Tuesday, September 25, 2012

පොත් ප්‍රදර්ශනයට ගියෙමි - පොත් ගතිමි - මිතුරන් හමුවුනෙමි

ඔව් ගියානෙ, එක පාරක් නෙමෙයි දෙපාරක්ම.
පළවෙනි පාර බලා කියාගෙන එන්න කියල ගිහිල්ල පොතුත් 10ක් වගේ අරගෙන ආව. දෙවෙනි පාර ගන්න ගිහිල්ල තව පොත් 14ක් අරගෙන ආව. අපේ නගා ගියා දවස් 2,3කට ඉස්සෙල්ල එයත් පොත් 9ක් අරගෙන ඇවිල්ල තිබුණ.
ඇත්තෙන්ම අපේ මේ වාර්ෂිකව පොත් ගන්න යෑම පොත් ගන්නම විතරක් යන එකක් නෙමෙයි, අපේ අතිජාත මිතුරන් සෙට් එක එකතු වෙන්නත් යොදාගන්න අවස්ථාවක්.

ඡායාරූපය නිසුපානිස්ගේ අනුග්‍රහයෙනි

ඡායාරූපයත් එක්කම විස්තර කළොත්, වමේ සිට, මගේ සුපැරණි මිතුරු උදිත, ඊලඟට මම, ඊට පස්සෙ දිමුතු, මැද්දෙ රිට වගේ ඉන්න සහන් මල්ලි, ඊලඟට මගෙ ඉපැරණි මිතුරිය නිසුපා හෙවත් නිපුසා, සාලිකා, මනෝරි අක්කා හෙවත් මනෝ අක්කා සහ අවසාන වශයෙන් පබා හෙවත් පබාවතී.
ඉතින් මේ අපේ සෙට් එක ඔක්කෝම සෙට් උනේ ගොඩ කාලෙකට පස්සෙයි. මොකද ඉතින් එක එක්කෙනා එක එක වැඩනෙ, ඉතින් එකට එකතු කරගන්න හරිම අමාරුයි. සමහරු රට ඉඳල එනව, සමහරු රට යන්න ලෑස්ති වෙනව. 
ඉතින් හරිම සතුටුයි ඔක්කොමල්ල එකතු උනු එක ගැන නම්. ඔය අස්සෙ ඉතින් අපි පොතුත් ගත්ත. මගෙ කුමාරිකාවට එන්න උනේ නෑ එයාට උදේ විභාග නිරීක්ෂණ කටයුත්තක් යෙදිල තිබුණු නිසා. අපේ නංගි ආවෙ නෑ ඉස්සෙල්ල ගිය නිසා, ගිය පාර ආපු උදිතගෙ මල්ලි මේ වෙනකොට ඉන්දියාවෙ. නිසුපගෙ නගාට නැගිටගන්න බැරිව සෙමලු. දිමුතුවව ගෙන්න ගත්තෙ තර්ජනයක් කරල. 
ඉතින් මේ යාලුවො සෙට් එකත් එක්කම බ්ලොගෝලයේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුත් මුණගැහෙන්න කතා උනාට උන්ගෙන් කී දෙනයිද හම්බුනේ. මම සෙනසුරාදා තනියම ආ වෙලාවේ ශානි මුණගැහුන. කඩ හොයාගන්න බැරිව කැරකි කැරකි ඉන්නකොට. 
ඉරිද උදේ පාන්දරම නෙරන්ජිව මුණගැහුන, කොල්ල නැතිව තනියම කැරකි කැරකි ඉන්නව. නෙරන්ජි හරිම හොඳයි, ඕනෙ උනොත් කියල ෆෝන් නම්බර් එකත් දුන්න ඉස්සෙල්ල දවසෙ, හැබැයි ෆෝන් එකේ බැටරි බස්සල ඕෆ් කරගෙනම තමා ඇවිල්ල තිබුණෙ.
ඊට පස්සෙ ගෝල්ඩ් ෆිෂ් මුණගැහුන. ඌට තිබ්බ හදිස්සියක්. ඌ එක්ක හිටිය ගෑණු ළමය කවුද කියන එක කාටත් අභිරහසක් :D
අපි ඉතින් පට්ට බඩගින්නෙ කාල තේ බොනකොට මෙන්න නෙරන්ජි කොල්ලවත් හොයාගෙන ආව. :)
ඊට ටිකකට පස්සෙ අර කොමෙන්ට් 20,000 පෝස්ට් එකේ අයිතිකාරිත් කොහෙන්ද මන්ද මතු වෙලා නිසුපගෙ තේකට වග කිව්ව. අනේ අන්තිමට නිසුප කියනව, "අනේ මේකෙ ගොඩක් තිබ්බනෙ" කියල. පවු ඉතින්. ;)

