Friday, July 8, 2011

විදුලි ආශ්‍රිත ප්‍රවේසම



"අප්‍රවේසම අනතුරට අත වනයි."

(මෙම ලිපිය, අප ආයතනයේ කාර්මිකයින් පුහුණුවකට මා විසින් සකසන ලද්දක යම් වෙනස්කම් කර ප්‍රකාශනයට පත් කරන ලද්දකි. නමුත් මෙමගින් ඔබ සැමටම  ප්‍රයෝජනවත් වන දැනුමක් ලබා ගත හැකි වෙතැයි සිතමි.)


"විදුලිය හොඳ සේවකයෙකිනමුත් දරුණු පාලකයෙකි" යන්න විදුලියෙහි යහපත මෙන්ම අයහපතද කැටිකර දක්වන ප්‍රකාශයකි. නිසි පාලනයක් යටතේ අප විසින් විදුලිය ප්‍රයෝජනයට ගත යුතු බවයි.
ආයතන වල සිදුවන අනතුරු හා සසඳා බලන කළ විදුලියෙන් සිදුවන අනතුරුවල ප්‍රතිශතය ඉතා අඩු වේ. එහෙත් අපවිදුලිය හොඳ සේවකයෙක් කර ගැනීමට තරම් ඒ පිළිබඳව දැනුවත් නම් එසේ සිදුවන අනතුරු වළක්වා ගත හැකි වේ.

විදුලියෙන් අනතුරු සිදුවීමට පහත කරුණු බලපා තිබේ.
  • ·         පහත් තත්වයේ විදුලි උපකරණ භාවිතය
  • ·         නිසි නඩත්තුවක් නොමැති වීම
  • ·         විදුලි උපකරණ නිවැරදිව භාවිතය පිළිබඳ නිසි දැනුමක් නොමැති වීම

විදුලි සැර (electric shock) සහ මිනිස් සිරුර

අයෙකු විදුලි සැර වැදී මියයාමටඇම්පියර් 0.05 වැනි සුළු විදුලු ධාරාවක් වුවද ප්‍රමාණවත් වේ. වියළි සමෙහි විදුලි ධාරාවක් ගමන් කිරීමට ඉහළ ප්‍රතිරෝධයක් ඇතත් තෙත් සමෙහි ඊට ඇති ප්‍රතිරෝධය බෙහෙවින් අඩු අගයක් ගනී. 
වියළි සමෙහි විදුලිය සඳහා ප්‍රතිරෝධය : ඕම් 100,000 - 600,000 දක්වා ප්‍රතිරෝධයක්ද,තෙත් සමෙහි විදුලිය සඳහා ප්‍රතිරෝධය : ඕම් 1000 සිට පහළට ප්‍රතිරෝධයක්ද, පවතී.
මිනිස් ශරීරය හරහා විදුලි ධාරාවක් ගලා යන්නේ පරිමා සන්නායකයක් පරිද්දෙනි. බොහෝවිට එය සිදුවන්නේ අත් දෙක හරහා හෝ අතක් හා පයක් අතරය. එම නිසා විදුලිය ගලා යන මාර්ගයට හෘදයත් ශ්වසන පද්ධතියත් අයත් වන අතර මරණය සිදුවීමට එය බලපායි. හිස හරහා විදුලිය ගලා යන අවස්ථා වාර්තාවී ඇත්තේ ඉතාම අවම වශයෙනි. මිනිස් ශරීරයේ සෛල විදුලි ධරාවකට ඉතාම සංවේදී වේ. දිවට මිලි ඇම්පියර්45ක් වැනි කුඩා විදුලි ධාරාවකින් හෘදයේ වේගවත් ගැස්මක් ඇති කරයි. මෙම ප්‍රමාණය වර්ධනය වීමේදී ක්‍රමයෙන් දැවිල්ලක්තාපය හා වේදනාවක් ඇතිවේ. මිලි ඇම්පියර්100කදීපාලනයකින් තොරව මස්පිඬු හැකිලෙන නිසා විදුලි සන්නයනයේදී අත හෝ ශරීරය ඉවතට ගත නොහැකි තත්වයට පත් වේ.
අයෙකුගේ පපුව හරහා මිලි ඇම්පියර් 20-40 ධාරාවක් ගලා යාමේදී පපුවේ මාංශ පේශි හැකිළී හුස්ම ගැනීම නතර වේ. මෙහිදී ඔක්සිජන් නොමැති වුවහොත් මිනිත්තු ගණනාවක් තුළ මරණය සිදුවේ. එහෙත් මෙලෙස ශරීරගත වන විදුලිය ක්ෂණිකව කපා හැරිය හොත් හුස්ම ගැනීමට හැකිවී, යළි යථා තත්වයට පත් වේ.
ශ්වසන පද්ධතිය පාලනය වන මොළයේ පහළ කොටස හරහා විදුලිය ගමන් කළහොත් ශ්වසන පද්ධතිය අක්‍රිය වේ. හෘදය හරහා විදුලිය ගමන් කළ හොත් ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල වේ. මෙවැනි අවස්ථා වල ක්ෂණික ප්‍රතිකාර ලබා නොදුනහොත් මරණය සිදුවීමේ අවදානම ඉතා වැඩිය. විදුලි සැර වැදීමකදී මස්පිඬු හැකිළී සම ඉරීයාමකටද ලක්විය හැකි අතර කොඳුඇට බිඳී යාමටද හැකියාවක් පවතී. එවැනි අවස්ථාවකදී අතපය පාලනය කරගැනීමට නොහැකිවන නිසා විසිවීමටසිටි තැනින් පහළට වැටීමටඅවට ඇති භාණ්ඩ වල වැදීමෙන්ද තුවාල සිදුවීමද විය හැකිය. හිනිමං,පළංචි මත වැඩ කරන විට මේ ගැන වැඩි අවධානයක් යොමුවිය යුතුය.

