Sunday, September 13, 2009

Widgets

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන වචන කිහිපයක් (Investing in Colombo Stock Exchange)


මම පොඩ්ඩක් කොටස් වෙළඳපළ ගැන ලියන්න හිතුව, වැඩේ නම් අමාරුයි. මොකද ඒකෙ තියෙන වචන වලට සිංහල වචන මට හොයන්න වෙනව, සිංහල ඉංග්‍රීසි කලවමේ ලියනකොට තියෙන අමාරුවත් දන්නවනෙ? කොළඹ කොටස් වෙළඳපළ වෙබ් අඩවියෙන් තොරතුරු අරන් තමයි ලියන්න වෙන්නෙ, ඒක පරිවර්තනයත් ලේසි නෑ.
අමාරුයි කිව්වට අත ඇරියෙම නෑ, වචන දෙක තුනක් හරි ලියන්න හිතුව. සරළම අදහසක් ලබා දෙන්න.
මුලින්ම කියන්නම්, මම මේ ක්ෂේත්‍රයට ආවෙ මේ අවුරුද්දේ මුල, ඒ කියන්නෙ මගෙ දැනුම අතිශය පොඩ්ඩයි කියන එක. නමුත් ඒ දන්න දෙයින් මට පොඩි හරි වැඩක්කරගන්න පුළුවන් සහ, මම මේ වෙනකොට කිහිප දෙනෙක්ව මේකට ඇදල අරගෙන තියෙනව. පොඩි උපදෙසක් උනත් දෙන්න බැරි කමක් නෑ.