මම ගිය පාර නම් එකතු කරන්න හිතාගෙන චින්ගීස්ගෙ හා පවුලෝගෙ පොත් සෙට් එකක්ම ගත්තනෙ. ඇත්තම කිව්වොත් ඒව කියවල ඉවර කළේ නෑ. මේ පාර හිතල බලල කියවන්න පුළුවන් ඒව ටිකකුත් ගත්ත. නමුත් අරම එකතු කරන්න කියල හිතාගෙන ගත්තු පොත් ටිකකුත් තිබෙනව.
ඉතින් ඔක්කෝම පොත් (මම සහ නංගි ගත්තුව) වල එකතුව 33ක් වෙනව. (එකක් නගාට ඕනෙලු කොල්ලට තෑගි දෙන්න) පොත් වල වටිනාකම රු.12,000ක් වගේ. වියදම රු.9,500ක් වගෙයි වෙලා තියෙන්නෙ. 
මම ඉතින් ලිස්ට් එකක් දාන්නම්කො.

  1. රට රට වල සුරංගනා කතා
  2. අයේෂා ආපසු එයි (රයිඩර් හැගාඩ්)
  3. ඈ සහ ඇලන් (රයිඩර් හැගාඩ්)
  4. ලෝක විනාශය (ආතර් සී. ක්ලාක්)
  5. පාරාදීසයේ උල්පත් (ආතර් සී. ක්ලාක්)
  6. ජනකාන්ත මිත්‍යා මත
  7. වානරයා
  8. රාවණ මෙහෙයුම
  9. සරදියෙල්
  10. මනුසත් උයන (ඩෙස්මන් මොරිස්)
  11. රුසියන් කෙටිකතා
  12. ජේන් අයර්
  13. මුතු කරාබුව පැළඳි යුවතිය
  14. පර්ජා
  15. කාවේරි
  16. අපේ ගම (මාර්ටින් වික්‍රමසිංහ)
  17. කරුවල ගෙදර  (මාර්ටින් වික්‍රමසිංහ)
  18. රන් පිළිමය හා වෙනත් කතා  (මාර්ටින් වික්‍රමසිංහ)
  19. මුවන් පැලැස්ස
  20. මැක්සිම් ගෝර්කි - තෝරාගත් කෙටි කතා
  21. වානේ පන්නරය ලැබූ හැටි
  22. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 1 හා 2 කොටස්
  23. හීන් සැරය
  24. මඟුල් කෑම
  25. ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්ගේ අප්‍රකට ලිපි
  26. ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ විචිත්‍ර දේශනා
  27. පහසුවෙන් සිහිය වඩන මඟ
  28. බෝධි පාක්ෂික ධර්ම විස්තරය
  29. බුදු දහමේ මූලික ඉගැන්වීම්
  30. මොසපොතේමියාගේ ඝාතනය
  31. රොජර් ඇක්‍රොයිඩ් මරා දැමීම (අගතා ක්‍රිස්ටි)
  32. මකුළු දැල (අගතා ක්‍රිස්ටි)
  33. හර්කියුලිස්ගේ රහස් පරීක්ෂණ  (අගතා ක්‍රිස්ටි)
මෙන්න මෙහෙම තමා ගත්තු පොත් විස්තරය. ෆොටෝ එකක් දාන්න ලේසි නැති නිසා නිකා හිටිය.

මේවට අමතරව අපේ සාලිකා මිතුරියට මම, මහරහතුන් වැඩි මඟ ඔස්සේ පොත් දෙක හා සාරභූමි පොත් තුන්කට්ටුව අරන් දුන්නා තෑග්ගක් වශයෙන්. 

ප්‍රදර්ශනේ ගැන කියනවා නම් ප්‍රදර්ශනේ හොඳයි. ප්‍රකාශකයින්ට නම් පට්ටම ලාභයක් ඇති. කියවන ජනතාවටත් තමුන්ගෙ ලාභයෙන් කොටසක් වැය කරමින් පොත් දෙන එක නම් අගය කළ යුතුයි. ඒත් එක්කම ඔවුන් කතුවරුන්ට කරන අසාධාරණයත් ටිකක් අඩු කළොත් නම් හොඳයි. (කතෲ භාගය නොදී පොත් හොරෙන් මුද්‍රණය කර විකිණීම වගේ දේවල්). ඒ ගැන වැඩිපුර කතා කරන්න ඕනෙ නෑ කියල හිතනව. 
කොහොමෙන් කොහොම හරි, මේ වාරෙ පොත් සල්පිලත් අති සාර්ථක ලෙස තවමත් පැවැත්වෙනවා. අපිත් පොත් ගත්ත. සතුටුයි...

