Monday, June 17, 2013

Widgets

ශ්‍රී ලාංකිකයින් සම්මුඛ පරීක්ෂණයකට යාමේදී කරන විශාලතම වැරදි 5

හුඟ කාලෙකින් ආවෙ බ්ලොග් එක ලියන්න. ලියන්න තියෙන කම්මැලි කමටත් වඩා ලියන්න හරි හමන් මාතෘකාවක් හිතට ආවෙ නෑ. ටිකක් හිත හිත ඉන්නකොට, තාක්ෂණය පැත්ත ටිකක් පැත්තකින් තියල වෙනස් දේවල් ටිකක් ගැන ලියන්න හිතුන. මේ ඒකෙ ආරම්භය. මේ වගේ තවත් ලිපි ටිකක් ඉදිරියේදී ලියවෙයි. මගේ පුද්ගලික අත්දැකීම් සහ, පොත පතින්, වෙබ් අඩවි වලින් කියවා ලබා ගත් දැනුමත් එකතු කරල මේ වගේ කාටත් ප්‍රයෝජනවත් වෙන මාතෘකා ටිකක් ඔස්සේ යන්න හිතුව. මේ ඒවායින් පළමුවැන්න.

ඉතින් පටන් ගමු. 

ඉතින් කියන්න බලන්න, රැකියාවක් කරන වයසෙ ඉන්න කෙනෙක්නම් ඔබ, එකම එක ඉන්ටර්විව් එකකට හරි ගිහිල්ල තියෙනවනෙ නේද? සාර්ථකව මුහුණ දුන්නද? රැකියාවට තෝරා ගත්තද? එහෙනම් සුභ පැතුම්. ඔබ යම් තරමක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙනව.
මම නම් මුලින්ම ගිය ඉන්ටර්විව් එක ඉහළින්ම ෆේල්. ගන්නම දෙයක් නැති උනා. එහෙනම් දෙවනි එක? ඒකත් එච්චරම තමා. :(
හ්ම්ම්. මට උනු දේ ඔයාල ගොඩක් අයටත් වෙලා ඇති. 
එහෙනම් මේ සාමාන්‍ය දෙයින් ආරම්භ කරමු. 

මොනවද ශ්‍රී ලාංකික වන අපි සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වෙනකොට හා / හෝ ගියාම කරන ප්‍රධානතම වැරදි? අපි එහෙම වැරදි 5ක් සාකච්ඡා කරමු.

1. සම්මුඛ පරීක්ෂණයට පියා / මව සමඟ පැමිණීම

දෙය්යනේ, මේක නම් කවම කවදාවත් කරන්නෙපා. ඔබට කියන්න කිසිම නිදහසට කරුණක් නෑ මේ සඳහා.

ඔබ සම්මුඛ පරීෂණයකට යන්නෙ මොකටද?
 ඒ අදාල සමාගමට පෙන්නන්න ඔබට වැඩක් කරන්න පුලුවන් කියල. ඔබේ හැකියාවන් පෙන්නන්නයි යන්නෙ. සමාගමක් කියන්නෙ වැඩිහිටියන් එකතු වෙලා වගකීම් බෙදාගෙන වැඩ කරල සමාගම ලාභ ඉපයීම සඳහා රැගෙන යන කණ්ඩායමක් ඉන්න තැනක්.
ඉතින් එතනට ඔබ අම්ම/ තාත්ත එක්ක එන එකෙන් මොනවද කියවෙන්නෙ??? ඔබ ප්‍රසිද්ධි‍යේ හැමෝටම කියාපානව, වැඩිහිටියෙක් ලෙස ඔබ කළ යුතු මූලිකම දේවත් ඔබට කරන්න බෑ කියල. තනියම වැඩක් කරගන්න බෑ කියන එක. ඒක ඔබගේ සේවාදායකයා දැක්කම මොකද වෙන්නෙ? "මෙහෙම තනියම තැනකට එන්න බැරි කෙනෙක්ට මම ජොබ් එකක් දුන්නොත් මෙයා කොහොම මේක කරයිද???!!!" කියන හැඟීම තමයි. ඉතින් එතනින්ම ඔබ කැපිලම යනව. (කියන්න සතුටුයි මගෙ අතින් නම් මේ වැරැද්ද උනේ නෑ.)
හැබැයි ලංකාවෙ දෙමව්පියන් හුඟක් තමුන්ගෙ දුවල ගැන සැළකිළිමත් වෙන නිසා පරිස්සමට එනව. ඒක නරකයි කියන්න බෑ, එපා කියන්නත් බෑ. එහෙනම් මොකද කළ යුත්තේ? ගෑණු ළමයි අම්ම / තාත්ත එක්ක ආවට කමක් නෑ. නමුත් එයාලට ඔබ ඉන්ටර්විව් එකට යන ආයතනය තුළට එන්න එපා කියන්න. පුළුවන් තරම් නොපෙනෙන්න ඉන්න කියන්න. 

