Friday, October 15, 2010

3D Stereograms (ත්‍රිමාණ සැඟවුනු රූප)

ඔබ දැකල ඇති පොඩි පොඩි බුද්ධ රූප පිරිච්චි ලොකු රූපයක සැඟවුණු බුද්ධ රූපයක් සහිත රූපය. ඔබ ඒකෙ සැඟවිලා තියෙන රූපය දැකලත් ඇති, සමහරු ගොඩාක් උත්සාහ කරල දකින්න ඇති, තවත් සමහරුන්ට තාම ඒක දැකගන්න බැරි වෙලා ඇති. වයසක ආච්චිල සීයල නම් කියන්නෙ ඒක දකින්න පිං කරල තියෙන්න ඕනෙ කියල. නමුත් මම කියන්නෙ, ඒක දකින්න ඒක දිහා බලන්න ඕනෙ ක්‍රමයක් තිබෙනව, විද්‍යානුකූලව ඒ ආකාරයට බැලුවොත් ඒක දකින්න පුළුවන් කියලයි. 
ඉතින් ඔබ උත්සාහ කළේ කොහොමද? ඒක දිහා ඇස් රිදෙනකම්ම බලා හිටියද? ඇස් දෙක වපර කරල බැලුවද? නැත්තම් බොඳ කරල බැලුවද? 
ඔන්න එහෙනම් මම කියන්නම් ඒක බලන්න ඕනෙ හරිම හරි ක්‍රමය. මගෙ ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ මීට වසරකට පමණ ඉස්සෙල්ල මම ඒක ගැන ලිව්ව, තවමත් ඒ ලිපිය කට්ටිය බලනව. මෙන්න මෙතනින් ඒක බලන්න. 

මේ පහළ තිබෙන රූප සටහනෙන් ඔබට පුළුවන් වේවි ඒක බලන ආකාරය වටහා ගන්න. (මේ කියල දෙන්නෙ මේක බලන්න තේරෙන්නෙම නැති අයටයි.)
  • මුලින්ම ඇස් දෙක විවේකී තත්වයට පත් කරගන්න.
  • ඊට පස්සෙ හුඟක් ඈත වස්තුවක් දෙස බලන්න, හුඟක් ඈත කිව්වට අඩි 10ක් වගේ ඈත උනාම ඇති. (මෙතනදි අවශ්‍ය වන්නේ ඇස් දෙකෙහි බැල්ම සමාන්තර කර ගැනීම (parallel sight)
  • ඊට පස්සෙ බලන්න ඕනෙ රූපය ඔබගේ ඇස් ඉදිරියට පැත්තක ඉඳල අරගෙන එන්න. මතක තියාගන්න, ඇස් දෙක නාභි ගත වෙලා තියෙන්නෙ ඕනෙ තවමත් අර ඈත තියෙන වස්තුවටයි. 
  • රූපය නාභි ගත වන තුරු ඉන්න. හැබැයි මේ කියන්නෙ ඔබ රූපය දිහා බලන්න කියන එක නෙමෙයි. 
  • සාර්ථකව සැඟවුනු රූපය පෙනෙන තෙක් මෙය යළි යළිත් කරන්න. 


මෙතනදි වෙන්නෙ මොකද්ද කියල මෙන්න මේ රූපයෙන් ඔයාලට තේරේවි. නිකම් බැලුවොත් ඔබට පෙනෙයි, මෙම රූප වල එකිනෙක මත අතිපිහිත වෙමින් ගිය එකම ආකාරයේ රූප සමූහයක්. අන්න ඒ රූප, අපේ ඇස් දෙකෙන් වෙන වෙනම බලල එක් තැනකදි ඒ රූප දෙකක් එකට සම්බන්ධ කරල මොළය හඳුනා ගැනීමක් තමා මෙහිදී වෙන්නෙ. සමහර ඒවායේ නම් එහෙම පැහැදිලිවම අපිට ත්‍රිමාණව පේන රූපය නිකම් බැලුවම නෑ, නමුත් ඒක සැඟවිලා තිබෙනවා. (මේ ත්‍රිමාණ රූප සකසන ආකාර දෙකක්. පහත පළමු හා දෙවන රූප මේ දෙවනුව කිව්ව ආකාරයටත්, තෙවන හා සිව්වන රූප මේ පලමුව කිව්ව ආකාරයටත් තමා සකසල තියෙන්නෙ.)


හරි එහෙනම් දැන් තියරිය දන්නවනෙ, අපි කෙලින්ම ප්‍රැක්ටිකල් එකට යමු. මෙන්න තියෙනව ඉතාම පහසු රූපයක්. උත්සාහ කරන්න බලන්න කියල දුන්නු විදිහට. ලොකු කරල බලන්න රූපය උඩ ක්ලික් කරන්න.


