ඔන්න ඉතින් මම ගියාලු පොත් ප්‍රදර්ශනේ බලන්න. ගියේ මගෙ නංගියයි, උදිතයි, උගෙ මල්ලියි, නිසුපයි, එයාගෙ නංගියි තමා. එහෙට ගිහිල්ල ගෝල්ඩ් ෆිෂ් සහ මෑන්ස්ගෙ මිත්තරයෙක් සෙට් උනා. අපේ මුහුණු පොතේ මෙගා ත්‍රෙඩ් එකේ කතා උනු විදිහට BMICH එක ඉස්සරහ පොකුණ ගාවට තමා අපි නම් ඒ ආවෙ, ඒත් 10ට පැය බාගයක්ම තියෙන නිසා අනිත් අය එනකම් කියල අපි ඇතුළට ගියා. අනිත් අය කීවෙ, චාපා, ශිරෝෂි, මධුරංග, දඟයා, අර මෙගා ත්‍රෙඩ් එකේ මූලික ලක්මිණි, සහ තවත් අය. අනේ සමාවෙන්න අමතක උනු නම් සම්බන්ධයෙන්. ඉතින් 10ට කියල කතා වෙලා ඔය සමහරු ආවෙ 11ත් පහු වෙලාලු. :D ඔය වෙලාවට එන්නම් කීව නෙරන්ජි, අපි යන්න ඔන්න මෙන්න තියල මෙන්න මූණ පෙන්නගෙන මතු උනානෙ කොහෙන්ද මන්ද පුෂ්පා ආන්ටි එක්ක. :( බැලුවම එයා උදේ 10 ඉඳල ප්‍රදර්ශනේ බලල. :D
බලපල්ලකො ගෝල්ඩ් ෆිෂ් කාරය අපෙන් අවසරයක්වත් නැතුව ෆොටෝ එකේ උගෙ නම දාගෙන තියෙන හැටි.
පට්ටම සෙනඟක්. ඔයාල අනිවා මැප් එක අරගන්න ටිකට් ගන්නකොට. (රු. 10යි ටිකට් එකක්). නැතත් ඇතුළට ගිහිල්ලත් ගන්න දෙතුන්පලකින් පුළුවන්. තවත් විශේෂ දෙයක්. ටිකට් එකත් එක්ක "Minute Maid" බීම එකකට ටෝකන් එකක් දෙනව, ඒකත් ගන්න. හැබැයි ඒ ටෝකන් එකෙන් බීම ගන්න පුළුවන්, ටිකට් ගන්න තැනට එහා පැත්තෙ තියෙන තැනින් විතරයි, ඇතුළෙ කොහෙනවත් බෑ. ඒ නිසා ඒක ගන්නව නම් ඇතුළට යන්න ඉස්සෙල්ල හෝ ප්‍රදර්ශනේ බලල ඉවර වෙලා යන ගමන් තමා ගන්න වෙන්නෙ. ඒත් එලියට යනකොට ගන්න යනව නම් ඔයාලට නොමිලේ දෙන ප්‍රවාහන සේවය ලබා ගන්න බැරි වෙනවා. මොකද ඒක ගන්න පුළුවන්, සිරිමාවෝ එක ඉස්සරහින් තියෙන ගේට්ටුවෙන් ගියොත් තමා. කොහෙට කොහෙට ඒව යනවද නම් දන්නෙ නෑ, බොරැල්ල, මරදාන පැත්තට නම් එකක් යනව.
බිම උනත් ඉඳගන්න බලාන යන්න, මොකද හරියකට ඉඳගන්නවත් බැරි තරම් සෙනඟක් ඇතුළෙ ඉන්නව. ඒත් කඩ කිහිපයක් ඇරුනම අනිත් හැම එකකටම කරදරයක් නැතිව ගිහිල්ල පොත් තෝරන්න පුළුවන්. සෙනඟ ගොඩක් ඉන්නව, නමුත් පොත් තෝරන්න ඉඩ ඇති. (අපි ගිය වෙලාවෙ නම් යම් අපහසුතාවයක් ආවෙ ගුණසේන, සරසවි පමණයි. සමයවර්ධන එක ඇතුළට යන්න බැරි තරම් සෙනඟ නිසා ගියේ නෑ.) ඉංග්‍රීසි පබ්ලිශර්ස්ල ඔක්කොම වගේ හිටියෙ A හෝල් එකේ, ඒ කියන්නෙ සිරිමාවෝ එකේ වම් පැත්තෙ හෝල් එක. විදර්ශනා, දයාවංශ ජයකොඩි, සූරිය, රත්න, ආරිය වගේ ප්‍රසිද්ධ කට්ටිය හිටියෙ B හෝල් එකේ. ඒ කියන්නෙ සිරිමාවෝ එකේ දකුණු පැත්තෙ. ගුණසේන හිටියෙ වෙනද වගේම සිරිමාවෝ එක ඉස්සරහ වම් පැත්තෙ විශාල ස්ටෝල් එකක. සරසවි හිටියෙ සිරිමාවෝ එක එහා පැත්තෙ තියෙන කැන්ටින් එකක් එක්ක තිබෙන තාවකාලික Conference Hall එකේ.