2. සූදානමකිත් තොර වීම.

මේක ඇවිල්ල, ලංකාවෙ තිබෙන බහුලම දේ. ඒත් එක්කම නොකළම යුතු දේ. මේ කියන්නෙ, අමතර CV පිටපතක් රැගෙන නොඒම, හරියට ඇඳගෙන නොඒම වගේ දේවල් නෙමෙයි. ලංකාවෙදි ඒව ලොකු ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්නෙ වෙන්නෙ, ලංකාවෙ ජොබ් ඉන්ටර්විව් එකකට යන අයගෙන 90%ම තමුන් මේ ඉන්ටර්විව් එක යන සමාගම ගැන කිසිම දෙයක් දන්නෙ නැති එක. සමාගමට වෙබ් සයිට් එකක් තියෙනව නම් ඒකට ගිහිල්ල නෑ, මොනවද ඒ සමාගමේ කරන්නෙ කියල හරියට දන්නෙ නෑ, ඇප්ලයි කරල ජොබ් එකේ මොනවද කරන්න තියෙන්නෙ කියල දන්නෙ නෑ....... ඒත් කියනව තමුන්ට ඒ ජොබ් එක කරන්න පුළුවන් කියල. :D
මේකෙන් ඔබගේ සේවාදායකයා එක දෙයයි තේරුම් ගන්නෙ. ඔබ සිතන්නේ ඔබ ගැන විතරයි කියල.
ඔබ ඉන්ටර්විව් එකට එන්නෙ මේ කිසිවක් නොදැන නම් ඒ කියන්නෙ ඔබ මෙන්න මෙහෙම දෙයක් අඟවනවා කියන එක. 
"මම මෙතනට ආවෙ ජොබ් එකක් ගන්න. මම ඒක ගැන මොකුත් හොයන්න ඕනෙ නෑ. මට ඕනෙ කොම්පැනියක ඕනෙ ජොබ් එකක් කළෑකි." වගේ දෙයක්. 

"රැකියාව"ක් කියන්නෙ මොකද්ද ඇත්තටම???
ආයතනයක් තිබෙන්නෙ කාටවත් රැකියා දෙන්න නෙමෙයි. ඔවුන් සිටින්නේ යම් සේවාවක්, නැතිනම් යම් නිෂ්පාදනයක් හරහා යම් අවශ්‍යතාවයක් පිරිමසන්න, නැතිනම් පවතින ගැටළුවකට පිළිතුරක් දෙන්න.
ඉතින් ඔබ යන්නෙ ඒ කාර්යයට සහය වෙන්න.
ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී ඔබ ඔවුන්ට පෙන්නන්න ඕනෙ, "ඔයාල කරන්නෙ මොනවද කියල මම හොඳින් දන්නව, ඒකට සහය වන්න මට පුළුවන්" කියන දේ. සම්මුඛ පරීක්ෂණය තියෙන්නෙ ඔබට නෙමෙයි, ඔබට කළ හැකි දේ වෙනුවෙනුයි. 

