Friday, July 8, 2011

විදුලි ආශ්‍රිත ප්‍රවේසම



"අප්‍රවේසම අනතුරට අත වනයි."

(මෙම ලිපිය, අප ආයතනයේ කාර්මිකයින් පුහුණුවකට මා විසින් සකසන ලද්දක යම් වෙනස්කම් කර ප්‍රකාශනයට පත් කරන ලද්දකි. නමුත් මෙමගින් ඔබ සැමටම  ප්‍රයෝජනවත් වන දැනුමක් ලබා ගත හැකි වෙතැයි සිතමි.)


"විදුලිය හොඳ සේවකයෙකි, නමුත් දරුණු පාලකයෙකි" යන්න විදුලියෙහි යහපත මෙන්ම අයහපතද කැටිකර දක්වන ප්‍රකාශයකි. නිසි පාලනයක් යටතේ අප විසින් විදුලිය ප්‍රයෝජනයට ගත යුතු බවයි.
ආයතන වල සිදුවන අනතුරු හා සසඳා බලන කළ විදුලියෙන් සිදුවන අනතුරුවල ප්‍රතිශතය ඉතා අඩු වේ. එහෙත් අප, විදුලිය හොඳ සේවකයෙක් කර ගැනීමට තරම් ඒ පිළිබඳව දැනුවත් නම් එසේ සිදුවන අනතුරු වළක්වා ගත හැකි වේ.

විදුලියෙන් අනතුරු සිදුවීමට පහත කරුණු බලපා තිබේ.
  • ·         පහත් තත්වයේ විදුලි උපකරණ භාවිතය
  • ·         නිසි නඩත්තුවක් නොමැති වීම
  • ·         විදුලි උපකරණ නිවැරදිව භාවිතය පිළිබඳ නිසි දැනුමක් නොමැති වීම

විදුලි සැර (electric shock) සහ මිනිස් සිරුර

අයෙකු විදුලි සැර වැදී මියයාමට, ඇම්පියර් 0.05 වැනි සුළු විදුලු ධාරාවක් වුවද ප්‍රමාණවත් වේ. වියළි සමෙහි විදුලි ධාරාවක් ගමන් කිරීමට ඉහළ ප්‍රතිරෝධයක් ඇතත් තෙත් සමෙහි ඊට ඇති ප්‍රතිරෝධය බෙහෙවින් අඩු අගයක් ගනී. 
වියළි සමෙහි විදුලිය සඳහා ප්‍රතිරෝධය : ඕම් 100,000 - 600,000 දක්වා ප්‍රතිරෝධයක්ද,තෙත් සමෙහි විදුලිය සඳහා ප්‍රතිරෝධය : ඕම් 1000 සිට පහළට ප්‍රතිරෝධයක්ද, පවතී.
මිනිස් ශරීරය හරහා විදුලි ධාරාවක් ගලා යන්නේ පරිමා සන්නායකයක් පරිද්දෙනි. බොහෝවිට එය සිදුවන්නේ අත් දෙක හරහා හෝ අතක් හා පයක් අතරය. එම නිසා විදුලිය ගලා යන මාර්ගයට හෘදයත් ශ්වසන පද්ධතියත් අයත් වන අතර මරණය සිදුවීමට එය බලපායි. හිස හරහා විදුලිය ගලා යන අවස්ථා වාර්තාවී ඇත්තේ ඉතාම අවම වශයෙනි. මිනිස් ශරීරයේ සෛල විදුලි ධරාවකට ඉතාම සංවේදී වේ. දිවට මිලි ඇම්පියර්45ක් වැනි කුඩා විදුලි ධාරාවකින් හෘදයේ වේගවත් ගැස්මක් ඇති කරයි. මෙම ප්‍රමාණය වර්ධනය වීමේදී ක්‍රමයෙන් දැවිල්ලක්, තාපය හා වේදනාවක් ඇතිවේ. මිලි ඇම්පියර්100කදී, පාලනයකින් තොරව මස්පිඬු හැකිලෙන නිසා විදුලි සන්නයනයේදී අත හෝ ශරීරය ඉවතට ගත නොහැකි තත්වයට පත් වේ.
අයෙකුගේ පපුව හරහා මිලි ඇම්පියර් 20-40 ධාරාවක් ගලා යාමේදී පපුවේ මාංශ පේශි හැකිළී හුස්ම ගැනීම නතර වේ. මෙහිදී ඔක්සිජන් නොමැති වුවහොත් මිනිත්තු ගණනාවක් තුළ මරණය සිදුවේ. එහෙත් මෙලෙස ශරීරගත වන විදුලිය ක්ෂණිකව කපා හැරිය හොත් හුස්ම ගැනීමට හැකිවී, යළි යථා තත්වයට පත් වේ.
ශ්වසන පද්ධතිය පාලනය වන මොළයේ පහළ කොටස හරහා විදුලිය ගමන් කළහොත් ශ්වසන පද්ධතිය අක්‍රිය වේ. හෘදය හරහා විදුලිය ගමන් කළ හොත් ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල වේ. මෙවැනි අවස්ථා වල ක්ෂණික ප්‍රතිකාර ලබා නොදුනහොත් මරණය සිදුවීමේ අවදානම ඉතා වැඩිය. විදුලි සැර වැදීමකදී මස්පිඬු හැකිළී සම ඉරීයාමකටද ලක්විය හැකි අතර කොඳුඇට බිඳී යාමටද හැකියාවක් පවතී. එවැනි අවස්ථාවකදී අතපය පාලනය කරගැනීමට නොහැකිවන නිසා විසිවීමට, සිටි තැනින් පහළට වැටීමට, අවට ඇති භාණ්ඩ වල වැදීමෙන්ද තුවාල සිදුවීමද විය හැකිය. හිනිමං,පළංචි මත වැඩ කරන විට මේ ගැන වැඩි අවධානයක් යොමුවිය යුතුය.