ඔබ සාර්ථක වුනොත් ඔබට පුළුවන් වේවි, ලස්සන හදවතක රූපයක් දකින්න.
හරිද දැක්කද? එහෙනම් මෙන්න ඊලඟ එක, මේක නම් චුට්ටක් අමාරු වෙයි, නමුත් හරියට ක්‍රමය දන්න කෙනාට බැරි වෙන්නෙ නෑ, බලන්න මොකද්ද තියෙන්නෙ කියල.


කණු 4ක් උඩ තියෙන යමක් වගේ දෙයක් පේනවද?
මෙන්න තව එකක්. මේකෙ ඉන්නෙ කවුද බලන්නකො.


ගණ දෙවි රූපයක් දකින්න පුළුවන්ද? මේ පහළ එක බලන්නකො, ඒකත් ලේසි එකක්. 


මේක ටිකක් වෙනස්. බලන්නෙ නම් අනිත්ව බලපු ආකාරයටම තමා, නමුත් බලන්න මේකෙ තියෙන වෙනස. මේ රූපය සම්පූර්ණයෙන්ම ත්‍රිමාණව දකින්න පුළුවන්, මේ නිකම්ම බැලුවම පේන රූපයමයි ත්‍රිමාණව පේන්නෙත්, සැඟවුනු රූපයක් නෑ.


මේක ඇවිල්ල අර කිව්ව ත්‍රිමාන රූප වලට වඩා වෙනස් ආකාරයක ත්‍රිමාණ රූපයක්. මේකෙත් සැඟවුනු රූපයක් නෑ, නමුත් මේකෙ එකම විදිහෙ එකිනෙකට චුට්ටක් වෙනස් රූප දෙකක් තිබෙනවා. මේක බලන්නෙ වෙනත් ආකාරයකට. ඒකට කියන්නෙ Crossed Eye කියල. 


ඒ කියන්නෙ මේක බලන්න නම් ඔබ ඇස නාභි ගත කල යුත්තේ ඈතට නෙවෙයි, ලඟට. මේකෙදි කරන්න ඕනෙ ඉස්සෙල්ල කරපු එක පොඩි වෙනසක් එක්ක. ඈතට ඇහැ නාභි ගත කරනවා වෙනුවට හුඟක් ලඟ වස්තුවකට නාභි ගත කරන්න. ඇස් දෙකට ලඟින් ඇඟිල්ලක් තියෙල ඒකට නාභි ගත කරගෙන රූපය ඇඟිල්ලට එපිටින් තියල බලන්න. එතකොට ඔබට මේ රූප දෙක, තුනක් වෙලා පෙනේවි,අන්න ඒ මැදින් පේන තෙවන රූපය පැහැදිලි කරගන්න උත්සාහ කරන්න, අන්න ඒ රූපය ඔයාලට ත්‍රිමාණව පෙනේවි. ඒ කියන්නෙ මේ පේන්න තියෙන රූපය ත්‍රිමාණව පේනව කියන එකයි.
මේකෙදි වෙන්නෙත් අර ඉහළින් පැහැදිලි කරල කිව්ව දේට ටිකක් සමාන දෙයක්. ඒ කියන්නෙ, මේ තියෙන්නෙ අපේ ඇස් දෙකට වෙන වෙනම බැලුවොත් පෙනෙන අවස්ථා දෙකක්. ඒ දෙක එකක් කරල මොළයට හඳුන්වල දෙන එක තමා අපි crossed eye ආකාරයෙන් බලල කරන්නෙ.
එහෙනම් සුභ පතනවා.
අන්තර්ජාලයේ සෙවීමක් කළොත් 3D Stereograms කියල, මේ දෙආකාරයේම රූප ඕනෑ තරම් හොයා ගන්න පුළුවන්.

දුක හිතෙන දෙයක් තමා, මේවා බලන ආකාරය දැනගත්තට පස්සෙ, මම අරමුලින්ම කිව්ව බුද්ධ රූපයක් මට හමු උනේම නෑ බලන්න, කවුරු හරි ලඟ ඒ රූපය තිබෙනවා නම් මෙම ලිපියට අදහසක් සමඟ ඒක බෙදාහදා ගන්න කියල ආරාධනා කරනවා.

මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න:  

Thursday, October 14, 2010

"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි

"Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය පටන් ගත්තෙ හරියටම 2009 වසරේ අද වැනි දිනක (08.14 වන දින)
මුල්ම ලිපිය උනේ මෙන්න මේක.
මේ අඩවිය පටන් ගන්න හේතු උනේ, මම විශ්ව විද්‍යාලයේදී ඡායාරූකරණය ඉගෙන ගැනීම. ඒ හරහා මට ඡායාරූපකරණය ගැන ලොකු ආසාවක් ආව. ඒ ගැන තව තවත් ඉගෙන ගන්න ඕනෙ උනා, ඒ එක්කම, ඒ දැනගන්න දේවල් අනෙත් අය එක්ක බෙදා හදා ගන්න ඕනෙ උනා. 
ඉතින් ඒ වෙනුවෙන් මම මේ අඩවිය සකස් කළා. 
ඉතින් මම ලෙක්වර් වල ඉගෙන ගත්තු දේවල් පිළිබඳ ලිපි ලිව්ව, තව තවත් වෙනත් අඩවි, පොත් මගින් තවත් ඉගෙන ගත්ත, ඒ ඉගෙන ගන්න දේවල් ගැන ලිව්ව.
ඔන්න ඔය අතරෙ LKServers ආයතනයෙන් ඔවුන්ගේ Promotion එකක් විදිහට සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් අවකාශයක් ලබා දෙන වැඩසටහනක් පැවැත්වුවා, මමත් ඒකට ඉල්ලුම් කළා, මගෙ මේ බ්ලොග් අඩවියටත් ඒ අවස්ථාව ලැබුනා.
ඉතින් මගෙ මේ "Photography සිංහලෙන්" අඩවිය Blogger මතින් Self hosted Wordpress මතට Roosara කියන නමත් එක්ක, මාරු උනා. (ඒ 2010 මාර්තු මස)

මේ වසර තුළ මෙම බ්ලොග් අඩවියට "සතියේ ඡායාරූපය"  කියල අළුත් අංගයකුත් එකතු උනා. තවත් දේවල් කිහිපයක් ඉදිරියේදී එකතු වෙන්න තිබෙනවා. මනුශාන් සහෝදරයා එක්ක, තවත් දේවල් කිහිපයක් සැලසුම් කරමිනුයි ඉන්නෙ.
මේ වසරක කාලය තුළ මෙම අඩවිය එක්ක එකතු වෙලා හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. බ්ලොගර් වල සිට වර්ඩ්ප්‍රෙස් මතට ඒමත් සමඟ comments නම් සැළකිය යුතු ලෙස අඩු උනා, හේතුවක් නම් දන්නෙ නෑ. නමුත් එන අයගේ නම් අඩුවක් දැනුනේ නෑ.
ඉදිරියටත් මේ හැමෝම මෙම අඩවිය එක්ක එකතු වෙලා ඉදීවි කියල විශ්වාස කරනවා. 
ඔබ ඕනෑම කෙනෙකුට පුළුවන් මෙම අඩවියට සහයක් වෙන්න, විශේෂයෙන්ම ලිපි ලිවීමෙන්. (මටත් තිබෙන කාලය ටික ටික අඩු වෙලා යනවා.)

එහෙනම්, "රූසර අඩවියට සුභ උපන්දිනයක් වේවා!!!"

Tuesday, October 12, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 4

පළමු ලිපියට මෙතනින් යන්න.
දෙවන ලිපියට මෙතනින් යන්න.
තෙවන ලිපියට මෙතනින් යන්න.

අද සිව්වන කොටස.
පටන් ගමු, අංක 38න්.

Social Bookmarking අඩවි භාවිතය





38. අනෙකුත් පුද්ගලයින්ට ඔබගේ අඩවි ලිපි බුක්මාක් කරන්න අවස්ථාව දෙන්න. ඔබගේ මිතුරන් සිටිනවා නම් Stumble Upon භාවිතා කරන, ඔවුන්ට කියන්න ඔබගේ හොඳ ලිපි ඒ හරහා ප්‍රසිද්ධ කරවන්න කියල. ඔබගේ ලිපි හොඳ නම්,  වැදගත් නම්, ඒ හරහා ඔබට හොඳ ට්‍රැෆික් එකක් ලැබේවි.  

39. Digg හි මුල් පිටුවට එන්න උත්සාහ කරන්න. මේක නම් ලේසි වැඩක් නෙමෙයි කොහොමවත්ම. නමුත් උත්සාහ කරන එක වටිනවනෙ, මොකද එහෙම කළාට පස්සෙ ඔබට දහස් ගණන් visitorsල ලැබෙනව. (හැබැයි ඉතින් සිංහල බ්ලොග් එකකට නම් මේක කරන්න අමාරුයි.) මේක කරන්න නම් ඔබ මුලින්ම ක්‍රියාකාරී Digg භාවිතා කරන්නෙකු වෙන්න වෙනවා. පුළුවන් තරම් මිතුරන් එකතු කරගන්නත් ඕනෙ. ඉන්පසු මිතුරෙකු හරහා ඔබගේ හොඳම ලිපියක් Digg වෙත Submit කරවන්න. ඊට පස්සෙ ඔබගේ සමාජයට කියන්න ඒකට ඡන්දය දෙන්න කියල,. 