Thursday, September 20, 2012

[Update 2] මම ගන්න ඒවමත් නෙමෙයි, නමුත් ඔයාලට පොත් ගන්න උදව්වක්

ඉතින් අපි සෙට් එකක් යනවලුනෙ එන ඉරිද පොත් සල්පිලට. ඕකෙන් කට්ටිය පොත් ගොඩක් ගන්න අදහස ඇතිනෙ. සමහරු නම් එකක් දෙකක් වෙන්නත් පුළුවන්, සමහරු නම් පොත් කන්දක් වෙන්නත් පුලුවන්. ගිය පාරත් අපිත් එක්ක ගිය සමහරුන්ට ගත්තු පොත් ටික එල්ලගෙන ගිහිල්ල කොන්දෙ අමාරුත් හැදුනලුනෙ. :)

ගිය පාරත් මම කිව්ව පොත් ටිකක් ගැන, ඒවත් එක්ක මේ පාරත් පොත් ලැයිස්තුවක් දෙන්න හිතන්නෙ.
හැබැයි මෙහෙමයි. මගෙ රසාස්වාදය වෙනයි ඔයාලගෙ රසාස්වාදය වෙනයි. ඉතින් මම මේ කියන පොත් සමහරුන්ට හොඳ වෙන්නත් පුළුවන්, සමහරුන්ට සවුත්තු වෙන්නත් පුළුවන්. ඔයාලගෙ අදහසුත් දෙන්න. එතකොට පොත් ලැයිස්තුව අලුත් කරන්න පුළුවන්නෙ ටික ටික. මේ සමහරක් පොත් මගෙ ලඟ තියෙන ඒව. සමහරක්, මගෙ ලඟ නැතත් කියවල තියෙන ඒව. සමහරක් මගෙ ලඟත් නැති කියවලත් නැති ඒව. (අන්න ඒවයින් ටිකක් සහ කියවල තියෙන මගෙ ලඟ නැති ඒවයින් ටිකක් මම මේ පාර ගනීවි.)

ගුරු ගීතය
චිංගීස් අයිත්මාතව් | පරි: දැදිගම වී. රොද්‍රිගූ | ප්‍රකා: කීර්ති
සුප්‍රසිද්ධ දුයිෂෙන්ගේ කතාව. මේක ගැන නම් කියන්න ඕනෙ නැතිව ඇති. 

ධිවර ගීතය
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
ධීවට පිරිසක් සමඟ මාළු අල්ලන්න යන කුඩා දරුවෙක්. අතරමං වෙලා පාර හොයාගන්න බැරිව, වැඩිමලුන් එකා එකා මිය යනවා. අවසානයේ මේ කුඩා දරුවා පමණයි. ඔහු කෙසේ හෝ ගොඩබිමට එනවා. සමහරවිට කියවන්න කම්මැලි හිතෙයි. මොකද මේකෙ දෙබස් අඩුයි, තිබෙන්නෙ හිතන දේවල් තමා වැඩිපුර.

ජමිලා
චිංගීස් අයිත්මාතව් | අනු: දැදිගම වී. රොද්‍රිගූ  | ප්‍රකා: කීර්ති
මේකත් හුඟක් ප්‍රසිද්ධ පොතක්නෙ ඉතින්.

සමුගනිමි ගුල්සාරි
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
මහලු වියේ සිටින අශ්වයෙකු හා මහල්ලෙකුගේ කතාවක්.

සුදු නැව
චිංගීස් අයිත්මාතව් | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන


2001, 2010, 2061, 3001 Space Odyssey Series එක 
ආතර් සී. ක්ලාක් | ප්‍රකා: S & T Group

රාමා හමුව
ආතර් සී. ක්ලාක් | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: S & T Group
පිටසක්වලින් අපගේ සෞර ග්‍රහ මණ්ඩලය හරහා යන නන්නාඳුනන මිය ගොස්ද නැතිද අවිනිශ්චිත යානාවක්...

අවසන් සිද්ධාන්තය
ආතර් සී. ක්ලාක් | පරි: තත්සරණි බුලත්සිංහල | ප්‍රකා: S & T Group
ක්ලාක්ගේ අවසන් කෘතිය.

මනුසත් උයන
ඩෙස්මන් මොරිස් | | ප්‍රකා: S & T Group

හිතන පතන යන්ත්‍ර
විද්‍යා ප්‍රබන්ධ එකතුවක්. | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: S & T Group

මැංචෝසන් චාරිකා
ආර්. ඊ. රාස්ප් | අනු: ඩී. බී. කුරුප්පු | ප්‍රකා: කුරුලු පොත්
බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් හුඟක් ලස්සන කතාවක්. සාමාන්‍ය විහිළු නෙමෙයි, හිතෙන්නෙවත් නැති ආකාරයේ out of the box විහිළු පිරුනු කතාවක්. මේක නම් හොයාගන්න තියෙයිද කියල ශුවර් නෑ. බලන්න ගොඩගේ පොත් මැදුර. පොඩි ගාණක් වෙන්නෙ, තිබ්බොත් හැබැයි අනිවා ගන්න.