විදුලියෙන් ඇති වන පිළිස්සීම් (Electric Burns)

විදුලි ධාරාවක් සන්නායකයක් තුළින් ගමන් ගන්නා විට සන්නායයකයේ  ප්‍රතිරෝධයට අනුක්‍රමිකව තාපය පිට කරයි. මිනිස් සමේ ප්‍රතිරෝධය වැඩි නිසා ධාරාවක් ගමන් කිරීමේදී වැඩි තාපයක් පිට වේ. මේ නිසා සමේ පිළිස්සීම් තුවාල ඇති වේ. මෙවැනි තුවාල වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ ශරීරයට ශරීරයට විදුලි ධාරාව ඇතුළු වන හා පිටවන ස්ථානයන් වලය.

සැණෙලිය නිසා ඇතිවන පිළිස්සීම් (Flash Burns)



භූගත සන්නායකයක් හා අධි වෝල්ටීයතා සන්නායකයක් එකිනෙක ලංවූ විට මෙවැනි තත්වයක් ඇතිවේ. මෙහිදී වාතය අයනීකරණය වී වාතයේ ප්‍රතිරෝධය ක්ෂණිකව අඩුවී සන්නායක දෙක අතර විදුලි පුළිඟුවක් ඇති කරමින් වැඩි ධාරාවක් ගමන් කරයි.
මේ හා සමානව යම් පුද්ගලයෙක් පරිවරණයක් රහිතව සිටියදී අධිවෝල්ටීයතාවයක් ඇති ස්ථානයකට ලඟා වුවහොත් විදුලි චාපයක් ක්‍රියාත්මක වී පිළිස්සීමක් ඇති වේ.

චාපය නිසා ඇසට ඇතිවිය හැකි ආපදා (Arc Eye)



චාපයකදී පාරජම්බූල කිරණ නිකුත් වේ. එම කිරණඇස තුළ වැලිකැට ඇති සේ වේදනාකාරී තත්වයක් ඇති කරවයි.
"කිරටෝකන්ජන්ටිවයිස්" යනුවෙන් අඳුන්වන මෙම තත්වය විදුලි පෑස්සුම්කරුවන් හට පහසුවෙන් වැළඳේ. සුදුසු ආරක්ෂක ඇස් ආවරණ පැළඳීමෙන් මෙම තත්වය වළක්වා ගත හැකිය.

ගිනි හා පිපිරීම්

විදුලි චාපයකින් ඇති වන තාපය හේතුවෙන් අවට ඇති ද්‍රව්‍යයක් ගිනි ගැනීමක් හෝ අදාල ද්‍රව්‍යයේ තත්වය අනුව පිපිරීමක් හෝ සිදුවීමට අවකාශ පවතී.

විදුලිය හේතුවෙන් තාපය පිටවිය හැකි අවස්ථා
  • ·         පරිපථයක් හරහා අධික ධාරාවක් ගලා යෑමකදී
  • ·         පරිවරණ (insulations) බිඳී ඇති විට
  • ·         විදුලි උපකරණ නිසි පරිදි සිසිල් නොවන අවස්ථා වල
ස්විචයක් හා අනෙකුත් පිළියවන ස්පර්ශයන් අනාරක්ෂිතව ක්‍රියාත්මක වී ගිනි හා පිපිරීම් ඇති විය හැකිය. විදුලි පෑස්සුම් කිරීමේදී මෙවැනි අවස්ථා ඇති විය හැකි අතර එවැනි ස්ථාන අතර ගෑස් හෝ වායු විශේෂ පවතී නම් සිළු ආවරණ සවිකුරු (Flame Proof Fittings) යෙදිය යුතුය.

කර්මාන්ත ආශ්‍රිත විදුලිය භාවිතයේදී කළ යුතු ආරක්ෂක විධි විධාන
  •  සියළු සන්නායකයන් පරිවරණ යොදා කල්පවතින පරිදි සකස් කර තිබිය යුතුය. සන්නායකයක් විවෘතව ප්‍රයෝජනයට ගන්නා විට ඒවා පුද්ගල ශරීර වල නොගැටෙන පරිදි සවි කිරීම හෝ අපවාරක යෙදිය යුතුය.
  • පරිපථයක් රත්වන විටදඑයින් විදුලිය භූගත වන විටදපරිවාරක බිඳී ඇති විටද පරිපථය ස්වයංක්‍රීයව විසංධි වීමට හැකිවන පරිදිවිලායක (Fuse) හෝ පරිපථ බිඳිනයක් (Circuit Breaker) හෝ යොදා තිබිය යුතුය.
  • ඉදිකිරීම් වැඩබිම් වල ඉහළින්  යොදා ඇති කේබල්අට්ටාල හා දොඹකර වල නොගැටෙන පරිදි කටයුතු කිරීමට උපදෙස් දිය යුතුය.
  • ගිනි හෝ පිපිරීම් ආපදා ඇති ස්ථාන වල ඇති විදුලි උපකරණ (Flame Proof) සිළු වරණ ඒවා විය යුතුය.
  • විදුලි උපකරණ භාවිතා කරන සේවකයින්ට මනා පුහුණුවක් ලබාදී ආරක්ෂිතව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතුය. එමෙන්ම කඩතොළු වී ඇති හා ආරක්ෂාව රහිත උපකරණ භාවිතා නොකළ යුතුය. එවැනි අනාරක්ෂිත උපකරණ පිළිබඳව බලධාරීන්ට වාර්තා කිරීමට සේවකයින් පුහුණු කළ යුතුය.
  • විදුලි උපකරණ නිසි පරිදි නඩත්තු කිරීමට හා නිසි කාල සීමාවක් තුළ පරික්ෂා කිරීමටද කටයුතු යෙදිය යුතුය.





