Monday, November 4, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ කැමැත්තන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාලගෙ හැකියාවන් අනුව වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

1. ඔයා පාසලේදි වැඩිපුරම දක්ෂතා දැක්වූ විෂයන්, වෙනත් දේ මොනවාද?
පාසලේදී ඕනේම කෙනෙක් හැම විෂයකට නොවුනත්, සමහරක් විෂයන්ට වැඩිපුර දක්ෂයි. ඔබ එහෙම වැඩිපුරම දක්ෂතා පෙන්වූ විෂය / විෂයන් මොනවාද? ඒ හරහා ඔබගේ වෘත්තියක් තෝරා ගන්න පුළුවන් වෙයි.

උදා: ඔබ භූගෝල විද්‍යාව විෂයයට කැමතිද? එහෙම නම් භූ ගර්භ විද්‍යාඥයෙක්, භූ විද්‍යා සම්බන්ධ විශේෂඥයෙක් වෙන්න කැමැත්තක් ඇති නේද? ඔබ ගණිතය විෂයට කැමතිද? එහෙනම් ගණිතඥයෙක්, ගණකාධිවරයෙක් වෙන්න ඔයාට පුළුවන්.

2. ඔබ කුමනාකාරයේ හැකියාවන් වලින්ද විශිෂ්ඨත්වය දක්වන්නේ?
කැම කෙනෙක්ටම විවිධ දක්ෂතා තිබෙනව. සමහරු අඳින්න දක්ෂයි, සමහරු ගී ගයන්න දක්ෂයි, සමහරු විවිධ නිර්මාණ කරන්න දක්ෂයි, සමහරු උපකරණ අලුත්වැඩියා කරන්න දක්ෂයි. ඉතින් ඔයා දක්ෂ මොනවටද?
ඔයා ගී ගයන්න දක්ෂ නම් ඇයි ගායකයෙක් / ගායිකාවක් වෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?
ඔය ඉවුම් පිහුම් වලට දක්ෂ නම් කෝකියෙක් වෙන්න ආස නැද්ද?

3. ඔබගේ අන්තර් පුද්ගල සම්බන්ධතා සළකා බලන්න.
සමහරු, මිනිස්සු එක්ක කතා බහ කරන්න, අදහස් හුවමාරු කරගන්න, දක්ෂයි. මෙ කියන්නෙ නිකම්ම ඔහේ කියවන එක නෙමෙයි, අනිත් අයට සවන්දෙන්න, එයාලගෙ ගැටළු වලට උත්තර දෙන්න, අනිත් අයට උදව් කරන්න,  වගේ දේවල්.

ඉතින් ඔයා මේ දේට දක්ෂ නම් ඒ හරහා ඔබගේ වෘත්තිය තෝරා ගන්නත් පුළුවන්. 
අනිත් අයට උදව් කරන්න කැමති නම් හෙදියක් වෙන්න ඔබට පුළුවන්. හොඳ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් කුමක් හෝ ආයතනයක මානව සම්පත් කළමණාකාර තනතුරක්, පාලක තනතුරක් ලබා ගන්න පුළුවන්.

4. ඔබගේ හැකියාවන් ඔබටම හඳුනා ගන්න අමාරුද?

එහෙනම් අහන්න. සමහර වෙලාවට අපිටම හිතාගන්න බෑ අපි මොනවටද දක්ෂ කියල. ඉතින් මොකද කරන්නෙ??? අහන්න. ඔබගේ පවුලේ අයගෙන්, නෑදෑයින්ගෙන්, මිතුරන්ගෙන්, ගුරුවරයාගෙන් අහන්න. ඔවුන් ඔබගේ හැකියාවන් හඳුනාගෙන සිටිනවා වෙන්න පුළුවන්. 


එහෙනම් ඊළඟ කොටසෙන් බලමු, ඔබ දැන් සිටින තත්වය අනුව කොහොමද ඔබගේ වෘත්තිය තෝරා ගන්නෙ කියල. 


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, November 2, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

හරි. අපි අද ලිපියෙන් හඳුනාගැනීම ගැන තව දුරටත් කතා කරමු.

හඳුනාගැනීම කරන ආකාර 4ක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.
2. ඔබගේ හැකියාවන් ගැන සළකන්න.
3. ඔබගේ වර්තමාන තත්වය ගැන සළකන්න.
4. ඔබගේ අනාගතය ගැන සළකන්න.

ඉතින් අංක එකෙන් පටන් ගනිමු. 

1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.

1. ඔබ සිහින දකින අනාගතය
පරණ කියමනක් තියෙනව දන්නව ඇති ඔයාල. "ඔයාට රු.මිලියනයක් හම්බුනොත් මොකද කරන්නෙ?" මේකට දෙන උත්තරෙන් ඔයාට ඕනෙ රස්සාව මොකද්ද කියල නම් කියන්න බෑ. නමුත් ඔයාගෙ හිත ඇතුළ ගැන අදහසක් ගන්න පුළුවන්. ටිකක් හිතල බලන්න.
  • ඔයාට ඕනෙ නම් සංගීත ලෝකයේ ඉහළින් වැජඹෙන්න, සංගීතය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න, නැතිනම් ඒ සම්බන්ධ දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ හරහා අර සිහිනය ජයගන්න ආරම්භය ගන්න පුළුවන්.
  • ඔයාට ඕනෙ නම් ප්‍රසිද්ධ නළුවෙක් නැතිනම් නිවේදකයෙක් වෙන්න, සන්නිවේදනය / නාට්‍යකරණය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න පටන්ගන්න, නැතිනම් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවයකට බැඳිල එතනින් පටන් අරගෙන ඉස්සරහට යන්න.
  • ඔයාගෙ ආසාව ලෝකෙ වටේ යන්න නම්, පයිලට් කෙනෙක් නැතිනම් ගුවන් සේවකයෙක්/සේවිකාවක් වෙන්න පුළුවන්. එතකොට රැකියාවකුත් එක්කම ඔබගේ සිහිනය සැබෑ කරගන්නත් ඔබට පුළුවන්. 
2. ඔබගේ විනෝදාංශ