මහල්ලා සහ මුහුද
අර්නස්ට් හෙමිංවේ | පරි: ප්‍රාම් තෙල්දෙණිය | ප්‍රකා: පොත් මිතුරෝ

ලව් ස්ටෝරි
එරිච් සේගල් | පරි: ප්‍රදීප් කුමාර බාලසූරිය
මේ පොත ලොව පුරා ඉතාම විශාල භාෂා ගණනකට පරිවර්තනය වෙලා තිබෙන, වාර්තා ගත අලෙවියක් වෙලා තියෙන ආදර කතාවක්.

සන්තියාගෝ නම් සැරිසරන්නා
පවුලෝ කොයියෝ | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන
සුප්‍රකට "The Alchemist" පොතේ පරිවර්තනය

වෙරෝණිකා මැරෙන්නට තීරණය කරයි.
පවුලෝ කොයියෝ | පරි: ගාමිණි වියන්ගොඩ | ප්‍රකා: Fast Publishers
ජීවිතය එපා වී වස බී මැරෙන්නට ගොස් අවසානයේ රෝහලක ඇඳක් උඩදී සිහිය එන වෙරෝණිකාගේ දුක්බර කතාව..

මිනිත්තු එකොළහේ කතාව
පවුලෝ කොයියෝ | පරි: රුවිනි තල්පාවිල | ප්‍රකා: විදර්ශන

යක්ෂයා හා ප්‍රයිම් මෙනෙවිය
පවුලෝ කොයියෝ | පරි: චූලානන්ද සමරනායක | ප්‍රකා: විදර්ශන

පියදෙරා ගඟබඩ හිඳ වැළපුණෙමි
පවුලෝ කොයියෝ |  | ප්‍රකා: විදර්ශන

වීදි දරුවා
බර්ලි ඩොරති | පරි: දෙව්දූ සෙනෙවිරත්න | ප්‍රකා: Baby Bee

ඈ හෙවත් අයේෂා, අයේෂා යළි පැමිණෙයි
රයිඩර් හැගාඩ් | පරි: කේ. පී. කරුණාතිලක | ප්‍රකා: දයාවංශ ජයකොඩි
මෙතුමාගේ පොත් හැම එකක්ම ඉතා ඉහළ ගණයේ කෘති.
වසර දහස් ගණනක් වයසැති රූප ශ්‍රීයෙන් අග තැන්පත් මායාකාරී රැජිණකගේ කතාව. ත්‍රාසය භීතිය පිරි කතා මාලාවක්.

මොන්ටිසුමාගේ දියණීය
රයිඩර් හැගාඩ් | පරි: ප්‍රේමසිරි මාහියංගොඩ | ප්‍රකා: දයාවංශ ජයකොඩි
පැරණි මෙක්සිකෝවේ ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ විනාශය, මවගේ ඝාතකයා සොයා යන මිනිසෙක් මුහුණදෙන ඛේදජනක සිදුවීම් මාලාවක්.

නිරුවත් වානරයා
ඩෙස්මන් මොරිස් | පරි: එස්. එම්. බන්දුසීල | ප්‍රකා: නව විද්‍යා
සුප්‍රසිද්ධ "Naked Ape" මනෝ විද්‍යා ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. මිනිසාගේ ගතිගුණ හා හැසිරීම් මනෝ විද්‍යා ඇසකින්.

ෆ්‍රැන්කස්ටයින්
මේරි ෂෙලී | පරි: චන්ද්‍ර අනගිරත්න | ප්‍රකා: දයාවංශ ජයකොඩි
දන්නවනෙ අර ශරීර කොටස් එකතු කරල අලුත්ම කැතම කැත ජීවියෙක්ව හදපු කතාව? අන්න ඒක තමයි මේ.

ස්මිත්
ලියොන් ගාෆීල්ඩ් | පරි: චිත්‍රා අයි. පෙරේරා | ප්‍රකා: Baby Bee
වීදි දරුවෙක්. සොරකම් කරන ලද ලියවිල්ලක්. එම ලියවිල්ලත් සමඟ ඔහුගේ ජීවිතයට තර්ජනයක්. ඒත් අන්තිමේ ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක්.

කලු සිවුරුධර භික්ෂුව
ඇන්ටන් චෙකෝව් | පරි: රංජිත් ධර්මකීර්ති | ප්‍රකා: එස්. ගොඩගේ
ටිකක් අමුතු කතාවක්. මට නම් ටිකක් තේරුනත් හොරයි. :)

ඇට මැස්සා
පරි: සුගතපාල ද. සිල්වා

ගුප්ත ප්‍රතිවාදියා
අගතා ක්‍රිස්ටි | පරි: බර්ටි ද. සොයිසා
අගතා ක්‍රිස්ටි කියන්නෙ ලෝප්‍රකට රහස් පරීක්ෂක කතා ලිව්ව කතුවරියක්නෙ, මේ එයාගෙ එක් පොතක්.