Monday, July 4, 2011

නෝක්කාඩුවක් සහ ඉල්ලීමක්


මේක ලියන්න ටික දවසක ඉඳල හිතන් හිටියත් ලියන්න බැරි උනා. අද ලියන්න හිතුව. මේක ඇවිල්ල බස් කතාවක්. (කතන්දරයක් නෙමෙයි) මම රැකියාවට යන්නෙ එන්නෙ High Level පාරෙ 122 - අවිස්සාවේල්ල පිටකොටුව බස් වලයි (මේපේ සිට නුගේගොඩට; දුර කි. මී. 24යි.) උදේ 6ට මීපෙන් පිටත් වෙන මම හවස 5.30ට නුගේගොඩින් බස් එකකට නගිනවා. සාමාන්‍යයෙන් මේ වෙලාවල් වලට 122 බස් තියෙන්නෙ මිනිත්තු 10කට වගේ සැරයක්. නමුත් මේ මාර්ගයේ ඒ වෙලාවල් වලට ගමන් කරන මගීන් ප්‍රමාණයට මේ බස් ප්‍රමාණය හොඳටම මදි. (අනෙකුත් වෙලාවල් වලට නම් හොඳටම ප්‍රමාණවත්) හවසට එහෙම යන්නෙ හොඳටම තෙරපිලා. උදේටත් ඒකෙ ලොකු වෙනසක් නෑ.
ඕක නෙමෙයි මම කියන්න හදන නෝක්කාඩුව. ඒක කියන්න ඉස්සෙල්ල මේ මාර්ගයේ යන අනෙකුත් බස් ගැනත් ටිකක් කියන්නම්.
122 - අවිස්සාවේල්ල සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 53, බසයක් එන්නේ මිනිත්තු 10කට පමණ වරකි.)
138 - හෝමාගම  සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 23, මිනිත්තු 5කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - කොට්ටාව සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 19, මිනිත්තු 2කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - මහරගම සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 15, මිනිත්තුවකට පමණ වරක් බසයක් පැමිණෙයි.)
මේ දත්තයන් සළකා බැලුවොත් පෙනෙන්නෙ, අනෙකුත් ඒවාට සාපේක්ෂව අවිස්සාවේල්ල බස් දුර ගමන් බසයක් වන බවයි.
මීට අමතරව දුර ගමන් බස් ලෙස රත්නපුර - කොළඹ, ඇඹිලිපිටිය - කොළඹ හා බදුල්ල කොළඹ කියන්න පුළුවන්. සහ කොටසක් දුර ගිහිල්ල ගොඩගමින් හරවන 125 පාදුක්ක - පිටකොටුව හා 125 ඉංගිරිය - පිටකොටුව බසුත් තිබෙනවා. මම ඒව ගැන කතා කරන්න යන්නෙ නෑ.

දැන් නෝක්කාඩුවට එන්නම්. නුගේගොඩින් හවසට බසයට නැගල තෙරපිලා අමාරුවෙන් ඉන්නකොට මෙන්න ඉඳගෙන ඉඳන් කට්ටිය දෙල්කඳින්, විජේරාමෙන්. මහරගමින් බහිනවා. එහාට මෙහාට හැරෙන්නවත් ඉඩ නැතිව ඉන්න අපිවත් පෙරලගෙන තෙරපගෙන, මෙයාලත් පුදුම කට්ටක් කාගෙන, අපිට ඊටත් වඩා කට්ටක් දීගෙන තමා මොවුන් බැහැල යන්නෙ.
අනේ මම අහන්නෙ, අර තරම් මහරගමට බස් තියෙද්දි, අර තරම් කොට්ටාව බස් තියෙද්දි, අර තරම් හෝමාගම බස් තියෙද්දි, ඒවයේ කිසිම අමාරුවක් නැතිව යන්න පුළුවන්කම තියෙද්දි, ඇයි දෙයියනේ මේ දුක් විඳගෙන අච්චර දුරක් යන්න තියෙන මිනිස්සුන් යන බස් එකටම රිංගන්නෙ??? ඒ මදිවට ඉඳගෙනත් ඉඳල අර අවිස්සාවේල්ලට යන එකාවත් පෙරලගෙන බහින්න දඟලන්නෙ???
කිසිවෙක්ට කිසිම තහනමක් නෑ තමයි තමුන්ට ඕනෙ බස් එකකට නගින්න, මම ඒ ගැන තර්ක කරන්න යන්නෙ නෑ. නමුත් තමුන්ටම යන්න වෙන් වෙලා තියෙන බස් තියෙද්දි අර දුක් විඳගෙන දුර යන මිනිස්සුන්ට තවත් දුකක් දෙන්නෙ ඇයි???

ඉතින් ඒ නොක්කාඩුවත් එක්ක මගේ ඉල්ලීමත් ඔබට තේරෙන්න ඇති.