3. පළමු සම්මුඛ පරීක්ෂණයේදීම වැටුප ගැන විමසීම

ඇත්ත. අපි රැකියාවකට යන්නෙ මුදල් හොයන්නනෙ. ඒත් මොකද හදිස්සිය? අලුතින්ම ජොබ් එකකට යන්න හොයන අය මේක නොදැන සිටින්න පුළුවන්, නමුත් ඉන්ටර්විව් එකකට දෙකකට ගිය අය දන්නව, අහන්න පුළුවන් නරකම ප්‍රශ්නය තමා පඩි කොහොමද කියන එක කියල. සාමාන්‍ය ක්‍රමය නම් දෙවන හෝ තෙවන (ඔබව අවසන් කිහිපදෙනා අතරට තෝරාගන්නා පරීක්ෂණය) සම්මුඛ පරීක්ෂණයේදී තමයි වැටුප් ගැන ඇසිය යුත්තේ. 
මුල් පරීක්ෂණ වලදී ඔබගේ මූලිකම ඉලක්කය වෙන්න ඕනෙ ඔබගේ හැකියාවන් පෙන්වීම හරහා ඔබව මාකට් කරන එක. 
හ්ම්ම්. ඔබ අනිවාර්යයෙන්ම එතකොට මෙහෙම හිතයි. "මෙයාල දෙන්නෙ අඩු පඩියක් නම්??? මම මගෙ කාලය අපතේ හරිනව නේද" කියල. ඔව්, එතන පොඩි අනතුරුදායක තත්වයක් තිබෙනව. අමුත් ඒක ගත යුතු රිස්ක් එකක්. ඔබ ඒ කාලය අපතේ හරිනවා නම් අදාල ආයතනය කොතරම් කාලයක් අපතේ යවනවද වැඩක් නැති අයදුම්කරුවන් පරික්ෂා කර කර???
ඉතින් ඔයා වැටුප් ගැන අහන්න අහන්න, එයාලට ඔයාව එපා වෙනව. 
මොකද ජොබ් එකක් කරන්න එන්නෙ සල්ලි හොයන්න උනත් කවුරුවත් කැමති නෑ සල්ලි පස්සෙම දුවන මනුස්සයෙක්ව ජොබ් එකකට ගන්න. 

4. එකම CV එක හැම අයදුම් කිරීමකටම භාවිතා කිරීම.

හොඳ CV එකක් හදන එකත් එක්තරා හැකියාවක්. මීට පෙර අත්දැකීමක් නැතිනම් ඒක තවත් අමාරුයි. සමහරු එකම ජොබ් එකට ඇප්ලිකේශන් කිහිපයක් එවනව. බොහොමයක් දෙනා එකම CV එක ගමරාලගෙ වංගෙඩිය වගේ හැම එකටම යවනව. මේකට කියන්නෙ "Shot Gun Approach" කියල. Shot Gun එක ඕනෙ එකෙක්ට වෙඩි තියන්න පාවිච්චි කළෑකිනෙ, තිබ්බම පළාතක් ඉවරයි. ඒ කියන්නෙ. එක CV එකක් හදාගන්නව, ඒක හතර වටේටම යවනව. ඒක හරියන වැඩක් නම් නෙමෙයි, ඒක හුඟක් අයට අල්ල ගත්තැකි. ඒකෙන් කියවෙන්නෙ, ඔබ අයදුම් කරන ජොබ් එක ගැන ඔබට උවමනාවක් නෑ කියන එකයි. ආපහු අංක 2ට යන්නකො. මේකත් යන්නෙ එතනටම තමයි. 
හැම ජොබ් එකකට ගැළපෙන දේවල් තියෙනව. ඉතින් ඒවට ගැළපෙන ආකාරයට හැම වෙලේම අලුත් ජොබ් එකකට අලුතින් CV එකක් හදන්න. 