විදුලියෙන් ඇති වන පිළිස්සීම් (Electric Burns)

විදුලි ධාරාවක් සන්නායකයක් තුළින් ගමන් ගන්නා විට සන්නායයකයේ  ප්‍රතිරෝධයට අනුක්‍රමිකව තාපය පිට කරයි. මිනිස් සමේ ප්‍රතිරෝධය වැඩි නිසා ධාරාවක් ගමන් කිරීමේදී වැඩි තාපයක් පිට වේ. මේ නිසා සමේ පිළිස්සීම් තුවාල ඇති වේ. මෙවැනි තුවාල වැඩි ප්‍රමාණයක් ඇති වන්නේ ශරීරයට ශරීරයට විදුලි ධාරාව ඇතුළු වන හා පිටවන ස්ථානයන් වලය.

සැණෙලිය නිසා ඇතිවන පිළිස්සීම් (Flash Burns)



භූගත සන්නායකයක් හා අධි වෝල්ටීයතා සන්නායකයක් එකිනෙක ලංවූ විට මෙවැනි තත්වයක් ඇතිවේ. මෙහිදී වාතය අයනීකරණය වී වාතයේ ප්‍රතිරෝධය ක්ෂණිකව අඩුවී සන්නායක දෙක අතර විදුලි පුළිඟුවක් ඇති කරමින් වැඩි ධාරාවක් ගමන් කරයි.
මේ හා සමානව යම් පුද්ගලයෙක් පරිවරණයක් රහිතව සිටියදී අධිවෝල්ටීයතාවයක් ඇති ස්ථානයකට ලඟා වුවහොත් විදුලි චාපයක් ක්‍රියාත්මක වී පිළිස්සීමක් ඇති වේ.

චාපය නිසා ඇසට ඇතිවිය හැකි ආපදා (Arc Eye)



චාපයකදී පාරජම්බූල කිරණ නිකුත් වේ. එම කිරණ, ඇස තුළ වැලිකැට ඇති සේ වේදනාකාරී තත්වයක් ඇති කරවයි.
"කිරටෝකන්ජන්ටිවයිස්" යනුවෙන් අඳුන්වන මෙම තත්වය විදුලි පෑස්සුම්කරුවන් හට පහසුවෙන් වැළඳේ. සුදුසු ආරක්ෂක ඇස් ආවරණ පැළඳීමෙන් මෙම තත්වය වළක්වා ගත හැකිය.