40. ඔබගේ ලිපි Reddit වෙත submit කරන්න. Reddit කියන්නෙත් Digg වගේම එකක්. Digg හරි ගියෙ නැත්තම් Reddit වෙත එන්න. නමුත් මේක Digg වලට වඩා පොඩියි, නමුත් හොද සමාජයක් තිබෙනව. ඒ නිසා සමහර විට මේකෙදි ඔබගේ ලිපි වලට හොඳ තැනක් ලැබෙන්න ඉඩ තිබෙනවා. විනෝදාත්මක දේවල්, තාක්ෂණය, දේශපාලනය, වගේ මාතෘකා වඩා ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙනවා.

41. Delicious මත ඔබගේ ලිපි බුක්මාක් කරන්න දෙන්න. ඔබට පුළුවන් නම් Delicious මත "How to" ලිපි හා "Tutorials" ප්‍රසිද්ධ කරවන්න, ඒ හරහා හොඳ ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න ඔබට පුළුවන්. කරන්න තියෙන්නෙ Delicious icon එක ඔබගේ බ්ලොග් එකට එකතු කරන එක විතරයි. මිතුරන් කිහිපදෙනෙක් එකතු කරගන්න, ඔබගේ ලිපි බුක්මාක් කරන්න. කෙටි කාලයකින්, ඇති වෙන්න බුක්මාර්ක්ස් එකතු උනොත්, ඔබගේ ලිපිය delicious මුල් පිටුවට පවා යන්න ඉඩ තිබෙනව. 

42. Social Bookmarking අයිතම ඔබගේ අඩවියට එකතු කරන්න. එතකොට ඕනෙම කෙනෙක්ට පුළුවන් ඔබගේ ලිපි බුක්මාක් කරගන්න, ප්‍රසිද්ධ කරන්න, බෙදාහදා ගන්න. ඒකෙන් නම් ගොඩක් හොඳ ට්‍රැෆික් එකක් එකතු කරගන්න පුළුවන්.

43. ඔබගේ පරාසයට (niche) අදාල අඩවි වල bookmark කරන්න. මේ ඉහත කිව්ව ඒව පොදුවේ හැම දෙයක්ම බුක්මාක් කරන හුඟක් ලොකු වෙබ් අඩවිනෙ. ඒත් තවත් පොඩි පොඩි අඩවි තිබෙනව ඒ ඒ විෂය කරුණු සම්බන්ධයෙන් පමණක් බුක්මාර්ක් කරන. මෙන්න මෙතන තියෙනව එහෙම අඩවි ලැයිස්තුවක්. බලන්නකො ඒවායින් ඔබට කොතරම් ට්‍රැෆික් එකක් එකතු කරගන්න පුළුවන්ද කියල. 

සමාජ ජාල (Social Networks)

44. බොහොමයක් සමාජ ජාල අඩවි වල profile එකක් හදා ගන්න. එම වෙබ් අඩවි වල ප්‍රොෆයිල් එකක් හදාගත්තම ඔබට පුළුවන් ඔබගේ වෙබ් අඩවිය ගැන එහි විස්තර දාන්න, ඔබගේ අඩවියට සබැඳියක් එක් කරන්න. මේක link building කිරීමක්. ඒ හරහා ඒ වටා පිරිසක් එකතු කර ගැනීම වගේම ඒ හරහා හොඳ ට්‍රැෆික් එකක් ගෙන්නගන්න පුළුවන්. මෙන්න තියෙනවා සමාජ ජාල වෙබ් අඩවි ලැයිස්තුවක්

45. මුහුණු පොත භාවිතා කරන්න. මේක නම් කට්ටියට කියන්නත් දෙයක් නෙමෙයිනෙ. Social Media හරහා ට්‍රැෆික් ගන්න ඕනෙ නම් මේක තමා හොඳම තැන. කියන්න ඕනෙ නෑ නෙ මොකද කරන්න ඕනෙ කියල. ගිණුමක් හදා ගත්ත, පුළුවන් තරම් කට්ටිය තමුන් වටා එකතු කරගනිමින්, ඔබට කියන්න ඕනෙ දේ එයාලට දෙන එකයි කරන්න ඕනෙ. 