රට රට වල සුරංගනා කතා
පරි: ටෙනිසන් පෙරේරා | ප්‍රකා: සරසවි
සුරංගනා කතා ඉතින් කියවන්න එපා වෙන්නෙ නෑනෙ.

මනස්තාපය
වික්ටර් හියුගෝ | පරි: විජයරත්න දොලවත්ත
ප්‍රකට Les Miserable කතාවේ සිංහල පරිවර්තනය. මේකද කොහෙද ලෝකෙ ප්‍රථම නව කතාව.

අදහස්
ෆෙඩ්‍රික් හරේන්
අලුත් අදහස් එකතුවක් හා අපේ අදහසුත් ලියන්නත් ඉඩක් තියල තියෙන පොතක්.

සොෆීගේ ලෝකය

පොලියානා

වානේ පන්නරය ලැබූ හැටි

වානරයා
වූ චෙං එන් | පරි: ඒ. පී. ගුණරත්න් | ප්‍රකා: සූරිය
ප්‍රසිද්ධ අමරණීය වානර මුණිවරයාගේ කතාව.

ස්පාටකස්
ග්‍රීසියේ වහලුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ කතාව.

කීඩෑවෝ ඇවිල්ලා

මළගිය ඇත්තෝ
එදිරිවීර සරච්චන්ද්‍ර


මුවන් පැලැස්ස
මුදලිනායක සෝමරත්න | ප්‍රකා: සරසවි
මේක ගැනත් කියන්න ඕනෙ නෑනෙ. :) මේ ප්‍රසිද්ධ ගුවන්විදුලි වැඩසටහන ගැන කවුද නොදන්නෙ.


ජනකාන්ත මිත්‍යා මත
තිලක් සේනාසිංහ | ප්‍රකා: සරසවි

රාවණා මෙහෙයුම
සුසිත රුවන් | ප්‍රකා: සරසවි
රාවණා රජු ගැන පවතින සාක්ෂි සමඟ කතා කරන පොතක්. මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන පොතක්.

කවි කඳුර (2011 ස්වර්ණ පුස්තක සම්මානය හිමි)
සුනේත්‍රා රාජකරුණානායක | ප්‍රකා: සරසවි

චුම්බන කන්ද (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)
ජයතිලක කම්මැල්ලවීර | විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
බුද්ධදාසී
සුනේත්‍රා රාජකරුණානායක

සඳුන්ගිර ගිනි ගනී
සුනේත්‍රා රාජකරුණානායක
දුප්පත් මිනිස්සු, කොළඹ වැඩකාරකමට යන පොඩි කෙල්ලක්, ආදරයෙන් සළකන පවුලක්...


හරි. දැනට ලිස්ට් එක මෙන්න මේකයි. මේ පොත් බොහොමයක්, ගොඩක් දෙනා අත තියෙන්න පුළුවන් ඒව. නමුත් නොදන්න අයටත් දැනගන්නයි දැම්මෙ. තව මතක් වෙන විදිහට හා විස්තර ලැබෙන විදිහට මේ ලිස්ට් එක අප්ඩේට් කරන්නම්.
ඔයාලත් පොත් ගැන කියන්න කමෙන්ට් හරහා. එතකොට අනිත් අයට ඒවත් පහසුවක් වෙනවානෙ.

එහෙනම් අපි 23 වන ඉරිදා හමුවෙමු පොත් සල්පිලේදී... දැකල හඳුනගත්තොත් තට්ටුවක් දාල කතා කරන්න.

----------- අලුතින් එකතු කිරීම 2012.09.20 --------------------

ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන්ගේ අප්‍රකට ලිපි
සමුද්‍ර වෙත්තසිංහ | ප්‍රකා: සමුද්‍ර වෙත්තසිංහ
ආනන්ද හාමුදුරුවො ලියලු ලිපි හා උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධ සිදුවීම් තමයි මේකෙ තියෙන්නෙ.

මුතු කරාබුව පැළඳි යුවතිය (Girl with a pearl earing)
ට්‍රේසි චෙවලියර් | පරි: ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද | ප්‍රකා: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් වර්මීර්ගේ චරිතය ඇසුරු කර ලියවුනු මනරම්, ගුප්ත, අනුවේදනීය ප්‍රබන්ධයක්.

පර්ජා (Parja)
ගෝපිනාත් මෝහන්ති | පරි: චිත්‍රා අයි. පෙරේරා | ප්‍රකා: විදර්ශන
කඳුකර ඕරිස්සා ප්‍රදේශයේ ජීවත් වන ගෝත්‍රික මිනිසුන්ගේ ජීවිත ගැන කියවෙන ඉන්දීය නූතන නව කතාවක්.

ජේන් අයර්
චාලට් බ්‍රොන්ටේ | පරි: එන්. ජී. විජේරත්න | ප්‍රකා: ආශිර්වාද
මේ ලෝකයේ ජනප්‍රියම ප්‍රේම වෘතාන්තය තමයි මේක. සම්භාව්‍ය ආදර කතාවක්.