ඔයාගෙ විනෝදාංශය ඔයාගෙ රැකියාව කරගන්න කිසිම අපහසුවක් නෑ. හුඟක් විනෝදාංශ සාමාන්‍යයෙන් ලෝකයෙ තියෙන රැකියාවකට සමාන කරන්න පුළුවන්. ඉතින් ඔයාගෙ විනෝදාංශයම කරගෙන යන්න පුළුවන් රැකියාවක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.
  • ඔයා කැමතිද ගොඩක් පරිගණක ක්‍රීඩා කරන්න. ඉතින් එහෙනම් පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන Programmer කෙනෙක්, නැතිනම් පරිගණක් ක්‍රීඩා පරික්ෂා කරන QA Analyst කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.
  • ඔයා වනජීවී ඡායාරූපකරණයට කැමතිද? ඉතින් ඔයාට පුළුවන්නෙ වනජීවී ඡායාරූපශිල්පියෙක් වෙලා ඡායාරූප අරගෙන විකුණන්න. 
  • ඔයා කැමති චිත්‍ර අඳින්නද? එහෙනම් ඇයි ග්‍රැෆික් නිර්මාණකරණයට යොමු වෙන්නෙ නැත්තෙ? 
  • ඔබ කැමති ක්‍රීඩා වලටද? ඉතින් ඔබ කැමති ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහිල්ල ඒ ක්‍රීඩාවල අදාල පුහුණුකරුවෙක් වෙන්න උත්සාහ කරන්න.
3. පාසලේදී කැමතිම දේවල්
පාසලේදී කැමති විෂයන් හරහා ඔයාලගෙ අනාගත රැකියාව හිතන්න පුළුවන්. නමුත් මේ හරහා එන රැකියා වලට මුල් ඒවාට වඩා අධාපනික දැනුම කාලය වියදම් වෙනව. ඒ නිසා මෙවට ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
  • ඔයා උසස්පෙළට විද්‍යා විෂයන් කරනව නම් රසායන විද්‍යාවට නම් වැඩිපුරම කැමති, රසායන විද්‍යාඥයෙක්, Lab Technician කෙනෙක්, Pharmacist වගේ රැකියාවකට යොමුවෙන්න පුළුවන්.
  • ඔබ ඉංග්‍රීසි භාෂාවට නම් වැඩිපුරම ඉංග්‍රීසි ගුරුවරයෙක්, පුවත්පත් කතුවරයෙක්, Copywriter කෙනෙක් වෙන්න පුළුවන්නෙ.
  • ගණිතයට, ගිණුම්කරණයට ගොඩක් කැමති නම්, ගණකාධිවරයෙක්, වගේ රැකියාවක් ගැන මොකද හිතන්නෙ?
ඔබගේ හැකියාවන් ගැන සළකල අනාගත වෘත්තිය තෝරාගන්න හැටි ඊලඟ ලිපියෙන් බලමු.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, October 26, 2013

නොසළකා හැරිය යුතු, බ්ලොග් ලිවීම සම්බන්ධ උපදෙස්

අන්තර්ජාලය දැන් බ්ලොග්කරුවන්ගෙන් පිරිල තියෙනව. සිංහල බ්ලොග් ලියන්නොත් දහස් ගණනක් දැන් ඉන්නවනෙ. ඔයාලත් බ්ලොග් ලියනවනෙ නේද? 
සමහර බ්ලොග් වලින් අපි ගොඩක් ප්‍රයෝජන ගන්නව. විවිධ දේවල් ඉගෙනගන්නව, අපේ වැඩ කරගන්න පහසු ක්‍රම හොයාගන්නව, සමහර බ්ලොග් වලින් විවිධාකාරයේ උපදෙස් ලබා දෙනව. උදාහරණයක් විදිහට බ්ලොග් ලිවීම සඳහා. මම මේ කියන්නෙත් ඒ වගේ එකක්නෙ. 
ඉතින් සමහර උපදෙස් වැදගත්, නමුත් සමහර උපදෙස් තිබෙනවා නොසළකා හරින්න ඕනෙ, ඒ කියන්නෙ ඒ උපදෙස් නම් හොඳ ඒව නෙමෙයි. 
එහෙම නරක උපදෙස් ටිකක් ගැන මම කියන්නම්.


බ්ලොග් එකක් පටන් අරගන්න. ලේසියෙන්ම ගෙදර ඉඳන් සල්ලි හොයන්න පුළුවන්. 
සමහරු කියනව, බ්ලොග් එකක් පටන් අරගෙන ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියල. මේක වැඩිපුරම කියන්නෙ, එයාල ගාව තියෙනවයි කියන "රහස් වට්ටෝරුවක්" ගැන කියලයි. ඒක විකුණගන්න. සමහරු ඒක සල්ලි වලට අරගෙන අන්තිමට අසාර්ථක වෙනව. බ්ලොග් වලින් සල්ලි හොයන්න බෑ කියල මම කියන්නෙ නෑ, නමුත් ඔය කියන තරම් නම් ලේසි නෑ.

