Tuesday, September 25, 2012

Widgets

පොත් ප්‍රදර්ශනයට ගියෙමි - පොත් ගතිමි - මිතුරන් හමුවුනෙමි

ඔව් ගියානෙ, එක පාරක් නෙමෙයි දෙපාරක්ම.
පළවෙනි පාර බලා කියාගෙන එන්න කියල ගිහිල්ල පොතුත් 10ක් වගේ අරගෙන ආව. දෙවෙනි පාර ගන්න ගිහිල්ල තව පොත් 14ක් අරගෙන ආව. අපේ නගා ගියා දවස් 2,3කට ඉස්සෙල්ල එයත් පොත් 9ක් අරගෙන ඇවිල්ල තිබුණ.
ඇත්තෙන්ම අපේ මේ වාර්ෂිකව පොත් ගන්න යෑම පොත් ගන්නම විතරක් යන එකක් නෙමෙයි, අපේ අතිජාත මිතුරන් සෙට් එක එකතු වෙන්නත් යොදාගන්න අවස්ථාවක්.

ඡායාරූපය නිසුපානිස්ගේ අනුග්‍රහයෙනි

ඡායාරූපයත් එක්කම විස්තර කළොත්, වමේ සිට, මගේ සුපැරණි මිතුරු උදිත, ඊලඟට මම, ඊට පස්සෙ දිමුතු, මැද්දෙ රිට වගේ ඉන්න සහන් මල්ලි, ඊලඟට මගෙ ඉපැරණි මිතුරිය නිසුපා හෙවත් නිපුසා, සාලිකා, මනෝරි අක්කා හෙවත් මනෝ අක්කා සහ අවසාන වශයෙන් පබා හෙවත් පබාවතී.
ඉතින් මේ අපේ සෙට් එක ඔක්කෝම සෙට් උනේ ගොඩ කාලෙකට පස්සෙයි. මොකද ඉතින් එක එක්කෙනා එක එක වැඩනෙ, ඉතින් එකට එකතු කරගන්න හරිම අමාරුයි. සමහරු රට ඉඳල එනව, සමහරු රට යන්න ලෑස්ති වෙනව. 
ඉතින් හරිම සතුටුයි ඔක්කොමල්ල එකතු උනු එක ගැන නම්. ඔය අස්සෙ ඉතින් අපි පොතුත් ගත්ත. මගෙ කුමාරිකාවට එන්න උනේ නෑ එයාට උදේ විභාග නිරීක්ෂණ කටයුත්තක් යෙදිල තිබුණු නිසා. අපේ නංගි ආවෙ නෑ ඉස්සෙල්ල ගිය නිසා, ගිය පාර ආපු උදිතගෙ මල්ලි මේ වෙනකොට ඉන්දියාවෙ. නිසුපගෙ නගාට නැගිටගන්න බැරිව සෙමලු. දිමුතුවව ගෙන්න ගත්තෙ තර්ජනයක් කරල. 
ඉතින් මේ යාලුවො සෙට් එකත් එක්කම බ්ලොගෝලයේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුත් මුණගැහෙන්න කතා උනාට උන්ගෙන් කී දෙනයිද හම්බුනේ. මම සෙනසුරාදා තනියම ආ වෙලාවේ ශානි මුණගැහුන. කඩ හොයාගන්න බැරිව කැරකි කැරකි ඉන්නකොට. 
ඉරිද උදේ පාන්දරම නෙරන්ජිව මුණගැහුන, කොල්ල නැතිව තනියම කැරකි කැරකි ඉන්නව. නෙරන්ජි හරිම හොඳයි, ඕනෙ උනොත් කියල ෆෝන් නම්බර් එකත් දුන්න ඉස්සෙල්ල දවසෙ, හැබැයි ෆෝන් එකේ බැටරි බස්සල ඕෆ් කරගෙනම තමා ඇවිල්ල තිබුණෙ.
ඊට පස්සෙ ගෝල්ඩ් ෆිෂ් මුණගැහුන. ඌට තිබ්බ හදිස්සියක්. ඌ එක්ක හිටිය ගෑණු ළමය කවුද කියන එක කාටත් අභිරහසක් :D
අපි ඉතින් පට්ට බඩගින්නෙ කාල තේ බොනකොට මෙන්න නෙරන්ජි කොල්ලවත් හොයාගෙන ආව. :)
ඊට ටිකකට පස්සෙ අර කොමෙන්ට් 20,000 පෝස්ට් එකේ අයිතිකාරිත් කොහෙන්ද මන්ද මතු වෙලා නිසුපගෙ තේකට වග කිව්ව. අනේ අන්තිමට නිසුප කියනව, "අනේ මේකෙ ගොඩක් තිබ්බනෙ" කියල. පවු ඉතින්. ;)

