Blogger Widgets

[තොටගමුවේ හිමිගේ කතා] පුන් සඳයි දසවකයි

ඔන්න ඉතින් තොටගමුවේ හාමුදුරුවන්ගේ තවත් කතාවක් එක්ක මම ආව.  (මුලින් ලියපු කතා වල ලිස්ට් එකක් මෙන්න මෙතන තියෙනවා.)

ඔය කාලෙ රජව හිටපු හයවන පැරකුම් රජ්ජුරුවො එක්ක පොඩි නෝක්කාඩුවක් ගිහිල්ල, රාහුල හාමුදුරුවො, තොටගමුවේ විහාරය අත ඇරල ඇල්පිටිය ඉඳුරුව ගල් ලෙනෙහි කාලයක් වාසය කළා. (ඉඳුරුව ගල් ලෙන ගැන මීට ඉස්සෙල්ල ලිපියකත් කිව්ව මතක ඇතිනෙ?) ඉතින් මේ කාලෙ, රාහුල හාමුදුරුවන්ට තමුන්ගේ ගුරු හිමියන්, ඒ කියන්නෙ විදාගම හාමුදුරුවන්ව දැකගන්න අවස්ථාවක් ලැබුනේ නෑ. ඒත් දුර හිටියත් තමුන්ගේ ගුරු හිමියන්ට සළකන්න රාහුල හාමුදුරුවො භක්තිවන්ත උනා.
විදාගම හාමුදුරුවො මීකිරි හා කෙසෙල් ගෙඩි වළඳන්න හරිම කැමතියි. ඉතින් රාහුල හාමුදුරුවන්ට ලැබෙන මීකිරි හා කෙසෙල් තමුන්ගේ අතවැසියෙකු අතේ විදාගම හාමුදුරුවන්ට යවන්න රාහුල හාමුදුරුවො පසුබට උනේ නෑ.
ඒක නෙමෙයිනෙ සිද්දිය, මේ අත වැසියත් මේ දෙකට හරිම කැදරයි. ඒක හින්ද විදාගම හාමුදුරුවන්ට යවන මේ කෑම වලින් උන්වහන්සේට ලැබුනෙ බාගයයි. ඒවායින් අඩකට මේ ඇබිත්තය වග කියනව මගදි. මේ සිද්දිය විදාගම හාමුදුරුවො දන්නෙත් නෑ.
ඉතින් දවසක්, රාහුල හාමුදුරුවො උන්නාන්සෙට ලැබුණු කිරි හට්ටියකුයි කෙසෙල් ගෙඩි දහයකුයි, තමුන්ගේ අතවැසියා අතේ ගුරු හාමුදුරුවන්ට යැව්ව, හැබැයි එදා රාහුල හාමුදුරුවො, මෙන්න මෙහෙම පොඩි පණිවිඩයකුත් යැව්ව.
"පුන් සඳ හා දසවක පිළිගනු මැනවි" කියල.
ඉතින් මේ ඇබිත්ත කොලුවත් වෙනද වගේම මගදි කිරි හට්ටියෙන් බාගෙකුත් ගිල දමල කෙසෙල් ගෙඩි 2කුත් කාල, ඉතිරිය විදාගම හාමුදුරුවන්ට ගිනිහිල්ල දුන්න පණිවිඩයත් එක්ක. පණිවිඩය කියවපු විදාගම හාමුදුරුවො, කිරි හට්ටියයි කෙසෙල් ගෙඩි 8යි දැකල, වෙලා තියෙන අලකලංචිය තේරුම් ගත්ත.
ඉතින් උන්නන්සෙ මොකද කළේ, "අඩ සඳයි අටවකයි භාර ගතිමි" කියල ඇබිත්ත කොලුව අතේම ලියමනක් රාහුල හාමුදුරුවන්ට යැව්ව.