මීගොඩට, මීපෙට, පහත්ගමට පුවක්පිටියට, අවිස්සාවේල්ලට යන්න ඕනෙ අයට බෑනෙ 138 බස් එකක නගින්න. මහරගමට යන්න ඕනෙ අයට තමයි මහරගම - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ, කොට්ටාවට යන්න ඕනෙ අයට තමයි කොට්ටාව - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ. හෝමාගමින් එහාට යන අයට තමයි 122 බස් දාල දීල තියෙන්නෙ. නමුත් දුර හා ඉන්න සෙනඟ ප්‍රමාණය අනුව බැලුවම නම් 122 බස් එන කාල ප්‍රාන්තරය දිගු වැඩියි. (තදබදය සහිත වෙලාවන් වලට) ඉතින් එහෙම අපහසුවක් තියෙද්දිත් මහරගමට දෙල්කඳට යන අයත් අර අවිස්සාවේල්ල බස් එකට නැග්ගම එහි යන මඟීන් තව තවත් අපහසුතාවයට පත් වෙනවා.
සමහර කොන්දොස්තර මහතුන් නම් "හෝමගමින් එහා විතරක් නගින්න" කියල තමයි සෙනඟ නග්ගගන්නෙ. ඒත් මහරගමට යන කොට්ටාවට යන අය නගින්නෙ නැතිව නෙමෙයි.
ඉතින් මගේ ඉල්ලීම තමයි, අනේ කරුණාකරල ඔබටත් අපිටත් හැමෝටම පහසු වෙන විදිහට වැඩ කරන්න, දුර යන අයට අපහසුවක් නොවෙන්න, ලඟට යන අය ඒ ඒ අදාල බස් වල නැගල යන්න. එය ඔබටත් පහසුයි, අනිත් අයටත් පහසුයි.

මම මේ කිව්ව දෙයින් තරහක් ගන්න කිසිම උවමනාවක් නෑ, මම කිව්වෙ මම දැක්ක දෙයක්, මම අත් විඳින අපහසුතාවයක්. මම කතා කළේ මටත් වඩා වැඩි අපහසුතාවයක් විඳින පිරිසකුත් මෙතන ඉන්න නිසයි.

Friday, July 1, 2011

"මාධවගේ බ්ලොග් සටහන්" දෙවන උපන්දිනය හා අපේ උපාධි ප්‍රදානෝත්සවය

දෙකම ටිකක් පරණයි, නමුත් ලියන්න වෙලාවක් ආවෙ අද තමයි.
මගේ මේ සිංහල බ්ලොග් එකට පසුගිය 28 වනදාට ඒ කියන්නෙ 2011 ජුනි 28 වනදාට, වසර දෙකක් සපිරුනා. 2009 ජුනි 28 වනදා තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ හා පුරා කියල.


මුලින්ම කියල ලිව්වෙ චුට්ටිම චුට්ටි ලිපියක්. කවුද මට මේ ගැන මුලින්ම කිව්වෙ කියල නම් මතක නෑ. අනේ ඒ පුද්ගලය මට සමාවෙන්න ඕනෙ. නමුත් මම සිංහල බ්ලොග් ලියන්නෙක් වශයෙන් මුලින්ම දැනගත්ත කෙනෙක් තමයි කණිය. ඊට පස්සෙ ධනික එහෙම සෙට් උනා, අම්මෝ ඌව අල්ලගන්න තිබ්බ අමාරුවක්. 
ඔය අස්සෙ මම කියල සිංහල බ්ලොග් එකක් පටන් ගත්තු මගෙ හොඳම යාළුවෙක් තමයි උදිත. මුල්ම කමෙන්ටුව දැම්මෙ චමිල ඩි අල්විස්. මගෙ මේ බ්ලොග් එකේ කොටස් වෙළඳපළ ගැන ලියපු ලිපි මාලාව ඉතාම ජනප්‍රිය උනු නිසා මම ඒ වෙනුවෙන් වෙනමම බ්ලොග් අඩවියක් අරඹල කරගෙන යනව. ඒ අතරෙ තමා ඡායාරූපකරණය ගැන ලිපි ලියන්න හිතල ඒකට තවත් බ්ලොග් එකක් පටන් ගත්තෙ. ඒක නම් මේ දවස් වල ටිකක් අල වෙලා තියෙන්නෙ. 
රැකියාව පටන් ගත්තට පස්සෙ නම් එතරම් ලිපි ලියන්න බැරි උනා, කියවන එකත් අඩු උනා, නමුත් නැතිම වෙලා නම් නෑ. සිංඩියට වැඩිපුර යන්න බැරි උනත් මම ෆලෝ කරන බ්ලොග්, ටික ටික මම බලනව.