දවසකට මිනිත්තු 5ක් බ්ලොග් ලියන්න ගත කළා නම් ඇති.
මේ කියන තරම් බ්ලොග් ලියන එක ලේසි නම් කොච්චර හොඳද. නමුත් සාර්ථක බ්ලොග් ලියන්නෙක් වෙන්න ඕනෙ නම් ඒක මේ තරම් සරළව පොඩි කාලයක් ගත කරල නම් කරන්න බෑ.

බ්ලොග් කරුවෙන් වශයෙන් සාර්ථක වෙන්න පුළුවන් ලේසි විශේෂ ක්‍රම තියෙනව.
මෙහෙම ක්‍රම තියෙනව නම් කොච්චර ලේසිද නේද? ඒත් දුක කියන්නෙ එහෙම විශේෂ ක්‍රම, අර කිව්ව වගේ රහස් වට්ටෝරු නම් නෑ සාර්ථක බ්ලොග් ලියන්නෙක් වෙන්න. ඔබ හොඳට ලියන්නම ඕනෙ.

ඔබ දන්න මොනව හරි දෙයක් ලියන්න.
මේක හුඟක් අය පටලවගන්න දෙයක්. මේ කියන්නෙ ඔයාගෙ ජීවිතේ වෙච්ච හැමදෙයක්ම නෙමෙයි, ජීවිත අත්දැකීම් වලින් උනත් ගොඩක් දේවල් අනිත් අයට දෙන්න පුළුවන්, නමුත් හැම දෙයකින්ම නෙමෙයි. බ්ලොග් කියවන අයගෙ අවශ්‍යතාත් හඳුනා ගන්න වෙනව.

ලියන තරම වැඩි වෙන තරමට තමයි හොඳ.
නෑ. ඇත්තෙන්ම නෑ. කොච්චර ලිව්වත් වැඩක් නෑ, ඒ ලියන දේවල් වලින් අනිත් අයට ප්‍රයෝජනයක් නැතිනම්. ඉතින් වැදගත් වෙන්නෙ ලියන ප්‍රමාණය නෙමෙයි, ලියන ඒවයෙ තත්වය නැතිනම් වටිනාකම. අපි ලියන දේවල් වල වටිනාකමක් නැති නම් අනිත් අය බලන්නෙ නෑ නේද?

පිටතින් කතුවරයින් අරගෙන එයාලට ලියන්න දීල විවේක ගන්න.
ඔබේම බ්ලොග් එකක ඔබේම අනන්‍යතාවයක් ගොඩනඟාගන්න ඔබ හිතනව නම් උත්සාහ කරනව නම් පිටතින් කතුවරුන් අරගෙන ලිපි ලියල දාල නම් වැඩක් වෙන්නෙ නෑ. ඔයාලම ලියන්න ඕනෙ. 

බ්ලොග් ලියනකොට ඔබගේ අනන්‍යතාවය සඟවන්න.
සමහරු බ්ලොග් ලියන්නෙ වෙනත් නම් වලින්, නැති නම් මවාගත් චරිතයක් තුළින්. ඒකෙ නරකක් කියන්න බෑ. එහෙම වෙනත් නම් වලින් හුඟක් සාර්ථක බ්ලොග් ලියන අය අපි අතර කොච්චර ඉන්නවද. නමුත් තමුන්ගෙම අනන්‍යතාවයක් ගොඩනඟාගෙන බ්ලොග් ලියනකොට ඒ හරහා වඩාත් විශ්වාසවන්තී කියවන්නන් පිරිසක් ඔයාලගෙ වටේ එකතු කරගන්න පුළුවන්.

සෘණාත්මක කමෙන්ට් ඉවත් කරන්න.
මේකත් කරන්න නරකම වැඩක්. සෘණාත්මක අදහස් කියන්නෙ ඔයාගෙ දුර්වලතා මඟහරවා ගන්න මාර්ගයක්. ඒව ඉවත් කරන එක නෙමෙයි කළ යුත්තේ ඒවාට පිළිතුරු සැපයීම, නිවැරදි මාර්ගයට පැමිණීම. 

අදහස් වලට පිළිතුරු දෙන්න එපා.
මේක නම් අපේ සිංහල බ්ලොග් කරුවන් අතරේ වෙනව අඩුයි මම හිතන්නෙ. කොච්චර ලිව්වත්, ඒව ප්‍රසිද්ධ කර කර හිටියත්, කොච්චර කාර්යබහුල උනත්, ඔයාගෙ බ්ලොග් එකට ඇවිල්ල ලිපියක් කියවල අදහසක් දක්වල යන කෙනෙක්ට පිළිතුරක් දෙන්න කොයි වෙලේවත් මැලි වෙන්න එපා. එතනිනුත් ඔයාගෙ වටේ ඉන්න කියවන්නන් අතර විශ්වාසයක් ගොඩ නැඟෙනව. 

ලිපි ලිවීම ගැන පමණක් හිතන්න, කියවන්නන් ඉබේම ඒවි.
මේක නම් තනිකරම බොරුවක්. සුපිරිම ලිපි 100ක් ලිව්වත් වැඩක් නෑ, අනිත් අයට ඒක ගැන කිව්වෙ නැති නම්. ඉතින් ලිපියක් ලිව්වම ඒක ගැන අනිත අයටට් කියන එක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්.