මේ මොකුත් නොදන්න ඇබිත්ත කොලුව, පණිවිඩය රාහුල හාමුදුරුවන්ට ගිහිල්ල බාර දුන්න. ඒක කියවපු රාහුල හාමුදුරුවන්ට, වෙලා තියෙන සිද්ධිය තේරුම් ගන්න අමාරුවක් උනේ නෑ.
ඉතින් හාමුදුරුවො, ඇබිත්තයගෙන් මේ ගැන ඇහුව. මොන, මිනිහ දිවුරල කියන්නව නෑමයි කියල. ලොකු හාමුදුරුවො බොරුවක් නොකියන වගත් රාහුල හාමුදුරුවො දන්නව.
ඉතින් මොකද කරන්නෙ, ඇත්ත එලි කරගන්නත් ඕනෙනෙ. ඉතින් රාහුල හාමුදුරුවො මොකද කළේ දන්නවද?
ඇබිත්තයටම කියල පොඩි බෙහෙත් පැළෑටියක් ගෙන්නගෙන, පොඩි බෙහෙතක් හදල මිනිහට බොන්න දුන්න.
මොකද උනේ...................
ටිකකින් ඇබිත්තයට කලන්තෙ වගේ. ඔලුවෙ අත ගහගෙන වමනෙ කරන්න ගත්ත. අනේ ඔක්කොම බොරු මාට්ටු, කාපු කිරියි කෙසෙලුයි ඔක්කොම මෙන්න එලියෙ.
හොඳටම ලැජ්ජාවට පත් උනු අතවැසියා, හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලුව. හාමුදුරුවො තවත් බෙහෙතක් පොවල ඇබිත්තයව සනීප කරල වංචා නොකරන්න අවවාද කළා.
ඊට පස්සෙ මේ අතවැසියා ඉතාම සිල්වත් උපාසකයෙක් උනා.


10 comments :

  1. නිවැරදි කිරීමක්:

    ඕක වෙන්න ඕනෙ පුන් සඳ සහ පසළොස්වක. කියල. පුන් සඳ තියෙන්නෙ පසළොස්වක පෝය දවසටනෙ.

    15 /2 = 7.5

    ඇබිත්තයා 7ක් කාල 8ක් ඉතුරු කරන්න ඇති. 7.5 ක් කාල 7.5 ක් ඉතුරු ගෙනිච්චොත් මාට්ටු වෙනවනෙ.


    ප.ලි

    අඩ සඳ තියෙන්නෙ අටවක පෝයට

    ReplyDelete
  2. ඇබිත්තයා උපාසකයෙක් වෙච්ච එකත් හරියට අර පූසෙක් උපාසක වුණා වගේ වෙන්න ඇති. පූසෙක් උපාසකයෙක් වුණු අනුවේදනීය සත්‍ය කතාව මෙතනින් කියවන්න

    http://status-chanaka.blogspot.com/2010/06/blog-post_03.html

    ReplyDelete
  3. මෙහෙමයි, කතාවෙ තියෙන දේ තමා මේ කිව්වෙ.
    පුර සඳ > භාගයක් කෑව > අඩ සඳ
    දසවක > 2ක් කෑව > අටවක

    මෙතනදි ව්‍යංගාර්ථයෙන් කියල තියෙන්නෙ, පිරුනු කිරි හට්ටියක් (පුන් සඳ වගේනෙ.), කෙසෙල් ගෙඩි සහයක් (කෙසෙල් ගෙඩියෙ හැඩේ වකක් තියෙනවනෙ) එව්වා කියන එකයි. :)
    එහෙම මිසක් මම හිතන්නෙ නෑ මෙතනදි පුන්සඳ හා දසවක අතර සම්බන්ධයක් ගොඩනගන්න හදන්න ඇති කියල.
    ඒත් ඉතින් අපිට කියන්න බෑ, මේක කතාවක්නෙ, ප්‍රවාදයක්නෙ, ඕනැම කෙනෙක්ට කතාව වෙනස් කරන්න පුලුවන්නෙ. :)
    ස්තුතියි අදහසට.

    ReplyDelete
  4. Niyamai katha tika.. mama okkoma kiyewwa.. Elaa!

    ReplyDelete
  5. I think it should be correct as පසළොස්වක cos as far as I know there is a no sinhala word "දසවක"
    by the way How long from Thotagamuwa to Induruwa??

    ReplyDelete
  6. දසවක කියල වචනයක් තිබෙනවා.
    සිංහල ක්‍රමයට අනුව, අමාවකින් පසුව එන 10 වන දිනට තමා දසවක කියන්නෙ. පුර පක්ෂයේ විට පුර දසවකත් අව පක්ෂයේ විට අව දසවකත් කියල කියනව.
    (දියවක, තියවක, ....., අටවක, නවවක, දසවක,... තෙලෙස්වක, සොලොස්වක, පසලොස්වක.... අන්න එහෙමයි යන්නෙ.)

    ReplyDelete
  7. කතාව හරි බං. ලියලා තියෙනවත් හරි. මට නම් ගැටළුව්ක පේන්නේ නෑ . එළ මචං එළ. තව තියෙනවා නේද මේ වගේ කතා?

    ReplyDelete
  8. ඔව් ඔව් තව කිහිපයක් තිබෙනවා. ලියන්නම් ඉදිරියේදී.