මම ගිය පාර නම් එකතු කරන්න හිතාගෙන චින්ගීස්ගෙ හා පවුලෝගෙ පොත් සෙට් එකක්ම ගත්තනෙ. ඇත්තම කිව්වොත් ඒව කියවල ඉවර කළේ නෑ. මේ පාර හිතල බලල කියවන්න පුළුවන් ඒව ටිකකුත් ගත්ත. නමුත් අරම එකතු කරන්න කියල හිතාගෙන ගත්තු පොත් ටිකකුත් තිබෙනව.
ඉතින් ඔක්කෝම පොත් (මම සහ නංගි ගත්තුව) වල එකතුව 33ක් වෙනව. (එකක් නගාට ඕනෙලු කොල්ලට තෑගි දෙන්න) පොත් වල වටිනාකම රු.12,000ක් වගේ. වියදම රු.9,500ක් වගෙයි වෙලා තියෙන්නෙ. 
මම ඉතින් ලිස්ට් එකක් දාන්නම්කො.

  1. රට රට වල සුරංගනා කතා
  2. අයේෂා ආපසු එයි (රයිඩර් හැගාඩ්)
  3. ඈ සහ ඇලන් (රයිඩර් හැගාඩ්)
  4. ලෝක විනාශය (ආතර් සී. ක්ලාක්)
  5. පාරාදීසයේ උල්පත් (ආතර් සී. ක්ලාක්)
  6. ජනකාන්ත මිත්‍යා මත
  7. වානරයා
  8. රාවණ මෙහෙයුම
  9. සරදියෙල්
  10. මනුසත් උයන (ඩෙස්මන් මොරිස්)
  11. රුසියන් කෙටිකතා
  12. ජේන් අයර්
  13. මුතු කරාබුව පැළඳි යුවතිය
  14. පර්ජා
  15. කාවේරි
  16. අපේ ගම (මාර්ටින් වික්‍රමසිංහ)
  17. කරුවල ගෙදර  (මාර්ටින් වික්‍රමසිංහ)
  18. රන් පිළිමය හා වෙනත් කතා  (මාර්ටින් වික්‍රමසිංහ)
  19. මුවන් පැලැස්ස
  20. මැක්සිම් ගෝර්කි - තෝරාගත් කෙටි කතා
  21. වානේ පන්නරය ලැබූ හැටි
  22. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 1 හා 2 කොටස්
  23. හීන් සැරය
  24. මඟුල් කෑම
  25. ආනන්ද මෛත්‍රීය මහා නාහිමියන්ගේ අප්‍රකට ලිපි
  26. ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ විචිත්‍ර දේශනා
  27. පහසුවෙන් සිහිය වඩන මඟ
  28. බෝධි පාක්ෂික ධර්ම විස්තරය
  29. බුදු දහමේ මූලික ඉගැන්වීම්
  30. මොසපොතේමියාගේ ඝාතනය
  31. රොජර් ඇක්‍රොයිඩ් මරා දැමීම (අගතා ක්‍රිස්ටි)
  32. මකුළු දැල (අගතා ක්‍රිස්ටි)
  33. හර්කියුලිස්ගේ රහස් පරීක්ෂණ  (අගතා ක්‍රිස්ටි)
මෙන්න මෙහෙම තමා ගත්තු පොත් විස්තරය. ෆොටෝ එකක් දාන්න ලේසි නැති නිසා නිකා හිටිය.