සෙවුම් යන්ත්‍ර ඉලක්ක කරගෙන ලියන්න.
මේකත් තේරුමක් නැති වැඩක්. වැඩිපුරම සෙවුම් කරන දේවල් ගැන ලිව්වත් ලියන්න ඕනෙ අලුත්ම දෙයක්. තියෙන දෙයක්ම ආපහු ලියන එක එතරම්ම තේරුමක් නෑ. මොකද දැන් සෙවුම් යන්ත්‍රත් ගොඩක් සංකීර්ණ ක්‍රම අනුගමනය කරනව unique content හොයන්න. ඉතින් කළ යුත්තේ අලුත්ම දෙයක් ලියන එක. ඒක පිළිබඳ කියන එක. සෙවුම් යන්ත්‍ර ඔයාට ට්‍රැෆික් එවයි ටික ටික.

ලෝකෙටම පෙන්නන්න ඉස්සෙල්ල කිසිම වැරැද්දක් නැති බව තහවුරු කරගන්න.
මෙහෙම කරන්න ගියොත් කවදාවත් වැඩක් කරන්න වෙන්නෙ නෑ. අපි කරන ලියන දෙයක් 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. (නමුත් වැරදි බොරු ලියන්න කියල නෙමෙයි මේ කියන්නෙ) මුළින්ම කරන්න ඕනෙ අපි ලියන දේ ලෝකයාට දෙන එක. ඊට පස්සෙ පුළුව්න් ඒක දියුණු කරන්න. 

මීට අමතරව තව දේවල් ඇති. මේ මට හම්බුනු දේවල් ටිකක්. ඔයාලගෙ අදහස් වලටත් විවෘතයි.

Thursday, October 17, 2013

ඇයි අපි බ්ලොග් ලියන්නෙ??? නවත්තන්න හිතෙනවද?

හ්ම්ම්. ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ ආව. පස්සෙ ඉතින් කොහොම හරි ලියන්න පටන් ගත්තනෙ. අවුරුදු 4ක් බ්ලොග් ලිව්වනෙ. දැන් ලියවෙන්නෙම නෑ. :(
ඇයි ඇත්තටම??? වෙලාව මඳ කමකුත් නෙමෙයි, ඇත්තටම කම්මැලිකමටද මන්ද. උවමනාවක් නැතිවද මන්ද.
නවත්තන්නත් හිතෙනව, ඒත් නවත්තන්න හිතෙන්නෙත් නෑ.

ඇයි අපි බ්ලොග් ලියන්නෙ? 
ආපහු අවුරුදු 4කට ඉස්සෙල්ල මගෙ හිතට ආපු ප්‍රශ්නෙම මම අද ආපහු උත්තරයක් හිතනව.
මෙන්න උත්තර.


1. අපි අලුත්ම දෙයක් තමයි දෙන්න හදන්නෙ.
අපි අපිට වැඩක් තිබෙන නැතිනම් අනිත් අයට වැඩක් තිබෙන, අපිට වැඩක් නැති, නැතිනම් වෙනත් අයටත් වැඩක් නැති දේවල් දවසක් ඇතුළත කොච්චර කරනවද? 
පරිගණකය ඉස්සරහට වෙලා ඉඳගෙන අපේම වචනයෙන් අපි බ්ලොග් ලිපියක් ලියනකොට මොකද වෙන්නෙ? අපි අපේම අලුත්ම දෙයක් ලෝකෙට දෙනව. සමහර විට ඒකෙ කියවන්න කෙනෙක් නැති වෙයි, සමහරවිට අදහස් එකක්වත් එන එකක් නෑ. නමුත්, අපි අලූත්ම දෙයක් ලෝකෙට දීල නේද? (කොපි කරන්නන්ට වලංගු නොවේ.)

2. ලියන එකෙන් අපි සතුටක් ලබනවා
බ්ලොග් ලියන එකෙත් එක්තරා සතුටක් තියෙනව. අපේ බ්ලොග් ලිපිය බලන්න ගොඩක් අය ඉන්නෙ නැති වෙන්න පුලුවන්, කමෙන්ට් එන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් අපේම වචන වලින් අපේ හිතේ තියෙන අදහස් එකතු කරල ලිපියක් ලියනකොට ඒ ලිපිය පබ්ලිශ් කළාම ඇත්තටම හිතට සතුටක් දැනෙනව නේද?
සමහරු නම් සිය ගාණක් කට්ටියතමන් වටේ එකතු කරගෙන ලිපි ලියනව, එයාලගෙ ලිපි කියනවන්න කමෙන්ට් කරන්න සිය ගණන් කට්ටිය ඉන්නව. හැමෝටම එහෙම නෙමෙයි. 
නමුත් ලිපි ලිවීමෙන් සතුටක් දැනෙනව නේද?

3. අපි අලුත් දේවල් ඉගෙන ගන්නව
අපි බ්ලොග් එකක් පටන් අරගෙන ඒක දියුණු කරගන්න, ඒකට එක එක දේවල් එකතු කරගන්න තවත් විවිධාකාරයෙන් බ්ලොග් එක දියුණු කරන ආකාර ඉගෙන ගන්නව. බ්ලොග් එකට එන අයත් එක්ක කතා කරනකොට (කමෙන්ට් වලින්) අපි අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟන්න ඉගෙන ගන්නව. 
ඉගෙන ගන්නව කියන එක නවතින දෙයක් නෙමෙයිනෙ නේද?