ගිනි හා පිපිරීම්

විදුලි චාපයකින් ඇති වන තාපය හේතුවෙන් අවට ඇති ද්‍රව්‍යයක් ගිනි ගැනීමක් හෝ අදාල ද්‍රව්‍යයේ තත්වය අනුව පිපිරීමක් හෝ සිදුවීමට අවකාශ පවතී.

විදුලිය හේතුවෙන් තාපය පිටවිය හැකි අවස්ථා
  • ·         පරිපථයක් හරහා අධික ධාරාවක් ගලා යෑමකදී
  • ·         පරිවරණ (insulations) බිඳී ඇති විට
  • ·         විදුලි උපකරණ නිසි පරිදි සිසිල් නොවන අවස්ථා වල
ස්විචයක් හා අනෙකුත් පිළියවන ස්පර්ශයන් අනාරක්ෂිතව ක්‍රියාත්මක වී ගිනි හා පිපිරීම් ඇති විය හැකිය. විදුලි පෑස්සුම් කිරීමේදී මෙවැනි අවස්ථා ඇති විය හැකි අතර එවැනි ස්ථාන අතර ගෑස් හෝ වායු විශේෂ පවතී නම් සිළු ආවරණ සවිකුරු (Flame Proof Fittings) යෙදිය යුතුය.

කර්මාන්ත ආශ්‍රිත විදුලිය භාවිතයේදී කළ යුතු ආරක්ෂක විධි විධාන
  •  සියළු සන්නායකයන් පරිවරණ යොදා කල්පවතින පරිදි සකස් කර තිබිය යුතුය. සන්නායකයක් විවෘතව ප්‍රයෝජනයට ගන්නා විට ඒවා පුද්ගල ශරීර වල නොගැටෙන පරිදි සවි කිරීම හෝ අපවාරක යෙදිය යුතුය.
  • පරිපථයක් රත්වන විටද, එයින් විදුලිය භූගත වන විටද, පරිවාරක බිඳී ඇති විටද පරිපථය ස්වයංක්‍රීයව විසංධි වීමට හැකිවන පරිදි, විලායක (Fuse) හෝ පරිපථ බිඳිනයක් (Circuit Breaker) හෝ යොදා තිබිය යුතුය.
  • ඉදිකිරීම් වැඩබිම් වල ඉහළින්  යොදා ඇති කේබල්, අට්ටාල හා දොඹකර වල නොගැටෙන පරිදි කටයුතු කිරීමට උපදෙස් දිය යුතුය.
  • ගිනි හෝ පිපිරීම් ආපදා ඇති ස්ථාන වල ඇති විදුලි උපකරණ (Flame Proof) සිළු වරණ ඒවා විය යුතුය.
  • විදුලි උපකරණ භාවිතා කරන සේවකයින්ට මනා පුහුණුවක් ලබාදී ආරක්ෂිතව කටයුතු කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතුය. එමෙන්ම කඩතොළු වී ඇති හා ආරක්ෂාව රහිත උපකරණ භාවිතා නොකළ යුතුය. එවැනි අනාරක්ෂිත උපකරණ පිළිබඳව බලධාරීන්ට වාර්තා කිරීමට සේවකයින් පුහුණු කළ යුතුය.
  • විදුලි උපකරණ නිසි පරිදි නඩත්තු කිරීමට හා නිසි කාල සීමාවක් තුළ පරික්ෂා කිරීමටද කටයුතු යෙදිය යුතුය.