මේවට අමතරව අපේ සාලිකා මිතුරියට මම, මහරහතුන් වැඩි මඟ ඔස්සේ පොත් දෙක හා සාරභූමි පොත් තුන්කට්ටුව අරන් දුන්නා තෑග්ගක් වශයෙන්. 

ප්‍රදර්ශනේ ගැන කියනවා නම් ප්‍රදර්ශනේ හොඳයි. ප්‍රකාශකයින්ට නම් පට්ටම ලාභයක් ඇති. කියවන ජනතාවටත් තමුන්ගෙ ලාභයෙන් කොටසක් වැය කරමින් පොත් දෙන එක නම් අගය කළ යුතුයි. ඒත් එක්කම ඔවුන් කතුවරුන්ට කරන අසාධාරණයත් ටිකක් අඩු කළොත් නම් හොඳයි. (කතෲ භාගය නොදී පොත් හොරෙන් මුද්‍රණය කර විකිණීම වගේ දේවල්). ඒ ගැන වැඩිපුර කතා කරන්න ඕනෙ නෑ කියල හිතනව. 
කොහොමෙන් කොහොම හරි, මේ වාරෙ පොත් සල්පිලත් අති සාර්ථක ලෙස තවමත් පැවැත්වෙනවා. අපිත් පොත් ගත්ත. සතුටුයි...

24 comments:

  1. අප්පා!!! ගුරු ගීතය ජමිලා , වගේ අයිත්මාතොව් උන්නැහේ ගේ පොත් ගහල තියෙන කඩවල් ටික දැක්කාම මට හිතුණා... ඒවා පරිවර්තනය කරපු දැදිගම වී රුද්‍රිගූ මහත්තයාට ප්‍රාඩෝ එකක් ඇති කියලා... :D කර්තෘ භාගෙ දුන්නා නම්!!

    මාර සතුටුයි මාධව.. මම නම් හැම පොතම කියවනවා.. ඒත් කලෙක්ෂන් එකත් හදනවා... ඉටිපහන් පොත 150ට ඒ කාලෙ ගැහුවෙ, දැන් 500ක්. මට 160ට පරණ මුද්‍රණයක් හම්බවුණා... අපි මෙහෙම කලෙක්ෂන් හදලා නොතිබුණොත්, අපේ දරුවන්ට ඕනෙ කාලෙක උන්ට පීඩීඑෆ් පිහිට මිසක්, පොත් සුවඳ විඳගන්න දෙන්න බැරි වෙයි.. මම පොතක් දකින්නෙ අනාගත ආයෝජනයක් විදිහට...

    නමුත් අමාරුවෙන් හරි..අර එකතු කරන්න ගත්ත පොත් ටික කියවන්න... මම නම් එකතු කරන්නෙ, කියවලා කට පාඩං පොත්!! ඒකට හේතුව.. ඒවා දකිනකොට ඒවාගෙ වාක්‍ය මගෙ හිතට නැගෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා. ගිය පාර මතකද, ගුරු ගීතයට එහෙම මාරම තැනක් දීල තිබුණ ගොඩක් කඩ වලින්. මේ පාර නම් එහෙම නෑ, නමුත් හැමතැනම ඒ පොත් වැහි වැහැල. 2010ඩි මට මතකයි, මම චින්ගීස්ගෙ පොත් හතරවටේ හෙව්ව. මේ පාර බලන බලන තැන චින්ගීස්ගෙ පොත් තියෙනව.
      මගෙ ලඟත් හුඟක් පරන පොත් තියෙනව. මාර්ටින් වික්‍රමසිංහගෙ විරාගය හුඟක් පරණ මුද්‍රණයක්, සුනේත්‍රා රාජකරුණානායකගෙ සඳුන්ගිර ගිනි ගනී පරණ මුද්‍රණයක්.
      මම පරණ පොතුත් එකතු කරනව. නමුත් මේ පාර ඒ ගොඩට නම් මොකුත් එකතු කරන්න බැරි උනා. (පරණ කිව්වෙ මගෙ ලඟ තියෙනව 1901 සිට මුද්‍රණය කල පොත් ටිකක්.)
      කියවනව, සමහරක් කියවන්න කම්මැලි නමුත් තියාගන්න ආඅයි. අනිත් එක වෙලාව එහෙම ටිකක් මද කම. මම දන්නව ඒක නම් නිදහසට කරුණක් නෙමෙයි. :)

