Saturday, October 26, 2013

Widgets

නොසළකා හැරිය යුතු, බ්ලොග් ලිවීම සම්බන්ධ උපදෙස්

අන්තර්ජාලය දැන් බ්ලොග්කරුවන්ගෙන් පිරිල තියෙනව. සිංහල බ්ලොග් ලියන්නොත් දහස් ගණනක් දැන් ඉන්නවනෙ. ඔයාලත් බ්ලොග් ලියනවනෙ නේද? 
සමහර බ්ලොග් වලින් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නව. විවිධ දේවල් ඉගෙනගන්නව, අපේ වැඩ කරගන්න පහසු ක්‍රම හොයාගන්නව, සමහර බ්ලොග් වලින් විවිධාකාරයේ උපදෙස් ලබා දෙනව. උදාහරණයක් විදිහට බ්ලොග් ලිවීම සඳහා. මම මේ කියන්නෙත් ඒ වගේ එකක්නෙ. 
ඉතින් සමහර උපදෙස් වැදගත්, නමුත් සමහර උපදෙස් තිබෙනවා නොසළකා හරින්න ඕනෙ, ඒ කියන්නෙ ඒ උපදෙස් නම් හොඳ ඒව නෙමෙයි. 
එහෙම නරක උපදෙස් ටිකක් ගැන මම කියන්නම්.


බ්ලොග් එකක් පටන් අරගන්න. ලේසියෙන්ම ගෙදර ඉඳන් සල්ලි හොයන්න පුළුවන්. 
සමහරු කියනව, බ්ලොග් එකක් පටන් අරගෙන ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියල. මේක වැඩිපුරම කියන්නෙ, එයාල ගාව තියෙනවයි කියන "රහස් වට්ටෝරුවක්" ගැන කියලයි. ඒක විකුණගන්න. සමහරු ඒක සල්ලි වලට අරගෙන අන්තිමට අසාර්ථක වෙනව. බ්ලොග් වලින් සල්ලි හොයන්න බෑ කියල මම කියන්නෙ නෑ, නමුත් ඔය කියන තරම් නම් ලේසි නෑ.

දවසකට මිනිත්තු 5ක් බ්ලොග් ලියන්න ගත කළා නම් ඇති.
මේ කියන තරම් බ්ලොග් ලියන එක ලේසි නම් කොච්චර හොඳද. නමුත් සාර්ථක බ්ලොග් ලියන්නෙක් වෙන්න ඕනෙ නම් ඒක මේ තරම් සරළව පොඩි කාලයක් ගත කරල නම් කරන්න බෑ.

බ්ලොග් කරුවෙන් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් ලේසි විශේෂ ක්‍රම තියෙනව.
මෙහෙම ක්‍රම තියෙනව නම් කොච්චර ලේසිද නේද? ඒත් දුක කියන්නෙ එහෙම විශේෂ ක්‍රම, අර කිව්ව වගේ රහස් වට්ටෝරු නම් නෑ සාර්ථක බ්ලොග් ලියන්නෙක් වෙන්න. ඔබ හොඳට ලියන්නම ඕනෙ.

ඔබ දන්න මොනව හරි දෙයක් ලියන්න.
මේක හුඟක් අය පටලවගන්න දෙයක්. මේ කියන්නෙ ඔයාගෙ ජීවිතේ වෙච්ච හැමදෙයක්ම නෙමෙයි, ජීවිත අත්දැකීම් වලින් උනත් ගොඩක් දේවල් අනිත් අයට දෙන්න පුළුවන්, නමුත් හැම දෙයකින්ම නෙමෙයි. බ්ලොග් කියවන අයගෙ අවශ්‍යතාත් හඳුනා ගන්න වෙනව.

ලියන තරම වැඩි වෙන තරමට තමයි හොඳ.
නෑ. ඇත්තෙන්ම නෑ. කොච්චර ලිව්වත් වැඩක් නෑ, ඒ ලියන දේවල් වලින් අනිත් අයට ප්‍රයෝජනයක් නැතිනම්. ඉතින් වැදගත් වෙන්නෙ ලියන ප්‍රමාණය නෙමෙයි, ලියන ඒවයෙ තත්වය නැතිනම් වටිනාකම. අපි ලියන දේවල් වල වටිනාකමක් නැති නම් අනිත් අය බලන්නෙ නෑ නේද?