ඉතින් මොකද්ද කරන්න ඕනෙ? 
Sniper කෙනෙක් වගේ වෙන්න ඕනෙ, හොඳට බලන් ඉඳල, හොඳට සූදානම් වෙලා හරියටම ඉලක්කයටම තියන්න ඕනෙ. 
අදාල ආයතනය ගැන, ඔවුන්ගේ විෂය පරාසය ගැන, ඔවුන් කරන දේවල් ගැන හොඳ අවබෝධයක් මුලින්ම ගන්න ඕනෙ. පුළුවන් නම් ඉස්සෙල්ල දවසක ආයතනයට කෝල් එකක් දීල විස්තර ටිකක් හොයාගන්න. ජොබ් එක ගැන නෙමෙයි, ආයතනය කරන දේවල් ගැන. :)
උදා: ඔබ යන්නෙ IT Firm එකක Programmer ජොබ් එකකට නම්, ටිකක් හොයල බලන්න මොනවද ඔවුන් භාවිතා කරන මෘදුකාංග, Programming languages, මොන වගේ මෘදුකාංගද හදන්නෙ වගේ දේවල් ගැන පොඩ්ඩක් හොයල බලන්න. ඔවුන් භාවිතා කරන්නෙ ජාවා කියමු. ඔබට එතකොට පුළුවන් ඔබගේ CV එකේ ඔබට ජාවා ක්‍රමලේඛ දැනුම තියෙනව කියල විශේෂයෙන් දාන්න. 
ඒව දන්නව කියල ඊට පස්සෙ ඔබ පෙන්නුවම සම්මුඛ පරීක්ෂණයේදි, ආයතනය ඔබ ගැන ඉහළින්ම පැහැදෙනව. හැම එකක්ම ඔබට කියල දෙන්න ඕනෙ නෑ, ගොඩක් කල් පුහුණු කරන්න ඕනෙ නෑ, ඉතින් ඒක ආයතනයට පහසුවක් වගේම මුදල් ඉතිරියක්. 
ඉතින් මොකද වෙන්නෙ? ඔබව ඔවුන් තෝරා ගන්නව.

5. වෙලාවට නොපැමිණීම හා එන්නට නොහැකි නම් නොපැවසීම. 

කතාවක් තියෙනවනෙ, "ඔබ මිනිත්තු 10ක් ඉක්මනින් ආවෙ නැතිනම් ඔබ මිනිත්තු 5ක් ප්‍රමාදයි" කියල.
අයදුම්කරුවන්ගෙන් 30%ක්වත් මේ පරීක්ෂණය නම් අසමත් වෙනවාලු. 
ලංකාවෙ මිනිස්සු නම් වෙලාවට වැඩ කරන්නෙම නෑනෙ කවදාවත්. නමුත් සම්මුඛ පරීක්ෂණයකට යන දවසෙවත් වෙලාවට එතනට යන්න. 
අනිත් එක, අදාල වෙන් කරගත් දිනයට වෙලාවට එන්න බැරි වෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට ඒක අදාල ආයතනයට දන්වන්න, වෙනත් වෙලාවක් වෙන් කරගන්න ඔබට පුළුවන් වේවි. අපේ අය ඉතින් බයට කතා කරන්නෙ නෑනෙ. :( හේතු දක්වන්න ඕනෙ නෑ. ඒ දව්සට වෙලාවට එන්න වෙන්නෙ නෑ, වෙනත් වෙලාවක් ලබාදෙන්න කියන්න.  
ලංකාවෙ බොහොමයක් රැකියා අයදුම්කරුවන් වෙලාවට අදාල ස්ථානයට ගිහිල්ල ඉන්නෙ නෑ. උදේ 10ට එන්න කිව්වොත් එන්නෙ 10.15 නැත්තම් 10.30ට. ඒකෙ අනිත් පැත්තයි වෙන්න ඕනෙ. 9.45ටවත් යන්න. ගිහිල්ල පොඩ්ඩක් රිලැක්ස් වෙලා ලෑස්ති වෙලා ඉන්න. 

එහෙනම් මම මේ ලිපිය මෙතනින් නවත්වනවා. තවත් මේ ආකාරයේ ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්තු වෙනවා. බලමු. මේකට එන ප්‍රතිචාර කොහොමද කියල. 