      Delete
    2. එක තැනක තිබ්බා ගුරු ගීතයයි ජමිලා පොතයි රු 150කට !
      එතකොට මම් ජමිලා පොත අරගෙන. අපරාදේ කියලා හිතුනා. :)

      Delete
  2. මාධව තැන කියපු නිසා මටත් මැං‍චෝසන් චාරිකා පොත ලේසියෙන් හොයා ගන්න පුළුවන් උනා. මට තවත් අලුත් ඒ වගේම හොඳ පොතක් හබ්බ උනා. දොස්තොර කතා කියලා. සූරිය ප්‍රකාශකයන්ගෙ. සරලව ලියැවුනු හැම කෙනෙක්ම කියවන්න වටින පොතක් විදිහට මම හිතන්නෙ. ඔන්න මම මාධවගේ ඊලඟ අවුරුද්දෙ ගන්න පොත් ලිස්ට් එකට පොතක් යෝජනා කලා. කෙළෙහිගුණ සලකන්න ඕනෙනෙ :)

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි.
      ඔය කියන පොත් මම දැක්ක, නමුත් මට අරගෙන බලන්න හිතුනෙ නෑ. හොඳයි කියල දන්නව නම් ගන්නත් තිබ්බ. :) ස්තුතියි කිව්වට.

      Delete
    2. දොස්තොර කතා පොත නම් මරු
      මාත් ගත්තා.

      Delete
  3. මාත් ගත්තා පොත් 17ක් විතර.. :)
    ආයේ හිතුනොත් හෙට යනවා.. අන්තිම දවසනේ..

    ජය වේවා..!!!

    ReplyDelete
    Replies
    1. මටත් ආපහු යන්න හිතෙනව. ඒත් වෙලාවක් නෑනෙ. :(

      Delete
  4. මරු කලෙක්ශන් එකක් නෙ.
    අපරාදේ මේ අවුරුද්දේ කට්ටියත් එක්ක සෙට් වෙන්ඩ උනේ නෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනෙ. ගිය පාර නම් සෙට් උනානෙ. :)
      මේ පාර ඉතින් බ්ලොග් සෙට් එක හරියට සෙට් වෙන්න බැරි උනානෙ. :(

      Delete
  5. අනේ මචං මට ක්ලාස් තිබුනා බං... ඒකයි හදිස්සියේ දිව්වේ... මාත් පොත් ටිකක් ගත්තා... සමහරවිට ආයේ යන්න වෙයි....

    ReplyDelete
    Replies
    1. එතකොට අපි හැමෝටම ආපු අනිත් ප්‍රශ්නෙට උත්තරේ???

      Delete
  6. මාත් අපේ සෙට් එක ප්‍රදර්ශනේ බලන්න ගිය එක ගැන පෝස්ට් එකක් දාන්න හිටියේ. ඒත් වැඩ ඉවර වෙලා ගෙදර ආවහම මහන්සියටම ඉක්මනට නින්ද යනවා, ලියන්න වෙලාවක් හිටින්නෙ නැහැ. ඒත් උඹ ඔක්කොම ටික හොඳට ලියල තියෙනවා. ඇත්තටම කාලෙකට පස්සෙ කට්ටියම සෙට් වෙච්ච එක නම් ලොකු දෙයක්......