ඔලිවර් ට්විස්ට්
චාර්ල්ස් ඩිකන්ස් | පරි: ඇම්. ඇම්. පියවර්ධන | ප්‍රකා: ආශිර්වාද
අනාථ නිවසෙන් පැන යන දරුවෙක් මුහුණදෙන විවිධ කම්කටොළු, ගැටළු... අවසානයේ සතුටුදායක අවසානයක්.

වෛරයේ මිදි ඵල (The Grapes of Wrath)
ජෝන් ස්ටෙයින්බෙක් | පරි: ශ්‍යාමන් හේමකොඩි | ප්‍රකා: විදර්ශන
ඇමරිකානු කම්කරු නීති පවා වෙනස් වීමට තරම් බලපෑමක් සිදු කරන ලද ඇමරිකානුවන් වැඩිම දෙනෙක් කියවන ලද මේ පොත වෙනුවෙන් කතුවරයාට සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයද හිමි වෙනවා. මේක ඇමරිකාවේ සිදුවුනු දරුණුතම මානව ඛේදවාචකය පසුබිම් කරගත් හද සසල කරවන නිර්මාණයක්.


----------- අලුතින් එකතු කිරීම 2012.09.22 --------------------

ඈ සහ ඇලන්
රයිඩර් හැගාඩ් | පරි: චන්ද්‍ර අනගිරත්න | ප්‍රකා: දයාවංශ ජයකොඩි
අයේෂා කතාවේ අයේෂා සොයාගෙන ඇලන් ක්වාටර්මෙන් යන ගමනේ විස්තරය. මේක ඇලන් ක්වාටර්මෙන් කතා මාලාවේ එක් කතාවක්.

සරදියෙල්
විමලසේන ඉහළගම | ප්‍රකා: දයාවංශ ජයකොඩි

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
ඉන්ද්‍රජිත් සුබසිංහ | ප්‍රකා: කරුණාරත්න සහ පුත්‍රයෝ
දිවයින පත්‍රයේ මේ නමින් පළ වන ලිපි මාලාව කවුරුත් දන්නවනෙ. අන්න ඒකයි මේ. මේකෙ පොත් 2ක් තිබෙනවා. දෙකම ගන්න.

මකුළු දැල
අගතා ක්‍රිස්ටි | පරි: තොම්සන් ඒ වැන්දබෝනා | ප්‍රකා: සරසවි

මෙසපොතේමියාවේ ඝාතනය
අගතා ක්‍රිස්ටි | පරි: තොම්සන් ඒ වැන්දබෝනා | ප්‍රකා: සරසවි

අගතා ක්‍රිස්ටිගෙ පොත් කිහිපයකම පරිවර්තන සරසවි ප්‍රකාශකයින් කරල තිබෙනව.

සක්කාරං  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
චමින්ද වෙලගෙදර | ප්‍රකා: ෆාස්ට් පබ්ලිෂින්

ලලිත සමය  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
එරික් ඉලයප් ආරච්චි | ප්‍රකා: සරසවි ප්‍රකාශකයෝ

කළුවරයි පුරහඳ  (2011 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත) 
අනුරසිරි හෙට්ටිගේ  | ප්‍රකා:  සදීපා ප්‍රකාශකයෝ

සිටුවර පුවත  (2012 ස්වර්ණ පුස්තක සම්මානය හිමි)  
රූපා ශි‍්‍රයානි ඒකනායක

පියැසි කවුළුව (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)  කපිල කුමාර කාලිංග

රතු ඉද්ද  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   කරුණාදාස සූරියආරච්චි

අභිරහස් ජීවිත තරණය  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   ටෙනිසන් පෙරේරා

පරඬැල්  (2012 ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශිත)   ශාන්ති දිසානායක

තුන් තකතීරු මං
දිලීප ජයකොඩි

තවත් ඉදිරියේදී ලැයිස්තුව අප්ඩේට් කරන්නම්.

------- අමතර සහයක් --------

ඒ ඒ ප්‍රකාශයකයින්ගෙ ප්‍රදර්ශන කුටි තිබෙන තැන්

සිරිමාවෝ වම්පස ශාලාව 
සරසවි පොත් හල - A62-69
විජිත යාපා - A 4a, 9b

සිරිමාවෝ දකුණූපස ශාලාව
දයාවංශ ජයකොඩි - B130-137
Fast Publishing - B102-104
රත්න ප්‍රකාශකයෝ - B111-112
සමයවර්ධන - B119-120
විදර්ශනා - B99-100
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය B93-97

සිරිමාවෝ පිටත වම්පස ශාලාව
එම්. ඩී. ගුණසේන - C139-140
මල්පියලි C141-146

සිරිමාවෝ බිමට ඇතුළු වන තැන වම්පස ශාලාව
රත්න - E
අකුර - E1

සිරිමාවෝ බිමට ඇතුළු වන තැන දකුණුපස ශාලාව (F)
Expographic

VIP වාහන නවතන තැන (K)
අකුර
සමයවර්ධන
සරසවි
විජිත යාපා

ආපනශාලාව පස විශාල ශාලාව 
ආශිර්වාද - H392-393
සරසවි
වීරෝදාර ලිපිද්‍රව්‍ය - H364-367

තවත් අයට වැදගත් වල ප්‍රකාශකයින්ගේ කුටි සඳහන් නොවුවාට සමාව අවසර.