මෙම ලිපිය http://www.theceylonian.com වෙබ් අඩවියේ ලිපියකින් උපුටා ගන්නා ලද කරුණු වලින් සමන්විතය.


මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.

වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

28 comments:

  1. Dont have sinhala here, really Useful Post. Want More :-)

    ReplyDelete
  2. ඉතාම වටිනා ලිපියක්

    ReplyDelete
  3. ඇත්තටම බොහොම කාලීන ඒ වාගේම වටින ලිපියක්.

    Interviews වලදි මම අත්දැකපු දෙයක් තමයි අපේ resume එකේ තියෙන බොහොම පුංචි කරුණු වලින් interviewer ප්‍රශ්න අහන එක. අපි සමහර වෙලාවට අපේ resume එකේ අන්තර්ගතය වැඩි කරන්න job එකට වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙන පොඩි පොඩි කරුණුත් ඇතුළු කරනවනේ. එක පාරටම interviewer අන්න ඒ කරුණු වලින් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම තාක්ෂණික කරුණු. ඒක නිසා interview එකට යනකොට තමුන්ගෙ resume එකේ තියෙන හැම කරුණක් ගැනම හොඳින් අධ්‍යනය කරල යන්න. උදාහරණයක් කියනවනම් මගෙ resume එකේ තිබුණා plumbing experience තියෙනව කියල බොහොම පොඩි වාක්‍යයක් අමතර සුදුසුකම් යටතේ. මම apply කරපු job එක කෙලින්ම plumbing වලට සම්බන්ධ නැති වුනත් අන්තිමට මට plumbing සම්බන්ධයෙන් ලොකු විස්තරයක් කරන්න වුනා.

    අනිත් එක තමයි එක එක ‍රැකියා වලට ගැලපෙන විදිහට වෙන වෙනම resume හැදුවත් කිසිම වෙලාවක එකිනෙකට සහමුලින්ම වෙනස් කරුණු reseume දෙකක දාන්න එපා. කාලයක් තිස්සෙ jobs වලට apply කරනකොට අපි නොදැනුවත්වම අපෙ resume එක ගොඩක් තැන් වලට ගිහින් තියෙන්න පුලුවන්. විශේෂයෙන්ම අන්තර්ජාලය සහ job recruitersලා හරහා. එහෙම උනහම අපේ පරණ resume එකක් වෙන මාර්ගෙකින් අදාල ආයතනයට ලැබිල තියෙන්න පුළුවන්. එහෙම වෙලාවක අපේ දත්ත සැලකිය යුතු තරමින් වෙනස් නම් අපව අදාල තනතුරට ‍තෝරා නොගන්න ඒක ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. මේ කතාව නම් මට කිව්වෙ job recruiter කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. උදිත සහෝ හුඟක් වැදගත් තොරතුරු ටිකක් එකතු කරල තිබෙනව. බොහොම ස්තුතියි.

      Delete
  4. අති උත්කෘෂ්ටයි

    ReplyDelete
  5. මචන් මාධව, මේක නම් පට්ට ...
    මේ එක්කම පුලුවන්නම් CV Tips ටිකකුත් එකතු කරලා ලිපියක් දාපන් .... අලුතෙන් CV හදන උන්ට ඒක වැදගත් වේවි

    ReplyDelete
    Replies
    1. අනිවා. එහෙම ලිපියක් දෙකකුත් ලියන්න බලාපොරොත්තු වෙනවා. :)

      Delete
  6. ඇත්තටම වටිනා අදහස් ගොඩාක් ස්තූතියි ඔබට මේවගේ වැදගත් ලිපි ලියන්න වැඩි වැඩියෙන් අදහස් ගලාගන ඒවා