මම බ්ලොග්කරණය පටන්ගන්නකොට සිංහල බ්ලොග් තිබ්බෙ 200ක් 300ක් වගෙයි මතක. නමුත් දැන් 2000ක්වත් තිබෙනව මගෙ හිතේ. ඒ අතින් වෙලා තිබෙන දියුණුව නම් ඉතාම ඉහළයි, නමුත් දුකට කාරණාවක් වෙන්නෙ ඒ බ්ලොග් අතරින් බොහොමයක් සාර්ථකව ඉදිරියට නොයන/නොගිය එකයි. තවත් කාරණාවක් වෙන්නෙ සමහරෙක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන එක හරියට නොදැන ඉන්න එකයි, ඔහේ වල්පල් ලියනව, නැත්තම් නිකම්ම රූප ටිකක් දාල නිකා ඉන්නව වගේ දේවල් කරනව. (මගෙ අතිනුත් ඒ වැරද්ද යන්තම හරි වෙලා තියෙනව කියල මටත් පිළිගන්න වෙනව) ඉතින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ පරමාර්ථය වෙන "අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය දියුණු කිරීම" කියන එක හරි හැටි ඒ වගේ බ්ලොග් අඩවි වලින් ඉටු වෙනවාද කියන සැකය අපිට එනවා. 
නමුත් බොහොමයක් බ්ලොග් අඩවි තිබෙනවා ඉතා හොඳ අන්තර්ගතයක් තිබෙන. ඒ අඩවි ඉතාම වටිනවා. අපි දියුණු කළ යුත්තේ සිංහල අන්තර්ගතය පමණක්ම නොවෙයි, ප්‍රයෝජනවත් අර්ථවත් සිංහල අන්තර්ගතයක්. අන්න ඒ ගැන අපේ සිංහල බ්ලොග් කරුවන් ටිකක් සිතිය යුතුයි කියල මම හිතනවා. 

හරි ඒ කතාව ඇති. දැන් මගෙ ලිපියේ මාතෘකාවේ දෙවන කොටසට. බ්ලොග් එකෙ උපන්දිනය සමරපු 28 වනදාම තමයි අපේ උපාධි ප්‍රදානෝත්සවයත් තිබ්බෙ. BMICH එකේ. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ හා ප්‍රමාණ සමීක්ෂණ පීඨයේ 06 කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවය. 

මේ ඉන්නෙ මගේ හොඳම මිතුරා වන උදිත හා මම

ඉතින් අපි උපාධියත් ගත්තලු. දැන් මමත් උපාධිධාරී ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරුවෙක්. (Materials Engineer) කැම්පස් එකෙන් අවුට් වෙලා මාස 6ක් 7ක් ගත වෙලා තිබ්බත් ඒක එතරම් හිතට දැනුනෙ නෑ. නමුත් උපාධිය ගන්නකොට ඒක හුඟක් ලොකුවට හිතට දැනුන. ඇස් වලට කඳුලක් ආව කිව්වොත් හරි.
හරි, කතා ඇති.

මට අවසානව මෙන්න මේ ටික කියන්න ඕනෙ. 
සිංහල බ්ලොග් කරුවන්ට කියන්න තියෙන්නෙ, අපි එකතු වෙලා අන්තර්ජාලය තුළ "ඵලදායී" අන්තර්ගතයක් දියුණු කිරීමට ඇප කැප වෙමු. 
ඉගෙනගන්න නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ හොඳට ඉගෙනගෙන ඉහළට යන්න ඔබ සැමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලයි.

ප. ලි: මේ ලිපිය ඊයේ ලිව්වත්, බ්ලොගරයේ තිබ්බ අවුලක් නිසා පබ්ලිශ් කරන්න බැරි උනා, ඉතින් අද උදෙන්ම දැම්ම. 

Friday, June 24, 2011

පොඩ්ඩක් කණ්ණාඩියත් බලන්න

හුඟ කාලෙකින් ලිපියක්වත් ලියන්න බැරි උනු නිසා චුට්ටි විහිළු කතාවක් ලියල ශේප් වෙන්න හිතුව. තරහක් නෑ නෙ. :)
මෙහෙමයි කතාව. (මේක ලංකාවෙ කතාවක් නම් නෙමෙයි.)
ඔන්න දවසක් අම්ම කෙනෙක් නාන කාමරයට වෙලා නානවලු. මෙන්න මේ අම්මගෙ වයස අවුරුදු 2කේ පොඩි එකා ඇවිල්ල ටොයිලට් පේපර් රෝල දිග ඇරගෙන ඇඟ වටේ ඔතා ගන්නවලු. පොඩ්ඩ මහ විනාසයක් කරල, ඒත් හරිම ලස්සනයිලු.

ඉතින් මේ අම්ම නනා ඉන්න ගමන් දුවල ගිහිල්ල කැමරාව අරගෙන ඇවිල්ල ෆොටෝ ටිකක් ගත්ත. ඒව ප්‍රින්ට් කළාම හරිම ලස්සනට තිබුණු නිසා, අම්ම මේවයින් එකක් දාල නත්තල් සුභ පැතුම්පත් හදල නෑදෑයින්ටත් යැව්ව.
ඔන්න ටික දවසකට පස්සෙ එක නෑ කෙනෙක් කතා කරල හොඳටම හිනා වෙවී මේ කාඩ්පත ගැන කියනව, එයා කිව්වලු හොඳට ඒකෙ තියෙන ෆොටෝ එක බලන්න කියල.
ඉතින් අම්මටත් හරිම ප්‍රශ්නෙ මොකද්ද අවුල කියල. ඉතින් මේ අම්ම ෆොටෝ එක අරගෙන හොඳට බැලුවම තමා දෙලෝ රත් උනේ.........

මොකද වෙලා තියෙන්නෙ?????????????

ෆොටෝ එකේ වැදිල තියෙනව නාන කාමරයෙ තිබ්බ කණ්ණාඩිය.
ඒකෙන් මොනවද පෙනුනෙ????????????????????

අර අම්ම කැමරාව විතරක් අතේ තියාගෙන ඉන්නව.......................... වෙන කිසිම ඇඳුමක් ඇඟේ නැතිව...
හපෝයි...........