    ReplyDelete
  9. අපේ තාත්ත කියල දුන්නු විධියට, ඔය ගෝලය, කිරි හට්ටියෙන් බාගෙකුයි, කෙසෙලුයි කාල "මේ අඩ සඳ හා අටවක පිළිගත මැනව" කියල තල් පතත් වෙනස් කරල ගිහින් දුන්න කියලත්. පස්සෙ ගෝලය වෑත්තෑවෙ හිමි නමින් පැවිදි උනාලු.
    ඔය බෙහෙතක් බීල මිනිය නරක් නොවී තියෙනව කියල මං අහල තියෙන්නෙත් වෑත්තෑවෙ හාමුදුරුවන්ගෙ. අපේ තාත්ත නම් ඕකට කිව්වෙ "සරස්වතී තෛලය" කියල. පෘතුගීසීන් විසින් ගෝවේ තැන්පත් කර ඇති කතෝලික මුනිවරයකුගේ(ශාන්ත සේවියර්) නොදිරන මමිය වෑත්තෑවෙ හාමුදුරුවන්ගෙලු.
    තොටගමුවේ රාහුල හාමුදුරුවො බණ කියන්න යන්න කලින් ඒ තෙලෙන් පොඩ්ඩක් පොල් කෙන්දකින් දිවේ ගාගෙක යනවලු. එතකොට හරි ලස්සනට බණ කියන්නත් පුලුවන්ලු. මේක දැකපු වෑත්තෑවෙ පොඩි හාමුදුරුවො මුළු බෝතලේම බීල දැම්මලු. දවස් ගානක් බේත් ඔරුවක ගිල්ලවල තියලලු බේරගත්තෙ. හැබැයි උන්නාන්සෙට ඊට පස්සෙ හොඳ මතක ශක්තියකුයි, කවි හැකියාවකුයි ලැබුනලු.
    අපේ තාත්ත කොහොමත් කතා ඔක්කොම එකට අඹරවල අමුතුම කතාවක් තමයි කියල දෙන්නෙ. සමහර විට මේකත් ඒ වගේ වෙන්න ඇති. අනික ඉතින් ජනප්‍රවාද විවිධාකාරයිනෙ!

    ReplyDelete
  10. @Chanaka & කලිකාල:
    මම පොත් දෙකක බැලුවා, දෙකේම තිබෙන්නේ මේ එකම කතාව තමයි (අඩ සඳ හා අටවක සම්බන්ධව). එනිසා මෙය නිවැරදියි කියල හිතන්න පුළුවන්. (එක් පොතක් 2008දී මුද්‍රිත පොතක් වන අතර අනෙක 1961 මුද්‍රිත සාහිත්‍ය ග්‍රන්ථයක්)

    @කලිකාල:
    කතාවක් නිසා වෙනස්කම් වෙන්න පුළුවන්, හැබැයි ඒ ගෝලයා වෑත්තෑවේ නමින් පැවිදි උනා කියන එක නම් හරිද කියන්න බෑ. මොකද වෑත්තෑවේ හිමි, මට තේරුම් ගිය තරමින් (මම පොත් කිහිපයකින් සොයා බැලුවා) තොටගමුවේ හිමියන්ට වඩා වැඩිමහල්. ඔය ඉඳුරුගිරි ලෙන තිබුනේ කොහේද කියලා නම් දන්නෙ නෑ, ඒකෙ තැන දන්නව නම් ඔබේ කතාවේ ඇත්තක් නැත්තක් හිතාගන්න තිබුනා. නමුත් වැත්තෑවේ හිමියන්ගේ උපන් ගම වයඹ පළාතේ වෑත්තෑව කියලයි හිතන්නේ. රාහුල හාමුදුරුවන්ගේ උපන් ගම දඹදෙණියට ආසන්න දෙමටානයි.
    දෙදෙනාම හිටියේ නම් කෝට්ටේ හයවන පැරකුම්බා රජු කළයි.
    ගෝලයා අරම ලියුම වෙනස් කළා නම් මෙතන සමහරවිට කතාවක් ගොඩ නොනැගෙන්නත් තිබුනා.

    සරස්වතී තෛලයෙන් කරන්නෙ මතක ශක්තිය දීපු එක. ඒක බිව් නිසා රාහුල හිමියන්ට අසමාන මතක ශක්තියක් ලැබුනා. (අර සෘද්ධි තෛලය කතාවෙ තිබෙනේ) නමුත් සිරුර නොදිරන්න වැළඳුවේ සිද්ධාලෝක රසය. ඒක වැළඳුවෙ රාහුල හාමුදුරුවො, වෑත්තෑවේ හාමුදුරුවො නෙමෙයි.
    ඒ සිරුර පෘතුගාලයට ගෙනිහිල්ල ශාන්ත සේවියර් පියතුමාගෙය/සෙන්පතියගෙය කියාගෙන උන්ගෙ දෙව් මැදුරක තියල වඳිනවා. ඒ ගැනත් ලිපියක් ලියන්නම්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.