියල. නමුත් මම ඕනෙම දෙයක සෘණාත්මක පැත්ත ගැනත් හිතන කෙනෙක්.
Google Translator කියන්නෙ ඇත්තමට හරිම වටිනා සේවාවක්. වෙනත් භාෂාවකින් තිබෙන දෙයක් කියවගන්න ඕනෙ උනොත් මමත් ඒකම තමා භාවිතා කරන්නෙ.
දින කිහිපයකට පෙර Google Translator එකට සිංහල භාෂාවත් එකතු උනා. ඒකත් ගොඩක් වටිනවා. වෙනත් භාෂා නොදන්න අයට (මමත් ඇතුළුව) යම් වෙබ් පිටුවක් සිංහලෙන්ම කියවගන්න පුළුවන් දැන්. 
සිංහල වචන හා වැකි එකතු කරල තියෙන්නෙ නම් තාම පොඩ්ඩක් පමණක් වෙන්න ඇති. සමහර වචන, වාක්‍ය ගූගල් ට්‍රාන්ස්ලේටර් එක භාවිතයෙන් පරිවර්තනය කළාම එන්නෙ තේරුම් ගන්න ඊටත් අපහසු දේවල්. 

ඒ නිසා සිංහල ඉංග්‍රීසි දන්න අයට ලොකු වගකීමක් තිබෙනවා මේ ලබා දීල තිබෙන වටිනා සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවන්න. 

මේකත් එක්ක ඇවිල්ල තිබෙන නරකම දෙයක් තමයි ඔන්න කියන්න යන්නෙ. 

ලංකාවෙ දැන් ගොඩක් බ්ලොග් ලියන්නන් ඉන්නව. සිංහල බ්ලොග් අඩවිත් දැන් විශාල ප්‍රමාණයක් තිබෙනව.  (සිම් වගේ තමා, එක්කෙනෙක්ට 10ක් විතර තියෙනවනෙ. :D ) ඒක ඉතාම හොඳ දෙයක්. මම ඒවයෙ ගුණාත්මක භාවය සහ ඒවායේ තිබෙන අන්තර්ගතය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හුඟක් හොඳ බ්ලොග් අඩවිත් බොහොමයක් තිබෙනවා. 
කොහොම හරි එහෙම හරි අපේ අය බ්ලොග් ලිව්වනෙ. නමුත් දැන් ඇවිල්ල තිබෙන අලුත්ම ක්‍රමේ තමයි, නෙට් එකෙන් කොහෙන් හරි හොයාගන්න ලිපියක් කොපි කරල Google Translator එකට දාල සිංහලට හරවල ඒක එහෙමම කොපි කරගෙන තමන්ගෙ බ්ලොග් එකේ පේස්ට් කරල පබ්ලිෂ් කරන එක.
ඇත්තටම හුඟක් හොඳයි එහෙම ඉංග්‍රීසි ලිපි සිංහලට හරවන එක. නමුත් ඒ ලිපිය කියවල හරි ගස්සලවත් දානව නම් කොච්චර හොඳද. නමුත් අපේ කට්ටිය කරන්නෙ කොපි පේස්ට් පබ්ලිෂ්. ඉතින් ඒවයෙ තියෙන්නෙ අණ්ඩර දෙමළ. සමහර ඒවයේ තියෙන දේවල් වල මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. :( 
අන්තිමට ඒකෙන් මේකෙන් වෙන්නෙ ලාංකිය තරුණ ජනතාව ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත් නැවතිලා සිංහලත් ලියන්න දන්නෙ නැති වෙන එකයි. :( (අන්තර්ජාලයේ ඉන්න අය ගැනයි මේ, අන්තර්ජාලයත් එක්ක එතරම් සම්බන්ධයක් නැති අය ඉංග්‍රීසිත් සිංහලත් දෙකම ඉගෙන ගනී.) ඊට අමතරව, අන්තර්ජාලයේ තිබෙන සිංහල අන්තර්ගතයේ ගුණාත්මක භාවය ඉතාම බරපතල ලෙස හීන වෙනවා. 