Sunday, September 9, 2012

ආදර අන්දරයක කඩ ඉමක්

ඇත්තටම කඩ ඉමක්මත් නෙමෙයි. නමුත් ඒ වගේ එකක්.
අද 2012.09.09. 
එදා 2009.09.09. 
ගොඩක් විශේෂ දවසක්. මට හා තවත් කෙනෙකුට. :)
හරියටම කිව්වොත්, මම මගෙ ආදරවන්තියට ආදරෙයි කියල අදට හරියටම අවුරුදු 3යි. අපි දෙන්නගෙ ආදරේ පටන් අරගෙන අදට හරියටම අවුරුදු 3යි. 
ලොකු කාලයක්. ගොඩක් දේවල් උනා. පොඩි පොඩි හැල හැප්පිම් සිදු උනේ නැත්තෙත් නෑ. නමුත් හැම වෙලේම අපේ ආදරේ තව තවත් ශක්තිමත් උනා. හැමදාම තව තවත් ආදරේ කළා. 
යාළුවෙක් විදිහට මගෙ ලඟට ඇවිල්ල, හොඳම යාළුවෙක් වෙලා, අන්තිමට මගෙ ආදරවන්තිය, මගෙ අනාගතේ උනා ඒ කෙල්ල.
ලිපිය කෙටියි, නමුත් ආදරේ හුඟක් ලොකුයි...
තෙවසරක් ගෙවුනා..
තවත් අපි ලං උනා...
ඉඳිමු අපි ආලෙනා...
සැම දිනා, එකෙකු සේමා...

----------------
ලොව ඇති
සියළු සැපයෙන් සම්පතින් පිරි,
ලොව ඇති
ලස්සනම මාළිගාව තූළ සිටින,
මලක් සේ සසොබන,
මගේ කුමරිය.
ඔබය මගේ ජීවය.
ඔබය මගේ සිහිනය.
ඔබය මගේ ආලය.
සැමදා මා ඔබේය,
ඔබ මගේය,
අපි මියෙන තුරා...
-------------------
ඔබයි මගෙ කුමරිය,
ඔබයි මගෙ ආදරය,
සැමදාම රකිමි ඔබ,
ආදරෙන් ලං කරන්.
සතුටක්ම දෙමි ඔබට,
ජීවිතේ පුරාවට.
මහළුවී මියෙන තුරු....
------------------
Though we call and talk 3,4,5 times a day,
Though we send sms every day,
Though I have many photos to look at all the day,
Though I think of you every time,
Though I dream of you every night,
Though I hug my pillow pretending it is you,
It is not like having you by my side.
Missing you soo much...
Wanting you soo much...
Loving you soo much...
----------------





Saturday, September 8, 2012

Book Fair එකත් අත ලඟ...


හ්ම්ම්. පොත් ප්‍රදර්ශනේකුත් එනවලු ඉතින්. ගිය පාර නම් අපි සෙට් එකක් එකතු වෙලා ගියානෙ. මේ පාර තාම කිසිම සද්දයක් නෑ වගෙයි. කෝ මේ අපේ කට්ටිය හැබෑට??? අර ලක්මිණි සොයුරිය මුහුණු පොතේ පටන් ගත්තු ත්‍රෙඩ් එක නම් තාම දුවනව, ඒත් බැරි බර ගාතෙ. කාගෙන්වත් හරි හෙල්ප් එකක් නෑ. :( මේ පෝස්ට් එක ලියනකොට කමෙන්ට්ස් 20000ට 29යි අඩු වෙලා තිබ්බෙ. 
ගිය පාර නම් මම යන්න ඉස්සෙල්ල පෝස්ට් දෙකක් ලියල ගිහිල්ල ඇවිල්ලත් පෝස්ට් එකක් ලිව්ව. ඒවායින් ගොඩක් අය ප්‍රයෝජනත් අරගෙන තිබුන. ඒ ලිපි දෙකට දාල තිබුණු කමෙන්ට් හරහා තවත් පොත් ගැනත් දැනගත්ත. 