46. මුහුණු පොතේ රසික පිටුවක් (Fan page) අරඹන්න. මේකත් කියන්නම දෙයක් නෙමෙයි, මේකත් හුඟක් අය කරනවනෙ. තමුන්ටම කියල රසිකයින් කණ්ඩායමක් එකතු කරගන්න මේ හරහා පුළුවන්, එයාලට updates යැවීමත් මේ හරහාම කරන්න පුළුවන්නෙ. ඔවුන් ඔබගේ ලිපි බලයි, ඒවට අදහස් දක්වයි. මෙමගින් ඔබට අළුත් අදහස් ලබාගෙන ඔබගේ අඩවිය තවත් දියුණු කරගන්න උනත් පුළුවන්නෙ.

47. ඔබගේ අඩවියට/ලිපි වලට FaceBook Like බොත්තමක් එකතු කරන්න. මේක මුහුණු පොත ලඟදී එකතු කල දෙයක්. Like බොත්තම හරහාත් පුළුවන් ඔබගේ ලිපි මුහුණු පොත හරහා බෙදා හරින්න. මේක හරිම ලේසි වැඩක්, FaceBook Developer අඩවියෙන් මේ ගැන විස්තර බලාගන්න පුළුවන්. 

48. ට්විටරය භාවිතා කරන්න. Twitter කියන්නෙත් සමාජ ජාල අඩවියක් හා Micro Blogging අඩවියක් කියලත් කියන්න පුළුවන්. මේකෙත් ඔබට පුළුවන් ඔබගේ වෙබ් අඩවියේ updates වෙනත් දේවල් පවා බෙදා හදා ගන්න. ඔබ ගිණුමක් අරඹල ඒකේ ඔබේ profile එකට ලින්ක් එකක් ඔබගේ අඩවියේ ප්‍රසිද්ධ කළාම ට්විටරය භාවිතා කරන්නන්, ඔබව follow කරන්න පටන් ගනීවි, එතකොට ඔබ publish කරන ඒව එයාලත් දකිනව.

49. TweetMe බොත්තමක් ඔබගේ අඩවියට එකතු කරන්න. ඔබගේ ට්විටර් ගිණුමෙන් බැලීම විතරක් නෙමෙයි, කවුරුහරි ඔබගේ ලිපියක් කියවන්නෙක්ට ඒක හොඳයි කියල හිතිල ඒක ඔහුගේ ට්විටර් මිතුරන් එක්ක බෙදාහදා ගන්න හිතුනොත් (Reweet) ඒකටත් අපි ඉඩක් දෙන්න ඕනෙනෙ, ඒකට තමා Tweetme බොත්තමක් ඔබගේ ලිපි වලට අනිවාර්යයෙන්ම යෙදිය යුත්තේ. 

50. ඔබගේ අවකාශයට (niche) අදාල සමාජ ජාල ගැනත් හොයල බලන්න. ඉස්සෙල්ල කිව්වෙ ඔබගේ අවකාශයට අදාල social bookmarking අඩවි ගැන. ඒත් එක්කම ඔබගේ අවකාශයට අදාල Social Networks ගැනත් බලන්න වෙනවා. Facebook හා Twitter හරහා තරම් මේවා හරහා ට්‍රැෆික් එකක් නොඑන්න පුළුවන්, නමුත් මේවායින් එන්නෙ targeted traffic එකක් නිසා ඒකත් වැදගත්. මෙන්න තියෙනවා එහෙම අඩවි 233ක ලිස්ට් එකක්.

මතු සම්බන්ධයි.

මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න:  

Wednesday, October 6, 2010

"Techno" සහ මම

මේ පාරත් ඉතින් ඔන්න Techno එකට වැඩ. ගිය පාර වගේ රෑ 12 වෙනකම් නම් IESL එකේ ඉන්නෙ නෑ, නමුත් අදත් එහෙන් පිටත් උනේ රෑ 7.30ට. මම ඉතින් පුරුදු පරිදිම වැඩ කරන්නෙ "වසරේ කණිෂ්ඨ නව නිපැයුම් කරුවා" තරඟය වෙනුවෙන්. මේ පාරත් ප්‍රදර්ශනය බලන්න ආවොත් ඒ ප්‍රදර්ශන කුටියේ මම ඉඳීවි. (අපේ විශ්ව විද්‍යාලයේ තිබ්බ EXMO ප්‍රදර්ශනයට නම් ආපු අයගෙන් මාව දැකල කතා කළේ එකම එක්කෙනෙක් විතරයි. )

මේ වැඩ නිසා බ්ලොග් වලට ලිපි ලියන්නත් වෙලාවක් නැති උනා. මේකත් මේ වැඩ අස්සෙම තමා ලියන්නෙ.