    ReplyDelete
  7. දැනට අපි රැකියාවක ඉන්න ගමන් ඊට ඉහල රැකියාවකට ඉල්ලුම් කරනවනම් පුළුවනි වැඩි වැටුපක් ඉල්ලලා අපිව මාකට් කරන්න, පළමු රැකියාවට යද්දී අපේ CV එකේ Working Experience කියන කොටසට ලියන්න අපි ගාව කරුණු නැත්නම් අපිව මාකට් කරන්න අපිට බෑ. අත්දැකීම් ගන්න අඩු පඩියට හරි ටික කාලයක් එහෙම රැකියාවක් කරගෙන ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙනවා. නමුත් එහෙමයි කියල අපිට මාකට් කරන්න දේවල් නැති වෙන්නෙම නෑ. පාසල් කාලයේ, කැම්පස් කාලයේ ඉගෙනගත් විෂය පරාසයන්, ව්‍යාපෘති, විශේෂයෙන්ම විෂය බාහිර ක්‍රියාකාරමම් එහෙම මාකට් කරන්න පුළුවන්. ක්‍රීඩා එහෙම කරල තිබෙනව නම් ඒවටත් ලොකු තැනක් තිබෙනවා.
      Working Experience විතරක්ම නෙමෙයි අපිට මාකට් කරන්න පුළුවන්.

      Delete
  8. ඇත්තටම වටිනා අදහස් ගොඩාක් ස්තූතියි ඔබ

    ReplyDelete
  9. සුපිරිම ලිපියක්. තව දවස් දෙක තුනකින් ජීවිතේ පලවෙනි සම්මුඛ පරීක්ෂනේට යන මට නම් සෑහෙන වැදගත් උනා :)

    ReplyDelete
  10. aththatama godaaak wadagath lipiyak.madawa ayyata godaak thnx!!

    ReplyDelete
  11. මම පලවෙනි සම්මුඛ පරීක්ෂනේට ගියේ කඩ්ඩෙන් ෆේස් කරලා බලන්න එත් එක තිබුනේ සිංහලෙන් ....... මට පොඩි අතල් එකක් දීලා මොකුත්ම දන්නේ නෑ කියලා එලෙවුවා.......... එත් සති දෙකකට පස්සේ කතාකරා..... මම ඉල්ලපු පඩියත් ලැබුනා......... එක ලංකාවේ ප්‍රධාන පෙලේ ඉදිකිරීම් සමාගමක්

    ReplyDelete
  12. ගොඩාක් වැදගත් ලිපියක්.

    ReplyDelete
  13. ඇත්තටම මට නම් ගොඩක් වැදගත් උනා. මොකද කියනවා නම් මට අද ඉන්ටෙර්ව් එකක් තියනවා......!!! thnk you

    ReplyDelete
  14. ගොඩක් අයට වැදගත් වේවි මේ ලිපිය. CV ගැන කියපු දේට මගේ අද්දැකීමක් එකතු කරන්නම්. මම කාලයක් වැඩ කළ ආයතනයක අලුත් බඳවාගැනීමකට ලැබුණු අයදුම්පත් ටිකක් මට කියවන්න ලැබුණා. සමහර අය කොමර්ස්වලින් ඒලෙවල් කරලා සෞන්දර්ය කැම්පස් ගිහිල්ලා. සමහරු ගණිත අංශයෙන් ඒලෙවල් වලට හදාරලා තියෙන්නේ සිංහලයි, බෞද්ධ ශිෂ්ඨාචාරයයි. :-D

    යාලුවෙක්ගෙන් CV එකේ වර්ඩ් ෆයිල් එක ඉල්ලගෙන එකට තමන්ගේ ඒවා ඔබන අය පොඩ්ඩක් ආයේ තමන්ගේ CV එක බලන්න

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත. ඔය වගේ සිද්ධි නම් මමත් දැකල තිබෙනවා. ඕක කැම්පස් කට්ටියට නම් එන්නෙ කෝස්වර්ක් කොපි කරන පුරුද්දෙන්. තමුන්ගෙ වැඩකට තමුන් දෙයක් හදන්න ඕනෙ. අනුන්ගෙ ඒවයෙන් කරගන්න ගියොත් තමුන්ම අමාරුවෙ වැටෙනව. :)

      Delete
  15. Hi there, this weekend is nice for me, as this occasion i am reading this enormous educational piece of writing
    here at my residence.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.