4. අපි අලුත් මිතුරන් ඇති කරගන්නව
බ්ලොග් කියන්නෙත් එක්තරා සමාජ ජාලයක්. අපි බ්ලොග් කියවනව, අපේ බ්ලොග් වෙනත් අය කියවනව. ඉතින් එක ආකාරයේ කැමැත්තන් තියෙන අය එකට එකතු වෙනව. අපේ ලිපි කියවන්න ඇවිල්ල අපේ මිතුරන් වෙන අය කොච්චර ඉන්නවද. මගෙ PhotographyLK බ්ලොග් එක හරහා මම මිතුරන් සිය ගාණක් ඇතිකරගෙන තිබෙනව. Guide To CSE බ්ලොග් එකෙනුත් එහෙමයි. ඇයි මේ බ්ලොග් එකෙන්. කැම්පස් එකේදි සමහරු මාව දැක්කම මට ඒ දවස් වල කතා කළේ මගෙ නම කියල නෙමෙයි, මගෙ බ්ලොග් එකක නමක් කියල. :D 
ඇයි බ්ලොග් ලියන අපේ ලඟ පාතම හිටි අයත් හම්බෙනවනෙ. පිට රටවල් වල අයත්. කොහොම හරි, බ්ලොග් හරහා අපිට පුලුවන් ගමේ ඉන්න බ්ලොග් ලියන කෙනත්, ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් ලියන්නන් එක්කත් මිතුරු වෙන්න. 

5. අපි මිනිස්සුන්ට උදව් කරනවා
අපේ බ්ලොග් එකට එන්නෙ 10දෙනා වෙන්න පුළුවන්, 1000දෙනෙක් වෙන්නත් පුළුවන්. ගණන කීය උනත්, ඒ ලිපිය කියවන අය යම්ම හෝ ප්‍රයෝජනයක් ගන්නව නම් අපි කාටහරි එක්කෙනෙක්ට හරි යම් උදව්වක් නේද කරල තියෙන්නෙ?
අපි අධ්‍යාපනික දෙයක්, මොකක් හරි කරන හැටි ලිව්වොත්, ඒක ඉගෙනගන්න අයට කොච්චර පහසුවක්ද. අපි විහිළුවක් ලිව්වොත් කාගෙ හරි හිතේ සතුටක් ඇති කරන්න අපිට පුළුවන් නේද? අපි ලියන දෙයක් කියවල කෙනෙක් හිතන විදිහ වෙනස් කරගත්තු අයත් ඇති නේද?
අපි වෙනසක් කරන්න උත්සාහ කරනව නම් ඒ උත්සාහය කොතරම් පොඩිද ලොකුද කියල හිතන්න අපි අවශ්‍ය නෑ. වෙනසක් කරනව නම් එපමණයි අවශ්‍ය වන්නේ.

6. අපි මුදල් ඉපයීමක් කරන්න ආසන්නව ඉන්නෙ.
සමහරවිට දැනටමත් සමහරු බ්ලොග් එක හරහා මුදල් උපයනව. සමහරු කිසිම වාසියක් නැතිව වෙහෙසෙනව. (මමත් ඒ ජාතියෙනෙ). 
නමුත් ඇත්තටම ඉතින් මොකද. සමහරු බ්ලොග් හදන්නෙ මුදල් උපයන්න, සමහරු සතුටක් ලබාගන්න, මේ උඩ කිව්ව මොකක් හරි හේතුවක් නිසා.
රුපියලක් උපයන්න පුළුවන් උනත් ඒකත් වැදගත් නේද? ටිකක් මහන්සි උනොත් ඊට වඩා දෙයක් උනත් කරගන්න බැරි වෙන්නෙ නෑ. ටිකක් නිර්මාණාත්මකව හිතන්නයි ඕනෙ. රැකියාවක් කරන්නෙ නැද්ද? එහෙනම් ඇයි උත්සාහ කරන්නෙ නැත්තෙ? ඔබේම මුදලක් උපයන්න?

7. අපි හරිම ලස්සන ගමනක් යන ගමන් ඉන්නෙ.
බ්ලොග් ලිවීම කියන්නෙ ඇත්තටම හරිම ලස්සන දෙයක්. අර කිව්ව වගේ අලුත් යාලුවො, අලුත් දේවල් අපිට හම්බ වෙනව, ඉගෙන ගන්නව, උගන්නනව. මේ හරහා අපි කොයි පැත්තකට යාවිද අපිටම කියන්න බෑ. අපි තෝරාගන්නා යම් ඉලක්කයකට උනත් යන්න උනත් අපිට පුළුවන්, නැතිනම් වටපිට බල බල හෙමීට හිත හැරුනු අතේ යන්නත් පුළුවන්, සමහර විට එහෙම ගිහිල්ල ගොඩක් ලස්සන තැනක නවතින්නත් ඉඩ තියෙනව. 
ඉතින් හරිම ඉලක්කයක් නැතිනම් හිතන්න එපා, හිතේ හැටියට යන්න, ලස්සන තැනක ඔබ නවතීවි.

බැරි වෙලාවත් අපි බ්ලොග් ලියන එක නැවැත්තුවොත්????
අපි දන්නෙ නෑ අර ලස්සන තැන කොයි වගේ වෙයිද කියල.

ඉතින්.....
මම නම් බ්ලොග් ලියන එක නවත්තන්නෙ නෑ. 