කොටස් වෙළඳපළ, කොටිම කිව්වොත් මේක ගමේ පොළ වගේ තමා, හැමෝටම ඕනෙ තමුන් ලඟ තියෙන ඒව වැඩිම ගාණට විකුණ ගන්න, හැමෝටම ඕනෙ හැම එකක්ම අඩුවට ගන්න. එතනයි තරඟය තියෙන්නෙ.
මෙහිදී වෙන්නේ, ඔබට හැකියාව තිබෙනව මෙතන ලැයිස්තුගත ආයතන (කොම්පැනි ) වලට ඔබේ මුදල් යොදවල ඒවායේ කොටස් මිලට අරගෙන ඒ කොම්පැනි වල ක්‍රියාකාරිත්වයට සුළු ප්‍රමාණයකින් හෝ දායක වෙන්න. ඔබ ඇත්තටම එම ආයතන වල කොටස්කරුවෙක්, චූටි හරි අයිතියක් ඇති කෙනෙක් වෙනව.
ඔබ කොහොමද කොටස් මිලට ගන්නෙ?
ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනව. 
1. මූලික වෙළඳපලින් මිලට ගැනීම (Primary Market)
2. තැරැව් කරුවෙකු හරහා Secondary Market එකෙන් මිලට ගැනීම.
තියෙන්න ඕනෙ මූලික අවශ්‍යතා මොනවද? 
1. CDS ගිණුමක් (Central Depository System Account) 
2. එම ගිණුම තුළ මුදල්
කොහොමද CDS ගිණුමක් හදා ගන්නෙ? 
මුලින්ම ඔබ ඔබට ගැළපෙන මූල්‍ය තැරැව් කරුවෙක් (Stock Broker) තෝරා ගත යුතුයි. එම සමාගම හරහා ඔබට CDS ගිණුමක් ඇර ගත හැකියි. කවුද මේ "තැරැව්කාර සමාගම"ක් කියන්නෙ? ඔවුන් තමයි කොටස් වෙළඳපළ හා සම්බන්ධව ඇති පුද්ගලයින්. 
ඔබට අනිවාර්යයෙන්ම තැරැව් කරුවෙක් අවශ්‍යයි ඔබ Secondary market එකේ වෙළඳාම් කරනව නම්. එම සමාගම ඔබට උපදෙස් දෙනව මොනවද ගන්න හොඳ, කොහොමද දැන් වෙළඳපළ තත්වය, පසුගිය වාර්තා, සහ තව බොහෝ දේවල් ඔබට ඔවුන්ගෙන් ලබා ගත හැකියි. එතනින් ඔබට ලැබෙනව උපදේශකයෙක් (Investment Adviser), ඔහු හෝ ඇය තමයි ඔබ සමඟ සම්බන්ධ වන්නේ.
ලංකාව තුළ තිබෙනව මෙවැනි සමාගම් 20ක්, ඔබට කැමති එකක් තෝරා ගන්න පුළුවන්. විශේෂ දෙයක් කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ සම්ඟ කෙලින්ම අපිටම ගනුදෙනු කළ හැකි මෘදුකාංගයක් තිබෙනව (CDAX). එම මෘදුකාංග පහසුකම නම් මෙම සියළු සමාගම් ලබාදෙන්නෙ නෑ, ඔබට බලාපොරොත්තුවක් තිබෙනවනම් එහෙම දෙයකට, ඊට ගැළපෙන සමාගමක් තෝරාගන්න. මෙතන තිබෙනව එම සමාගම් කිහිපය ගැන සහ අර කිව්ව මෘදුකාංගය ගැන විස්තර.
http://www.cdax.lk
CDS account එකේ වැඩේ මොකද්ද? 
ඒක හරියට බැංකු ගිණුමක් වගේ, ඔබ යොදන මුදල්, මිලට ගන්න කොටස්, සුරැකුම්පත් වැනි සියළුම දේවල් තියෙන්නෙ ඒක ඇතුළෙ.
ගිණුමක් හදා ගත්ත, ඒකට සල්ලි දැම්ම. දැන් මොකද කරන්නෙ?
මේ දෙක කළා නම් ඔබ කොටස් මිලට ගැනීමට සූදානම්. (මුදල් යෙදවිය හැක්කේ නෝට්ටු වශයෙන් හෝ චෙක්පත් ලෙස පමණයි )
දැන් කරන්න තියෙන්නෙ ඔබ කැමති සමාගම් කිහිපයක් තෝරාගෙන ඔවුන්ගේ කොටස් මිලට ගැනීම, හැබැයි කැමතී කියල එක එක සමාගම් වල කොටස් මිලට ගන්න යන්න එපා, මුලින් ඔබේ උපදේශකගෙන් අහල බලන්න. එතකොට එයා කියයි මොන මොන ඒවද මේ දවස් වල ගන්න හොඳ, මොන මොන ඒවටද පොළියක් ලැබෙන්නෙ වගේ දේවල්. ඒ සේරම හිතල බලල, එයාට කියන්න එහෙනම් මෙන්න මේක ගන්න කියල. මිලදී ගත හැකි අවම කොටස් ප්‍රමාණය සාමාන්‍යයෙන් 100යි, නමුත් 1, 2, උනත් ගන්න පුළුවන් (odd market එකේදී. හැබැයි ඒව ආපහු විකුණන්න නම් අමාරු වෙයි.
කොටස් ජාති 
විවිධාකාරයේ කොටස් තිබෙනව.
Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
මේ ඇරුනම තව ජාති කිහිපයක් තිබෙනව.
කොහොමද කොටස් ගන්නෙ? 
මම මුලින් කිව්ව වගේ ඔබේ තැරැව් කාර සමාගම හරහා තමයි සියළු දේවල් වෙන්නෙ. ඔබ කිව්වම එයාල ඔබ වෙනුවෙන් එම කොටස් මිලයට අරන් ඔබේ CDS ගිණුමට දානව. ඔබේ CDS ගිණුමෙන් සල්ලි වියදම් කරල.
විකුණන්නෙ කොහොමද? 
ඒකත් ඉස්සෙල්ල වගේම තමයි, ඔබ ඔබේ තැරැව්කාර සමාගමට කිව්වම එයාල ඒව විකුණල ලැබෙන මුදල් ඔබේ CDS ගිණුමට බැර කරනව.
එයාල එහෙම නොකර ඉඳීද? 
එහෙම බෑ, ඒක එයාලගෙ වගකීම. අපි කියන ඕනෙම දෙයක් කරන්න එයාල බැඳිල ඉන්නව. තව දෙයක්, එයාලට කිසිම විදිහකින් අපිට අලාභ වෙන දෙයක් කරන්න බෑ, ඒක නීති විරෝධියි.
එයාල අපිට වැඩ කරනවට එයාලට මොනවද ලැබෙන්නෙ? 
අපි කරන ඕනෙම විකිණීමකදි හා මිලට ගැනීමකදි තැරැව්කාර සමාගමට, කොළඹ කොටස් නිකුතුවට, බදු සඳහා වැනි දේවල් කිහිපයක් වෙනුවෙන්, අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 1.425% ප්‍රමාණයක් අර කිව්ව ස්ථාන වලට ලැබෙනව.
වැදගත්ම ප්‍රශ්නෙ, අපිට ගානක් අතට එන්නෙ කොහොමද? 
මුලින්ම කියන්න ඕනෙ, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ අවදානම් සහගත වෙළඳාමක්, ඔයාලට ඒ අවදානම ගන්න වෙනව. මොකද එක පාරටම ඔයාල කොටස් ගත්තු සමාගමක් කඩා වැටුනොත් ඔයාලගෙ මුදල් වතුරෙ යන්න ඉඩ තියෙනව. 
බය උනාද? බය වෙන්නෙපා, එහෙම වෙන්නෙ නෑ ලේසියෙන්, නමුත් මිල උච්ඡාවචනය නිසා වැඩි මිලකට ගත්තු එකක් අඩු මිලකට විකුණල අලාභ ලබන්න නම් ඉඩ තියෙනව. මටත් පෞද්ගලිකව ඒක වෙලා තියෙනව.
හරි, ප්‍රශ්නෙට එමු. මූලිකම හා ඉක්මන්ම ක්‍රමේ තමයි ඔබ ගත්තු සමාගමේ කොටස් වල මිල ඉහළ ගියොත් එම මිලට ඔබේ කොටස් විකුණල ගන්න පුළුවන් ලාභය.
උදා: ඔබ X කියන සමාගමේ කොටස් 400ක් ගන්නව එකක මිල රු.10 ගානෙ, ඒකෙ මිල ඉහළ යනව රු. 12.75ට. ඔබ මොකද කරන්නෙ, ඒ ගත්තු කොටස් ටික දැන් වෙළඳපළ මිලට විකුණනව. මොකද වෙන්නෙ? ඔබ 4000ක් වියදම් කරල 5100ක් ලබා ගන්නව. ඔබේ ලාභය රු. 1100 යි.
නරක නෑ නේද???
ඊළඟ ක්‍රමේ, සමාගමෙන් කොටස් වලට දෙන පොළිය (Dividends) ලබා ගැනීම.
මෙක හැම සමාගමක්ම කරන්නෙ නෑ, එහෙම පොළියක් ලබාදීමට එම කිසිම සමාගමක් බැඳිලත් නෑ.
සමාගමේ අධිකාරිත්වය කිව්වොත් අපි අපේ කොටස් කරුවන්ට පොළියක් දෙමු කියල, එයාල එම වසරේ ගත්තු ලාභය අනුව කියනව අපි එක කොටසකට මෙන්න මෙච්චර පොළියක් දෙනව කියල. ඔබ එම සමාගමේ කොටස් අරන් තිබෙනව නම් ඔබට එම පොළිය චෙක්පතක් මගින් ගෙදරටම එනව.