Monday, July 4, 2011

නෝක්කාඩුවක් සහ ඉල්ලීමක්


මේක ලියන්න ටික දවසක ඉඳල හිතන් හිටියත් ලියන්න බැරි උනා. අද ලියන්න හිතුව. මේක ඇවිල්ල බස් කතාවක්. (කතන්දරයක් නෙමෙයි) මම රැකියාවට යන්නෙ එන්නෙ High Level පාරෙ 122 - අවිස්සාවේල්ල පිටකොටුව බස් වලයි (මේපේ සිට නුගේගොඩට; දුර කි. මී. 24යි.) උදේ 6ට මීපෙන් පිටත් වෙන මම හවස 5.30ට නුගේගොඩින් බස් එකකට නගිනවා. සාමාන්‍යයෙන් මේ වෙලාවල් වලට 122 බස් තියෙන්නෙ මිනිත්තු 10කට වගේ සැරයක්. නමුත් මේ මාර්ගයේ ඒ වෙලාවල් වලට ගමන් කරන මගීන් ප්‍රමාණයට මේ බස් ප්‍රමාණය හොඳටම මදි. (අනෙකුත් වෙලාවල් වලට නම් හොඳටම ප්‍රමාණවත්) හවසට එහෙම යන්නෙ හොඳටම තෙරපිලා. උදේටත් ඒකෙ ලොකු වෙනසක් නෑ.
ඕක නෙමෙයි මම කියන්න හදන නෝක්කාඩුව. ඒක කියන්න ඉස්සෙල්ල මේ මාර්ගයේ යන අනෙකුත් බස් ගැනත් ටිකක් කියන්නම්.
122 - අවිස්සාවේල්ල සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 53, බසයක් එන්නේ මිනිත්තු 10කට පමණ වරකි.)
138 - හෝමාගම  සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 23, මිනිත්තු 5කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - කොට්ටාව සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 19, මිනිත්තු 2කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - මහරගම සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 15, මිනිත්තුවකට පමණ වරක් බසයක් පැමිණෙයි.)
මේ දත්තයන් සළකා බැලුවොත් පෙනෙන්නෙ, අනෙකුත් ඒවාට සාපේක්ෂව අවිස්සාවේල්ල බස් දුර ගමන් බසයක් වන බවයි.
මීට අමතරව දුර ගමන් බස් ලෙස රත්නපුර - කොළඹ, ඇඹිලිපිටිය - කොළඹ හා බදුල්ල කොළඹ කියන්න පුළුවන්. සහ කොටසක් දුර ගිහිල්ල ගොඩගමින් හරවන 125 පාදුක්ක - පිටකොටුව හා 125 ඉංගිරිය - පිටකොටුව බසුත් තිබෙනවා. මම ඒව ගැන කතා කරන්න යන්නෙ නෑ.

දැන් නෝක්කාඩුවට එන්නම්. නුගේගොඩින් හවසට බසයට නැගල තෙරපිලා අමාරුවෙන් ඉන්නකොට මෙන්න ඉඳගෙන ඉඳන් කට්ටිය දෙල්කඳින්, විජේරාමෙන්. මහරගමින් බහිනවා. එහාට මෙහාට හැරෙන්නවත් ඉඩ නැතිව ඉන්න අපිවත් පෙරලගෙන තෙරපගෙන, මෙයාලත් පුදුම කට්ටක් කාගෙන, අපිට ඊටත් වඩා කට්ටක් දීගෙන තමා මොවුන් බැහැල යන්නෙ.
අනේ මම අහන්නෙ, අර තරම් මහරගමට බස් තියෙද්දි, අර තරම් කොට්ටාව බස් තියෙද්දි, අර තරම් හෝමාගම බස් තියෙද්දි, ඒවයේ කිසිම අමාරුවක් නැතිව යන්න පුළුවන්කම තියෙද්දි, ඇයි දෙයියනේ මේ දුක් විඳගෙන අච්චර දුරක් යන්න තියෙන මිනිස්සුන් යන බස් එකටම රිංගන්නෙ??? ඒ මදිවට ඉඳගෙනත් ඉඳල අර අවිස්සාවේල්ලට යන එකාවත් පෙරලගෙන බහින්න දඟලන්නෙ???
කිසිවෙක්ට කිසිම තහනමක් නෑ තමයි තමුන්ට ඕනෙ බස් එකකට නගින්න, මම ඒ ගැන තර්ක කරන්න යන්නෙ නෑ. නමුත් තමුන්ටම යන්න වෙන් වෙලා තියෙන බස් තියෙද්දි අර දුක් විඳගෙන දුර යන මිනිස්සුන්ට තවත් දුකක් දෙන්නෙ ඇයි???

ඉතින් ඒ නොක්කාඩුවත් එක්ක මගේ ඉල්ලීමත් ඔබට තේරෙන්න ඇති.