Tuesday, May 17, 2011

වර්ෂ 2012, සූර්ය කුණාටු යනු ලෝක විනාශයද???



වර්තමාන ලෝකය, නව තාක්ෂණය මත බොහෝ සේ රඳා පවතින්නකි. එය හුදු පැවැත්ම සඳහාම පමණක් නොවන අතර වර්තමානයෙහි නව තාක්ෂණය මිනිස් ජීවන රටාවෙහි අංගයක් බවට පත්ව ඇත්තේ ගසට පොත්තක් පොත්තට ගසක් යන පැරණි කියමන තව දුරටත් අර්ථ ගන්වමිනි. විදුලි බලය, සන්නිවේදන තාක්ෂණය නොමැති ලෝකයක් ගැන අප හට සිතා ගැනීමටවත් නොහැකි තරම්ය.

මෙම තාක්ෂණය මත රඳා පැවතීම, නැතහොත් එය මිනිස් ජීවන රටාවේ කොටසක් බවට පත්ව තිබීම, පරිසර නියමයන්ට පටහැනිව යාමකි. ස්වභාවධර්මයට අනුව එය බරපතල වරදකි. ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද ස්වභාවික විපත් නමැති දණ්ඩ නීති සංග්‍රහය මගින් දැනටමත් තාක්ෂණයට ගැති ලෝකයා දඬුවම් විඳියි. මෙය දිනෙන් දින උග්‍ර වන බව, පසුගිය කාලය දෙස ආපසු හැරී බැලීමේදී අප හට පසක් වන කරුණකි.

මෙම ස්වභාවික සංසිද්ධීන් මගින් ඇති වන ප්‍රථිවිපාක වලට බොහෝ සේ වෙනස් ආකාරයෙහි විපතක් නුදුරු අනාගතයේදී පෘථිවි වැසියන්ට අත් විඳීමට සිදුවනු ඇත. එය මුළු මහත් ජීවී සංහතියටම කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ගැටළු ලඟා කරන සිදුවීමක් වනු ඇත. පරමාණු බෝම්බ වැනි විනාශකාරී මිනිස් නිර්මාණ වලින් හැරුනු කොට, එතරම් විනාශයක් කළ හැකි එනම් අපගේ සියළුම අත්‍යවශ්‍ය පද්ධතීන් වල පූර්ණ ඇද වැටීමක් සිදු කිරීම තනිවම කළ හැකි, ස්වභාවික විපත් නොමැති බව යමෙකුට පැවසිය හැකි වුවත් සත්‍ය තත්ත්වය ඊට සපුරා වෙනස් ආරක් ගනී. න්‍යෂ්ටික උපද්‍රව වැනි අමානුෂික විනාශයන් මිනිසාටම වළක්වා ගත හැකි වුවත්, අමානුෂිකව සිතන මිනිස් වර්ගයා කෙරෙහි ස්වභාවධර්මයාගේ ප්‍රතිචාර දැක්වීම කිසිවෙකුට වැළක්විය නොහැකිය. භයානකම සංසිද්ධිය නම් එවැනි විශාල විනාශයක් සිදු කළ හැකි උපද්‍රවයකට පෘථිවි ජීවීන් ඉතා ආසන්නව සිටීමයි. එය නමින් "සූර්ය කුණාටු"!!!

සූර්ය කුණාටු ඇති වන්නේ සූර්ය පෘෂ්ඨය මත ඇති වන සූර්ය ලප වල ප්‍රථිපලයක් වශයෙනි. සාමාන්‍යයෙන්, සූර්ය ලප වසර 11කට වරක් ඇති වන්නකි. චක්‍රාකාරව සිදුවන මෙම ක්‍රියාවලිය අවසන් වරට එහි උපරිමයට ලඟා වූයේ 2001 වර්ෂයේදීය. ආරම්භ වූ පසු එය වසර කිහිපයක් දක්වා පවතින මෙම සූර්ය ලප වල මීළඟ චක්‍රය එහි උපරිමයට ලඟා වන්නේ වසර 2012දී යයි දත්ත වාර්තා මගින් තහවුරු කර ඇත!!!. දැන් අපි සිටින්නේ පසුගිය වසරේ ඇරඹි එම චක්‍රයේ ආරම්භක අවධියේයි.

සූර්ය ලපයක්, විටින් විට ඇති වන දරුණු පිපිරීම් ඇති කරනු ලබයි. මෙම පිපිරීම් සිදුවීමේදී, ආලෝක තරංග, ගැමා විකිරණ, එක්ස් කිරණ සහ විශාල වශයෙන් ආරෝපිත අංශු (coronal mass ejections) අවකාශයට මුදා හරිනු ලබයි. යම් සූර්ය ලපයක් එම පිපිරීම් අවස්ථාවකදී පෘථිවිය දෙසට මුහුණලා තිබේ නම්, එම පිපිරීමෙන් නිකුත් වන ආරෝපිත අංශු, ඒවායේ ශක්තිය හා වේගය මත, පැය 1-4 කාලයක් ඇතුළත පෘථිවි වායුගෝලයට ඇතුළු වෙයි. ආලෝකයේ වේගයෙන් ගමන් කරන අනෙකුත් විකිරණ, මිනිත්තු 8ක පමණ කාලයකින් පෘථිවියට ලඟා වේ.