ගිය පාර මතකයෙන්

ඉතින් මේ පාරත් හිතුන දැන්මම පෝස්ට් එකක් ලියන්න. ලියන්න කිව්වට එක පාරටම මොනවද ලියන්න යන්නෙ කියල අදහසක් එන්නෙ නෑ, කොහොමහරි, මේ පාර, අතේ සල්ලි ටිකක් වැඩිපුර තියෙනව. ඉතින් පොත් ටිකක් වැඩිපුර ගන්න පුළුවන් වෙයි කියල හිතනව. (ගිය පාර නම් අපේ සමහරු පොත් අරගෙන වැඩි වෙලා උස්සන් යන්න ගිහිල්ල කොන්දෙ අමාරුත් හදාගත්තද මන්ද.) 
ගිය පාර හිතාගෙන හිටි පොත් කිහිපයක් හොයා ගන්න නම් බැරි උනා. (චින්ගීස්ගෙ පොත් කිහිපයක්). සමහරවිට මේ පාර හොයාගන්න පුළුවන් වේවි. බෞද්ධ පොත් ටිකකුත් ගන්න හිතන් ගියාට ඒක එතරම්ම සාර්ථක උනේ නෑ. අනිත් එක ඡායාරූපකරණය සම්බන්ධ පොත්. එහෙම ඒවත් එකක් දෙකක් හම්බුනා, ඒත් ඒව ගන්න ගියා නම් වෙන පොත් ගන්න වෙන්නෙ නෑ. ඉන්ද්‍රනාථ මහත්මයගෙ පොත් තියේවිද දන්නෙ නෑ. මම කොපියක් පරිස්සම් කරල අරන් තියන්න කිව්ව. එතුමට මතකද දන්නෙ නෑ. :) 
ආ... ගිය පාර ගත්තනෙ, "ඈ හෙවත් අයේෂා" පොත. මේ පාර ඒකෙ ඉතිරි කොටස් ටික හොයල ගන්න ඕනෙ. තවත් ඒ වගේ හොඳ පරිවර්තන ටිකක් ගන්න අදහසක් තිබෙනවා. ගිය පාර ගත්තෙම චින්ගීස්, පව්ලෝ, වගේ අයගෙ පොත්නෙ. මේ පාර ටිකක් වෙනසක් කරන්නත් හිතෙනව. බලමුකො. ඉංගිරිසි පොතක් දෙකක් ගන්නත් ආසාව තියෙනව. කියවල තේරෙයිද මංද. 
ආ. ආතර් සී. ක්ලාක් මහත්මයගෙ "අවසන් සිද්ධාන්තය" පොත ගිය පාර ගත්තනෙ. ඊට පස්සෙ වෙලාවක (ඔය කිව්වට ඊට මාස 5,6කටත් පස්සෙද කොහෙද) සරසවි පොත් හලට ගිය වෙලාවක, එතුමාගෙ තව පොතක් ගත්ත. "රාමා හමුව". එතුමගෙ තවත් පොතක් දෙකක් ගන්න ඕනෙ. S & T Group එකේ ස්ටෝල් එක කළේ මගෙ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක් නිසා වැඩි ඩිස්කවුන්ට් එකකුත් හම්බුනා (හ්ම්ම්, යාලුව මොකාද කියල දැන් මතක නෑනෙ. මේ පාර ඒ කියන්නෙ වැඩි ඩිස්කවුන්ට් නෑ. :( )
එරිච් සේගල් ගෙ The Love Story (පරි: ප්‍රදීප් කුමාර බාලසූරිය) පොත ලෝකෙම ප්‍රසිද්ධ උනු ආදර අන්දරයක් ගැන පරිවර්තනයක්. හැබැයි පොත නම් ගොඩක් පොඩී. අර්නස්ට් හෙමිංග්වේගෙ "මහල්ලා සහ මුහුද" (පරි: ප්‍රාම් දෙල්දෙණිය) ගොඩක් ප්‍රසිද්ධ පොතක්. 
හොයා ගන්නව නම් හොයාගන්න මේන්න මේ පොත. ආර්. ඊ. රාස්ප්ගෙ "මැංචෝසන් චාරිකා" (අනු: ඩී. බී කුරුප්පු). බඩ පැලෙනකම් හිනා උනෑකි. මම මේ පොත හොයල හොයල හොයා ගත්තෙ මරදානෙ ගොඩගේ පොත් මැදුරෙන්. කෝල් කරල පොත බුක් කලා. :) තිබ්බ අන්තිමම කොපියද මන්ද. 
ඉතින් ඔයාලගෙ අදහසුත් කියනවද. ඒ කිව්වෙ ගන්න ගොඳ පොත් පිළිබඳ අදහස්. සරසවි පොත් හලේ වෙබ් අඩවියත් ටිකක් බලල යන එක හොඳයි. සෙනඟ අස්සෙ පොත් තෝරන්න ඒක යම්ම හරි පහසුවක් වෙයි. ඇයි අපේ මිත්‍රයෙක් පවත්වාගෙන යන SinhalaBooks.lk වෙබ් අඩවිය. ඒකත් බලන්න ඕනෙ. 

මම යන්න හිතන් ඉන්නෙ ඉරිදා (23). ඔයාල යන්නෙ කවදද?