Tuesday, September 17, 2013

මේ පාරත් Book Fair ගියාලු

මේ පාර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා නම් තමයි, නමුත් ගිය පාර වගේ ලිපි ලියන්න බැරි උනානෙ.
ගිය පාර නම් යන්න ඉස්සෙල්ලත් එකක් ලියල, ගිහිල්ල ඇවිල්ලත් එකක් ලිව්ව. මේ පාර ගිහිල්ල ඇවිල්ල තමයි ලියන්නෙ. 
මේ ලිපි වලින් හොඳ පොත් ලිස්ට් එකක් හදාගන්න උනත් පුලුවන් වෙයි මේ පාර යන අයට.

මේ තියෙන්නෙ මම සහ අපේ නංග ගත්තු පොත් සෙට් එක. අම්මත් ගියානෙ. 


1-10 මම ගත්තුව, 11,12 අම්ම ගත්තුව, 13-19 නංගි ගත්තුව. 

1. පන්සිය පණස් ජාතක පොත
2. තෙවන ඇස - ලොබ්සාන් රම්පා
3. ජීවිතේ අභියෝග වලට සතුටින් මුහුණ දෙන හැටි - අජාන් බ්‍රහ්මවංසෝ
3. සිත් තැවුල් ඇති කරගන්න එපා, බලාපොරොත්තු සහගත වන්න. - අජාන් බ්‍රහ්මවංසෝ
4. විමුක්ති රසය - අචාන් චා
5. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 3
6. සප්ත අපරිහාණී ධර්ම
7. ඈ සහ ඇලන් - රයිඩර් හැගාඩ්
8. අස්වැන්න - ජයසේන ජයකොඩි
9. මිහිකතේ ගීතය - ආතර් සී. ක්ලාක්
10. චන්ද්‍ර ගවේෂකයෝ - ආතර් සී. ක්ලාක්
11. පාරමිතා ප්‍රකරණය - රේණුකානේ චන්දවිමල
12. පුණ්යෝපදේශය - රේණුකානේ චන්දවිමල
13. දිණමිණ සූප ශාස්ත්‍රය 
14. ලන්තෑරුම් දහසේ නිවස - වික්ටෝරියා හෝල්ට්
15. බඹර තුඩේ අභිරහස
16. A bend in the road - Nicholas Sparks
17. Why didn't they asked Evans? - Agatha Christi
18. Diamond in the rough - Diana Palmer
19. Death in the clouds - Agatha Christi

අනාගත සැළසුම් සඳහා මුදල් ඉතුරු කරගන්නත්, ගිය අවුරුද්දෙ ගෙනාපු පොත් ඔක්කොම තවමත් කියවල ඉවර නැති නිසත්, මේ පාර ගත්තෙ පොත් පොඩ්ඩයි. 

මේ පාර කට්ටිය හරියකට සෙට් වෙන්න බැරි උනා. නමුත් ටික ටික හරි මුණ ගැහුන. මමයි මගෙ කෙලි පොඩ්ඩයි ගියා. නිසුපා සහ බට්ටි කෙල්ල පරක්කු වෙලා ආවා, නෙරන්ජි, සිහින, චින්තක පස්සෙ සෙට් උනා, අයිස් සහ ඩී.ජේ ආව කිව්වට මට හම්බුනේ නෑ. අපේ දිමුතු ආවට මිනිහ ආපු ගමන්ම වගේ වාෂ්ප වෙලා තිබුනා. දුක්බර ලෙස උදිතට එන්න බැරි උනා මොකෝ ඌ දේස දීපංකරේ ගොහිල්ල නිසා.

කට්ටිය හරියකට සෙට් උනා නම් පොඩ්ඩං පාටියක් දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මමයි මගෙ කෙල්ලයි ඉක්මනට ගියානෙ. (මම නම් ආපහු ආව). 
සිව්මාන ක්‍රියේෂන්ස් අනුග්‍රහයෙන්, මම මගෙ කෙලි පොඩ්ඩට ඇනිවසරි කාඩ් එකක් දුන්න. වැඩේ කියන්නෙ ඔක්කොම එදා එකම පාටට ගැළපුනානෙ. :)



Sunday, July 7, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 2

හඳුනාගැනීම - 1 ලිපිය කියෙව්වද?


දැන් ජොබ් කරන අය, ඒ ලිපියේ තිබ්බ වගේ තමුන්ගෙ හිත ගිය ආකාරයේ ජොබ් එකක්ද කරන්නෙ? එහෙනම් ඔයාල එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනව. ඔයා ඒක දැන් කරන්නෙ කැමැත්තෙන් කරගෙන යනවද?
නැත්තම් ඔයා කරන්නෙ ඔයා කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නෙමෙයිද? ඔයා ඒ ජොබ් එක කරන්නෙ අකමැත්තෙන්ද?

කැමති ආකාරයේ ජොබ් එකක් හම්බුනත් ඒක කරන්නෙ සතුටින් නෙමෙයි නම් ඔබ පරාදයි. සතුටින් කරනව නම් ඔබ දිනුම්. නමුත් ඔබ ඒ ජොබ් එකට දක්ෂයෙක්ද?
කැමැත්තෙන් හිටි ආකාරයේ ජොබ් එකක් හම්බුනේ නැතත් දැන් කරන ජොබ් එක ඔබ සතුටින් කරනවද? එහෙනම් ඔබත් යම් ආකාරයකින් දිනුම්. ඔබ ඒ කරන ජොබ් එකට දක්ෂද?