මේක ඉතාම නරක තත්වයක්. 
ඉංග්‍රීසි කියන්නෙ අන්තර්ජාතික භාෂාවනෙ, ඉතින් එය දැන සිටීම ඉතාම අවශ්‍යයි ලංකාව වගේ රටකට. මොකද ලංකාව ස්වයංපෝෂිතත් නෑ, ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ හැම දෙයක්ම ලංකාවෙ හදන්නෙත් නෑ, ලංකාවෙ උන් පිටරට යනව නම් ඉංග්‍රීසි ටිකක් බැරුව මොකුත් කරගන්නත් බෑ.
මේ හරහා තරුණ ජනතාවගේ ඉදිරි දියුණුවට යම් නරක බලපෑමක් වීමට හැකියාවක් තිබෙනවා.  

ඉතින් මේ ඔබට හිතන්නට යමක්.
නව්‍ය සේවාවක් පිළිබඳ සෘණාත්මක කතාවක් නෙමෙයි මේක. වෙන්න යන දෙයක් ගැන වෙනත් පැත්තකින් සිතා බැලීමක්.

Wednesday, December 10, 2014

Amazon Lanka ගැන නෙත් FM බැලුම්ගල වැඩසටහන

මම මේ වැඩසටහන ඇහුවෙ අද. මේක ගැන කොච්චර කතා කළත්, තාමත් මේකට රැවටෙන මිනිස්සු ඕනෙ තරම් ඇති.
කියල වැඩක් නෑ ඉතින්. :(


ඔන්න මම ඕඩියෝ ට්‍රැක් එක අරගෙන Sound Cloud දැම්ම.


https://soundcloud.com/madhawa-habarakada/balumgala-2014-02-18-amazon-lanka-fraud

Sunday, September 21, 2014

"ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච භාගත කරගන්න ඔන්න ඔබටත් පුළුවන්


ඔයාලට මතක ඇති මම ඔය උඩ තියෙනව වගේ පොත් පිංචක් සැකසුව බව කිව්ව. ඒත් එක්කම යම් සමීක්ෂණයක් ගැන කිව්ව. ඉතින් ඒ සමීක්ෂණය අවසන් කරන්න තමයි සූදානම් වෙන්නෙ. අවසන් කරනව කිව්වෙ ඊට තොරතුරු එක් රැස් කිරීම. 
240ක පමණ පිරිසක් ඊට සහභාගී වෙලා තිබුණ. මගේ ප්‍රශ්නාවලියට සහභාගී වී, ඔවුන්ගේ වටිනා අදහස් බෙදාහදාගෙන තිබෙනවා. ඒ සියල්ලන්ටම ස්තුතිවන්ත වෙනවා.
ඔවුන්ගේ ඊ මේල් ලිපිනය සඳහන් කළ අයට මම "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" පොත් පිංච ඊ මේල් හරහා යැව්වා. භාගත කරගත් අය එය කියවන්නට ඇතැයි සිතනවා. කියවපු අය ඔවුන්ගේ අදහස් දක්වනවා නම් මට එය ඉතාම වටිනවා. හොඳ වගේම නරකත්. 

ඉතින් දැන් මෙම පොත් පිංච හැමෝටම ලබාදෙන්නයි මම සූදානම් වන්නේ. 
ඉතින් පහතින් ඇති සබැඳිය හරහා ගිහිල්ල ඔබ සැමටම ඒ පොත් පිංච භාගත කර ගන්නට පුළුවන්. ඉතින් ඔබ සැම මේ පොත් පිංච කියවා බලන්න. ඔබගේ අදහස් උදහස් මා වෙත දන්වන්න. මෙම බ්ලොග් අඩවිය තුළ කමෙන්ටුවකින් හෝ cglk@consultant.com ඊ මේල් ලිපිනය හරහා.