සූර්යයා මත ඇති වන ප්‍රභල සූර්ය ගිනිසිළුවක්, නිත්‍ය වශයෙන්ම පෘථිව්යට හා එහි පද්ධතීන්ට තදින්ම බලපානු ලබයි. පෘථිවිය මත ඇති සියළු සජීවී හා අජීවී ක්‍රියාකාරී පද්ධතීන්ටද බරපතල හානි සිදු කිරීමට ඊට හැකියාවක් පවතී.

අජීවී පද්ධති සැළකීමේදී, මෙය සෘජුවම විදුලි බලය හා සන්නිවේදන තාක්ෂණය කෙරෙහි ඉහළ බලපෑමක් ඇති කරන්නේ, ඒ සමඟ බැඳී සිටින මිනිසාටද ඔහුගේ ක්‍රියාකාරකම් වලටද බොහෝ බලපෑම් ඇති කරමිනි. සුර්ය කුණාටුවක් මගින්, විදුලි පද්ධතිය මත විශාල ධාරවන් ඇති කිරීමක් සිදු කරනු ලබයි. එනිසා එම පද්ධති වල පවතින ආරක්ෂක පද්ධතීන් හරි හැටි ක්‍රියාකාරී නොවීම නිසා විදුලිය බිඳ වැටී, සම්පූර්ණ විදුලි බල පද්ධතියම අක්‍රිය වීම විය හැකිය. විදුලිබලය වනාහී බොහොමයක් මිනිස් ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වන්නකි. 1989 මාර්තු මාසයේදී, බරපතල භූ චුම්භක කුණාටුවක් නිසා විශාල විදුලි බල පද්ධති (Hydro-Quebec's Electricity Transmission System) බිඳ වැටීමක් සිදු වූ අතර එය පැය 9ක් දක්වා අක්‍රියව පැවතිනි. එම ආරෝපිත අංශු නිසා හා එක්ස් කිරණ නිසා අයන ගෝලයේ ඇති වන වෙනස්කම් හරහා සන්නිවේදන පද්ධති සම්පූර්ණයෙන්ම වාගේ අඩපණ විය හැකිය. පෘථිවි  කක්ෂ‍යේ රඳවා ඇති ඇමරිකානු ඩොලර් බිලියන 200ක් තරම් වටිනා චන්ද්‍රිකා වලටද බරපතල හානි කිරීමට ඊට හැකියාව පවතී.

සජීවී පද්ධති සැළකීමේදී, විකිරණ විශවීම් නිසා ජීවීන්ට විශාල බලපෑම් සිදුවිය හැකිය. මෙම විකිරණ මගින් සත්ව ශරීර වල ඇති DNA අණු වලට හානි සිදුවිය හැකි අතර එම හානි කෙටිකාලීන හෝ දිගුකාලීන විය හැකිය.

පසුගිය වසර 200ක කාලය තුළ ඇතිවූ බරපතලම සූර්ය කුණාටුව ඇති වුනේ 1859 වර්ෂයේදියි. එම කුණාටුව මුලින්ම වාර්තා කළ රිචර්ඩ් කැරිංටන් නම් අභ්‍යාවකාශගාමියාට ගෞරවයක් වශයෙන් මෙය "කැරිංටන් සංසිද්ධිය" (Carrington Event) නමින් අඳුන්වනු ලැබිනි. මෙම පණිවිඩය, ඇමරිකාව මගින් යුරෝපයට හා ලෝකයේ අනෙකුත් රටවල් වලට පවා ටෙලිග්‍රාෆ් පණිවිඩ හරහා සන්නිවේදනය කරනු ලැබ තිබේ. එම ගිනිසිළුව කෙතරම් විශාලද යත්. පියවි ඇසට පවා පැහැදිලිවම පෙනී තිබෙන අතර එමගින් ඇති කරනු ලැබූ ඌෂාලෝකය හෙවත් අව්රෝරාව (සූර්යයාගෙන් පිට වන ආරෝපිත අංශු පෘථිවි වායු ගෝලයේ අයන ගෝලය හා ගැටීමේදී ඇති වන ඝර්ෂණය කරන කොට ගෙන, එම අංශු දීප්තිමත්ව දැවීමක් සිදුවේ. මෙම අවස්ථාවේදී පිට වන ආලෝකය නිසා අහසේ ඇති වන ආලෝකමත් රටා ඌෂාලෝක නමින් හැඳින්වේ.), සමකාසන්න රටවල් වන කියුබාව, හවායි වලට පවා දර්ශනය වී තිබේ. එම ඌෂාලෝකය මගින් ඇතිවූ ආලෝකය නිසා උතුරු ඇමරිකාවේ රොකී කඳුකරයේ පදිංචිව සිටි රන් ආකර වල පතල් කනින්නන් උදෑසන යයි සිතා අවදි වී වැඩ ආරම්භ කිරීමට සූදානම් වූවා යයිද පැවසේ.

ඉතින් මෙවැනි සිදුවීමක් වර්තමානයේදී සිදු වුවහොත්, අපගේ එදිනෙදා ක්‍රියාකාරකම් වල ඇති අන්තර් සබඳතාවයත්, සන්නිවේදන හා විදුලි සැපයුම් පද්ධති වල ඇති සබඳතාවයත් නිසා, සිදුවිය හැකි විනාශය අති මහත් වන්නට ඉඩ තිබේ. ඉහළ චුම්බක ක්ෂේත්‍රයක් සහිත ධ්‍රැවාසන්න ප්‍රදේශ වලට, කුණාටුවෙන් පිට වන ආරෝපිත අංශු වැඩි වශයෙන් ඇදී යාම නිසා ධ්‍රැවාසන්න රටවල් වලට මෙමගින් සිදු වන හානිය වඩා විශාල වීමට ඉඩක් ඇති නමුදු වාසනාවකට ශ්‍රී ලංකාව සමකාසන්න රටක් වීම සූර්ය කුණටු වලින් අපට සිදුවිය හැකි විනාශය යම් ප්‍රමාණයක් අවම වන්නට හේතුවක් වෙයි. නමුත් විකිරණ වලින් සිදුවන බලපෑම  ඉහළ තත්වයක පවතී.