    ReplyDelete
    Replies
    1. මමත් ඔහේ පිස්සු කෙල කෙල ඉඳල පොත් ටිකේ ලිස්ට් එක හදන්න පටන් ගත්තෙ රෑ 11ට. මේ පෝස්ට් එක ලියනකොට ඊටත් රෑ උනා. :)
      සෙට් එක සෙට් උනු එක නම් ලොකු දෙයක්. නැත්තම් අල්ලන්න වෙන්නෙ නෑනෙ කට්ටියව. මතකයිනෙ, අපි සෙට් එක ට්‍රිප් එකක් යන්න අවුරුදු 3ක වගේ ඉදන් හිතනව, තාම බැරි උනානෙ. :(

      Delete
  7. පොත් ගොඩක් අරගෙන වගේ

    ReplyDelete
  8. හලේ..... අපේ අක්කා කියලා තියෙන බොරූ....මට ඇදෙන් නැගිට ගන්න බැරි තරමට නම් සෙම තිබ්බෙ නෑ :/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, අනේ මන්ද, අක්ක කිව්වෙ නම් ඔහොම තමා. ඔයාට ඇවිදගන්නවත් බෑ කියල කිව්ව. නැගිටගන්නවත් බෑ කිව්ව.

      Delete
  9. මාධව මල්ලි අර ගත්තු පොත් හොඳයි. ඒත් පරිවර්තන සාහිත්‍යය ගැන උනන්දුයි නම් හොඳ පරිවර්තකයන් හඳුනාගෙන උසස් සාහිත්‍ය කෘති ගන්න බලන්න. දැනට පරිවර්තන කාර්යයේ යෙදෙන අයගෙන් ගාමිණී වියන්ගොඩ මහතාව තමා මා නම් වඩාත් අගය කරන්නේ. ඔහු භාවිත කරන බස කෘතිය රස විඳීමට උපකාර වෙන අතර යම් ගැඹුරකුත් අප අත්විඳිනවා. ඒ වගේම වත්මන් ලෝක සාහිත්‍යයේ උසස් ගණයේ සාහිත්‍ය කරුවන් ඔහු සිංහල පාඨකයාට හඳුන්වා දෙනවා. උදාහරණයක් ලෙසට, පාවුලෝ කොයියෝ ව මුලින්ම සිංහල පාඨකයන්ට හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ 'වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි' නමැති කෘතියෙන්. ඒ වගේම සීමන් ද බෝවා නමැති ප්‍රංශ ලේඛිකාව (ෂෝන් පෝල් සාත්‍ර ගේ සහකාරිය) 'අනුන්ගේ ලේ' කෘතියෙන් සිංහල පාඨකයා වෙත ගෙන ආව. ඒ වගේම තවත් ලේඛක, ලේඛිකාවන් රැසක්.
    ලෝකයේ ශ්‍රේෂ්ට සාහිත්‍ය කෘති බහුතරයක් අපට හඳුන්වා දුන් අනෙක් අග්‍රගන්‍ය පරිවර්තකයා තමා, සිරිල් සී. පෙරේරා මහත්මා. කරමසෝ සහෝදරයෝ, මල මිනිස්සු, යුද්ධය හා සාමය, පෙරලූ නැවුම් පස ආදී ශ්‍රේෂ්ට රුසියානු සාහිත්‍ය කෘති පමණක් නොවෙයි නත්තල් ගීතය, එමා බෝවාරි, මහල්ලා සහ මුහුද, ආදී ශ්‍රේෂ්ඨ බටහිර සාහිත්‍ය කෘති ද ඔහු සිංහල පාඨකයාට කියවන්න අවස්ථාව සැලසුවා.
    වත්මන් නව පරිවර්තකයන් අතර රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මිය ද හොඳ පරිවර්තිකාවක් ලෙස මා හඳුනාගෙන තිබෙනවා. 'මගේ පවුලයි අනෙක් සත්තුයි' වගේ විනෝදාත්මක කෘති මෙන්ම 'සොෆී ගේ ලෝකය' වැනි බරසාර කෘති ද පාඨකයාගේ අවධානය දිනා ගන්න අයුරින් ඇය පරිවර්තනය කර තිබෙනවා.
    අනුලා ද සිල්වා මහත්මිය විසින් පරිවර්තිත කෘතීන් ද එක හුස්මට කියවිය හැකියි. තවත් හොඳ පරිවර්තකයන් ඉන්නවා. කොහොම නමුත් පොතක් මිලදී ගන්න කලින් තමන් ගන්න පොත තුලින් තමාට යම් රසයක් ලැබෙනවා වගේම වඩාත් ඉහල මානසික මට්ටමකට තමන්ව ඔසවා තැබීමටත් ඒ කෘතිය සමත් වෙනවාදැයි සොයා බැලීම වටී. (රසවින්දනයක් ලැබීමට පොත් කියවීම වරදක් ලෙස සලකන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ.)