Sunday, August 24, 2014

අලුත් වැඩක් - වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව වෙබ් අඩවියක් සමඟ පොත් පිංචක්

ඔන්න ඉතින් මම මේ දවස් ටිකේම මහන්සි උනු දේ ඔයාලට දෙන්නයි මේ හදන්නෙ.

1. වෘත්තීය මාර්ගෝපදේශනය ගැන ලිපි ලියවෙන බ්ලොග් අඩවියක්.
2. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" නමින් සරළ සිංහල බසින් ලියවුනු පොත් පිංච

මතක ඇතිනෙ මම පහුගිය ලිපි දෙකකින්ම ඔයාලට කිව්ව මම සිදුකරමින් පවතින සමීක්ෂණයක් පිළිබඳව.  මේකත් ඒකත් එකට සම්බන්ධයි. තවමත් මට අවශ්‍ය තරම් ඒකට කට්ටිය එකතු වෙලා නෑ නිවැරදිම ආකාරයට ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න. 
ඉතින් ඔයාලට මම නැවත වරක් ආරාධනා කරනවා ඔබ මීට සම්බන්ධ උනේ නැතිනම් ඊට සම්බන්ධ වෙලා මගේ සමීක්ෂණයට සහයක් වෙන්න කියල. එහි තොරතුරු අනුව මට පුළුවන් ඔයාලට ගැළපෙනම ආකාරයේ අධ්‍යාපනික ලිපි හා තොරතුරු ලබා දෙන්න. 
එහි අවසන් පිටුවේදී මම ඔබගේ ඊ මේල් ලිපිනය අසනවා. එහි ඔබගේ ඊ මේල් ලිපිනය ලබා දෙන අයට මම මේ ඉහත කිව්ව ඊ බුක් එක මුලින්ම ලබා දෙනවා. දැනටමත් ඊට සහභාගී උනු අයට මේ පොත් පිංච අද හෝ හෙට ලැබේවි. අනිත් අයට ඔබ සමීක්ෂණයට සහභාගී වී දිනක් ඇතුළත ලැබේවි. සහභාගී නොවන/ඊ මේල් ලිපිනය ලබා නොදෙන්නන්ට තව සතියකින් දෙකකින් මම භාගත කළ හැකි සබැඳියක් ලබා දෙන්නම්.
වෙබ් අඩවිය 


ඊ බුක් එක





Wednesday, August 20, 2014

අලුත් වැඩක් - වෘත්තීය මාර්ගෝපදේශන අත්වැලක්


ඔයාලට මතක ඇතිනෙ මම ඉස්සෙල්ල ලිපියකින් සමීක්ෂණයක් සඳහා උදව් ඉල්ලුව. දැනට 140ක් පමණ පිරිසක් ඒකට සහය දක්වල සහභාගී වෙලා තිබෙනවා. නමුත් වඩා සාර්ථක හා වඩා නිරවද්‍ය ප්‍රතිඵල ගන්න නම් අවන වශයෙන් 200කවත් පිරිසකගේ සහභාගීත්වය අවශ්‍ය වෙනවා. 
ඉතින් මම ඉල්ලා සිටිනවා ඊට සහභාගී නොවූ, සහභාගී වෙන්න කැමති අය ඉන්නව නම් කරුණාකරල ඊට සහය වන ලෙසත් ඔබගේ මිතුරු මිතුරියන්, සහෝදර සහෝදරියන්ටත් ඊට සහභාගී වෙන්න ආරාධනා කරන්න කියල.
සරළ බහුවරණ ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයන්න තිබෙන්නෙ. ඉතාම පහසුවෙන් හා ඉක්මනින් පිළිතුරු සපයන්න පුළුවන්.