උදා: අර මුලින් කිව්ව X සමාගම තීරණය කරනව 2009.09.15 දිනට එම සමාගමේ කොටස් කරුවන්ට එක කොටසකට රු. 1.50ක පොළියක් ලබා දීමට. ඔබ ලඟ තිබෙනව නේද ඔවුන්ගෙ කොටස්? විකුණන්න එපා, තියාගන්න. ඔබට එම දිනයේදී රු. 600ක් ලැබෙනව පොළිය වශයෙන්.
තව ක්‍රම කිහිපයක් තිබෙනව, ඒත් මේ දෙක තමා වැදගත්ම, ඒනිසා මේ දෙක ගැන දැනගත්තම හොඳටම ඇති.
කොටස් වෙළඳපළ ගැන චුට්ටක් 
හරි, දැන් බලමු මේ කොටස් වෙළඳපළ ගැන. මේක ඇරල තියෙන්නෙ සතියෙ දවස් වල පමණයි, ඒකත් උදේ 9.30 ඉඳල හවස 2.30 වෙනකම් විතරයි, කරන ඕනෙම දෙයක් ඒ වෙලාව ඇතුළත තමයි. ඒකත් එයාලගෙ වෙන වැඩ සඳහා මේ කිව්ව වෙලාවන් තුළ වහන්න ඉඩ තියෙනව. සියළුම රජයේ, වෙළඳ, බැංකු නිවාඩු දින වල මේක වහල. (නමුත් තැරැව්කාර සමාගම් හවස 4.30 දක්වා වැඩ කරනව )  