කන්න නම් ඇති වෙන්න තියෙනව, හැබැයි හුඟක් ඒවයින් කන්න නම් ඇති වෙන්න සල්ලිත් තියෙන්න ඕනෙ. අපි ඉතින් නූඩ්ල්ස් කෑව, ගෙදර එනකොට බඩේ පණුවන්ට බොක්සිං ගහල එපා වෙලා අත ඇරල දාල. බඩ ඉරිඟු තිබ්බනෙ, කන්න ඕනෙ උනා ඒත් නූඩ්ල්ස් කෑවෙ. අරකක් කෑව නම් ආයි බඩගිනි එන්නෙ නෑ ගෙදර එනකම්. :(
හරි දැන් පොත් කතා වලට එමු. මගෙ ඉස්සෙල්ල පෝස්ට් එක කියවපු නැති අය මෙතනින් ගිහිල්ල කියවන්නකෝ. මම හිතන් ගියේ, චින්ගීස්ගෙ තවත් පොත් කිහිපයක්, පවුලෝගෙ පොතක් දෙකක්, ජස්ටින් ගාඩර්ගෙ පොතක්, බෞද්ධ පොත් කිහිපයක්, විද්‍යා ප්‍රබන්ධයක්, වීර චාරිකා නව කතාවක්, මනෝ විද්‍යා පොතක් වගේ දේවල් ටිකක් ගන්නයි. ඒත් කළ දේ ටිකක් වෙනස් උනා.
මෙන්න මෙහෙමයි උනේ.
පංච තන්ත්‍රය - අනුවාදක හේමපාල මුණිදාස
ගුණසේන; රු. 350/=
ඉන්දියානු පොතක්. උපදේශාත්මක කතා තමයි තිබෙන්නෙ.
ඈ හෙවත් අයේෂා (කොටස් 1,2) - රයිඩර් හැගාඩ් | කේ. පී. කරුණාතිලක
දයාවංශ ජයකොඩි; රු. 350*2 = 700/=
මේ ඇලන් ක්වාටර්මෙන්ගේ කතා මාලාවේ එකක්. මේකට පස්සෙ ඈ සහ ඇලන්, අයේෂා නැවත එයි, ඇලන් හා ඔහුගේ බිරිඳ කියල කතා ටිකක් තියෙනව. මේව එකටම ගලාගෙන යන කතා. මේවා වැටෙන්නෙ Adventure Novels ගණයට.
පියෙද්රා ගඟබඩ අසල හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 300/=
කාන්තාවක් හා තවෙකෙක් යන සංචාරයක් ගැනයි කියවෙන්නේ. තමන්ගේ සිහින, බලාපොරොත්තු හා ආදරය සොයා යන්නියකගේ කතාවක්.
යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 350/=
කෑදරකම, භීතිය, බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්, සිය වේදනාබර අතීතයෙ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්, සතුට සොයා යන තරුණියක්. ආලෝකය අඳුර අතර පවතින අරගලය, අපේ දෛනික ජිවන අරගලය හා එහි අබැඳියාව
වෙරෝනිකා මැරෙන්නට තීරණය කරයි - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 300/=
ජීවිතයේ සතුට සොයා ගොස් බැරි තැන සිය දිවි නසා ගන්නට ගොස් අවසානයේ පිස්සන් කොටුවක සිහිය ලබා ජීවත් වීමට තවත් දින කිහිපයක් පමණක් තිබෙන රූමත් තරුණ කාන්තාවකගේ කතාවක්.
මිනිත්තු එකොළහේ කතාව - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 420/=
ජීවිතය සොයා යෑමේදී, ආදරය, ලිංගිකත්වය හාආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කෙර ගැනීමට කෙරෙන නිර්දීත ගවේෂණයක්.
වීදි දරුවෝ - බර්ලි ඩොරති
baby Bee; රු. 280/=
තම මව මිය යාමෙන් පසුව, විවිධ දුක් කම්කටොළු වලට මුහුණ දෙන අසරණ කුඩා දරුවෙක් ගැන කියවෙන කතාවක්.
නිරුවත් වානරයා - ඩෙස්මන් මොරිස් | එස්. එම්. බන්දුසීල
S & T Group; රු. 450/=
මේක ගැන නම් මම ඉස්සෙල්ල ලිපියෙත් කිව්වනෙ. කියවල තිබුනත් ගන්න හිතුන. මිනිසාගේ සමාජීය හැසිරීම් රටා, ආලයෙන් බැඳිම, හැඟීම්, ලිංගික රටා ගැන විමසුමට ලක් වෙන මනෝ විද්‍යාත්මක පොතක්.