Saturday, October 2, 2010

චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවෙමි



ඔන්න මම චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවලුනෙ. :D
වැඩි දෙයක් නෑ හරිම සරළ ගේම් එකක්. අර පොඩිම පොඩි උන්ට තියෙන ජාතියෙ එකක්. මේක ඇවිල්ල මගෙ මංගල පරිගණක ගේම් එකනෙ. ඉතින් පොඩ්ඩක් බලන්නකො. හිනා වෙන්න එපා හොඳේ, Tutorial එකක් බලාගෙන හැදුවෙ. 
කරන්න තියෙන්නෙ නම් බෝම්බ වලින් බේරිලා පලතුරු එකතු කරන එක තමා.




බාගෙන බලන්නකො. මෙන්න ලින්ක් එක. 


Sunday, September 26, 2010

ඔබගේ වෙබ් අඩවියයේ Traffic වැඩි කරගන්නේ කොහොමද? - 3



හුඟ කාලෙකට පස්සෙ ආවෙ. වැඩ ඉවරයක් නෑ නෙ. විභාග තිබ්බ, ඒක ඉවර උනාම EXMO, ඊට පස්සෙ ප්‍රොජෙක්ට් රිපෝට්, දැන් presentation වලට ලෑස්ති වෙන්න ඕනෙ,  ඒ අස්සෙ ටෙක්නෝ එකෙත් වැඩ ටිකක් තියෙනව. ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක් නෑ, වෙලාවක් ආවත් මේක ලියන්නෙ නැතිව වෙන වැඩනෙ. :( සමාවෙවෙන්න ඕනෙ මට.

හරි අද මේ ලිපිය පටන් ගමුකො.

පළමු ලිපියට මෙතනින් යන්න.
දෙවන ලිපියට මෙතනින් යන්න.

අද තෙවන කොටස.

අද පටන් ගන්න තියෙන්නෙ අංක 28න්.



තරඟාවලි

28. Reweet Contest එකක් පවත්වන්න. ඔබට පුළුවන් ඔබගේ ලිපි Reweet කරන්න කියල කියවන්නන්ට කියන්න, හැබැවි එයාලට ඒ වෙනුවෙන් වටිනා යමක් ඔබට ලබා දිය යුතු වෙනවා. ඔබගෙ අඩවියට අනුග්‍රාහකයින් සිටිනවා නම් ඔවුන්ගෙන් යමක්, නැති නම් වෙනත් තරඟයකට ඇතුළු වෙන්න අවස්ථාවක් දෙන්න මේ තරඟ්ය හේතු වන විදිහට.

29. Comment Contest එකක් පවත්වන්න. මේක නම් කට්ටියට අළුත් නෑ මම හිතන්නෙ. මොකද සිංහල බ්ලොගෝලය තුළ පසුගිය කාලයේ මෙහෙම ඒව කිහිපයක්ම තිබ්බ මට මතකයි. මේක හරහා ගොඩක් ට්‍රැෆික් ගන්න පුළුවන්, මොකද ඔබගේ RSS subscribersලට පවා අඩවියට එන්න වෙනවානෙ කමෙන්ට් කරන්න.

30. Review Contest එකක් පවත්වන්න. ඔබගේ අඩවිය ගැන අනිත් අයට ලියන්න කියල ඔබට තරඟයක් පවත්වන්න පුළුවන්. මේ හරහා ඔබට, අළුත් පිරිසක් එකතු කරගන්න පුළුවන් වෙනවා වගේම ගූගල් රෑන්කිං වලටත් මේක බලපෑමක් කරනව. (හොඳ බලපෑමක්) හැබැයි ඉතින් ඔබගේ අඩවිය ගැන නැතිනම් මේ තරඟය ගැන අනිත් අය ලියන්න යොමු කරවන්න, හොඳ තෑග්ගකුත් දෙන්න වෙයි. 

31. ඡන්දය ලබා දීමේ තරඟයක් (Voting Contest) පවත්වන්න. තරඟ කරුවන්ම ලබා දෙන යම් දෙයකට නැති නම් ඔබ කියන දෙයකට ඡන්දය ලබා දෙන්න අනෙකුත් කියවන්නන් යොමු කරන්න පුළුවන් එකක් මේක. තරඟකරුවන්ට පුළුවන් ඔබ ලබා දෙන යම් දෙයක් ගැන කියන්න. උදා: online money making tips ලබා දෙන්න කියල තරඟකරුවන්ට කියනවා. ඒ ටිප්ස් වලට ඡන්දය ලබා දෙන්න අනෙකුත් කියවන්නන්ට අවස්ථාව සලසල දෙනවා. හොඳම ටිප් එකට තෑග්ගක් දෙනවා.