මීගොඩට, මීපෙට, පහත්ගමට පුවක්පිටියට, අවිස්සාවේල්ලට යන්න ඕනෙ අයට බෑනෙ 138 බස් එකක නගින්න. මහරගමට යන්න ඕනෙ අයට තමයි මහරගම - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ, කොට්ටාවට යන්න ඕනෙ අයට තමයි කොට්ටාව - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ. හෝමාගමින් එහාට යන අයට තමයි 122 බස් දාල දීල තියෙන්නෙ. නමුත් දුර හා ඉන්න සෙනඟ ප්‍රමාණය අනුව බැලුවම නම් 122 බස් එන කාල ප්‍රාන්තරය දිගු වැඩියි. (තදබදය සහිත වෙලාවන් වලට) ඉතින් එහෙම අපහසුවක් තියෙද්දිත් මහරගමට දෙල්කඳට යන අයත් අර අවිස්සාවේල්ල බස් එකට නැග්ගම එහි යන මඟීන් තව තවත් අපහසුතාවයට පත් වෙනවා.
සමහර කොන්දොස්තර මහතුන් නම් "හෝමගමින් එහා විතරක් නගින්න" කියල තමයි සෙනඟ නග්ගගන්නෙ. ඒත් මහරගමට යන කොට්ටාවට යන අය නගින්නෙ නැතිව නෙමෙයි.
ඉතින් මගේ ඉල්ලීම තමයි, අනේ කරුණාකරල ඔබටත් අපිටත් හැමෝටම පහසු වෙන විදිහට වැඩ කරන්න, දුර යන අයට අපහසුවක් නොවෙන්න, ලඟට යන අය ඒ ඒ අදාල බස් වල නැගල යන්න. එය ඔබටත් පහසුයි, අනිත් අයටත් පහසුයි.

මම මේ කිව්ව දෙයින් තරහක් ගන්න කිසිම උවමනාවක් නෑ, මම කිව්වෙ මම දැක්ක දෙයක්, මම අත් විඳින අපහසුතාවයක්. මම කතා කළේ මටත් වඩා වැඩි අපහසුතාවයක් විඳින පිරිසකුත් මෙතන ඉන්න නිසයි.

Friday, July 1, 2011

"මාධවගේ බ්ලොග් සටහන්" දෙවන උපන්දිනය හා අපේ උපාධි ප්‍රදානෝත්සවය

දෙකම ටිකක් පරණයි, නමුත් ලියන්න වෙලාවක් ආවෙ අද තමයි.
මගේ මේ සිංහල බ්ලොග් එකට පසුගිය 28 වනදාට ඒ කියන්නෙ 2011 ජුනි 28 වනදාට, වසර දෙකක් සපිරුනා. 2009 ජුනි 28 වනදා තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ හා පුරා කියල.


මුලින්ම කියල ලිව්වෙ චුට්ටිම චුට්ටි ලිපියක්. කවුද මට මේ ගැන මුලින්ම කිව්වෙ කියල නම් මතක නෑ. අනේ ඒ පුද්ගලය මට සමාවෙන්න ඕනෙ. නමුත් මම සිංහල බ්ලොග් ලියන්නෙක් වශයෙන් මුලින්ම දැනගත්ත කෙනෙක් තමයි කණිය. ඊට පස්සෙ ධනික එහෙම සෙට් උනා, අම්මෝ ඌව අල්ලගන්න තිබ්බ අමාරුවක්. 
ඔය අස්සෙ මම කියල සිංහල බ්ලොග් එකක් පටන් ගත්තු මගෙ හොඳම යාළුවෙක් තමයි උදිත. මුල්ම කමෙන්ටුව දැම්මෙ චමිල ඩි අල්විස්. මගෙ මේ බ්ලොග් එකේ කොටස් වෙළඳපළ ගැන ලියපු ලිපි මාලාව ඉතාම ජනප්‍රිය උනු නිසා මම ඒ වෙනුවෙන් වෙනමම බ්ලොග් අඩවියක් අරඹල කරගෙන යනව. ඒ අතරෙ තමා ඡායාරූපකරණය ගැන ලිපි ලියන්න හිතල ඒකට තවත් බ්ලොග් එකක් පටන් ගත්තෙ. ඒක නම් මේ දවස් වල ටිකක් අල වෙලා තියෙන්නෙ. 
රැකියාව පටන් ගත්තට පස්සෙ නම් එතරම් ලිපි ලියන්න බැරි උනා, කියවන එකත් අඩු උනා, නමුත් නැතිම වෙලා නම් නෑ. සිංඩියට වැඩිපුර යන්න බැරි උනත් මම ෆලෝ කරන බ්ලොග්, ටික ටික මම බලනව.