කැමති ජොබ් එකක් හම්බ වෙලා, ඒක සාර්ථකව කරගෙන යනව නම් ඔබ හැම අතින්ම සාර්ථකයි. කැමති ජොබ් එක හම්බවෙලත් ඔබට ඒ ජොබ් එක හරියට කරගන්න බැරි නම් ඔබ පරාදයි.
කැමැත්තෙන් හිටිය ආකාරයේ ජොබ් එකක් නොලැබුනත්, හම්බුනු ජොබ් එක ඔබ සාර්ථකව දක්ෂ ලෙස කරනව නම් ඔබත් සාර්ථකයි.

එහෙනම්????? කවුද සාර්ථක? කවුද අසාර්ථක? කොහොමද අසාර්ථක උනේ???

ඔබ ආසාවෙන් හිටියෙ විධායක ශ්‍රේණියේ රැකියාවක්. පිරිසක් පාලනය කරන්න තිබෙන රැකියාවක්. ඔබේ ආසාව ඔබ කොහොම හරි ඉෂ්ඨ කරගත්ත. නමුත් ඔබේ යටත් පිරිස ඔබ කියන දේ අහන්නෙ නෑ, ඔබට හරි හැටි පිරිස් පාලනය තේරෙන්නෙ නෑ. ඉතින් ඔබ අසාර්ථකයි.
ඔබ ගොඩාක් ආසාවෙන් හිටියෙ පයිලට් කෙනෙක් වෙන්නෙ. නමුත් ඔබගේ ඇස් පෙනීමේ දුර්වලතාවයක් නිසා ඔබට පයිලට් කෙනෙක් වෙන්න බැරි වෙනව. නමුත් ඔබගේ කථික හැකියාව ඉහළයි. ඔබ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙක් වෙනව. ඔබට ප්‍රේක්ෂකයින් හරිම කැමතියි. ඔබ හුඟක් ජනප්‍රිය වෙනව. ඉතින් ඔබ ආස කරන රැකියාව නොලැබුනත් ඔබ කරන රැකියාවෙත් ඉතාමත් සාර්ථක වෙලා.

එතකොට අසාර්ථක උනු අයට කොතනද වැරදුනේ??? 
කැමැත්තක් නොතිබුනු ජොබ් එකක් කරන්න ගිය කෙනා සාර්ථක උනේ කොහොමද???
........................
..................
............
හිතන්න ටිකක්......

ඔන්න දැන් අපි හරි පාරට එනව.
කැමැත්ත, ආසාව විතරක් නෙමෙයි වැදගත් වෙන්නෙ.
මොනවද එහෙනම් වැදගත්???
"ඔබගේ හැකියාවන්"

එහෙනම් අන්න එතනින් පටන් ගනිමු.
ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න.

දැන් ආපහු මම පාසල් යන නංගිල මල්ලිල ගාවට එනව.
එතකොට ඔයාල යන්න ඕනෙ මොන පාරෙද? 
ඔයාල තාම පාර හදාගෙන එන අය. ඔයාල තමුන්ගෙ ආසාවට විතරක් නෙමෙයි පවතින හැකියාවට මුල් තැන දීල, තමුන්ගේ මාර්ගය තීරණය කරන්න වෙනව. ඔබට පුළුවන් ඔබගේ මාර්ගය තීරණය කරන්න. දෙමව්පියන්, නෑදෑයින් පෙන්වන මාර්ගය විතරක් නෙමෙයි, ඔයාලට පේන මාර්ගය ගැනත් හිතන්න.
හැබැයි සාර්ථක මාර්ගයක් ගැන. සාර්ථක අනාගතයක් ගොඩනැඟිය හැකි මාර්ගයක් පිළිබඳව.
"මම රටේ නම ගිය චණ්ඩියෙක් වෙනව" කියල උනත් කෙනෙක්ට හිතන්න පුළුවන්. නමුත් ඒත් එක්කම හිතල බලන්න ඒක සාර්ථක අනාගතයක් වේවිද කියල. පොලීසියෙන් හැංගෙන්නයි, හිර ගෙවල් වල ඉන්නයි වෙන අනාගතයක් සාර්ථක එකක් වෙන්නේ නෑනෙ නේද?
චිත්‍ර අඳින්න ඉහළ හැකියාවක් තිබෙන, ගණිතයට දුර්වල කෙනෙක්, තමුන්ගෙ ගණිතමය හැකියාවන් දියුණු කරගත හැකිය කියන ස්ථිර අධිෂ්ඨානයක් නැතිනම් ගණිත/විද්‍යා විෂයන් කරන්න නොසිතිය යුතුයි. මම කියන්නෙ නෑ එයාට ගණිතය කරන්නෙපා කියල. නමුත් සාර්ථක වෙන්න අධිෂ්ඨානය තියාගෙන මහන්සි වෙලා වැඩ කරන ගණිත හැකියාවන් දියුණු කරගන්නව කියල හිතාගෙන වැඩ පටන් ගන්නව නම් එයාටත් බැරි නෑ. හැබැයි එයාගෙ අවසන් අරමුණ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වෙන එක නම්, ඒ මාර්ගයේ ගිහිල්ල ඒ ඉලක්කයට යන්න ටිකක් අපහසු වෙනව කියලත් හිතන්න වෙනව.