32. Traffic Contest එකක් පවත්වන්න. ඔබගෙ අඩවියේ යම් පිටුවකට (තරඟයක් ගැන විස්තරයක්, ඊ බුක් එකක් ලබාදෙන පිටුවක් ගැන විස්තරයක්, වෙනත් දෙයක්) traffic ගෙනැල්ල දෙන්න කියල තරඟයක් තියනව. අපි කියමුකො සතියකට කියල, තමුන්ගෙ අඩවියක හරි වෙනත් ක්‍රමයකින් හරි ඔබගේ අඩවියට traffic එවන්න කියල තරඟයක් පවත්වනවා. එකිනෙකාට referral link එක ගානෙ දීල හරි අවසානයේ ඔබගේ traffic analytics බලල පුළුවන්නෙ ජයග්‍රාහකයව තීරණය කරන්න.

Multimedia

33. විඩියෝ සමඟ පරීක්ෂණ කරල බලන්න. විඩියෝ දර්ශන කියන්නෙ මේ දවස් වල ඉහළ ප්‍රසාදයක් තිබෙන දෙයක්. ඔබත් ඒක පරික්ෂා කරල බලන්න. උදා: ඔබට පුළුවන් වෙබ් කැම් එකකින් ඔබේම විඩියෝ එකක් අරගෙන දාන්න. හැබැයි ඉතින් ඔබ කතා කරන දෙයෙහි ප්‍රයෝජනයක් තිබෙන්න ඕනෙ ඔබගේ ලිපි කියවන අයට, නැත්නම් කට්ටිය බලන්නෙ නෑ නෙ. 

34. Screen Cast එකක් කරන්න. විඩියෝ දර්ශනයක් කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඔබගේම පරිගනකයේ මුහුණත විඩියෝ කරන එක මොකක් හරි වැඩක් කරන ගමන්. උදා: ඔබට පුළුවන් යම් මෘදුකාංගයක් භාවිතා කරන හැටි ගැන පොඩි විඩියෝ දර්ශනයක් පිළියෙල කරල ඔබගේ අඩවියේ පෙන්නන්න.

35. ඔබගේ විඩියෝ දර්ශන විවිධ අඩවි වල ප්‍රකාශයට පත් කරන්න. YouTube වගේ අඩවි වලට ඔබගේ විඩියෝ දර්ශන upload කරන්න, ඒ හරහා ඔබට ඉහළ traffic එකක් ගෙන්නගන්න පුළුවන්. 33, 34 අංක වල කිව්ව විඩියෝ එකකින් පොඩි කොටසක් කපල youtube වගේ අඩවියකට දාල විඩියෝ එක ඇතුළෙම ඔබගේ අඩවියයේ ලින්ක් එක පෙන්වන්න, සම්පූර්ණ විඩියෝ එක බලන්න මෙන්න මේ අඩවියට එන්න කියල. http://www.tubemogul.com කියන අඩවිය හරහා මේ ක්‍රියාවලිය පහසු ක්‍රගන්න පුළුවන් වේවි.

36. Podcast එකක් දාන්න. Podcasting කියන area එක පොඩි නිසා ඔබට මේ හරහා නම් ලොකු දෙයක්කරගන්න පුළුවන්, සමහර විට ඔබ තෝරා ගන්නා විෂය පරාසය තුල ඔබගේ පොඩ්කාස්ට්ස් මූලිකයා වෙන්නත් ඉඩ තිබෙනවා. අවශ්‍ය වන්නේ යම් කාලය කැප කිරීමක්, නිශ්ශබ්ද පරිසරයක් හා මයික්‍රෆෝනයක් පමණයි. සහ ගැළපෙන විෂය පරාසයක්. 

37. Audio Interviews ප්‍රකාශයට පත් කරන්න. text interviews වලට වඩා audio interviews වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩියි. මේකත් ට්‍රැෆික් වැඩි කරගන්න කියාපු ක්‍රමයක්. ලේසිම ක්‍රමයක් තමයි skype හරහා call කරල, ඒකරෙකෝඩ් කරගන්න එක.

මතු සම්බන්ධයි.


මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.
මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න:  

Monday, September 13, 2010

EXMO 2010 - උත්කර්ෂවත් ලෙස නිමා වුනි

EXMO තාක්ෂණික ප්‍රදර්ශනය, මොරටුව සරසවිය තුළ කාලෙකින් පවත්වපු දැවැන්තම ප්‍රදර්ශනය කියන්න පුළුවන්. මේක පැවැත්වුවේ ඉංජිනේරු පීඨය මගිනුයි.
සියළුම දෙපාර්තමේන්තු මීට සහභාගි වුනා.
මම, ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුවෙක්. අපේ දෙපාර්තමේන්තුවත් මේ සඳහා ඉහළ සහභාගිත්වයක් ලබා දුන්නා.
අපගේ දෙපාර්තමේන්තුවේ සිටින සිසුන් සංඛ්‍යාව අනෙකුත් දෙපාර්තමේන්තු වලට සාපේක්ෂව අඩු උනත්, අපි අනෙකුත් දෙපාර්තමේන්තු මට්ටමටම ඉතාම ඉහළින් මෙම ප්‍රදර්ශනය සිදු කළා.
අපගේ දෙපාර්තමේන්තුවට ඉතා ඉහළ ජනකායක් පැමිණියා. EXMO ප්‍රදර්ශන කමිටුවේ ප්‍රධානි මහාචාර්ය සී. කේ. පෙරේරා කථිකාචාර්යතුමන් පැවසූ ආකාරයට වැඩිම ජනකායක් පැමිණ ඇත්තේ ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවටයි. (මෙම තොරතුර, එතුමන්ම අපගේ දෙපාර්තමේන්තුවේ, කමිටු සාමාජික කථිකාචාර්යතුමන්ට පවසා ඇත.)
ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව තුළ පැවති ප්‍රදර්ශන භාණ්ඩ අතුරින් ඉහළම ජනප්‍රියත්වයක් ලබාගත් අංග මෙන්න මේවායි.

1. Materials Selection of an Armoured Vehicle (Vehicle was BTR 80A)
2. Materials Selection of a Jet Engine
3. Ultrasonic Testing (Non Destructive Testing method)
4. Fabrication of Silicon Wafers
5. Defects in Ceramic tiles
6. Different metal forming processes
7. Scanning Electron Microscopy
8. Failure Analysis of Kafeer Jet parts
9. FTIR
10. Polarizing polymers
11. Why Titanic failed

මෙන්න මේව තමයි ඉතින් ඉහළම ජනප්‍රියත්වයක්  ඉහළම ප්‍රතිචර ලබා ගත්තු ප්‍රදර්ශන භාණ්ඩ.
ආපු අය නම් ගොඩාක් දේවල් බලන්නැති, ආපු නැති අයට ගොඩාක් දේවල් මිස් වෙන්න ඇති. දුක් වෙන්නෙපා, ලබන අවුරුද්දෙ මීටත් වඩා හොඳ ප්‍රදර්ශනයක් බලාගන්න ඔයාලට පුළුවන් වේවි.




Sunday, September 5, 2010

ආපහු ආවා සහ EXMO 2010

විභාග වැඩ නම් ඉවරායි. අපේ කැම්පස් ජීවිතෙත් ඉවරයි වගේ තමයි ඉතින් මේ අන්තිමම විභාගෙත් එක්ක.
ඒත් ඉතින් තව Final Year Project report, presentation දෙනකොට මේ මාසෙත් ඉවරවෙනකම් කැම්පස් ගාටන්න වෙනවා.
විභාගෙ ඉවර උනාට දැන් ඊටත් වඩා වැඩ අධිකයි නෙව. ඇයි අපේ ExMO 2010 මහා ඉංජිනේරු ප්‍රදර්ශනය.
ඒකට මේ දවස් වල හෝ ගාල වැඩ. ඉතින් එ වැඩ නිසා අලුතින් හරි හමන් ලිපියක් නම් ලියා ගන්න බැරි වෙනව මේ සතියෙත්. :(
වට් ටු ඩූ කිව්වලු. ඉතින් මගෙ පාඨකයො (මහ ගොඩක් නෑ ඒත් ඉන්න ටික මසුරං වටිනව.) පොඩ්ඩක් ඉවසල ඉන්න අළුතින් ලිපි ටිකක් දානකම් මගෙ බ්ලොග් අඩවි තුනට. මේක, Guide To CSE, Photography සිංහලෙන්.

ඉතින් මේ ලෑස්ති උනේ, අපේ EXMO 2010 බලන්න කස්ටියට එන්න කියල ආරාධනා කරන්නයි.
මම ඉන්නෙ Department of Materials Science and Engineering එකේ. ආවොත් මාවත් බලල කතා කරල යන්නකො. :) 
තියෙන දවස් දන්නවනෙ? මේ මාසෙ, ඒ කියන්නෙ සැප්තැම්බර් 9, 10, 11 දින තුන පුරා උදේ 9 සිට හවස 7 වනතෙක්.
එහෙනම් හම්බවෙමු, ප්‍රදර්ශනයේදී...