පිටතින් කතුවරයින් අරගෙන එයාලට ලියන්න දීල විවේක ගන්න.
ඔබේම බ්ලොග් එකක ඔබේම අනන්‍යතාවයක් ගොඩනඟාගන්න ඔබ හිතනව නම් උත්සාහ කරනව නම් පිටතින් කතුවරුන් අරගෙන ලිපි ලියල දාල නම් වැඩක් වෙන්නෙ නෑ. ඔයාලම ලියන්න ඕනෙ. 

බ්ලොග් ලියනකොට ඔබගේ අනන්‍යතාවය සඟවන්න.
සමහරු බ්ලොග් ලියන්නෙ වෙනත් නම් වලින්, නැති නම් මවාගත් චරිතයක් තුළින්. ඒකෙ නරකක් කියන්න බෑ. එහෙම වෙනත් නම් වලින් හුඟක් සාර්ථක බ්ලොග් ලියන අය අපි අතර කොච්චර ඉන්නවද. නමුත් තමුන්ගෙම අනන්‍යතාවයක් ගොඩනඟාගෙන බ්ලොග් ලියනකොට ඒ හරහා වඩාත් විශ්වාසවන්තී කියවන්නන් පිරිසක් ඔයාලගෙ වටේ එකතු කරගන්න පුළුවන්.

සෘණාත්මක කමෙන්ට් ඉවත් කරන්න.
මේකත් කරන්න නරකම වැඩක්. සෘණාත්මක අදහස් කියන්නෙ ඔයාගෙ දුර්වලතා මඟහරවා ගන්න මාර්ගයක්. ඒව ඉවත් කරන එක නෙමෙයි කළ යුත්තේ ඒවාට පිළිතුරු සැපයීම, නිවැරදි මාර්ගයට පැමිණීම. 

අදහස් වලට පිළිතුරු දෙන්න එපා.
මේක නම් අපේ සිංහල බ්ලොග් කරුවන් අතරේ වෙනව අඩුයි මම හිතන්නෙ. කොච්චර ලිව්වත්, ඒව ප්‍රසිද්ධ කර කර හිටියත්, කොච්චර කාර්යබහුල උනත්, ඔයාගෙ බ්ලොග් එකට ඇවිල්ල ලිපියක් කියවල අදහසක් දක්වල යන කෙනෙක්ට පිළිතුරක් දෙන්න කොයි වෙලේවත් මැලි වෙන්න එපා. එතනිනුත් ඔයාගෙ වටේ ඉන්න කියවන්නන් අතර විශ්වාසයක් ගොඩ නැඟෙනව. 

ලිපි ලිවීම ගැන පමණක් හිතන්න, කියවන්නන් ඉබේම ඒවි.
මේක නම් තනිකරම බොරුවක්. සුපිරිම ලිපි 100ක් ලිව්වත් වැඩක් නෑ, අනිත් අයට ඒක ගැන කිව්වෙ නැති නම්. ඉතින් ලිපියක් ලිව්වම ඒක ගැන අනිත අයටට් කියන එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.

සෙවුම් යන්ත්‍ර ඉලක්ක කරගෙන ලියන්න.
මේකත් තේරුමක් නැති වැඩක්. වැඩිපුරම සෙවුම් කරන දේවල් ගැන ලිව්වත් ලියන්න ඕනෙ අලුත්ම දෙයක්. තියෙන දෙයක්ම ආපහු ලියන එක එතරම්ම තේරුමක් නෑ. මොකද දැන් සෙවුම් යන්ත්‍රත් ගොඩක් සංකීර්ණ ක්‍රම අනුගමනය කරනව unique content හොයන්න. ඉතින් කළ යුත්තේ අලුත්ම දෙයක් ලියන එක. ඒක පිළිබඳ කියන එක. සෙවුම් යන්ත්‍ර ඔයාට ට්‍රැෆික් එවයි ටික ටික.

