Sunday, September 27, 2009

Widgets

කොටස් වෙළඳපළ ආයෝජනයේ වාසි


මීට ඉස්සෙල්ල මේ ගැන කෙටියෙන් කියල තියෙනවනෙ. දැන් ටිකක් සවිස්තරව කියන්න හිතුව. කොටස් වෙළඳපළින් ප්‍රතිලාභ ලැබිය හැකි ආකාර දෙකක් ප්‍රධාන වශයෙන් තිබෙනව. 1. ලාභාංශ (Dividends) 
2. ප්‍රාග්ධන ලාභ (Capital gains)

මොනවද මේ ලාභාංශ කියන්නෙ?  
ලාභාංශ කියන්නෙ යම් සමාගමක් ලබන ලාභයෙන් කොටසක් එම සමාගමේ කොටස් හිමිකරුවන් අතර බෙදා දීම. වෙනත් වචන වලින් කිව්වොත් ලාභාංශයක් කියන්නෙ සමාගම ලැබූ ලාභයේ කොටස් හිමියාගේ කොටස.
එම වසර තුළ ලැබූ ලාභය අනුව, සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය, එම වසරට අදාළ ලාභාංශ අනුපාතය තීරණය කරනව. එය මූල්‍ය (Cash dividends) හෝ කොටස් (Share dividends) වියහැකියි. හැබැයි වැදගත් දෙයක්, සමාගම, එහි කොටස් හිමියන්ට ලාභාංශ ලබා දීම අනිවාර්ය නැහැ, සහ ඔවුන් එයට බැඳී නැහැ. ඔවුන්ට තීරණය කළ හැකියි, ලාභයන් කොටස් හිමියන් අතරේ බෙදාහරිනවද නැතිනම් යළි එය සමාගම සඳහාම යොදවනවද කියල. ලාභාංශ තමයි, තමුන්ගේ, එම සමාගම පිළිබඳ අයිතියට බලපෑමක් නොවී, ලාභ ලැබිය හැකි එකම ආකාරය.

XD - Date (Ex - Dividend Date)
මේක වැදගත්. තමුන් යම් සමාගමක ලාභාංශ ගන්න බලාපොරොත්තු වෙනවා නම්, එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන මෙම දිනයට පෙර, එම සමාගමේ කොටස් අයිතිය ලාබාගෙන, එම දිනයේදීත් එම අයිතිය පවත්වාගත යුතුයි. මෙම දිනයේදී ඔබ එම සමාගමේ කොටස් හිමියෙක් නම් මුලින් සමාගම විසින් ප්‍රකාශයට පත් කළ ලාභංශ සඳහා ඔබ සුදුස්සෙකු වෙනවා. සමාගම පකාශයට පත් කර ඇති ඊළඟ දිනයේදී ඔබට අදාළ ලාභාංශ එම සමාගම විසින් ඔබේ නිවසටම චෙක්පතක් මගින් එවනවා.

උදා: 
ඔබ X‍YZ සමාගමේ කොටස් 1000ක් රු. 12 බැගින් මිලදී ගන්නව. 
එම සමාගම තීරණය කරනව, එම සමාගමේ කොටස් හිමියන්ට එක කොටසකට ශත 50 බැගින් ලාභාංශ ලබා දීමට. ඔවුන් XD date එක වශයෙන් 2009.04.05 තීරණය කරනව. ලාභාංශ ගෙවන දිනය 2009.04.11 ලෙසත් ප්‍රසිද්ධ කරනවා. 
ඔබ එම දිනය වන විට එම කොටස් වල හිමිකාරීත්වය පවත්වා ගතහොත් ඔබට 2009.04.11 දිනයේදී 0.50 * 1000 = රු.500 ක ලාභාංශයක් හිමි වෙනවා.

එතකොට ප්‍රාග්ධන ලාභ කියන්නෙ?
තමා සතු වත්කමක වටිනාකම කාලය සමඟ වැඩි වන විට එයින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභයක් ලෙස හැඳින්වෙනවා. හබැයි මෙම ලාභය ලබන්න නම් එම වත්කම විකිණිය යුතුයි. මෙතනදි මේක වෙන්නෙ ,මෙහෙමයි. ඔබ යම් සමාගමක කොටස් ගන්නව යම් මිලකට. ටික කාලයක් යනවිට එහි මිල ඉහළ යනව. එතකොට ඔබට එතැන, ප්‍රාග්ධන ලාභයක් තිබෙනව. හැබැයි එම ලාභය ලබන්න ඔබ ඔබ සතු කොටස් දැන් වෙළඳපළ මිලට විකිණිය යුතු වෙනවා. එවිට ඔබේ ප්‍රාග්ධන ප්‍රමාණය ඉහළ යනවා. උදා: ඉස්සෙල්ල එකෙන්ම ගමුකෝ. කොටස් 1000ක් ගත්තනෙ රු.12ට. ඔන්න එම සමාගමේ කොටස් මිල ඉහල යනව 13.25ට. ඔබට දැන් එම කොටස් 1000 වික්කොත් ප්‍රාග්ධන ලාභයක් ගන්න පුළුවන්. කීයක්ද? 1000 * (13.25 - 12.00) = රු. 1250 තේරුනා නේද? තව ටිකක් නගිනකම් තියා ඉන්නත් පුළුවන්, නැත්තම් දැන්මම විකුණල ඒ 1250 ගන්නත් පුළුවන්.

ඉහත ක්‍රමය තමයි, මෙයින් ඉපයීම් කරන්න පුළුවන් ඉක්මන්ම හා ලේසිම ක්‍රමය.