කොටස් වෙළඳපළ තුළ තිබෙනව ප්‍රධාන මිල දර්ශක දෙකක්. 
සියළු කොටස් මිල දර්ශකය (All Share Price Index | ASI) 
මුළු කොටස් වෙළඳපළ තත්වය ගැන තමා මෙයා කියන්නෙ. 
මිලන්කා මිල දර්ශකය (Milanka Price Index | MPI) 
කොටස් වෙළඳපළ පසුගිය කාර්තු 4 තුළ ඉහළම ක්‍රියාකාරිත්වයක් දැක්වූ සමාගම් 25හේ තත්වය තමා මේකෙන් කියන්නෙ.  

කොටස් වෙළඳපළ තුළ තිබෙනව පුවරු 
Main Board
බොහොමයක් විශාල කොම්පැනි තියෙන්නෙ මෙම පුවරුවෙ තමයි.
Diri Sawi Board
මධ්‍යම හා කුඩා සමාගම් තිබෙන්නෙ මෙම පුවරුවෙ.
Default Board
චූටි චූටි වැරදි කරපු කට්ටියව මේකට දානව. (වාර්ශික වාර්තාව නොදුන්න කට්ටිය එහෙම )
මේ කිව්ව ඒවයින් පොඩි දැනුමක් ලැබෙන්න ඇති කියල හිතනව. ප්‍රශ්න තියෙනවනම් අහන්න, දන්න තරමින් උත්තර දෙන්නම්.  

තව වැදගත් දෙයක්, මේක අන්තිමට කියන එක හරිද මන්ද. මම මේ ලිපිය ඇතුළෙ ලොකු ලොකු ඉලක්කම් දාල කිව්වට හැම වෙලේම එහෙම ලොකු ලොකු ලාභ ලැබෙන්නෙ නෑ, ඔබට ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් එහෙම ගත්තැකි. පොඩි මුදලකින් ටිකක් ඉස්සරහට යන්න අමාරුයි, අධෛර්යයට පත් වෙන්නෙ එපා, බැරි නෑ. මම රු. 100, 200 වගේ ලාභ තියාගෙනත් විකුණල තියෙනව, මට රු. 30, 50 චෙක්පතුත් ගෙදරට ඇවිල්ල තියෙනව.  
මමත් පටන් ගත්තෙ පොඩි ගානකින්, නමුත් මම යොදපු මුදල මම මේ පහුගිය මාස 8ට 150% දක්වා වැඩි කරගෙන තියෙනව. (ඊට වඩා වැඩි කරගන්නව, training කාලේ මේක එක්ක ඉන්න උනේ නෑනේ. 
ඔබට මේකට කාලය ගත කරන්න පුළුවන් නම්, ටිකක් ලොකු මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම්, මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබේ ජීවනාලිය කරගන්න පුළුවන්.
ජය වේවා!!! 