මෙවන් ස්වභවික විපතක් විය හැකි කාල වකවානු, එවන් විපත් වල විශාලත්වය, 100%ක් නිවැරදිව කිසිවෙකුට පැවසිය නොහැකිය.එම නිසා අප සියළු දෙනාගේම වගකීම වන්නේ, සියළුම වියහැකියාවන් පිළිබඳව අවධානයෙන් සිට ක්‍රියාත්මක වීමයි. පෙරසූදානම, සාර්ථකව ක්‍රියාත්මක වීමටද, ආරක්ෂාකාරී වීමටද, ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

Tuesday, May 10, 2011

PHP Developers Required | PHP Developersලා අවශ්‍යව ඇත



අපිත් සමඟ එකතු වෙන්න කැමති PHP Devepolersලා ඉන්නව නම් අපි කැමතියි ඔබව අපිත් එක්ක එකතු කරගන්න.

අවශ්‍යතා: ඉතා හොඳ PHP, MySQL පිළිබඳ දැනුමක්, CMS භාවිතා කර තිබීම, වෙලාවට ඉලක්ක සැපිරීමට ඇති හැකියාව
Basic Requirements : Good knowledge in PHP, and MySQL, Has experience in working with CMSs, ability to deliver targets with tight dead lines

ඔබ Joomla, Magenta, VirtuMart සමඟ වැඩ කර තිබේ නම් එය ඉතාමත් හොඳයි.
Knowledge in Joomla, Magenta, VirtuMart would be a definite advantage.

වැඩ කෙරෙන්නෙ කොන්ත්‍රාත් පදනමට හා මාසික වේතන පදනමටයි. ඔබට අර්ධ කාලීන ආකාරයට කළ වැඩ හැකියි.
Work will be done as contractual basic and payments would be as project based and/or monthly. ‍You can work part timely. 

එකතු වෙන්න කැමති අය ඉන්නවා නම් සම්පූර්ණ දත්ත පත්‍රිකාවක් (Curriculum Vitae) careers[at]nanovik[dot]com වෙත එවන්න. ඔබ කරල තිබෙන වැඩ ගැන අනිවාර්යයෙන්ම සදහන් කරන්න. මොකද ඔබව පරික්ෂා කරන්න අපට ඒවා අත්‍යවශ්‍යයි.
බොහෝ විට සම්මුඛ පරීක්ෂණයක් තියල තමා ගැළපෙන අයව තෝරා ගැනෙන්නෙ. 
If you are interested, please send your complete CV with your portfolio to careers[at]nanovik[dot]com. 
You'd be interviewed most of the time, before your are being selected.

Only the shortlisted ones will be contacted.

Saturday, May 7, 2011

මේ දවස් වල

රැකියාව කියල නිසාමත් නෙමෙයි, ටිකක් කම්මැලි හිතිල බ්ලොග් ලියන්න. ඒ අස්සෙ මගෙ ගෙදර පරිගණකයේ ලෙඩක් වෙලා දැන් ඒක හරිගස්සගත්ත. ඒත් මගෙ ADSL connection එකේ අවුලක්, තාම ඒක හදාගන්න බැරි උනා. සතියකට විතර කලින් ඒ ගැන complain කළාට එයාල චෙක් කරල බලන්න කීවම බලන්න විදිහක් නැති උනු නිසා (ඇයි කොම්පියුටරේ වැඩ කළේ නෑ නෙ. :( ) බලන්න බැරි උනා. ඇයි ඒ අස්සෙ යාපනෙත් ගියානෙ. :) ගිහිල්ල ඇවිල්ල ආපහු complain කළා, තාම නම් හැදුවෙ නෑ. අද හෙටවත් හැදුවොත් හොඳයි.

ඉතින් මේ ලෙඩ නිසා බ්ලොග් ලියනව තියා මේල් චෙක් කරන එකත් ටිකක් අල වෙලා. මුහුණු පොත පැත්තෙත් හරිමම අඩුවෙන් තමා යන්නෙ. ඔෆිස් එකේදි යන්නත් බෑ, ලොක්කෙක් දැක්කොත් අලි ලෙඩක්. :) (අපේ ඩිපාට්මන්ට් එකේ ලොක්ක නම් කිසි අවුලක් නෑ.)

මේ දවස් වල අපේ කොම්පැනියෙ කාර්තුවකට සැරයක් පළ කරන "මාග පුවත්" කියන සඟරාවට ලිපියක් හදනව. දැන් හදල ඉවරයි වගේ තමා. ඒක දාන්න තමයි හිතාගෙන ඉන්නෙ බ්ලොග් එකට. තව දවස් දෙක තුනකින් ඒක දාන්නම්කෝ.

දැන් කට්ටියට මගෙ බ්ලොග් එක අමතක වෙලත් ඇති සමහරක් විට. මොනා කොරන්ඩද, දුක තමා. සොරි හොඳේ. :'(

එහෙනම් මම නැවතුනා. (මේකත් මේ ලියන්නෙ ඔෆිස් එකේ ඉඳල.)