දැන් කියන්නම් මෙතන තියෙන වැදගත්ම දේ. මේ ක්‍රමයෙන් ලාභය වගේම පාඩුවක් වෙන්නත් ඉඩ තියෙනව. හදිස්සියෙ එම කොටසක මිල පහළ ගියොත් මොකද වෙන්නෙ? ඔබට පාඩුවක් වෙනව. බය වෙන්න එපා, එහෙම වෙන්නෙ ඔබ ඒ කොටස් ටික දැන් තිබෙන මිලට වික්කොත්නෙ, අවස්ථානුකූලව එම පාඩුව විඳගනිමින් ඒවා විකුණනවද, නැත්තම් ආපහු වැඩි වනතෙක් තබා ගන්නවද කියල තීරණය කරන්න ඔබට පුළුවන්.

මම තව දෙයක් කිව්ව මතකයි නේද? 
ප්‍රාග්ධන ලාභ මගින් මේ ලැබෙන ආදායම සම්පූර්ණයෙන් රජයේ ආදායම් බදු වලින් තොරයි. ඔබ මෙම ලබා ගන්නා ආදායමට කිසිම විදිහකින් ආදායම් බදු ගෙවිය යුතු නෑ.

මේ ප්‍රධාන වාසි වලට අමතරව කොටස් හිමියන්ට තවත් අමතර වාසි තිබෙනව. ඒව ඊළඟ ලිපියෙන් කතා කරමු.

කොටස් වෙළඳපළ සම්බන්ධ මුල් ලිපි කියවන්න.


6 comments:

  1. මචෝ, අපිට ආයෝජනය කරන්න පුලුවන් අඩුම මුදලක් තියනවද?

    ReplyDelete
  2. එහෙම සීමාවක් නෑ. ඕනෙම ගානක් දාන්න පුළුවන්. හැබැයි ඉතින් චූටි ගානක් දාල නම්මොකුත් කරගන්න බැරි වෙයි. අනික දැන් මාකට් එක හුඟක් අප් නිසා ටිකක් ලොකු ගානක දාන්න වෙනව හොඳ කොටස් ගන්න.

    ReplyDelete
  3. XYZ උදාහරණය සම්බන්ධයෙන් ;
    1) 04-05 සිට 04-11 දක්වා දින 6කට රුපියල් 500ක් ලැබෙනවා. එම 500 යනු එම දින 6යේ පමණක් ලාභාංශයද?ඉන් අනතුරුව ඔවුන් ලාභාංශ ලබාදෙන්නේ කෙසේද?එම ප්‍රතිශතයටම යටත්වද?

    2) අපි අදාල දිනයට පෙර ලබා ගෙන ලාභාංශ ගෙනව දිනය දක්වා රදවාගෙන ගොස් ලාභාංශ ලබාගෙන ඉන් අනතුරුව පසු දින
    (04-12) ඒවා විකුණා මුදල් කල හැකිද? :D
    එනම් ගත් කොටස් නිශ්චිත කාලයක් අනිවාර්යෙන්ම සමාගමේ තිබිය යුතු නැද්ද?

    ReplyDelete
  4. ඔබ 04.05 දිනට පෙර එම සමාගමේ කොටස් හිමිකාරිත්වය ලබාගෙන 04.11 දින දක්වා එම කොටස් ඔබ ලඟ තබාගත යුතුයි. ඊට පසු දින විකුණා දමන්න පුළුවන්. ලාභාංශ දෙන්නෙ වසරටම, එම දින කිහිපයට නෙමෙයි.

    ReplyDelete
  5. අති සුළුතරයක් කොටස් වෙලඅපොලේ ඉන්න ලංකාවෙ මේ වගේ විස්තරාත්ම ලිපියක් දකින්න ලැබන එකත් පුදුමයි. බොහෝම ස්තූතියි සහෝදරයා :D


    ප්‍රශ්නයක්.............
    සමා‍න්‍යෙන් ලාභාංශ ලබාදෙන්න තීරණය කරන්නෙ මොන වගේ සමාගම්ද ?

    (අධික ලාභ) ලබන (ප්‍රසිද්ධ) සමාගම් ද ?
    නැත්නංම් (පාඩු) ලබන (අප්‍රසිද්ධ) සමාගම්ද ?

    ReplyDelete
  6. ඔබ අති සුළුතරයක් කියල හඳුන්වන්නෙත් ලක්ෂ 2-3ක ජනතාවක්, වෙනත් රටවල කොටස් වෙළඳපළ හා එක්වෙලා ඉන්න ප්‍රතිශතය බැලුවම නම් ඔබේ කතාව හරි. :) මම උත්සාහ කරන්නෙ ඒ අගය තව චුට්ටක් හරි වැඩි කරල දෙන්න.
    ඔබ දන්නව ඇතිනෙ, මේ ලිපි මෙතන තිබ්බට, දැන් මේ සඳහාම වෙනමම අඩවියක් සකසල තියෙනව කියල? www.guidetocse.com

    ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඔබේම උත්තර දෙකෙන් එකක් දුන්නොත් උත්තරේ අධික ලාභ ලබන ප්‍රසිද්ධ සමගම. අලාභ ලබනව නම් ලාභාංශ දෙන්න බෑ නෙ නෙද?
    නමුත් හැම වෙලේම එහෙම කියන්නම බෑ, අධික ලාභයක් නොලැබුවත් සමහර සමාගම් තමුන් ලබන ලාභය බෙදනවා. ප්‍රසිද්ධියයි ලාභාංශ දීමයි අතර නම් සම්බන්ධයක් නෑ.
    හිතනව ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබුන කියල.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.