අවසන් සිද්ධාන්තය - ආතර් සී. ක්ලාක්
S & T Group; රු. 750/=
ආතර් සී. ක්ලාක්ගේ අවසාන විද්‍යා ප්‍රබන්ධය තමයි මේක. අනාගතයේ පෘථිවියට පැමිණෙන පිටසක්වල ආක්‍රමණයක් ගැනයි කියවෙන්නේ. ඒ ආක්‍රමණයට හේතු වන්නේ පෘථිවියේ සිදුවන පරමාණුක පිපිරීම් වැනි දේ නිසා මිනිසා තර්ජනාත්මක සත්වයෙක් යයි සිතා මිනිසාව විනාශ කර දැමීමට ඔවුනට අවැසි වීමයි.
ඉතින් ඔන්න ඔය පොත් ටික තමා මම ගත්තෙ. අපේ උදිත සහෝදරයාත්, නිසුපා සහෝදරියත් නම් ලොරි දෙකකට විතර පොත් ගත්තා. :D බර වැඩි කමට එක්කෙනෙක්ගෙ කකුලකුත් මොකද්ද වෙලා තිබුනා. :D
මේ පොත් වලට අමතරව තව යෝජනා ටිකක් තිබෙනවා.
ආතර් සී. ක්ලාක්ගෙ 2001, 2010, 2016, 3001 එක පොත් ගැන ඔබ දන්නවා ඇති. ඒ පොත් සියල්ලම S & T Group ස්ටොල් එකේ තිබෙනවා. ඊට අමතරව චන්ද්‍ර ගවේෂණය කියන පොතත් ගොඩක් හොඳයි.
මම හිතන් ගිය විදිහට චින්ගීස්ගෙ පොත් එකක්වත් ගන්න බැරි උනා. මොකද මම හෙව්ව පොත් තිබුනෙ නෑ හොයාගන්න. නමුත් හැමතැනම තිබුනා ජමිලා හා ගුරු ගීතය. සමහරක් තැන් වල ඒ පොත් වලට ඉතා විශේෂ තැනක් දීල තිබුන, හේතුව නම් මොකද්ද කියල හිතාගන්න බෑ.
බෞද්ධ ග්‍රන්ථ මන්දිරයට යන්න බෞද්ධ පොත් ගන්නව නම්. මට යන්න බැරි උනානෙ. ඇතුළෙ නම් තිබුන පිටිදූවෙ හාමුදුරුවන්ගෙ පොත්ම තිබෙන ස්ටෝල් එකක්. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ පොතුත් තිබුන ස්ටෝල් කිහිපයක.
වානරයා පොත නම් තිබුනේ නෑ හොයාගන්න. මම දැක්කෙම නෑ.
ඡායාරූපකරණය ගැන පොත් හෙව්ව. Expographic එකේ තිබ්බ ඉංග්‍රිසි පොත් ටික විතරමමයි මම දැක්කෙ. :( ඒව නම් පට්ට ගණං.
කොටස් වෙලඳපළ ගැන උනත් පොතක් හොයාගන්න බැරි උනා. පොඩි පොත් පිංචක් ලිව්ව නම් කීයක් හරි හොයාගන්නත් පුළුවන් වෙයි නේද කියල හිතුන.:D
පූසො ගැන පොත් කිහිපයක් තිබ්බ. ෂෝක් අප්ප ඒව. පිටු දෙක තුනක ඉංගිරිසි අකුරු ටිකක් තියෙනව, ඉතුරු පිටු ඔක්කෝම පුසන්ගෙ එක එක ෆොටෝ වලින් පිරිල. :) හරිම හුරතල්. ඒත් Expographic එකේ තමා තිබුනෙ.
බාගේන් පොත් විකුණන වෙනමම සෙක්ෂන් එකක් තිබුනා. ඒකටත් යන්න බැරි උනානෙ. ගියත් වැඩක් නෑ. අතේ තිබ්බ සල්ලි ඉවර වෙලා. :(
කොහෙද ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ගියේ ඒකෙන් ගෙවල ලබන මාසෙට ණය වෙන්න, ඒත් දයාවංශ එකේ, විදර්ශනා එකේ එහෙම ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පහසුකම් තිබුනෙ නෑ නෙ. :( අපරාදෙ. නැත්තම් තව පොත් ටිකක් ගන්නවා.
හ්ම්ම්. ඔන්න ඕක තමයි අද ඉස්ටෝරිය. දැන් නිදිමතයි. එහෙනම් ඉස්සරහට යන කට්ටියට සුභ පතනවා හොඳ පොත් ගන්න.