මේකෙන් මම බලාපොරොත්තු වෙන්නෙ වර්තමානයේ ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපළට ඇතුළුවෙලා රැකියා හොයන හා ඇතුළු වෙන්න බලාපොරොත්තුවෙන් සිටින ලාංකිකයින්ගේ අධ්‍යාපනික හා මානසික මට්ටම ගැන පොඩි විශ්ලේෂණයක් කරන එකයි.

ඒ ප්‍රතිඵලත් එක්ක මම මේ දවස් වල සූදානම් කරමින් පවතින අලුත් ලිපි මාලාව නිවැරදි හා ලාංකියයින්ගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට සකසන්න මට හැකියාව ලැබෙනවා. 

ඉතින් මම ඉල්ලන්නේ ඔබගේ කාලයෙන් හා ශ්‍රමයෙන් පොඩි ප්‍රමාණයක් විතරයි. ඔබ මේකට සහභාගී උනානම් ඔබගේ මිතුරු මිතුරියන්, සහෝදර සහෝදරියන්ටත් ඊට සහභාගී වෙන්න ආරාධනා කරන්න.

ඔබට ජය!

සමීක්ෂණය සඳහා සබැඳිය



Sunday, August 10, 2014

සමීක්ෂණයක් සඳහා ඔබගේ සහය අවශ්‍යව ඇත

හුඟ කාලෙකට පස්සෙ නේද? 
හුඟ කාලෙකින් තමා හරි හැටියකට බ්ලොග් එකට ලිපියක් ලියන්න ලෑස්ති වෙන්නෙ.
ඉතින් කොහොමද සැප සනීප?

මේ දවස් වල පොඩි වැඩක් කරන්න සැකසුම් කරගෙන යනව. මීට ඉස්සෙල්ල මගෙ බ්ලොග් එකේ මම ලිපි ටිකක් මම ලිව්ව ඔයාලට මතක ඇති වෘත්තීය මාර්ගෝපදේශනය ගැන. 
ඒකෙ දිගුවක් තමයි මේක.

මම පොඩි සමීක්ෂණයක් කරන්න ලෑස්ති වෙන්නෙ රැකියා වෙළඳපළට සම්බන්ධ වෙන්න හදන, එකතු වෙලා ඉන්න පිරිස පිළිබඳව.


ඉතින් ඒකට ඔයාලගෙ සහය මට ඕනෙ. 
මේ සමීක්ෂණයට සහභාගී වීම සහ ඊට සහභාගී වන ලෙස ඔබගේ මිතුරු මිතුරියන්ට, සහෝදර සහෝදරියන්ට පැවසීම. 
එකතු වෙන පිරිස වැඩි වන තරමට තමයි සමීක්ෂණයක සාර්ථකත්වය වැඩි වෙන්නෙ හා ඒ තොරතුරු විශ්ලේෂණයෙන් ලැබෙන ප්‍රථිඵල වල නිරවද්‍යතාවය ඉහළ යන්නෙ.  

ඉතින් පහත සබැඳිය භාවිතා කරල සමීක්ෂණයට සහභාගී වන්න. ඒත් එක්කම පුළුවන් තරම් මේ පිළිබඳව ඔබගේ මිතුරු මිතුරියන්, සහෝදර සහෝදරියන් දැනුවත් කරන්න. මේක ඉතා ඉක්මනින්, මිනිත්තු 2-5 අතර කාලයකින් පුරවන්න පුළුවන්. පෝස්ට් එක බලල විතරක් යන්නෙ නැතිව සමීක්ෂණයටත් සහභාගී වෙලත් යන්න. 

https://docs.google.com/forms/d/1rOMhxwPaTruz6OlH3_pkRdUrvKAD6Yf-tl5gNYRW0ac/viewform?usp=send_form

ඔබට ස්තුතියි.
ඔබට ජය!!!

Sunday, June 29, 2014

Win a D800 or 5D Mark III

SnapKnot
Courtesy of: SnapKnot