ඉතින් ඔයාල, ඔයාලගෙ අනාගත අරමුණට සාර්ථකව පහසුවෙන් ලඟා විය හැකි මාර්ගය තමයි තෝරාගත යුත්තේ.

"ඔබගේ හැකියාවන් මුලින්ම හඳුනා ගන්න" කියන වාක්‍යයත් එක්ක දැනට මම නවතිනව. ඊලඟ ලිපියෙන් කතා කරමු හැකියාවන් හඳුනාගෙන ඊලඟ පියවරට යන්නෙ කොහොමද කියල.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, July 1, 2013

උපන්දිනේ

පහුගිය අවුරුද්දටම වැදගත් ලිපි දෙක තුනකට වඩා ලියන්න බැරි උනු නිසා මම සද්ද නැතිව හිටියෙ. නමුත් ඊයෙ පෙරේද ඉඳල ආපහු වැදගත් දෙයක් ලියන්න පටන් ගත්තු නිසා මේක කියන්න හිතුන.

ගිය 28 වෙනිදට, ඒ කියන්නෙ 2013 ජුනි 28 වෙනිදට මගෙ මේ සිංහල බ්ලොග් එකට අවුරුදු 4ක් සපිරුනා.


ඉතින් එහෙනම්, යළිත් ප්‍රයෝජනවත් ලිපි පෙළක් එක්ක හමුවෙමු.

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

මුල් ලිපියට හිතපු තරම් නම් අදහස් ලැබුනෙ නෑ. මේ ලිපි එක්ක ඔයාලගෙ අදහස් මග ඕනෙ කරනව, ඒවත් එක්ක ඒවට අනුකූලව තමයි මම ඉදිරි ලිපි ලියන්න අදහස් ගන්නෙ. 
කමක් නෑ. දැනට අපි කතාව ආරම්භ කරමුකො එහෙනම්. 



යමෙක්, යම් මාර්ගයක යන්න තෝරාගන්න එක් හේතුවක් හෝ හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. බහුල හේතු ගත්තොත්,
  • එම විෂය පරාසයට දක්වන කැමැත්ත
  • කුඩා කාලයේදී ඇතිවුණු යම් තදබල කැමැත්තක්
  • දෙමාපියන්ගේ / නෑදෑයින්ගේ බලපෑම්
  • විවිධ අය හමුවීමත් සමඟ ඇතිවන කැමැත්තක්
  • රූපවාහිනී වැනි මාධ්‍ය හරහා දකින දේ සමඟ එන අදහස්

මේ වගේ විවිධාකාරයේ හේතු තිබෙන්න පුළුවන්. සමහරවිට ගිය ආත්ම වලින් එන සිතුවිලි නිසා පවා.

ඉතින් ඔබ යම් මාර්ගයක් තෝරාගන්න හේතුව කුමක්ද?
ඔබට යම් දෙයක් තමුන්ගේ අනාගත වෘත්තිය කරගන්න තරම් ඒ දේට කැමැත්තක් ඇතිවෙන්න හේතුව කුමක්ද?
මුලින්ම අන්න ඒ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්න වෙනව.

සාමාන්‍යයෙන් Career Guidance වලදි අහන පළමු ප්‍රශ්නය මේක නෙමෙයි. ඔවුන් කියන්නෙ මුලින්ම තමුන්ගේ හැකියාවන් / කැමති දේ හඳුනා ගන්න කියල. නමුත් මගේ ප්‍රවේශය ඊට ටිකක් වෙනස්. වෙන පාරකින් අර පාරට එන්නයි මම හදන්නෙ.
ඉතින්? 
මුලින්ම අර ප්‍රශ්නෙට උත්තරයක් හිතන්න. 
හැබැයි හිතන්න ඕනෙ ඔබ සාමාන්‍ය පෙළ කරන්න ඉස්සෙල්ල කාලෙ හිතුව / හිතන විදිහට.

බලමු හිතල......
"මම පොඩි කාලෙ මට උගන්නපු ටීචර් හරිම හොඳයි, ඉතින් මටත් ඕනෙ උනේ ඒ කාලෙ ඒ වගේ ළමයි ගොඩක් ආදරේ කරන ලස්සනට උගන්නන ටීචර් කෙනෙක් වෙන්න" කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒක කුඩා කාලයේදී ඇසුරු කරන කෙනෙක් නිසා හටගත්තු ආසාවක්.

"මම ආසයි එක එක දේවල් හදන්න, නව නිර්මාණ කරන්න. ඒක නිසා මට විද්‍යාඥයෙක් නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ" කියල තව කෙනෙක් හිතයි. ඒක තමුන්ගේ යම් හැකියාවක් හඳුනා ගත්තු කෙනෙක් හිතන විදිහ.

"මම ආසයි අහසින් යන්න, රට රට වල යන්න. ඉතින් මට පයිලට් කෙනෙක් වෙන්න ඕනෙ". ඒ තව කෙනෙක්ගෙ ආසාවක් නිසා ඇති උනු ඉලක්කයක්.

"මට පුළුවන් අනිත අයට හොඳට දේවල් කියල දෙන්න, උගන්නන්න. ඉතින් මට ඒක නිසා ගුරුවරයෙක් වෙලා අනිත් අයට දේවල් කියල දෙන්න ඕනෙ" ඒ තමුන්ගෙ ඉගැන්වීමේ හැකියාව ගැන තේරුම් ගත්තු කෙනෙක් හිතන විදිහ.

ඉතින් ඔයාල කොහොමද හිතුවෙ / හිතන්නෙ?



"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.