මේක කියවල තව කිහිප දෙනෙක් හරි කොටස් වෙළඳපළ ආයෝජනයට හැරුනොත් සතුටුයි. වෙන රට වලට සාපේක්ෂව ලංකාවෙ මේ පැත්තට හැරිල ඉන්නෙ බොහොම අඩු ප්‍රතිශතයක්, ඒක වැඩි කරන්න පුළුවන් නම්, ඒකත් ලංකාවෙ ආර්ථිකයට හුඟාක් හොඳයි. (කොළඹ කොටස් නිකුතුව හා සම්බන්ධ වී ඇති පිරිස 200,000 ආසන්න අගයක් ගන්නෙ, ඒ අගය කිසිම විදිහකින් ප්‍රමාණවත් නෑ.)
එක අතකින් මේක හොඳ රැකියා අවස්ථාවක්. ගෙදරට වෙලා පරිගණකය දිහා බලා ඉන්න, යතුරු කිහිපයක් ඔබන්න, කෝල් කිහිපයක් ගන්න විතරයි තියෙන්නෙ.  

තව වැදගත් දෙයක්, ඔබ මෙයින් ලබා ගන්නා සියලුම ආදායම, ආදායම් බදු වලින් තොරයි, ඒ කිව්වෙ ඔබට මේ ලබා ගන්නා මුදල් සඳහා ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ. 

කොටස් වෙළඳපළ සම්බන්ධ ඉදිරි ලිපි කියවන්න.

27 comments:

  1. ඉතාම වටිනා ලිපියක් මචං..
    මම මේ ගැන මාර උනන්දුයි..

    හැබැයි මට මේ ගැන හොයන්න entry point එකක් තිබුනෙ නෑ..
    මේක හොඳ ආරම්භයක් වෙයි..

    ප්‍රශ්න දෙකක් තියනව..

    -- මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. මට ලංකාවෙ කොටස් වෙලදපොලේ ආයෝජනය කරන්න පුලුවන්ද?
    -- ෆෙබ් ලයින්ස් කියන්නෙ මොනවද? (මොකක හරි දර්ශකයක්) දැනගන්න ආසයි..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි, යාලුවෙ.මම මේක ගැන දැනගන්න ආසාවෙන් හිටියෙ.

    ReplyDelete
  3. ඉතාමත් වැදගත් ලිපියක්. මම ඕක ගැන විස්තර දැනගෙන හිටියෙ නෑ. දැන් නම් මටත් වැඩේට බහින්න හිතෙනව.

    ඔය ඇඩ්ස් ක්ලික් කරල මුදල් හොයන්න යන මල්ලිලාට මෙන්න හොඳ වැදගත් වගේම විශ්වාසනීය මුදල් ඉපයීමේ ක්‍රමයක්.

    ReplyDelete
  4. @ Malinda : කිසිම ප්‍රශ්නයක් නෑ, විදේශිකයන්ට ලංකාවේ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කරන්න පුළුවන්, හැබැයි මේ කිව්ව ඒවට අමතරව තව වෙනත් කළ යුතු දේවල් ටිකක් තියෙනව. මම ඒ ගැන නම් වැඩිපුර දන්නෙ නෑ.
    සමා වෙන්න ඕනෙ, ෆෙබ් ලයින්ස් ගැන නම් මම දන්නෙ නෑ.

    @ ප්‍රවීන් ඉන්ද්‍රනාම : ඔබේ කතාව හරියටම හරි, හැබැයි නිකං බලා ඉඳල නම් මේකෙන් සල්ලි ඔයන්න බෑ, ටිකක් වැඩේට බහින්න ඕනෙ. හැබැයි ආර්ථික විද්‍යාව කරන්න ඕනෙ නෑ මේකෙන් දියුණු වෙන්න, ඒත් ඒ දැනුම තියෙනවනම් මේක ගැන තේරෙනව වැඩියි, සහ ටිකක් වාසියක් තියෙනව.
    (මගෙ නම් ඒ පැත්තෙ දැනුම 0 යි, සහ මට පෙන්නන්න බැරි විෂයක් ඒක.)