    ReplyDelete
    Replies
    1. ඔබගේ සවිස්තරාත්මක වටිනා අදහස් ගොන්නට බොහොමත්ම ස්තුතියි.
      ඔබ කියන, වෙරෝණිකා මැරෙන්නට තීරණය කරයි, මහල්ලා සහ මුහුද, කියන පොත් දෙක නම් මගෙ ලඟ තිබෙනවා. සහ ඔබ කියන සමහරක් පොත් කියවාත් තිබෙනවා.
      ඒත් ඔබ කියන පරිවර්තකයින් ගැන නම් ලොකු දැනුමක් නෑ.
      ඔව් මේ සමහරක් පොත් අරගෙන තිබෙන්නෙ රසවින්දනය සඳහාම පමණයි. සමහරක් පොත් මම කිහිපවර කියවාත් තිබෙනවා, නමුත් ඒත් අරගත්ත අයිතියේ තබාගන්නට තිබෙන ආසාව නිසා.

      Delete
  10. ඔයාගේ ලයිස්තුවේ තිබෙන පොඩි අඩුපාඩුවක් කියන්න වෙනවා.
    ඒ තමයි කිසිදු ඉංග්‍රීසි කෘතියක් ඒ අතර නොතිබීම. තරුණයකු වශයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිඹඳ ඔබට අවබෝධයක් තිබීම වගේම බස මනාව හසුරුවන්නට හැකි වීමත් වර්තමාන යුගයේ අත්‍යවශ්‍ය බව මල්ලී, පිලිගන්නවා ඇතැයි සිතනවා. ඉතින් මේ වගේ ප්‍රදර්ශනයකදී භාෂාව හැදෑරීමට අදාළ හොඳ කෘති රැසක් අඩු මිලට මිලදී ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ අවස්ථාව මග හරින්න නරකයි. ඒ වගේම ඉංග්‍රීසියෙන් කතා පොත් කියවීම භාෂාව හොඳින් භාවිතයට බලවත් උපකාරයක්. පුංචි ළමා පොත් වලින් හරි පටන් ගන්න.
    මෙවර Expographic ප්‍රදර්ශන කුටියේ Collins Cobuild Dictionary නමින් ඝන කවරයෙන් යුතු ශබ්ධ කෝෂයක් (Monolingual Dictionary -තනි භාෂාවක ශබ්ධ කෝෂය - එනම් ඉංග්‍රීසියෙන්ම තේරුම් තිබෙන) රු.490/- කට ලබාදෙනවා. තරමක් පරණ සංස්කරණයක් උනත් ඒ මිලට බොහෙවින් වටිනවා. හෙට දවස ඇතුළත හරි ගන්න උත්සහ කරන්න. තව Jeya Book Centre හි Cambridge සහ Oxford ආයතන වලින් පළ කළ ඉංග්‍රීසි ව්‍යාකරණ පොත් වට්ටම් සහිතව ලබා ගන්න පුළුවන්.
    ලබන වසරේ පොත් සල්පිලට යනවිට මේ ගැන සිහි තබා ගන්න.