ලෝකෙටම පෙන්නන්න ඉස්සෙල්ල කිසිම වැරැද්දක් නැති බව තහවුරු කරගන්න.
මෙහෙම කරන්න ගියොත් කවදාවත් වැඩක් කරන්න වෙන්නෙ නෑ. අපි කරන ලියන දෙයක් 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. (නමුත් වැරදි බොරු ලියන්න කියල නෙමෙයි මේ කියන්නෙ) මුළින්ම කරන්න ඕනෙ අපි ලියන දේ ලෝකයාට දෙන එක. ඊට පස්සෙ පුළුව්න් ඒක දියුණු කරන්න. 

මීට අමතරව තව දේවල් ඇති. මේ මට හම්බුනු දේවල් ටිකක්. ඔයාලගෙ අදහස් වලටත් විවෘතයි.

22 comments:

  1. හරියටම හරි... තව එකක් තියේ.. බ්ලොග් එක ඔය බොරු ආටෝප නැතුව සර‍‍‍ළව පවත්වාගෙන යන්නත් ඕනා..

    ReplyDelete
    Replies
    1. අධි බලැති ටෙම්ප්ලේට් භාවිතය.. කියවීමට මරු කැඳවයි

      Delete
    2. අනිවාර්යයෙන්ම. :)

      Delete
  2. අනික් අය ලියන දේ කියවීමත්, ඉතාම හොඳ දෙයක්... කියෙව්වාම කම්මැලි නැතිව.. වචන දෙකකින් හරි කමෙන්ට් කිරීමත් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ලියන අපිට ලොකු දෙයක්නෙ. :)

      Delete
  3. අපි වගේ අලුතෙන් බ්ලොග් ලියන අයට ගොඩක් වටින උපදෙස් ටිකක්. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රයෝජනයක් උනා නම් ඒකයි සතුට. :)

      Delete
  4. හ්ම්ම් ඇත්ත තමයි. නියමයි

    ReplyDelete
  5. වැදගත් තොරතුරු ටිකක්..

    ReplyDelete
  6. තවත් දෙකක්.
    1. ෂෝට් කට් හොයන්න එපා. එහෙම ඒවා නැත. තිබුනද තාවකාලිකයි.
    2. පුත, දුර බලන්න. ලඟ නොබලන්න.

    ReplyDelete
  7. සහජීවනයෙන් කරගෙන ගියොත් ඕන දෙයක් වෙන්න පුළුවන් තැනක් තමා බ්ලොග්..අර සෘණාත්මක් අදහස් තරං වෙන කිසිම අදහසක් වටින්නැහැ බ්ලොග් එකකට...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒත් සමහර වෙලාවල් නම් තියෙනව ඩිලීට් කරන්න වෙන. සමහර මොළේ අවුල්කාරයො දාන කමෙන්ට් එහෙම.

      Delete
  8. ගොඩක් අය කරනවා වගේ හොඳයි කියන ඒවා තියාගෙන නරකයි කියන කමෙන්ට් අයින් කරන එක හොඳ නෑ.. ඒ වගේම තමා ඇනෝ ඇවිත් උනත් කියන්නේ වරදක් නම් ඒ වරද හදාගන්ඩත් උත්සහ කරන්ඩ ඕන.. එ ඇරෙන්න ඇනෝලට බනින එක නොකල යුතුයි

    ReplyDelete
    Replies
    1. වැරැද්දක් කියන ඇනෝල වටිනව. බොරුවට කෑගහන ඇනෝල තමා වැඩක් නැත්තෙ,

      Delete
  9. බොහොම වටිනා උපදෙස් ටිකක්.

    ReplyDelete
  10. එතකොට මං සියඹලා ගෙනාවේ නැද්ද ? කෝ මගේ කමෙන්ට් එක :)

    ReplyDelete
  11. අපිටනම් ගොඩක් වැදගත් අයියේ මේවා... ස්තූතී

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.