    ReplyDelete
  5. බොහෝම ඉස්තූතියි. ඉතාමත් වටිනා ලිපියක්.

    ReplyDelete
  6. නියමයි..ඇත්තටම මේ ගැන වැඩි අවබෝධයක් තිබුනෙ නෑ..කොටස් වෙළදපොල ගැන දැනගන්න ලැබෙන අලුත් දැනුම තව ලිපි හ‍රහා අපිත් එක්ක බෙදාගනියි කියල හිතනව.. :)

    ReplyDelete
  7. නියමයි මචං..ගොඩාක් දෙනා මේ ලිපිය නිසා මේ ගැන උනන්දු වෙයි කියල හිතෙනව. මේක ගැන මෙලෝ ඉලවිවක් නොදැන හිටපු මාත් සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්ත. ඉස්සරහට join වෙන්නත් අදහසක් ආව. බලමු...

    ReplyDelete
  8. නියම ලිපිය යාළුවේ... ඔයා දන්නවා වගේ මේක ගැන හොය හොයනේ මම ඉන්නේ මේ දවස්වල. ඉතිං සිරා ලිපිය. බොහොම ස්තූතියි.

    ReplyDelete
  9. අදහස් දක්වපු අයට ස්තුතියි.
    පොතේ ගුරා : සළකා බලමු.
    Kasun VP : මොකද මම නොදන්නෙ, ඉක්මනට සල්ලි ටිකක් දාල පටන් ගනින්, දැන් ලාභ ගන්න පුළුවන් කාලෙ.
    Ravin Perera: වරෙන් වරෙන්, ඕනෙම හෙල්ප් එකක් දෙන්නම්.
    (මම ඇවිල්ල අපේ එකෙක්ගෙ adviser විදිහටත් වැඩ කරනව, නොමිලේ. මොකද ඌ උගෙ broker firm එකේ adviser කියපුව ටිකක් අරන් දැන් කෙල වෙලා ඉන්නෙ. හික්ස්. )

    ReplyDelete
  10. අපිටත් සීන් එකට එන්ටර් වෙන්න පුළුවන්ද? 18+ වෙන්න ඕනද?

    ඔය එකවුන්ට් එක හදාගන්න එක ඔන්ලයින්ම කරන්න පුළුවන්ද?

    ආතල් එකටත් එක්ක පොඩ්ඩක් එන්ටර් වෙලා බලන්න හිතයි. අර තැරැව්කාර සමාගම් ද කාටද එක්ක සම්බන්ධ වෙනකොට එයාටලට ගෙවීමක් කරන්න ඕනද? එයාල එකක් සම්බන්ධ වෙන හැටි, තියන සමාගම්, එවායේ හොඳ නරක ඊළඟ ලිපියෙන් ලියන්න.

    ReplyDelete
  11. @ Supun Budhajeewa : මට මතක හැටියට නම් වයස ප්‍රශ්නයක් නෑ. ගිණුම ඔන්ලයින් හදන්න බෑ, ඔබට එම සමාගමේ වෙබ් අඩවියට ගිහිල්ල ඒ පෝරම බාගන්න පුළුවන්. නමුත් පිරවූ පෝරම තැපෑලෙන් හෝ එම ආයතනයට ගොස් භාර දිය යුතුයි.

    ReplyDelete
  12. මමත් මේක ගැන හරියට දැනගෙන වැඩේට බහින්න හිටියේ.පත්තරවල යන විස්තර කියෙව්වට එච්චර දැනුමක් අවේ නෑ.දැන් වැඩේ දැනගත්තා.තෑන්ක්ස්.......ලඟදිම වැඩේට බහින්න ඕන.....හෙල්ප් එකක් දීපන් කොල්ලො....මම උඹව contact කරන්නම්......