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි බස හැදෑරීමක් කරන්න නම් බලාපොරොත්තුවක් නෑ, නමුත් ඉංග්‍රීසි පොත් නොගැනීම නම් එක්තරා අඩුවක් බව පිළිගන්නවා.
      හේතු කිහිපයක්.
      ඉංග්‍රීසියෙන්ම හැම වැඩක්ම කෙරෙන්නෙ ජොබ් එකේදි. රිපෝර්ට්,වෙනත් විශාල ප්‍රමාණයක් ලිපි ලේඛන සියළු දෙයක්ම කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන්. සියළු රැස්වීම් ඉංග්‍රීසියෙන්. ඉතින් ඉගෙනීමට නම් අත්‍යවශ්‍ය නෑ. කැම්පස් එකෙත් සියළුම දේ කෙරුනෙ ඉංග්‍රීසියෙන්නෙ. ඉතින් මම හිතනව මගේ ඉංග්‍රිසි දැනුම නම් මගේ වැඩ කටයුතු වලට ප්‍රමාණවත් කියල. අපි Foreignersල එක්කත් වැඩ කරනව.
      Oxford ලොකු ශබ්දකෝෂයක් නම් මගෙ ලඟ තිබෙනව නමුත් භාවිතා කළ කාලයක් මතක නෑ. :) අවශ්‍ය උනොත් කෙලින්ම Google Definitions.
      ඉන්ග්‍රීසි නවකතා වගේ දේවල් නම් මගෙ ලඟ තිබෙනව 3-4GB තරම් ප්‍රමාණෙක ඉංග්‍රීසි පොත්. ඒවා නම් කලාතුරකින් කියවනවා.

      Delete
  11. //අර කොමෙන්ට් 20,000 පෝස්ට් එකේ අයිතිකාරිත් කොහෙන්ද මන්ද මතු වෙලා නිසුපගෙ තේකට වග කිව්ව.// ඔන්න කිව්වා.එයා නෙවේ බිව්වෙ වෙන්ට හබියා එයාගෙ, :)))

    මාත් ලියන්නම් කියලා හිටියෙ.ඒත් දැන් ඔයා ලියලානෙ.පොත් ලිස්ට් එක නම් දාන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමද. මම ඉතින් බලන් හිටියෙ නෑනෙ. :( මම දැක්ක කෝප්පෙ ගන්නව, ඉතින් ඊට එහා දෙයක් මම දැක්කෙ නෑ. :)

      ලියන්න ලියන්න. පොත් ලිස්ට් එක දාන්න. මේ පාර පොත් 50ක් වගේ ගන්න ඇති නේද?

      Delete
  12. එක ගෙදරට පොත් තිස්තුනක් , කියන්න දෙයක් නැ රටක් වටිනවා

    ඔයාලා හරි වාසනාවන්තයි කියලා හිතෙනවා

    වානේ පන්නරය ලැබූ හැටි මගේ ආසම පොත

    අට වසරේ ඉන්න කොට නිවාඩු මාසයක් ඉවරවෙනකං කියෙව්වා කිවාරයක්ද මන්දා

    අපේ කළු මාමා

    උඹට ඔය පොත කියවන්ඩ මාසයක් යනවද බං ලොකු පුතේ කියලත් ඇහුවා

    එයා දන්න වැ මම දහ දොලොස් වතාවක් ඒක කියෙව්වා කියලා

    රහයි නේද ඒ කතාව



    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.