මම බ්ලොග්කරණය පටන්ගන්නකොට සිංහල බ්ලොග් තිබ්බෙ 200ක් 300ක් වගෙයි මතක. නමුත් දැන් 2000ක්වත් තිබෙනව මගෙ හිතේ. ඒ අතින් වෙලා තිබෙන දියුණුව නම් ඉතාම ඉහළයි, නමුත් දුකට කාරණාවක් වෙන්නෙ ඒ බ්ලොග් අතරින් බොහොමයක් සාර්ථකව ඉදිරියට නොයන/නොගිය එකයි. තවත් කාරණාවක් වෙන්නෙ සමහරෙක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන එක හරියට නොදැන ඉන්න එකයි, ඔහේ වල්පල් ලියනව, නැත්තම් නිකම්ම රූප ටිකක් දාල නිකා ඉන්නව වගේ දේවල් කරනව. (මගෙ අතිනුත් ඒ වැරද්ද යන්තම හරි වෙලා තියෙනව කියල මටත් පිළිගන්න වෙනව) ඉතින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ පරමාර්ථය වෙන "අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය දියුණු කිරීම" කියන එක හරි හැටි ඒ වගේ බ්ලොග් අඩවි වලින් ඉටු වෙනවාද කියන සැකය අපිට එනවා. 
නමුත් බොහොමයක් බ්ලොග් අඩවි තිබෙනවා ඉතා හොඳ අන්තර්ගතයක් තිබෙන. ඒ අඩවි ඉතාම වටිනවා. අපි දියුණු කළ යුත්තේ සිංහල අන්තර්ගතය පමණක්ම නොවෙයි, ප්‍රයෝජනවත් අර්ථවත් සිංහල අන්තර්ගතයක්. අන්න ඒ ගැන අපේ සිංහල බ්ලොග් කරුවන් ටිකක් සිතිය යුතුයි කියල මම හිතනවා. 

හරි ඒ කතාව ඇති. දැන් මගෙ ලිපියේ මාතෘකාවේ දෙවන කොටසට. බ්ලොග් එකෙ උපන්දිනය සමරපු 28 වනදාම තමයි අපේ උපාධි ප්‍රදානෝත්සවයත් තිබ්බෙ. BMICH එකේ. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ හා ප්‍රමාණ සමීක්ෂණ පීඨයේ 06 කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවය. 

මේ ඉන්නෙ මගේ හොඳම මිතුරා වන උදිත හා මම

ඉතින් අපි උපාධියත් ගත්තලු. දැන් මමත් උපාධිධාරී ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරුවෙක්. (Materials Engineer) කැම්පස් එකෙන් අවුට් වෙලා මාස 6ක් 7ක් ගත වෙලා තිබ්බත් ඒක එතරම් හිතට දැනුනෙ නෑ. නමුත් උපාධිය ගන්නකොට ඒක හුඟක් ලොකුවට හිතට දැනුන. ඇස් වලට කඳුලක් ආව කිව්වොත් හරි.
හරි, කතා ඇති.

මට අවසානව මෙන්න මේ ටික කියන්න ඕනෙ. 
සිංහල බ්ලොග් කරුවන්ට කියන්න තියෙන්නෙ, අපි එකතු වෙලා අන්තර්ජාලය තුළ "ඵලදායී" අන්තර්ගතයක් දියුණු කිරීමට ඇප කැප වෙමු. 
ඉගෙනගන්න නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ හොඳට ඉගෙනගෙන ඉහළට යන්න ඔබ සැමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලයි.

ප. ලි: මේ ලිපිය ඊයේ ලිව්වත්, බ්ලොගරයේ තිබ්බ අවුලක් නිසා පබ්ලිශ් කරන්න බැරි උනා, ඉතින් අද උදෙන්ම දැම්ම.