    ReplyDelete
  13. මාධවට තියෙන්නෙ CSE ගැන කියල දෙන "one man show" සමාගමක් පටන් ගන්න!

    ReplyDelete
  14. @ චමි.දේ.වා.: එල. පුළුවන් උදව්වක් දෙන්නම්.

    @ Ravin Perera : හ්ම්ම්. ඒ වගේ තමයි. මම තව ලිපි කිහිපයක් දාන්න හිතුව කට්ටියගෙ තියෙන උනන්දුව දැක්කම. ඊට පස්සෙ ඕනෙ නම් ඒ ටික දාල වෙන සයිට් එකක් උනත් හදන්න බැරියෑ, නේද?
    කොහොම හරි මේව කියවල තව කිහිප දෙනෙක් හරි මේ ක්ෂේත්‍රයට සෙට් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete
  15. කෙලින්ම ප්‍රින්ට් අවුට් එකක්ම ගත්ත :D

    ReplyDelete
  16. කාලෙකට ඉස්සර ටිකක් උනන්දු උනා. පස්සෙ මග ඇරුනා. මේක කියෙව්වම වැඩේට බහින්නම හිතෙනවා. වටිනා ලිපියක්. ඉතිරි විස්තරත් කියන්න.

    ReplyDelete
  17. මාත ලගදිම වැඩේට බහින්නයි ඉන්නෙ. හරියට කලොත් නියම බිස්නස් එක. ලංකාදිප පත්තරෙත් මේ ගැන පිලි පෙලක් ගියා මතකයි.මම ලග එයින් එක ලිපියක් නම් තියෙනවා. මෙන්න ලින්ක් එක - Download


    http://www.cse.lk වෙත පිවිස ඔබට කොටස් වෙලද පොල පිලිබදව ඇති පොත් පිංච ඉල්ලා සිටිය හැක. එය e mail කරනු ඇත

    ReplyDelete
  18. ලිපිය හුඟක් වැදගත්. මට පොඩි ගැටලුවක් තියෙනවා ඒකට උත්තරයක් දෙන්න පුලුවන්ද මචං,

    මම broker company එකකින් ඇහුවම CDS Account එකක් open කරන්න අවශ්‍ය අවම මුදල රු. 100,000/= කිවුවනේ. account එක free වුණාට අපි ගණුදෙනු පටන් ගන්න මේ ගාන දාන්න ඕනිලු. ඇත්තද මේ කතාව ? මීට වඩා අඩු ගාණකින් පටන් ගන්න බැරිද ?

    ReplyDelete
  19. @ Thejan: මොන බොරුද? මම පටන් ගත්තෙ 10,000කින්. තමුන්ට ඕනෙම ගානකින් පටන්ගන්න පුළුවනි. දෙතුන්දාහකින් උනත්. (හැබැයි එච්චර පොඩි ගානකින් නම් කරගෙන යන්න අමාරුයි.)

    ReplyDelete
  20. Thanks, good post, I need to start it too

    ReplyDelete
  21. Thanks for information. You are a good man.

    ReplyDelete
  22. machan good work for our country........

    ReplyDelete
  23. තැරැවුකාර ආයතන මොනවාද.
    .contact no තියනවාද විස්තර දැන ගන්න

    ReplyDelete
    Replies
    1. oyata one karana siyaluma wisthara cse.lk web adawiye thiyenawa.

      Delete
  24. Me post eka dapu kena aththatama hoda deyak kle..mata me post eka dapu kenwa poddak contacont kara gnna one...0785848578...lakmal

    ReplyDelete
    Replies
    1. ඔබට මාව madhawa(at)engineer(dot)com හරහා සම්බන්ධ කර ගත හැකියි. දුරකතන අංකය ප්‍රසිද්ධියේ පළ කරන්න කැමති නෑ. පසුව අංකය ඔබට පුද්ගලිකව දෙන්නම්.
      www.GuideToCSE.com වෙබ් අඩවියේ මම මේ ගැන ගොඩක් ලිපි ලියල දාල තියෙනව.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.